Showing posts with label මයි පොලිටික්ස්. Show all posts
Showing posts with label මයි පොලිටික්ස්. Show all posts

Friday, 7 August 2026

බන්ධනාගාර අර්බුදය: වරද කාගේද?

මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා.


ඇත්ත ප්‍රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකට ගාල් කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා 8, 9, 10 ගුණයක පිරිසක් ඉන්නවා. ඒ වගේ තත්ත්වයක මිනිසුන්ට නිදාගන්න ඉඩක්වත් නැති වෙන්න, සනීපාරක්ෂාව බිඳ වැටෙන්න, රෝග පැතිරෙන්න සහ ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.

දේශබන්දුගේ "යුක්තිය" මෙහෙයුමත්, ආණ්ඩුවේ "ඉවත් වෙනු" මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළත් ලංකාවේ මත් උවදුර මුලිනුපුටා දැමුවේ නැහැ.

හැබැයි ඒ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර පිරී ඉතිරී ගිය බවට විවේචන තියෙනවා. ධාරිතාව ඉක්මවා දහස් ගණනින් මිනිසුන් රඳවා තැබීමත්, රිමාන්ඩ් පිරිස වැඩිවීමත් අද බන්ධනාගාර පද්ධතියේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා.

මීගමුව, මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන වගේ ස්ථානවලින් ඇසෙන්නේ ඒ පද්ධතිමය අර්බුදයේ වේදනාකාරී ප්‍රතිඵලයයි.

හිටපු රැඳවියන් පවා කියන්නේ, ඇතැම් බන්ධනාගාරවල තත්ත්වය මිනිස් ජීවිතයකට සුදුසු පරිසරයක් නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ මානසික ආතතිය, කලකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැඩිවීම ස්වභාවික ප්‍රතිඵලයක්.

ඒ වගේම රැඳවියන්ට සිදුවන බව කියන අමානුෂික සැලකීම්, මූලික පහසුකම්වල හිඟය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා ගැනත් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේවා විසඳන්න වගකිවයුතු අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය ප්‍රමාණවත් පියවර ගත්තේද කියන ප්‍රශ්නය ජනතාව අහනවා.

අනිත් පැත්තෙන්, මත්ද්‍රව්‍ය මර්දනය කියන නාමයෙන් පුළුල් වැටලීම් කරලා, සුළු වැරදි සම්බන්ධයෙන් හෝ සැකපිට අත්අඩංගුවට ගන්නා විශාල පිරිසක් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමත් බන්ධනාගාර තදබදය වැඩිවීමට බලපානවා කියන විවේචනයත් තියෙනවා. නඩු විභාග ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා වැනි ක්‍රියාවලීන් ප්‍රමාද වීම නිසාත් රිමාන්ඩ් රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙනවා.

රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බන්ධනාගාර පුරවන ප්‍රචාරක මෙහෙයුම් නෙවෙයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. පාවිච්චිකරුවන් හෝ සුළු වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසෙන් බන්ධනාගාර පුරවලා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බන්ධනාගාර පද්ධතිය තවත් බිඳවැටෙන එක විතරයි.

Saturday, 12 April 2025

ට්‍රම්ප්ගෙ බදු ගැහිල්ල සහ හදුන්නෙත්තිගෙ දැනුම


ඇමෙරිකානු ට්‍රම්ප් පාලනය යටතේ ලංකාවට පනවලා තියෙන 44% ක බද්දත් එක්ක ඉදිරියේදී ලංකාවට ඇමෙරිකානු වෙළදපොල වැසී යෑමේ අනතුරක් තියෙනවා. මේකෙන් කොච්චර ලොකු  බලපෑමක් ලංකාවට වෙනවද කියලා තේරුම් ගන්න මේ ප්‍රස්තාරය  උදව් වෙනවා. ප්‍රස්තාරයේ තියෙන්නෙ ලංකාව විවිධ රටවල් එක්ක, භාණ්ඩ හා සේවා ගණුදෙනු කිරීම නිසා ඇති උන වෙළද ශේෂය. 

මේ අතරින් ධන වෙළද ශේෂයක්, ඒ කියන්නේ ආනයනයට වඩා අපනයනය, කරලා, අන්තිමේදි ඩොලර් උපයලා තියෙන්නේ රටවල් කීපයක් එක්ක විතරයි.
ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය,ඉතාලිය තමයි අපි ප්‍රධාන වශයෙන් ඩොලර් හම්බු කරපු රටවල්. මේවගෙන් ලංකාව වැඩිම ඩොලර් හම්බු කරලා තියෙන්නේ ඇමෙරිකාවෙන්. ඒක ඩොලර් බිලියන 3ක්. ඊලඟට ඉන්න එංගලන්තයෙන් අපේ රටට එන්නෙ ඩොලර් බිලියන 1ක් විතර.ඉතින් අපිට මේ ඩොලර් බිලියන 3 ක් අහිමි වෙනවා කියන්නේ කොච්චර ලොකු කම්පනයක්ද කියන එක හිතා ගන්න පුලුවන්නෙ.

මේ වගේ අලකලංචියක් අස්සේ තමයි මාලිමාවේ හදුන්නෙත්ති පුරසාරම් කියෙව්වෙ ට්‍රම්ප්ගෙ බදු ගැහිල්ල අපිට එච්චර ලොකු නෑ කියලා. පස්සෙ කවුරු හරි දැනුවත් කරලා එයා ඒක නිවැරදි කරලා නම් තිබ්බා. ඒත් ඉතින් එයාගේ දන්න තරම හිතා ගන්න පුලුවන්නේ.. 

Monday, 7 April 2025

ට්‍රම්ප්ගේ නව තීරුබදු කම්පනය: ගෝලීය බල ක්‍රීඩාවක් - සහ ශ්‍රී ලංකාවට එයින් අදහස් කරන්නේ කුමක්ද



ට්රම්ප්ගේ අලුත් බදු ගැසීම අපි තේරූම් ගන්න ඕනේ ඒකේ දේශපාලන සංධර්භයත් එක්ක. ට්රම්ප්ට ඕනේ ඇමෙරිකාව නැවත එහි ශ්රේෂ්ඨත්වය කරා ගෙන යන්න.
මේ බදු ගැහිල්ල එහි ආරම්භයයි. යන සිස්ටම් එක තමන්ට අවාසි නම් ඉස්සෙල්ලම කරන්නේ, ඒ සිස්ටම් එකට එකවර ශොක් එකක් දෙන එක.හෙන ගහනවා වගේ එලියට දාපු මේ වැඩේන් කලේ, ඒ ශොක් එක දෙන එක.මේක ඊට වඩා ලොකු ප්ලෑනක ආරම්භය විතරයි.
ඊලඟට එන්නේ මේ බදු අඩුකර ගන්න එක් එක් රටවල් එක්ක කෙරෙන ද්වි පාර්ශික සාකච්චා. ලංකාවේ නම් දැනටම ආන්ඩුවේ අයත්, විපක්ශයේ අයත් කියන්නේ කථා කරලා , ගොඩ දා ගන්න පුලුවන් වෙයි කියන උත්තරය තමයි. ඒ අතින් අධිරාජ්ය විරෝධී පක්ශයක් ලෙස හිටපු ජවිපේ, මාලිමාව හරහා ඇමෙරිකාව එක්ක සාකච්චා කරන්න ඕනේ කියන අස්ථානයට විතැන් වීම අපි අගය කරන්න්න ඕනෙ.
මේ සාකච්චා වලදි ඇමෙරිකාව එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බා ගන්න තමයි හදන්නේ.
පලවෙනි කාරණය හැටියට , ට්රම්ප් පාලනය මේක පාවිච්චි කරන්න හදන්නේ රටවල් අතර වෙන් වෙන් වශයෙන් සිදුවෙන සාකච්චා වලදි තමන්ගේ දේශපාලන කූට්ටිය ඉල්ලීමේ උපකරණයක් ලෙස.ලංකාව වගේ රටකට වැදගත් වෙන්නෙ මේ කාරණය තමයි. මොකද ලංකාව වගේ සොච්චම් ආර්ථිකයක් එක්ක ඇමෙරිකාවට විසදගන්න වෙන ගණුදෙනු නැති හින්දා. ලංකාවේ ඇතුලට පහුගිය දශකයේ වේගයෙන් බලවත් උන චීන දේශපාලනයත් , ලංකාවේ චීණ නැඹුරුවත් දිහා අලුත් විදිහකට බලන්න මාලිමා ආන්ඩුවට සිද්ධ වේවි.
පසුගිය දශක දෙක ඇතුලෙදි චීනය ඇමෙරිකාවට බඩු විකුනලා ඇමෙරිකාවේ තිබ්බ කර්මාන්තශාලා තමන්ගෙ රටට ගෙනාව. ඒ සල්ලි වලින් දැන් චීනය ආර්ථික අතින් විතරක් නෙමෙ යුද්ධමය අතිනුත් ඉස්සරාට ඇවිල්ලා. දැන් ඇමෙරිකාවට ඕනේ තමන්ගේ ගෙදරට ඇවිල්ල බඩු විකුණපු මනුස්සයා තමන්ට ගෙම්බර් පාට් දාන්න එන්න කලින් ඒක විසදගන්න.
එතකොට කාට හරි අහන්න පුලුවන් ඕක කරන්න මුලු ලෝකේටම බදු ගහන්න ඕනේද කියලා. ඉතා නිවැරදි ප්රශ්ණයක්.
ඇත්තටම ගත්තොත් ට්රම්ප්ගේ පලවෙනි ධූර කාලේදි කලේ චීනෙට විතරක් ටැරිෆ් ගහපු එක තමයි. හැබැයි චීනය කලේ ඇමෙරිකාවට බඩු යවනවා වෙනුවට ලතින් ඇමෙරිකාවට තමන්ගේ බඩු යවපු එක. ලතින් ඇමෙරිකාව හරහා නැවත චීන බඩු ඇමෙරිකාවට ආවා.
දැන් ට්රම්ප් ඒ වැරැද්ද හදලා අලුත් වටයකින් තමන් මුලින් පටන් ගත්ත වැඩේ කර ගෙන යනවා.

එතකොට යුරෝපයට වගේ ඇමෙරිකානූ කදවුරේ හිට ගත්ත අයට බදු ගැහුවේ ඇයි කියලා කාට හරි තව ප්‍රශ්ණයක් ඇති වෙන්න පුලුවන්. ඒතමයි ඇමෙරිකාව නේටෝ එකේ යුරෝපයේ අරක්ශකයා හැටියට හිටියට ආර්ථික වශයෙන් ලාභයක් නැති වෙන එක. ඒ වෙනුවට ට්රම්ප් කියන්නේ හරි මම උඹලට ආරක්ශාව දෙන්නම්ම් හැබැයි ඒකට යන වියදම මට දෙන්න.ඇමෙරිකාවෙන් බඩු අරං ආරක්ශාවට යන මුදල හවුලේ බෙදා ගමු කියන එක තමයි ඇමෙරිකානු හිතවාදී කදවුර සදහා ට්‍රම්ප් මේ කියලා තියෙන්නෙ.

Monday, 24 June 2024

තෙමසෙක් අහලා නෑ....ආසා හිතෙයි...

