Monday 23 December 2013

සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ දේශනා කලේ කුමක්ද? The Jesus on Homosexuality



නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.

ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් 'ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද? ' කියලා .

ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න.

හරි එහෙනම් දැන් අපි බලමු ශුද්ධ වූ  බයිබලයේ මේ ගැන මොනවද තියෙන්නේ කියලා...

පෙරලලා බලමු...





ඈ.....!@#@@...

ඇත්තටම .............ඒකේ මුකුත් නෑ.........

සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මුකුත් කියලා නෑ.......





හැමෝටම සුභ නත්තලක් වේවා...!!


ප: ලි:

1.) මේ තියෙන්නේ ගිය පාර පෝස්ට් එකේ කමෙන්‍ටුවකට මම දාපු  උත්තරයක්......

// මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.//

2.)   මේ තියෙන්නේ ඒක ගැන තව පැහැදිලි කිරීමක්....

////පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...

උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......///

Wednesday 18 December 2013

ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...



වීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ  වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ  තම සබකෝලය වසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයා වූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියු ළමා කතාන්දරය ය.

කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධනාත්මකය  නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රදාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි.





ප:ලි

 1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා  අප්ග්‍රේඩින්  වීමේ සංක්‍රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ  ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....

2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං....



Wednesday 13 November 2013

සුදු වර්ගවාදයට නානසාර කුප්පියක්



මීට කාලෙකට කලින් මං බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා 'සිංහල ලේ පාරිශුද්ධ ද?' කියලා....මාතෘකාවෙන් මොකක් කියැවුනත්, ඒ ලිපියෙන් මට කියන්න ඕනා උනේ සිංහලයා දෙමලා සමගත්, දෙමලා සිංහලයා සමගත්  හොදටම ලේ වලින් කලවං බව කියන්න...එහෙමත් නැත්තං ඒගොල්ලො ලේ නෑයෝ බව කියන්න...

මේ වගේ දේවල් කිව්වම සිංහලයා පැවත එන්නේ උතුරු ඉන්දියානූ ආර්‍ය ලේ වලින් කියලා හිතන් ඉන්න අයගෙන් වගේම දෙමලා පැවත එන්නේ දකුණු ඉන්දියාවේ  චෝල, පාන්ඩ්‍ය පරපුරවලින් කියල හිතන් ඉන්න යාපනේ වෙල්ලාල පොරවල් වලටත් ඒවා එච්චර දිරවා ගන්න බෑ....

මේ වගේ තම තමන්ගේ කුලේ,පරපුර ගැන ලොකුවට හිතං ඉන්න පොරවල් ඉන්නේ ලංකාව වගේ දූපත් මානසිකත්ව තියෙන රටවල් වල විතරක් නෙවෙයි.... ලිබරල් කියලා හිතං ඉන්න ඇමෙරිකාව, යුරෝපීය රටවල් වලත් ඉන්නවා... අන්ත දක්ශිණාංශික එහෙමත් නැත්නං සුදු වර්ගවාදය කර උඩ තියං ඉන්න මේ වගේ පොරවල් විවිධ  සංවිධාන හදා ගෙන කල්ලි ගැහෙනවා....අතීතයේ ඉදන්ම තාමත්..

ඔය වගේ සුදු වර්ගවාදී සංවිධානයක් ගැන මම මුලින්ම පොඩි කාලේ දැන ගත්තේ 'ෂර්ලොක් හොම්ස්' කතන්දරයක් කියවද්දී. ඒ කථාවේ තිබ්බ 'කූ කලක්ස් ක්ලෑන්' කියන්නේ සුදු වර්ගවාදී සංවිධානයක්.

මේ ඉන්නේ කු කලක්ස් ක්ලෑන් එකේ පොරවල්..


මේ ඔක්කොම කතන්දර මගේ ඔළුවට ආවේ මෙන්න මේ  වීඩියෝ එක දැක්කම....

ක්‍රෙග් කොබ් අවුරුදු 62 ක් මනුස්සයෙක්. වයසට ගියාට මොකද මෑන්ස් සුදු වර්ගවාදී අදහස් තියෙන පොරක්. මැන්ස්ට ඕනේ ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා නගරය සුදු වර්ගවාදී ටවුන් එකක් කර ගන්න....මෑන්ස් දවසක ටීවී ශෝ එකකට ලයිව් ගෙන්වනවා....මේ වැඩසටහනෙදී  ක්‍රෙග් මහත්තයගේ ඩීඑන් ඒ පරීක්ශණයක ප්‍රතිපලත් ඒ මහත්තයට සජීවීවම දැන ගන්න සලස්වනවා....


ක්‍රේග් මහත්තයා


DNA පරීක්ශනේ ප්‍රතිපල් ආවාම සුදු ස්වෝත්මවාදී අදහස් තියෙන් ක්‍රේග් මහත්තයගේ ඇගෙත් 12% කට වඩා තියෙන්නේ අප්‍රිකානූ කලු සමට නෑ කමක්....අසරණයා ඒක දැන ගන්නේ මිනිස්සු දාස් ගාණකගේ දෑස් ඉස්සරා....අනේ අපොයි ක්‍රෙග් මහත්තයෝ.....

ප:ලි.. ටීවී ශෝ එකකදී සජීවීව මේ වගේ අපහසුතාවය පත් උනාම ගොඩ දාගන්න විදිහ  ඥාණසාර කියලා හාමුදුරු කෙනෙක් ලංකාවේදි කියලා දෙනවා...ක්‍රෙග් මහත්තයට මේ  ගැන පොඩ්ඩක් කියල යවන්න ඕනේ...

Wednesday 2 October 2013

ආඩම්බරකාර තාත්තාගේ කාබන් වස්තුව....

පරිසර ප්‍රශ්ණය කියලා ලෝකයේ ගොඩක් දෙනෙක් කථා කරන 'ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම' ගැන ශ්‍රී ලාංකිකයන් වන අපි එච්චර සංවේදී නෑ කියලා මම මීට කලින් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.

එහෙම වෙන්න  හොද සාධාරණ හේතූ කීපයකුත් අපිට තියෙනවා. එයින් මූලිකම එක තමයි ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා  අපේ ජීවිත වලට එයින් සිදුවන බලපෑම ගැන අපේ නොදැනුවත් කම. අනෙත් කාරණය නම් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම ගැන හිතනවට වඩා බඩට යමක් හොයා ගෑනීම, ඉන්න හිටින්න නිවසක් සාදා  ගැනීම, ලමයට ඉස්කෝලයක් හොයා ගැනීම ආදී ඇඟට දැනෙන ප්‍රශ්න අටෝරාවක් අපේ ඔළුවට උඩින් පරිභ්‍රමණය වෙමින් තිබීම කියලා මට හිතෙනවා.

කලිනුත් කියලා තියෙනවා වගේම 'ගෝලීය උෂ්ණත්වය' ඉහල යාමට මූලීකම හේතුවක් වෙන්නේ මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් එහෙමත් නැතිනං පොසීල ඉන්දන දහනය නිසා වායුගෝලයට එකතු වෙන කාබන් ඩයෝක්සයිඩ් කියන වායුවයි. කාබන්ඩයෝක්සයිඩ් වායූවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම පැහදිලි කරන්නේ 'හරිතාගාර ආචරනය' කියන සංසිද්ධිය හරහායි. ඒත් මං කියන්න යන කාරණයට හරිතාගාර ආචරනය කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනේ නෑ. වැදගත්ම කාරණය වෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න කාබන් ඩයෝක්සයිඩ් වායුව  ප්‍රධාන හේතුවක් කියන එක වගේම එම වායුව වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් පෙට්‍රල්, ගල් අගුරු, ඩීසල් ආදී ඉන්දන දහනය කිරීම බව තේරූම් ගැනීමයි.



යුරෝපයේ කාර්මික පුනරුද කාලයේ  (1850) ඉදන්  වසර 2000 වන තෙක් මිනිස්සු කාබන්ඩයෝක්සයිඩ් ගිගාටොන් 1020 ක් වායූගෝලයට මුදා හැරලා තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් බහුතරයක් යුරෝපය හා අමෙරිකාව ශ්‍රීඝ්‍ර කාර්මික දියූණුවක් අත්පත් කර ගැනීමේදී වායුගෝලයට පාලනයකින් තොරව නිදහස් කරන ලද්දක්.  මෙසේ නිකුත් කරන ලද අතිවිශාල කාබන් ඩයෝක්සයිඩ් වායු ප්‍රමානය, වර්තමාන පරිසර ප්‍රශ්ණයට නැතිනං ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට ප්‍රධාන හේතුවක්.
මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබද ඉන්ෆොග්‍රැ‍ෆික්ස් ( Infographics) විසින් කරන ලද අති විශිෂ්ඨ ග්‍රැ‍ෆික් එකක්...මේ ඩවුන් ලෝඩ් කරන හොදට ලොකු කරලා බැලුවා නම් ඉති න් හොදා...

පසුගිය සියවසේ  ශීග්‍ර ආර්ථික දියුණුව අත්පත් කරගත්තේ අමෙරිකාව හා යුරෝපය උනත් මේ දශකයේ ඒ ස්ථානය හිමි වෙලා තියෙන්නේ ආසියාවටයි. ඒත් ආසියාවට , කලින් යුරෝපය හා ඇමෙරිකාව කලා වගේ අත දිග හැරලා සංවර්ධනය වෙන්න බෑ. නිකුත් කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හරහා ආසියාවේ අතපය බැදලා දාලයි තියෙන්නේ.

අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා කතාවක් තියෙන්වා. ඉතින් කාට හරි කියන්න පුළුවන් අමෙරිකාව හා යුරෝපය එගොල්ලනගේ දක්ශතාවය හින්දා ඉස්සෙල්ලම ආර්ථික සංවර්ධනය  අත් කර ගත්ත හින්දා දැන් කරන්න දෙයක් නෑ කියලා...ඒත් ඇත්තම කාරනය නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට අයිති කාබන් කෝටාවත්, අපි  ඒ ගැන දැනගන්නත් කලින්,  අනෙක් දියුනු රටවල් දැනටමත් පාවිච්චි  කරලා ඉවරයි කියන කාරණයයි.

මේ ආසාධාරණය හා විශමතාවය දැනුත් වර්තමානයේත් අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට තියෙනවා. දැනට එක අවුරුද්දකට ලෝකේ ඉන්න අපි සේරම එකතු වෙලා කාබන් ඩයෝක්සයිඩ් ගිගා ටොන් 31 ක් වායුගෝලයට නිදහස් කරනවා. ඒ ගිගා ටෝන් 31 න් වැඩි හරියක්, දල වශයෙන් 80% ක් , නිදහස් කරන්නේ  දැනටමත් දියුණු සංවර්ධිත රටවල්. මේ රටවල ඉන්න ජනගහනය, ලෝක ජනගහනයත් එක්ක බැලුවම ඉතා සුලු කොටසක්. ඒත් ඒ සුලු කොටස  ලෝක සමස්ත කාබන් විමෝශනයේන් 80% ට ආසන්න ප්‍රමානයකට වග කියනව. ලෝකයේ දියුණු වෙමින් පවතින් රටවල ඉන්න සෙසු බහුතරය, මුලින් කී ගිගා ටොන්31 න් 20% ක් විතරයි පාවිච්චි කරන්නේ.

දැන් ඉතින් අපි මතෘකාවට බහිමු..මම මුලින්ම කිව්වා ගෝලීය උශ්ණත්වය ඉහලා යෑම හා කාබන් විමෝඩ්චනය ගැන අපේ රටේ මිනිස්සු එච්චර සංවේදී නෑ කියලා...අපි කොච්චර ඒ ගැන සංවේදී නැති උනත්, අපිව බලා ගන්න ඉන්න අපේ ආඩම්බරකාර තාත්තා ඒ ගැන ගෝඩක් සංවේදීයි. අපේ ආඩම්බරකාර තාත්තා මේපාර යූ එන් (UN) එකට ගිහිල්ලා මේ කාබන් විමෝචනය ගැන මෙහෙම කියලා තියෙනවා..



// Centuries of growth in advanced economies have left little carbon space for the developing world, challenging their growth. The thin lines of balancing economic development and protection of the environment will remain a great challenge, in future development policy setting. It is therefore critical that developed countries honor their commitments and compensate damage to the environment, based on common but differentiated responsibilities.//


ආඩම්බරකාර තාත්තා මේ කථා කරන්නේ සංවර්ධනය කරා යන ගමනේදී ලංකාව වගේ දියුණු වෙමින් පවතින් රටවල් වල්ට කාබන් විමෝචනය  පැත්තෙන් වෙලා තියෙන අසාධාරණය ගැනයි..

කාබන් විමෝචනයේදී අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට ඇති සීමා මායිම් ගැන අපේ රටේ නායකයා,  එක්සත් ජාතීන්ගේ  සමුළුවේදී කථා කිරීම ගැන  මට නං ඇත්තටම සතු‍ටුයි....






PS : 1.) ගෝලීය උෂ්ණත්වය  ඉහල යෑම ගැන මම මීට කලිනුත් කීප අවස්ථාවක කථා කරලා තිබුනත්,  නැවතත් ඒ ගැන කතා කරන්න හිතුනේ ගෝලීය උෂ්ණත්වය පිලිබද සොයා බලා වර්තාකරන ප්‍රධානම ආයතනය වන IPCC ( Intergovernmental Panel on Climate Change)  ක ඒගෝලන්ගේ  5වෙනි වාර්ථාව නොබෝදා නිකුත් කරන ලද නිසයි. IPCC කියන්නේ විද්‍යාඥයන් දහස් ගනනකින් සමන්විත, පරික්ශණ අතිවිශාල ප්‍රමානයක් විමසා බලා ගෝලීය උශ්ණත්වය පිලිබද නිවැරදි චිත්‍රයක් ඇදීමට අන්තර්ජාතිකව පත් කර ගන්නා ලද ආයතනයක්....

2.) මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබදව මම කලින් ලියාපු ඒවා

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....





Friday 13 September 2013

විලියම් කුමාරයාගේ සත්ව ආදරය හෙවත් අන්තර්සංසර්ගයේ පැටවුන් ‍රැක ගැනීම. : Definition of species


විලියම් මල්ලි  කියලා මං ආදරේට කිව්වට මෙයා රාජ කුමාරයෙක්. ඉන්දියාවේ , මහත්මා ගාන්ධිලා , නේරුලා දඟලලා දඟලලා නිදහස නොගන්න , මෙයා තාමත් අපේ පුංචි අඹ ඇටේ ඔ‍ටුන්න හිමි කුමාරයා වෙන්නත් ඉඩ තිබ්බා.

අළුතෙන්ම එන ආරංචි විදියට විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා...... ලස්සනම ලස්සන කෙලි පොඩිත්තෙකුට තාත්තා  කෙනෙක් උන අල්ල පනල්ලේ මේවගේ තීරණයක් ගත්තේ විලියම් මල්ලි රාජ කුමාරයෙක් හින්දම තමා. නැත්නම් අපි වගේ මාස් පඩි කාරයෙක් කීයටවත් නොකරන වැඩක් ඕක...

විලියම් මල්ලිගේ රස්සාව කවුරුත් නොදන්න එකක් නෙවෙයි. එයා එංගලන්තෙ රාජකීය ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්.නිකං පයිලට් කෙනෙකුත් නෙවෙයි 'රෙස්කියු පයිලට්' කෙනෙක්...

විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා කරන්න හදන්නේ වඳවෙලා යන 'සත්ව විශේෂ' (species) ‍රැකගන්න ගේමට බහින්නයි. මට නං හිතෙන්නේ ඒක හොද අගේ ඇති වැඩක් කියලා.

