Saturday 9 July 2011

කාණුවේ ගසා ගෙන යන චැනල් 4 මාධ්‍ය අපක්ෂපාතීත්වය : Chanel 4s’ media impartiality is questioned. Is it flowing in a sinuous Channel of rubbish?

බ්‍රිතාන්‍යයේ 'චැනල් 4' නාලිකාව මගින් නිෂ්පාදන කරන ලද ' ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්' ( Sri Lanka Killing fields ) වාර්තා චිත්‍රපටිය මේ වන විට ලංකාව තුලත්, ඉන් පිටත අන්තර්ජාතික මානව හිමිකම් ක්ශේත්‍රය තුලත් දැඩි කථාබහට ලක් වෙන ආන්දෝලාත්මක චිත්‍රපටියක් බවට පත් වී තිබෙනවා. මෙම චිත්‍රපටිය මුල් වරට එලිදක්වනු ලැබුවේ ජූනි මස 3 වෙනි දින ( 2011), ජිනීවා නුවර, එක්සත් ජාතින්ගේ ලෝක මානව හිමිකම් සමුළුවට සමගාමීව 'ඇමනස්ටි' සංවිධානය මගින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී ය. ඉන්පසුව මෙම චිත්‍රපටිය, චැනල් 4 නාලිකාව මගින් ජූනි 14 වෙනි දින බ්‍රිතාන්‍ය තුලත් , ABC මාධ්‍ය ජාලය මගින් ජූලි මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාව තුලත් සාමාන්‍ය මහජනතාව සදහා විකාශනය කරනු ලැබුවා. මීට අමතරව ග්ලොබල් ටැමිල් ෆොරම් සංවිධානයේ මැදිහත් වීම මත ඉන්දියාවේ රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේද මෙම චිත්‍රපටිය විකාශනය කර හා කිරීමට නියමිතව තිබෙනවා. කැලම් මැක්‍රේ නැමති අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂනය කරන ලද, ජෝන් ස්නො නැමැති 'චැනල් 4' මාධ්‍යවේදීයා ඉදිරිපත් කරනු ලබන මෙම වාර්තා චිත්‍රපටිය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා හා එල්ටිටීඊය අතර සිදුවු යුද්ධයේ සිදූ වූ සිදුවීම් පාදක කොට නිශ්පාදනය කර තිබෙනවා. කෙසේ නමුත් විනාඩි 50 ක් පමණ දිවෙන මෙම වාර්තා විත්‍රපටියෙන් ඉතා වැඩි කාලයක් වැය කරන්නේ, ශ්‍රී ලංකා රජය හා රජයේ හමුදා විසින් සිදු කරනු ලැබුවා යැයි පවසන යුද අපරාධ විස්තර කිරීමටයි.




මෙම චිත්‍රපටියේ පසුබිම් කථනය ඉතා පැහැදිලිවම දැඩි ලෙස ඒක පාර්ශවීය, ශ්‍රී ලංකා වීරෝධී ස්භාවයක් ගනු ලබනවා. ඇතැම් අවස්ථාවක මෙය කොතරම් අන්තවාදී ස්භාවයක් ගන්නේද කියතොත්, රජය මගින් යුධ මුක්ත කලාපයක් ඇති කීරීමේ අරමුණ, දෙමල ජනතාව කුඩා ඉඩ ප්‍රමාණයකට ගාල් කර, ඔවුන්ව සමූහ වශයෙන් ඝාතනය කීරීම යැයි ඔවුන් එක අවස්ථාවක පවසනවා. අහිංසක දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් ඔවුන්ව බලහත්කාරයෙන් යුධ කටයුතු වල යොදවා ගැනීම, සිවිල් ජනතාව අතර සිටිමින් බර ආයුධ භාවිතා කිරීම ආදී යුධමුක්ත කලාපය ආශ්‍රිත ප්‍රදේශ තුල එල්ටිටීඊ සංවිධානය විසින් සිදුකරන ලද බරපතල බිහිසුනු අපරාධ පසෙක තිබියදී, මෙසේ සත්‍ය විකෘති කොට, යුද මුක්ත කලාප පිලිබදව ඉතා වැරදී චිත්‍රයක් ප්‍රේක්ශක මනසේ ඇදීමට මෙම චිත්‍රපටිය උත්සහ කරනවා. මෙවන් අන්තගාමී පසුබිම් කථනයට අමතරව, මෙම නිර්මානය තුල ඇසින් දු‍ටු සිවිල් සාක්ෂී ලෙස පුද්ගල ප්‍රකාශ කීපයක්ද අඩංගු වෙනවා. මෙහිදී වනී කුමාර් ලෙස ඇසින් දුටු සාක්ශී සපයන, බ්‍රිතාන්‍ය පුරවැසි දෙමල තරුණියගේ ප්‍රකාශවලට වැඩි ඉඩකඩක් මෙම වැඩසටහන තුල වෙන්කෙරෙනවා. ඇයව වැඩසටහන තුල හදුන්වා දෙන්නේ සාමාන්‍ය සිවිල් පුද්ගල චරිතයක් ලෙසයි. නමුත් ඇය එල්ටිටිරී සන්නද්ධ පුහුණුව ලැබූ, එල්ටිටීඊ හිටපු විදෙස් සම්භන්ධතා නායක කැස්ත්‍රෝ යටතේ වැඩ කල එල්ටිටීඊ සාමාජිකාවක්. නමුත් වැඩසටහන තුල මේ පිලිබදව කිසිදු සදහනක් නොකරනවා පමනක් නොව, ඇයව සාමාන්‍ය සිවිල් චරිතයක් ලෙසද ඉදිරිපත් කරනවා.ඇයව සාමාන්‍ය සිවිල් පුද්ගලයකු සේ ඉදිරිපත් කිරීම තුල ඇයගේ ප්‍රකාශ වලට පිලිගැනීමක් ලබාදීමට චිත්‍රපටිය තුල උත්සහ ගැනෙනවා. මෙය චැනල් 4 නාලීකාවේ අපක්ෂපාතී මාධ්‍ය භාවිතය දැඩි ලෙස ප්‍රශ්ණ කරන්නක් මෙන්ම ප්‍රේක්ශකයාව නොමග යැවීමක්ද ඉන් සිද්ධ වෙනවා.


