Friday 28 June 2013

ඇනෝනිමස් ආතල් හා ස්නෝඩෙන් ගේ ප්‍රිසමය....




නිර්ණාමිකව ලියන කියන එක ගැන සමහර පොරවල් වැරදි දකිනවා.එහෙම හිතන එකේ හරි පැත්තක් වගේම වැරදි පැත්තකුත් තියෙනවා.

තවත් අයෙකුට විරුද්ධව සනාථ නොකල චෝදනා, මඩ, ඇත්ත වගේ එලියට දාන්න ,නිර්ණාමිකව ලියන එක්කෙනාට හරි ලේසියි. ඒත් ඒකේම අනිත් පැත්ත තමයි 'තිත්ත ඇත්ත' ගෙඩි පිටින්, වදින තැනට හරියටම වදින්න ලියන්නත්,  නිර්ණාමිකත්වය උපකාර වෙනවා..

එඩ්වඩ් ස්නොඩෙන්..., මේ දවස් වල ජාත්‍යන්තර මාධ්‍යවල රස කර හපන මාතෘකාවක්. ඔහු ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අධිකාරිය (NSA) , කරන කියන  නිතී විරෝධී වැඩ එලි කලා. 'ප්‍රිස්ම්' කියන අධි තාක්ශනික ඉලෙක්ට්‍රොනික් සෙවුම් පරික්ෂණය මගින් ඇමෙරිකානුවන්ගේ විතරක් නොවෙයි අනිත් රටවල මිනිස්සුන්ගේ ටෙලිෆොන් කථාවන්, ඊමේලයන් ආදී පෞද්ගලිකත්වයට අදාල දේවලට ඇමෙරිකානු ආරක්ෂක අධිකාරිය හොට දාන හැටි ස්නෝඩන් ලුණු ඇඹුල් සහිතව එලි කලා...

ස්නෝඩන් මෝඩයෙක් නොවයි.. ඒත් ඔහු මේ හෙලි කිරීම සිදු කරන්නේ නිර්නාමිකව ඉදගෙන නෙවෙයි. ඔහු මේ හෙලිදරවු කිරීම සදහා තමාම ඉදිරිපත් වෙනවා. නමුත් මීට කලින් 'විකිලීක්ස්' එකට තොරතුරු දුන්න ඇමෙරිකානු හමූදා නිලධාරියා, බ්‍රැඩ්ලි මෑනීං ට ඇමෙරිකාව කරපු දේ දැක්ක නිසා ස්නෝඩන් මේ හෙලි දරව් කිරීමට පෙර තමන්ගේ ආරක්ශාවට  කරන්න ඕනේ වැඩ ටික ගැන හිතලා තියෙනවා.

අපේ කට්ටිය, පණිවිඩය නොව පණිවුඩකරුවාව අල්ලගෙන උගේ ඉතිහාසය,භූගෝලය හොයන්න හරි දක්ශයි. ඒ අතින් අමෙරිකාවත් අපේ කට්ටියට දෙවැනි නෑ..

ස්නෝඩෙන් නිර්ණාමිකව එන්නෙ නැතුව තමන්ම ඉදිරිපත් වී අමෙරිකාවේ වැරදි ගැන කතා කරනවා..අවශ්‍යවන්නේ ඒ වැරදි ගැන විචාරාත්මකව කථා කිරීම මිස ස්නෝඩෙන්ව අල්ලගෙන වාත කිරීම නොවෙයි. අනිත් එක මට පේන විදිහට මෙතැනදී ස්නෝඩෙන් ගේ චේතනාව යහපත්...ඔහුට අවශ්‍යවෙන්නේ ඇමෙරිකාවේ ආදි කතෘවරුන් ගරු කල සත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න..

බලං ගියාම ලොක්කොත් සොක්කොත් වැරදි කරනවා. සොක්කො වැරදි කරන කොට ලොක්කො පොරවල් වෙලා  වැ‍රැද්ද පෙන්නලා දෙනවා...ඒ විතරක් නෙවෙයි දඩුවමුත් කරනවා..ඒත් ලොක්කෝ වැරදි කරන කොට සොක්කෝ ඒවා පෙන්වන්න ගියාම වැඩ වරදිනවා. ඔය වෙලාවට තමයි අපට ඇනෝනිමස් ආතල් හොදයි කියලා හිතෙන්නේ.....


පින්තූරේ ගත්තේ මෙතැනින්...http://www.newsday.com/opinion/walt-handelsman-1.812005

Monday 10 June 2013

සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....

http://hamstertails.com/

වැස්සෙන් පස්සේ පීදෙන ලපටි තණ අතරින් සුදු පාට සමනල්ලු දාස් ගනන් මතුවෙලා එකම පැත්තකට පියාඹනවා. එගොල්ලො යන්නේ සිරීපාදෙ වදින්නයි කියලා පොඩි කාළේ අම්මලා අපට කිව්වා.පොඩි කාලේදී එහෙම ඉගෙන ගත්තට, ලොකු වෙලා බජාර් එකට බැස්සම අපි ඉගෙන ගත්තේ..... සමනල්ලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට සිරිපාදේ යන්න බෑ කියලා. කැරපොත්තන්ට තියා සමනලුනටත් සිරීපාදේ යන්න බැරි විත්තිය රෝමැන්ටික් හීන වල අතරමං වෙච්චි අයට නොතේරෙන යථාර්තයක්.ඒත් පියාඹන්න හදන සමනලයාගේ ත‍ටු ගැහිල්ල, ලෝකය වෙනස් කරනවයි කියන එක විද්‍යාත්මක තර්කනයක්.

බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ....

එඩ්වඩ් ලොරෙන්ස් යනු කාලගුණ විද්‍යාඥයෙක්. ඔහු පරිගණක ඇසුරින් නිර්මාණය කල කාලගුණ හා දේශගුණ මොඩල ( ආකෘති) මගින් කාලගුණ හා දේශගුණ තත්වය පූර්වකථනය කරන්නෙක්. දිනක් ඔහු අන් සියලු විචල්‍යන් නියතව තිබියදී එක විචල්‍යකට  0.506 ලෙස දත්තයක් ඇතුලු කරනවා. නමුත් එම විචල්‍යයේ සැබෑ අගය 0.506127 ක්.  අංක දෙක අතර වෙනස ඉතා සුළු දශම ස්ථාන කීපයක් උනත්, ඒ  අංක සදහා ලැබෙන ප්‍රතිධාන තත්වයන් දෙක ඉතා විශාල වෙනසක් ගන්නවා. එනම් ප්‍රථිපල හාත්පසින් වෙනස්... මේ ඇසුරින් ඔහු ලස්සන කථාවක් ගොඩ නගනවා.....ඔහු කියනා ආකාරයට 'බ්‍රසීලයේ ත‍ටුසලන කුඩා සමනලයෙක් නිසා ඇමෙරිකාවේ ටො(ර්)නැඩෝ කුණා‍ටුවක් ඇති විය හැකියි'.


ලොරෙන්ස් ගේ සමනලත‍ටු කථාවේ ගණිතමය නිරූපනයක්


සමනල ත‍ටු බලපෑම විස්තර කරන්න මෙච්චර දගලන්න දෙයක් නෑ....

ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
අශ්වයා වැ‍ටුනු නිසා ජනරාල් මැරෙනවා....
ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....

සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝම ජනරාල්වරු, රජවරු නෙවෙයි....ඒත් සමහර අය අර අශ්වයගේ ඇණේ ගහන සාමාන්‍ය මනුස්සය වෙන්න පුළුවන්....චූටී අදහසක්, සංකල්පයක් ඇතිවෙන්නේ නොහිතන පුද්ගලයෙක්ගේ මනසක වෙන්න පුලුවන්...තවත් කෙනෙකුට ඒක වර්ධනය කරලා, ඒක්කෝ ඒ ඇසුරින් ඊට හාත්පසින් වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරලා වෙනස් යමක් කරන්න පුලුවන්....ඒ නිර්මානය අනාගත දවසක ලෝකය , රට වෙනස් කරන සංකල්පයක් වෙන්න පුලුවන්...


සිංහල බ්ලොග් අවකාශය ගැන මට මෙච්චර පහන් සිතුවිලි ඇති උනේ..ගොඩ  කාලෙකට පස්සේ, ගිය ඉරිදා,  මම සති අන්ත සිංහල පුවත්පතක් බලපු නිසා....ඒකෙ තිබ්බ බංකොලොත්භාවය දැක්කම මට හිතුනේ සිංහල බ්ලෝග් අවකාශය සිංහල පත්තරවලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා....

සිංහල බ්ලොග් අවකාශයේ විවිධාකාර ලිපි, නිර්මාණ තියෙනවා....ඊටත් වඩා මම නම් ආතල් ගන්නේ ලිපි වල තියෙන කමෙන්ට් කියවලා...පත්තර වල මෙවැනි සජීවී , ඩයිනමික් සංවාද අඩුයි..තිබ්බත් ඇත්තේ දේශපාලන නන්දෙඩවිල්ලක් විතරයි....නැත්තං පංපෝරියක්....

මට හිතෙන විදිහට සිංහල බ්ලොග් අවකාශය තම සමනල ත‍ටු සලනවා...

එය සිංහල ජනවිඥාණය ‍රැඩිකල් වෙනසකට යොමු කෙරෙන මහා සුලිසුළඟක ඇරඹුම විය හැකියි.......

එහෙම සුළිසුලඟක් ආවොත් ඒකේ  පලවෙනි සමනල ත‍ටු පියෑඹිල්ල වෙලා තියෙන්නේ, ඉන්ට්නෙට් අඩු වියදමට අරං දුන්න අපේ රජතූමාගේ සිතුවිල්ලම තමයි....

ප:ලි:  මේ අන්තිම වාක්‍යය ටික අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද වලින් ලියලා තියෙන්නේ ඒව නිකන් හයිපොතෙටිකල් කේස් හින්දා තමයි....වෙන්නත් පුලුවන්...නොවෙන්නත් පුලුවන්....අමරාවික්ඛේපවාදයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.....


2222