Thursday, 29 November 2012

උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1



'එදා උසාවියේ   ඔහුගේ ප්‍රකාශයට සවන් දුන් මිනිසුන් ජූරියක් කොට ඔවුනට ඔහුගේ ඉරණම තීරනය කිරීමට අවස්ථාව දුන්නේ නම් අද ඔහු නිදහස් මිනිසෙක් ලෙස උසාවියෙන් පිට වී යනු ඇත්තේය.'

මේ කියැවෙන්නේ නාතුරාම් ගෝඩ්සේ ගැන ය. නාතුරාම් ගෝඩ්සේ යනු නූතන අවිහිංසාවාදයේ පියා, ශ්‍රේෂ්ඨ මහත්මා ගාන්ධි ඝාතකයා ය.  ඉහත ප්‍රකාශයේ අයිතිකරුවා, විනිසුරුවරයා, එදා නාතුරාම් ගොඩ්සේ හට මරණීය දණ්ඩනය නියම කල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් විය.

සත්‍යය පුදුම සහගතය. ඇතැමෙකුට හින්දු අන්තවාදීයෙක් උනු, තවත් අයෙකුට පිස්සෙකු උනු , නේතුරාම් ගෝඩ්සේ, විනිසුරුගේ මනෝමය අතාත්වික ජූරිය ඉදිරියේ නිවැරදිකරු වීමට නියමිතව තිබුනි.

එදින 1948 හි මුල මාසයේ අවසන් සතියට අයත් සුන්දර උදැසනක් විය. එහෙත් ඒ සුන්දරත්වය මොහොතකින් අවසන් වීමට නියමිතව තිබිනි. නාතුරාම් ගොඩ්සේ,  මහත්මා ඉදිරියේ සිටගෙන සිටියේය.  ගොඩ්සේගේ අර්ධ ස්වයංක්‍රීය පිස්තොලයෙන් නිකුත් උනු වෙඩි උණ්ඩ තෙවතාවක් මහත්මාගේ නිර්මල හදවත පසාරු කර ගියේය. එය එසේ වීමට නියමිතව තිබුනි.එසේ දහසක් නෙත් මධ්‍යයේ මහත්මා අවසන් සුසුම් පොද හෙලන්නට නියමිත විය. දහස් ගණනක සාක්ශි ඉදිරියේ සිදු වූ අමු මිනිස් ඝාතනයක වැරදිකරුවා,  නිවැරදිකරු ලෙසින් උසාවියෙන් පිට වී යනු ඇතැයි විනිසුරු ප්‍රකාශ කරන්නේ කෙසේ ද?.

                                                              http://indiandefenceboard.com/threads/image-of-godse-shooting-gandhi.877/

ඝාතනයෙන් පසු ගොඩ්සේ පැන දිව්වේ නැත. ඔහු තමා වෙඩි තැබු මිනිසා ඉදිරියේ සිටගෙන සිටියේ ය. ඔහුගේ යටත් වීම කලබලයෙන් තොරය. ඔහු නිවැරදිකරු කරන්නේ මේ නිර්භීතකමද?. මෙය නීරභීතකමක් යයි කිව හැකිද?

ගාන්ධිතුමන්ගේ සිවිල් බලය  ඉන්දීය ජන සමාජයට පමනක්  සීමා නොවුනේය. එය හිරු නොබසින අධිරාජ්‍යයයේ ආත්මය දෙදරවන තරම් බලයක් ය. එවන් ආකර්ශනයක් තිබු පුද්ගලයකුගේ ඝාතකයා මෙසේ නිවැරදිකරුවා වීමට ඉඩ තිබුනේ යැයි කියන්නේ කෙසේ ද? මෙය දේශපාලනය ද?