ඔය සත්ව විශේෂ ‍රැක ගන්න එක හොද වැඩක් උනාට, මම දන්න විදිහට 'සත්ව විශේෂ'  නැත්තං  species කියන එක අර්ථ දක්වන එක නම් මාර ගේමක්. කොටින්ම ඔය බයෝ කාරයෝ හැමතිස්සෙම ස්පීශිස්, ස්පීශීස් කියලා කිව්වට ,  ටක්කෙටම වෙන් කොරලා, පොදුවේ භාවිතා කරන්න පුලුවන් වචනයක් නෙවෙයි මේ 'ස්පීශීස්' කියලා කියන්නේ...

උදාහරනයක් විදිහට කට්ටියක් කියන විදිහට සත්ව විශේෂයක් කියන්නේ 'අන්තර් සංසර්ගයේ යෙදෙන,  පැටවු හදන' සත්ව කොටසකට. එහෙම බැලුවම මිනිස්සුයි, ගෑනුයි සංසර්ගයේ යෙදිලා ලමයින් හදන හින්දා, මිනිස්සු කියන්නේ එක සත්ව විශේෂයක්. බල්ලොයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා බලු පැටවු හදන හින්දා බල්ලෝ කියන්නේ තව සත්ව විශේෂයක්..ඒත් මිනිස්සුයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා වෙනම සත්ව කොටසක් හදන්නේ නැති නිසා මිනිස්සුයි , බල්ලොයි කියන්නේ එකිනෙකට වෙනස් සත්ව විශේෂ දෙකක්...බැලූ බැල්මට අර්ථ දැක්වීම හරි  වගේ...ඒත් කරුමෙටක වගේ අස්වයෝයි බූරුවොයිත් සංසර්ගයේ යෙදිලා හොද පැටවු හදනවා...ඔය ලංකාවෙත් මන්නාරම් , ඩෙල්ෆ්ට් වගේ දූපත් වල ඉන්න කොටළුවෝ කියන්නේ මේ වගේ අස්සයන්ගේ මිස් ෆයර් තමයි.( වැරදී නම් මා නිවැරදි කරන්න).

අපි නම් ඉතින් ඕලෙවෙල් කාලෙන් මෙහා බයෝ වචනයක්වත් අහලා නැති හින්දා මේවා ගැන එච්චර තේරූමකුත් නෑ...ඒක හින්දා අඩු ගානේ ඒලෙවල් වලටවත් බයෝ කරපු ඈයෝ ඉන්නවනම් දෙන්නකෝ මේ ගැන පොඩි අදහසක්...

හරි හමං උත්තරයක් ලැබුනෝත් හොද ඉංග්‍රීසී කාරයෙක් අල්ලලා ඒක ඉංග්‍රීසියට හරවලා විලියම් කුමාරයට ම  ලැබෙන්න සලස්සනවා ඕං...ආයේ එකේ දෙකක් නෑ...


 මූ තමයි ලෝකේ කැතම සතා කියලා මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙලා තියෙන්නේ...මුගේ නම බ්ලොබ්‍ෆිශ්.....මුහුදේ ඉන්නේ...


පිංතූරේ ගත්තේ මෙතැනින්..

http://www.huffingtonpost.com/2013/09/12/blobfish-ugliest-animal_n_3916385.html

Wednesday 4 September 2013

බීච් එකේ ආප්පෙකට සෙට් වෙන ගමන් පොම්ප ගහමු...

ඉස්සර අපි දෙන්නා  ලව් කරන කාලේ මුහුදු අද්දර වෙරලවල් වල ඕනා තරම් කාලය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ ඉදන් මගේ තිබ්බ  හීනයක් තමයි මුහුදු වෙරල අයිනේ ගෙයක් හදන එක. හැන්දෑවට ලමයින් එක්ක මුහුදු වෙරලේ සෙල්ලම් කරලා, සරුංගල් ඇරලා මහන්සි වෙලා ගෙදරට එන කොට මයිලේඩී (මයියගේ වයිෆ්) උණු උණුවෙන් හදලා දෙන ආප්ප කන එක එදා ඉදන් මට තිබ්බ හීනයක්. ගෙයි පිටිපස්සෙ වෙරලට මුහුනදාලා හදපු වැ‍රැනඩාවේ, කකුල් තියා ගන්න පුලුවන් විදිහට, ඇදි දික් කරන්න පුලුවන් වේවැල් හාන්සි පු‍ටුවේ ඉදන්, ඉර මුහුදෙ ගිලී යන එක බලං ඉන්න එක මාර ආතල් වැඩක්...




මුහුද අයිනේ ගෙයක් හදන්න මගේ තියෙන ආසාව හුදෙක් ආතල් ගැනීම පිණිසම නොවේ. මොකද කියනව නම් ඒකේ ආර්ථික වාසියකුත් තියෙනවා. මුහුදක් අයිනේ ගෙයක් හැදුවොත් නොමිලේ කරන්ට් එකයි, පිරිසිදු වතුරයි ගන්නත් ක්‍රම හා විධි තියෙනවා. ඒකට ඔනේ කරන්නේ අර මාදැල් එලන පොරවල් මාදැලේ එල්ලන බෝයාව වගේ කෑලියි, බයිසිකල් පොම්පයක් වගේ පොම්පෙකුයි, ඩයින්මෝ කෑල්ලකුයි, පරණ ෆැන් එකක් ෆෑන් පිති ටිකකුයි, ඊට අමතරව ඔය හොද බට ටිකකුයි,ඔය ලුණු වතුර පිරිසිදු කරන්න ගන්න කෙමිකල් ටිකකුයි විතරයි.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ‍රැල්ල වැඩියෙන්ම ගහන තැනක් බලලා අර හදා ගත්ත බෝයාවල් සෙට් එක මුදුදේ රදවන එකයි. ඊට පස්සේ බෝයාවල් ටික බයිසිකල් පොම්පයක් වගේ එකකට සෙට් කරන්න ඕනා. මොතැනදි පොඩි මෙකැනිසම් එකක් දාන්න වෙන්වා. අපි බයිසිකල් පොම්පේ ගහන කොට එකෙන් හුලං යනවා වගේ,  මේ පොම්පෙදි බෝයවල් ටික ‍රැල්ලට හෙලවෙන කොට මුහුදෙන් වතුර ගොඩට පොම්ප කරන්න ඔනේ. මතක ඇතුව , මේ පොම්පෙට දාන 'වන් වේ වෑල්ව්' එක හරි පැත්ත බලලා හයි කරන්න ඕනා. නැත්නං මුහුදෙන් වතුර වෙනුවට වැල්ලෙන් වැලි මුහුදට ගහන්න ඉඩ තියෙනවා.




දැන් මුහුදෙන් පොම්ප කරන වතුර ටික බයිසිකල් ඩයිනමෝ එකක හයි කරපු ෆැන් පෙත්තට අල්ලන්න ඔනේ..ඒතකොට ඔන්න ඩයින්මෝව කැරකෙන්න ගන්නවා. දැන් වැඩේ ගොඩ. හොද ඉලෙක්ට්‍රිකල් බාස් කෙනෙක් අල්ලගෙන ඩයින්මෝවෙන් එන කරන්ට් එකෙන් ගෙදර එලිය කර ගන්න ඕනේ....

දැන් අර ඩයින්මෝව කරකවලා යන , ඉතිරි වතුර ටික තීයෙනවා නේද?. ඒකත් අපතේ යවන්න නරකයි. ඒකට දානවා කෙමිකල් (ඊට අමතරව පොලෝං දල දෙකයි, නරං බික් එකයි..පාට වෙන්න දානවා වැනිලා..). එතකොට එනවා පිරිසිදු වතුර..බොන්න පුලුවන්...මාරයි නේද?

මේ සීන් එකේ තේරෙන එකේ මද ගතියක් තියෙනවා නම ඔය පින්තූරේ තියෙනවා විස්තරේ....

වචන දාහක් ලියනවට වඩා එක පින්තූරෙකුත් සමහර වෙලාවට ඇති කියනවනේ ...නේද?

ලමයිනේ මෙන්න මේවගේ පරිසරයට හානියක් කොරන්නේ නැතුව, එහෙමත් නැත්තං පෝසීල ඉන්ධන දහනය කරන්නේ නැතුව උප්පාදනය කරන ශක්තියට තමයි ' ක්ලීන් එනෙ(ර්)ජි' කියලා සිංහලෙන් කියන්නේ...


පින්තූරයි, ටෙක්නිකල් විස්තරයි ඔක්කොම තියෙන්නේ මෙතැන....

http://www.treehugger.com

Thursday 8 August 2013

එන්න යන්න රතුපස්වල....යන ගමන් කුණු කරවල රස බලමු




මම ගොඩක් කලකිරිලා. රටේ තියෙන ඔක්කොම ප්‍රශ්ණ ඔළුවෙ දා ගෙන ඒවා ගැන කල්පනා කරනවට වැඩිය තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න හැදුවත්, එහෙමවත් නිදහසක් රටේ ඇත්තේ නෑ.

ඉස්සර යුද්දෙ හින්දා මිනිස්සුන්ට ජීවීත බයක් තිබුනා...උදේ ගෙදරින් යන මනුස්සයා හැන්දෑවට ගෙදර එයිද කියල ශුවර් නැති තත්වයක් තිබ්බා. අද ඒ තත්වය නැති උනත් ඊට වඩා වෙනස් විදිහකට මිනිස්සුන්ගේ  කොන්දක් ඇතුව ජීවත් වෙන්න තියෙන නිදහස නැති වෙලා. ඉස්සර බෝම්බ හින්දා මිනිහෙක් එක පාර මැරෙනවා..දැන් වස විස හින්දා මිනිස්සු හෙමීහිට මැරෙනවා..එහෙම හෙමීට මැරෙන්න කැමති නැති පොරක්ඉන්නවා නම් කරන්න තියෙන්නේ, තව කීප දෙනෙක් අඬ ගහ ගෙන පාරට බහින එකයි. ඒතකොට එයාට ක්ෂණික මරණයක් ලබා දෙන්න, අපිව රකින්න ඉන්න , අපේ ආණ්ඩුව කාරුණිකයි...එක අතකට ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්... මේක ලංකාව..

රතුපස්වල කේස් එකත් එක්ක මිනිස්සු සාධාරණ ප්‍රශ්නෙකට උනත් පාරට බහින්න බයයි. එදා පාරට බැස්සේ වෙළද කලාපේ හරි, හලාවත ධීවර ජනතාව වගේ කිසියම්  ‍රැකියාවක්  මූලික කරගත් කට්ටියක් නෙවෙයි. අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, ලමයින් එදා ඔක්කොමලා පාරට බැස්සා. අපේ රජතුමා අපට මෙහෙම කරයි කියලා එගෝල්ලො කොහොමවත් හිතන්න නැතුව ඇති.....ඒ සිද්ධියෙන් පස්සේ මිනිස්සු ආණ්ඩුවට බයයි. ඒත් නිදහස කියන දේ ඇති වෙන්නේ ආණ්ඩුව මිනිස්සුන්ට බය උනෝත් විතරයි....ලංකාවේ මිනිස්සු වෙනුවට ඉන්නේ ගොන් ‍රැලක් හින්දා මිනිස්සුන්ට බය ආන්ඩුවක්  ලංකාවේ කවදා හැදෙයිද කියලා මට නං එච්චර විශ්වාසයක් නෑ....

රතුපස්වල කේස් එකයි ෆෝන්ටේරා කේස් එකයි ගැන , එහෙමත් නැත්නං එවගේ ප්‍රශ්ණ යටින් දිවෙන සැබෑ ප්‍රශ්ණය උන ආයතනගත නිතීය  හා ඒවා ‍‍රැකීමට තියෙන ආයතනවල කඩා වැටීම ලියන්න හිතුනත්, ලංකාවේ ඉන්න  පොරවල් වලට ඒවා වැඩක් නෑ. එගෝල්ලන්ට ඕනේ මර්වින්ලගෙ , දයාසිරිලගේ , විමල්ලගේ කුණු කරවල කථා රස කර හප හප ඉදගෙන හිනා වෙවි ඉන්න විතරයි. සමහර විට ප්‍රශ්ණ අමතකර කර ගන්න ඒකත් එක්තරා විදිහක්..ජීවන රටාවක්....

රතුපස්වල වගේ ප්‍රශ්ණයක් ආවාම ලංකාවේ විදිහ තමයි 'ඕක තමයි අපි කිව්වේ අපි හිටිය නම් ඔහොම නෑ කියලා' ලකුණු දා ගන්න එක..ඒත් ඇත්තම කාරණය නම්  කවුරු හිටියත් 'ඒක එහෙම වෙන එක යි'. මම මෙහෙම කිව්වම, පක්ශ වලට, නායකයන්ට ආදර කරනය කටිටිය මතවාද නැමැති කඩු පොලු වලින් මට කෙලින්න එන්න පුළුවන්. ඒත් මට පෙනෙන්නේ බලය නැති උනාම ඔක්කොම සුදනෝ උනාට බලය තියෙන කොට ඔක්කොමලා බල්ලෝ ගානට වැටෙන එක විතරයි.

ලංකාව ගැන හිතෙන කොට මට තියෙන්නේ චූටිම චූටි බලාපොරොත්තුවක් විතරයි. ඒ උනාට ඒක ගැනත් මගේ එච්චර විශ්වාසයක් නෑ....

ලංකාවට පම්පෝරී ගහන්න තියා විකුණ ගෙන කන්නවත් හරි හමං ස්භාවික සම්පත් නෑ...අපට ලෝකෙත් එක්ක හැප්පෙන්න තියෙන එකම සම්පත මානව සම්පත විතරයි...මං මිනිස්සුන්ට, ගොන් ‍රැලක් කියලා, කොච්චර නිග්‍රහ කලත් අපට තියෙන එකම සම්පතත් ඒක විතරමයි..සුසන්තිකාලගේ, ජයසූරීයලගේ ඉදන් රට රටවල වැඩ කරන දොස්තරවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ, ඒ වගේම කදිරගාමර්,දයාන්, තමාරා වගේ රාජ්‍ය ත්‍රාන්තිකයන්ගෙන් පෙන්නුම් කරන්නේ ඒ අපට තියෙන මානව සම්පතේ සීමා මායිනුයි...මම දන්නේ නැති, අමතක වෙච්චි නමුත් ඕනතරම් තියෙනවා..

අද දවසේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ධ වෙන්න ෆෙස්බුක්, බ්ලෝග් හා ටිවිටර් හරහා අපේ රටේ මිනිස්සුන්ට ( සීමිත ප්‍රමානයක් කියලා කියන්න ඔනේ නෑනේ..) තමනගේ මතය නිදහසේ කියන්න ඉඩ ලැබිලා තියෙනවා.. ඒක හින්දම රටේ ප්‍රධාන ජනමාධය වලට රතුපස්වල, ඇන්කර් ටැබූ මාතෘකා වන විට, සාමන්‍ය මිනිස්සු අන්තර්ජාලය හරහා තමන් ඇත්තයි කියලා හිතෙන දේ නිදහසෙ ප්‍රකාශ කරනවා...රතුපස්සර, ඇන්කර් ගැන හොදම සිංහල ලිපි මම දැක්කේ බ්ලොග් වලයි ෆෙස්බුක් එකෙයි...පත්තර වල අය එවා දන්නේ නෑ..රතුපස්වලක් තිබිලත් නෑ...ඕවා නම් මොනාද..මේක ශ්‍රි  ලංකාවනේ නේද?