තමිල්වනී ඥානකුමාර් ( වනී කුමාර් ලෙස චිත්‍රපටියේ පෙන්වනු ලබන කාන්තාව)

මෙම චිත්‍රපටිය මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වන තවත් චෝදනාවක් වන්නේ, යුධ මුක්ත කලාපය තුල සිරවී සිටි ජනතාවට අවශය්‍ය ප්‍රමානවත් ආහාර හා බෙහෙත් ද්‍රවය නොසැපයීමට ක්‍රියා කල බවයි. මෙම කාරනාවේදීද, චිත්‍රපටියේ ඒක පාර්ශවීය පසුබිම් කථනය, එල්ටීටීරී සංවිධානය විසින් යුධ මුක්ත කලාපය වෙත රජය මගින් සැපයූ ආහාර හා බෙහෙත් ද්‍රවය්‍ය පැහැර ගත් බවට සදහන් කිරීම අතපසු කරනවා. යුධමුක්ත කලාපයේ අවසාන අවස්ථාව දක්වා ‍රැදී සිටිය , එල්ටිටීඊ සංවිධානය සමගද වැඩ කර තිබූ, මෙම චිත්‍රපටියේද පෙන්වනු ලබන වෛද්‍ය ෂන්මුගරාජා, 2009 ජූලි 8 වෙනි දා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේ, ලෝක රතු කුරුස සංවිධානය හරහා රජය විසින් යුදමුක්ත කලාපයේ සාමාන්‍ය සිවිල් ජනතාව වෙනුවෙන් සපයන ලද බෙහෙත් හා ආහාර ද්‍රච්‍ය, එල්ටිටීඊ සංවිධානය තම සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සදහා පැහැර ගත් බවයි. යුදමුක්ත කලාපය තුල වූ ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය හිගය ගැන කථා කරන මෙම චිත්‍රපටිය, මෙම වැදගත් සාක්ශිය නොසලකා හැරීම, මෙම චිත්‍රපටියේ ඒක පාර්ශවීය බවට තවත් එක් කදිම උදාහරණයක් සපයනවා. ඉහත කාරණයම යුදමුක්ත කලාපයේ සිටි තවත් වෛද්‍යවරයෙක් උන වෛද්‍ය වර්ධරාජා විසින්ද සනාථ කරනවා. ඔහු පවසන අන්දමට යුධමුක්ත කලාපය තුල ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය හිගයක් තිබී ඇති අතර , එයට හේතුව වන්නේ, 8 වතාවකදී රජය විසින් යුධ මුක්ත කලාපය වෙත එවන ලද සම්පූර්ණ වෛද්‍ය ආධාර ප්‍රමාණයම එල්ටිටීඊ සංවිධානය විසින් පැහැර ගැනීමයි.


