Showing posts with label මයි චෙස්. Show all posts
Showing posts with label මයි චෙස්. Show all posts

Wednesday, 4 June 2025

මේසෙට ගැසීම සහ චෙස්

chess කියන්නේ මං පොඩි කාලේ ඉඳන්ම ආස ක්‍රීඩාවක්.

මේ දවස්වල ලෝක චෙස් මේසයත් හරිම උණුසුම්. ජනාධිපති සහෝදරයා මේසෙට ගහලා හාල් මිළ රු 20කකින්  වැඩි කරලා , හාල් මාෆියාවට උතුර දකුණ මාරුවෙන්න, කුඩුවෙන්න ගැහුවා වගේ ,ලෝක චෙස්පිටියත් උණුසුම් වෙලා තියෙන්නේ මේසට ගැසීමක් නිසා.

මේ දවස්වල නෝර්වේවල ලෝක චෙස් ශූරයන්ගෙ තරගාවලියක් පැවැත්වෙනවා. මේ තරගාවලියේ වර්තමානයේ ලෝක චෙස් ශූරතා  ශ්‍රේණිගත කිරීම් වල  ඉහලින්ම ඉන්න    කාල්සන් මැග්නස් සහභාගී වෙනවා.කාල්සන් කියන්නේ ශේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්නේ වගේම මෙතෙක් ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච ප්‍රභලතම ක්‍රීඩකයා ලෙසත් හැඳින්වෙනවා. chess ලෝකයේ  ගෝර්ට්  (GOAT ) කියලා තමයි කියන්නේ Greatest of All Time. 

ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම හිටියත්, ලෝක චෙස් ශූරතාවය හිමි වෙලා  තියෙන්නේ, අපේ අසල්වැසි ඉන්දියාවේ, ගුකේශ් කියන  19 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙකුට. ගුකේෂ් කියන්නේ බොහොම නිහතමානී නිහඬ චරිතයක්. කාල්සන් නම් ටිකක් ආඩම්බරකාරී අමුතු චරිතයක්.

ගුකේෂ් ලෝක චෙස් ශූරයා වුණත්, කවදාක්වත් කාල්සන්ව පරද්දල නෑ.ඇත්තටම කිව්වොත්  පසුගිය 2023 ලෝක චෙස් ශූරතා තරගාවලියට කාල්සන් සහභාගි වුනෙත් නෑ. 15 වතාවක් ලෝක චෙස් ශූරතාවය දිනලා තියෙන කාල්සන් ,  2023 තරගාවලියට සහභාගි වුණේ නැත්තේ නැත්තේ නැත්තේ,  ඒක පට්ට බෝරින් කියලා.

කොහොම හරි , නෝර්වේ වල තියෙන  තරගාවලියේදී මේ දෙන්නාම තරඟ වදිනවා. ඉතින් මීට දවස් කීපයකට කලින් ගුකේෂ් සහ කාල්සන් අතර තරඟය පැවැත්වෙනවා.

chess ්‍රේණිගත කිරීම්වලදී මැග්නස් කාල්සන් ඉන්නේ ලකුණු 2800  ට ඉහලින්.  ලෝක ශූරයා ගුකේශ් ඉන්නෙ ලකුණු 2750 ට ඉහළින්.බැලූ බැල්මට පොඩි ලකුණු වෙනසක් වගේ පෙනුනට , මේ පනහක් සීයත් අතර වෙනස  චෙස් ක්‍රීඩාවෙදි සැලකිය යුතු වෙනසක්.



ගුකේෂ් සහ කාල්සන් අතර තරඟයේදී,  එහි අවසානය වෙන තෙක්ම වගේම තරඟයේ වැඩි වාසි හිමිවෙලා තිබ්බේ කාල්සන්ට. එහෙත් තරඟය අවසානයේ ඉතිරි වෙලා තිබ්බ සුළු කාලයත් එක්ක කාල්සන්ගේ අතින් එක වැරදි  move එකක් ඇදෙනවා. ඒ වගේ  එක වැරදි move එකකට චෙස් භාෂාවෙන් නම් අපි බ්ලන්ඩර් කියල කියනවා .මේ බ්ලන්ඩර් එකත් එක්ක, එතෙක් වෙලා දිනලා හිටපු කාල්සන් එකපාරට  පරාජය පිළිගන්න සිද්ධ වෙනවා. කවදාවත් ගුකේශ්ටා පැරදිලා තිබ්බෙ නැති  කාල්සන්ට ලොකු ශොක් එකක්.