මට කියන්න ඕන උනේ අපේ රටේ තියෙන ප්‍රශ්ණ විසදගන්න මේ පක්ශ දේශපාලන විසදුමක් නෙවෙයි කියන්නයි....පක්ශෙට බැදිලා , එක්කො ඒකෙ නායකයට බැදිලා, ඒවාට ආදරේ කරන මිනිහෙකුට ප්‍රශ්ණයක් දිහා සාධාරණව බලන්න බෑ...ඒ මනුස්සයට හිතෙන්නේ මේ එක සිද්ධියක් ගැන කථා කරන්න ගිහිල්ල මගේ ලොකු පක්ශේට කෙල වයි නැතන්ං නායකයට කෙල වෙයි කියලා විතරයි..කථාවට කියනවා අපි හැමදාම කලේ බෝතලේ පරණ වතුර මාරු කරලා අළුත් වතුර දාපු එක විතරයි කියලා..එහෙම කියලා ඒගෝල්ලො කියනවා වතුර මාරු කරලා හරි යන්නේ නෑ...බෝතලේම මාරු කරන්න ඕනේ කියලා....ඒත් මට තේරේන හැටියට බෝතලේම මාරු කරත් අපි අපිම තමයි....මේක ලංකාව...

පක්ෂ දේශපාලනයේ ඇති වැදගම්මක් නැති උනත් හැම පක්ශෙකම වගේ යමක් කරන්න පුලුවන්, සාධාරණව හිතන, කොන්ද් පණ තියාගෙන හරි දේට හරියි කියන්නත්, වෑරදි දේට වැරදි කියන්නත් පුලුවන් ඉතා සීමීත පිරිසක් තාමත් ඉන්නවා....පක්ශ දේශපාලනය හින්දා සමහර විට මේ මිනිස්සු වෙනුවට පාර්ලිමේන්තුවෙ පිරිලා ඉන්නේ හොර තක්කඩි ටිකක් විතරයි.හොර තක්කඩි ‍රැලක් අස්සේ මේ වගේ මිනිස්සු  කැපිලා පේන්නේ නෑ...

දැං කවුරු හරි මගෙන් අහන්න පුලුවන කවුද අප්පේ ඔය සාන්තුවරු කියලා...ඒකට මට කියන්න තියෙන්නේ ඒක තීරණය කරන්න ඕනේ ඕගෝල්ලොයි කියන එක තමයි.මට මොන මිනිහෙක් ගැනවත් චරිත සහතික දෙන්න බෑ...හැම පක්ශෙකම වගේ හොරු ටික , බොරු කාරයෝ තමයි සද්ද දාගෙන කැපිලා පේන්න ඉන්නේ...

පක්ශයක් බලයට පත් කරනවට වැඩිය කොන්ද පණ තියෙන සාධාරණය අසාධාරණය තේරේන, යමක් කමක් හිතලා මතලා කරන්න පුලුවන් පොරක්ව පාර්ලිමේන්තුවට , පලාත් සභාවට,  නගර සභාවට යවමු...තමන්ගේ පක්ශේ එහෙම එවුන් නැත්නං අනිත් පක්ශේ ඉන්න එහෙම එවුන්ව හරි යවමු....

මේ තියෙන විදිහට ලොකු සෙල්ලං දාන්න මේ වෙලාවේ අමාරුයි...මට පේන්න තියෙන සුලුම සුලු බලාපොරොත්තුව තාමත් පොඩ්ඩක් හරි ඉතුරු වෙලා ඉන්න හොද මිනිස්සු ටිකක් විතරයි....

අපට අවශ්‍ය ජනතාව ඉස්සර කර ගත්ත මාධ්‍ය ක්‍රමයක් මෙන්ම පාලන  ක්‍රමයක්...රතුපස්වල අපට යලි යලිත් මතක්  කරන්නේ අපි තාම ඒකට ගොඩක් දුරයි කියලා......දුර උනාට අපි ඒ දුර ගියේ නැතනං අපි වැඩක් නෑ.....!

Thursday 1 August 2013

නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට.......



ඔව් මචං...උඹලා කියන එක ඇත්ත...
මේ ආගම්, දර්ශන අපට වැඩක් නෑ....
ඒවා ඔක්කෝම බොරු..
කොහොමත් මචං ඔය ඔක්කෝම අවුරුදු දාස් ගණං පරණ සුරංගනා කථා...
අපි මොකටද හොද වෙන්නේ....
මොකටද බං සදාචාරයක්...
ඒ උනාට සදාචාරයක් නැතුව මානව පරිණාමනය වෙන්න බැරිලු නේ...
ඉදිරියට පැවැත්මකුත් නෑහැලු නේ...
අවුලක් නෑ මචං...සදාචාරේ අපේ ජීන්ස් වලම තියෙනවලු...
සයන්ස් වලින් මචං ඒක ඔප්පු කොරලායි තියෙන්නේ.....
අම්මපා හොද වෙලාවට මගේ ඇගේ ඔය ජීන් එක නං නෑ වගේ...
එන විදිහකට කාලා බීලා ඇදලා මැරිලා යමු මචං...
නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා...
අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව....
ඕන වැරදි වැඩක් කරපන් පුතේ....
නීතීයට අහුනොවෙන්න...ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ..
ඒවා බොරු.....
හැබැයි පු‍තෝ....නීතීයට අහු උනොත් නං උඹ පරාදයි.....
නිරාගාමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං....

පිංතූරේ ගත්තේ මෙතැනින්....
http://commonsenseatheism.com/?p=14582

Tuesday 2 July 2013

බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?



බුද්ධාගමයි, පරිසරය ප්‍රශ්ණයි කිව්වම, කෙනෙකුට ගල්තාරයි, රෝසමලයි වගේ වගේ හැගීමක් ආවොත් මම ඒකට පුදුම වෙන්නේ නෑ...

බැලූ බැල්මට ඒක ඒ වගේ උනාට ඒක එහෙමම නෑ......

ලංකාවේ ඉන්න අපට පරිසර ප්‍රශ්ණ කිව්වම ඔළුවට එන්නේ දේසපාලුවෝ ගස් කපන එකයි, නගර සභාවේ කුණු ට්‍රැක්ටරයයි උනාට , පරිසර ප්‍රශ්ණය කියලා මුළු ලෝකයම කථා කරන්නේ ඊට වඩා ගොඩක් පුළුල්, සංකිර්ණ ප්‍රශ්ණ ගොඩක්...

ඇත්තෙන්ම පරිසර ප්‍රශ්ණය ලෙස  අර්ථ කථනය කරන්නේ හුදෙක් ස්භාවිකව ඇතිවන නියඟ හෝ ගංවතුර වැනි තත්වයන් නොවෙයි... අන්තර්ජාතිකව පරිසර ප්‍රශ්ණය ලෙස  සලකනු ලබන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන,  විශේෂයෙන් පෝසීල ඉන්ධන දහනය හා කාබන් විමෝචනය නිසා ඇතිවන, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණයි. ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණ ලෙස පොදුවේ පිලි ගැනෙන්නේ මා මීට පෙර විස්තර කරන ලද කාන්තාරකරනය,ඕසෝන් වියනේ සිදුරු ඇතිවීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, මුහුදු මට්ටම් ඉහල යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, 'ඇති අය' හා 'නැති අය' අතර පරතරය වැඩීමීම යන පරිසර හා සමාජීය ප්‍රශ්ණයි.

එම නිසා මිනිසාගේ ක්‍රියාකාරකම් පොදුවේ ලෝකයට තර්ජනයක් ඇති නොවෙන පරිදි පාලනය කිරීමට විශේශයෙන් පරිසර ප්‍රශ්ණ  කලමණාකරණය සදහා, ඒ සදහා නීතී රීතී මෙන්ම , මිනිසා තුලින් බෝක්කෙන්ම එන කැපවීමක් ද අවශ්‍යයි...

මේ බොක්කෙන්ම එන කැපවීම පිලිබද කථාවේදී , මම මීට පෙර සදහන් කල ලෝකයේ  20% ක් වූ ඉතා ධනවත් හා බලවත් අයගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක්...මන්ද 80% ක් වූ කාබන් විමෝචනයේ පාලනය ඇත්තේ ඔවුන් අත නිසා.....

මෙම 20 % වූ සුලුතරයේ.... 80% ක් වූ කාබන් විමෝචනය පාලනය කිරීම සාමාන්‍ය ලෝකයේ පවතින' ඉල්ලුම හා සැපයුම' න්‍යාය හෝ ලිබරල් වාදී නොවන දරදඩු 'නීතී' මගින් පාලනය ඉතා අපහසු කාරණයක්...

80 - 20 විසමතාවය

සාමානයෙන් 'ඉල්ලුම හා සැපයුම්'  න්‍යායෙන් සිද්ධ වෙන තෙල් බැරලයේ මිල ඉහල යාම, මෙම 20% පොසීල ඉන්දන භාවිතය අඩූ කිරීමට බලපාන්නේ ඉතා සුලු වශයෙන්....මන්ද මොවුන් සතුව අධික ධනයක් (හා බලයක්)  ඇති නිසා...උදාහරනයක් විදිහට කියනව නම් ලංකාවේ උනත් ඉන්න සුපිරිම පැලැන්තියට පෙට්‍රල් 200 තියා 300ට නැග්ගත් ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට එය හේතූ නොවන්නේ එය ඔවුන්ගේ ආර්ථිකයට කිසිසේත් නොදැනෙන නිසා....

අනිත් අතින් දර දඬු නීතී මගින් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙම සංවර්ධිත ලිබරල්වාදී සාමාජයන් උඩු යටි කුරු කිරීමක්....එවන් දේකට යෑම එක අතකින් එම සමාජයන් ගොඩා නංවා ඇති පුද්ගල නිදහස් පිලිබද සංකල්ප නැවත ආපසු හැරවීමක්...

මේ වෙලාවේ තමයි මම මීට පෙර සදහන් කල  'පරිසර ප්‍රශ්ණයට' ..එහෙමත් නැත්තං බොක්කෙන් එන කැපවීම කියන කාරණයට....බෞද්ධ දර්ශණය නිශ්චිත පිලිතුරක් කථාව මට කියන්න වෙන්නේ...මෙතැනදි මම කියලා තියෙන්නේ 'බෞද්ධ දර්ශනය' මිසක් 'බෞද්ධාගම' නොවන බව උගත් මහත්තුරුන්ට මතක් කරන්න කැමතියි...ඒ මොකද කියලා කියනව නම්, බෞද්ධ දර්ශනය තුල ඇදහීමක් මෙන්ම, බලාහත්කාරකමක් ද ඇතුලත් නොවන නිසා...විශේෂයෙන් එයට අවශ්‍ය වන්නේ බලහාත්කාරකම වෙනුවට සංවාදය මෙන්ම, ඇදහීමට, කන්නලව්ව වඩා අවබෝධය යන කාරණා නිසා නිදහස් මිනිසෙකුට එය  පැහැදිලි කරලා දෙන්න ලේසීයි.

නූතන කාබන් විමෝචනයෙ ප්‍රධානම ප්‍රශ්ණයක් වෙන්නේ මිනිසාගේ අධික පරිභෝජනය යි....ලංකාවේ නම්  වේලක් බඩ ගින්නේ ඉන්න, අවුරුද්දක් එකම ඇදුම අදින, මාසේ පඩිය සතියෙන් ඉවර වෙන,  බහුතරයකට මේ අධික පරිභෝජනය කියන දේ විහිලුවක් වගේ පේන්න පුලුවන් උනත්, සංවර්ධිත රටක 'බහුතරය වූ අයගේ' ජීවන ක්‍රමය ගැන යන්තං අවබෝධයක් තියෙන අයෙක් නම් මම මේ කියන පරිභෝජනවාදය මොකක්ද කියලා අදුනනවා..

මම මේ කියන පරිභෝජනවාදය සීමා කිරීමට ..කොටින්ම ඇති කරන්න ඕනා සිතන පතන විදිහේ වෙනසකුයි...

බුද්ධ දර්ශනයේ එන 'අතහැරීම' කියන සංකල්පය මේ පරිභෝජනවාදයට විසදුමක් මෙන්ම ශක්තිමත් දාර්ශනික් උත්තරයක් කියලා මට හිතෙන්නේ මේ කාරණය නිසයි.

'අතහැරීම ' ගැන කියන කොට මතක් වෙන අනිත් කාරණය තමයි 'උපාදාන' කියන සංකල්පය..
බෞද්ධ දර්ශනයේ උපාදාන කියන්නේ විවිධාකර වූ අල්ලා ගැනිම්, ඇලීම් කීපයකට...

මින් පලමු උපාදානය....ඇස කණ නාසය දිව හම ආදී වූ අපේ පංචෛන්ද්‍රියන් සතු‍ටු කිරීමේ ආශාවට ඇති කැමැත්ත....  අධික පරිභෝජනය කියන්නේ මේ උපාදානයේ ප්‍රතිපලයක්...පැහැදිලිවම මෙම උපාදානයෙන් හා ඒය සීමා කිරීමට බුද්ධ දර්ශනය යෝජනා කරන ක්‍රියා මාර්ග මගින් අධික පරිබෝජනය කියන එක ගැන මිනිහෙක්ව දෙපාරක් හිතන්න පොලඹ්වනවයි කියලා මට හිතෙනවා..

දෙවන උපාදානය වෙන්නේ 'දිට්ඨි උපාදානය' මේක නම් විවිධා කාර වූ සංකල්ප, තියරි ආදීයට අපි දක්වන කැමැත්ත...උදාහරණයක් ලෙස මගේ බුද්ධ දර්ශණයට ඇති ආශාවත් උපාදානයක් කියලයි මට හිතෙන්නේ..අර  පාරුව කරේ තියා ගෙන යන්නැතුව ග‍ඟෙන් එගොඩ වීමට පමනක් පාරුව පාවිච්චි කරන්න කියලා කියන්නේ ඔය උපාදානෙත් නැති කර ගන්න තමා...කෙසේ උනත් මේ දිට්ඨි උපාදානය අත ඇරීම නම් වර්ථමාන ලෝකයේ බොහෝ ගැ‍ටුම් නිරාකරණය කරන්න උදව්වක් කියලයි මට හිතෙන්නේ...මොනා උනත් මේවා ගැන කියලා දෙන්න අයම මථවාද හින්දා සිවුරු කරට අරං කෙල ගන්න යෑමේ වැ‍රැද්ද මං නොපිලිගන්නා හැසීරීමක්...මථවාද වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තිය දිට්ඨි උපාදානයේ පහත්ම  තත්වයක්.



තුන්වෙනි උපාදානය වෙන්නේ ''සීලබ්බත උපාදානය'...මේ කියන්නේ අපේ විවිධාකාර පුරුදු වලට, ශීලයන්ට තියෙන කැමැත්ත...උදාහරනක් විදිහට  ආතල් එකටත් වඩා පුරුද්දට අපි කරන සමහර වැඩ ගැන මෙතැනදී කථා කරනවා...

හතර වෙනි උපාදානය නම් ' ආත්මය' ගැන අපි තුල තියෙන උපාදානයි...මේක නම් එච්චර සරල නැති නිසා මම මෙතැන කථා කරන්නේ නැති උනත් වර්තමානයේ වාස්තවික යතාර්තය, නිරීක්ශකයා හා  නිරීක්ශනයණය අතර සම්භ්න්ධතාවය  ආදිය ගැන බුද්දදර්ශනයේ කියැවීම මේකෙන් ඉගෙන ගන්න පුලුවන්...ඒ උනත් මටත් තේරෙන විදිහට බුදුහාමුදුරුවන්ගෙන් පස්සෙ නාගර්ජුන හාමුදුරුවන් මේ ඉගැන්වීම වෙනත් මානයකට ගෙනිහිල්ලා කියලත් මට  හිතෙනවා....

කෙසේ උනත් මං උත්සහ කරන්නේ වර්ථමාන ලොකෙයේ පරිසර ප්‍රශ්ණ මෙන්ම විවිධ දෘෂ්ඨිවාද වෙනුවෙන් කෙරෙන ලේ හැලීම් වලටත් බුද්ධ දර්ශනයේ එන උපාදාන පිලිබද අධ්‍යනයත් එවා අත හැරීම පිලිබද ක්‍රම වේදත් නිසි උත්තරයක් කියන එක පෙන්වලා දෙන්නයි... ඒ සදහා මම සාකච්චාවට සංවාදයට කැමති නමුත්, ප්‍රචන්ඩත්වය, අධික තණ්හාව ක්‍රේනද්‍රකරගත් ක්‍රියාමාර්ග වලට කැමති නැති බවත් කියන්න ඕනා...