නැත. මහත්මා ගාන්ධි ඝාතකයා, නාතුරාම් ගෝඩ්සේ, තම ජීවිතය 'ඝාතනය' වෙනුවෙන් කැපකලේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. සත්‍යය එතරම්  ප්‍රභලය. මලමිණී දහස් ගණනක් අතරින් උව, කාලය අවුරුදු දශක වලින් ගත   වුව, සත්‍යය එතරම් ප්‍රභලය. ඔහු මියගියේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. ඒ සත්‍ය බහුතරයේ සත්‍ය නොවුයේ ය. ඒ සත්‍ය සදාකාලික නිරපේක්ශ සත්‍ය නොවීය. එහෙත් එය ඔහු හදවතින් පිලිගත්, ආත්මය හා බැදුනු ආත්මීය ප්‍රකාශනය විය. එදා  උසාවිය නිහඩ කලේ එම ආත්ම පරිත්‍යාගයයි.

නාතුරාම් ගෝඩ්සේ, මහත්මා ගාන්ධි ඝාතකයා, මේ ලියැවෙන්නේ ඔහුගේ කථාවයි.............

ඉතිරි කොටසට........




Saturday, 24 November 2012

ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. - ඒක විෂම චක්‍රයක්


සාර්ථක සැමියෙක් වීමේ මයියා ගේ රහස තමයි ගේ දොර ප්‍රශ්ණ වලදී එන 'පොඩි පොඩි' ප්‍රශ්ණ විසදීම සහ තීරණ ගැනීම, මයියා ගේ ප්‍රිය භාර්‍යාවට නැතිනම්' මයිලේඩි' ට භාර දීම. ඒකට කොරන ප්‍රතිඋපකාරයක් වශයෙන් මයිලේඩී ත් 'ලොකු ලොකු' ප්‍රශ්ණ විසදීමේ අයිතිය මයියා ට පවරා තියෙනවා. ' ලොකු ලොකු'  ප්‍රශ්ණ විසදීම යටතේ මයියාගේ විෂය පථයට අයත් වෙන එක විෂයක් වන්නේ 'අන්තර් ජාතික දේශපාලනය හා විචාරයයි'. මේ සංකල්පය යටතේ, පසුගිය ඇමෙරිකානු මැතිවරණයේදී ඕබාමා හා රොම්නිගෙ න් කවුරුන් දිනයිද යන 'මයිපවුලේ' සාමුහික තීරණය මයියා විසින් නිගමනය කෙරුනු අතර, අමෙරිකාණු මැතිවරණය හා 20 -20 බැලීමට ගන්ත ටීවී කනෙක්ශන් එක 'ඩයලොග්' ද 'පියො ටීවී' ද යන සුලු තීරණය මයිලේඩී විසින් ගනු ලැබුවා.

පර ඊශ්‍රායල් හැත්ත විසින් පලස්තීනයේ ගාසා තීරයට මිසයිල ගැසීමත් සමග නැවත වරක් 'අන්තර්ජාතික දේශපාලනය හා විචාරය' යටතේ මයියා ට අයත් විෂයපථයක් යටතේ 'මයි-අදහස' දැක්වීමේ අවස්ථාවක් මයියාට හිමි වී තිබෙනවා.

ඒ අනුව මේ සම්භන්දයෙන් මයියාගේ මතය වන්නේ මෙය හුදෙක් දේව කැමත්ත මත සිදුවන,  චක්‍රීය ක්‍රියාවලියක් බවය. මේ නිසා අද සිංහල බ්ලොග් අවකාශයේ ඇතැමුන් කරනවාක් මෙන් පින්තූර දමාවත්, ලියුම් ලිවීමත් හුදෙක් වැරදි අවබෝධයක් මත සිදු කෙරෙන්නෙන්කි :) . අපට ඇත්තේ බලා සිටීම පමනෙකි. දෙවියන් වහන්සේ ජය ගනු ඇත්තේය.