( යුධමුක්ත කලාපයේ අවසන් අවස්ථාව වනතෙක් තම සේවය අහිංසක ජනතාව වෙත ලබා දුන් වෛද්‍ය ෂන්මුගරාජා )



( වෛද්‍ය වර්ධරාජා )

ඉතා පැහැදිලිව ලේඛනගත වී ඇති ආකාරයට , යුද්ධයේ අවසාන කාලය වන විට, යුධ මුක්ත කලාපයේදී, එල්ටිටීඊ සමාජිකයන් තම නිල ඇදුම් ඉවත ලා, සාමාන්‍ය ජනතාව සමග මිශ්‍ර වී , සාමාන්‍ය ඇදුමින් සැරසී ලංකා යුද හමුදාවට එරෙහිව යුද වැදී තිබෙනවා. මෙසේ තම නිල ඇදුම් ඉවතලා සාමාන්‍ය ජනතාව හා සමානව පෙනී සිටිමින් යුද වැදීම, එල්ටිටීඊ විසින් සිදුකරන ලද බරපතල යුද නීතී උල්ලංගණය කිරීමක්. මෙසේ තමන් නියෝජනය කරනු ලබනවා යැයි පවසන ජනතාවම අනතුරේ වැටෙන ආකාරයට, ඔවුන් අතර සිටිමින් යුධ වැදීම එල්ටිටීඊ සැබැ අරමුන විමුක්තිවාදය නොව ත්‍රස්තවාදයම බව මොනවට කියා පාන්නක්. කෙසේ නමුත් මේ වැදගත් කාරණාව මෙම චිත්‍රපටියේ කිසිම තැනක සදහන් වන්නේ නැ. මේ වැදගත් කාරණාව චිත්‍රපටිය තුල සදහන් නොකිරීම තුල, එහි පෙන්වනු ලබන සියලු මලසිරුරු සාමාන්‍ය ජනතාවගේ මලසිරුරු යැයි වැරදි අදහසක් ප්‍රේක්ෂකයාගේ මනසට ඇතුලු කරනවා. එල්ටිටීඊ මිලේජ්‍යත්වය නොදන්නා බහුතරයක් වූ යුරෝපීය ප්‍රේක්ශකයන් තුල මෙවැනි මලසිරුරු දැකීම තුල ඇතිවන තිගැස්සීම, එක එල්ලේ ශ්‍රී ලංකා රජය වෙතත්, පොදුවේ ශ්‍රී ලංකාව හා එහි ජීවත්වන්නවුන් වෙතත් එල්ල වෙන අප්‍රසාදයකට පත්වීම නොවැලක්විය හැක්කක්.

තවද මෙම චිත්‍රපටිය තුල , පසුබිම් කථනයෙන් රජයේ හමුදා රෝහල් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පවසන අතරතුර, මියගිය, තුවාල ලැබූ අසරණ දරුවන්ගේ, කාන්තාවන් හා පුරුශයින්ගේ මල සිරුරු පෙන්වනු ලබනවා. එම නිසා ප්‍රේක්ශකයකුට හැගී යන්නේ මෙම මල සිරුරු ස්ථිර ලෙසම රජයේ හමූදාවල ෂෙල් වෙඩි ප්‍රහාර වලින් මියගිය සාමාන්‍ය ජනතාවගේ මලසිරුරු ලෙසයි. රජයේ හමූදා එල්ල කරනු ලබන කාලතුව්ක්කු හා ෂෙල් වෙඩි ප්‍රහාර දර්ශනත්, මියගිය මල සිරුරු වල දර්ශනත්, වෙනවෙනම, නමුත් මාරුවෙන් මාරුවට පෙන්වීම තුල මෙම අදහස ප්‍රේක්ෂකයාගේ මනස තුල විශ්වාසනීය ලෙස තහවුරු කරනවා. නමුත් සත්‍ය කාරණාව නම් මෙම මලසිරුරු වලට සැබෑ හේතුව රජයේ හමුදාවල ෂෙල් වෙඩි ප්‍රහාර බවට තහවුරු කල නොහැකි වීමයි. උදාහරණයක් ලෙස එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ හමුදා පාලන ප්‍රදේශ වලට පැන යාමට උත්සහ කල සාමාන්‍ය සිවිල් වැසියන්ට එල්ටිටීඊය මගින් වෙඩි තැබු අතර ඇතැම්විට එසේ පැන යාමට උත්සහ කල අහිංසකයන් බිම්බෝම්බ හා මර උගුල් වලට අසු වී තුවාල හෝ මරණයට පත් උනා. කරුණු එසේ තිබියදී, චිත්‍රපටිය මගින් පෙන්වන මල සිරුරුවල එකම වගඋත්තරකරුවා හා හේතුව රජයේ හමුදාවල ෂෙල් වෙඩි ප්‍රහාර බව තහවුරු කිරීමට උත්සහයක යෙදෙනවා. වැඩිමනත් වශයෙන්, එල්ටිටීඊ සාමාජිකයන්ද සිවිල් ජනයා සමග මිශ්‍ර වී සාමාන්‍ය ඇදුමින් සැරසී යුධ කටයුතු වල යෙදුනු නිසා, මෙම විත්‍රපටියේ පෙන්වන මල සිරුරු සාමාන්‍ය මහජනතාවගෙන් වෙන් කර අදුනා ගැනීමේ අපහසුතාවයක් ද පවතිනවා. තවද එල්ටිටීඊ සංවිධානය සිවිල් ජනතාව බලහත්කාරයෙන් අගල් කැපීම, බන්කර් ඉදි කිරීම වැනි යුධ කටයුතු වල යොදා ගත්තා. මෙවන් යුධ කටයුතු වල යෙදෙන විටදී, යුධ හමුදාව එල්ල කරන ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාව අසරණ ලෙස මිය යෑමේ හැකියාවක්ද තිබී පවතිනවා.

