Thursday 20 August 2015

කොටයක් හින්දා ගොඩ ගිය අලියෙක්....

මේ පාර  යාපනේ දිස්ත්‍රික්ක ප්‍රතිපලය සාමානුපාතික ඡ්න්ද ක්‍රමය ගැන අධ්‍යනය කිරීමට ගත හැකි හොදම උදාහරනයක්..

කලින් වතාවල් වලදී යාපනේ ජ්න්ද බෙදිලා ගියේ ටීඑන්ඒ එකයි, ඩග්ලස් දේවානන්දගේ ඊපිඩීපී එකයි අතරේ විතරයි. එතැනත් ඩග්ලස් ගන්නෙ එක ආසනයයි. මේ දෙගොල්ලම දමිල ජාතිකත්වය මත පදනම් වෙච්චි ජාතිකවාදී පක්ශ.ජාතික තලයේ දේශපාලන පක්ශයකට යාපනයේ ඉඩක් තිබ්බේ නෑ....ඒත් මේ පාර තත්වය වෙනස් වෙලා. ටීඑන්ඒ  හා ඩග්ලස් ගේ ජාතිකවාදී පක්ශ වලට අමතරව ජාතික තලයේ දේශපාලන ප්‍රවාහයක් උන අලියටත් යාපනයෙන් ආසනයක් තියෙනවා.

අලියා වගේම ඩග්ලස් ලොක්කාගේ ඊපීඩීපී එකත් යාපනයෙන් ආසන ගන්නේ දශම ගනන් වල කොට වලින්.

ඒ කථාව මෙහෙමයි....

දිස්ත්‍රික් මට්ටමේදී ආසන බෙදෙන්නේ බෝනස් ආසනය අත ඇරලා, දිස්ත්‍රික්කයට හිමි ඉතිරි ආසන ගණන, ඒ පක්ශ ලබා ගත් දිස්ත්‍රික් ඡ්න්ද ප්‍රතිශතයෙන් ව වැඩි කිරීමෙන් එන සංඛ්‍යාව අනුව.
යාපනේ මුලු ආසන ගණන 7 යි. බෝනස් ආසනේ අත ඇරියම් 6යි. මේ හය බෙදෙන්නේ  6 x පක්ශ චන්ද ප්‍රතිශතයට. ඒ අනුව

ටීඑනේ 4.14
ඊපිඩිපි  0.60
යූඑන්පී 0.40
බුලත් කොලේ 0.38
වෙනත් සියල්ල  0.77

එ අනුව බලද්දී ටී එන් ඒ එකට ආසන 4ත් බෝනස් ආසනයත් සමග ආසන පහක් හිමි උනා. දැන් ඉතිරි ආසන දෙක වැඩිම දශම කොට අතර බෙදිලා යනවා... ඒ අනුව වැඩිම කොටේ තියෙච්ච ඊපිඩීපි එකට එක ආසනයක් ලැබුනා..ඊලඟ වැඩිම කොටේ වෙච්චි  අලියට ඉතිරි ආසනය ගිහිල්ලා තියෙනවා.. ස්වාධීන පක්ශ වල එකතුව .77 ක් උනත්, වෙන් වෙන්ව එකම පක්ශකයටවත් අලියගේ දශම කොටේ වෙච්චි 0.40 ට වැඩියෙන් ඉන්න බැරි උන හින්දා ආසනයක් ලැබුනේ නෑ...

මේ දශම කොට වල පොඩ්ඩක් එහා මෙහා උනා නම් අලියා වෙනුවට ආසනේ ගන්නේ බුලත් කොලේ....ඒ දශම කොටේ එහා මෙහා වෙන්න අලියට වඩා තව චන්ද 3250 ක් විතර බුලත් කොලේ ගත යුතුව තිබුනා..බුලත් කොලේට යාපනයෙන් ආසනයක් ලැබුනා නම් ඒක සංඛේතාත්මකව කෝලේට ලොකු ජයග්‍රහණයක් වෙන්න ඉඩ තිබුනා. යාපනේ ඉන්න නාමල්ගේ යාළුවො හින්දා කොලේට මෙවර යාපනයෙන් ඡ්න්ද තිබ්බත් ඉස්සහරටත්  ඒවගේ තත්වයක් තියෙයි කියලා හිතන්නත් අමාරුයි.

