Thursday, 8 September 2011

මයියාගේ කතන්දර හෙවත් මයිකථා : MY STORY BOOKS

ඊයේ පෙරේදා දවසක යාළුවෙක්ව හම්බ වෙච්ච වේලාවක හොද මාතෘකාවක් ඉබේටම වගේ ඇදිලා ආවා. ඒ ඉස්සර අපි කියවපු පොත් ගැනයි. ඉස්සර කියවපු පොත් කිව්වේ ඉතින් මැතක නම් නිවීහැනහිල්ලෙ පොතක් පතක් කියවන්න නොලැබුනු හින්දයි. යාළුවත් මයියා වගේම පොත් කියවපු කෙනෙක් හින්දා දන්නේම නැතුව කතාව ගොඩාක් වෙලා ඇදිලා ගියා. යාළුවගේ බිරිදත් පොත් රසිකයෙක් හින්දා කථා බහ නියෙමටම ආතල් එකේ රෑ 12 විතර වෙනකන් ඕහේ ඇදිලා ගියා. යාළුවා නම් තාමත් හොදට පොත පත පරිහරණය කරන නමුත් මයියා ට නම් ඒ වැඩේට කාලය ගොඩක් දුරට හරස් වෙලා. ඉස්සර පොඩි කාලේ නම් පොත පත කියවන්න තිබ්බ එකම බාදකය, පොත පත මිලදී ගන්න හැකියාවක් නොමැති කමයි. ඒ දවස් වල ඒකට තිබබ උත්තරය උනේ යාළුවොත් එක්ක පොත් හුවමාරු කර ගන්න එක තමයි. මයියලගේ ගෙවල් ගාව තිබ්බ පුස්තකාලයත් ඒ දවස් වල මයියාට ගොඩක් උපකාර උනා.

මයියාට මතක විදිහට මයියා ඉස්සෙල්ලම තනියෙන්ම කියවපු පොත, පොල් ගෙඩි සයිස් අකුරු තිබ්බ ලමා කථන්දර පොතක්. ඒක මේ 'දීප්ති' කියලා කූබියෙක් ගැන තිබ්බ කතාවක්. පොතේ තිබ්බ පින්තූරයක් නම් දැනුත් මයියා ට බොද වෙලා වගේ මැවිලා පේනවා. ඒත් කතන්දරය නම් හරියට මොකක්ද කියලා නම් මතක නැ. මේක මං හිතන්නේ දෙක වසරේ හරි තුන වසරේදි හරි කියවපු පොතක් වෙන්න ඇති.මයියාට මතක් ගෙදර සාලයේ තිබ්බ සැටියේ වාඩි වෙලා මේ පොත කියවනවා තමයි. මොනා උනත් 'දීප්ති' කියන නමට නම් තාමත් මයියා ගේ විශේෂ කැමත්තක් තියෙන විත්තිය කියන්න ඕනා. සමහර විට මේ කතන්දරය ඒකට බලපාලා ඇති. ඊට පස්සේ යාළුවෙක් ගාව තිබබ 'ලස්සන වසිලිස්සා ' පොත ගෙදර ගෙනත් කියවනවා මයියා ට මතකයි. මේකේ ලස්සන සුරංගනා කතා ගොඩාක් තිබ්බ විත්තිය මතක නමුත් ඒ කතා නම් මතක් කරලා ගන්න හරිම අමාරුයි. එත් ඊයේ පෙරේදා දවසක මයියා ගේ බිරිද මයිලේඩි, මයිපැටවුනට කියලා දුන්න කතාවක් නම් මේ පොතේ තිබ්බ විත්තිය මයියාට එක පාර මතක් උනා, ඒ කුමරිකාව හා කුමාරවරු හත් දෙනාගේ කථාව තමයි.අර කුමාරවරු හත් දෙනා හංසයෝ වෙන්නේ.