මීට අමතරව මෙම චිත්‍රපටිය මගින් ශ්‍රී ලංකා යුධ හමුදාවන් උතුරේදී යුද්ධය අතරතුරදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්ට ද කටයුතු කල බව කියා සිටිනවා. මේ සදහා 'ඉසේප්‍රියා' නැමැති 'කොටි හඩ' ගුවන් විදුලි හා රූපවාහීනි සේවයේ කටයුතු කල ජනමාධ්‍යවේදීනියකගේ මල සිරුරක් යොදා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම් ඉසේප්‍රියා යනු එල්ටිටීඊ සංවිධානය වෙනුවෙන් වැඩ කල එල්ටිටීඊ සාමාජිකාවක්. නමුත් චැනල් 4 නාලීකාව මේ බව සගවා ඇය සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකු සේ චිත්‍රපටිය තුල මවා පෙන්වමින් ප්‍රේක්ෂකයන් නොමග යවනවා. ඉසේප්‍රියා එල්ටිටීඊ සමාජිකාවක් බව සනාථ කිරීමට, එල්ටිටිරී සංවිධානය මගින් නිකුත් කරන ලද ඇයගේ පහත හැදුනුම්පත් ඡායාරූපයම උවත් ප්‍රමාණවත්.


( එල්ටිටිරී සංවිධානය මගින් නිකුත් කරන ලද ඉසේප්‍රියාගේ හැදුනුම්පත් ඡායාරූපය )


මෙම වීඩීයෝ පටියේ එන ඇතැම් දර්ශන වල සත්‍යතාව පිලිබදව ඇතැම් අය සැක පහල කරනවා. උදාහරනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිටින දෘශ්‍ය මාධ්‍යය පිලිබද විශාරදයකු වන සීරී හේවාවිතාරණ මහතා මෙම වීඩීයෝ පටයේ එන ඇතැම් දර්ශන ඩිජිටල් තාක්ශණය යොදා වෙනස් කර ඇති බව එක එල්ලේ චෝදනා කරනවා.Cisco’s Global Broadcast හා Digital Video Practice division හිටපු ප්‍රධානියෙකු හා වර්තමානයේ සිඩ්නි නුවර IPTV සිස්ටම් හී ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන හේවාවිතාරණ මහතා වැනි අදාල විශය සම්භන්ද පාමාණිකයකුගේ අදහස් නොසලකා හැරිය නොහැක්කක්. කෙසේ නමුත් චැනල් 4 නාලිකාව, මෙම වීඩීයෝ පටයේ එන ඇතැම් දර්ශන ( නිරායුධ, අත් පිටුපස බැද ඇති මිනිසුන් ගේ පිටුපස සිට වෙඩි තැබීම ) මීට ඉහතදී 2010 දී නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් උන ක්‍රිස්ටොෆ් හෙයින්ස් මහතා වෙත ලබා දී තිබුනා. ඒ අනුව ඒ මහතා පත්කරන ලද සිව් පුද්ගල කමිටු වාර්තාවක් මගින් එම දර්ශන සත්‍ය ලෙස සිදු වූවා යැයි නිගමනය කර තිබෙනවා. නමුත් සීරී හේවාවිතාරණ මහතා පවසන ආකාරයට මෙම අදාල වීඩීයෝ දර්ශනය ලබා ගෙන ඇත්තේ ජංගම දුරකථනයකින් නොව කුඩා ප්‍රමාණයේ වීඩීයෝ කැමරාවක් යොදා ගෙනයි. නමුත් මෙම දර්ශනය මුලින්ම විකාශනය කරන් වේලාවේදී 'චැනල් 4' නාලිකාව ප්‍රකාශ කර සිටියේ මෙම දර්ශන හමුදා සොල්දාදුවන්ගේ ජංගම දුරකතන වලින් ලබාගත් ඒවා බවයි. හේවාවිතාරන මහතා එල්ල කරන ප්‍රබලම චෝදනාව වන්නේ මෙම දර්ශනය පරිගනකයක් යොදා ඩිජිටල වශයෙන් වෙනස් කර ඇත යන්නයි. ඊට අමතර ඔහු පෙන්වා දෙන අනෙක් වැදගත් කාරණය වන්නේ මෙම දර්ශනයේ, හඩ පටය හා විඩීයෝ දර්ශන සමගාමී (synchoronise) නොවෙන කාරනයයි. හෙයින්ස් මහතාගේ විද්වත් කමි‍ටුවද පිලිගන්නා පරිදි මෙහි තත්පර 0.068 ත් 0.122 ක පරතරයක් මෙම විඩීයෝ හා හඩ පටය අතර පවතිනවා.