මොනා උනත් යාල්පානම් වලදී ජාතික තලයේ දේශපාලන පක්ෂ ලබා ගත් ජයග්‍රහණ වල සම්පූර්ණ ගෞරවය ඒගොල්ලන්ට දෙන්න බෑ....අලියටත් , කොලේටත් යාපනයේ ආසන වලට තරඟයක් දෙන්න පුලුවන් වෙන්න මූලික හේතුව, යාපනයට තරඟ කල අන්තවාදී ස්වාධීන කණ්ඩායම් වෙන් වෙන්ව ටී එන් ඒ  එකේ ඡ්න්ද කඩා දාපු එකයි. අවසාන් විග්‍රහයෙදී,  ඒ පුංචි කණ්ඩායම් වලට කිසිම ආසනයක් නොලැබුනත්, ටී එන් ඒ කුට්ටිය අඩු කරපු එකේ වාසිය කෙලිනම ලැබුනේ අලියටයි.


මේ පාර ටීඑන් ඒ  එක යාපනේ ආසන 7 ම එක මිටට ගන්න බලන් හිටියත්, කුඩා කුඩා ස්වාධීන පක්ෂ එකතු වෙලා කරපු හරිය හින්දා ඒ හීනය බොදවෙලා ගියා. ආරංචියේ හැටියට ටීඑන් ඒ   විග්නේස්වරන් ලොක්කත්  සපෝර්ට් කරපු ඩයස්පෝරා දේශපාලන පක්ශය වෙච්චි අකිලයි ඊලන්කෛයි තමිල් කොන්ග්‍රස් එක තමයි වැඩියෙන්ම මේ කැඩිල්ලට හේතූවෙලා තියෙන්නේ... ඌරන් කැකුණ තලන කොට හබන් කුකුලන්ට රජ මඟුල් කිව්වා වගේ, චුටි චුටි ඇර ගැනිලි හින්දා යාපනයේන් මේ පාර අලියට ආසනයක් හම්බ උනා.....කොටයක් හින්දා අලියෙක් ගොඩ ගියා.....

Thursday 30 April 2015

නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

කලමණාකරණයේදී අප ඉගෙන ගත් මූලීක පාඩම නම් 1+1 = 2 නොව 1+1>2 කියාය. එහි මූලික අදහස මිනිසුන් දෙදෙනෙකු එකතු වූ කල, දෙදෙනාගේ ශක්තිය වෙන් වෙන්ව ඔවුන් දෙදෙනාට කල හැකි  කාර්‍යට වඩා විශාල බවය. ඒ අර්ථයෙන් ගත් කල සංවිධානාත්මක වීම විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැත.

එහෙත් සංවිධානත්මක වීමත් සමගම උරුම වන තවත් ප්‍රශ්ණ බොහෝ ගණනාවක් ඇත.කලමණාකරණ විද්‍යාවේ ඉගැන්වෙන එවන් කරුනු පසෙක තබා ලිපියේ ප්‍රස්තූතය වූ බ්ලොග් ලිවිල්ල ගැන කථා කිරීම මනාය.

බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරනයකි.බ්ලොග් ලිවිල්ලට කිනම් අර්ථකථන ලබා දුන්නද එය ජනතාව විසින් ජනතාව උදෙසාම වාරණයකින් තොරව නැතිනම් අඩුම වාරනයකින් යුතුව කෙරෙන සංනිවේදනයකි.
මෙවන් ස්වරූපයකින් යුතු මාධ්‍යකරණයක් නිසා ඇනෙන දැනෙන අංශ කීපයකි.