රජය ව්‍යාපාර කලාට අවුලක් නෑ කියල තර්ක කරන කට්ටිය ගේන ජනප්‍රිය උදාහරණයක් තමයි සිංගප්පූරූව.   සිංගප්පූරූවෙත්  රජයට අයිති ව්‍යාපාර  State Own Enterprises (SOE) තියෙනවා. ඉතින් සිංගප්පූරූවෙත් තියෙනවනම් ලංකාවේ තිබ්බම මොකද කියලා තමයි මේ අය අහන ජනප්‍රිය ප්‍රශ්ණය. 

මේ වගේ කථාවක් කිව්වම, ලංකාවේ ජීවත් වෙන  අපේ හිත්වල  මැවෙන්නෙ ,  ඇමතියගෙ  ඇම්බැට්යෙක් සභාපති  වෙච්චි  , එයාටම ගොට්ට අල්ලන  අධ්‍යක්ෂක මණ්ඩලයෙක් යටතේ, සිංගප්පුරූවෙත් ,  රජය සතු ආයතන දුවනව ඇති කියලා. ඒවගේම  රජය මේ ආයතන වලට රජයේ සල්ලි පොම්ප කරනවා කියලත් හිතන්න පුළුවන්. 

ඒත්  ඇත්ත කථාව තමයි, සිංගප්පූරූවේ තියෙන SOE  ලංකාවේ තියෙන ඒවාට වඩා හාත්පසින්ම  වෙනස් වීම. ඒවා දුවන්නේ තනිකරම පෞද්ගලික ආයතන වගේ.

සිංගප්පූරූ රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන්නෙ කොහොමද? 

සිංගප්පූරුවේ සියලුම SOE  අයත් වෙන්නේ රජයට අයත් Holding  කොම්පැණියකට. මේ කොම්පැණිය හදුන්වන්නේ තෙමසෙක් හෝල්ඩින් කොම්පැණිය  (Temasek Holdings) කියලා. 





තෙමසෙක් අයිතිය කාගෙද? 

තෙමසෙක් එක ඇත්තටම  අයිති වෙන්නෙ සිංගප්පූරූවේ රජයේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි ලංකාවේ වෙනවා වගේ ,තෙමසෙක් එකට සිංගප්පූරූ රජයෙන්  අවුරුදු පතා  සල්ලි පොම්ප කරන්නේ නෑ. 1974 දී සිංගප්පූරු රජය තෙමසෙක් කොම්පැණිය පටන් ගන්න කොට සිංගප්පූරූ ඩොලර් මිලියන 374 ක් පමණ ආයෝජනය කිරීමෙන් තමයි පටන් අරන් තියෙන්නෙ.ඊට පස්සේ ඒක රජයේ බලපෑම් වලින් තොරව, ස්වායත්තව තමන්ගේ කටයුතු කරගෙන ඇවිත් තියෙනවා.ඩොලර් මිලියන 374 කින් පටන් ගත්ත තෙමසෙක් ආයතනය, මේ වනවිට  සිංගප්පුරූ ඩොලර් බිලියන 400 (400,000 මිලියන කට)  ආසන්න වත්කමක් තියෙනවා. 

මූලීකව රජයේ සල්ලිවලින් පටන් ගත්තත්, මේ වෙනකොට තෙමසෙක් එක දුවන්නෙ තමන් කරගෙන යන බිස්නස් වලින් ලැබෙන ලාභයෙන්.ඉතින් මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ  හින්දා රජය පාඩුවට හරි බිස්නස් කරන්න ඕනේ කියන අය දැනගන්න ඕනේ කාරණය තමයි, සිංගප්පූරූවේ තෙමසෙක් එක අඩු ලාභ බලාගෙන බිස්නස් වලට බැහැලා නැති විත්තිය. ඒ වෙනුවට  තෙමසෙක් එක අනිත් පෞද්ගලික කොම්පැණියක් වගේම තමන්ගේ ලාභය උපරිම කරගන්න වෙහෙසනවා. 

තෙමසෙක් එක තමන්ට රජයේ බලපෑමක් නැති විත්තිය පෙන්වන්න ඉතා විනිවිදව තමන්ගේ ගිණුම් කටයුතු පවත්වා ගෙන යනවා. ඒ මගින් වගවීමත්, පාරදෘශ්‍යබාවයත් ආරක්ශා කිරීමට ඒ අය කටයුතු කරනවා.

දැන් අපි තෙමසෙක් එකට අයිති බිස්නස් මොනවද කියලා බලමු...

1. සිංගපූරූ ගුවන් සේවය. -  සිංගපූරූ ගුවන් සේවය කියන්නේ එරට කොටස් වෙළදපොලේ කොටස් හුවමාරු වෙන පෞද්ගලික ආයතනයක්. මෙහි කොටස් වලින් 55%ක් පමන තෙමසෙක් හෝල්ඩින් වෙත හිමිවෙනවා 

2. සිංගප්පූරූ මොබයිල් ෆෝන් සේවාවක් වෙන Singtel  ආයතනය. මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන, තෙමසෙක් එකට 52% පමන කොටස් අයිති ආයතනයක්.

3. PSA International ආයතනය - සිංගප්පූරූවේ සියලුම වරාය සහ නාවික කටයුතු මෙහෙයවන්නේ මේ ආයතනයෙන්. මේක 100% ක් තෙමසෙක් එක සතු ආයතනයක්. ඒ වගේම මෙම ආයතනය, විවිධ පෞද්ගලික් සමාගම් සමග ගිවිසුම් ගත වෙමින් , විවිධාකාර ආයෝජන වල නිරතවෙන ජාත්‍යන්තර ආයතනයක්.

4. DBS Bank (Development Bank of Singapore)අග්නි දිග ආසියාවේ විශාලතම බැංකුවක් වන මෙහි 30% පමණ කොටස් තෙමසෙක් එක සතු වෙනවා. 

5. ST Engineering (Singapore Technologies Engineering Ltd) - මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන තෙමසෙක් එකට 49% ක් පමණ කොටස් අයිති ආයතනයක්. 


සිංගප්පූරූ රජය බිස්නස් කරනවා.ඒගොල්ලොත් ලංකාවේ වගේ රජයේ ඒකාධිකාර වෙලදපොළ තියං ඉන්නවද?

නෑ. සිංගප්පුරූ රජය කිසිම වෙලාවක  මේ කිසිදු ක්ශේත්‍රයක රජයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නෙ නෑ. රජයට අයත් මේ ආයතන, අදාල වෙලදපොල තුල විශාල වෙළද පොල පංගුවක් හිමි කරගෙන හිටියත්, ඒවා අනෙක් පෞද්ගලික ව්‍යාපාර මෙන්ම තරඟකාරී වෙලදපොල ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනවා.මිනිස්සුන්ට ලාබෙට දෙන්න,  මිනිස්සුන්ට රස්සා දෙන්න වගේ අරමුණු වල හිරවෙල මේවා තමන්ගේ කටයුතු වල යෙදෙන්නෙ නෑ. 

තෙමසෙක් එක සිංගප්පූරූ රජයට බදු ගෙවනවද?

අනෙක් සෑම පෞද්ගලික ආයතනක් වගේම, තෙමසෙක් ආයතනය, සිංගප්පූරූ රජයට බදු ගෙවනවා. ලංකාවේ  වගේ රජයේ ආයතන බදු නොගෙවා බිස්නස් කිරිම වැනි දේවල් තුලින්, වෙලදපොල තරගකරුවන් අතර අසමානතා ඇති වෙන්න ඉඩ තියෙලා නෑ. 

ඒ වගේම කොටස් හිමිකරුවා නිසා, තෙමසෙක් ආයතනය , රජයට ලභාංශ ලබා දීමද සිදු කරනවා

එහෙනම්.... 

රජය බිස්නස් කරලා, මිනිස්සුන්ට ලාභෙට කන්න දෙන්න ඕනේ කියලා හිතන, ආරක්ශණවාදී මධ්‍යගත පාලනයකට කැමති, රජය විසින් සෑම ක්ශේත්‍රයකටම අත දාන්න ඕනේ කියලා හිතන අය,  සිංගප්පූරූ මොඩල් එක තමන්ගේ ඇඟට හරි යන විදිහට කපලා මහලා ඇඳ ගන්නවා. 

ඒත් වැදගත්ම කාරණය තමයි සිංගප්පූරූ රජය බිස්නස් කරන්නේ ඔය කියන අරමුණු එකක්වත් හිතලා නෙමේ. ඒ වෙනුවට , ඔවුන් නිදහස් වෙළදපොලක් තුල, අන්සැමට බලපාන නීතී රීතී යටතේ, අනෙක් තරඟකරුවන් හා සමානව වෙලදපොල තරඟයක යෙදෙමින්, ලාභය අරමුණු කරගෙන  තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා.

මෙන්න මේ වැදගත් කාරණය මග ඇරලා, සිංගප්පූරු රජය බිස්නස් කරනවා කියන කාරණය පමනක් තමන්ගේ සටන් පාඨය කරගත් අය තර්කනයේදී වංචාකරුවන් කියලා කියන්න වෙන්නෙ ඒ නිසයි. 






Sunday, 21 January 2024

සමන්මලීගේ ගණිකා කථාව...

තමන්ගේ ඉදිරි ආන්ඩුවක් යටතේ ගණිකා වෘතිය නීතී ගත කරන බවක් ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් වන සමන්මලී ගුණසිංහ මාධ්‍යවලට  මෑතකදී ප්‍රකාශ කලා. ලිං මැඩි  දැක්මක් තියෙන , ජේවීපී   කාඩරයන්ට මෙවෙනි පලල් දැක්මක් හදිසීයේම   ප්‍රාතිභූර්ත වීම ගැන  යම් කිසි සතුටක් මට  ඇති උනත්,  සාමාන්‍යයෙන්   ලංකාවේ  දේශපාලන පක්ශ වල පහල සාමාජිකයන්, තමන්ට අවධානය යොමු කර ගැනීමේ උපායක් ලෙස මෙවැනි රැඩිකල් ප්‍රකාශ කරන නිසා, ඒ ලෙඩේ මාලිමාවටත් බෝ වීඇත්දැයි කියන සැකයත් මට ඇතිඋනා.


සාමාන්‍යෙන් මේ වගේ ප්‍රශ්ණෙකෙදි ජෙප්පන් කරන්නෙ ප්‍රශ්ණෙ රවුම් කරලා හතරැස් කරලා  ප්‍රශ්ණේ අහපු එකාව වැරදි කාරයා කරනවා වගේ වැඩක්. වැඩිම් උනොත් උත්තරයක් ලෙස කියන්නේ,  ගණිකාවන් නිර්මාණයක් කරන්න හේතු උන සාමාජීය, ආර්ථික ප්‍රශ්ණ,අපේ සමාජවාදී ආණ්ඩුවක් යටතේ නැති කරලා දානවා වගේ ලොවෙත් නැති යුටෝපියානු සීහිනයක්.එහෙම නැතුව මහපොලොවේ පවතින ඇත්ත ප්‍රශ්ණයට,  තාත්වික උත්තර ජෙප්පන්ගේ දාස් කැපිටලේ නෑ. 