ඊශ්‍රයාල් කාරයන්ගේ ලොකුම  ආදායම අවි ආයුධ වෙලදාමය. ඊශ්‍රායල් කාරයන්ගේ පමනක් නොව ඇමෙරිකාවේ ධනවත් යුදෙව්වෙන්ගේද මේන් බිස්නස් එක ආයුධ වෙලදාමය. ආයුධ හැදුවාට වැදගත් නැත. ඒවා විකුණා ගත  යුතුය. හදන ආයුධ ඇමෙරිකාවේ විකිනුවාමත් හරි මදිය. එතකොට ශ්‍රේෂඨ ඇමරිකන්කාරයෝ එකිනෙකා මරා ගන්නේය.  හොදම විසදුම මැස්සන් මෙන් මිනිසුන් බෝ වෙන මැද පෙරදිග හා ආසියාවය. උන්ට ආයුධ විකුණුවාම , උන් ට්‍රයි කොරලා, කොරලා කොහොම හරි මිසලක් දෙකක් ඊශ්‍රායලට ගසන්නෝය. ඉන් ඊශ්‍රායල් කාරයෝ එකෙක් දෙන්නෙක් ද ස්වර්ගස්ථ වෙන්නෝය. ඒ මැරෙන එකා දෙන්නටත් එක්ක,' පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු - එක පුන් සදෙන් දුරු වෙයි ලොව ගන අදුරු' කියලා  පලස්තීනකාරයෝ 100ක් විතර බාවනවාය. ඒ අතර පොඩි පිපෙන්නට වෙර දරන පොඩි ලමුන් සිටිනවාය.  ඒතකොට පලස්තීන කාරයන්ට තවත් මල පනිනවාය. මල පැනලා, පැනලා බැරිම තැන ගල් කැටයක් හරි ඊශ්‍රායල් පැත්තට විසි කරනවාය. ඒ පිටින් දමා තව 20-30 ස්වර්ගස්ත කරනවාය. ආයුධ විකුනා ගැනීමේ ප්‍රශ්ණයද විසදෙනවාය. පලස්තීන ව්‍යාප්තියද නැවතෙනවාය . ඒක් පුල් දෝමාලි කියන්නේ ඒකටය.එක ගලට කුරුල්ලොම දෙන්නෙක්ය.

මැදපෙරදිග හැම තැනම තෙල් නෑය. ඒක නිසා ඊශ්‍රායලයට ද තෙල් නැත්තේය. ඒ නිසා ඒගොල්ලො ඈමරිකාවෙන් තෙල් ගන්නේය. ඇමරිකාව තෙල් හැදුවාට ඒ ගොල්ලන්ටද තෙල් මදිය. ඒ නිසා ඇමෙරිකාව ඒගොල්ලන්ගේ යාළු චාවෙස්ගෙන් මෙන්ම සෞදි, ඉරාක තෙල් ද ගන්නේය. අවසානෙදී  කවුරු කවුරුත් තෙල් ගන්නේ මැද පෙරදිගිනි. ඔපෙක් කාරයෝ නිකන් තෙල් දෙන්නේ නැතිය. ඒවාට ඩොලර් කොල ද විසි කල යුතුය.ඩොලර් හම්බ කරන්නේ ආයුධ විකුනලාය. ඒ ආයුධ විකුණනේද මැද පෙරදිගටය. මැරෙන්නෙද උන්මය. අනිත්මට තෙල් ටිකද නැත්තේය. ඩොලර්යි තෙලුයි දෙකම නවතින්නේ ඊශ්‍රායලයේ ය.

'තෙල් - ආයුධ-ඩොලර්- මිනිස් ඔලු' චක්‍රයකි. යුදෙව්වන් ලග චක්‍රිය චින්තනය නෑලු. එගොල්ලෝ දන්නේ රේඛීය චින්තනයලු. ඒ උනාට ප්‍රශ්ණය චක්‍රීයලු. විසදුම ඇත්තේ චක්‍රීය චින්තනයේය් ලු.