ඊලගට මයියා ගෙ මතකයට එන්නේ මයියා පහ වසරේදි විතර කියෙව්ව 'වන ගත ලමෝ' කියන ලමා කතන්දර පොතයි. ඒක ලියලා තිබ්බේ කතොලික පිය නමක්. මෝලේ කොච්චර මලකඩ කාල ද කියනව නම් දහ පාරක් විතර කියවලා තියෙන මේ පොත ලියපු, ඒ පියතුමාගේ නම මයියා ගේ මතකෙට එන්නේම නැ. මොනා උනත් මේක මයියා හරි ආසවෙන් කියවපු පොතක්. මේ කාලෙම මයියා කියවපු පොතක් තමයි ලෙටීශියා බොතේජු ගේ ' පාර දිගේ' නවකාථාව. අම්මෝ මේ පොතත් මයියා 15 පාරක් පමණ කියවලා ඇති. දැන් හම්බ උනත් ආයේත් කියවන්න පුලුවන් ලස්සන පොතක්. මේ පොතේ කථා නායකයා පොඩි කාලේ ගෙදරින් පැනලා ගිහිල්ලා, ඊට පස්සේ ජීවිතේ සිදුවන හැල හැප්පිලි තමයි මේ කථා පොතේ තියෙන්නේ. ඉදලා හිටලා ගමනක් යන කොට , පොතුහැර ප්‍රදේශය පහු කර ගෙන යන කොට මයියා ට මේ පොත තාමත් මතකෙට නැගෙන්නේ, මේ පොතේ කථා නායකයා ගේ ගමත් පොතුහැර වීම නිසයි. මේ කාලේදිම මයියා 'බද්දේගම' නවකතාවත් කියෙව්වත්, ඒ පොඩි වයසට ඒ පොත ඒච්චර අල්ලලා ගිය නැති විත්තිය නම් තාමත් මයියාට මතකයි.මේ කාලේම තමයි මයියා 'නිරුවත් වානරයා' පොත පුස්තකාලෙන් ගෙනල්ලා කියවන්නේ. පොතේ තිබ්බ දේවල් මෙලෝ හසරක් නොතේරුනාට , ලිංගිකත්වය ගැන ලියලා තිබ්බ පි‍ටු කීපය ඒ දවස් වල මයියාත් මයියගේ යාලුවෝ අතරත් ගොඩක් ජනප්‍රිය උනා. වැල පත්තර එන්න කලින් , නිරුවත් වානරයා ගේ පොත, ලිංගික අධ්‍යාපනය සම්භ්න්දයේන් කරපු මෙහෙය ඉතා වටිනවා. ඒත් ඉතින් වැල පත්තර ඉදිරියේ , නිරුවත් වානරයා කියන්නේ ලොරියක් ගාව බයිසිකලයක් හේත්තු කලා වගේ තමයි.

ඊට පස්සේ මයියා අලුත් ඉස්කෝලෙකට යනවා. මේත් එක්කම මයියා ට ගොඩක් පොත පත කියවන්න අවස්ථාව ලැබෙනවා. ටීබී ඉලංගරත්නගේ තිලක, තිලක හා තිලකා ඒතනින් එහාට ගියාම අඹ යාළුවෝ එහෙම කියවන්න හම්බ වෙන්නේ මේ කාලේදි තමයි. අනිත් පොත් වගේ නොවෙයි මේ පොත් නම් මයියා කියවලා තියෙන්නේ එක පාර ම තමයි. පොතක් මෙහෙම ඒක පාරක් විතරක් කියවන්න වෙන්නේ ඒ පොත මයියාගේ යාලුවෙක්ගේ, යාලුවෙක්ගේ යාලුවෙක්ගේ පොතක් වෙන හින්දා තමයි. ඒ හින්දා ඒ වගේ තිබ්බ දේවලුත් මයියාට එච්චර මතකයක් නැ. ඒත් අඹ්යාලුවෝ කතාව නම් මයියා ට හොදට මතකයි. ඒ සමහර විට අඹයාලුවෝ ටෙලි නාට්‍ය නිසා වෙන්න ඇති. ඒතනින් එහාට ගියාම ෂර්ලොක් හෝම්ස් ගේ සිංහල පරිවර්තනයත් මේ දවස් වල මයියා ගොඩාක් පාරක් කියවපු පොතක්. පස්සේ කාලෙක සිරස ගුවන් විදුලියේත් මේ කතා මාලාව ඒ ආකාරයෙන්ම විකාශනය උන හින්දා මේ වගේ තිබ්බ කතා ටික නම් මයියා ට දැනුත් හොදට මතකයි.