ඉතින් කවුරු හරි කියනවනම් අවුරුදු 2500 ට කලින් ජීවත් වෙච්ච ගෞතමයන් උත්තර දීලා තියෙන්නේ ඒ කාලේ ප්‍රශ්න කීපයකට කියලා ඒකට මට එකඟ වෙන්න බැරි මේ නිසයි...

කොටින්ම බාහීර ලෝකය කොච්චර දියුණු උනත් මිනිස්සුන්ගේ තිබ්බ ආශාවන්, අධික පරිබෝජනය පිලිබද තිබ්බ කැමැත්තවල්, කෝලාහාල වලට තියෙන නැඹුරුතාවයන් අදත් ඒ විදිහටම තියෙනවා....ක්‍රමේ වෙනස් උනත්, තාලේ වෙනස් උනත් මිනිස්සුන්ගේ හිතන පතන විදි වෙනස් වෙලා තියෙන්නේ බොහොම සුලුවෙන්..ගෞතම බුදුන් ආමන්ත්‍රණය කරන්නේ මේ හිතන පතන  ක්‍රමයටයි...ඒකයි ඒතුමාගේ උත්තර අදටත් වලංගු නිවැරදි උත්තර කියලා මට හිතෙන්නේ......


ප: ලි

අධික පරිභෝජනයේ අවසාන තාර්කික පිලිතුර කුණු කන්දක්ද?

http://www.huffingtonpost.com/2014/03/27/everything-wrong-with-humanity-animation_n_5037496.html?utm_hp_ref=mostpopular

Friday 28 June 2013

ඇනෝනිමස් ආතල් හා ස්නෝඩෙන් ගේ ප්‍රිසමය....




නිර්ණාමිකව ලියන කියන එක ගැන සමහර පොරවල් වැරදි දකිනවා.එහෙම හිතන එකේ හරි පැත්තක් වගේම වැරදි පැත්තකුත් තියෙනවා.

තවත් අයෙකුට විරුද්ධව සනාථ නොකල චෝදනා, මඩ, ඇත්ත වගේ එලියට දාන්න ,නිර්ණාමිකව ලියන එක්කෙනාට හරි ලේසියි. ඒත් ඒකේම අනිත් පැත්ත තමයි 'තිත්ත ඇත්ත' ගෙඩි පිටින්, වදින තැනට හරියටම වදින්න ලියන්නත්,  නිර්ණාමිකත්වය උපකාර වෙනවා..

එඩ්වඩ් ස්නොඩෙන්..., මේ දවස් වල ජාත්‍යන්තර මාධ්‍යවල රස කර හපන මාතෘකාවක්. ඔහු ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අධිකාරිය (NSA) , කරන කියන  නිතී විරෝධී වැඩ එලි කලා. 'ප්‍රිස්ම්' කියන අධි තාක්ශනික ඉලෙක්ට්‍රොනික් සෙවුම් පරික්ෂණය මගින් ඇමෙරිකානුවන්ගේ විතරක් නොවෙයි අනිත් රටවල මිනිස්සුන්ගේ ටෙලිෆොන් කථාවන්, ඊමේලයන් ආදී පෞද්ගලිකත්වයට අදාල දේවලට ඇමෙරිකානු ආරක්ෂක අධිකාරිය හොට දාන හැටි ස්නෝඩන් ලුණු ඇඹුල් සහිතව එලි කලා...

ස්නෝඩන් මෝඩයෙක් නොවයි.. ඒත් ඔහු මේ හෙලි කිරීම සිදු කරන්නේ නිර්නාමිකව ඉදගෙන නෙවෙයි. ඔහු මේ හෙලිදරවු කිරීම සදහා තමාම ඉදිරිපත් වෙනවා. නමුත් මීට කලින් 'විකිලීක්ස්' එකට තොරතුරු දුන්න ඇමෙරිකානු හමූදා නිලධාරියා, බ්‍රැඩ්ලි මෑනීං ට ඇමෙරිකාව කරපු දේ දැක්ක නිසා ස්නෝඩන් මේ හෙලි දරව් කිරීමට පෙර තමන්ගේ ආරක්ශාවට  කරන්න ඕනේ වැඩ ටික ගැන හිතලා තියෙනවා.

අපේ කට්ටිය, පණිවිඩය නොව පණිවුඩකරුවාව අල්ලගෙන උගේ ඉතිහාසය,භූගෝලය හොයන්න හරි දක්ශයි. ඒ අතින් අමෙරිකාවත් අපේ කට්ටියට දෙවැනි නෑ..

ස්නෝඩෙන් නිර්ණාමිකව එන්නෙ නැතුව තමන්ම ඉදිරිපත් වී අමෙරිකාවේ වැරදි ගැන කතා කරනවා..අවශ්‍යවන්නේ ඒ වැරදි ගැන විචාරාත්මකව කථා කිරීම මිස ස්නෝඩෙන්ව අල්ලගෙන වාත කිරීම නොවෙයි. අනිත් එක මට පේන විදිහට මෙතැනදී ස්නෝඩෙන් ගේ චේතනාව යහපත්...ඔහුට අවශ්‍යවෙන්නේ ඇමෙරිකාවේ ආදි කතෘවරුන් ගරු කල සත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න..

බලං ගියාම ලොක්කොත් සොක්කොත් වැරදි කරනවා. සොක්කො වැරදි කරන කොට ලොක්කො පොරවල් වෙලා  වැ‍රැද්ද පෙන්නලා දෙනවා...ඒ විතරක් නෙවෙයි දඩුවමුත් කරනවා..ඒත් ලොක්කෝ වැරදි කරන කොට සොක්කෝ ඒවා පෙන්වන්න ගියාම වැඩ වරදිනවා. ඔය වෙලාවට තමයි අපට ඇනෝනිමස් ආතල් හොදයි කියලා හිතෙන්නේ.....


පින්තූරේ ගත්තේ මෙතැනින්...http://www.newsday.com/opinion/walt-handelsman-1.812005

Monday 10 June 2013

සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....

http://hamstertails.com/

වැස්සෙන් පස්සේ පීදෙන ලපටි තණ අතරින් සුදු පාට සමනල්ලු දාස් ගනන් මතුවෙලා එකම පැත්තකට පියාඹනවා. එගොල්ලො යන්නේ සිරීපාදෙ වදින්නයි කියලා පොඩි කාළේ අම්මලා අපට කිව්වා.පොඩි කාලේදී එහෙම ඉගෙන ගත්තට, ලොකු වෙලා බජාර් එකට බැස්සම අපි ඉගෙන ගත්තේ..... සමනල්ලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට සිරිපාදේ යන්න බෑ කියලා. කැරපොත්තන්ට තියා සමනලුනටත් සිරීපාදේ යන්න බැරි විත්තිය රෝමැන්ටික් හීන වල අතරමං වෙච්චි අයට නොතේරෙන යථාර්තයක්.ඒත් පියාඹන්න හදන සමනලයාගේ ත‍ටු ගැහිල්ල, ලෝකය වෙනස් කරනවයි කියන එක විද්‍යාත්මක තර්කනයක්.

බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ....

එඩ්වඩ් ලොරෙන්ස් යනු කාලගුණ විද්‍යාඥයෙක්. ඔහු පරිගණක ඇසුරින් නිර්මාණය කල කාලගුණ හා දේශගුණ මොඩල ( ආකෘති) මගින් කාලගුණ හා දේශගුණ තත්වය පූර්වකථනය කරන්නෙක්. දිනක් ඔහු අන් සියලු විචල්‍යන් නියතව තිබියදී එක විචල්‍යකට  0.506 ලෙස දත්තයක් ඇතුලු කරනවා. නමුත් එම විචල්‍යයේ සැබෑ අගය 0.506127 ක්.  අංක දෙක අතර වෙනස ඉතා සුළු දශම ස්ථාන කීපයක් උනත්, ඒ  අංක සදහා ලැබෙන ප්‍රතිධාන තත්වයන් දෙක ඉතා විශාල වෙනසක් ගන්නවා. එනම් ප්‍රථිපල හාත්පසින් වෙනස්... මේ ඇසුරින් ඔහු ලස්සන කථාවක් ගොඩ නගනවා.....ඔහු කියනා ආකාරයට 'බ්‍රසීලයේ ත‍ටුසලන කුඩා සමනලයෙක් නිසා ඇමෙරිකාවේ ටො(ර්)නැඩෝ කුණා‍ටුවක් ඇති විය හැකියි'.


ලොරෙන්ස් ගේ සමනලත‍ටු කථාවේ ගණිතමය නිරූපනයක්


සමනල ත‍ටු බලපෑම විස්තර කරන්න මෙච්චර දගලන්න දෙයක් නෑ....

ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
අශ්වයා වැ‍ටුනු නිසා ජනරාල් මැරෙනවා....
ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....

සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝම ජනරාල්වරු, රජවරු නෙවෙයි....ඒත් සමහර අය අර අශ්වයගේ ඇණේ ගහන සාමාන්‍ය මනුස්සය වෙන්න පුළුවන්....චූටී අදහසක්, සංකල්පයක් ඇතිවෙන්නේ නොහිතන පුද්ගලයෙක්ගේ මනසක වෙන්න පුලුවන්...තවත් කෙනෙකුට ඒක වර්ධනය කරලා, ඒක්කෝ ඒ ඇසුරින් ඊට හාත්පසින් වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරලා වෙනස් යමක් කරන්න පුලුවන්....ඒ නිර්මානය අනාගත දවසක ලෝකය , රට වෙනස් කරන සංකල්පයක් වෙන්න පුලුවන්...


සිංහල බ්ලොග් අවකාශය ගැන මට මෙච්චර පහන් සිතුවිලි ඇති උනේ..ගොඩ  කාලෙකට පස්සේ, ගිය ඉරිදා,  මම සති අන්ත සිංහල පුවත්පතක් බලපු නිසා....ඒකෙ තිබ්බ බංකොලොත්භාවය දැක්කම මට හිතුනේ සිංහල බ්ලෝග් අවකාශය සිංහල පත්තරවලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා....

සිංහල බ්ලොග් අවකාශයේ විවිධාකාර ලිපි, නිර්මාණ තියෙනවා....ඊටත් වඩා මම නම් ආතල් ගන්නේ ලිපි වල තියෙන කමෙන්ට් කියවලා...පත්තර වල මෙවැනි සජීවී , ඩයිනමික් සංවාද අඩුයි..තිබ්බත් ඇත්තේ දේශපාලන නන්දෙඩවිල්ලක් විතරයි....නැත්තං පංපෝරියක්....

මට හිතෙන විදිහට සිංහල බ්ලොග් අවකාශය තම සමනල ත‍ටු සලනවා...

එය සිංහල ජනවිඥාණය ‍රැඩිකල් වෙනසකට යොමු කෙරෙන මහා සුලිසුළඟක ඇරඹුම විය හැකියි.......

එහෙම සුළිසුලඟක් ආවොත් ඒකේ  පලවෙනි සමනල ත‍ටු පියෑඹිල්ල වෙලා තියෙන්නේ, ඉන්ට්නෙට් අඩු වියදමට අරං දුන්න අපේ රජතූමාගේ සිතුවිල්ලම තමයි....

ප:ලි:  මේ අන්තිම වාක්‍යය ටික අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද වලින් ලියලා තියෙන්නේ ඒව නිකන් හයිපොතෙටිකල් කේස් හින්දා තමයි....වෙන්නත් පුලුවන්...නොවෙන්නත් පුලුවන්....අමරාවික්ඛේපවාදයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.....


Saturday 18 May 2013

යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?: Whither Buddhism on Feminism



මෑතක් වෙනතුරුම මම නම් හිතං හිටියේ  පිරිමි කොච්චර ශක්තිමත් හා බුද්ධිමත් උනත්  ගෑණු අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ කියලා. ඕක හරියටම පැහැදිලි කරන්න නම් මට කියන්න වෙන්නේ මගේ යාලුවෙක්ගේ කියමනක්.

" The verticle mouth is powerful than horizontal mouth  "

ඉතා පිරිසිදු ශුද්ධ සිංහල වචන වලින්, වඩා ලගන්නා සුලු පරිවර්තනයක් යාළුවගේ ඉංග්‍රිසී කියමනට දෙන්න පුලුවන් උනත්, ''යෝනීය විසින් ශිෂ්ණය පාලනය කරයි' වැනි අදහසක් එන ඕනම සංකරන සංයෝජනයක්, මම මේකේ සිංහල යටි අරුත විදිහට බාර ගන්න සූදානං. ඒත් නැත්නං 'ගැහැණිය ලොව පාලනය කරයි' හෝ 'සෑම සාර්ථක මිනිහෙක් පි‍ටුපසම ගැහැණියක් ඇත' වගේ තාර බාර ඇරපු කථාවක් උනත් අවුලක් නෑ....... ගොඩක් මිනිස්සු දකින දකින හැම යෝනීයක් ඉදිරියේම දෙකට නැවෙන්නේ නැති උනත්, තමන්ට හරියන, හරියටම හරියන, යෝනිය ඉදිරියේ දනින් වැටෙන බව මම මෑතක් වෙන තුරුම විශ්වාස කලා.

මහා පරිනිබ්බාණ සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන දීර්ඝ සූත්‍රයක්.....බුද්ධ පරිනිර්වානය ආසන්නයේ ආනන්ද හාමුදුරුවන් බුදුරදුන්ගෙන් ගැහැණිය ගැන ප්‍රශ්ණ කරනවා....

" ස්වාමීනී.....ගැහැණිය සම්භන්ධයෙන් භික්ෂුවගේ පැවැත්ම කෙසේ විය යුතුද?"

" ආනන්ද, භික්ෂුව කාන්තාව දෙස නොබලා සිටිය  යුතුයි"

"ස්වාමීනී, නොබලා සිටියත් ඔවුන් ඇස ගැටීමට පුලුවන්"

"ආනන්ද එවිට ඔවුන් හා කථා නොකල යුතුයි"

"ස්වාමීනී, භික්ෂුව කාන්තාව  සමග කථා නොකලත්.....කාන්තාව භික්ෂුව කරා පැමින කථා කල හැකියි "

"ආනන්ද, භික්ෂුව සිහිනුවණින් යුතුව කාන්තාව හා කටයුතු කල යුතුයි"


ත්‍රිපිඨකයේ තිබ්බා උනත් මට නම් මේ සංවාදය ඇත්තටම සිදු උන එකක් ද කියලා සැකයක් තියෙනවා. මොනා උනත් මේ සංවාදයේ අන්තිම පිලිතුර හැරුණු විට පලවෙනි පිලිතුරු දෙක නම් බුද්ධ භාෂිතයක් වෙන්න බෑ...

උත්තර කියන්නේ තරුණයෙක්. උත්තරගේ ගුරුවරයා පාරාසාරිය. බුදුහාමුදුරුවෝ  පාරාසාරිය උගන්වන්නේ මොනවාදැයි උත්තර ගෙන් අහනවා.

උත්තර කියන විදිහට පාරාසාරිය, ඇස් වලින් නොබලා සිටීමේන්, කන් වලින් නො අසා සිටීමෙන් ඉන්ද්‍රීය දමනය උගන්වන අයෙක්.....

ඇස් නොපෙනෙන, කන් නො ඇසෙන අඳ බිහිරෙක්,  ඉන්ද්‍රීය දමනයේන් නිවන් ගිය අයෙක් නොවන්නේ ඇයි....? බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීමෙන් උත්තරට සත්‍යය තේරුම් යනවා....


"Thoughts of lust in man itself is
desire, not the beautiful things found in the external
world. Let the beautiful things be as they are. The wise
discipline their craving with regard to them.”