කෛරාටික හොරුන් දෙදෙනෙකුගේ බහට ‍රැවටී සීතාම්බර සළුව දවටා හෙළුවෙන් නුවර සක්මනෙහි යෙදුනු රජතුමා,  හෙළුවෙන් යන බව මුලින්ම කීවේ පාර අයිනේ කඩල ගොට්ටක් විකමින් සිටි නිකංම නිකං කොළු පැංචෙකි. ඒ අතීත කථාවක්ය. අතීතය සේම වර්ථමානයේදී බ්ලෝග් ලිවිල්ල නැමැති මාධ්‍යකරනයද ඒ කඩල ගෝට්ට සපමින් සිටි නිකංම නිකං කෝළු පැංචාය.ඒ කොලු පැංචාට මහ ලොකු සදාචාරයක් හෝ මහ ලොකු වගකීමක් කරට අරං වග කිව යුත්තක් නැත.  ඒහෙත් රජතුමාගේ පුරෝහිත මණ්ඩලයේ සිටි මහා ලොකු වියතුන්නට , පඬිවරුනට කිව  නොහැකි වූ සත්‍ය,  අමු අමුවේ එලියට දැම්මේ ඒ නිකංම නිකං  කොලු පැංචාය. තාන්න මාන්න අහිමි වේ යැයි හෝ රාජ උදහසට ලක් වේයැයි බියක් පඬිවරුනට තිබ්බාට කොලු පැංචාට ඒවන් හැඟීමක් නැත.ඒ නිසාම කිවයූත්ත කිවීමට සතර වරං බැලිල්ලක්ද කොළු ගැටයාට නැත.

කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.

කෙසේ වෙතත් මෙවන් රස්තියාදුකාරයන් හැසිරවීමට ද ක්‍රම කීපයකි. ඒවාද කලමණකාරන තියරිය.

අතීතයේදී වරෙක අප පාසලේ සිටි රගර් කන්ඩායම අම්බ මෑරෑටි  රෑලකි. ශිෂ්‍යනායකයන් තියා ගුරුවරුන්වත් මායිම් නොකල ඔවුන්ගේ තක්කඩි කම් පාසලට ගෙන ආවේ අපකීර්තියකි ( විදුහල් පති උතුමාට සාපේක්ශවය). කෙසේ නමුත් ඊලඟ වාරයේදී සිදු වුයේ අමුතුම සිදූවීමකි. අර හම්බ මෑ‍රැටි ‍රැලේ හොදම මෑ‍රැටියන් තුන් හතර දෙනෙකුට ශිෂ්‍ය නායකකම් ලැබී, උදෑසන ප්‍රධාන ගේට්‍ටුව අසල ‍රැවුල් කොන්ඩ ෆන්ක් කට් ඇල්ලීමට  ඔවුන් යොදවා සිටිනු දැකිය හැකිවිය.දු‍ටු දු‍ටුවන්ගේ ඇස් උඩ ගිය නමුත් අවසාන උත්තරයේදී මැ‍රැටි ‍රැල මැරෑටි කම් පැත්තක දමා විනය තැකීමට මෑ‍රැටි රෑලම යොදා ගැනීමට විදුහල්පති උතුමාට හැකිවිය.ඒ විදුහල්පති තුමා සොයා ගත අමුතුම තියරියක් නොව,කලමණාකරණයේදීම කියවෙන 80-20 පැරෙටෝ තියරියමය.

කොළු පැංචන් තමන්ම සංවිධානය වී තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියා බජව් පාටි අර උත්සව මේ උත්සව පවත්වනවා අප දැක ඇත. අප මේ කතා කරන්නේ ඒ ගැනම නොවේය.

මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.



බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.

මූලික වශයෙන් කිව යුත්තේ මේ ලිපියෙන් ප්‍රශ්ණ කෙරෙන්නේ සයිබරය මහපොලුවට බැසීම නිසා සිදුවන හානිය ගැනය. බ්ලොගයේ ශක්තිය පවතින්නේ එය සයිබරයේ පැවතෙනතාක් කල් පමණි..එය මහපොලොවට බට දා සිටන් එය තවත් මහපොලොවේ පවතින සිවිල් සංවිධානයක් හැඩය ගන්නවා පමනක් නොව සයිබරයට එම බලපෑම දැනීමට ගැනෙනු ඇත. මෙතෙක් කල් බ්ලොග් අදහ්ස වලට අභියෝග කිරීමට සයිබරයෙන්ම ආ යුතුව තිබිනි. බ්ලොග් අදහස් වල මුද්‍රිත මාධ්‍යයේ නැති විවිධාකාර ඉතා ‍රැඩිකල් අදහස් පවතින්නේ එසේ කී බෝඩ් වීරයන් සේ ලිවීමාට හැකි වීම තුලමය. එය එහි ශක්තියය් ය. එහෙත් එය මහපොලොවට පය තැබූ විගසින් බ්ලොග් සටහන් වලට අභියෝග කිරීමට මහපොලොවේ තියෙන නූල් සූත්තර උප්පරවැට්ටි සියල්ල යොදා ගැනීමට හැකි වනු ඇත. මෙහෙදී සංවිධානය වී සීටීම එය තවත් පහසු කෙරෙන නිසාය..තීරණාත්ම අවස්ථාවකදී කල යුතුව ඇත්තේ , එසේ සංවිධානය වී සිටින පිරිසේ තීරක බලය හිමි සුළු කොටස ඇල්ලීම පමනකි. පඩු, බඩු, නඩු වලට නොනැමෙන කොන්දක් ලංකාවේ තියා ලෝකයේවත් ඇත. ප්‍රශණයක් ඇත්නම් පඩුරු වල විශලත්වය පමනකි. බ්ලොග් කරුවන් එක රොත්තට අහුවෙන පරිදි මහපොලොවේ සංවිධානය වී සිටීම එය තවත් පහසු කරනු ඇත. 



සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....



මේ තියෙන්නේ 2017 සම්මාන උලෙලෙන් පස්සේ  වත්පොතේ රට්‍ටු කියපු කථා







Friday 16 January 2015

හරීන් ඔයා හරිද?

රස්නෙට වායූසමීකරණ යන්ත්‍ර සවි කර ගෙන තිබුනත් සීතලට හීටර්ස් පාවිච්චි කීරීම  අපේ අයට ආගන්තුකය. සීතල යැයි පවසමින් කල් දමා තිබූ ඌව පලාත් සභාව නැවත කැදවනු ලැබුවේ දින කීපයකට පෙරය. එහෙත් සැබවින්ම, අප මැතිදුන් හට සීතල ඇල්ලුවේ කුමන කාරණයක් නිසාද යන්න අප පාඨකයන්ට පැහැදිලි කිරීමට තරම් ඔවුන්ගේ දේශපාලන සවිඥාණය අවතකසේරු කිරීමේ උවමනාවක් මට නැත. කථාව එතරම් සරලය.

ඒ කථාව එතරම් සරල උවත්, වර්තමානයේ දිග හැරෙන කථාව එතරම් සරල නැත. මහින්ද රෙජිමයට එරෙහි පලමු වෙඩි මුරය මුදා හල හරීන් දැන් ඌවේ මහ ඇමතිය. හරි දේ කරමු කීව හරීන්,  ඌවේ මහ ඇමතිකම ගන්නේ  ජනතාවගේ ජන්ද බලයෙන් නොව, වෙනත් පක්ශයකින් බලයට පැමිනි ධනය හා බලය ඉදිරියේ දණ ගැසූ හොරුන් ‍රැලකගේ උදව්වෙන් වීම අපට ඇති ප්‍රශ්ණය ය. ඔහුගේ මහ ඇමතිකම පස්ස දොරෙන් දාපු ඩීල් එකක් වීම සහ යහපාලනය,  පොදු ජන මතය වෙනුවෙන් උස් හඩින් කථා කල හරීන් එසේ කිරීම අපට  ප්‍රශ්ණයකි. අපට ඇත්තේ හරීන් මහ ඇමතිකම ලබා ගැනීමේ ක්‍රමවේදයහි නීතීමය තත්වය ගැන ගැටළුවක් නොව, මැතිවරණ වේදීකාවේ  පතුරු ගැසූ සාධාරණත්වය ගැන හෘද සාක්ෂිය පිලිබද ගැටළුවක් බව වැඩිමනත් ලෙස සදහන් කල යුතුය.



හරීන්ගේ අවංකත්වය හා නායකත්වය ගැන අප හට ගැටළුවක් නැත. හරීන්ගේ වටිනාකම රුපියල් බිලියන ගණනින් ජනපති මැතිවරණ වේදීකාවේදී වෙන්දේසී වෙද්දී, මුදලට තම ආත්මය පවා නොදුන් හරීන් ගැන අපට ඇත්තේ ධණාත්මක පිලිගැනීමකී. නමුත් ඒ පිලිගැනීම, ඌවේ ජනතාවගෙ මහජන මතය අමු අමුවේ මහ දවල් මංකොල්ල කෑම ඉදිරියේ නිහඩව සීටීමට තරම් අපව දුබල කරන්නේ නැති බව කිව යුතුය.