මේ කාලේ වෙන කොට මයියා අතට අහු වෙන ඕනෑම දෙයක් කියවන හින්දා, කියවපු පොත් පිලිවෙලකට ගලපගන්න අමාරුයි. ඒහෙම උනත් හොදින් හිතට කා වැදිලා ගිය පොත් කීපයක් ගැන නම් කතා නොකරම ඉන්න බෑ. ' ජෙන් අයර්' සිංහල පරිවර්තනයත් මේ වගේ පොතක් තමයි. මේක මයියගේ උපන් දිනේකට මයිඅක්කා මයිය ට දුන්න තෑග්ගක්. තරුණ ගුරුවරියක් පෝසත් පවුලක දරුවෙකුට උගන්නන්න යනාතරේ ඒ නිවාසය අශ්‍රිතව මෙ කතාව ගොඩ නගලා තියෙනවා. ඉතා සරල කථා වස්තුවක් උනත්, තාමත් ඒක මේ තරම් මතකේ තියෙන්න, ඒ සිංහල පරිවර්තනයේ ගුණාත්මක බව ගොඩක් හේතු වෙන්න ඇති. පස්සේ කාලේක මයියා මේකේ සම්පූරණ ඉංග්‍රිසි පොතත් කියවලා තියෙන හින්දා ඒ මේ සිංහල පරිවර්තනය ගැන මයියා ට තියෙන්නේ උසස් හැගීමක්. මෙ ගණ්යේම තවත් පොතක් වන්නේ 'සුදු වත හැදි කත' කියන පොතයි. මේකත් ' ද ලේඩී විත් ද වයිට්' කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි පොතේ පරිවර්තනයක්. මේ පරිවර්තනයත් ලෙසටම ලියලා තියෙනවා කියලා මයියා ට හිතෙනවා.

මයියා කොච්චර පොත් කියවලා තියෙන නමුත් අද වෙනකන් අතට අරං කියවලා සම්පූර්න කර ගන්න බැරි වෙච්ච පොත් කීපයකුත් තියෙනවා. මේ අතරින් සුගතපාල ද සිල්වා ගේ 'ඇට මැස්සා' පොත විශේෂයි. මයියා මේ පොත කොච්චර කියවන්න ට්‍රයි කලත් අතර මැදදි මේක නතර කරන්න මයියා ට හිතෙනව. ඒත් ඔය පොත් රසිකයක්ගෙන් 'ඇට මැස්සා' ගැන ඇහුවොත් කවුරුත් ඉහලිම වර්ණනා කරන පොතක් තමයි මේක. සුගතපාලද සිල්වා මහත්තයගේ 'හිට්ලර් එල්ලා මරයි' කියන පොත තුන් හතර පාරක් කියවලා තියෙද්දි, ඒයාගේම 'ඇට මැස්සා' එහෙම කියවන්න හිතෙන්නේ නැති එක නම් මයියා ටත් පුදුමයක්.

පොත් ගැන තව ගොඩක් දේවල් ලියන්න තිබ්බත්, මේ පෝස්ට් එක දිග වැඩි වෙන නිසාත්, ලියලා ලියලා මයියා ට ම ඇති වෙලා නිසාත් ඊලග පෝස්ට් එකෙනුත් මේ මාතෘකාවම කථා කරන අදහසින් මේ ඇදගෙන ආපු කතාව මෙතනින් ඉවර කරනවා.

20 comments:

  1. මයියා වගේම දි උනත් පොත් කියවන්න හරිම ආසයි. පොඩි කාලෙ ඉදන්ම වෙන්කරන්නෙ නැතුව අතට අහුවෙන ඕනෙ පොතක් කියවන්න දිල් කැමතියි.... ඔක්කොටම වඩා රුසියන් කතා කියවන්න කැමතියි....