කෙසේ නමුත් ගණිකා වෘතිය මහපොලොවේ තියෙන බව පිලිගෙන , ඒ වෘතියේ නියැලෙන්නන්ගේ ප්‍රශ්ණ විසදීම සදහා, ගණිකා වෘතිය නීතී ගත කරන බව පැවසීම මාලිමා සාමාජික  සමන්මලී ගුණසිංහ ගේ ඉදිරිගාමී ප්‍රකාශයක්.

බොරුවට සිල් රෙද්ද පොරවගත්ත සදාචාරය ඔළුවෙ තියා ගත්ත සංස්කෘතික සමාජයට බයෙන් මෙන් දැන් මේ ප්‍රකාශය සදහා සංශෝධන ඉදිරිපත් කිරීමට  මාලිමාවේම පාර්ලිමේන්තු සභික හරිණි අමරසූරීය ඉදිරිපත්වෙලා තියෙනවා. ජන්ද හිඟන්නම අටවා ගත්ත  මේ වගේ පක්ශයකින් , හැරෙන හැරෙන පැත්තට කථා කිරීම පුදුමෙකුත් නෙවේ. 


ලංකාවේ ගණිකා වෘතිය නීතීයෙන් තහනම් නෑ. නමුත් ගණිකා නිවාස පවත්වාගෙන යෑම නම් තහනම්. ඒත් කිසියම් තැනැත්තෙක්  හට පෞද්ගලිකව ගණිකාවෘතියේ නියැලීමට නීතියෙන් බාධාවක් නෑ. නමුත් ගොබ්බ ශ්‍රී ලංකා පොලීසීය පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන් දුප්පත් කාන්තාවන් ගණිකා වෘතියේ යෙදීම මත රිමාන්ඩ් කරනවා.

අත්අඩංගුවට ගන්නා මෙවැනි කාන්තාවන්  අධිකරණයට ඉදිරිපත් කරන්නේ 1841 දී සුද්දාගේ කාලේ තිබුනු, අද කාලේට වලංගු නොවෙන යල්පැන ගිය ‘පාදඩ පණත‘ යටතේ. පාදඩ පණත හදලා තිබ්බේ සුද්දගේ කාලේ, ගෙයක් දොරක් නැතිව, ඉන්න හිටින්න තැනක් නැතිව, පාරවල් ගානේ හිඟා කාපු  මිනිස්සු,  පාරෙ යන සුද්දන්ට කරදර කිරීම නවත්වා ගන්න. අයාලේ යන මේ වගේ මිනිස්සු අල්ලලා දඩුවම් කරන්න . වැඩ වලට යොදවා ගන්න හදපු පණතක්.  වර්තමානේ  ගණිකා වෘතියේ යෙදෙන අසරණ කාන්තාවන්ව, ගොබ්බ පොලිසීය අත් අඩංගුවට ගන්නේ මේ යල් පැණ ගිය  නීතිය මත. නැතුව ගණිකා වෘතියේ යෙදීම මත  මිනිස්සුන්ව හිරේ දාන්න පොලිසීයට හැකියාවක් නෑ. 

නූගත් අසරණ ගැහැණුන් මේ වැරැද්දට අභියෝග කරන්නෙ යන්නෑ. ඒ වෙනුවට පාදඩ පණත යටතේ වරදකරු බවට තමන්ම පිලිඅරගෙන, ඒ වැරැද්දට පැනවෙන දඩය ගෙවා නැවතත් පාරට පැමීනීම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. 

ගණිකා වෘතියේ තියෙන ප්‍රශ්ණත්  සමාජ පන්තිය අනුව වෙනස් වෙනවා. පොලිසීයෙන් වැඩිපුර කරදර සිද්ධ වෙන්නෙ ඉතා අසරණව පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන දුප්පත් කාන්තාවන්ට. මධ්‍යම හා ඉහල පැලැන්තියට සේවය කරන  , මාධ්‍ය වල සුපිරි ගණිකා නිවාස කියලා හදුනවන තැන් වල සේවයේ යෙදෙන කාන්තාවන්ට ඇති ප්‍රශ්ණ අර වීදී ගණිකාවට තියෙන  ප්‍රශ්ණවලට වඩා වෙනස්.

මොනා උනත් ගණිකා වෘතිය කියන්නේ සමාජයට අවශ්‍ය සේවාවක් සපයන ලෝකයේ පැරණතිම වෘතියක්. ඒ බව පිලිඅරගෙන ඒ වෘතියේ නියැලෙන්ටත්, ඒ සේවාව ලබා ගන්නා අයටත්, තමන්ගේ ශාරීරික, මානසික ආරක්ශාව තහවුරු කරන විදිහට නීතී සම්පාදනය වීම අත්‍යවශ්‍ය දෙයක්.

ඒ නිසාම, ලිං මැඩි දේශපාලනයක් යට හිට ගත්තා උනත් සමන්මලී ගුණසිංහ සහෝදරියගේ මේ ප්‍රකාශයට අපෙනුත් පොඩි සැලියුට් එකක් ... 


Saturday, 21 October 2023

ඊශ්‍රායලය ගැන ඇමෙරිකන් ලව් එක මොකක්ද?

 ඊශ්‍රායලය මොකක් කලත් ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය පැත්තේ හිට ගන්නවා කියන එක ඉතිහාසය පුරාම දකින්න තියෙන තත්වයක්. වර්තමාන ගැටළුවෙදි උනත් ඒකේ කිසි වෙනසක් වෙලා නෑ.

මේ තත්වය පැහැදිලි කරන්නේ කොහොමද? 

මැදපෙරදිග සියලු මුස්ලිම් රටවල් මැද්දෙ බටහිර සහ එහි සම්ප්‍රදාය නියෝජනය කරන එකම මුස්ලිම් නොවන රට ඊශ්‍රායලය. ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ බටහිට ජාතීන් මූලික වී මැදපෙරදිග ඇතිකරපු රටක්.ඒ නිසාම ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක තමයි කවුරුත් පිලිගන්න පොදු මතය. 

පොදු ජනප්‍රිය මතය එහෙම උනත් ඊට වඩා ගැඹුරු බැදීමක් ඊශ්‍රායලත්,එහි වෙසෙන යුදෙව්වන් ගැනත් ඇමෙරිකාවට තියෙනවා.

මේ කියන්න හදන කාරණය පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉතිහාසයට යන්න වෙනවා. 

අතීත යුරෝපය තුල ජීවත් උන යුදෙව්වන් යනු විශාල ධනස්කන්ධයක් එකතු වී තිබු ජනකන්ඩායමක්.යුරෝපය තුල නැව් ගමනාගමන දියුණු වී එම රටවල් යටත්විජිත ඇති කර ගැනීමට පෙරදිගට, අප්‍රිකාවට එන කොට ඒ නැව් වලට සල්ලි යෙදෙව්වෙ යුරෝපයේ හිටපු රජවරු.රජවරු ගාව සල්ලි නැති වෙන කොට ඒකට විකල්පයක් ලෙස හිටියෙ යුදෙව්වො. ඒ වෙනකොටත් යුරෝපයේ  බැංකුවල බලය අත්පත් කරගෙන තිබ්බෙ යුදෙව්වො.යුදෙව්වො නැව් වලට විතරක් නෙමේ, රජවරුන්ටත් ණය දුන්නා.යටත්විජිත ඇති කරගෙන ඒ රටවලින් කොල්ල කාපු ධනය අන්තිමට එකතු උනේ යුදෙව්වන් සතු බැංකු වල. ඒ නිසාම යටත්විජිතකරණයෙන්, යුද්ධ නොකරම අති විශාල ධනස්කන්ධයක් රැස් කර ගැනීමට යුදෙව්වන් සමත් උනා. මේ තත්වය යුරෝපියන්ට නොතෙරුනා නෙවෙ. ඒ නිසාම යුරෝපීය සමාජය තුල පොදුවෙ යුදෙව්වන් ගැන අප්‍රසාධයක් අතීතයේ ඉදලම තිබුනා. අතීත වැනීසියේ වෙලෙන්දා වැනි නාට්‍ය තුල ශෛලොක් වැනි චරිත හරහා මේ අප්‍රසාදය ප්‍රකට උනා. 

මෙසේ ධනය නොතිබිච්චි යුදෙව්වන් ඊට විකල්පයක් ලෙස යොදා ගත්තේ අධ්‍යාපනය. ධනවත් නොවුනු යුදෙව්වන් හොදින් ඉගෙන ගත්තා. ඇල්බට් අයින්සට්යින් කියන්නෙ ඒ කුලකයේ ඉහලම උදාහරණයක්. 

ඒ වගේම යුරෝපය තුල වැඩවසම් ක්‍රමය බිද වැටී කාර්මික විප්ලවය සමග බිහිවු ධනවාදයේ පියවරු උනෙත් ඇඩම් ස්මිත් වැනි යුදෙව්වන්. ඊට විකල්පයක් ලෙස බිහි වූ සමාජවාදයේ පියවරු උන කාල් මාක්ස්, ට්රොස්කි වැනි උගතුන්ද යුදෙව්වන්. සමාජවාදය මහපොලොවේ ක්‍රියාවෙන් කර පෙන්වපු ලෙනින් ද යුදෙව්වෙක්.

දෙවෙනි ලෝක යුද්ධය ඇතිවන කොට යුරෝපයේ ශතවර්ෂ ගණනාවක් තිස්සෙ එකතු උන ධනයත්, දැනුමත් එකට ගොණු වෙලා තිබ්බෙ යුදෙව්වන් ගාව.හිට්ලර්ගේ යුදෙව් විරෝධය හදිසියේ පහල වීමක් නෙවෙ. පලවෙනි ලෝක යුද්ධෙදි ජර්මනියත්, තුර්කියත් එක මිටට පරාද කරන්න යුදෙව්වන් එංගලන්තය ප්‍රමුඛ බටහිර ජාතීන්ට ධනයෙන් හා දැනුමෙන් උපකාර කලා.පලවෙනි ලෝක යුද්ධයේ , ජර්මනියේ අවමන් සහගත පරාදයේ ක්‍රෝධය හිට්ලර්  යුදෙව්වන් කෙරෙහි දිගු කලා. එය යුරෝපයේ අතීතයෙ සිට පැවති යුදෙව් විරෝධය සමග හොදින් පෑහුනා. 

හිට්ලර්ගේ උමතු යුදෙව් විරෝධයත් සමග, යුදෙව්වන්ට යුරෝපය ඉතා අනාරක්ශිත උනා. මෙසේ අනාරක්ශිත උන යුදෙව්වන්  යුරෝපයෙන් පැන යන්න පටන් ගත්තා. ඔවුන්ගේ නවාතැන උනේ ඇමෙරිකාවයි.

යුරෝපය ශතවර්ශ ගණනාවක් තිස්සේ එකතු කර ගත් ධනයත්, දැනුමත්, වසර කීපයක් තුලදී ඇමෙරිකාවට සංක්‍රමණය උනා. 

මේ නව ධනයත්, දැනුමත් සමගම ඇමෙරිකාව පෙර නොවූ විරූ අයුරින් ආර්ථික හා දැනුමෙන් පෝශණය වී ලෝක බලවතෙක් විදිහට නව ජවයක් ලබා ගත්තා. 