'වෛරයෙන්  වෛරය නොසන්සිදේ' චක්‍රීය සංකල්පයක්ලු. එහෙත් වැඩ සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටලු. දෙවියන් සමග එකතු වීමට කැමැත්තො ඒ සදහා ආගම නාමයෙන් ස්වර්ගස්ථ කෙරෙනවලු, ඒතුමන්ගේ ‍තෝරා ගත් පිරිස උන යුදෙව්වන් ලගට, පැවැත්ම පිනිස ඕනා කරන තෙල් ටිකයි, සල්ලි ටිකයි ලැබෙනවලු. මේක දේව කැමැත්තලු.ඒ හින්දා අපට බලා ගෙන ඉන්නලු. ඒ නිසා අපි බලා ගෙන ඉන්නවා ලු. ඊට වඩා කෙංකෙඩියක් කොරන්නට අපටද බැරිය. හෙනහුරාදා ලැබුනු පොඩි නිවාඩුවෙන් පොඩ්ඩක් ජාල ගත උනා පමණය.කාලකණ්නි ආතල් එකක් නොවේමය.


 ප: ලි  : ගසා තීරයට නෙලීම ගැන ලියන්න හිතුනේ මයියා බුවාගේ පොස්ට් එකට කොටන්න ගිය කමෙන්‍ටුවකින්ය. ඒ නිසාම බුවා වෙනුවෙන් මයියාගෙන් විශේෂ ස්තූතියක් පිරි නැමේ..

Tuesday, 20 November 2012

'මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය.

                                               source : http://dhammabum.wordpress.com/2010/06/22/great-graphic/


 මෙහි පලමු ලිපියට මෙතැනින් යන්න

මෙම බ්ලොග් අඩවිය බෞද්ධ දර්ශනය පිලිබදව කීප අවස්ථාවක් කථා කර තිබෙනවා. ඉන් 'මහායානයද? ථේරවාදයද? නැත්නම් මුකුත්ම නැත්?ද ' යන ලිපිය වඩා අවධානයට යොමු වූ ලිපියක්.එය මහායාන හා ථේරවාද සම්ප්‍රධායන් අතර මූලික සිද්ධාන්ත වෙනස ඉතා සරලව තේරුම් කර ගැනීමට ගත් වෑයමක්. එය ලැබු ප්‍රතිචාර අතරින් බොහොමයක්, ධනාත්මක හෝ සෘණාත්මක වේවා,  එවායෙහි ගුණාත්මක වටිනාකම ඉහල බව මෙම ලේඛකයා විශ්වාස කරනවා.

මෙම සංවාදයේදී මතු වූ එක් කාරණාවක්  වූයේ වඩා නිවැරදි වන්නේ මහායානය ද නැතිනම් ථේරවාදය ද යන්නයි. මෙය කෙස් පැලෙන තර්ක ගෙන ආ යුතු මහා ලොකු ප්‍රශ්නයක් ලෙස මෙම ලේඛකයාට හැගී යන්නේ නෑ.එසේ නමුත් තමන් විශ්වාස කරන දේ පමනක් සත්‍ය ලෙස ගන්නා ගෝත්‍රවාදීයෙකු හට නම් මෙය, කිසියම් ආකාරයක, අභියෝගයක්....

කෙසේ නමුත් මතු කෙරුනු කාරණයට එනම් ප්‍රශ්ණයට උත්තර දීමට පෙර ප්‍රශ්ණයේ සීමා මායිම් පලමුව ලකුනු කල යුතුව තිබෙනවා. ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම,  පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.  එම නිසා ථේරවාදය ද ,  මහායානයද යන  ප්‍රශ්ණයේදී  මෙහි සැලකෙන්නේ, ඒ ඒ සම්ප්‍රධායේ සෛධාන්තික වෙනස මිස, ඒවා හා බැදුනු හෝ පසු කාලීනව ඊට එකතු වුනු  විවිද ඇදහිලි ක්‍රම, වත් පිලිවෙත් ආදිය නොවන බව සැලකිය යුතු වෙනවා. මෙම බොහෝ වත් පිලිවෙත් හෝ ඇදහිලි ක්‍රමයන් හී මූලාරම්භයන්, ඒ ඒ සමාජ හා බැදුනු ජනප්‍රිය විශ්වාස හෝ මිත්‍යාමත පදනම් වෙන බැවින් ඒවා මත පදනම්ව මෙම ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් යුගලයේ බර සසැදීම අනුවණ ක්‍රියාවක්. එය  කැලණි ගඟ මුහුදට වැටෙන තැනෙන් වතුර බීලා, ගග පටන් ගත්ත තැනේ වතුර වල ගුණ දොස් සොයන ආකාරයේ බොලද උත්සහයක්.

