Sunday, 27 September 2026

කන්තලෙන් උපන් ශ්‍රී ලංකාවේ Dam Safety පාඩම

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers, Sri Lanka – IESL) විසින් 1986 කන්තලේ වැව් බැම්ම බිඳී යාම පිළිබඳ ඉතාම වටිනා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තිබුණා. ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා.

ඇත්තටම මේ සම්මන්ත්‍රණය සංවිධානය වුණු විදිහත් හරිම වටිනවා. IESL එකේ තරුණ ඉංජිනේරුවෙක් තමයි මේ ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරලා තිබුණේ. 1986දී සිදුවුණු කන්තලේ ව්‍යසනය ගැන අද ඉන්න තරුණ ඉංජිනේරු පරපුරේ බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා, ඒ සිද්ධියත් ඒකෙන් ඉගෙනගන්න තියෙන ඉංජිනේරුමය පාඩම් ටිකත් නැවත කතා කරන්න ඕන කියන ඉල්ලීම ඔහු කරලා තිබුණා.

IESL එකත් ඒ තරුණ ඉංජිනේරුවාගේ අදහසට ඇහුම්කන් දීලා, එදා මේ සිද්ධියත් එක්ක සෘජුවම සම්බන්ධ වෙච්ච සහ ඒ ගැන දැනුම හා අත්දැකීම් තියෙන පිරිස එකතු කරලා මේ සම්මන්ත්‍රණය සංවිධානය කරලා තිබුණා.

මට නම් ඒකම ලොකු දෙයක්.

මොකද ඉංජිනේරු වෘත්තියේ පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕනේ සාර්ථක ව්‍යාපෘතිවල කතා විතරක් නෙමෙයි. අපේ failures ගැනත් ඊළඟ පරම්පරාව දැනගන්න ඕන. ඒවා සිද්ධ වුණේ කොහොමද, කලින් තිබුණු warning signs මොනවද, ඒවා හඳුනාගන්න බැරි වුණේ ඇයි, අද ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපි වෙනස් විදිහකට කරන්නේ මොනවද කියන දේවල් තමයි ඇත්තටම වටින්නේ.


සම්මන්ත්‍රණයේ ප්‍රධාන ඉදිරිපත් කිරීම කළේ ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු භද්‍රා කමලදාස මහත්මිය. ඇය ඉතාම හොඳ presentation එකක් කළා. පැරණි ඡායාරූප, drawings, failure එකට කලින් තිබුණු තත්ත්වය, 1986 අප්‍රේල් 20 වෙනිදා සිදුවීම් පෙළ, failure එකෙන් පස්සේ කරපු forensic investigations සහ ඒවායේ conclusions එකිනෙකට සම්බන්ධ කරලා ඉතා පැහැදිලිව කතාව ගොඩනැගුවා.

භද්‍රා කමලදාස මහත්මිය ගැන මට තවත් පුංචි හඳුනාගැනීමක් තිබුණා. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කමලදාස මහත්මයාගේ දයාබර බිරිඳ 

කන්තලේ කතාවේ මට විශේෂයෙන්ම හිතට වැදුණු කාරණය තමයි මේක 1986 අප්‍රේල් 20 වෙනිදා උදේ එකපාරටම ඇතිවුණු failure එකක් විදිහට විතරක් බලන්න බැහැ කියන එක.

ඊට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ බැම්මෙන් seepage සහ piping වාර්තා වෙලා තිබුණා. විශාල ගස්වලින් බැම්ම වැහිලා තිබීම නිසා inspection සහ monitoring පවා අපහසු වෙලා තිබුණා. පැරණි left-bank sluice එකේ masonry construction එකත් අද අපි කරන modern concrete conduit එකක් වගේ එකක් නෙමෙයි. Dressed stone, brick සහ indigenous lime-based bonding materials යොදාගෙන හදපු ඉතා පැරණි ව්‍යුහයක්.


කන්තලේ වැව් බැම්මේ බිඳී යාමට පෙර හරස්කඩක්. පැරණි සොරවත්.,සොරව්වට උඩින් තිබුණු,   1980ට පෙර කපා ඉවත් කරන ලද බෝ ගහත්,1982 දී. සොරුවට මීටර් 40ක් දක්නට ඉදිකරණ ලද ජලය පොම්පාගාරයත්. රූපයෙන් දැක්වෙනවා. 