නොබලා, ගොළුව සිටීම ගැන මෙහෙම ප්‍රශ්ණ කරපු බුදු හාමුදුරුවන්, මහාපරිනිර්වාන සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට ගෑනු දිහා නොබලා, කථා නොකර සිටින්න එපයි කියපු එක බුද්ධභාෂිතයක් වෙන්න බැරි ඒ නිසයි.

ගෑණු බහුතරයක් ස්භාවයෙන්ම සුකොමලයි, ආරක්ශාව සොයන සුලුයි. ලිංගික එක්වීමට පලමු හදවත් අතර බැදීමකට කැමතියි.....යෝනියේ ස්භාවය මෙයයි.

එහෙත් පිරිමියා ස්භාවිකම රළුයි, ආක්‍රමණකාරියි, ලිංගික එක්වීමෙදී ඉදිරිගාමියි....ශිෂ්ණය එහි නිරූපනයයි.

පැහැදිලිවම ගැහැනිය හා පිරිමියා ස්භාවිකවම වෙනස්. නමුත් ඒ වෙනස පිරිමියෙක් හෝ ගැහැණිකයක් උසස් හෝ පහත් කරන්නේ නෑ.....ශිෂ්ණය , යෝනියටවත්...යෝනිය ශිෂ්නයටවත් යට වෙන්නේ නෑ....ඒත් ඒ දෙක බැදී පවතින්නක්... ආශාව නැමැති ‍රැහැනෙන් ශිෂ්ණය යෝනීයටත්  හෝ යෝනිය ශිෂ්ණයටත් බැද දමනවා...

චිත්ත කියන්නෙ බුදුහාමුදුරුවන් හම්බවෙන්න ආපු ගෘහපතියෙක්. ගෙවල් හිමියෙක්. ඔහු බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා...

'ස්වාමීනි.....කළු ගොනෙකුයි, සුදු ගොනෙකුයි කඹයකින් එකාට එකා බැදලා තියෙනවා. කාට හරි කියන්න පුලුවන් සුදු ගොනා තමයි කළු ගෝනාගේ බැදීම කියලා. ඒතකොට තවත් එක්කෙනෙක් කියයි.....නෑ..නෑ.... කළු ගොනා තමයි සුදු ගොනාගේ බැදීම කියලා.... ඒත් ඇත්තටම සුදු ගොනාගේ බැදීම කලු ගොනාවත් ...කළු ගොනාගේ බැදීම සුදු ගොනාවත් නෙවෙයි.....ඒතැන ඇති බන්ධනය කඹ පටයයි...."

සමහර ගම්වල දඩබ්බර හරක් ඉඩම් වලට පනිනවට  හොද හරකෙක් එක්ක කපල් කරලා තියෙනවා



මිනිස්සු ගෑනුන්ගේ  යෝනිය හමුවේ පරදින බවට මගේ පුර්ව නිගමනය වැරදි වෙන්නේ මෙන්න මේ නිසයි....මිනිස්සු, ගෑනුන්ගේ යෝනියට පරදින බව හිතං හිටිය මමත්......, කළු ගොනා බැදලා තියෙන්නේ සුදු ගෝනාටයි කියලා තර්ක කරන අයෙකුට සමානයි..මිනිස්සු යට වෙන්නේ යෝනියටවත්, ගැහැණු යට වෙන්නේ ශිෂ්ණයටවත් නොවෙයි. ගෑණු පිරිමි දෙගොල්ලොම පරදින්නේ ඒගොල්ලන්ගේම 'ආශාවටයි....'.

'ආශාව' නැමැති ‍රැහැන කපා දැමු පිරිමියා හෝ ගැහැනිය කිසිදු පිරිමියෙක් හෝ ගෑහැනියක් ඉදිරියේ පරාද නෑ...

ඇත්තෙන්ම් එවන් අයෙක් සක්විති රජෙක් නැතිනම්  ‍රැජිනක්.....සමතැන ඉල්ලන 'ස්ත්‍රීවාදය' නොදු‍ටු සත්‍යය ත් .....'පුරුශ ස්වෝත්තමවාදය' නොදන්නාඅනාත්මතාවයත් එයයි.....

P:S


Mara (Illusion):
You who are so young, so lovely
seated beneath sal tree with blossoms crowned
so aware of your loneliness.
Do you not tremble when seducers come along?

Nun :
Though men like you, seducers, 
a hundred thousand should approach,
no single hair of mine will turn 
Nor will I quake with, fear.
And so, tempter, coming all alone, 
of what effect are you?

Mara (Illusion):
I who possess super-normal powers 
can make my form disappear.
Between your eyebrows or your belly,
I could lodge and stay.

Nun :
How then, Mara, could you see me…
Know tempter, I have triumphed over you.




Wednesday 24 April 2013

දෙමලගේ පින්තූරේ ස්ටීරියෝටයිප් කර බොස්ටන් බෝම්බේ මුස්ලිම් කිරීම.




දෙමල මනුස්සයගේ පින්තූරයක්වත් විශ්වාස කරන්න එපා කියලා අපි පොඩි කාලේ කථාවක් තිබ්බා....මේක කාලෙකට ඉස්සෙල්ලා සිංහලයෝ අතර දෙමලුන් ගැන තිබ්බ පූර්ව නිගමනයක්.....ඒත් ඇත්තටම බැලුවොත් හැම දෙමල මනුස්සයම අවිස්වාස මනුස්සයෙක් නොවෙනවා වගේම හැම අවිස්වාස මනුස්සයම දෙමල මනුස්සයකුත් නෙවේ....ඕක ගණිතයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ ඒ සම්භන්ධය න්‍යායදේශ නියමයට එකඟ නෑ කියලා තමයි.

මේ වගේ සමාජේ මුල් බැස ගත්ත පුර්ව නිගමන ගොඩක් ඇතිවෙලා තියෙන්නේ හේතුවක් ඇතිව. ඒත් මිනිස්සුන්ගේ ජාතිය. ආගම, හමේ පාට, ආගම ආදී උප්පත්තියෙන් උරුම වන කාරණා මත මිනිස්සුන්ගේ හොද නරක තීරනය කරන එක වැරදි වැඩක්....ඕකට සුද්දා නම් කියන්නේ ස්ටීරියෝටයිප් (stereotype) කියලා. ස්ටීරියෝටයිප් තීරණ, අදහස්, විවිද අවස්ථාවල, විවිධ විදිහට සිදුවන වැ‍රැද්දක්.....උදාහරනයක් විදිහට හැමදාම ගොන් පඩත්තල කථා කියන මැර මර්විනයා අර හලාවත පැත්තේ කෝවිලේ සත්තු මරන්න එපා කිව්වම ඒකත් ගොන්  කථාවක් ලෙස සැලකීම ස්ටීරියෝටයිප් එර(ර්) එකක්. එහෙමත් නැත්තම් ව්‍යවසායකත්ව මත  රාජ්‍ය අංශයේ බලපෑම අවම කල යුතු යැයි කියන අන්ත ලිබරල්වාදීයෙක් වෙන රනිල් ලොක්කාගේ යූ.ඇන්.පී එක,  'වැඩිවෙන නිශ්පාදන වියදම මත විදුලි ගාස්තුව පාරිභෝගිකයා මත පැටවීම වැරදී කීම' නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස සැලකීමත් ස්ටීරියෝටයිප් වැ‍රැද්දක්....ආ...ඒතකොට අර ගෑනුන්ගේ මොලේ හැදි මිටේ දිග කියන්නේ ...කථාවේ පොඩ් ඇත්තක් තිබුනට එකත් ලිංගිකත්වය ගැන ස්ටීරියෝටයිප් එකක්

අවුරුදු දෙදාස් පන්සීයකට කලින් බුදුහාමුදුරුවොත් ස්ටීරියෝටයිප් වැ‍රැද්ද ගැන කතා කරලා තියෙනවා. මිනිහෙක් බ්‍රහ්මණයෙක් හෝ වසලයෙක් වන්නේ මිනිහෙක්ගේ උප්පත්තියෙන් නොව ඒ මිනිහගේ ක්‍රියාවෙන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආන්න ඒකයි. ඒ උනාට  එක එක සේනාවල ඉන්න උගත්, සිල්වත් හාමුදුරුවරු සාධාරණ, අසාධාරණේ බලන්නෙ නැතුව හැම මුස්ලිම් ව්‍යාපාරයකටම කෙලින්න යනවා වගේම සිවුරක් දා ගත්ත හින්දා තමනුත් බෞද්ධයි කියලා හිතන් ඉන්නවා....

ස්ටීරියෝටයිප් (stereotype) ගැන  මට නං කථා කරන්න හිතුනේ , මානවහිතවාදය ගැන අපට කුප්පි දාන ඇමෙරිකාවේ බොස්ටන්වල ඊයේ පෙරේදා පිපිරුණු බොම්බේ හින්දා. 2004  සැප්තැම්ම්බර් 11 කේස් එකෙන් පස්සේ  මුස්ලිම් පොරවල් ගැන  ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්තුලත් පොඩි ස්ටීරියෝටයිප්  එරර් එකක් තියෙනවා. ඇමෙරිකන්කාරයට හිතෙන්නෙ හැම මුස්ලිම් පොරක්ම ඇමෙරිකාවට බෝම්බ තියන්න එන පොරවල් කියලා. ඒක හින්දා තමයි ලෝකයෙන් හතරෙන් එකක්ටත් වඩා තමන්ගේ අම්මා, තාත්තට වඩා හොදින් අදුනන් ශාරුක් ඛාන් මහත්තයව ඇමෙරිකාවේ එයාර්පෝට් එකෙ ඉන්න දැන උගත් මහත්තුරු අදුනන්නෙ නැත්තේ...ඒ මහත්තයව පැය ගානක් එයාර්පොට් එකේ තියන් වාත කරයි කියලා ශාරුක් මහත්තයගේ අදෝනාවක් තියෙනවා....ඔය අදෝනාව  මයි නේම් ඉස් ඛාන් ( My Name is Khan)  චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක ගරිල්ලා මාකටිං එකක් නෙවෙයි කියලා තමයි ඒ චිත්‍රපටියේ අධ්‍යක්ශක කරන් ජොහාර් මහත්තය නම් කියන්නේ.....

බොස්ටන් බෝම්බත් එක්ක මුස්ලිම් පොරවල් ගැන ඇමෙරිකානු ස්ටීරියෝටයිප් එක හරියි කියලා කාට හරි හිතෙන්න පුලුවන්....මොකද ශ්‍රේෂ්ඨ අමෙරිකානු රහස් පරික්ශකයන් අපට කියන විදිහට බොම්බේ තියලා තියෙන්නේ චෙච්චියානු සම්භවයක් තියෙන ඒත් ඇමෙරිකානු පුරවැසියන් උන පොඩි මුස්ලිම් කොල්ලො දෙන්නෙක් හින්දා....

පල්ලෙහා දාලා තියෙන පින්තූරෙන් පෙන්වන්නේ එක එක ජන කොට්ඨාශ ගැන ඇමෙරිකානු ජන විඟානය. පින්තූරේ තියෙන්නේ සමීක්ශණයක ප්‍රතිපල.

අමෙරිකන් පොරවල් හිතන විදිහට මුස්ලිම් පොරවල් කලහකාරී අවිශ්වාස අය....ඒක නෙමෙයි ඒ ගොල්ලෝ ඒසියන්සලා ගැන හිතන විදහ බල්නකෝ...


මොනා උනත් මට නං ඔය ඇමෙරිකානු ස්ටිරියෝටයිපින් එකට එකග වෙන්න බෑ...ඒ ස්ටීරියෝටයිප් නිගමන හොද නෑ කියලා තියෙන බුද්ධවචනෙට විරුද්ධ වෙන්න බැරි මගේ තියෙන ගෝත්‍රික විඟානය හින්දා. නැත්තං මටත් හිතෙනවා ඔය එක එක දේවල්.....ඒ උනාට කාලාම සූත්‍රයෙත් අර ගුරුවරයා කිව්ව පමනින් විශ්වාස කරන්න එපා කියලා තීයෙන එකට වෙනම විග්‍රහයක් හදං ඉන්න හින්දා මං හිතං ඉන්නේ ස්ටීරියෝටයිප් චින්තනය හොද නෑ කියලා......

ඒ උනාට ශ්‍රේෂ්ඨ ඇමෙරිකන්වරුන්ට ඕක වෙන විදිහකට හිතෙන්න පුලුවන්. ඒගොල්ලෝ හිතුවොත් එක එක මුස්ලිම්කාරයගේ පැටිකිරිය හොයනවට වඩා ඔක්කොම එක රොත්තට තොලොංචි කරන එක, ශ්‍රේෂ්ඨ අමෙරිකන් පුරවැසියන්ගේ බදු සල්ලි ඉතුරු කිරීමක් හා අමෙරිකන් පුරවැසියන්ගේ ආරක්ශාවට හොදයි කියලා ඒක එහෙම තමයි..ඒක තමයි හරි වෙන්නේ....මොකද අබුද්දස්ස කාලේ හරි දේ වෙන්නේ ශක්තිය මිසක් යුක්තිය නොවෙන හින්දා.......

ප.ලි:

1.) මොනා උනත් මොන ස්ටිරියෝටයිපින් එක තිබ්බත් මං හිතන්නේ නෑ ඇමෙරිකන්කාරයෝ කවදාවත් පාරට බැහලා මුස්ලිම් කඩ ගිනි තිය තිය පල්ලි කුඩු කර කර ඇවිදියි කියලා.ඒ උනාට ලොක්කෝ ටික එකතුවෙලා කල්පනා කරලා කල්පනා කරලා මාස්ටර් ගේමක් ගහයි.

2.) ඊයේ පෙරේදා තිව්ව සයිබර් සැණකෙල්යට ආව.........ම්ම්ම්... නෑ එක්කෝ  ඕනේ නෑ......

Monday 25 March 2013

අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය



කොටි ත්‍රස්ත්‍රවාදය ඉදන් පාන්පිටි ත්‍රස්ත්‍රවාදය දක්වා එක එක කතන්දර අහලා තියෙන අපිට  පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා එකක් අහලා තියෙනවද කියලා මට එච්චර මතකයක් නෑ...ඒත් ටවුමේ සාප්පුවෙන් ලාභෙට ගෙනල්ලා  පාවිච්චි කරන ලද සකන්ඩ් හෑන්ඩ් කොම්පීතරයේ, ෆෝන් එකේ ඉදන් ඇලේ දොලේ වතුර ටික සල්ලි කරන්න දගලන ලොකු ලොක්කන්ගේ උවමනාව දක්වා තියෙන්නේ පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා මට වෙලාවකට  හිතෙනවා...

පරිසරය කියන්නේ බාලාංශේ ඉදන් ලංකාවේ ඉස්කෝලේ වල උගන්වන සබ්ජෙක්ට් එකක්. ඔය විශය මං පොඩිකාලේ කොහොත්ම කැමැත්තක් තිබ්බේ නැති එකක්. ටිකක් ලොකු වෙන කොට විදුසර වගේ පත්තර වලින් පරිසර ප්‍රශ්ණ ගැන ටිකක් ඉගෙන ගත්තා උනත් පහුකාලේදී ඔය සම්භන්දව මගේ උනන්දුවක් තිබ්බේ නැති තරම්. කොටින්ම කැම්පස් එකේදී සබ්ජෙක්ට්  එකක් වශයෙන් පරිසර විද්‍යාව ‍තෝරා ගන්න අවස්ථාව ලැබුනත් , අකමැත්ත හින්දම මම ඒක අත ඇරලා දැම්මා. ටෙක්නිකල් අංශයේ මොලය පුරුදු පුහුණු කරපු කෙනෙකුට පරිසර විද්‍යාව මහා බෝරින් සබ්ජෙකට් එකක්...