මීට පෙර ලිපියෙන් සාකච්චා කල අකාරයටම මෙම සම්ප්‍රධායන් දෙකෙහි මූලික සෛධාන්තික වෙනස 'අනාත්ම' තාවය මත පිහිටා තියෙනවා. මුල් ලිපියේදී මෙම අනාත්මවාදය සම්භන්ධ ගැටළුව, හරබර වචන වලින් තොරව, ඉතා සරලව ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයා අවංක උත්සහයක් දරා තිබුනා.නමුත් ඇත්ත වශයෙන්ම එය ඊට මදක් සංකීර්ණයි. කෙසේ නමුත්, සාරංශ වශයෙන් ගත් කල,  ථේරවාදයේදී 'අනාත්මතාවය',  පරමාර්ථ ධර්මයක් ලෙස සැලකෙන රූප පරමාර්ථයට යොමු වන අතර , මහායානයේදී එය 'ශුන්‍යතාව' දෙසට දිශාමුඛ වෙනවා.

මේ න්‍යායාත්මක කරුණ පසෙකින් තිබියදී,  භාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම  සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා.  සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත්  මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි. මීට සියවස් ගානකට පසු  'මිලින්ද-නාගසේන' හමුවේද කාරණය ප්‍රශ්ණයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා.

                                              : http://www.docstoc.com/docs/26322723/Differences-Between-Theravada-and-Mahayana-Buddhism

තමන් වහන්සේ දෙසූ 'ධර්මය හා විනය',  තම පරිනිර්වාණයෙන් අනතුරුව මූලික වන බව බුදුරදුන් දේශනා කලා. ඒ නිසාම "මහායානයද? ථේරවාදයද?" යන සෛධාන්තික ගැටලුව තේරුම් ගැනීමටද 'ධර්මය හා විනය' යන මිනුම් දණ්ඩ යොදා ගැනීම සාධාරණ කාරණයක්. එසේ ගත් කල ඊලග ගැටලුව වන්නේ 'ධර්මය' ලෙස ගත යුත්තේ කුමක්ද යන්න ය.  අන්තවාදී වූ ථේරවාදීයෙක් 'ධර්මය' යනු ථේරවාදය ලෙසත්, ප‍ටු කල්පනා ඇති මහායානවාදීයෙක්, 'ධර්මය' මහායානයත් සලකතොත් පුදුම නොවිය යුතුය.එහෙත් සත්‍යය ඊට වෙනස් ය. බුද්ධ දේශනය එයට පිලිතුරු සපයා තියෙනවා.

වරෙක, බුදුරදුන් ගේ සුළු මව වු මහා ප්‍රජාපතියන් විමසූවේ....'ධර්මය' හා 'ධර්මය නොවන දේ' හදුනා ගන්නේ කෙසේද යන්නයි. බුදුන් වහන්සේ සෘජුව පිලිතුරු දී තිබෙනවා.
'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට  යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය  යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.

මේ හා බැදුනු අනිත් ධර්ම කාරණය, ප්‍රචලිත හා ජනප්‍රිය කාලාම සූත්‍රයේ දැක්වෙනවා. එහිදී බුදුරදුන් දේශනා කර සිටින්නේ ' යමකු කිසිවක් කී පමණින්, සම්ප්‍රදාය වූ පමණින්, ශුද්ධ වූ ලියැවිල්ලක්  වු පමනින් එසේත් නැතහොත් තර්කයට ගෝචර වූ පමනින් හෝ ගුරුවරයා (?) කී පමනින් සත්‍ය ලෙස නොසැලකිය යුතු බවයි.' ඒ වෙනුවට බුදුරදුන් දේශනා කරනු ලබන්නේ  විභජ්‍යවාදයයි. එනම් යමක් තේරුම් ගත යුත්තේ තම තමන්ගේ අත්දැකීම, හේතුව  හා ඵලය බැදුනු තර්කය මත පදනම්ව බවයි.