    කියවාපු පොත්වලින් දිල් වැඩියෙන්ම කැමති චිංගීස් ආයිත්මාත්ව් ගේ ගුරු ගීතය පොතට.. දැන් උනත් නිවාඩු පාඩුවෙ මේ පොත කියවනවා..ආයෙම ආයෙම...

    දිල්ගෙ අයිතිකාරයත් පොත් කියවන්න කැමතියි. හැබැයි ඉතින් බර බර පොත්. මේ ලඟදි දිල්ට එයාගෙන් තෑගි ලැබුන පොත තමයි Confessions of Economic Hit Man නොහොත් ආර්ථික කුලී ඝාත්කයෙකුගේ පාපොච්චාරණය....නියම පොතක්

    ReplyDelete
  2. ලස්සන් වසිලිස්සගෙන් පටන් ගත්ත රුසියානු පොත් පිල්බද මයියා ගේ අත්දැකීම් වානේ පන්නරය, අම්මා , ගුරුගීතය වගේ පොත් එක්ක වැඩි උනා. ඔව් එවා ගොඩක් ලස්සන පොත් තමයි.

    ජොන් පර්කින්සන්ගේ ඉකොනොමික් හිට් මෑන් ම්, මයියා ත් එක හුස්මට කියවලා ඉවර කරපු පොතක්. අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මේක කොටස් වශයෙන් ලංකාදීපේ ගිය බවකුත් මයියට මතකයි.

    දිල් ගේ අයිතිකාරයත් පොත් වලට කැමති කෙනෙක් වීම ගොඩක් හොදයි. කෝ ඉතින් මේ අයිතිකාරයා හම්බ වෙච්ච තැන වෙනකන් තාම දිල් ගේ කථාව ලිය උනේ නෑනේ..

    ReplyDelete
  3. මාත් මාරම ආසයි පොත් කියවන්න. දන් උනත් පොතක් ලැබුනොත් ඉවර වෙනකන්ම කියවලාම තමයි නවත්වන්නේ.

    ReplyDelete
  4. දිල් ආයෙම කතාව ලියන්න පටන්ගන්නවා මයියෝ...තාම ලියමින් පවතිනවා

    ReplyDelete
  5. @ මධුරංග

    පොත් කියවන එකෙන් අපි දන්නේම නැතුව අපේ චරිතය හැඩ ගස්සනවා. තවත් පොත් පිස්සෙක්ව අදුනා ගන්න ලැබීම සතුටක්

    @ දිල්

    ඒකනේ . පාඨකයෝ දිල් ලියනකන් බලාගේන ඉන්නවා

    ReplyDelete
  6. Deepthita nam kamathi bawa rahasak nemeene kaatawath!

    ReplyDelete
  7. පට්ටම් බ්ලොගක් මය්යෝ.. මම ආවේ එක පොස්ට් එකක් කියවන්න.. රහ වැටුන පාර එක දිගටම කියවන ගියා.. එල කිරි.. මය්යගේ බ්ලොග මගේ රීඩරේ වරදින්නේ නැති බ්ලොගක් වෙනවා ඕන් අද ඉඳල... අහ්.. මෙහෙම ආව මමත් හොඳ පොත්ගුල්ලෙක් තමයි.. ඇන්ටන් චෙකොෆ්, චිංගිස් අයිත්මාතව්, ඩැනියෙල් ඩෆෝ, මාර්ක් ට්වේන්, අගතා ක්‍රිස්ටි වගේ අයගේ ඉඳල කොළ කෑල්ලේ බිත්තියේ කුරුටුගාන අපේ උන්ගේ කතන්දර කවි වෙනකම්ම මමත් අතනෑර කියවනවා..

    ReplyDelete
  8. වනගත ළමෝ ලියල තිබුණෙ දොන් පීටර් පියතුමා බවයි මගෙ මතකය.

    ලස්සන වසිලීස්සා පොතේ අන්ද්‍රේ නැති රටට ගිහිල්ල නැති රටින් නැති දෙයක් අරගෙන එන වැඩේට තමා මම කැමති. නීල කොබෙයියාද කොහෙද ඒ කතාවෙ නම.