දෙවෙනි ලෝක යුද්ධය තීරණාත්මක ලෙස ඉවර කරන්නට ඇමෙරිකාව යොදා ගත් පරමාණු බෝම්බය තනිකරම යුදෙව්වන්ගේ දැනුමෙන් හදපු එකක්.

අදටත් ඇමෙරිකාවේ මහාපරිමාණ ව්‍යාපාර ගත්තොත් මේවා අයිති වෙන්නෙ මෙසේ ඇමෙරිකාවට සංක්‍රමණය උනු යුදෙව්වෙන්ගේ පසු පරම්පරාවලටයි. සී එන් එන් වැනි මාධ්‍ය වල අයිතිකරුවන් යුදෙව්වන්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේදී සී එන් එන් එකේ පක්ෂාග්‍රාහී මාධ්‍ය භාවිතයේ සැබැ හේතුව මේ යටින් දිවෙන යුදෙව් සම්බන්ධයයි. එසේම ෆේස්බුක් අයිතිකරු මාක් සක්ර්බග් ද යුදෙව්වෙක්.

මේ අයුරින් ඇමෙරිකාව තුල උඩින් නොපෙනෙන, එහෙත් යටින් ඉතා සියුම්ව ගැට ගැසී ඇති යුදෙව් සම්බන්ධකමක් පවතිනවා.

ඒ නිසාම මැදපෙරදිග තමන්ගේ නියොජිතයා කියන ජනප්‍රිය මතයට වඩා එහාට ගිය ආත්මීය බැදීමක් ඇමෙරිකාවට , ඊශ්‍රායල ගැන තියෙනවා. 



Sunday, 15 October 2023

'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' නැමති ටොපිය ගිලිනවාද?

මේ දවස් වල කථාබහට වැඩිපුරම ලක් වෙන්නෙ ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන.  මේ කලබලය අස්සෙ ලංකාවේ මිනිසුන්ගෙ භාෂණයේ නිදහස ගැන ඉතා වැදගත් පණත් කෙ‍ටුම්පතක් පාර්ලිමේන්තුවට මීට සුමාන කීපයකට කලින් ඉදිරිපත් කෙරුණා.

පණත් කෙ‍ටුම්පත ඉදිරිපත් කර තියෙන්නේ 'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' ( Online Safety Bill)  යන නමින්. බැලූ බැල්මට  මෙයින් කරන්න යන්නෙ අන්තර්ජාල  සමාජ මාධ්‍යන් මගින් සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමක්. නමුත් ඒ පොතේ පිටකවරය පමණයි. මෙහි අන්තර්ගතය ගැන විශ්ලේශණාත්මකව බැලුවොත් , මෙයින් නීතීමය වශයෙන් ස්ථාපිත කරන්න හදන්නෙ පුරවැසියාගේ භාෂණයේ නිදහස සීමා කිරීමක්  බව පැහැදිලි වෙනවා.

ෆේස්බුක්, යූ ට්යුබ්, ටික්ටොක් වැනි සමාජජාල අවභාවිතා කරමින් සමාජයේ සීමීත කොටසක් විවිධ අකටයුතුකම් වල යෙදෙනවා.   වෛරීසහගත ප්‍රකාශණ, සිතාමතා  සිදු කරන දූශමාණ ආරංචි පැතිරවීම, අපහාස, නිරුවත බෙදහැරිම වැනි දේ මේ සදහා උදාහරණ. ප්‍රමාණාත්මකව සිතා බැලුවොත්, මෙවැනි අකටයුතුකම් සිදු කරන ප්‍රමාණය, අතිබහුතර මාර්ගගත පරිශීලකයන් අතරින් කුඩා ප්‍රමානයක්.

ලංකාවේ දැනට පවතින නීතීය අනුව අපහාසය කියන්නේ අපරාධමය වරදක් නෙවේ. මේකෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් තවපුද්ගලයෙකුට අපහාසයක් සිදු කලොත් පොලිසීයට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට පුලුවන් කමක් නැති බවයි. කොටින්ම කියතොත් අපහාසය සම්බන්ධ කාරණයකදී , අදාල කාරණයට රජයට මැදිහත් වීමක් සිදු කරන්න  හැකියාවක් නෑ.. මේ කාරණයට මැදිහත් වීමට හැකියාවක් ඇත්තෙ ශ්‍රිලංකා අධිකරණයට පමණයි. ඒ නිසා, මෙවැනි අපහාසයකදි අදාල වින්දිත පාර්ශවය නිතිඥයකු ලවා උසාවියක සාපරාධි අපහාස නඩුවක් ගොණු කිරීම මගින් තමන්ට යුක්තිය ලබා ගත යුතුයි.

අපහාසය සහ උපහාසය ගැන දැනීමක් නැති ලංකාවේ දේශපාලකයන් මේ නීතීමය තත්වය ගැන ඒතරම් සතුටකින් නෑ.  විශේෂයෙන් 'අරගලයත්' සමග මතුපිටට පැමිනි පොදු ජනතාවගේ බලය එකරාශී වීමත්, ඒ සමග බැදුණු අන්තර්ජාල සමාජ ජාලා ඔස්සේ   දේශපාලකයා වෙත එල්ල කෙරෙන ප්‍රශ්ණ කිරීමට මුහුණ දීමේ ශක්තියක් මේ මෝඩ දේශපාලකයන් සතුව නැහැ. ,මේ නොහැකියාවපැත්තකින් තිබියදී. තමුන්ව ප්‍රශ්න කරණ ජනතාව , අන්තර්ජාල සමාජ ජාලා මර්ධනය කිරීමේ 'රාජ්‍ය යාන්ත්‍රණයක් ' ගැන මේ දේශපාළුවන් යොමු වී ඇති බවක්   පේන්න තිබෙනවා. ඔවුනට අවශ්‍ය වෙන්නේ ශ්‍රි ලංකා පොලිසීය මෙන් තමන් අල්ලෙ නැටවිය හැකි, තමන්ට අභියෝග ඉදිරිපත් කරන සමාජජාලා   ක්‍රියාකාරිකයන් මර්ධනය කිරීමේ යාන්ත්‍රණයක්. ඉහත කී 'මාර්ගගත ආරක්ශණ පණත' නමින්  අලංකාර ටොපි කොලයක දවටා  ජනතාවට ගිල්වීමට තැත් කරන්නේ මේ අවශ්‍යතාවය සදහා සකසා ගත් භාෂණ නිදහස මර්ධනය කිරීමේ පණතයි.

මීට කලින් ඉම්රාන්  ඛාන්ගේ ආන්ඩුව යටතේ, පකිස්ථානය, මෙවැනි අන්තර්ජාල මාර්ග ගත නියාමනයක් ගෙන ඒමට උත්සහ කලා. නමුත් ඔහුගේ උත්සහය ව්‍යව්ත වී ගියේ ගූගල්,  ෆෙස්බුක්, යූ ටියුබ් වැනි ආයතන පොදුවේ එයට විරෝධය පෑම නිසයි. ඉම්රාන් ඛාන් ගෙන ආ පණත තරමක් දර දඩු එකක්. ඒ පණතට අනුව අදාල ආයතන, පකිස්ථානයේ ලියාපදිංචි විය යුතු අතරම, පකිස්තානය තුල අදාල ආයතන වල ශාඛාවක්ද විවෘත කලයුතු වෙනවා. මෙය ඇමෙරිකාවේ රජයට පමණක් බදුගෙවන, අදාල සමාජජාල ආයතනවලට අමතර බරක් නිසාත්, මෙය උදාහරණය කොට ගෙන අවශේෂ රාජ්‍යන්ද මෙවැනි නීතී ගෙන ඒමේ අවධානමත් නිසා, එවැනි පණතකට මේ සමාජමාධ්‍ය හිමිකරුවන් විරුද්ධ වීම අතිශය තර්කාණුකූලයි.

නමුත් ලංකාවේ ඉදිරිපත් කර ඇති පණත අනුව, මේ මහා පරිමාන සමාජ මාධ්‍ය  ආයතන අභියෝග කිරීමක් සිදු කරන්නේ නෑ. ඒ වෙනුවට රනිල්ගේ පණත අනුව ගිලටීනයට දැක්වීමට උත්සහ කරන්නේ අදාල සමාජ ජාලා ඉදිරිපත් කරන්නාවයි ( Content Creator).  ඒ හරහා සමාජ ජාල ආයතන වලින් එල්ල වේයැයි සිතන සෘජු විරෝධයේ අඩු වීමක් කෙරෙහි , මේ පණත ඉදිරිපත් කරන රනිල්ගේ උපදේශකයන් බලාපොරොත්තු වෙනවා යැයි සිතිය හැකියි.

කෙසේ නමුත් දැනටමත් ගූගල්, ඇපල්, ඇමසෝන්, ලින්ක්ඩ් ඉන් ඇතුලු තවත් කණ්ඩායම් එකතු වී සදාගත් ආසියානු අන්තර්ජාල සමාජජාල පහසුකම් සපයන්නන්ගේ සංගමය  ( Asia Internet Coalition) මේ පණත සම්බධයෙන් තම කණසල්ල ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් ඔවුන්ව සෘජු අභියෝගයකට ලක් නොවන තාක් කල් , ශ්‍රි ලංකා පුරවැසියාගේ භාෂණ නිදහසේ අයිතිය වෙනුවෙන් ඔවුන් කොතරම් දුරක් ගමන් කරයිදෝ යන සැකයක් පවතිනවා.

රනිල් ඉදිරිපත් කරන පණත මගින්, සමාජමාධ්‍ය වල පලවෙන පෝස්‍ටු සම්බන්ධයෙන් , ඇත්ත නැත්ත තීරණය කිරීමේ නීතීමය බලය , පස්දෙනෙකුගෙන් සමන්විත කමි‍ටුවක් කෙරෙහි පවරනු ලබනවා. මේ පස්දෙනා පත්කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයායි. ඒ හරහා මෙතෙක් බලපවත්වන ලබන ශ්‍රි ලංකා අධිකරණයේ ආධිපත්‍ය, යම්කිසි දුරකට මෙම පස්දෙනාගේ කමි‍ටුව වෙත පැවරෙනවා. එමගින් මෙම පණත මගින් අධිකරණයේ  ත‍ටු කැපීමක්ද සිදුකෙරෙනවා.ඒ වගේම සමාජ ජලාවල පලවෙන පෝස්ට් සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනිමෙ බලය වක්‍රාකාරව ජනාධිපතිවරයා නතු කර ගන්නවා. මෙය එක්තරා විදිහක පැසිස්ට්වාදි  ක්‍රමයක්.

මේ පණතට විරුද්ධ වී ජනතාවගේ භාෂණයේ අයිතිය ‍රැක ගැනිම වෙනුවෙන් ජනතාවම ඉදිරිපත් විය යුතුයි. පොදුවේ වාමාංශික හා බොරු ලිබරල් හමක් පොරවා සිටින දේශපාලකන් ජනතාවගේ හඩ යටපත් කිරීමට යටි හිතින් කැමැත්තක් දක්වනවා,   ලංකාවේ ක්‍රමය අනුව භාෂණයේ නිදහස වෙනුවෙන් දේශපාලකයා ඉදිරිපත් වේයැයි සිතීම  විහිළුවක්. පාර්ලිමේන්තුවේදී මේ පණත  පරාජය කල හැකි යැයි සිතීම එතරම් විහිලුකාරියී. ඒ වෙනුවට ජනතාවට ඉතිරි වී තිබෙන්නේ අධිකරණයේ පිහිට පමණයි.