ඊටත් වඩා වැදගත් warning sign එකක් 1982දී ලැබිලා තිබුණා. පැරණි සොරොව්වට ( sluice එකට ) අඩි විස්සක් විතර ආසන්නයෙන් අඩි තුනක පමණ විෂ්කම්භයක් සහ අඩි දෙකක් පමණ ගැඹුරක් ඇති  ගිලාබැසීමක්  (sinkhole එකක්)  මතු වෙලා තිබුණා. ඒක කපලා විවෘත කරලා, ජල මට්ටම අඩු වෙලාවක නැවත පුරවලා තිබුණා.


ඉපැරණි සොරොව් කටේ සිට අඩි විස්සක් පමණ ඈතින් වැව් බැම්මේ upstream හී ඇති වී තිබුණු ගිලාබැසීම. (ඡායාරූප අයිතිය භද්‍රා කමලදාස මහත්මිය සතුය.) 


ඒ කාලය ආසන්නයේම ජල පොම්පාගාරයක් ( pump house එකක්)  ඉදිකරලා තිබුණා. ඒ වැඩ සඳහා පැරණි සොරොව්වට  (sluice එකට)  අඩි 135ක් පමණ දුරින් steel sheet piles drive කරලා තිබුණා.

බිඳී යෑමට පෙර පැවති ඉපැරණි සොසොරොව්ව 


කන්තලේ වැව් බැම්ම උඩින් බැලූ විට. (Plan Veiw)
පැරණි සොරව්වත්ඊට මීටර් හතළිහක්, ඈතින් තියෙන ජල පොම්පාගාරයත්.  1982 දී සිදුවුණු ගිලාබැසීමත් කන්තලේ කොළඹ.  මාර්ගයත් මෙහි දැක්වෙනවා. 


එදා සිදුවුණේ මොකක්ද?

1986 අප්‍රේල් 19 වෙනිදා කන්තලේ වැවෙන් යල කන්නයට ජලය නිකුත් කිරීම ආරම්භ කරලා තිබුණා. පසුදා, අප්‍රේල් 20 වැනිදා පාන්දර 4.00ට පමණ වම් ඉවුරේ සොරොව්වේ ගේට්ටු දෙක අඟල් හතරක් පමණ විවෘත කර තිබූ අතර, ඒ වෙලාවේ සොරොව්වේ ජලය ගලායාම සාමාන්‍ය තත්ත්වයේ තිබුණා. වැවත් ඒ වනවිට එහි උපරිම ධාරිතාවයේ ( Full Supply Level -FSL) එකේ තිබුණා.

නමුත් පැය භාගයක්වත් ගතවෙන්න කලින් තත්ත්වය වෙනස් වෙනවා.

පාන්දර 4.30ට පමණ තද සුළඟක් හමනවා වගේ අසාමාන්‍ය විශාල ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම සොරොව්වෙන් පිටවන ජල ප්‍රමාණය හදිසියේ වැඩිවෙලා, ජලය ඉහළට විසිවෙමින් දැඩි “hissing” ශබ්දයක්ද ඇතිවෙනවා. සිද්ධිය වාරිමාර්ග ඉංජිනේරුවරයාට දැනුම් දුන්නාම ඔහු එතැනට පැමිණෙන අතර, ඒ වනවිටත් අතිවිශාල වේගයකින් ජලය පිටවෙමින් තිබුණා.

තත්ත්වය පාලනය කළ නොහැකි බව තේරුම් ගත් පසු, පහළ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමට පොලීසිය සහ ආසන්න මුස්ලිම් පල්ලිය හරහා පණිවිඩ යැවීමට කටයුතු කරනවා.

ඉන්පසුව සිදුවෙන්නේ ඉතා වේගවත් failure progression එකක්. සොරොව්ව ආශ්‍රිතව ආරම්භ වූ ජල ගලායාමත් සමඟ බැම්මේ පස් ඉවත් වෙමින්, ජල මාර්ගය තව තවත් විශාල වෙනවා. ජලය වැඩිවෙන තරමට පාංශූ ඛාදනය  (erosion) එක වැඩිවෙනවා; පාංශූ ඛාදනය ( erosion) එක වැඩිවෙන තරමට තවත් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. අවසානයේ එය විශාල breach එකක් බවට පත්වෙලා, වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ පහළ ප්‍රදේශයට මුදාහැරෙනවා.