එක්සත් ජාතින්ගේ සංවිධානයේ හෙයින්ස් මහතාගේ විද්වත් කමි‍ටුවද පිලිගන්නා ආකාරයට, මෙම වීඩීයෝ දර්ශනයේ අවසාන භාගයේ අවසන් රූප රාමු 17 තුල රතු පසුබිමේ දිස්වන ඉංග්‍රීසී A අකුර හා මරනු ලැබූවා යැයි පවසන පුද්ගලයින්ගේ ශරීර චලනයන් පැහැදිලි කිරීමට අපහසු බවක් පෙනී යනවා. ඊට අමතරව මෙම වීඩීයෝ පටය ග්‍රහණය කර ඇති දිනය ලෙස වීඩීයෝපටයේ අභ්‍යන්තර දත්ත වල සදහන් වෙන්නේ 2009 ජූලී 17 වෙනි දිනයි. නමුත් කවුරුත් දන්නා ආකාරයට යුද්ධය 2009 මැයි මාසය තුල සම්පූර්නයෙන් නිම කරනු ලැබුවා. වර්තමාන ශ්‍රී ලංකා සම්මත දින දර්ශනය අනුව ජූලි මස උදා වෙන්නේ මැයි මාසය නිමා වීමෙන් පසුව උනත් , කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය ට අනුව, මෙම දින ප්‍රශ්ණයද චැනල් 4 නාලිකාව වෙනස් අකාරයකට අර්ථකතනය කලොත් ඊට කිසිසේත් පුදුම විය යුතු නැහැ. කෙසේ නමුත් නවතම චැනල් 4 වීඩීයෝ පටයේ සත්‍යතාව පිලිබදව ශ්‍රි ලංකා රජය විසින් ද පරීක්ශන කටයුතු සිදු කරනවා. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ ආචාර්ය චතුර ද සිල්වා මහතා විසින් මෙම පරීක්ශන කටයුතු සිදු කරන අතර ඔහුගේ වාර්තාව තවමත් මහජනයා වෙත හෝ මාධ්‍ය වෙත හෝ එලි දක්වා නැහැ.