දැනටමත් මේ පණත් කෙ‍ටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කීපයක් ඉදිරිපත් වී තිබෙනවා. ජනතාවගේ භාෂණයේ නිදහස වෙනුවෙන් ඉතිරිවී ඇති අවසාන ගැලවුම ඇත්තේ ඉදිරියේදි දීමට ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුවයි.

එය පොදු මහජනතාවගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරන ඓතිහාසික තීරණයක් වේවායි අපගේ ප්‍රාර්ථනයයි.





Sunday, 19 March 2023

ටැක්ස් ගැන හීනීයට....






ටැක්ස්  (බදු) ගහන්නේ රජයේ වියදම් පියවා ගන්න. මේ විදිහට විශාල ටැක්ස් වදින කොට මිනිස්සු නිරායාසයෙන්ම රජය මේ මුදල් වියදම් කරන්නෙ මොනවටද කියලා සවිඥාණිකව ඉන්නවා. ඒකම තමයි ඇමෙරිකාව , යුරෝපය වගේ රටවල මිනිස්සු අපේ රටේ අයට වඩා තමන්ගේ රටේ දේශපාලනික සහ ආර්ථික කරුණු ගැන දැනුවත්.

ලංකාව ගත්තොත් අතීතයේ ඉදලම රජයේ වියදම් කවර් කර ගත්තේ වක්‍ර බදු සහ ණය වලින්. රාජපක්ශ යුගයේදී මේකට තවත් කෑල්ලක් එකතු කලා , මහපරිමාණ මුදල් අච්චු ගැසීම. වක්‍ර බදු ගහන කොටයි, මුදල් අච්චු ගහන එකෙයි පීඩනය මිනිස්සුන්ට දැනෙන්නේ භාණ්ඩ මිල ඉහල යෑම මත. පී.බී ජයසුන්දර මේකටත් උත්තරයක් හොයා ගත්තා ඩොලර් එක පල්ලෙහා තියාගෙන ඉදලා. එයා ඩොලර් එක පල්ලෙහා තියා ගන්න නා නා විධ උපක්‍රම යොදා ගත්තා. මේ එකක්වත් තිරසාර උත්තර නෙමේ. කවදා හරි දවසක මිනිස්සුන්ට ඒවට මුහුණ දෙන්න වෙන දවසක් තිබ්බා.

ගෝඨා ඇවිල්ල මේ දවස ඉක්මන් කරලා දුන්නා. හෙමින් මරණයකට යමින් සිටි ලංකාවට ක්ෂණික මරණයක් ලබා දුන්නා.

මරණෙන් පස්සෙ දැන් තියෙන්නෙ අළුත් තත්වයක්.රට බංකොලොත් කියලා කියපු දවසේ ඉදන්, ලංකාවට විදේශීය ණය ගන්නත් බෑ, කබ්රාල් වගේ පවතින ආන්ඩුවේ හෙන්චයියෙක් නැති හින්දා, කලින් කලා වගේ මහපරිමාණයෙන් සල්ලි අච්චු ගහන්නත් බෑ.

දැන් තියෙන එකම විසදුම බදු වලින් ආදායම් එකතු කර ගන්න ගමන් රජයේ වියදම් අඩු කරන එක.

බදු ගහන කොට මිනිස්සු රජය මොකද කරන්නෙ කියන එක ගැන අවධානය වැඩි වෙනවා. ඒක හොද දෙයක්. වක්‍ර බදු වෙනුවට සෘජු බදු වැඩිවෙන තරමට මේ සවිඥාණික බව වැඩි වෙනවා. මේ අවබෝධය වැඩි වන තරමට පාර්ලිමේන්තුවට හරි මිනිස්සු පත් කර ගන්න මිනිස්සු උනන්දු වෙනවා.

මේ ප්‍රශ්ණෙ විසදගන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නෑ....අපිම තමයි විසදගන්න වෙන්නේ....ටැක්ස් කියන්නේ, අපි හැමෝටම ඒක මතක් කරලා දෙන, හදවතටයි බඩටයි දෙකටම සමීප දෙයක්..

Tuesday, 7 March 2023

අපි ගත යුතු මග

ගොඩක් දෙනා ආර්ථිකය ගැන කථා කරන්නේ තමන් දාගෙන ඉන්න පාට කණ්නාඩි වල පාටට. ඇත්තටම ඉලක්කම් දිහා බලලා සමස්ථයක් ලෙස ලංකාවේ ආර්ථික විග්‍රහයක් කරන්න පුලුවන් කටිටිය හරි අඩුයි.

නිදහසෙන් පස්සෙ ටික කාලයක් යන කොටම අපේ ආණ්ඩු දිව්වේ අය-වැය හිඟයක් එක්ක. මේ අයවැය හිඟය තමයි අපිව හෙමින් හෙමින් මරණයට ගෙනිච්චෙ.ගෝඨා ඇවිල්ලා තවත් සල්ලි අච්චු ගහලා,ලෝකේ කොහේවත් කරපු නැති දෙයක් කරන්න ගිහිල්ලා ලංකාවේ ආර්ථිකයට ක්ෂණික මරණයක් ලබා දුන්නා. හැබැයි ඒ විදිහට ක්ෂණික මරණයක් ලබා දුන්න එක, එක අතකට හොදයි. නැත්තං ලංකාවේ මිනිස්සුන්ට ඕක කවදාවත් තේරේන්නෙ නෑ.

දැන් කවුරු ආවත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක්. රාජ්‍ය වියදම් කප්පාදු කරන ගමන්, රාජ්‍ය අදායම වැඩි කර ගන්න එක. සල්ලි අච්චු ගහ ගහ වියදම් කරපු ආර්ථිකය වෙනස් කරන්න පුලුවන් මේ ක්‍රමයට. 

රනිල් හිටියත්, සජපේ ආවත් කරන්නෙත්, කරන්න තියෙන්නෙත් ඔය දේවල් තමයි. පොහොට්‍ටු එවුන්, රාජපක්ශලා දන්නේ සල්ලි අච්චු ගහලා සරදියෙල් වගේ මිනිස්සුටත් බෙදලා තමන්ටත් බෙදා ගන්න විතරයි.

ජවිපේට බලය ලැබුනොත් නම්, ඒ ගොල්ලන්ගේ නිදහස් වෙලදපොල ගැන තියෙන අදහස් හරිම ව්‍යාකූලයි. කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්නේ රාජ්‍ය මැදිහත් වීමක් ගැන කථාවෙන්..මේක තමයි සිරිමාවෝ පටන් ගත්ත ක්‍රමය. මේක ෆේල් ක්‍රමයක්. 

මොකාට ජන්දෙ දුන්නත්, නිදහස් වෙලදපොල ආර්ථිකයක් ගැන කථා කරන අය බලයට ආවේ නැත්තං, අපිට නැවත සිරිමාවෝගේ කාලෙට ගිහිල්ල, එතැන ඉදන් ආයේ එන්න පුලුවන්. ඒ වෙනකොට අපේ කලාපයේ අනිත් රටවල් අපිව ගව් ගාණකින් පහු කරලා තියෙයි.

Sunday, 19 February 2023

සජබේ ආර්ථික යෝජනා....2023



සමගි ජන බලවේගයේ SJB ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වා තිබෙනවා. හර්ෂ, එරාන් සහ කබීර් ඇතුලු පුද්ගලයන් කණ්ඩායමක නායකත්වයෙන් මේ ප්‍රතිපත්ති මාලාව කෙ‍ටුම්පත් කර එලි දක්වා ඇති බවක් කියැවෙනවා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලන කොට තේරුන දේ තමයි, ඒක දැන් රනිල් ක්‍රියාත්මක කරන්න හදන ආර්ථික ප්‍රතිපත්ති වලට ගොඩක් සමාන බව. ඒක එහෙම උනාට කමක් නෑ..මොකද මම විශ්වාස කරන දෙයක් තමයි, මොකා බලයට පත් උනත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක් විතරයි. ඒ නිසා ඒ ගැන විවේචනයක් මට නෑ.

හැබැයි මට තියෙන ගැටළුව තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය තිත්ත කසායක් වගේ. ලෙඩේ හොද කර ගන්න නම් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. මිනිස්සු එහෙම  දුක් විදින්න ලෑස්ති නෑ. ඒ නිසාම මිනිස්සු අතරින්ම , සමහර විට ජවිපේ මූලික වෙලා  හරි, මේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරෝධයක් හට ගන්නවා. එතකොට පවතින් ආණ්ඩුව ඒකට මුහුණ දෙන කොට එතැන දේශපාලනයක් තියෙනවා. සමහර විට සමගි ජන බලවේගය ඇතුලෙන්ම මේ ප්‍රතිවිරෝධය පටන් ගනිවී.

එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා තියෙන්නේ හර්ෂ ඇතුලු  පක්ශේ කීප දෙනෙක් මූලික වෙලා, මේ හතර පස් දෙනාට පක්ශයේ දේශපාලන ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී ලොකු බලයක් නෑ. මට හැ‍ඟෙන විදිහට. හර්ශගේ සමහර විට පොඩි පොතේ ගුරු ලයින් එකක් තියෙනවා. බිම් මට්ටමේ දේශපාලනයේදී එයාට ඇඩ්‍රස් කරන්න පුලුවන් කොලඹ ඉන්න පොඩි සමාජයක් විතරයි.

මේ තත්වය තුල, මොන බාධකය ආවත්, විශේෂයේන් ජනතා අරගල, අප්‍රසාදය වැනි කාරණාත් සමග, මේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න SJB පක්ෂය පැත්තෙන් තියෙන කැපවීම මොකක්ද?

ගොඩක් වෙලාවට වෙන්නේ, ලොකු ජනතා විරෝධයක් හමුවේ, මේ ප්‍රතිපත්ති දියාරු කර, නැවත පරණ පුරුදු විදිහට යන එක තමයි. ආණ්ඩුවත් බලයේ ඉදගෙන, සල්ලිත් අච්චු ගහගෙන පරන තාලේම අල්ලන එක. ඒක එහෙම නොවෙන්න නම්, මේ ප්‍රතිපත්ති පුද්ගලානුබද්ධ නොවී, පක්ශයක් වශයෙන්  මේ ප්‍රතිපත්ති සමග ආත්මීයව බැදෙන්න ඕනේ..

1948  දී නිදහසෙන් පස්සේ ලංකාවේ බලය හම්බ උනේ නිදහස් වෙලදපොල ක්‍රමයක් ගැන විශ්වාස කරපු ලිබරල් අදහස් තිබ්බ එක්සත් ජාතික පක්ශයට. එතකොට ප්‍රධාන විපක්ශය උනේ  සමාජවාදී අදහස් තියෙන පක්ශ.