ඒකත් එක්කම කාල්සන් අත මිටමොලවලා මේසෙට ගහනවා.ගහපු ගැහිල්ලට බෝඩ් එක උඩ විසි වෙලා ඉත්තොත් සීසීකඩ යනවා.ඉතින් බුද්ධිමත් අයගේ ක්‍රීඩාවක් වුන චෙස් ක්‍රීඩාවෙදි මේ වගේ හැසිරීමක්  සැලකෙන්නෙ , ග්‍රාම්‍ය විදිහට..

ඒ නිසාම, කාල්සන්ට එදිරිව ඉන්දියාවේ දහනම හැවිරිදි  ගුකේෂ්ගේ ජයග්‍රහණය වගේම,අනපේක්ෂිත පරාජය ඉදිරියේ කාල්සන්ගේ  ගොන් පාට් එකත් ලෝක චෙස්පිටියේ මේ දවස් වල ටිකක් උණුසුම් මාතෘකාවක් වෙලා.

මේසට ගහන ගොන් පාට් දැකලා පුරුදු ලංකාවේ අපට නම් මේවා එච්චර  නුපුරුදු දේවලුත් නෙමේ...😁😁

Saturday, 28 October 2023

ඔරලෝසුව අතේ - මැග්නස් රජා ලොසේ

මැග්නස් කාර්ල්සන් කියන්නෙ වර්තමාන ලෝක චෙස්  ශූරයා. ඔහු පසුගිය අගෝස්තු මාසයේදී,  ඉන්දියාවේ ලාබාල චෙස් ක්‍රිඩකයෙක් උන ප්‍රග්ඥානන්දව පරාද කරමින්, තමන් සතුව පැවති චෙස් ලෝක කිරුල නැවත වතාවක්  රැක ගත්තා.

චෙස් ප්‍රේක්ශයන් අතර මැග්නස් කාර්ල්සන්ව පිලිගැනෙන්නෙ GOAT ( Great of All Time)  කෙනෙක් හැටියට. ඉතිහාසය තුල, ඔහු චෙස් ක්‍රීඩකයකු වාර්තා කල ඉහලම රේටින් එක ලබා ගෙන තියෙනවා. ඒ වගේම 2012 වසරේ සිට මේ දක්වාම පස්වතාවක් ලෝක ශූරතාවය තමන් සතු කරගෙන තිබෙනවා. චෙස් ක්‍රීඩා ඉතිහාසය තුල සුප්‍රසිද්ධ ගැරී කැස්පරොව්, ඇන්ටොලි කාර්පොව්, බොබී ෆිශර් වැනි ක්‍රීඩකයන්ටත් වඩා ඉහල තැනක කාර්ලස්න්ගේ හැකියාවන් ස්ථානගත  කරනවා.

චෙස් ලෝක ශූරයා මැග්නස් කාර්ල්සන් 

2023, අගෝස්තුවේ පැවති ලෝක චෙස් ශූරතාවලියෙන් පසු මේ මස කටාර් රාජ්‍යය සංවිධානය කල කටාර් විවෘත චෙස් තරඟාවලියට කාර්ල්සන් සහභාගී උනා. නමුත් මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන්න  ඔහුට බැරි උනා. ජයග්‍රහණය තබා ඒ අසලටවත් එන්න  නොහැකි උනා. තරඟාවලිය අවසානයේදී ඔහුට හිමි උනේ නව වන ස්ථානය.

මෙයට ප්‍රධාන හේතුව, චෙස් ලකුණු ධූරාවලියේ ඉතා පහලින් සිටි ලාබාල කසකස්ථාන ක්‍රීඩකයෙකු වෙතින් ඔහු ලබා ගත් අනපේක්ශිත පරාජය. එය සැවොම පුදුමයට පත් කල අනපේක්ෂිත පරාජයක්. මෙසේ කාර්ල්සන් පරාද උනේ අවුරුදු 23 ක් වයස චෙස් රේටින් 2520  තිබෙන ක්‍රීඩකයෙකුට. කාර්ල්සන්ගේ වර්තමාන රේටින් එක 2839 ක්.  එනම්  කාර්ල්සන් පරාද උනේ   තමන්ට වඩා රේටින් ලකුණු 300 ක් පමන පහලින් තියෙන චෙස් ග්‍රෑන්ඩ් මාසටර්වරයෙකුට. චෙස් ක්‍රීඩකයන් වර්ගීකරණයේදී ලකුණු 300 ක් කියන්නෙ අති විශාල පරතරයක්.  ඇත්තටම ඒක ඒක ලෙවෙල් දෙකක්. හැමෝටම තේරෙන ක්‍රිකට් භාෂාවෙන් කියනවනම් වර්තමාන ඉන්දීය කණ්ඩායම, ඕමානයට  පැරදුනා වගේ දෙයක්. ඒ වගේම චෙස් ක්‍රීඩකයන් අතර කසකස්ථාන ක්‍රීඩකයා රැදී සිටින්නේ 528 ස්ථානයේ.  