බුද්ධ දර්ශනයේදී යමෙක් බලාපොරොත්තු වන්නේ 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි.

මෙයින් ' අනාත්ම' තාවය යනු බුදු දහමේ පමණක් දැක්වෙන , එය අනෙකුත් ආගම් හා දර්ශනයන්ගේන් වෙන් කර දැක්වෙන, ප්‍රබල සංකල්පයක්.මෙය එක අතකට සංකල්පයක් නොව , නිසැකවම සංකල්පීයමය තත්වය අභිබවා යන්නක්. 'දුක' හා 'අනිත්‍ය' සම්බන්ද කාරණා බුද්ධ දර්ශනය හා සමකාලීන වෙනත් ශ්‍රාස්තෲවරුන් ද, ලෝකයේ වෙනත් ආගම් ද  කථා කර ඇති මුත් 'අනාත්ම' තාවය බුද්ධ දර්ශනයට පමණක් ආවේණික වන්නක්.ථේරවාද හා මහායාන යන සම්ප්‍රධායන් දෙකම මෙම 'අනාත්ම' තාවය පිලිගන්නා අතර එය අවබෝධ කර ගැනීම සදහා ඒ දෙසට යොමු වී ඇත්තක්. එම නිසාම මෙ සම්ප්‍රධායන් අතරින් වඩා නිවැරදි දේ කුමක්දැයි සෙවීම පසෙක තිබියදී , මේ සම්ප්‍රධායන් දෙකම පිලිගන්නා, එසේම ඒ දෙසට යොමු කෙරෙන 'අනාත්ම' තාවය වටහා ගැනීම වඩා වැදගත් බව මේ ලේඛකාය විශ්වාස කරනවා.

කෙසේ නමුත්  මහායානික හා ථේරවාද සම්ප්‍රධායන් ගත් කල  ' ධර්මය'  යොදා ගන්නා ආකාරයේ සියුම් ප්‍රවේශනාත්මක වෙනසක් තිබෙනවා.

මහායානික සම්ප්‍රදායේදී ධර්මය සලකනුයේ හුදෙක් 'මෙවලමක්' (Instrumental value) ආකාරයෙනි.  උදාහරණයක් ලෙස ගත්හොත් වර්ථමානයේ ඇතැම් අය 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ අන් අයගෙන් තමා වෙනස් බව හෝ උසස් බව දැක්වීම උදෙසාය. මෙවන් අයට ඇත්තෙන්ම 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් පමනෙකි. එහෙත් තවත් අයෙක් 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ ලෝකය හා නව දැනුම සමග සම්භන්ද වීමටය. ඉන් ප්‍රයෝජනයක් ගැනීම සදහාය. මෙවන් අයෙකුට 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් නොව 'මෙවලාත්මක' වටිනාකමක් ය.

