Sunday 19 February 2023

සජබේ ආර්ථික යෝජනා....2023



සමගි ජන බලවේගයේ SJB ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වා තිබෙනවා. හර්ෂ, එරාන් සහ කබීර් ඇතුලු පුද්ගලයන් කණ්ඩායමක නායකත්වයෙන් මේ ප්‍රතිපත්ති මාලාව කෙ‍ටුම්පත් කර එලි දක්වා ඇති බවක් කියැවෙනවා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලන කොට තේරුන දේ තමයි, ඒක දැන් රනිල් ක්‍රියාත්මක කරන්න හදන ආර්ථික ප්‍රතිපත්ති වලට ගොඩක් සමාන බව. ඒක එහෙම උනාට කමක් නෑ..මොකද මම විශ්වාස කරන දෙයක් තමයි, මොකා බලයට පත් උනත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක් විතරයි. ඒ නිසා ඒ ගැන විවේචනයක් මට නෑ.

හැබැයි මට තියෙන ගැටළුව තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය තිත්ත කසායක් වගේ. ලෙඩේ හොද කර ගන්න නම් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. මිනිස්සු එහෙම  දුක් විදින්න ලෑස්ති නෑ. ඒ නිසාම මිනිස්සු අතරින්ම , සමහර විට ජවිපේ මූලික වෙලා  හරි, මේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරෝධයක් හට ගන්නවා. එතකොට පවතින් ආණ්ඩුව ඒකට මුහුණ දෙන කොට එතැන දේශපාලනයක් තියෙනවා. සමහර විට සමගි ජන බලවේගය ඇතුලෙන්ම මේ ප්‍රතිවිරෝධය පටන් ගනිවී.

එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා තියෙන්නේ හර්ෂ ඇතුලු  පක්ශේ කීප දෙනෙක් මූලික වෙලා, මේ හතර පස් දෙනාට පක්ශයේ දේශපාලන ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී ලොකු බලයක් නෑ. මට හැ‍ඟෙන විදිහට. හර්ශගේ සමහර විට පොඩි පොතේ ගුරු ලයින් එකක් තියෙනවා. බිම් මට්ටමේ දේශපාලනයේදී එයාට ඇඩ්‍රස් කරන්න පුලුවන් කොලඹ ඉන්න පොඩි සමාජයක් විතරයි.

මේ තත්වය තුල, මොන බාධකය ආවත්, විශේෂයේන් ජනතා අරගල, අප්‍රසාදය වැනි කාරණාත් සමග, මේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න SJB පක්ෂය පැත්තෙන් තියෙන කැපවීම මොකක්ද?

ගොඩක් වෙලාවට වෙන්නේ, ලොකු ජනතා විරෝධයක් හමුවේ, මේ ප්‍රතිපත්ති දියාරු කර, නැවත පරණ පුරුදු විදිහට යන එක තමයි. ආණ්ඩුවත් බලයේ ඉදගෙන, සල්ලිත් අච්චු ගහගෙන පරන තාලේම අල්ලන එක. ඒක එහෙම නොවෙන්න නම්, මේ ප්‍රතිපත්ති පුද්ගලානුබද්ධ නොවී, පක්ශයක් වශයෙන්  මේ ප්‍රතිපත්ති සමග ආත්මීයව බැදෙන්න ඕනේ..

1948  දී නිදහසෙන් පස්සේ ලංකාවේ බලය හම්බ උනේ නිදහස් වෙලදපොල ක්‍රමයක් ගැන විශ්වාස කරපු ලිබරල් අදහස් තිබ්බ එක්සත් ජාතික පක්ශයට. එතකොට ප්‍රධාන විපක්ශය උනේ  සමාජවාදී අදහස් තියෙන පක්ශ.

සමාජවාදී ප්‍රගතිශීලි අදහස්  ව්‍යාප්තියත් එක්ක යූඑන්පී එකට හැප්පෙන්න බැරි උනා. යූඑන්පී එක කලේ ඒ සමාජවාදී අදහස්, කොටින්ම කියනව නම් මිනිස්සුන්ට සහනාධාර දෙන විදිහට තමන්ගේ ආණ්ඩු ප්‍රතිපත්ති ක්‍රම ක්‍රමයෙන් වෙනස් කර ගත්ත එක.  වර්තමාන ආර්ථික අර්බුදය එනකම්ම මේ තත්වය, අඩු වැඩි වශයෙන් සියලු ආණ්ඩු කලා.

දැන් හර්ශගේ යෝජනා සමාන වෙන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. මම පෞද්ගලිකව ඒ ප්‍රතිපත්ති පිලිගන්නවා. 

ඒත් මතක තියා ගන්න සජපේ ආණ්ඩුවක ප්‍රධාන විපක්ශය වෙන්නේ මාලිමාව. මේක 1948 න් පස්සේ තිබ්බ තත්වයම තමයි. ජනතාවාදී අදහස් තියෙන ජවිපේ සමාජවාදී අදහස් එක්ක තමයි බිම් දේශපාලනය කරන්න වෙන්නේ. ඒ අදහස් මිනිස්සුන්ට හරිම ආකර්ශණියයි.ඒත් දිර්ඝ කාලීනව පැවැත්මක් නෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය් ක්‍රියාත්මක කරන්න වෙන්නේ දැඩි දෙශපාලන අභියෝග එක්ක. එතකොට මේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.

උදාහරණයක් ලෙස මිනිස්සු දුක් විදින කොට, දේශපාලකයාත් තමන්ගේ පැත්තට බෙදා ගන්නේ නැතුව, සාමාන්‍ය මිනිස්සු වගේම  ජීවත් වෙන්න ඕනේ. මේ කාරණයෙදී ජවිපේ  කට්ටිය  ඒ කැප කිරීම කරන්න පුලුවන් කියලා ජනතා විශ්වාසයක් දිනා ගෙන තියෙනවා. ඒත් පොහොට්‍ටු,  සජප වැනි දේශපාලකයන් ඒකට සුදානමක් ඇති බවක් ජනතාවට ඒත්තු ගන්වලා නෑ.කිරිඇල්ලලා වගේ මිනිස්සු බලන්නේ තමන්ගේ ආණ්ඩුවක් ආවාම තමන්ට බෙදා ගන්නේ කොහොමද කියන එක. මේ වගේ කට්ටිය එක්ක, හර්ෂ ගේන ආර්ථික විසදුම් එක්ක එන ජනතා අසහනයට මූන දෙන්න අමාරුයි. ඒකට හොද කැරිස්මැටික් නායකත්වයක් වගේම, මඩේ හිටවපු ඉන්න වගේ නැති දැඩි තීරණ ගන්න පුලුවන් නායකත්වයක් ඕනේ. ඒ වගේම පක්ශයේ මුල් පෙල නායකයන් ඒකට සපෝර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව  එන දේශපාලන අභියෝග වලට මූණ දෙන්න බෑ.

හර්ශගේ ඉකොනොමික් ප්‍රතිපත්ති, දේශපාලන අරගලයක් දක්වා එන කොට සජිත් ඇතුලු පක්ශේ මොකක්ද කරන්නේ කියන එක තමයි කථා කරන්න ඕනේ.පක්ශේ විතරක් නෙමේ, අභියෝග එනකොට, හර්ශත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ස්ථිරසාරව හිට ගනීද කියන එක මට ප්‍රශ්ණයක්.









2222