සමාජවාදී ප්‍රගතිශීලි අදහස්  ව්‍යාප්තියත් එක්ක යූඑන්පී එකට හැප්පෙන්න බැරි උනා. යූඑන්පී එක කලේ ඒ සමාජවාදී අදහස්, කොටින්ම කියනව නම් මිනිස්සුන්ට සහනාධාර දෙන විදිහට තමන්ගේ ආණ්ඩු ප්‍රතිපත්ති ක්‍රම ක්‍රමයෙන් වෙනස් කර ගත්ත එක.  වර්තමාන ආර්ථික අර්බුදය එනකම්ම මේ තත්වය, අඩු වැඩි වශයෙන් සියලු ආණ්ඩු කලා.

දැන් හර්ශගේ යෝජනා සමාන වෙන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. මම පෞද්ගලිකව ඒ ප්‍රතිපත්ති පිලිගන්නවා. 

ඒත් මතක තියා ගන්න සජපේ ආණ්ඩුවක ප්‍රධාන විපක්ශය වෙන්නේ මාලිමාව. මේක 1948 න් පස්සේ තිබ්බ තත්වයම තමයි. ජනතාවාදී අදහස් තියෙන ජවිපේ සමාජවාදී අදහස් එක්ක තමයි බිම් දේශපාලනය කරන්න වෙන්නේ. ඒ අදහස් මිනිස්සුන්ට හරිම ආකර්ශණියයි.ඒත් දිර්ඝ කාලීනව පැවැත්මක් නෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය් ක්‍රියාත්මක කරන්න වෙන්නේ දැඩි දෙශපාලන අභියෝග එක්ක. එතකොට මේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.

උදාහරණයක් ලෙස මිනිස්සු දුක් විදින කොට, දේශපාලකයාත් තමන්ගේ පැත්තට බෙදා ගන්නේ නැතුව, සාමාන්‍ය මිනිස්සු වගේම  ජීවත් වෙන්න ඕනේ. මේ කාරණයෙදී ජවිපේ  කට්ටිය  ඒ කැප කිරීම කරන්න පුලුවන් කියලා ජනතා විශ්වාසයක් දිනා ගෙන තියෙනවා. ඒත් පොහොට්‍ටු,  සජප වැනි දේශපාලකයන් ඒකට සුදානමක් ඇති බවක් ජනතාවට ඒත්තු ගන්වලා නෑ.කිරිඇල්ලලා වගේ මිනිස්සු බලන්නේ තමන්ගේ ආණ්ඩුවක් ආවාම තමන්ට බෙදා ගන්නේ කොහොමද කියන එක. මේ වගේ කට්ටිය එක්ක, හර්ෂ ගේන ආර්ථික විසදුම් එක්ක එන ජනතා අසහනයට මූන දෙන්න අමාරුයි. ඒකට හොද කැරිස්මැටික් නායකත්වයක් වගේම, මඩේ හිටවපු ඉන්න වගේ නැති දැඩි තීරණ ගන්න පුලුවන් නායකත්වයක් ඕනේ. ඒ වගේම පක්ශයේ මුල් පෙල නායකයන් ඒකට සපෝර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව  එන දේශපාලන අභියෝග වලට මූණ දෙන්න බෑ.

හර්ශගේ ඉකොනොමික් ප්‍රතිපත්ති, දේශපාලන අරගලයක් දක්වා එන කොට සජිත් ඇතුලු පක්ශේ මොකක්ද කරන්නේ කියන එක තමයි කථා කරන්න ඕනේ.පක්ශේ විතරක් නෙමේ, අභියෝග එනකොට, හර්ශත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ස්ථිරසාරව හිට ගනීද කියන එක මට ප්‍රශ්ණයක්.









Monday, 18 July 2022

ලංකාව හදන්න කල් ඕන



මාත් එක්ක කතා බහ කරපු කෙනෙක් කිව්වා සැබෑ නායකයෙක්ට බලය ගන්න පුළුවන් නම් අවුරුදු දෙකකින් මේ රට ගොඩගන්න පුළුවන් කියලා. මට නම් මෙය ඉතා ශුභවාදී  නමුත් ප්‍රායෝගික නොවන ප්‍රකාශයක්.


මගේ අනාවැකිය නම් දේශපාලනික සහ ආර්ථික වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගැනීම තිතටම උනත් මේ සදහා අවම වශයෙන් තවත්  වසර 10ක් 15ක් පමණ ගත වන බවයි.


දැන් මාගේ මේ  අදහසට හේතු සලකමු.


1. අපේ ආර්ථිකය ණය ගැනීම් මත පදනම් විය.


දශක ගණනාවක් තිස්සේ අපගේ උපායමාර්ගික ආර්ථික සැලැස්ම ණය ගැනීම් වටා කැරකුණි. අපට විශාල අයවැය හිඟයක් තිබුණා. එම හිඟය පියවා ගත්තෙ  ණය ගැනීම් වලින් . ඉතින් හැම අවුරුද්දකම පසුගිය ණය වගේම පවතින අයවැය හිඟය ගෙවන්නත්  ගිය අවුරුද්දට වඩා ණය ගන්න සිද්ධ වුණා.


රාජපක්ෂ යුගයේදී, යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව, 2010දී මේ උපාය වඩාත් සූක්ෂමව යොදා ගත්තා. මහින්ද රාජපක්ෂගේ මෙම මහා ණය ගැනීම් පිටුපස සිටි මහ මොලකරුවා  වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී බී ජයසුන්ද්‍ර ය.


ඔහු ශ්‍රී ලංකාවට ණය දීම ඉතා ලාභදායක බව කළේය.

ඒ සදහා ඔහු යොදා ගත් ටූල් එක වූයේ ඩොලරයට සාපෙක්ශව රුපියල අවප්‍රමාණය වීමට නොදී , මහ බැංකු  ඩොලර් සංචිත භාවිතා කරමින්,  රුපියල ආරක්ශා කර ගැනීමෙන් . 

තවද ඔහු මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජල මණ්ඩලය වැනි ආයතන හරහා චීන වාණිජ ණය ලබාගත්  අතර, එම ණය,රජයේ ණය ලෙස පිළිබිඹු නොවන පරිදි සගවා තැබුවා.


තවද, භාණ්ඩාගාර ඇපකර ලබා දීමෙන් දේශීය ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඔහු විසින් සකස් කරන ලදී.


පසුව කබ්රාල් සහ පීබී යුගලය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳපොළෙන් ණය ගැනීමට පටන් ගත්තා.


යහපාලන රජය බලයට පත් වූ පසු ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඉහළ පොලියට ණය ගැනීමේ උච්චතම අවස්ථාවට පැමිණියා.


2. ණය ගැනීම තවදුරටත් කළ නොහැක.


දැන් මේ ආර්ථික ව්‍යසනයත් සමඟ අපි ණය පැහැර හැරියෙමු. අපගේ ජාත්‍යන්තර ණය අනුපාත ඉතා සෘණාත්මක ය. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මුළු ලෝකයම දැන ගත්තා.
දැන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද හැම බරපතල ණය  දෙන්නෙක්ම දන්නවා ලංකාවට ආපහු  ගෙවන්න බෑ කියලා.
සාමාජික රටවල ශේෂ ගෙවීමේ ගැටළු විසඳීම සඳහා පැහැදිලිවම පිහිටුවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර, අපට වෙනත් ණය ගැනීමේ මූලාශ්‍රයක් ඉතිරි වෙලා නෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප පිටුපස සිටින්නේ නම්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් ණය දෙන ආයතන අප වෙත දෑත්  දිගු කරනු ඇත. නමුත් නුදුරු අනාගතයේදී අනෙකුයිහ් මූල්‍ය ණය දෙන්නන්ගෙන් නම් ණයක් ගන්න බෑ .


3. අපට වේදනාකාරී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීම සඳහා, ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් වන්නේ ණය තිරසාර බව ඔප්පු කිරීමයි. මේ සදහා අපගේ ණය කරුවන් සමඟ ඉතා  දීර්ඝ සාකච්ඡා සිදු කිරීමට සිදු වනු  ඇත. මේ වන විටත් චීනය ඉතා අමාරු කාරයන් වී ඇත . 

ඊලගට ඔවුන් ඉල්ලා සිටින්නේ  රජයේ අය වැය පරතරය  අඩු කර ගැනීමයි.  එනම්  රජයේ බදු වැඩි කර , අනෙක් පසෙන් වියදම් අඩු කළ යුතුය.


රජයේ වියදම්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටයි. ඒ නිසා ඒව අඩු කරන්න ඕන.


එතකොට රජයේ ආදායම වැඩි කරන්න බදු වැඩි කරන්න ඕන. උද්ධමනය  උච්චතම අවස්ථාවක දී තවත් බදු  වැඩි කිරීම දරාගැනීමට  ඉතා අපහසු වනු ඇත.


4. අපට පෞද්ගලීකරණය අවශ්‍යයි.


අපේ ඩොලර් ඉපැයීම්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඉන්ධන ආනයනය සඳහා ය. මෙම ඉන්ධන ආනයනය කරනු ලබන්නේ රාජ්‍ය ආයතනයක් වන  සිපෙට්කෝ ආයතනය විසිනි.

එසේ ආනයනය කරන ඉන්ධනවලින් අඩක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරයි.
දැන් මේ ආයතන දෙකම අකාර්යක්ෂම, ලාභ නොලබන, නමුත් විශ්වයේ කළු කුහරයක් වගේ ඩොලර් ගිලින  ආයතන.
පවතින ආර්ථික අර්බුදයට යම් ප්‍රකෘතියක් ලබා ගත හැකි නම් අනිවාර්යයෙන්ම මේ ආයතන දෙක පෞද්ගලීකරණය කළ යුතුයි. එමගින් මෙම අධික වියදම් සහිත ආයතන, රජය මත පැටවෙන බර අඩු වනු ඇත. කෙසේ වෙතත්, මෙමගින් ඉන්ධන සහ විදුලිය සඳහා ඉහළ මිලක් ඇති තත්වයක් නිර්මාණය වනු ඇත. මීට පෙර අප සතුව තිබූ අනවශ්‍ය සුඛෝපභෝගි දේ සඳහා අප ගෙවිය යුතු මිල එයයි.


5. පළමු දශකය තුළ ආර්ථිකය මන්දගාමී වී හැකිලෙනු ඇත.


මේ සියලු ක්‍රියාමාර්ග ගත් විට මුල් වසර කිහිපයේදී ආර්ථිකය හැකිලෙනු ඇත
පළමු වසර කිහිපයෙන් පසු, එය ක්රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. එය හොඳ පදනමක් සමඟ වර්ධනය වනු ඇත.  එය, කඩාවැටීම , කාලය පිළිබඳ  පමනක් ගැටලුවක් වූ කලින් මෙන් දුර්වල අත්තිවාරමක් මත  ඉදිකරන ලද  දිස්නෙ දෙන්  මාලිගාවක් නොව  පෙර මෙන් නොව සවිමත් අත්තිවාරමක් මත ගොඩනගන ස්තිර ගොඩනැගිල්ලක්.