    ReplyDelete
  9. වනගත ලමෝ ලිව්වේ මර්සලීනු ජයකොඩි පියතුමා මට මතක හැටියට,මටත් තවමත් අමතක නොවෙන පොතක් තමයි.
    මේ මට ඒ කාලෙම කියවපු තවත් අමතක නොවෙන පොත් කීපයක්
    එලිමාමා,ගොපලු දරුවෝ,බිම්මහල,කල්ලන්දූවේ මුතු කොල්ලය සහ ඒ කණ්ඩායමේම අනිකුත් පොත් කීපය,රණරාල,..............
    ඇට මැස්සානම් මම ඉස්කෝලේ යන වංගියේ පැය අටක් එක දිගටම කියවලා ඉවර කලා.

    ReplyDelete
  10. මගේ පලවෙනි ලොකු පොතත් "වනගත ළමෝ". ඒක කියෙව්වේ හතරේ ඉන්න කාලේ. 10 සෙරයක් විතර කියවන්න ඇති. වැඩිම වතාවක් කියවපු පොත T B ඉලන්ගරත්නගේ විලම්බීත කියන පොත 20 වතාවක් විතර. එක දිගට කියවපු දිගම පොත වනරයන්ගේ Tarzan එක උදේ 8 ඉඳල හවස 3 වෙනකම් නැගිටින්නේ නැතිව කියෙව්වා 7 ඉන්න කාලේ. වනගත පිය සටහන් වගේ නමක් තියන පොතක් හරිම ආසාවෙන් කියෙව්වා ඒ කාලේ, බින් තැන්නේ ගුරු ජීවිතය ඇසුරු කරගෙන ලියපු පොතක් . දැනුත් ආසයි ඒ පොත හොයාගන්න තියෙනවා නම්. ඇට මැස්ස නම් හොඳ පරි වර්තනයක්. එක හෙබෙයි සිංහල පටක්යන්ගේ අතර ගොඩක් ජනප්රියයි. ලෝක සාහිතයේ නම් එච්චර තැනක් ඈති පොතක් නෙමේ ඒක.

    ReplyDelete
  11. @ අපි නොදන්න ඇනෝ...හම්බෙමුකෝ...

    @ ක්සැන්ඩර්
    තවත් පොත් ගුල්ලේක්. අදුනා ගන්න ලෑබීම සතුටක්. මයියා ඇන්ටන් චෙකොෆ් ගේ පොත් නම් කියවලා නෑ,හරිම අඩුවක් තමයි. ඒත් ක්සැන්ඩර් ලියලා තියෙන අනිත් අයගේ ඒවා නම් හොදට කියවලා තියේනවා.ඒත් ඩිෆෝගේ නම් රොබිනසන් කෘසෝ විතරයි කියවන්න හම්බවෙලා තියෙන්නේ

    @ පොඩිගමයා

    අන්න හරි ... දොන් පීටර් පියතුමා තමයි...ඔය පොතේ කොටසක් ඒ දවස් වල හතරේ සිOහල පොතෙත් තිබ්බ වගේ මතකයි..

    ලස්සන වසිලිස්සා..ඔය කියන කථාව මතකෙට එන්නේම් නෑ... වයසයිනේ අප්පා...

    ReplyDelete
  12. @ චාමී

    තෑන්ක් යූ වේවා. මේ පැත්තේ අවාට බොහොම ස්තුතියි

    @සිතුවිලි මණ්ඩිය

    පොඩිගමයා ලියලා තියෙන දොන් පීටර් පියතුමාගේ නම හරී කියලයි මයියට මතක. මර්සලීන් ජයකොඩි පියතුමත් හොද සාහිත්‍යකරුවෙක් තමයි. අර වෙසක් කෑකුලු අතුඅග කියන ඉන්ද්‍රාණි මහත්මිය ගායනා කරන ගීතය එහෙම ලියලා තියෙන්නේ එතුමනේ...පන්සලේ පියතුමන් කියලනේ කියන්නේ...