අඩි 300 ක් පමණ පළල වනසේ කැඩී ගිය වම් ඉවුරේ  හරස් කඩක්. ,දුඹුරු පාට ඉරෙන් කැඩී.  ගිය ප්‍රමාණයේ මායිම දැක්වෙනවා. 


වැව් බැම්ම කඩන් යන උදේ අවස්ථාවෙන් ගත් ඡායාරූපයක්. (ඡායාරූප අයිතිය භද්‍ර කමළදාස මහත්මියගේ ඉදිරිපත් කිරීම සතුය)


කන්තලේ වැව් බැම්ම කඩාගෙන යෑමෙන් පසු,  වතුර සියල්ල සිඳී ගිය වැව
(ඡායාරූප අයිතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ භද්‍රා කමලදාස මහත්මියගේ ඉදිරිපත් කිරීම සතුය)

Sunny day Faliure

කන්තලේ සිද්ධිය ගැන කතා කරනකොට මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත් වචනයක් තියෙනවා — “Sunny Day Failure”.

Dam engineering වලදී Sunny Day Failure කියන්නේ, අධික වර්ෂාවක්, විශාල ගංවතුරක් හෝ spillway capacity එක ඉක්මවා ගිය extreme flood event එකක් නිසා නොව, සාමාන්‍ය මෙහෙයුම් තත්ත්වයක් යටතේ වේල්ලක් බිඳී යාමටයි. ඒ නිසා මෙවැනි failure එකකදී ප්‍රධාන අවධානය යොමුවෙන්නේ overtopping වගේ flood-related හේතුවකට වඩා, වේල්ල ඇතුළේ හෝ foundation එකේ ඇතිවුණු seepage, piping/internal erosion, structural deterioration, පැරණි conduits හෝ sluices ආශ්‍රිත දුර්වලතා වගේ කරුණු වෙතයි.

කන්තලේ සිද්ධියත් ඒ අර්ථයෙන් වැදගත් Sunny Day Failure එකක්. 1986 අප්‍රේල් 20 වැනිදා වැව, එහි උපරිම ධාරිතාවයේ. ( Full Supply Level - FSL) එකේ තිබුණත්, එදා මේ failure එක ඇතිවුණේ අසාමාන්‍ය ගංවතුරක් ඇවිත් බැම්ම උඩින් වතුර ගලා ගිය නිසා නොවෙයි. එදා පාන්දර යල කන්නයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කරමින් තිබියදී තමයි වම් ඉවුරේ පැරණි සොරොව්ව ආශ්‍රිතව අසාමාන්‍ය ජල ගලායාමක් පටන්ගෙන, ඉතා කෙටි කාලයක් ඇතුළත එය විශාල breach එකක් දක්වා වර්ධනය වෙන්නේ.

කඩන් ගිය වැව් බැම්මේ දකුණු අත මුහුණතේ පින්තූරයක්. ජලාප්‍රවාහන මණ්ඩලයේ වතුර පොම්පාගාරය සඳහා ඉදිකරන  ලද කුඩා ගොඩනැගිල්ල සහ එයට ගැසූ ශීට් පයිල් ද මෙහි දක්නට ලැබෙනවා. 


විනාශයේ තරම කොච්චරද. 

මේ failure එකේ බරපතළකම තේරුම් ගන්න නම්, එයින් සිදුවුණු ජීවිත හා දේපළ හානියත් මතක් කරන්නම ඕන.

1986 අප්‍රේල් 20 පාන්දර බැම්ම බිඳී ගියාට පස්සේ වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ ඉතා වේගයෙන් පහළ ප්‍රදේශවලට ගලා ගියා. බොහෝ දෙනෙක් නිදාගෙන සිටි වෙලාවක් නිසා බේරී යන්න තිබුණු කාලයත් ඉතා සීමිතයි.

පසුව පැවැත්වූ නිල පරීක්ෂණයේ සංඛ්‍යා අනුව මේ ව්‍යසනයෙන් පුද්ගලයන් 127 දෙනෙකුට ජීවිත අහිමි වුණා. 10,864 දෙනෙක් පමණ සෘජුව බලපෑමට ලක්වුණු අතර නිවාස 1,200ක් පමණ විනාශ වුණා. වගාබිම් විශාල ප්‍රමාණයක් ජලයට සහ රොන්මඩට යටවුණා. මාර්ග, දුම්රිය මාර්ග, පාසල්, රෝහල්, රාජ්‍ය ගොඩනැගිලි, විදුලි හා ජල සැපයුම් වගේ පොදු යටිතල පහසුකම්වලටත් බරපතළ හානි සිදුවුණා.