මේ අදහස මගෙන් ඈත් වෙලා යන්නේ ඊට සෑහෙන කාලයක් ගියාට පස්සේ..ඒ අහම්භයක් නිසා මම පරිසර ප්‍රශ්ණ පිලිබද  හැදෑරීමකට යොමු උනාට පස්සේ. මේක වැඩිදුර ඉගෙන ගන්න කොට මට හිතුනු දෙයක් තමයි පරිසර ප්‍රශ්ණ අතිශය දේශපාලනිකයි කියලා. ඇත්තෙන්ම මේක ඇතුලේ තිබ්බ දේශපාලනය හින්දා මේ සම්භන්ද වැඩි දුර කරුණු හදාරන්න යොමු උනා කිව්වොත් වඩා හරි.

පරිසර දේශපාලනයේ විවිධ මානයන් තියෙනවා. මගේ අදහසේ හැටියට ඉන් ප්‍රධානතම වන්නේ ස්භාවික සම්පත් බෙදා ගෑනීම හා වැඩි කොටස ඩැහැ ගැනීමේ ප්‍රශ්ණයයි. මේක අද ඊයේ පටන්ගත්ත ප්‍රශ්ණයක් නොවුනත්, ඉස්සර අමු අමුවේ මිනිස්සු මරාගෙන යුද්ධ වලින් විසද ගත්ත මේ ප්‍රශ්ණය අද ඉතා රාජත්‍රාන්ත්‍රික විදිහට, ඒත් අර ඉස්සර තිබ්බ කෘරත්වයට වඩා බිහිසුනු ලෙස විසද ගන්නවා. ඕක ඔය මට්ටමෙන් විසදා ගන්න බැරි උනාම ,රෙජිම වෙනසක් හරි නැත්නම් අර පරණ විදිහට යුද්ධයකින් හරි විසදා ගන්න තැනකට යනවා. මේ ගැන වඩා හොදට භාගයක් ඇත්ත භාගයක් ගොතපු ජෝන් පර්කසන්ගේ 'ද කන්ෆෙශන් ඔෆ් ඇන් ඉකොනොමික් හිට්මෑන්' පොතේ විස්තර වෙන බව ගොඩක් අය දන්න දෙයක්. 

පහුගිය කාලේ තිබ්බ අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, සිරියාවට ඇවිල්ලා ඒකම සෞදි අරාබියට නො එන්නේ අර කිව්ව රාජත්‍රාන්ත්‍රික විදිහට අරාබි රජ්ජුරුවෝ මුල ඉදන්ම ප්‍රශ්ණය විසදගන්න වැඩ කරලා තිබ්බ හින්දයි. සමූල ඝාතක අවි තියෙනවයි කියලා ආක්‍රමණය කරපු ඉරාකේ ඇත්ත ප්‍රශ්ණය ලොකේ වැඩිම ලාභදායි තෙල් නිධි බව තේරුම් ගන්න ඒච්චර අමාරු දෙයක් නෙවෙයි. සමූල ඝාතක අවි තියා සදාම් ලොක්කව බේර ගන්නවත් ඉරාකෙට ආයුධ තිබ්බේ නැති බව දැන් ඉතිහාසෙට අයිති කථාවක් විතරයි. පලස්තීන යුදෙව් ගැ‍ටුම ගැන මං ටික කාලෙකට කලින් ලියපු මෙන්න මේ ලිපියත් ස්භාවික සම්පත් බෙදා ගැනීම සම්භන්ද විශම චක්‍රය ගැන ලියපු ලිපියක්.

ස්භාවික සම්පත් අත්කර ගැනිමේ ක්‍රමවේදයන්  කාලයක් තිස්සේ හොදට අත්හදා බලා මේ වෙන කොට කවුරුත් දන්න දේ බවට පත් වී හමාරයි. එහෙත් අත්කරගත් ස්භාවික සම්පත් පාචිච්චි කරන කොට ඇතිවෙන ද්විතීක ප්‍රශ්ණ ගැන අවබෝධය ඊට වඩා අඩුයි. අවශේෂ ලෝකයා මේ ගැන ගොඩක් උනන්දු උනත් ලංකාව ඇතුලෙ නම් මේ ගැන ප්‍රමානවත් සංවාදයක් නැති තරම්.

අත්පත් කර ගත් ස්භාවික සම්පත් ඵල ප්‍රයෝජනයට ගන්න කොට ඇතිවෙන පරිසර දූශණය , පරිසර දේශපාලනයේ මම දකින දෙවන මානයයි.


මේක පැහැදිලි කරන්න ගොඩක් දෙනා දන්න 80-20 තියරිය මම යොදා ගන්නවා. දල වශයෙන් ගත්තොත් ලෝකයේ ඇති ස්භාවික සම්පත් වලින් 80% පමන පාවිච්චි කරන්නේ දියුණු රටවල ජනතාවයි. බිලියන 7.1 උන සමස්ථ ලෝක ජනතාවගෙන් දියුණු රටවල ජීවත්වෙන ජනගහනය දල වශයෙන් 20% පමන වෙනවා. ඉතිරි 80% පමණ වූ බහුතරය ජීවත් වන්නේ දිලිදු හෝ දියුණු වෙමින් පවතින රටවල. ඒ අනුව 20% පමන උන ධනවත්, දියුණු ඇත්තො 80%ක ස්භාවික සමිපත් කොටසක් පාවිච්චි කරමින් පරිසර දූශණයට , නැතිනම් ලෝක කාබන් විමෝචනයේන් 80% ට වග කියනවා. මේ රටවල පුද්ගලයන්ගේ ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්තොත් දළ වශයෙන් දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයන් 20-100 ට ගේ එකතුවට සමාන වෙනවා.

පරිසර දූශණය පිලිබද ප්‍රශ්ණයට දේශපාලනය සම්භන්ධ වෙන්නේ උඩින් පැහැදිලි කරපු 80-20 සමතුලිතතාවය ‍රැක ගැනීමට දරන උත්සහයේදී. මම මගේ මීට කලින් 'ගෝලීය උශ්ණත්වය හා පරිසර වෙනස් වීම' පිලිබද ලිපියේදී පෙන්වා දුන්න විදිහට අපට හිතුමතේ අනවශ්‍ය විදිහට ගල් අගුරු, ඩීසල් පැට්‍රල් දහනය කරමින් වායුගෝලයට කාබන් එකතු කරන්න බෑ. ඒ එහෙම උනොත් ගෝලීය  උශ්ණත්වය පාලනය කර ගත නොහැකි විදිහට ඉහල යාමට ඉඩ තියෙන හින්දා. ගෝලීය උශ්ණවය ඉහල යෑම සමස්ථ මානව ශිෂ්ඨාචාරයටම තමන්ගෙ පැවැත්ම පිලිබද ප්‍රශ්ණයක්.

එතකොට දැන් ප්‍රශ්ණය වෙන්නේ කාටද පරිසරයට කාබන් එකතු කරන්න වැඩිම අයිතිය හම්බ වෙන්නේ කියන එකයි.

දියුණු රටක ඉන්න පවුලක, ගෙදරක  තාත්තටයි අම්මමටයි වැඩට යන්න වෙන වෙනම කාර් තියාගෙන කරදඩු උස් මහත් වෙච්ච ලොකු පුතාට පාට් ටයිම් ජොබ් එක කර ගන්නත් ගෙදර කාර් එකක් තියා ගෙන ඉන්න පුලුවන්. ඒතකොට රස්නේ උනාම ඒසී දාගෙන හීත කාලෙදි හිට්ර් දාගෙන ඉන්න එකෙත් වරදක් නෑ.

හැබැයි ඒක එහෙම උනාට වීනෙයි ඉන්දියාවෙයි ඉන්න බිලියන් ගානක දුප්පත්  පොරවල් කකුල් දෙකට වීරීය දාලා පදින සයිකල් කට්ට වෙනුවට මොටර් සයිකලයක් ගන්න එක ප්‍රශ්ණයක් වෙනවා.  මොකද ඒතකොට තෙල් බැරල් එකට තරගේ වැඩි වෙනවා වගේම පුච්චපු තෙල් වලින් වායුගෝලයය්ට එකතු කරන කාබන් ප්‍රමානයත් වැඩි වෙන හින්දා... ඒ වගේම චීනෙ, ඉන්දියාවෙ, වේල් දෙකක් කාපු අය වේල් තුනක් කන්න ගත්තොත් දියුණු රටවල සුපර් මාර්කට් වල කෑම ගනන් ඉහල යන බවත් පහුගිය කාලේ අත්දැකපු දේවල්..

සීමිත සම්පත් වලින් අසීමිත පිරිසකගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ වගේම අසීමිත පිරිසක් සුලුවෙන් නමුත් කරන කාබන් විමෝචනයටත් ඉඩ තියෙන්න බෑ...ඇත්තෙනම් කිවහොත් කාර්මික යුගයේදී , යුරෝපය විසින් වායුගෝලයට නිදහස් කරන්න පුලුවන් උපරිම කාබන් ප්‍රමානය නිකුත් කර අවසන්...දැන් චීනයටත් , ඉන්දියාවටත්, බ්‍රසීලයටත් ඒ ගොල්ලන්ට ඕනා විදිහට කාබන් නිකුත් කරන්න දෙන්න බෑ...

අකාබනික ශක්ති ප්‍රභවයක් හොයා ගන්න කන් , මේ ප්‍රශ්නෙට තියෙන හොදම විසදුම අර දියුණු වෙමින් පවතින රටවල මිනිස් ඔලු ගාන,  ඔවුන් පාවිච්චි කරන සභාවික සම්පත් පාලනය කරන එක තමයි. මේක කරන්න තමයි දේශපාලනය ඕනේ වෙන්නේ...ගැ‍ටුම්, දරිද්‍රතාවය මේකට යොදා ගන්නා උපකරනයි.

පරිසර දේශපාලනයේ තුන් වෙනි මානය කුණුකන්දල් ටික සුද්ධ කර ගැනීමේ ප්‍රශ්ණයයි. න්‍යශීටික බලය ජනනය කිරීමේදී එකතුවෙන විකිරණශීලි අපද්‍රවය වල ඉදන් දියුණු රටව්ල ජනයා අවුරුද්දෙන් අවුරුද්දට කුණුකූඩෙට  විසි කරලා දාන පරණ ෆෝන් එක දක්වා දීර්ඝ පරාසයක මේ ප්‍රශ්ණය විහිදිලා තියෙනවා.

දැනටමත් මේ ලිපිය මාගලක් වගේ ලියලා තියෙන හින්න කුණු ප්‍රශ්නය ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට ඉඩ තියා ගන්නවා.



ප :ලි :

මේ ලියලා තියෙන්නේ මේ බ්ලොගයේ 50 වෙනි ලිපියයි. මේක  අරවින්දලාගේ ජයසූරියලගේ හාෆ් සෙන්චරියක් වගේ නොව හෂාන්ගේ වගේ සෑහෙන තටමලා දාපු හාෆ් සෙන්චරියක්. බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 50 දාන්න අවුරුදු තුනක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි මට පොඩි ආතල් එකක් එනවා.  කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි  තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ හාෆ් සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)

බ්ලොග් වලින් සමාජ වෙනස් කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ කියලා කීප දෙනෙක් ලියලා තියෙනවා මං කීප තැනක දැකලා තියෙනවා...සමාජෙ ගැන කියන්න යන්නේ නැති උනත් මං සම්භන්දයෙන් නම් කියන්න තියෙන්නේ බ්ලොග් හින්දා මං නම් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි...ඒක මයිලේඩි කියනවා වගේ ආපු වෙලාවේ ඉදං කෝම්පීටරේ බදා ගෙන ඉන්නවා වගේ චර්‍ය්‍යාමය වෙනසක ට වඩා ආකල්පමය වෙනසක්...ඒ හින්දා බ්ලොග් ලියන හැමෝටමත් ස්තූතියි........

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්,  බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....


Wednesday 13 March 2013

චාවේස්ගේ අම්මට හරාම් කිරීම හා ලොක්කව හලාල් කිරීම



වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවෙස්..

හියුගෝ චාවෙස් උන්නැහැ සදහටම ඇස් පියාගෙන වැඩි දවසක් නෑ....ලෝකයේ පොලිස්කාරයා උන ඇමෙරිකාවට කිට්‍ටුවෙන් ඉදගෙන ඇමෙරිකාවට සද්දෙ දාපු හින්දා චාවෙස් උන්දැව සමහර අයට වීරයෙක්....ඒ හින්ද ද කොහෙදෝ ඉස්සර චේ ගේ පච්චෙට තිබ්බ ඉල්ලුම මේ දවස් වල චාවෙස් උන්දැට ගොහින් කියලත් කියනවා...ඇමෙරිකාවට බැණ බැණ ඇමෙරිකාවටම තමන්ගෙ තෙල් ටික විකුනපු චා වෙස් උන්දැව මට නම් පේන්නේ හොද ප්‍රායෝගික මිනිහෙක් විදිහට. තෙල් ටික තිබ්බ හින්දා ඇමෙරිකාවත් චාවෙස් උන්දැගේ පුස් පාට් දත කට පූට්‍ටු කරං ඉවසගෙන හිටියට ...මෑන්ස් කරපු දේවල් අපේ අය ඒ විදිහට කරන්න ගියෝත් නම් ඇණ ගන්නවා බඩු සුවර්.....

චාවෙස් ගොයියගේ හොදම යාළුවෙක් තමයි ඉරාණයේ අහමෙන්දිජෑඩ් ගොයියා. මිනිහත් ගැහිලි බැහිලි නැති අවංක මනුස්සයා..ඒත් ඇමෙරිකාවට දාන චන්ඩි පාට් ගත්තම නම් ඉතින්  දෙන්නම අයියයි මල්ලියි වගේ තමයි... සතුරගේ සතුරා තමන්ගේ මිතුරා කියලා සෙට් වෙච්ච හොද ගජයෝ දෙන්නෙක් තමයි මේ ගොයියෝ ඩබල....


ඒච්චර ‍ෆිට් එකේ හිටපු තමන්ගේ යාළුවගේ මල ගෙදරට අහමෙන්දීජෑඩ් ආවේ බොක්කෙන්ම තමයි. කදුලු පුරෝගෙන මල ගෙදරට ආපු අහමෙන්දිජෑඩ් හදවතින්ම මරණේ ගැන කණගා‍ටු උනා. කණගා‍ටු උනා විතරක් නෙවෙයි චාවෙස් ගොයියාගේ  අම්මවත් බදාගෙන ඇඩුවා. බදාගත්තේ චාවෙස් ගොයියගේ අම්ම මිසක් ගෑණි නෙවෙයි... ඒ උනාට ඉරාණේ ඉන්න කොන ඉරා ගත්ත පොරවල් මේකට සැහෙන්න කලබල වෙලා... අහමෙන්දිජෑඩ් ලොක්කා චාවෙස්ගේ අම්මට හරාම් කරයි කියලයි චෝදනාව. ඔච්චර සෙනඟ ගොඩක් මැද්දේ, ඒච්චර සූටි කාලෙකදී, බදා ගත්ත ඇරෙන්න වෙන ලොකු වැඩක් මේ වගේ අහිංසකයෙක් කලා කියලා හිතන්න මට නම කොහොමත් අමාරුයි.....පවු අසරණයා....




අහමෙන්දිජෑඩ් ගොයියා චාවෙස්ගේ මෑණියන්ට හරාම් කිරීම


මේ  ගොල්ලෝ කියන විදිහට මුස්ලිම් පොරක් වෙච්ච අහමෙන්දිජෑඩ් ට තමන්ගේ  ගෑණි, දරුවෝ හැර වෙනත් ගෑණියෙක්ගේ යන්තන් නිකන් ගෑවෙන්නවත් තහනම් ලු. ඒ කියන්නේ හරාම් ලු..හැබැයි දියේ ගිලෙන්න යන ගෑණියෙක් හරි, බේතක් දෙන්න යන වෙලාවට හරි නම් ඒවගේ දෙයක් උනාට කමක් නෑලු..ඒත් මේක හරාම් ලු. ඒත් මං නං කියන්නේ දුක නැමැති සාගරයේ ගිලෙමින් සිටි චාවේස් මෑණියන්වයි අපේ අහමෙන්දිජෑඩ් ගොයියා ගිහින් තුරුලු කොර ගත්තේ කියලා...ඒකත් එක්තරා විදිහක ගිලෙන්නයන ජීවිතයක් බේරුවා වගේ තමයි...   ඒක හින්දා එක හරාම් වෙන්න බෑ.....