හරීන්ගේ මහ ඇමතිකමේ සූජාතත්වය ප්‍රශ්ණ කරන අපිට, රනිල්ගේ අගමැතිකමේ පළුද්දක් නොපෙනෙන්නේ ඇයි දැයි කෙනෙකුට විමසිය හැක. එහෙත් රනිල් අගමැතිවන්නේ මුළු ලංකාව පුරා පැවති  ජාතික මැතිවරණයකින් පොදු ජන එකසත් පෙරමුණ හා එහි අපේක්ශකයා ප්‍රතික්ෂේප වෙන සන්දර්භයක් තුලය.වෙනත් වචනවලින් කියතොත් රනිල් අගමැතිවන්නේ ,  පැවැත්වූ ජාතික මැතිවරණයේදී පූර්ව කොන්දේසියක් ලෙස එය ඉදිරිපත් කර, එම යෝජනාව සදහා සමස්ථ ශ්‍රී ලාංකීක ජනතාවගේ  බහුතරයකගේ අකමැත්තක් නැති තත්වයක් තුලය. එය පාර්ලිමේන්තූවේදී  කුමන හෝ ආකාරයෙන් නිරූපණය වීම ගැන අප ප්‍රශ්ණ නොකරන්නේ එහෙයිනි.



එහෙත් හරීන් මහ ඇමති වන්නේත්, ඌව පලාත තුල පොදුජන එක්සත් පාලනය පෙරලා දමන්නේත් එවන් මහජන වරමක් ඉදීරියේ නොවන බව කිව යුතුය.
පැවති ජාතික මැතිවරණයේදීද ,එනම් පසුගිය ජනපතිවරණයේදීසමස්ත ඌව පලාතේ කැමැත්ත තිබුනේ  පොදු ජන එක්සත් පෙරමුණටමය. එය ඊට පෙර පැවති ඌව පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයේම ප්‍රතිබිම්භයක් බදුය.

2015 ජනපතිවරණය තුලදී පොදු පෙරමුණ බදුල්ල ද්‍රිස්ත්‍රික්කයෙන් ඡ්න්ද 249 243 ක් ගන්නා විට සිරිසේන මහතා ඡන්ද 249 524 ක් ලබා ගත්තේය.පැවති පලාත්පාලන මැතිවරනයේදී පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 209,056 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ශය ඡන්ද 197,708 ක් හා ජනතා විමුක්ති පෙරමුන ඡන්ද 20,625 කි. ආසන බෙදී ගියේ පොදුජන එකසත් පෙරමුණට 9 හා එයට විරුද්ධව 9 ක් ලෙසිනි.

එසේම පැවති ජනපතිවරණයේදී මොනරාගල ද්‍රිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණ 172,745 ලබා ගන්නා විට  සිරිසේන මහතා 105,276 ලබා ගෙන ඇත. සංසන්ධනාත්මකව පැවති පලාත් පාලන මැතිවරණයේදී මෙය පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 140,850 ක් හා එක්සත් ජාතික පක්ශය ඡන්ද 77,065 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 15,955 කි.





එසේ නම් ඌවේ ජනතාව තම පලාත් සභාව තුල බල වෙනසකට තම මනාපය ප්‍රකාශ කර නොමැති බව පැහැදිලිය. ඔවුන්ගේ හඩ එදත් අදත් නොවෙනස්ය. හරීන්ගේ මහ ඇමතිකම ජනතා තින්දුවේ මංකොල්ලයක් යැයි අප පවසන්නේ උක්ත කාරණා පෙරදැරි කරගෙනය.

මධ්‍යම , බස්නාහිර , උතුරුමැද සියල්ල වෙනස් වෙද්දී ලියුම්කරු හරීන් දෙසට ඇඟිල්ල දිගු කිරීම සාධාරණදැයි කෙනෙකුට විමසිය හැක. ඒ ඒ පලාත් වලද පලාත් සභා පෙරලීම පිලිබඳ ගැටළු ඇතත් ඒ සෑම පලාත් සභාවකම පොදු වශයෙන්, ජනපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ හා එහි අපේක්ශකයා පරාද විය. ජනතා තේරීම වූයේ මහින්ද විරෝදයයි.එහෙත් ඌවේදි එසේ වී නැත. එදත් අදත් එහි කැමැත්ත පොදු පෙරමුණමය.