කෙසේ වෙතත්, විශාල දේශපාලන ස්ථාවරත්වයක් සහ දේශපාලන කැපබීමට අවශ්‍ය වූ , මෙම ප්‍රතිසංස්කරණ කළ හැකිද යන්න මට විශ්වාස නැත. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර බොහෝ ආණ්ඩු කඩාවැටීමේ විශාල අවදානමක් තිබෙනවා. අලුත් බලාපොරොත්තු ඇතිව අලුත් ආණ්ඩු පිහිටුවන නමුත් කාලයත් සමඟ ඔවුන්ටද මුහුණ දීමට සිදුවනු ඇතතේ  කලින සිටි රජය මුහුණ දුන් අභියෝගවලටමය /

දැන් මම මගේ ලිපියේ අවසානයට පැමිණෙමි.


මෙම සියලු ක්රියාවන් සඳහා කාලය අවශ්ය වේ. මේවා ඉතා අභියෝගාත්මක හා දැවැන්ත කාර්යයන් වේ. මේවාට දේශපාලන අධිෂ්ඨාන ශක්තිය සහ ආර්ථික පෙරමුණේ නිවැරදි තීරණ ගැනීම අවශ්‍යයි.


මෙම ප්‍රතිසංස්කරණ වසර දෙකකින් කළ නොහැකි බව ඔබ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අවසානයේ රෝමය ගොඩනැගුනේ දවසකින් නොවේ. ඒකට කාලය අවශ්‍යයි. අපි දශකයක් පමණ  ඒ සඳහා ගත කල යුතුය . එම දශකය වේදනාවෙන් හා දුක්වලින් පිරී ඉතිරී යනු ඇත, නමුත් අපමණ බලාපොරොත්තු ඇත.

Saturday, 16 July 2022

ජනාධිපති විය යුත්තේ කවුද ??


වර්තමානයේ යථාර්ථවාදය සත්‍යයෙන් බොහෝ දුරස් ය.

මේ අර්බුදයට අවශ්‍ය වන්නේ වෙළෙඳපොළ ආර්ථිකය විශ්වාස කරන පුද්ගලයෙක්. අප සතුව ඇති විසඳුම් පිළිබඳව ඔහු ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මෙම විසඳුම් ඉතා වේදනාකාරී වේ. කෙසේ වෙතත්, වෙනත් මාර්ගයක් නොමැත.

දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස නම් 4ක් ප්‍රචාරය වී තිබේ. 

ඒ අතරින් වෙළඳපොල ආර්ථිකය සැබෑ ලෙසම විශ්වාස කරන පුද්ගලයා රනිල්ය. ඒත් එයාට ප්‍රශ්න ගොඩයි. එතුමාට පාර්ලිමේන්තු බහුතරය නැහැ. පොහොට්ටු බයියන් මත යැපෙන්න ඕන. අනෙක් ගැටලුව නම් ඔහු නරක සන්නිවේදකයෙක් . සාමාන්‍ය ජනතාව ඒත්තු ගැන්වීම සම්බන්ධයෙන් ඔහුට හොඳ වාර්තාවක් නැත. ඒ නිසා මැරුණත් UNP කාරයෙක් උනත් එයා එක්ක එච්චර  හොඳ නෑ. අනිත් අය ගැන කවරක් කථාද

එවිට අපට ඩලස් ඇත. ඔහු අවස්ථාවාදී ය. කතාවෙන් මේ ප්‍රශ්න විසදන්න පුලුවන් නම් ඔහුට තරගයක් ඇත්තෙ අනුර පමනය. එසේම  ඔහුට නිදහස් ආර්ථිකය පිළිබඳ දැඩි හැඟීමක් නැත. ඔහුට සමාජවාදී මූලයන් ඇත. මෙය සාමාන්‍ය දේශපාලනඥයාට මෙන්ම පුරවැසියාටද ඉතා පොදුය. එබැවින් ඔහු ඉතා සාමාන්ය නායකයෙකු වනු ඇත. මෙම දුෂ්කර කාලය සඳහා හොඳ නැත.  කල් ගත  වන විට, තවත් ආර්ථික දුෂ්කරතා පැමිණි විට, මිනිසුන් සිතන්නේ ඩලස් වගකිව යුතු බවත් ඔහුට හැකියාවක් නොමැති බවත්ය. එබැවින් එම කාලය පැමිණෙන විට DULLES Go Gama සඳහා ඉහළ සම්භාවිතාවක් ඇත.

ඊළඟට අපිට ඉන්නේ සජිත්. හරි, ඔහුට සැලකිය යුතු පාර්ලිමේන්තු සහයෝගයක් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සහයෝගයද ඇත. ඔහු නිදහස් වෙළෙඳපොළ ප්‍රතිපත්ති ගැන තරමක් විශ්වාස කරයි. නමුත් ඔහුට නිදහස් වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති විශ්වාස කරන හොඳ උපදේශකයින් සිටී. මෙම කරදර සහිත ජලයේ යාත්‍රා කරන මෙම ජනාධිපති නෞකාව ඔහුට හැසිරවීමට නොහැකි තරම් බරයි. කෙසේ වෙතත් ඔහු ඉහත කී දෙදෙනාට වඩා හොඳින් එය කරනු ඇත. ඒක හරිම පුංචි බලාපොරොත්තුවක්. ඔහු මේ වසර දෙකහමාර අසාර්ථක නායකයෙකු ලෙස අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

අන්තිමට අපිට අනුර කුමාර ඉන්නවා. හරි, මේ මනුස්සයා 2004 කාලෙ බොහොම කෙටි කාලයක් ඇමැති කෙනෙක් වුණා මිසක් රජයේ සැලකිය යුතු තනතුරක් දරා නැහැ. නමුත් ඔහුගේ ප්‍රශ්නය ඔහුගේ අත්දැකීම නෙවෙයි. නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් ඔහුට නැත. ඔහු මාක්ස්වාදී සහ සමාජවාදී ය. අශුභවාදී මාක්ස්වාදී ප්‍රතිපත්ති සමඟ මෙම ගැටලුව සඳහා ඉදිරි ගමනක් නොමැත. මුලදී ඔහුට IMF හි උභතෝකෝටිකය විසඳා ගත යුතුය. මහ බැංකුවට IMF යන්න ඕන. එතකොට අනුරගේ ප්‍රතිචාරය මොකක්ද? එතකොට අපිට පෞද්ගලීකරණය කරන්න වෙනවා. අනුර සහ ඔහුගේ සගයන් ඔවුන්ගේම වචන අනුභව කරන්නේ කෙසේද? එබැවින් අසාර්ථක වීමට විශාල ඉඩක් ඇත. අනුර විතරක් නෙවෙයි දැනටමත් අපායේ ඉන්න රටත්.

ඒ නිසා ප්‍රායෝගිකව මගේ තේරීම සජිත්. නෞකාව සැලකිය යුතු හානියක් සමඟ සෙමින් ගමන් කරනු ඇත.

ඊළඟ තේරීම අනුර ය. ගෝඨාබය ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ රෝග සුව කළේය. එනම් රණවිරු ගාය, වද කොත්තු ගාය, රාජපක්ෂ ගාය, සිංහල බෞද්ධ ගාය, ඉන් කිහිපයක්. අනුර මීළඟ ජනාධිපති වුවහොත් අනුර ජවිපෙ ගාය සදහටම සුව කරයි. එය අවම වශයෙන් දිගු කාලීනව හොඳ වනු ඇත.

ඩලස් තුන්වන තේරීම , ඔහු පතෝල වගේ වනු ඇත. එය නාම පද ඇති නමුත් ක්‍රියා පද නොමැති උපකල්පිත වාක්‍යයකට සමාන වනු ඇත.

 අවසාන තේරීම රනිල්. නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින අවංකම මිනිසා. නමුත් රට ලේ නෑමක් වේවි.

Thursday, 14 July 2022

සමෘද්ධිය සහ අරාජිකත්වය

මෙය අපට සමෘද්ධිය සහ අරාජිකත්වය අතර මාවත තෝරාගත යුතු අරගලයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයකි.

මේ වන විට අප සිටින්නේ ආර්ථික අර්බුදයක පතුලේ ය. නිවැරැදි ආර්ථික තීරණ ගැනීම සහ දේශපාලනිකව එම තීරණවලට සහාය දීම මත ආර්ථික ප්‍රකෘතියේ මාවත තීරණය වේ.

අප සිටින සැබෑ ආර්ථික අර්බුදය ජනතාව තේරුම් ගෙන ඇති බව මට විශ්වාස නැත. බොහෝ දෙනාගේ මතය වන්නේ රාජපක්ෂ පරපුරේ දූෂණය සහ හොරකම ප්‍රශ්නයට එකම හේතුව බවයි. ඔව්, එය එකක් වූ නමුත් සම්පූර්ණ නොවේ.

දශක ගණනාවකට වැඩි කාලයක් අපට තිබුණේ විදේශ ණය මත පදනම් වූ ආර්ථිකයක්. ඩොලරයට සාපේක්‍ෂව රුපියල වැඩිකර තබා ගනිමින් මහින්ද ණය ගැනීම පහසු කළේය. ඔහු ඉහළ පොලී අනුපාතයක් සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) වෙතින් ණය ගැනීම ආරම්භ කළේය. යහපාලන රජය සමයේ ISB වෙතින් ණය ගැනීම උච්චතම අවස්ථාවට පත් විය.

අපි ටිකෙන් ටික මිය යමින් සිටියෙමු.

ඊට පස්සේ ගෝඨාභය ආවා. ඔහු මරණය වේගවත් කළේය.

ගෝඨාභය වැරදි තීරණ රැසක් ගත්තා. ඔහු ඉතා අහංකාර විය. ආර්ථික සහ දේශපාලන පෙරමුණු දෙකෙහිම විශේෂඥයන්ගේ උපදෙස්වලට ඔහු සවන් දුන්නේ නැත. ඔහු ඒවා විශ්වාස කළේ නැත. ඔහුගේ මෝඩකම සහ උඩඟුකම ඔහුගේ අවසාන විනාශය ගෙන ආවේය. ඔහුට නින්දිත ලෙස රටින් පලා යාමට සිදු වූ අතර එසේ කළ එකම සහ එකම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් විය.

කවුරුන් හෝ බලයට ආවත් ඔහුට ගත යුතු තේරීම් ඉතා සීමිතය.

ඔහුට රාජ්‍ය වියදම් කපා හැරිය යුතුය. ලංවිම, ලංකා පෙට්‍රෝලියම් වැනි රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකකරණය කිරීමට ඔහුට සිදුවේ. ඔහු බදු වැඩි කළ යුතුයි. ඔහුට රුපියල උච්චාවචනය කිරීමට සිදු වන්නේ සැබෑ වටිනාකම මත ය. මෙයින් අදහස් කරන්නේ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යනු ඇති බවයි. මේ සියල්ල සාමාන්‍ය ජනතාව අතර ඉතා ජනප්‍රිය නොවන තීරණ වනු ඇත.

දැන් කවුද ඇවිත් මේ අභියෝග ගන්නේ.

අනිවාර්යයෙන්ම JVP නෙවෙයි. ඔවුන් දන්නවා විවේචනය කරන්න. ගැටලුව නිර්වචනය කරන්නේ කෙසේදැයි ඔවුන් දනී. ඔවුන් නොදන්නා එකම දෙය පිළිතුරයි

කෙසේ වෙතත් ඉහත ආර්ථික විසඳුම් ලබා ගත හැක්කේ පූර්ණ දේශපාලන කැපවීම් සහ එම නිවැරදි තීරණ ගැනීම පමණි.

