Saturday 12 January 2013

සිරස් පොරෝ පහර Vs හරස් කට


ගෑණු තේරුම් ගන්න  හරි අමාරුයි... ඒත් ගෑණු නැති පිරිමි ජිවිතේත් අඩුවක්..බැන්දා හරි  නොබැන්දා හරි,  ගැණියෙක්ගේ ආදරයක් නොලබපු - 'නොපතපු' පිරිමි ජීවිතේ අඩුවක්....  මනමාලකමට නොවුනත්, ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ලොක්කත් කියන්නේ 'ගැණු කියලා සංකල්පයක් නැත්නම් සල්ලි කියන සංකල්පයෙනුත් වැඩක් නෑ' කියලා...මෙයා මේ නොකියා කියන්නේ පිරිමි අපි ඔක්කෝම කරන්නේ ගෑණු හින්දා කියලා තමයි...

ඔය කථාවේ ඇත්තක්මයි කියලා,  සාඩම්බර පිරිමියෙක් උන මමත් විශ්වාස කරන්නේ නෑ..ඒත් ඔයිට වඩා හොද කථාවක් මගේ යාලුවෙක් මාත් එක්ක කියලා තියෙනවා...මිනිහා කියන විදිහට 'The vertical  mouth is more powerful than the horizontal mouth'........ මේක සිංහලයට පරිවර්තනය කලොත් මේ කියන්නේ 'තිරස් කටට වඩා සිරස් කට වඩා ප්‍රභලයි' කියලා.  ඒත්  'කටට වඩා පොරෝ පාර ප්‍රභලයි...'  කිව්වොත් වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ... .අර 'කට ඇති පුතයි රුව ඇති දුවයි හොදයි' කියලා  කිව්වට, දැන් මේ කියන විදිහට කට ඇති පුතාට වඩා රුව ඇති දුව වඩා ප්‍රභලයි ........


මේ පුංචි සටහන මම ලියන්න පටන් ගත්තේ මගෙයි - මයි ලේඩිගෙයි ( මයියගේ ගෑණි - මයි ලේඩි...හරි නේද ....) කසාදෙට ලබන ජනවාරී 13 වෙනිදට  අවුරුදු හතක් පිරෙන හින්දයි. කසාදේ ගැන ලියන්නෙ නැතුව , ගෑණු ගැන ලියලා පෝස්ට් එක ආරම්භ කලේ මොකද කියලා මටම තේරෙන්නේ නෑ...ඒත් මට තේරෙන එක දෙයක් තියෙනවා...ඒ ගෑණු තමන් ආදරය කරන මිනිසුන් වෙනුවෙන්  ගොඩක් කැප කිරීම කරන බව....

සෙලින් ඩියොන් ප්‍රසිද්ධ බටහිර ගායිකාවක්....ගැහැණියක්  තමන්ගේ  ආදරය වෙනුවෙන් හදවතේ සිර කරගෙන සිටින කැප කිරීම ඇය ගීතයේන් ලොවට කියන්නේ ඇගේ ' The power of Love" සිංදුවෙනුයි. ලංකාවේ අය ඇයව ගොඩක් අදුනන්නේ සුප්‍රසිද්ධ 'ටයිටැනික්' සිංදුව හින්දයි..



http://www.youtube.com/watch?v=QbBCUbt_DO4

ගීතයේ එක තැනක ඇය මෙසේ ගායනා කරනවා..

"We're heading for something 
Somewhere I've never been 
Sometimes I am frightened 
But I'm ready to learn 
Of the power of love "

ගීතයේ මේ කොටස මට ඇහෙන කොට මාව හිරි වැටිලා යනවා..ඒ හැමවෙලාවෙම මට මතක් වෙන්නේ මයිලේඩී මට කැමතියි කිව්ව මොහොතයි ......ඒක වෙලා දැන් අවුරුදු දහයකටත් වැඩියි... එදා තිබ්බ තත්වයන් හා කාලය අනුව,  මා සමග හාද වීම දැඩි අභියෝගී තත්වයක්... නමුත් ඇය ඒ තීරනය නොපැකිලව තමන්ගේ හදවතට භාර දුන්නා....ඒදා ඒ එකතු උන හදවත් දෙක මීට අවුරුදු හතකට කලින් නීතීය එදිරියෙත් එකතු උනා...ඒ ලෝකය තවත් හැඩ උනේ පුංචි දඟ කොලු පැටවුන් තුන් දෙනෙකුත් පවුලට ඒකතු වෙන කොටයි....

ඒ කොලු පැටවු තුන් දෙනත්...අවිවේකී සැමියත් සමග වර්තමානයෙත් ඇය කරන්නේ සුලු ප‍ටු කැප කිරීමක්  නොවෙයි...අවුරුදු හතරක් පුරාවට ඉගෙන ගත්ත දේත් පසෙකලා ඇය කරන කැපවීම අගය කිරීමට  මෙවන් පෝස්‍ටුවක් ප්‍රමාණවත් මදී..


ඒත් මා ඇය ගැන  සටහනක් මෙසේ සයිබරයේ තැබු බව හැගීම මට සතුටක්...ඇය මෙය දැක්කොත්  මා ඊටත් වඩා සතු‍ටු වේවි... So... My Lady.....I am wishing you a very  very happy anniversary.....!!! 