    ගොපලු දරුවෝ හා කල්ලන් දූවේ මුතුකොල්ලය මයියත් ආසාවෙන් කියවපු පොත් තමයි..ඈයි ඒත්කොට තුන් යහලු වික්‍රමය හා සෝමාවතී වීරයෝ.. ඒ ඔක්කොම එක්කෙනාගෙනෙ..ම්ම්ම්ම්ම්ම් කවුද ඒ එක්කෙනා...£%"!?

    @just a තොඋග්හ්ට්

    අප්පට සිරි..මයියට විලම්භීත අමතක උනා නේ..මයියත් ඒක කියවලා තියේනවා....ටර්සන්ගේ පරිවර්තන ටිකත් ඔක්කොම වගේ කියවලා තියේනවා..එවා කියව්වම නිකO අප්‍රිකාවේ කැලේක ඉන්නව වගේ තම්යි...

    ReplyDelete
  13. "ඒ ඔක්කොම එක්කෙනාගෙනෙ..ම්ම්ම්ම්ම්ම් කවුද ඒ එක්කෙනා...£%"!

    මෙන්න ඔය ගැන ගිය සංවාදයක්

    කොහොම වුනත් කල්ලන්දූවේ මුතුකොල්ලය වගේ පොත්වල ඉන්ගිරිස් කතා කාරයිංගෙ කතාවලිං ගත්තු කෑලිත් බස්සල තියෙන බව මම දැනගත්තෙ පහු කාලෙ. ඒත් ඒ කාලෙ අපිට ඉංගිරිස් පොත් කියවන්ට පුළුවං යැයි? (දැනුත් බෑ තමා :)

    සිංහල බ්ලොග් කාරයො අතරෙ පොත් ගුල්ලො සෑහෙන ඉන්නවා නෙව!

    ReplyDelete
  14. @ පොඩිගමයා

    අප්පේ කුලසිරි ෆොන්සේකා මහත්තයගේ නේන්නම් මේ ඔක්කොම, මයියා පෑපොල් ගහ කන්දේ වික්‍රමයත් කියවලා තියෙනවා. මේ ඔක්කොම ඒ දවස් වල ජනප්‍රිය වෙලා තීබ්බ 'හාඩි බෝයිස්' ආකෘතිය මුල් කරගෙන ලීයලා තියෙනවා වගේ. ඒඋනාට කුලසිරි මහත්තයා මේ ආකෘතිය ලOකාවේ දකින්න කියන දේ වලින් පුරවලා, ලස්සන කථා ලියලා තියෙනවා,
    කුලසිරි මහත්තයගේ තවත් පොතක් තමයි 'පාලම යට', ඒකත් මයියා කියවලා තියෙන්වා. ඒක චිත්‍රපටියකටත් ගත්තනේ..

    ReplyDelete
  15. @ පොඩිගමයා,
    ඔය ඉන්ගිරිස් කෑලි බස්සල තියන කතාව මමත් පස්සේ දැනගත්තේ.රණරාළ කියන පොත කියවල කාලාන්තරෙකට පස්සේ බැලින්නම් මෙන්න බොලේ ගෙඩි පිටින් ඒකම තියනවා ඉංගිරිස් පොතක්.හැබැයි එකේ කිසි වරදක් නෑ.එහෙම හරි සිංහලෙන් ලිව්වයින් තමයි නොවැ අපිටත් කියෝ ගන්න පුලුව උනේ.

    ReplyDelete
  16. ඔව් මම කියන්නෙත් නෑ වැරැද්දක්. නමුත් ඉතින් නිකමටවත් තමං අදහස් ලබාගත්තු ඒව ගැන සඳහනක් කළා නං තවත් වටිනවා. එතකොට කියවන උදවියට ඒ කතාවල් ගැන ජඹුර දැනුමක් ලැබෙනවා නෙව. දැං ඔය ඩබ්ලියු ඒ සිල්වා මහත්තය එහෙමත් එහෙම කොරලා තියනවා කියල කරුණාතිලක මහත්තය "අයේෂා" පොත පරිවර්තනේදි කියල තිබුණ. ආයෙ ඩීමන් ආනන්ද මහත්තයගෙ ජේමිස් බණ්ඩා 007 වගේ එව්වා. ටාර්සන් සහ මෝග්ලි, ෂර්ලොක් හෝම්ස් මහත්තය සහ ඒ මහත්තයගෙ පුරෝගාමී සහ අනුප්‍රාප්තික චරිත.. ඔය වාගෙ තමා.