මෙම වීඩීයෝ දර්ශනය ට අදාල මුල් සංස්කරණය නොකල වීඩියෝ දර්ශන පටයක්ද මේ දින වල කථාබහට ලක් වෙනවා. චැනල් 4 නාලිකාව මීට ඉහතදී විකාශනය කරන ලද මෙම දර්ශන පටයේ සෙබලුන් ගේ කථනය සිංහල භාෂාවෙන් සිද්ධ වන නමුත් , මුල් පිටපත යැයි කියනු ලබන මෙම වීඩියෝ පටයේ පසුබිම් කථනය දෙමල භාෂාවෙන් සිද්ධ වෙනවා. යටත් වූ හමුදා සෙබලු මරා දැමීම එල්ටිටීඊ සංවිධානය විසින් අනුගමනය කරන ලද බරපතල යුධ අපරාධයක්. උදාහරණයක් ලෙස , 'ඒම් වී සන් සී ' නෞකාවෙන් කැනඩාවට පැන ගිය එල්ටිටීඊ සාමාජිකයෙකුට එරෙහිව, යටත් වූ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් මරා දැමීම සම්භන්දව, කැනඩා රජය පරීක්ෂන පවත්වනවා. එම නිසා, ශ්‍රී ලංකා රජයට එරෙහිව යොදා ගැනීමේ අරමුණ සහිතව, එල්ටිටීඊ සංවිධානය හෝ එහි අනුබද්ධිත සංවිධානයක් මෙවන් වීඩීයෝ දර්ශනයක් නිපදවීමේ හැකියාවද නොසලකා නොහැරිය හැක්කක්. එල්ටිටීඊ සංවිධානය තම ප්‍රචාරක කටයුතු සදහා යොදා ගන්නා ක්‍රම හා විදි සලකා බැලීමේදී මෙම කරුණ වඩාත් තහවුරු වෙනවා. එසේ සලකනු ලැබුව හොත්, එක්සත් ජාතීන්ගේ හෙයින්ස් මහතා ගේ කමි‍ටුවට පැහැදිලි කිරීමට අපහසු වූ නිරීකශනයන්ද මෙම තර්කය මගින් පැහැදිලි වෙනවා.කෙසේ නමුත් මෙම වීඩීයෝ පටය, චැනල් 4 නාලිකාව වෙත සපයන ලද, සිංහල ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකින් සමන්විත 'ජේඩීඑස්' සංවිධානය මෙම දෙවන වීඩීයෝ පටය බොරුවක් බව පවසනවා. ඒ අනුව මෙම වීඩීයෝ පට දෙකේම සත්‍යතාව සම්භන්ධයෙන් පවතින්නේ අපැහැදිලි තත්වයක්.


(JDS සංවිධානයේ සනත් බාලසූරිය මහතා)


(JDS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රෝහිත භාෂන අබේගුනවර්ධන මහතා )

මෙම චිත්‍රපටියේ කියැවෙන තවත් කරුණක් වන්නේ , නඩේසන් හා පුලිදේවන් නැමැති එල්ටිටීඊ නායකයින් යටත් වීමට කැමැත්ත පලකර සිටියදී රජයේ හමුදා විසින් ඔවුන්ව ඝාතනය කර ඇති බවයි. නමුත් වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා ජාත්‍යන්තරය සමග සාකච්චා කර ඇත්තේ සමූහ වශයෙන්, තුන්වන පාර්ශවයක් වෙත සිදුවන එල්ටිටීඊ යටත් වීමක් ගැනයි. නමුත් පූර්ණ මිල්ටරි අධිකාරී බලයක් කිසි දා නොතිබුනු පුද්ගලයන් දෙදෙනෙක් වෙතින් කෙරෙන කොන්දේසී සහිත යටත් වීමක්, ඉතා දරුණු යුද්ධයකදී කොතෙක් දුරට විශ්වාසනීයත්වයෙන් යුක්තදැයි කාටත් නැගෙන ගැටළුවක්. මෙම කාරණය ඉතා මෑතකදී යුධ හමුදාව විසින් පවත්වන ලද ජාත්‍යන්තර යුධ සමුළුවේදී, මෙරට ඇමෙරිකානු තනාපති කාර්ය්‍යාලයේ යුද කටයුතු පිලිබද විශේශඥ නිලධාරිවරයාද ( ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්) තම පෞද්ගලික අදහසක් වශයෙන් ප්‍රකාශ කර තිබුනා.


(ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්)

කෙසේ නමුත් චිත්‍රපටිය මගින් ප්‍රේක්ෂකයා වෙත සංනීවේදනය කිරීමට උත්සහ කරන්නේ යටත් වූවන් ශ්‍රී ලංකා හමුදා මගින් මරා දැමූ බවකුයි. නමුත් ඉහල පෙලේ එල්ටිටීඊ නායකයින්ගේ දරු පන්සල් පවා ආරක්ෂක හමුදා භාරයේ සුරක්ශිතව සිටින බවට කිසිදු සදහනක් කිරීමට මෙම ඒක පාර්ශවීය වාර්තා චිත්‍රපටිය අපෝහසත් වෙනවා. එල්ටිටීඊ නාවික හමුදා නායක සුසෙයි (තිල්ලෛම්බලම් සිවනේසන්) ගේ බිරිද හා දරුවන්, එල්ටිටීඊ දේශපාලන නායක තමිල් සෙල්වම්ගේ බිරිද හා දරුවන්, එල්ටිටීඊ නායක ප්‍රබාහරන් ගේ මව හා පියා මෙසේ ආරක්ෂක හමුදා යටතේ සුරක්ශිතව සිටින විශේෂ පුද්ගලයන් හැටියට සැලකෙනවා.