පැරණි සොරෝවේ බිත්ති කැඩීයාමනිසා.  වැව් බැම්ම කැඩී යාම ආරම්භ වූ ආකාරය. . 


මේ ඛේදවාචකින් ඉගෙන ගත් පාඩම් මොනවද. 

Failure එකෙන් පස්සේ සිදුකළ GIBBS inquiry එකේ ඉදිරිපත් කර තිබුණු most probable explanation එක තවත් වැදගත්. ඔවුන්ගේ නිගමනය අනුව පැරණි sluice barrel එකේ upstream පැත්තේ masonry deterioration වීමත්, කාලයත් සමඟ lime mortar එක permeable වෙලා finer material sluice එක තුළට ගලායාමත් නිසා දිගුකාලීන deterioration process එකක් ඇතිවෙලා තිබෙන්න පුළුවන්. 1982දී මතු වුණු sinkhole එක ඒ ක්‍රියාවලියේ evidence එකක් ලෙසත් ඔවුන් සලකා තිබුණා.

Pile driving එක මූලික හේතුව ලෙස නොව, මේ වනවිටත් සිදුවෙමින් තිබුණු deterioration process එක accelerate කරන්න ඇති කියන අදහසත් inquiry එකෙන් ඉදිරිපත් කරලා තිබුණා.

මේ සියල්ල අහගෙන ඉන්නකොට මට හිතුණේ කන්තලේ failure එකෙන් අපට ලැබෙන ලොකුම පාඩම failure එක සිදුවුණු මොහොතේ තියෙන්නේ නෙමෙයි කියලා.


Failure එකට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ dam එක අපට මොනවාද කියමින් හිටියේ?

Seepage තිබුණා. Piping ගැන වාර්තා තිබුණා. Inspection කරන්න අපහසු තත්ත්වයක් තිබුණා. Sluice එක ආසන්නයෙන් sinkhole එකක් මතුවුණා. පැරණි structure එකක් ආසන්නයේ heavy construction work සිද්ධ වුණා.

මේවා එක එක isolated incident විදිහට බැලුවොත් එක කතාවක්. හැබැයි ඒවා එකට තියලා බැලුවොත් තවත් කතාවක්.

ඉංජිනේරු විද්‍යාවේ dam safety කියන්නේ crack එකක් හදන එකවත්, sinkhole එකක් පුරවන එකවත්, seepage එකක් නවත්වන එකවත් විතරක් නෙමෙයි. ඒවා symptoms නම්, ඒ symptoms ටික එකිනෙකට සම්බන්ධ කරන underlying failure mechanism එක හඳුනාගන්න එකයි වැදගත්.

කන්තලේ ව්‍යසනයෙන් පස්සේ ලංකාවේ dam safety ක්ෂේත්‍රයේත් සැලකිය යුතු වෙනස්කම් ඇතිවෙලා තිබුණා. UK technical assistance යටතේ පැරණි විශාල වේලි දහයක risk level අධ්‍යයනය කිරීම, Irrigation Department නිලධාරීන්ට training ලබාදීම, dams hazard classification කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, Irrigation Department එක තුළ Dam Safety Unit එකක් පිහිටුවීම සහ පසුව 1997දී Dam Safety Branch එක independent division එකක් ලෙස ස්ථාපිත කිරීම ඒ අතරින් කිහිපයක්.

ඒ නිසා 1986 කන්තලේ ව්‍යසනය කියන්නේ අතීතයේ සිදුවුණු ඛේදවාචකයක් විතරක් නෙමෙයි. ලංකාවේ dam safety ගැන හිතන විදිහ වෙනස් කරන්නත් ඒ සිද්ධිය විශාල බලපෑමක් කරලා තියෙනවා.

වසර හතළිහකට ආසන්න කාලයකට පස්සේ මේ කතාව ආයෙත් අලුත් පරම්පරාවට කියන්න ඕන කියලා හිතපු ඒ තරුණ ඉංජිනේරුවාටත්, ඒ අදහසට ඇහුම්කන් දීලා මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ IESL එකටත් ඒ නිසා විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන.