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වුයේ තනි පකශයකට හෝ පුද්ගලයෙකුට දැක් වූ  කැමැත්තක් නොව බලයට, බාහු බලයට එරෙහි යුක්තිය වෙනුවෙන් සමස්ථ ජනතාවට නැගූ හඩකි. යුක්තිය , මහජන මතය වෙනුවෙන් නැගුනු හඩ නැවත බලය හා ශක්තිය ඉදිරියේ දණ ගැසීමට සිදු වීම, ඒ ජනතා මතයට දුන් අතුල් පහරක් බදුය.මහජන වරම ලබා දුන් දින 100 වැඩ පිලිවෙලට ඌව පලාත් සභාවේ බලය පෙරලීමෙන් ලබා දෙන සහය කුමක්දැයි අපට නම් තේරූම් ගත නොහැක. එසේම රනිල් වික්‍රමසිංහ වැනි පරිණත නායකයකු තුලින් කිසීසේත් බලාපොරොත්තු විය නොහැකි, මෙවන්  මහජන මතයට පයින් ගැසීම සම්භන්ධව අපට ඒ මහතා සමඟ එකට සිට ගත නොහැක..


දේශපාලන මඩ ගෝහොරුවෙන් සුජාත පුත්‍රයන් බිහිවීමේ ෆැන්ටසි සිහිනයන් අප තුල නැත. එහෙත් යහපාලන, සාධාරණත්වය, ජනතා මතය සපථ කරමින් බලයට පැමිණි පිරිසකට එය අලුයම ලූ කෙලපිඩක් සේ අමතක කිරීමට තවම කල් මද බව අප මතක් කල යුතුය.

Monday 12 January 2015

අධීවේගය නැමැති මල්වට්ටියට ඔබේ සම්මාදම කොච්චරද?

ලංකාවේ අපේ කට්ටියට අධීවේගී මාර්ග දැන් ඇඟට ජීරණය වෙලා ඉවරයි. ඒ නිසාම ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශ්‍යදැයි කියන කාරණයට බහුතර  සහ ජනප්‍රිය මතය 'ඔව්'.

අධීවේගී මාර්ග කීපයක නිතරම ගමන් ගන්න, ඒ නිසාම කීයක් හරි හොයා ගන්න මගෙත් මේ සදහා පැහැදිලි උත්තයරය 'ඔව්' කියන එක විය යුතුයි.එහෙත් එහෙම අත්දෙකම උස්සලා කෑ ගහන 'ඔව්'  කිවිල්ලකට මගේ දිව නැමෙන්නේ නෑ.



මේ ගැන යම් තරමක් දුරට හොද සංවාදයක් ඇති වුනා මගේ පසුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස් තුලින්.


මේ තියෙන්නේ රාජ් සමඟ ඇති වූ සංවාදයෙන් අහුල ගත්ත ඒවා...

මයියා : ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්.පෞද්ගලිකව එවා පාවිච්චි කරන්නෙක් නිසා මට එයින් පහසුවක් සැලසී තිබෙනවා. කෙසේ නමුත් අධීවේගී මාර්ග සංවර්ධනයේදී බරපතල සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ පවතින අවිධිමත් බදු ක්‍රමය නිසයි.අධීවේගී මාර්ග වල යෑමට තියා එවා ඇස් දෙකටවත් දැක නැති ඩොටේ සිරියාවතිගේ භූමිතෙල් කාලේන්, සිරිපාලගේ ත්‍රී වීල් එකෙන් මේ අධීවේගී පාරවල් වලට ගෙවීම එහි ඇති අසාධාරණයයි. කොටින්ම කියතොත් අධීවේගී මාර්ගයේ ගමන් කරන්නන් සහ එහි ප්‍රතිලාභ ලබන්න්නන් ( ගමන් කරන්නන්ට අමතරව) එහි සැබෑ මුදල නොගෙවීම මෙහි ඇති ප්‍රශ්ණයයි. 

සුභසාදක ආර්ථියකය ඇති රටක සාමාන්‍යයෙන්  විය යුත්තේ මෙහි විරුද්ධ පැත්තයි.