මෙම චිත්‍රපටියෙන් ඒත්තු ගැන්වීමට උත්සහ කරන තවත් කාරණාවක් වන්නේ හමුදා සමාජිකයන් යටත් වූ සෙබලියන් දූෂණය කර මරා දමා ඇති බවයි. මෙවන් කරුණක් සිදු වී ඇත්නම් එය සොයාබලා අදාල අය හට දඩුවම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් කල හැකි සාක්කියකින් තොරව, මෙම චිත්‍රපටිය, ශ්‍රී ලංකා හමුදා ස්ත්‍රී දූෂණයේ යෙදුනු බව සාමාන්‍යකරණය කරනවා. මේ සදහා ඔවුන් ඉදිරිපත් කරන්නේ නිරුවත් කාන්තා මලසිරුරු හා සෙබළුන් අතර සිදුවන කථා බහයි. දූෂණයට අදාල කිසිම රූප රාමුවක් හෝ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කිරීමකින් තොරව ආරක්ශක හමුදාවන්ට එරෙහිව මෙවන් චෝදනාවක් සාමාන්‍යකරණය කිරීම මාධ්‍ය සදාචාරයට කොතරම් ගැලපේදැයි නැගෙන් ප්‍රශ්ණයක්. නිරුවත් මල සිරුරක් යනු දූශණය සදහා සාක්ශියක් නම්, නිරුවත් පිරිමි මල සිරුරු සම්භ්න්දයෙන් මෙවන් චෝදනාවක් ඉදිරිපත් කිරීමට චැනල් 4 නාලිකාවට අමතක වෙනවා. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ශා කිරීම සදහා මල සිරුරු වල ඇදුම ඉවත් කර පරීක්ශා කිරීම ප්‍රශ්ණ කල නොහැකි උපාය මාර්ගයක්.

කෙසේ නමුත් පැවති ත්‍රස්ත්‍රවාදී අරගලය හා ඒ හා බැදුනු ප්‍රශ්ණ ගැන සෙවීමට ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද ' උගත් පාඩම් හා සංහිදියා කමි‍ටුව' , මෙම චැනල් 4 වීඩීයෝ විකාශනය තම සැලකිල්ලට ගන්නා බවක් මෑත දී ප්‍රකාශ කර තිබුනා. මෙය ඇත්ත වශයෙන්ම පැසසිය යුත්තක්. ශ්‍රී ලංකා රජය මෙම විඩීයෝ පටය තරයේ ප්‍රතික්ශේප කරද්දී, මෙම කොමිසම මෙම වීඩියෝව ගැන තම සැලකිල්ල යෙදවීම, එම කමි‍ටුවේ ස්වාදීනත්වය ගැන ප්‍රශ්න කරන බොහෝ අයෙකුගේ ඇස් අරවන සිද්ධියක් බවට කිසිම අනුමානයක් නැහැ.

යුද්ධය බිහිසුණුය. ජීවීතයත්, මරණයත් අතර සැබැ ජීවීතයේදී කෙරෙන යුද්ධයකදී, බටහිර හොලිවුඩ් චිත්‍රපටි වල දක්නට ලැබෙන සාමාන්‍ය වෙඩිතබා ගැනීම් අභිබවා ගිය සිදූවීම් බලාපොරොත්තු විය යුතුය, ඒ කෙසේ නමුත්, මනුෂ්‍යත්වයට නිගා දෙන යම් ක්‍රියාවක් සිදුකිරීම එමගින් සධාරනීයකරණය කල නොහැකිය. කිසියම් අයෙක් වරදක් කල ඇත්නම් එය සොයා බලා දඩුවම් කිරීම සාධාරන සමාජයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැංවීමෙහි ලා අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් මෙම චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපටිය මගින් එවැන්නක් ඉ‍ටු කරනු වෙනුවට, බිදී ඉරි තලා ගිය ජාතින් දෙකක් අතර සුහදතාවය තව තවත් ඈත් කිරීමේ කටයුත්තට අත ගසා ඇතිබව පැහැදිලිය. අපක්ෂපාතී මාධ්‍යකරනය මගින් අදාල සිදුවීම හා අදාල පුද්ගලයින් නිරාවරනය කරනු වෙනුවට, කරුනු සැගවීම්, කරුනු වෙනස් කිරීම් මගින්, දෙමල ජනයා අතර ශ්‍රී ලංකා ආරක්ශක හමුදා වෛරයට භාජනය කිරීම මෙමගින් සිදු කරනවා.රුදුරු ත්‍රස්තවාදයකින් අහිංසක සිංහල, දෙමල,මුස්ලිම් හා අනෙකුත් ශ්‍රී ලංකා වැසියන් මුදා ගැනීම වෙනුවෙන් ආරක්ශක හමුදා වෙත තුති පුදනු වෙනුවට සහ උතුරේ අහිංසක ජනතාවගේ අසරණ තත්වය සලකා ඔවුන් හට උපකාර කරනු වෙනුවට, 30 වසරක් තිස්සේ ලංවීමට නොහැකිව සිටි ජාතින් දෙකක් තව තවත් විරසක කිරීමේ ප‍ටු අරමුණක් මෙම චිත්‍රපටිය මගින් ඉ‍ටු කරනවා.