මොකද ඉංජිනේරු වෘත්තියේදී අපි failures ගැන ආපහු කතා කරන්නේ කාට හරි වරද පටවන්න නෙමෙයි.

අතීතයේ failure එකක් හරියට තේරුම් ගත්තොත්, අනාගතයේ failure එකක් වළක්වාගන්න පුළුවන් නිසා.





බිඳී ගිය පැරණි සොරොව්ව සහ ජල පොම්පාගාරය වෙනුවට ඉදිකරන ලද නව සොරොව්ව සහ ජල පොම්පාගාරය. 



කන්තලේ දකුණු ඉවුරේ ඇති Radial Spillgates.වම් ඉවුර කඩාගෙන යන දවසේ, උදේ 8 වන විට මේවත් විවෘත කලා

Tuesday, 22 September 2026

නවනවා නැවිල්ලක්... කනේ වැලි ගෑවෙන්නම.

අද The Island පුවත්පතේ පළවී තිබුණු මේ කාටූනය දැක්කාම එක පාරටම මතක් වෙන්නේ අපේ රටේ නීතිය, අධිකරණය සහ දේශපාලන බලය අතර තියෙන සදාකාලික අරගලය.



කමක් නෑ ශිරන්ති  හිරේ දානවනේ. 
. ...😁
( සියලුම හිමිකම්  දී අයිලන්ඩ් පුවත්පත සතුයි. )


අද “හොරු අල්ලන්න” කියලා නීතිය ටිකක් නැමුවට , හෙට ඒ නීතිය කාට විරුද්ධව නමයිද කියලා අපි දන්නේ නැහැ. අද බලයේ ඉන්න කෙනාට හොඳයි කියලා හිතෙන නීතිමය shortcut එකක්, හෙට බලයට එන කෙනාටත් ඒ විදිහටම භාවිත කරන්න පුළුවන්.
අධිකරණයක වටිනාකම තියෙන්නේ අපි කැමති තීන්දුවක් දෙන තුරු නෙමෙයි. අපි අකමැති තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව නීතිය අනුව දුන්නා කියලා විශ්වාස කරන්න පුළුවන් වීමයි.

ඒ නිසා මේක “ආණ්ඩුව හොරු අල්ලනවාද නැද්ද?” කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය තමයි හොරු අල්ලන ක්‍රමයත්, හොරුන්ට විරුද්ධව නඩු අහන අධිකරණයත්, හෙට අපිටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණත් අපට විශ්වාස කළ හැකි තරම් ස්වාධීනද කියන එක.

The Island කාටූනයේ තියෙන පණිවිඩය ඒකයි.
නීතිය පාලකයාගේ අතේ තියෙන යෂ්ටියක් නොවෙයි. පාලකයාත් ඇතුළුව හැමෝම යටත් වන සීමාවක්.
අපට රටක් විදිහට ඕනේ හොරු හිරේ යන රටක් විතරක් නෙමෙයි — කවුරු ආණ්ඩු කළත් නීතිය එකම විදිහට ක්‍රියාත්මක වෙන රටක්.

Thursday, 17 September 2026

නීති පොතද, මනුෂ්‍යත්වය ද?

අරවින්ද ද සිල්වාට නිකුත් වූ බව කියන අධිකරණ වරෙන්තුව ගැන පසුගිය දිනවල කතාබහ වෙද්දී, මට එකවරම මතක් වුණේ මීට දශක ගණනකට පෙර රූපවාහිනියෙන් අපි ආසාවෙන් බලපු මනුතාපය යි.

වික්ටර් හියුගෝගේ ලියූ  ඓතිහාසික සමාජ නවකතාවක් වුන  Les Misérables අපේ රටේ පරම්පරාවකටම හුරු වූයේ, ඊරියගොල්ල මහත්තයා සිංහලට පරිවර්තනය කල මනුතාපය කෘතිය හරහාත්,  එම නමින්ම ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීමෙන් පෙන්වපු රූපවාහිනි නාට්‍ය  හරහාත්ය. 

ඒ කතාවම දුවන්නේ  මිනිස් ඉතිහාසයේ සිට නොනැවතී ගලන ගැටුමක් පාදක කරගෙන.

එක් පැත්තක ජාවර්ජා ( ජන්තු).