සජිත් මේක දන්නවා. නැතහොත් අවම වශයෙන් ඔහුගේ ආර්ථික උපදේශකයන් තත්ත්වයන් ගැන හොඳින් දනී. කෙසේ වෙතත් සජිත් ඔහුගේ කාලය මිලට ගනිමින් සිටී.

දැන් අපගේ පළමු ප්‍රශ්නයට ආපසු යන්න. සමෘද්ධිය හෝ අරාජිකත්වය කරා යන මාර්ගය අප තෝරා ගත යුතුය. ඒ සියල්ල රඳා පවතින්නේ ආර්ථික පෙරමුණේ ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් අප විසින් ගත යුතු තීරණ මත ය.

ඒ ආර්ථික වෙනස්කම් සඳහා අපට දේශපාලන සහයෝගය සහ කැපවීම අවශ්‍යයි.

මෙම අභියෝගයට දැනට සිටින දේශපාලකයන් කෙතරම් දුරට විසඳුම් ලබා දෙනවාද යන්න මත සාර්ථකත්වය රඳා පවතී.

Sunday, 3 July 2022

IMF මාධ්‍ය නිවේදනය 30/06/2022






කාර්ය මණ්ඩල සංචාරයෙන් පසු IMF මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත. ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ වඩාත්ම වැදගත් ලක්ෂණ පහත පරිදි වේ;


/// රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති නිසා, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් අවශ්‍ය වේ.///....

මෙයින් අදහස් කරන්නේ ණය ලබා දීමේදී IMF සාමාන්‍ය ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකාවට අදාළ නොවන බවයි. ඒකට විධායක මණ්ඩල අනුමැතියේ අනුමැතිය අවශ්‍යයි.

තවදුරටත් ණය තිරසාර බව සහතික කිරීම යනු බොහෝ නීතිමය ගැටළු පින්තූරයට පැමිණේ. මේ සඳහා රජය (ණයගැතියා) සහ ණයහිමියා අතර ගිවිසුමක් අවශ්‍ය වේ.

/// දිළිඳු සහ අවදානමට ලක්වූවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කරන අතරම ඉහළ ගිය රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමට අවශ්‍ය වේ///

මෙයින් අදහස් කරන්නේ වියදම් අඩු කිරීමයි. රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් අඩු කිරීම වැනි විවිධ ක්‍රියාමාර්ග මෙයට ඇතුළත් වේ.

///අඩු ආදායම් මට්ටම අනුව, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දුරදිග යන බදු ප්‍රතිසංස්කරණ වහා අවශ්‍ය වේ. ///

මෙය සෘජු ඉදිරි ප්‍රකාශයකි. ආදායම වැඩි කිරීම සඳහා බදු වැඩි කිරීම අවශ්ය වේ.


///දැඩි ගෙවුම් ශේෂ පීඩනය ආමන්ත්‍රණය කිරීම, දූෂණ අවදානම් අවම කිරීම සහ වර්ධනය වැඩි දියුණු කරන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම.///

මෙය ද ඉතා ස්ථාවර ඉදිරි ප්‍රකාශයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් දෙනවා නම්, ඒවා මංකොල්ල කන්න එපා. මෙය දේශපාලඥයින්ට තම ක්‍රියාවන් නිවැරැදි කර ගැනීමට සහ ජනතාව අවදියෙන් සිටින ලෙසට දෙන ලද පණිවිඩයකි.


විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සහ ණය තිරසාර බව සහතික කිරීම යෝධ කාර්යයන් බව අවසාන වශයෙන් පෙනේ.

Monday, 13 January 2020

භූගෝලයේ සිරකරුවෝ ( Prisoners of Geography) ...

මා ඉතා මෑතකදීම කියවූ පොත Prisoners of Geography....... වසර 2015 තරම් මෑතකදී මෙම පොත පලවී ඇති නිසා මෙහි සිංහල පරිවර්තනයක් ඇතැයි මා සිතන්නේ නෑ.... එනමුත් පොතේ ඉංග්රීසි නම,  ‘භූගෝලයේ සිරකරුවන්’ නැතිනම්භූගෝලීය සිරකරුවන්’ ලෙස සිංහලට පරිවර්තනය කල හැකි යි.

පොතේ පිටකවරය



ඉංග්‍රීසී ජාතිකයකු විසින් ලියා ඇති නමුත්, මෙම පොතේ භාවිතා කර ඇති ඉංග්‍රීසී භාෂාව ඉතා සරල හා සුගමයි. බැරෑරුම් දේශපාලනයක් ගැන කථා කරන නමුත්, කතුවරයා පාවිච්චි කර ඇති භාෂාව ,  ඉංග්‍රීසී  පිලිබද  ඉහල පරිචිතයක් නොමැති අයෙකුට උවත්, කියවිය හැකි ආකාරයට ලියා තිබෙනවා.

මේ පොතේ කතුවරයා වන්නේ  ටිම් මාෂල් ( Tim Marshall) . ඔහු වෘතීය මාධ්‍යවේදීයෙක්. ඔහුගේ  තිස්වසරකට අධික මාධ්‍ය  දිවිය තුල බීබීසී, ස්කයි නිව්ස් වැනි  ප්‍රකට  මාධ්‍ය ආයතනයන්හී විදේශ පුවත් පිලිබද විශේෂඥ මාධ්‍යවේදීයෙකු වශයෙන්  කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඇමේරිකාව, යුරෝපය හා ආසියානු රටවල ස්ථානගත වෙමින් ඔහු මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ කාලය තුල ඔහු ජාත්‍යන්තර මට්ට්මේ යුධ 12 ක් පමණ,  මාධ්‍යවේදීයෙකු වශයෙන් ආවරණය කර තිබෙනවා. මෙම පොතේ අන්තර්ගතයට, ටිම් මාෂල්ගේ වෘතීය අත්දැකිම් හා  ආශ්‍රිතව ඈදූනු දේශපාලන කාරණා ඉවහල් වී ඇති බව හොදින්ම පේනවා.. ඝාතනයට ලක් උන පාකිස්ථාන ජනාධිපතිනි , බෙනාසිර් බූතෝ මැතිණිය සමග අවසන් මාධ්‍ය  සාකච්චාවපලමු ගල්ෆ් යුද්ධයේදී ස්කයි නිවස් සේවය වෙනුවෙන්, පැය 6ක් අඛණ්ඩව කෙරුණු මාධ්‍ය ආවරණය, ඔහුගේ මාධ්‍ය ජීවීතයේ අමතක නොවන දේවල්.


ටිම් මාෂල් - පොතේ කතුවරයා

පොතේ අන්තර්ගතය ගැන කථා කරන විට, මෙහි අඩංගු වන්නේ ලෝකයේ  ප්‍රධාන රටවල් හි භූගෝලීය පිහිටීම, තමන්ගේ අන්තර්ජාතීක දේශපාලන තීරණ ගැනීමට , අන් රටවල් සමග යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට, බලපා ඇතී ආකාරය පිලිබද ඉතා විස්තරාත්මකව විශ්ලේෂණය කිරීමක්.

උදාහරණයක් ලෙස ඇමේරිකාව අංක එකේ ලෝක බලවතා ලෙස සිටීමේදී, ප්‍රධාන මුහුදු කලාපයන් දෙකක තම නාවික අණසක පැතිරවීමට  හැකි වන පරිදි ඇමෙරිකාවේ ස්භාවික භූගෝලීය පිහිටිමත්, අතින්රැසියාව ඉතා දරුණු අධිශීත මුහුදු කලාපයක සිරවීමත්, , නිසාම ලෝක බලවතුකු ලෙස පෙනී හිටීමේදී  රුසියාවට ඇතිවන ගැටළුත්ඔහු මනාව විස්තර කරනවා.

වගේම පරිසර උෂ්ණත්වය ඉහල යෑම නිසා ආක්ටික් මුහුදු කලාපය, විසි එක් වෙනි ශතවර්ෂයේදී ප්‍රධාන මුහුදු කලාපයක් විය හැකි ආකාරය සහ එහිදීරැසියාව අධිශීත මුහුදු කලාපයන්ගේ, නාවික හමුදා ශක්‍යතාවයෙන්, අනෙක් රටවල් අභිබවා යන විස්තරය, මෙම පොතේ මා සිත්ගත් තවත් කාරණයක්.

ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ ගෙමිදුලක සිට බැලූ කලරැසියාවේ නැගෙනහිර බෝඩරය පෙනෙන නමුත්රුසියාව ඉතිහාසයේ කෙදිනකවත් තම නැගෙනහිර අර්ධයෙන් එන සතුරු ආක්රමණයක් ගැන බැරෑරුම්ව නොසලකන්නේ ඇයිද යන්නත්,  මේ පොතේ එන තවත්  රසවත් විස්තරයක්.

චීන පාකිස්තානු දේශ සීමාවත්, එය හරහා පාකිස්ථාන ග්වාඩර් නාවික වරායට ( Gwadar Port) චීන ආයෝජන ලබා දීමත්, එමගින් භූමි මාර්ග හරහාම චීනයට ඉන්දියානු සාගරයට දොර විවෘත වීමත් මෙහි හොදින් විස්තර කරනවා. මේ කටයුතු කිරීමේදී චීනයේ මුස්ලිම් ප්‍රාන්තය උන ෂින්ජියෑන් (Xinjiang) සම්භන්ධයෙන් චීනයේ මධ්‍යම ආන්ඩුවේ සැලසුම් හොදින් විස්තර කෙරෙනවා.

මෙවන් අති රසවත් අන්තර්ජාතීක දේශපාලන කරුණු , මුළු ලෝකයම අන්තර්ගතවන පරිදි, මෙම පොතෙන් ඉතා මැනවින් විස්තර කර දෙනවා.

මේ සියළු පැහැදිලි කිරීම් සදහා, කතුවරයා, වෙනුවෙන් පිලියෙල කරගත්  සිතියම් භාවිතා කරනවා. සිතියම් සමග කතුවරයා ඉදිරිපත් කරන විවිධ කාරණා ඔහුගේ අදහස් පාඨකයාට ඒත්තු ගැන්වීමට මනා පිටිවහලක් වී තිබෙනවා.

කතුවරයා යොදා ගෙන ඇති සිතියම්


මා මේ පොත කියවනු ලැබුවේ බ්‍රිටිෂ් කවුන්සිලයේ කොලඹ පුස්ථකාලය මගින්. දේශීය වෙළද පොලෙහි මේ පොත මිලදී ගැනීමට ඇතිදැයි මා දන්නේ නෑ.

කෙසේ නමුත් සමාන්‍ය ඉංග්‍රීසී දැනුමක් ඇති අයෙකුට උවත් පහසුවෙන් තේරූම් ගත හැකි ආකාරයට ලියා ඇති මේ පොත, මෑතකාලයේ මා ඉතා ආශාවෙන්ම කියවා නිම කල පොතක්

ටිම් මාශල් ඔබට ස්තූතියි.

Many Thanks Tim Marshall.....

2222