කවුරු කෙසේ කීවත්, ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේත්, සිංහල ජනතාවගේත් අනාගතය වැටී ඇත්තේ බෙදී වෙන් වී යෑම තුල නොව, සහජීවනයෙන් අන්‍යා කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වීම තුලයි. ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු ප්‍රතිපත්තිය තුල කැබලි වී ගිය ලංකාවකට ඉඩක් නොමැති අතර, ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු අවශ්‍යතාවයට එරෙහිව යාමක් අපේකෂා කල නොහැකිය. මෙවන් පසුබිමක් යටතේ, විවිධ අරමුනු සහිත ලංකාවෙන් පිටත සිටින අන්තවාදී අදහස් ඇති කීප දෙනෙක් සිදු කරන මෙවන් ප්‍රකෝප කිරීම්, භෙද කිරීම්, 30 වසරක යුද්දය අවසානයේ දෙමල ජනතාවට වැඩි වශයෙනුත්, අනෙකුත් ජනතාවට අඩු වැඩි වශයෙනුත් ලබා දුන් අසරණ තත්වයට වඩා වැඩි යමක් ලබා දේ යැයි අපේක්ශා කිරීම ඉතා අපහසුය.


ආශ්‍රිත ලිපි:

Aranze, J. (2011). Forensic Video Experts Confirm Authenticity Of Channel 4 Video. Sunday Leader, from http://www.thesundayleader.lk/2011/06/12/forensic-video-experts-confirm-authenticity-of-channel-4-video/

BBC (2011). JDS challenges Sri Lanka 'new video' Retrieved 01/07/2011, from http://www.bbc.co.uk/sinhala/news/story/2011/07/110704_video_jds.shtml

Hewawitharana, S. (2011). Channel 4 Video is Fake, Edited and Video taken by Video Camera Retrieved 01/07/2011, from http://www.asiantribune.com/news/2011/06/05/channel-4-video-fake-edited-and-video-taken-video-camera

Hewawitharana, S. (2011). Is British Broadcasting getting funds from Terror groups? Retrieved 30/03/2011, from http://www.asiantribune.com/news/2011/06/25/british-broadcasting-getting-funds-terror-groups

Jayasuriya, R. (2011). Channel 4 war crimes video: believable or bunk? Colombo: Sumathi Publications.

JDS (2010). UN experts concludes that Sri Lankan vedio is authentic Retrieved 01/07/2011, from http://www.jdslanka.org/2010/01/un-expert-concludes-that-sri-lankan.html

Macrae., C. (2011). Sri Lanka's Killing fieilds. Retrieved from http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/4od

MCNS (2009). Channel 4 video a fake Retrieved 01/07/2011, from http://www.lankapuvath.lk/index.php/latest-news/security/3416-channel-4-video-a-fake-mcns-

MOD (2011). 'CHANNEL-4, FACEOFF' - Exposing the appalling truth Retrieved 01/07/2011, from http://www.defence.lk/new.asp?fname=20110619_01Up28

Quan, D. (2011). Tamil migrant may have taken part in shooting of soldiers, hearing told Retrieved 01/07/2011, from http://www.globalnews.ca/world/Tamil+migrant+have+taken+part+shooting+soldiers+hearing+told/4643627/story.html

Wijayapala, R. (2009). The Ultimate Truth as told by Tamil Doctors. Retrieved from http://www.lankamission.org/content/view/2420/9/

Wijewardana, D. (2011). US suspicions of credibility of LTTE surrender offer make sense Retrieved 01/07/2011, from http://donwije.wordpress.com/articles-2/

2222