ධර්මය ද 'මෙවලාත්මක' ලෙස පාවිච්චි කිරීමේදී එය පාවිච්චි කරන පුද්ගලයාගේ මනසට හා අවබෝධ කිරීමට උත්සහ ගන්නා සත්‍යට අනුරූප සාපෙක්ශ වටිනාකමක් ලැබෙන බවක් හැඟී යනවා.  ඒ අනුව අතීත මහායානික ශාස්තෲවරුන්  ත්‍රිපිඨකයේ සදහන් ඇතැම් ධර්ම කරුනු  වඩ වඩා විශ්ලේශනය කොට නව අරුත් සැපයීමට උත්සහ ගෙන තිබෙනවා.  ඒ කුමන උත්සහයක් උවද 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'ආනාත්ම' යන සංකල්ප අභිබවා යාමක් හෝ  ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදු වී නෑ. ඇත්තෙන්ම සිදු වී ඇත්තේ බුදුදහමේ සදහන් 'අනාත්ම' තාවය වඩ වඩා විශ්ලේශනය කර 'ශූන්‍යතාවය' නැමැති සංකල්පය වඩා ඉස්මතු කර දැක්වීමයි. මහායානයේ දැක්වෙන'ශූන්‍යතා' සංකල්පය තර්කයක් වශයෙන් ප්‍රතික්ශේප වී ඇති අවස්ථාවක් මේ ලේඛකයාට නම් තවම සමු වී නෑ. කෙසේ නමුදු 'ශුන්‍යතාවය' පිලිගත්ත ද නැතද එය බුදු දහමේ මූලීක පදනම් වලට කිසිදු අකාරයේ බලපෑමක් ඇත්තේත් නෑ. එය විශ්වාසයන් අතර නැතහොත් ශ්‍රද්ධාව පිලිබද ගැටලුවක් විතරය.

මහායානිකයන් කර ඇති ආකාරයේ ධර්ම විශ්ලේශණයකට බුදුරදුන් කිසි විටක බදා පමුණුවා නෑ. බුදුරදුන් වරක දේශනා කලේ තම 'ධර්මය' පාවිච්චි කල යුත්තේ 'පාරුවක්' ලෙස බවය. ගගෙන් එගොඩ වීමට පාරුව උපයෝගී කර ගනු විනා පාරුව කර තබා ගෙන යාමක් උන්වහන්සේ අපේක්ශා නොකල බව ඉන් පැහැදිලිය.  තවත් විටෙක උන් වහන්සේ දේශනා කලේ 'ධර්මය' යනු කපන්න කපන්න දිදුලන මැණිකක් මෙන් කියා ය. මෙය තමන්වහන්සේ දෙසූ 'ධර්මය' වඩ වඩා විශ්ලේශණයකිරීමට කරන ඇරයුමක් නොවේද?

සැබෑ සැපත සොයා යන ගමනේ, තමන්ගේ ගැලවුම්කාරයා තමන් ම බව බුදුරදුන් සෑම විටම දේශනා කර තිබෙනවා. ' ධර්මය' හුදෙක් එහි ආධාරකයක් පමනක් බව එතුමා දේශනා කර තිබෙනවා. ආනන්ද තෙරුන් අමතා බුදුරදුන් 'ධර්මය' උපමා කරන්නේ 'දූපතක් 'ලෙස ය.

කෙසේ නමුත් ථේරවාද සම්ප්‍රධායේදී 'ධර්මය', ප්‍රථම ධර්ම සංඝායනාවේදී තහවුරු ආකාරයට ,ඒ අයුරින්ම පවත්වා ගෙන යෑම සදහා වැඩි වෙහෙසක් ගන්නා ආකාරය දක්නට ලැබෙනවා.

                                                          source : http://spiritrambler.blogspot.com/2011/03/seeing-is-not-believing.html


ලිපිය අවසාන කිරීම සදහා අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මහායාන වේවා, ථේරවාද වේවා, මෙම සම්ප්‍රධායන් දෙකම ගෞතම බුදුරදුන් ලෝකයා වෙත මහා කරුණාවෙන් දේශනය කරන ලද , 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ශනය අවබෝධ කරගැනීම සදහා උපකාරී වන බවය. එය සමාන කල හැක්කේ,' හද' පෙන්වන 'ඇඟිල්ලක්' ලෙසය. අප දැකිය යුත්තේ ඇඟිල්ල නොව හද ය. කුමන ඇඟිල්ලකින් උව ද හද පෙන්විය හැක. වඩා වැදගත් වන්නේ එය අතෙහි කිනම් ඇගිල්ලද යන්න නොව එම ඇඟිල්ල යොමු වී ඇති දිශාව පමනෙකි.