එනම් නැති හැකි අයට ඇති අයගෙන් පොම්ප කිරීමයි. එහෙත් ඔක්කොම කණපිට ගහන ලංකාවේ වෙන්නේ නැති බැරි අයගෙන ඇති හැකි අයට කන්න දීමයි

රාජ් : මයියා මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මයියා කියන විදියේ බදු ක්‍රමයක් ඇතිකරන්න බෑ. උදාහරනයක් විදියට මම සීටීබී යන්නෙ නෑ. නමුත් සීටීබී එකේ පාඩු පියවෙන්නෙත් මගේ පොකට් එකෙන් ගත්ත කොටසක් ඇතුලත්ව. මට ඕනකමක් නෑ ආගම් අදහන්න. නමුත් ආගමික කටයුතු අමාත්යන්ශය වෙනුවෙන් මගේමුදල් යෙදවෙනව.
අනිත් කාරනාව අදිවේගී මාර්ගය සාමාන්ය මිනිස්සු පාවිච්චි කරනව.

අපි බලන්න ඕන දූශන සිදුවෙලාද කියල මිසක් අනිත් දේවල් නෙවේ.

මයියා :

ස්තූතියි රාජ් අදහසට...

මේ අදහසේ වැදගත් කමක් ඔබ පිලිගන්නේ නැත්තේ ලංකාවේ බදු ක්‍රමයේ තියෙන තියෙන එක්තරා කාරණාවක් හින්දා. 

කිරිපිටි වලින්, තේ කොල වලින්,ප්‍රැට්‍රල් වලින් ඩීසල් වලින් වෙන වෙනම ගහන බදු වෙනුවට, (Indirect Tax) තමන්ගේ වැ‍ටුපෙන් කෙලින්ම බදු කපා ගන්නා ක්‍රමයක් ( Direct Tax)ලංකාවට කවදා හරි ලැබුනෝත් මට ව්ඩ හොදට ඔබට මේ බදු ක්‍රමයේ අසාධාරණය පෙනෙවී යැයි උපකල්පනය කරනවා.

රටේ 2% වැනි ඉතා සුලු පිරිසකට ගමන් කිරිමට රටේ බහුතරයක් ණය කිරීමේ පොලිසි ඩිෂිෂන් එකේ වෑ‍රැද්දක් බව පේන්න නම් මේ බදු ක්‍රමයේ ඇති අසාධාරණය පිලිගන්න වෙනවා

ලංකාවේ බදු ගහන්නේ හංගලා හින්දා මිනිස්සුන්ට ආණ්ඩුව දුවන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඇඟට දැනෙන්නේ නෑ. බුද්ධිය කොච්චර එසේ කිව්වත්, වැඩවසම් ක්‍රමයේ නටබුන් මත ජීවත් වන බහුතර ලංකිකයට තාම දැනෙන්නේ මේවා රජතුමාගේ සල්ලි වලින් කරන බවයි..

ඒත් වක්‍ර බදු අඩු කර උපයන විට බද්ද වැඩි කල විට මිනිස්සු තමන්ගේ සල්ලි වලට වන දේ ගැන මීට වඩා හිතාවී...

දැන ගැනීමට : දල වශයෙන් ලංකාවේ ඉන්ඩිරෙක් ටැක්ස් 80% වන අතර ඩිරෙක්ට් ටැක්ස් 20% ක් වේ.. එහෙහ්ට් දියුණු රටක මේ අනුපාතය 20% :80% අනුපාතය වේ




මේ තියෙන්නේ ජාතිකවාදියෙක් උන දර්ශන කස්තුරිරත්නගේ අදහස



දර්ශණ : මට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්‍රමානයක් ගෙවන්නේ ඒවායේ යන අයමයි. ඒගොල්ල සල්ලි ගෙවලා යන්නේ. මේවායේ ගිවිසුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මේවායේ ආදායම අදාළ බැංකුවට යන විදියට. ඒ විදියට තමා ණය පියවෙන්නේ. මට හිතෙන ප්‍රශ්නය ඉඩම් සහ පරිසරය සම්බන්ධ එකක්. ලංකාව මහා විශාල රටක් නොවේ. තියෙන්නේ සිමිත ඉඩම් ප්‍රමාණයක්. අධිවේගී මාර්ග නිසා දැවැන්ත පාරිසරික හානියක් වෙනවා. පරිසරය දෙකඩ වෙනවා. අනෙක් අතට මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ වාහන තියෙන අයට විතරයි. බහුතරයක් යන්නේ දුම්රිය බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල. ඒ අයට මේවායෙන් ලොකු ප්‍රතිලාබයක් නෑ. රටට යම් ප්‍රතිලාභයක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ගෙවන මිල (වියදම නොවේ) වැඩියි.