කාර්ල්සන්ව පරාජය කරපු කසකස්ථාන ක්‍රීඩකයාගේ නම අලිශර් සුලෙයිමෙනොව්. ඔහු මෙම තරඟය ඉතා ලස්සනට ක්‍රීඩා කලා. තරඟය මැදදී ඔහු සිදුකල නයිට් බිල්ලට දීම   ( sacrifice) එක ඉතා විශිෂ්ඨයි.  ඔහුගේ ක්‍රීඩා විලාසය ආක්‍රමණශීලි එකක්.  ඔහු මේ සැක්‍රිෆයිස් එක පමනක් නොව, පසුවට තවත් ඉත්තන් කීපයක් සැක්‍රිෆයිස් කරමින් ඉතා ආක්‍රමණශිලී ක්‍රීඩාවක නියුතු උනා.   

පරාජයෙන් පසුව කාර්ල්සන් පොඩි කට කැඩෙන කථාවක් කිව්වා. එය හරියට නටන්න බැරි මනුස්සයට පොලොව ඇදයි කියනවා වගේ එකක්. 

කාර්ල්සන් කියන විදිහට එයාගේ පරාජයට හේතුව ප්‍රතිවාදී ක්‍රීඩකයා,   පැලඳ ගෙන හිටපු අත් ඔරලෝසුව. අත් ඔරලෝසුව ගැන හිතන්න ගිහිල්ලා එයාගේ මානසික ඒකග්‍රතාවය බිද වැටුනා කියන එක තමයි කාර්ල්සන්ගේ අදෝනාව.  

මේ ඉන්නේ අලිශර් සුලෙයිමෙනොව්. කාර්ල්සන් එක්ක කරපු තරඟය. අතේ බැදපු ඔරලෝසුවත් පේන්න තියෙනවා.

චෙස් තරඟාවලදී ස්මාර්ට් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් අත්ඔරලෝසු වැනි දේ පාවිච්චි කරන්න බෑ.. කොටින්ම කිව්වොත් තරඟකරුවන්ට විතරක් නෙමේ , තරඟය අසල සිට නරඹන ප්‍රේක්ශකයන්ටවත් මේ අයිතම ශාලාව ඇතුලට රැගෙන ඒමට ඉඩක්  නෑ. ඒකට හේතුව, නූතන කෘතිම බුද්ධිය භාවිතා කරලා තරඟකරුවන්ට වාසියක් ලබා ගත හැකි නිසා. 

කෙසේ උනත් කසකස්ථාන ක්‍රීඩක අලිශර් සුලෙයිමෙනොව් පැලඳ සිටියේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසුවක් නෙමෙයි.  එය සාමාන්‍ය ඇනලොග් කටු ඔරලෝසුවක්. ඒ නිසා මේ  ක්‍රිඩකයා වරදක් කර නෑ.  කාර්ල්සන් තරඟය අතරමැදදී ඔරලෝසුව ගැන තරඟ තීරකවරයා දැනුවත් කර ඇතත් එය ඇනලොග් ඔරලෝසුවක් නිසාම තරඟ තීරකවරයා  එය භාවිතා කිරීමට ඉඩ දී තිබෙනවා. 

කොහොමින් කොහොම හරි  අවසානයේ චෙස් ලෝකයේ ගොලායත් යෝධයා උන මැග්නස් කාර්ල්සන්, පුංචි ඩේවිඩ් ඉස්සරා පරාද උනා. එදා  පුංචි ඩේවිඩ්, යෝධයා පරාද කලේ ගල් කැටපෝලෙන්. මෙදා , අලිශර් සුලෙයිමෙනොව්  ට තිබ්බෙ අත් ඔරලෝසුවක්. 

ඔරලෝසුව අතට අරං රජා ලොස් කලේ ඔන්න ඔහොමයි. 

2222