අනෙත් එක ගෑණියෙක්ගේ ඇගේ ගැවෙන එක හරාම් නම් පිරිමියෙක්ගේ ඇගේ ගෑවෙන එකත් හරාම් වෙන්න ඕනේ...මොකද ඔය ලිංගික හැහීම් පහල වෙන්නේ එක එක අයට එක එක විදිහට නොවෑ..



ඕක හොදටම පැහැදිලි කොර ගන්න තිබ්බා හොද කොලුකාරයෙක්ගෙන් ඇහුව නම්..අර මාතලං ගොයියා ලියපු සීනූ කථාව මතකයිනේ...අනිත් එක මේක අහමෙන්දිජෑඩ් ගොයියට ගොඩ යන්න හොද තර්කයක්...මේ තර්කේ දාලා  මේ මොහොතේ මංගල මහත්තයා හරි රනිල් මහත්තයා හරි අන්තර්ජාතික ප්‍රකාශයක් නිකුත් කලා නම්...අන්න වටින දේවල්.....අර අසරණ අහමෙන්දිජෑඩ් ගොයියත් ගොඩ යනවා.....හාල් වෙලා ඉන්න මංගල ලොක්කයි රනිල් ලොක්කයිත් අන්තර්ජාතිකව ප්‍රසිද්ධත් වෙනවා.....ඊලග මැතිවරණෙට ඇමෙරිකාවේ හරි යුරෝපේ  හරි කොලු සංවිධාන උනත් ඒතුමනලට බැහලා වැඩ කරයි..ගේ අයිතිවාසිකම් ගැන කථා කොලාට....

තව පොඩි දෙයක් තියෙනවා...අහමෙන්දිජෑඩ් ගොයියා අපේ ලොක්කවත් තුරුලු කරන් තියෙනවා...



මුස්ලිම් සහෝදරයන්ට මේක හලාල් උනාට අපට නම් මේක හරාම් වෙලයි තියෙන්නේ......මේ දවස්වල අපේ අයට  අමෙරිකාව ජීනීවා වලදි අම්බානකට නෙලනවා.....ඔය වෙලාවට තමයි  ඇමෙරිකාවට අපට කියන්න වෙන්නේ සතුරගේ මිතුරා සතුරා නෙමෙයි...අපි හොද ලමයි කියලා....

Tuesday 5 March 2013

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....


මචං පොඩි කේස් එකක් තියෙනවා ....අපි පොඩ්ඩක් ඒක ගැන කථා කරමුද? මේක මේ ගෝලීය උණුසුම කියලා සීන් එකක්.....


'ගෝලීය උණුසුම'... මොකක්ද ඕයි මේ.....?

'ගෝලීය උණුසුම ඉහල යාම' ( Global Warming) ලෙස සාමාන්‍යයෙන් විස්තර කරන්නේ පෘතුවි මතුපිට  උෂ්ණත්වය අංශක කීපයකින් ඉහල යෑමටය. සාමාන්‍යයෙන් පෘතුවි මතුපිට උෂ්ණත්වය වසර බිලියන් 4.5 පමණ වූ එහි  ඉතිහාසය හා සසදන කල කවදාවත් නියතව තිබී නැත.

වසර බිලියන් 4.5 වූ පෘතුවියේ වයස හා සසදන කල, මානව ඉතිහාසය වසර ලක්ශ 2 ට වඩා ඉපැරණි නොවේ.මෙයිනුත් ශිෂ්ඨාරගත ඉතිහාසය අවුරුදු 8000ට වඩා ඉපැරණි නොවේ.මේ කාල සීමාව තුල ගෝලිය උෂ්ණත්වයේ සැලකිය යුතු විචලනයක් අපේක්ෂා නොකරයි. නමුත් කාර්මික යුගයේ සිට බහුලව සිදු කරනු ලැබු 'පොසීල ඉන්ධන' දහනයත් සමග වායුගෝලයට නිකුත් කෙරුනු කාබන්ඩයොක්සයිඩ් වායුව හේතු කර ගෙන ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-4 අතර ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි කියැවේ. ' ගෝලීය උණුසුම ඉහල යාම' ලෙස වර්ථමානයේ ඉතා පුලුල් ලෙස සාකාච්චාවට ගැනෙන්නේ මේ සංසිද්ධිය ය.

පොඩ්ඩක් රස්නේ දැනුනම් මොකද ඉතින්..ඒච්චර දගලන්න දෙයක් නෑනේ මචං....?

ගෝලීය උණුසුම හුදෙක් අප වටා ඇති පරිසරය උණුසූම් වීම නිසා දැනෙන අපහසුවක් ලෙස ලඝු කර නොසැලකිය යුතුය. එය ඊට වඩා ඉහල, වඩා සංකීර්ණ වූ තවත් ප්‍රශ්ණ ගණනාවක මූලාරම්භය ය. උදාහරණයක් ලෙස ගෝලීය උෂ්ණත්වයේ සිදුවන අංශක කීපයක වෙනසක් නිසා උවද, ලෝකය පුරා වර්ශාපතන රටාවන් වෙනස් වීමට,  සුළං රටා වෙනස් වීමට, මුහුදු රල රටා වෙනස් වීමට, අයිස් කදු දිය වී මුහුදු මට්ටම් ඉහල යාමට හේතූ වේ.

උදාහරණයක් ලෙස වසර කීපයකට පෙර ඉතා ජනප්‍රිය වූ 'The Day After Tomorrow' චිත්‍රපටියෙන් පෙන්නුම් කලේ ගෝලීය උණුසුම ඉහල යාම නිසා සාගර රල රටාවක් වෙනස් වී උතුරු අර්ධගෝලය ක්ශණිකව අයිස් යුගයකට පත් වී මානව ශිෂ්ඨාචාරය අනතුරකට ලක් වීමේ කථා පුවතකුයි. උතුරු ආත්ලාන්තික් දෝලනය ( North Atlantic Oscillation)  ලෙස හදුන්වන, වර්තමානයේ පවා විද්‍යාත්මකව අදුනා ගත් සාගර රල රටාවක්, ගෝලීය උණුසුම නිසා නතර වී, එමගින් උතුරු අර්ධගෝලය අයිස් යූගයකට යෑම චිත්‍රපටියේ ඉදිරිපත් කරයි.



ගෝලීය උණුසුම හා බැදුනු තවත් ඉතා ජනප්‍රිය කතිකාවක් වන්නේ මුහුදු මට්ටමේ සිදුවන ඉහල යාමයි. ආක්ටික්, ඇන්ටාර්ටික්, හිමාල ආදී ග්ලැසියර, හිම කදු දියවීම නිසා මුහුදට එක් වෙන අතිවිශාල ජල පරිමාවත් සමග මුහුදු මට්ටමේ ඉහල යෑමක් අපේක්ශා කරන අතර මාලදිවයින , ලංකාව බදු දූපත් රටවල් මෙමගින් විශාල අනතුරකට ලක් වීමට ඉඩ ඇතයි පැවසේ.





හරි බං ඔය ඕක පොඩ්ඩක් රත්වෙන්න පටන් අරං ඊට පස්සේ ඕක හරි යයි...ඒච්චර කලබල වෙන්න එපා.....

ගෝලීය උණුසුම් වීමට පටන් ගැනීමේ මූලීකම අවදානම එය පටන් ගත්හොත් එය ක්‍රමක්‍රමයෙන් වැඩි වීමයි. මේවා ෆීඩ් බැක් (Feedback)  ලෙස හදුන්වයි.

උදාහරණයක් ලෙස හිම කදු ග්ලැසියර් මගින්, පොලොවට පතිත වන හිරු කිරණ වලින් සැලකිය යුතු ප්‍රමානයක් නැවත පරාවර්තනය කරනු ලබයි. එම නිසා පොලොවේ රත් වීම ලෝකයේ ඇති ග්ලැසියර මගින් අඩු අගයක පවත්වා ගනියි. නමුත් වර්තමානයේ අත් විදින හිම කදු දිය වී යෑම නිසා මෙම ක්‍රියාවලිය අඩාල වී වැඩි තාප ප්‍රමාණයක් පොලොවේ තබා ගැනීමට හේතූ වේ.එමගින් පෘතුවිය තව තවත් රත් කරනු ලබයි.




තවත් මෙවන් උදාහරණයක් වන්නේ වායුගෝලයේ ඇති ජලවාෂ්ප ප්‍රමානයයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා සාගර හා අනිකුත් ජලතඨාක මගින් වැඩි ජල පරිමාවක් ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක් කරයි. වායුගෝලයේ ඇති ජල වාශ්ප ද, කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්ම පොලොව රත් කිරීමට උදව් දෙයි. එම නිසා උණුසුම තව තවත් වැඩි වේ.


හරි හරි දැන් ඔය කේස් එක හින්දා ලංකාවේ අපට මොකක්ද වෙන්නේ...?

ගෝලීය උණුසුම ඉහල යෑම නිසා වර්තමානයේ අපට දැනෙන විශාලතම වෙනස නම් වර්ෂාපතන හා සෘතු රටා වෙනස් වීමයි. ලංකාවේදී අපට වර්තමානයේ නිතර නිතර අත්වීදීමට ලැබෙන අධික වර්ෂාපතනයන් හා ගංවතුර, අධික නියඟ කාලයන්  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා අපට අත්විදීමට ලැබෙන ආසන්නතම උදාහරණය. පිටරටවලදී නම් දිර්ඝ ශීත කාල, අධික උණුසුම් කාල සිමා ගෝලීය උණුසුමේ අතුරු ඵලයන් ලෙස වර්තමානයේ අත් විදී.

සුලි සුලං ඇතිවන වාර ගණන වැඩි වීම, එම සුලිසුලං වල සැඩපරුශ බාවය වැඩි වීමද ගෝලීය උණුසුම වැඩි වීමත් සමග ඉහල යනු ඇතැයි අපේක්ශා කෙරේ.



කොටින්ම කිවහොත් ගෝලීය උණුසුම ඉහල යෑම නිසා සිදු වී ඇති වඩාත්ම ඇඟට දැනෙන දේ නම් ස්භාවික විපත් ඉහල යාමයි.

ස්භාවික විපත් ඉහල යෑම නිසා සිදුවන ඊලග වැදගත්ම කාරණය නම් ආර්ථික  හා සමාජ හානියයි. උදාහරනයක් ලෙස අධික  ජල ගැලීම් නිසා කෘෂිකාර්මාන්තයට වෙන හානිය හා ජනතාව අවතැන් වීම අද ඉතා සුලභ හා සාමාන්‍ය සිදූවීමක් බාවට පත් වී ඇත.

මේ නිසා ලංකාවේ ආර්ථිකයට වන බලපෑම ඉතා ඉහලය.  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකයට වන බලපෑම 25% වඩා අධික  බව සාමාන්‍ය මතයයි...




හරි මචං කේස් එක ජෙනුයින්...දැන් කාවද ඕකට අල්ලගන්නේ.....ගේම ඉල්ලන්න ඕනේ කාගෙන්ද?

ගෝලීය උණුසුම වැඩි වීමට ප්‍රධාන ලෙසම හේතූ වන්නේ  පෝසීල ඉන්ධන එනම්  ඩීසල්, පැට්‍රල්, ගල් අගුරු ආදී කාබන් අඩංගු ඉන්ධන දහනයයි. ඒ අරුතින් ගත් කල  වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීමට අප සියල්ලම දායක වෙයි.

කෙසේ නමුත් කාර්මික විප්ලවය අවධියේ යුරෝපයේ කාර්මික රටවල් වායුගෝලයට නිදහස් කරන ලද අති වීශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමාන ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියේ ආරම්භයයි. එසේම වර්තමානයේ ශ්‍රීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව හා චීනය අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලය වෙත නිදහස් කරමින් පවතී.

කෙසේ නමුත් වර්තමාන ලෝකයේ  වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.

ලෝකය දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ලෙස බෙදා දක්වතොත් , වර්තමාන්යේ ලෝකයේ ස්භාවික සම්පත් වලින් 80% ක් පරිහරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 20% ක් වූ දියුණු රටවල ජනතාවය. ඉතිරි 80% වූ දියුණු වෙමින් පවතින රටවල දුප්පත් ජනතාව පරිහරණය කරන්නේ ලෝකයේ ඇති 20% පමණ වූ ස්භාවික සම්පත්ය.

ඒ නයින් බලන කල 20% ක් වූ පොහොසත් රටවල් ලෝක කාබන් දහනයට 80% දායක වන අතර ඔවුන්ගේ ඒක පුද්ගල කාබන් දහනය ඉතා ඉහලය. වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.

මෙම විශමතාවය දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තයේදීද  වෙන්ව දක්නට ලැබේ. මේ රටවල දුප්පතුන් යනු දුප්පතුන්ගෙත් දුප්පතුන්ය.

Source: (WB, 2010)

ඉතිං  මචං.......


මානව ඉතිහාසය පුරාම ගැ‍ටුම්, යුද්ධ බොහොමයක් ඇති වී ඇත්තේ ස්භාවික සම්පත් බෙදා ගැනීම උදෙසාය. වර්ථමානය වන විට ස්භාවික සම්පත් දිනා ගැනීමට අමතරව ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමද මෙම ස්භාවික සම්පත් දිනා ගැනීමේ සටනේ එක අංගයක්ය.

උදාහරනයක් ලෙස චීනයේ හා ඉන්දීයාවේ පාපැදියෙන් අද වැඩට යන ශ්‍රමිකයා හෙට දිනයේ මොටො බයිසිකලයෙන් වැඩට යෑම ලෝකයේ ජීවත් වෙන අප සැවෝටම ප්‍රශ්ණයකි. ඔවුන් නිකුත් කරන කාබන් නිසා ගෝලීය උෂ්නත්වය ඉහල යයි. එය දියුණු රටවල ජනයාට කාබන් නිකුත් කිරීමට තියෙන හැකියාව තව තවත් සීමා කිරීමට හේතු වෙයි.

අද දවසේ බොහෝ දේශපාලන තීන්දු තීරන ගැනෙන්නේ ස්භාවික සම්පත් කොල්ල කා ගැනීම උදෙසා පමනක් නොවේය. ස්භාවික සම්පත් පාවිච්චි කරන ඔලු ගෙඩි ගණන සීමා කිරීමද ( උපත් පාලනය,යුද්ධය ), ස්භාවික සම්පත් භාවිතා කිරීමට ඇති හැකියාව ( පෝසත් වීම)  අවම  කිරීමද නූතන යටත් විජිත දේශපාලනයේ නව මානයන්ය.


Friday 1 March 2013

ලිදේ ගෙම්බන් හා ලෝකයේ උන් : අසූවයි විස්සේ කථාව

http://www.guardian.co.uk/news/datablog/2010/jun/09/bp-energy-statistics-consumption-reserves-energy




'ගෝලීය උණුසුම' ( Global Warming) ,  ' පරිසර වෙනස් වීම (Climate change)' යන වචන ලංකාවේ අපිට නිතර නිතර අසා ඇති නමුත් යුද්ධය, දේශපාලනය, ආණ්ඩු විරෝධය, දූශණය , වංචාව හෝ ගොසිප් වැනි ජනප්‍රිය මාතෘකා ගොන්නට ඒවා නොවැටේ. ගෝලීය උණුසුම වැනි විශයන් සම්භන්දව, පාසල් යන දුවා දරුවන් අතර කිසියම් ප්‍රමාණයකට දැනුවත් වීමක් ඇතැයි අනුමාන කල හැකි උවත්  වැඩිහිටියන් අතර නම් මෙවැනි මාතෘකා කතා කරනු දක්නට ලැබීම අතිශය  දුර්ලභය. මෙවැනි විෂයන් සම්බන්දව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අතරද කතිකාවක් නොමැති තරම්ය.