ඔහුට නීතිය කියන්නේ නීතියයි. නීතියේ අකුරට පිටින් යනවට වඩා මරණය තෝරාගන්න කැමති පුද්ගලයෙක්. ඔහුට අනුව නීතිය උල්ලංඝනය කළ කෙනා කවුරු වුණත්, ඔහු නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් . පුද්ගලයාගේ දුක, පසුබිම, අසරණකම හෝ ඔහුගේ මනුෂ්‍යත්වය ඒ නීතිමය වගකීම වෙනස් කිරීමට හේතුවක් නොවෙයි.

අනෙක් පැත්තේ ජන් වල්ජන් (ජනවර්ධන) 

ඔහු අපට නිතරම මතක් කරන්නේ නීතිය ඉදිරියේ සිටින පුද්ගලයා යනු නීති පොතක ඇති නමක් පමණක් නොවන බවයි.

ඔහුත් මනුෂ්‍යයෙකි.ඔහුට දුක තිබේ. පසුතැවීම තිබේ. ආදරය තිබේ. අසරණකම් තිබේ.

එතැනින් තමයි මනුතාපයේකතා කරන ලෝක ඉතිහාසයේ මුල ඉඳන්ම එන සැබෑ සදාකාලික ප්‍රශ්නය මතුවෙන්නේ.

නීතියේ අකුරටම ක්‍රියා කිරීම ප්‍රමාණවත්ද?

නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ, නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දෙසත් බැලිය යුතුද?

අරවින්ද ද සිල්වා සම්බන්ධ සිද්ධිය මේ පැරණි ප්‍රශ්නයම අද අප ඉදිරියේ නැවත තබනවා.

වාර්තා වන ආකාරයට, ඔහු මෙම නඩුවේ අපරාධ සැකකරුවෙකු ලෙස නොව වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සම්බන්ධ වී සිටි අයෙකි. නඩුව කැඳවූ දිනයේ ඔහු තම මවගේ අවසන් කටයුතුවල නිරතව සිටි බවත් වාර්තා වේ.

මේ කාරණය අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම නිසා අධිකරණය විසින් තාක්ෂණිකව ඉතාමත් නිවැරදි ලෙසම අරවින්ද සිල්වාට එරෙහිව වරෙන්තු නිකුත් කළා. එය මාධ්‍ය හරහා අත්තටු ලැබුවාක් මෙන් ම පැතිරී ගොස් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද  සිල්වාගේ නාමයට යම් කිසි කැළලක් ඇති කිරීමට සමත් වුණා.





එවැනි අවස්ථාවක නීතියේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබිය හැකිය.

ඇපකරුවෙකුට ඇති වගකීමක් තිබෙනවා. නඩුවට අදාළ නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. නොපැමිණීමක් වාර්තා වුණොත් අධිකරණයට නීතිමය පියවර ගැනීමට සිදුවිය හැකියි.

ඒ සියල්ල අපට පිළිගන්න පුළුවන්.

නමුත් ඒ අතර තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු නොපැමිණියේ නීතිය නොසලකා හැරීමටද? නැත්නම් තම මියගිය මවට අවසන් ගෞරව දැක්වීමටද?

මේ දෙක එකම දෙයක් නොවෙයි.

ඒ නිසා මෙය විනිසුරුවරයා හරිද වැරදිද කියන සරල ප්‍රශ්නයකට පමණක් සීමා කිරීම මට නම් ප්‍රමාණවත් නැහැ.

මෙතැන අපි අහන්න ඕනේ ඊට වඩා විශාල ප්‍රශ්නයක්.

නීතිය ක්‍රියාත්මක කරන විට, නීතින් පොතේ වදන් පමණක් දකින්නට අපට පුළුවන්ද?

නීතිය මනුෂ්‍යයන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මනුෂ්‍යයන් සඳහාය. එහෙම නම්, නීතිය ක්‍රියාත්මක කරන පද්ධතිය තුළ මනුෂ්‍ය ජීවිතයේ අසාමාන්‍ය තත්ත්වයන් හඳුනාගැනීමටත් යම් ඉඩක් තිබිය යුතු නොවේද?

ඒ සමඟම නීතිඥයන්ගේ වගකීමත් අපි අමතක නොකළ යුතුයි.