    අතීතෙට ගියොත් පරණ පොත්වල ඒ ඒ කාලවල තිබිච්චි කතන්දර හෝල්සේල් එකේ යොදාගෙන තියනවා. හරි අඩුයි අලුතෙංම කතාගොතන මිනිස්සු. නලින් මහත්තය කියන්න වගේ විද්‍යා කතන්දර එහෙම නං පරණ කතා වලට ගැටගහලම ගොතන්න වෙනවා. ඒවයෙ හරිම අඩුයිනෙ අලුත්ම අලුත් කතා කියන්න ඉඩ කඩ. ඒ නිසා සාහිත්‍යකාරයොන්ට නිදහස තියන එකේ පරිකල්පනේ කියන එක වැඩිපුර යොදාගත්තාම තමා ඔය ලොකු විචාරකවරු දෙන වටිනකම ඉහල යන්නෙ.

    කතන්දර වල හැටි !

    ReplyDelete
  17. @ සිතුවිලි මණ්ඩිය, පොඩිගමයා

    සමහර අය ඉංග්‍රීසී පොතක් කියවලා ඒක සිOහලට පරිවර්තනය කරනවා, තවත් සමහර අය ඉOග්‍රීසි හරි වෙනත් භාශාවක ලියැවුනු පොතක් අරගේන ඒකේ අකෘතිය කොපි කරනවා. පොඩිගමය කියනව වගේ මේ අකෲතිය හා අදහස් ගත්ත තැන සදහන් කිරීම අත්‍යවශ්‍ය දෙයක්, අනිත් අතට මේය එතික්ස් ප්‍රශ්ණයකුත් වෙනවා. කොපි රයිට්ස් හා ප්ලේජරිස්ම් කියන සOකල්ප ගැන ඉස්කෝලේ කාලේ ඉදලා ලමයින් ට උගන්නන්නේ නැති එකත් ප්‍රශ්ණයක්. නලීන් මහත්තයා ගැන ලියලා තිබ්බ හින්ද මේ ටිකත් ලියන්න හිතුනා.

    ඒතුමා අනිත් විද්වතුන්ට අභියෝග කරනවා, බටහිර යල්පැන ගිය මතවාද ලංකාවට ඇවිත් තමන්ගේ වගේ ඉදිරිපත් කරනවා කියා. ඒත් නලීන් මහත්තයත් ඒ චෝදනාවේම කොටසක් තමන්ටත් භාරගන්න වෙනවා. මොකද නලින් මහත්තයත් නාගර්ජුන හිමියන්ගේ හා මහවිහරික භික්ශූන්ගේ තර්ක තාමන්ගේ වගේ ඉදිරිපත් කරන හින්දා. ඒ මතවාද ගත්ත තැන් ගන කොතනකවත් ලියලා තියෙනව මයිය නම් දැකලා නැ.සාමහර විට අදහසක් ගත්ත තැන සදහන් කිරීම බටහිර විද්වතුන්ගේ භාවිතයක් ලෙස එතුමා සිතා ඒසේ නොකර ඉන්නවාදෙයි මයියා දන්නේ නැ. එත් අනෙකුගේ අදහසක් ගත්ත තැන නිවැරදිව සදහන් කිරීම හොද දෙයක් ලේස තමයි මයියා දකින්නේ.
    http://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html

    ReplyDelete
  18. ඔව්, මාත් හිතනවා උන්නැහෙ මූලාශ්‍ර ගැන කෙලිංම නොකියන එක හොයා බලන්න උනන්දු කෙනෙකුට බාදාවක් බව.

    ReplyDelete
  19. වනගත ළමෝ = දොන් පීටර්
    මං හිතන්නේ සෙන්ට් ජොෂප් එකේ හිටපු ප්‍රින්සිපල් කෙනෙක්.
    සෝමරත්න දිසානායක ටෙලියක් හැදුවා නේද?

    ReplyDelete