මයියා : නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහි ගමන් කරන අයම නෙවෙයි...ඔවුන් දරන්නේ එයින් ඉතා සුලු කොටසක්....

උදාහරණයක් ලෙස දක්ෂිණ අධීවේගී මාර්ගයේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ‍රැපියල් බිලියනයක් විතර. ඒත් දක්ෂිණ අධීවේගයේ වියදම රුපියක් බිලියන 80 ක් විතර. එහි නඩත්තු කටයුතු මුදල මෙයට ඇතුලත් නෑ... ඒවගේම ඒ බිලියන 80 වේ පොලිය මෙයට ඇතුලත් වීත් නෑ...2-3% අඩුම පොලිය ගත්තත් මේ ආදායම ,රුපියල් බිලියන 80 පොලිය විතරක් ගෙවෙන්න විතරක් ප්‍රමාණවත් මුදලක්. කෙසේ නමුත් අධීවේගී මාර්ගය ඉදී කිරීමනිසා සිදුවන ආර්ථික වර්ධනය, තෙල් ඉතුරුවීම මෙයට ඇතුලත් විය යුතුයි.

එහෙම බැලුවම අර රුපියල් බිලියන 80 දාල තියෙනෙන සමාන්‍ය ජනතාවගේ බඩට කියන එක ඔබට පැහැදිලි ඇතැයි සිතනවා..

7%-8% චීන ණය ( මේවයේ සැබෑ වියදම ඊට වැඩියි) වලින් කෙරෙන අයෝජන වල තත්වය මීට වඩා දරුණුයි...

මට කියන්න ඔනේ ණය ගන්න එපාකියලා නෙවෙයි..ගත්ත ණයෙන් උපරිම ප්‍රතිලාභය ගන්න කියලා සහ දූශණය අවම කරන්න කියලාවිතරයි....



ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ......

ඕනෑම අයෝජනයක කොස්ට් බෙනි‍ෆිට් (Cost - Benefit) ඇනැලිසිස් එකක් කියලා තියෙනවා.....අධීවේගී මාර්ග සංවර්ධනයේදී කොස්ට් (Cost:වියදම) එකට හරියටම ගණං හිලවු කියන්න පුලුවන් උනත් බෙනි‍ෆිට් (Benefit ;ලාභය) එකට ඉලක්කං රිංගවන එක ටිකක් අමාරු කාර්‍යක්...

උදාහරණයක්  අධීවේගී මාර්ගයක් තැනීම නිසා ඇතිවන වාසී  ( Benefits) ලෙස සලකනු ලබන්නේ...
1. වාහන ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් ඇතිවන ඉන්ධන ඉතිරුම
2.)මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයේ දී ඉතුරුවන කාලය නිසා ඇතිවන ආර්ථික වාසිය
3.) මාර්ගය ආශ්‍රිත පෙදෙස් වල සිදුවන සමාජ ආර්ථික දියුණුව ආදියයි..

මේ කාරණා බලන කොට මේවා ඉල්ලකම් වලින් කොච්චර නිවැරදිව ගණනය කර ගත හැකිදැයි යන්න ප්‍රශ්ණාර්ථයක්...කොටින්ම මෙවැනි කාරණා සම්භන්ධව සිදු කරන ගණනය කිරීම වලිදි A නැමැති පුද්ගලයා ඉදිරිපත් කරන ගනං හිලව්, B නැමැති පුද්ගලයා සිදු කරන ගණනය කිරීමට වඩා ලොකු වෙනසක් වෙන්න පුලුවන්....


ඒ නිසාම තමයි ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශය්‍යදැයි කියන කාරණය සම්භන්දයෙන් මට පොඩි මිශ්‍ර හැඟීමක් එන්නේ........

ප:ලි  ;  මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ බ්ලෝග් පොස්ට් එකකට වැටිච්චි කමෙන්ට්ස් වලින්....පෝස්ට් එකක් ලියන්න වේලාව අඩු වෙචිචි වෙලාවට ගොඩ යන විදිහක්....මේ වගේ පෝස්ට් එකකට දාන්න හොද නමක් කියන්න බලන්න කට්ටිය එහෙනං.....


2222