එවැනි අසාමාන්‍ය තත්ත්වයක් ඇති බව අධිකරණයට කලින් දැනුම් දිය හැකිව තිබුණාද? ඒ සඳහා අවශ්‍ය අයදුම්පතක් හෝ දැනුම්දීමක් ඉදිරිපත් කළ යුතුව තිබුණාද? එය සිදු නොවුණේ නම්, එහි වගකීම කොතැනද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ කරුණු සහ අධිකරණ වාර්තා මත මිස හැඟීම් මත නොවෙයි.

නමුත් එක දෙයක් නම් අපට පැහැදිලියි.

නීතියට මනුෂ්‍යත්වය අවශ්‍යයි. මනුෂ්‍යත්වය නැති නීතියක් යන්ත්‍රයක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේමබ්නීතිය නැති මනුෂ්‍යත්වයක් අරාජිකත්වයක් වෙන්න පුළුවන්.


ඒ නිසා ශිෂ්ට සමාජයක අභියෝගය මේ දෙකෙන් එකක් තෝරාගැනීම නොවෙයි.නීතියත්, මනුෂ්‍යත්වයත් එකට තබාගැනීමයි.

මනුතාපයේ ජාවර්ජා නීති පොතේ අකුරු විතරක් බලන්න යෝජනා කරා.

ජන් වල්ජන් අපට නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දැකීමට ඉගැන්වුවා.

අද, අවුරුදු ගණනාවකට පසුව, අරවින්ද ද සිල්වාගේ සිද්ධිය ඉස්සරහ නැවතත්, මනුතාපය විසින් ඉස්මතු කරන ලද ප්‍රශ්නයම අප ඉතිරියේ ඉතුරු කරලා තියෙනවා.

නීතිය ඉදිරියේ සිටින මිනිසා අපට පෙනෙනවාද?

නැත්නම් අපට බලන්න ඕනි  නීති පොත පමණක්ද?

Friday, 4 September 2026

ඩඩ්ලිගේ කරේ යෑම

බලයට එන්න කලින් මාලිමාවයි JVP එකයි ලංකාවේ හාල් ඒකාධිකාරය ගැන කොච්චර ලොකුවට කතා කළාද අපිට මතකයි. බලයට ආව ගමන් එක පෑන් පහරකින් හාල් මාෆියාව ඉවර කරනවා කියලා ලොකු පොරොන්දු දුන්නා.

හැබැයි බලයට ආවට පස්සේ මොකද වුණේ? ඒ කතා ටික ටික හුදු  පම්පෝරියක් උනා. හාල් මිල අඩු කරනවා වෙනුවට, මේසේට ගහලා, වෙළඳපොළේ තිබුණු මිලටත් වඩා  රුපියල් විස්සක් මෝල් කාරයන්ට දුන්නා


ෆෙස්බුක් එකෙන් උපුටා ගැනුනි, අයිතිය මුල් හි
මිකරු සතුයි


තවත් විහිළුම කාරණය තමයි එදා ජවිපේ දැඩි ලෙස විවේචනය කරපු හාල් ව්‍යාපාරිකය උන ඩඩ්ලිට අද කරේ තියන් අත්පොඩ ගහන්න වෙච්චි එක.  විශේෂයෙන්ම මේක නිකන් සාමාන්‍ය පාක්ෂිකයෙක් නෙමෙයි, JVPයේ ඉහළම නායකයෙක් වන බිමල් රත්නායක වගේ කෙනෙක් සම්බන්ධ වීම නිසා  උත්ප්‍රාසය තවත් තිව්‍ර වෙනවා.

මේ ශෙයා කරලා තියෙන,ෆේස්බුක් එකේ ශෙයාර් වෙන පින්තූරයත්, ඒකට දාලා තියෙන කියමනත් එකට බැලුවම දේශපාලනයේ පොරොන්දු සහ බලයට ආවට පස්සේ කරන දේවල් අතර වෙනස ගැන හොඳ උපහාසයක් තියෙනවා. 😄

ඇත්තටම ප්‍රශ්නය ඩඩ්ලි සිරිසේනද, වෙන කවුරුද කියන එක නෙමෙයි. එදා විවේචනය කළ දේම අද බලයට ආවට පස්සේ පිළිගන්නවා නම්, එදා කරපු විවේචනවල තිබුණේ ඇත්ත ප්‍රතිපත්තියක්ද, නැත්නම් බලය ගන්න කරපු දේශපාලන කතාවක්ද?

දේශපාලනයේදී මිනිස්සු බලන්නේ කතා නෙමෙයි, බලයට ආවට පස්සේ කරන වැඩ දිහා.

2222