Tuesday 1 January 2013

වාසනාවේ කුරුල්ලා හා අවාසනාවේ පණුවා : මයියාගේ අලුත් අවුරුදු සුභ පැතීම My New Year Wish



'වාසනාව' යනු අපූරූ වචනයකි. ඇතැමෙක් 'වාසනාව' කියා කියන්නේ තමන්ට දිරවන්නේ නැති අයෙකුගේ සාර්ථකත්වය පැහැදිලි කිරීමටය.  තවත් අයෙක් වාසනාව විස්තර කරන්නේ  තමන්ගේ දැඩි කැපවීමට, උත්සහයට හිමි වූ ත්‍යාගයක් ලෙසය. Luck favors the bold කියන්නේ ඒ නිසාය.

ධෛර්‍යවන්ත වීම,  අනලස් බව වාසනාව ලැබීමට හේතූවක් වන්නේය.  කථාවට කියන්නේ "පාන්දරම අවදි වන කුරුල්ලා  පලමු පණුවා ඩැහැ ගන්නවා"  කියා ය. එය ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන " Early Birds catches the worm"  හී මගේ සිංහල පරිවර්තනයයි. මෙහිදී පාන්දරම අවදි වී ආහාර සොයා යන කුරුල්ලා වාසනාවන්ත වී ඇත.එහෙත් පාන්දරම අවදි උනු පණුවා අවාසනාවන්ත වී ඇත. පණුවාගේ අවාසනාව පැහැදිලි කරන්නේ වැරදි වෙලාවක - වැරදි තැනක සිටීමක් ලෙසය. වාසනාවේ හැටි එහෙමය.

http://www.goenglish.com/GoEnglish_com_TheEarlyBirdCatchesTheWorm.gif


ස්ව ආත්ම ශක්තිය පිලිබද විශ්වාසයක් නැති අයෙකුට නම් 'වාසනාව'  නැතුව මොකක්වත් කොර ගැනීමට නොහැකිය. ඔවුන්  තමන්ගේ සෑම පසුබැසීමක්,අහිමිවීමක් බැර කොරන්නේ තමන්ගේ අවාසනාවේ ගිණුමටය. ලංකාවේ නම් බහුතරයක් මෙවැන්නෝය. රුපියල් විස්සේ ලොත‍රැයියේ වාසනාව පතන දුප්පතාගේ සිට බලි යාග හෝම මන්ත්‍ර ගුරුකම් පස්සේ ගොස් ලක්ශ ගණං  කෙලවා ගන්න ධනවතා දක්වා දිවෙන්නේ නිහීන ආත්ම ශක්තිය ඇති පුද්ගලයාගේ වාසනාව පිලිබද බලාපොරොත්තුවයි. එහෙත් මේ විවේචනයෙන් වාසනාව කියා දෙයක් නැත්තේ යැයි මා අදහස් කරන්නේ නැත. ඇත්තෙන්ම වාසනාව  යනු කුමක්දැයි වඩා හොදින් දන්නේ ජයග්‍රාහකයාට වඩා පරාජිතයා ය.

අවස්ථාවක් නොලද හැකියාව අවාසනාවන්තය. කැලේ මල් කැලේම පර වී  යනවා යැයි කියනනේ එවන් අවාසනාවක් ගැනය. වාසනාව පූදින්නේ අවස්ථාවක් ලද විටදීය. ධෛර්‍ය, පෙර සූදානම ඒ සදහා අත්‍යාවශ්‍යය සාධකයන්ය.

යමක් නොලැබී යාම අවාසනාවක් සේ සැලකීම නොකල යුතුය. ඇතැම් විට එය වාසනාවේ අදෘශ්‍යමාන හස්තය විය හැක. වරක් මා  මහත් බලාපොරොත්තු තැබු මැද පෙරදිග ‍රැකියා අවස්ථාවක් මට නොලැබී ගියේ ය. මා එය බැර කලේ අවාසනාවන්තේ ගිණුමටය. එහෙත් ඉන් හරියටම මසකට පසුව මට හදිසි ශළ්‍යකර්මයකට මුහුන දීමට සිදුවූ අතර  තවත් සුලු කාලයකින් මට සුද්දන්ගේ රටක ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ සියල්ල හොදින් සිදු වූයේ මා අවාසනාවක් සේ සැලකූ මැදපෙරදිග ‍රැකියාව නොලැබී යාම නිසාය.

වැඩි වැඩියෙන් වාසනාව ලැබෙන්නේ වැඩි වැඩියේන් අනලස්ව, ධෛර්‍යවන්ත වන විටය. ලොත‍රැයි දිනීමක්වත් හිමිවන්නේ ලොත‍රැයියක් ගැනීමට උනන්දු වූ අයෙකුටය. එහෙත්  කුරුල්ලාගේ වාසනාව හා පණුවාගේ අවාසනාව මට ගැටළුවකි.ඒ කෙසේ නමුත් මම වාසනාව පිලිබද විශ්වාස කරමි.

ඒ නිසාම මම ඔබට 'වාසනාවන්ත' 2013 වර්ෂයකට ආසිරි පතමි.

සිංහල බ්ලොග් අවකාශයේ සියලු බ්ලොග්කරුවන්ටත්, පාඨකයන්ටත්  වාසනාවන්ත  2013 වර්ෂයක් වේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.....



2222