ලංකාවේ 'පරිසර විද්‍යාව (Environmantal Science)' පිලිබද ඇති සැලකීම ඒවැන්නක් උවත් ලෝකය සම්භන්දව ගත් කල ඒ පිලිබද ඇති අවධානය අති මහත්ය. කොටින්ම කිවහොත් අද ලෝක දේශපාලනය යටින් දිවෙන ප්‍රධාන අරමුණූ පරිසර ඉලක්කයන්ය. අද ලෝකය් ඇති වී  ඇති ප්‍රධාන යුද්ධ කීපයකම මූලික පදනම හා අරමුණ වී ඇත්තේ පරිසරය හා හා බැදුනු දේය.   ඒ නිසාම බටහිර රටකදී ' ගෝලීය උණුසුම', 'කාබන් බදු' වැනි මාතෘකා  ඒරට සාමාන්‍ය ජනතාව අතරද ඉතා ප්‍රචලිත මාතෘකාය. කොටින්ම කිවහෝත් පාසලේ බාලාංශ පංතිවල ඉගෙන ගන්නා දරුවන් පවා ගෝලීය උණුසුම පිලිබද ප්‍රශ්ණ පිලිබද සුලු ප්‍රමාණයෙන් උවද දැනුවත්ය.

මුලින් කීවාක් මෙන් පරිසර ප්‍රශ්ණය වර්තමාන ලෝක දේශපාලනය මෙහෙයවන ප්‍රධාන සාදකය ය. මතුපිටන්  බැලු කල එය එක එල්ලේ දක්නට නොලැබුනත් වඩා විමසිලිමත්ව බැලූ කල මෙය මනාව අවබෝධ කර ගත හැක්කකි. අද යුද්ධය, දේශපාලනය හා පරිසරය යනු වෙන් වෙන් කාරණා නොව එකිනෙක බැදුනු පරිසරය මුල් කර ගෙන දිවෙන ප්‍රපංචයන්ය.

උදාහණයක් ලෙස මීට අවුරුද්දකට පමන පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් එක ‍රැයෙන් පු‍ටුවෙන් විසි වී ඒ වෙනුවට කාබන් බදු සම්භන්දයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුනු ජූලියා ගිලාඩ් පත්වීමට තරම පරිසරය හා දේශපාලනය එකීනෙක බැදුණු කාරණාය. කෙවින් රඩ් අගමැති යටතේ නින්දට ගිය ඕස්ට්‍රේල්ලියානුවන් පසුදා උදෑසන ඇහැරුනේ ජූලියා ගිලාඩ් අගමැතිනිය යටතේය. ප්‍රජාත්‍රන්තවාදය කෙසේ වෙතත් පරිසරයත් එක්ක ගනුදෙනු කරන ඕස්ට්‍රේලියානු පතල් කරුවන් ඒතරම් ප්‍රභලය.



http://www.smh.com.au/opinion/politics/selfinterest-will-dictate-that-the-party-now-unites-20120226-1twh0.html

ඒ ප්‍රජාත්‍රන්තවාදය සුරකින ශිෂ්ඨ යැයි සැලකෙන රටකට  පරසරය බලපාන ආකාරය. මූල්‍යමය අතින් දුශ්කර,  දේශපාලන වශයෙන් දුර්වල රටකට පරිසරය හා බැදුනු කාරණා බලපෑම් කරන ආකාරය මීට වඩා දරුණුය. අශිෂ්ඨය.


මේ ඔක්කොම පැහැදිලි කල හැකි තියරියක් ඇත. එයට මා කියන්නේ 'අසූවයි - විස්සේ ' තියරිය කියාය. කලමණාකරණය හා ඉකොනොමික්ස් විශයන් හදාරන අය නම් මෙය වෙනත් නම් වලින් හදුන්වනවා  අසා ඇති මුත් 'අසූවයි - විස්සේ ' තියරිය අද අප මුහුණ පා ඇති ගොඩක් ප්‍රශ්ණ වල මූලික යථාර්ථය ය.

අසූවයි විස්සේ තියරියත් සමග ඊලග ලිපියෙන් නැවත් හමු වෙමු...




Saturday 23 February 2013

බාලචන්ද්‍රන්ගේ පාඩම





අහන්න...එය ඔබෙන් අහන්න.....
ඒ කිසිවකු මැරුණේ ඔවුන් කල වරදකට නොවේය....
ඒහෙත්....
මට වෙනසක් දැනෙන්නේ ඇයි.....?
සිත සසල උනත්...
තාර්කික සත්‍යය මා පරද්දනේ ඇයි?
වෙනත් දෙමල දරුවෙකුගේ ලේ ගලා ගිය දේහයට....
මා යුද්ධයට සාප කලා නොවෙද?
මතවාදය  මිනිසත්කම පරදනවාද?
මිනිසත්කම පරදන මතවාදය හොද නෑ නේද?
එහෙම උනත්
ජීවීතයත්,ආත්මයත්....
මතවාදය වෙනුවෙන්
කැප කල අය ගැන දන්නවද?
සත්‍යය කොයි තරම් අමිහිරිද?
බනින්න...මට බනින්න....
මම මට වංක වී ලබන ආදරයට වඩා
මම මා වී ලබන අපවාදය...
අවංකත්වය හැමවිටම මට මග පෙන්වා ඇත......



Saturday 12 January 2013

සිරස් පොරෝ පහර Vs හරස් කට


ගෑණු තේරුම් ගන්න  හරි අමාරුයි... ඒත් ගෑණු නැති පිරිමි ජිවිතේත් අඩුවක්..බැන්දා හරි  නොබැන්දා හරි,  ගැණියෙක්ගේ ආදරයක් නොලබපු - 'නොපතපු' පිරිමි ජීවිතේ අඩුවක්....  මනමාලකමට නොවුනත්, ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ලොක්කත් කියන්නේ 'ගැණු කියලා සංකල්පයක් නැත්නම් සල්ලි කියන සංකල්පයෙනුත් වැඩක් නෑ' කියලා...මෙයා මේ නොකියා කියන්නේ පිරිමි අපි ඔක්කෝම කරන්නේ ගෑණු හින්දා කියලා තමයි...

ඔය කථාවේ ඇත්තක්මයි කියලා,  සාඩම්බර පිරිමියෙක් උන මමත් විශ්වාස කරන්නේ නෑ..ඒත් ඔයිට වඩා හොද කථාවක් මගේ යාලුවෙක් මාත් එක්ක කියලා තියෙනවා...මිනිහා කියන විදිහට 'The vertical  mouth is more powerful than the horizontal mouth'........ මේක සිංහලයට පරිවර්තනය කලොත් මේ කියන්නේ 'තිරස් කටට වඩා සිරස් කට වඩා ප්‍රභලයි' කියලා.  ඒත්  'කටට වඩා පොරෝ පාර ප්‍රභලයි...'  කිව්වොත් වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ... .අර 'කට ඇති පුතයි රුව ඇති දුවයි හොදයි' කියලා  කිව්වට, දැන් මේ කියන විදිහට කට ඇති පුතාට වඩා රුව ඇති දුව වඩා ප්‍රභලයි ........


මේ පුංචි සටහන මම ලියන්න පටන් ගත්තේ මගෙයි - මයි ලේඩිගෙයි ( මයියගේ ගෑණි - මයි ලේඩි...හරි නේද ....) කසාදෙට ලබන ජනවාරී 13 වෙනිදට  අවුරුදු හතක් පිරෙන හින්දයි. කසාදේ ගැන ලියන්නෙ නැතුව , ගෑණු ගැන ලියලා පෝස්ට් එක ආරම්භ කලේ මොකද කියලා මටම තේරෙන්නේ නෑ...ඒත් මට තේරෙන එක දෙයක් තියෙනවා...ඒ ගෑණු තමන් ආදරය කරන මිනිසුන් වෙනුවෙන්  ගොඩක් කැප කිරීම කරන බව....

සෙලින් ඩියොන් ප්‍රසිද්ධ බටහිර ගායිකාවක්....ගැහැණියක්  තමන්ගේ  ආදරය වෙනුවෙන් හදවතේ සිර කරගෙන සිටින කැප කිරීම ඇය ගීතයේන් ලොවට කියන්නේ ඇගේ ' The power of Love" සිංදුවෙනුයි. ලංකාවේ අය ඇයව ගොඩක් අදුනන්නේ සුප්‍රසිද්ධ 'ටයිටැනික්' සිංදුව හින්දයි..



http://www.youtube.com/watch?v=QbBCUbt_DO4

ගීතයේ එක තැනක ඇය මෙසේ ගායනා කරනවා..

"We're heading for something 
Somewhere I've never been 
Sometimes I am frightened 
But I'm ready to learn 
Of the power of love "

ගීතයේ මේ කොටස මට ඇහෙන කොට මාව හිරි වැටිලා යනවා..ඒ හැමවෙලාවෙම මට මතක් වෙන්නේ මයිලේඩී මට කැමතියි කිව්ව මොහොතයි ......ඒක වෙලා දැන් අවුරුදු දහයකටත් වැඩියි... එදා තිබ්බ තත්වයන් හා කාලය අනුව,  මා සමග හාද වීම දැඩි අභියෝගී තත්වයක්... නමුත් ඇය ඒ තීරනය නොපැකිලව තමන්ගේ හදවතට භාර දුන්නා....ඒදා ඒ එකතු උන හදවත් දෙක මීට අවුරුදු හතකට කලින් නීතීය එදිරියෙත් එකතු උනා...ඒ ලෝකය තවත් හැඩ උනේ පුංචි දඟ කොලු පැටවුන් තුන් දෙනෙකුත් පවුලට ඒකතු වෙන කොටයි....

ඒ කොලු පැටවු තුන් දෙනත්...අවිවේකී සැමියත් සමග වර්තමානයෙත් ඇය කරන්නේ සුලු ප‍ටු කැප කිරීමක්  නොවෙයි...අවුරුදු හතරක් පුරාවට ඉගෙන ගත්ත දේත් පසෙකලා ඇය කරන කැපවීම අගය කිරීමට  මෙවන් පෝස්‍ටුවක් ප්‍රමාණවත් මදී..


ඒත් මා ඇය ගැන  සටහනක් මෙසේ සයිබරයේ තැබු බව හැගීම මට සතුටක්...ඇය මෙය දැක්කොත්  මා ඊටත් වඩා සතු‍ටු වේවි... So... My Lady.....I am wishing you a very  very happy anniversary.....!!! 

Tuesday 1 January 2013

වාසනාවේ කුරුල්ලා හා අවාසනාවේ පණුවා : මයියාගේ අලුත් අවුරුදු සුභ පැතීම My New Year Wish



'වාසනාව' යනු අපූරූ වචනයකි. ඇතැමෙක් 'වාසනාව' කියා කියන්නේ තමන්ට දිරවන්නේ නැති අයෙකුගේ සාර්ථකත්වය පැහැදිලි කිරීමටය.  තවත් අයෙක් වාසනාව විස්තර කරන්නේ  තමන්ගේ දැඩි කැපවීමට, උත්සහයට හිමි වූ ත්‍යාගයක් ලෙසය. Luck favors the bold කියන්නේ ඒ නිසාය.

ධෛර්‍යවන්ත වීම,  අනලස් බව වාසනාව ලැබීමට හේතූවක් වන්නේය.  කථාවට කියන්නේ "පාන්දරම අවදි වන කුරුල්ලා  පලමු පණුවා ඩැහැ ගන්නවා"  කියා ය. එය ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන " Early Birds catches the worm"  හී මගේ සිංහල පරිවර්තනයයි. මෙහිදී පාන්දරම අවදි වී ආහාර සොයා යන කුරුල්ලා වාසනාවන්ත වී ඇත.එහෙත් පාන්දරම අවදි උනු පණුවා අවාසනාවන්ත වී ඇත. පණුවාගේ අවාසනාව පැහැදිලි කරන්නේ වැරදි වෙලාවක - වැරදි තැනක සිටීමක් ලෙසය. වාසනාවේ හැටි එහෙමය.

http://www.goenglish.com/GoEnglish_com_TheEarlyBirdCatchesTheWorm.gif


ස්ව ආත්ම ශක්තිය පිලිබද විශ්වාසයක් නැති අයෙකුට නම් 'වාසනාව'  නැතුව මොකක්වත් කොර ගැනීමට නොහැකිය. ඔවුන්  තමන්ගේ සෑම පසුබැසීමක්,අහිමිවීමක් බැර කොරන්නේ තමන්ගේ අවාසනාවේ ගිණුමටය. ලංකාවේ නම් බහුතරයක් මෙවැන්නෝය. රුපියල් විස්සේ ලොත‍රැයියේ වාසනාව පතන දුප්පතාගේ සිට බලි යාග හෝම මන්ත්‍ර ගුරුකම් පස්සේ ගොස් ලක්ශ ගණං  කෙලවා ගන්න ධනවතා දක්වා දිවෙන්නේ නිහීන ආත්ම ශක්තිය ඇති පුද්ගලයාගේ වාසනාව පිලිබද බලාපොරොත්තුවයි. එහෙත් මේ විවේචනයෙන් වාසනාව කියා දෙයක් නැත්තේ යැයි මා අදහස් කරන්නේ නැත. ඇත්තෙන්ම වාසනාව  යනු කුමක්දැයි වඩා හොදින් දන්නේ ජයග්‍රාහකයාට වඩා පරාජිතයා ය.

අවස්ථාවක් නොලද හැකියාව අවාසනාවන්තය. කැලේ මල් කැලේම පර වී  යනවා යැයි කියනනේ එවන් අවාසනාවක් ගැනය. වාසනාව පූදින්නේ අවස්ථාවක් ලද විටදීය. ධෛර්‍ය, පෙර සූදානම ඒ සදහා අත්‍යාවශ්‍යය සාධකයන්ය.

යමක් නොලැබී යාම අවාසනාවක් සේ සැලකීම නොකල යුතුය. ඇතැම් විට එය වාසනාවේ අදෘශ්‍යමාන හස්තය විය හැක. වරක් මා  මහත් බලාපොරොත්තු තැබු මැද පෙරදිග ‍රැකියා අවස්ථාවක් මට නොලැබී ගියේ ය. මා එය බැර කලේ අවාසනාවන්තේ ගිණුමටය. එහෙත් ඉන් හරියටම මසකට පසුව මට හදිසි ශළ්‍යකර්මයකට මුහුන දීමට සිදුවූ අතර  තවත් සුලු කාලයකින් මට සුද්දන්ගේ රටක ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ සියල්ල හොදින් සිදු වූයේ මා අවාසනාවක් සේ සැලකූ මැදපෙරදිග ‍රැකියාව නොලැබී යාම නිසාය.

වැඩි වැඩියෙන් වාසනාව ලැබෙන්නේ වැඩි වැඩියේන් අනලස්ව, ධෛර්‍යවන්ත වන විටය. ලොත‍රැයි දිනීමක්වත් හිමිවන්නේ ලොත‍රැයියක් ගැනීමට උනන්දු වූ අයෙකුටය. එහෙත්  කුරුල්ලාගේ වාසනාව හා පණුවාගේ අවාසනාව මට ගැටළුවකි.ඒ කෙසේ නමුත් මම වාසනාව පිලිබද විශ්වාස කරමි.

ඒ නිසාම මම ඔබට 'වාසනාවන්ත' 2013 වර්ෂයකට ආසිරි පතමි.

සිංහල බ්ලොග් අවකාශයේ සියලු බ්ලොග්කරුවන්ටත්, පාඨකයන්ටත්  වාසනාවන්ත  2013 වර්ෂයක් වේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.....



2222