ගිය පාර නිවාඩුවෙදී යාපනේ යන්න යද්දි, ඒ ගමන මන්නාරම පැත්තෙන් යන්න හිතා ගත්තේ , මම කවදාවත් මීට කලින් මන්නාරම, පූනරීන් හරහා සංගුපිඩ්ඩි පාලම පැත්තෙන් යාපනේ ගිහිල්ලා තිබ්බෙ නැති හින්දමයි...
අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මුලතිව් වල වැඩ කලත්, හැම සති අන්තෙකම මුලතිව් සහ කොළඹ අතර ගමන් කලත් , ඒ කාලේ ඕනා තරම් යාපනේට ගිහිල්ලා තිබ්බත්, මේ පැත්ත මට ආවරණය කර ගන්න බැරි වෙලා තිබ්බේ.
ඇත්තටම අපි යාපනේ යන්න හිතාගෙන පාරට බැස්සම කියන්නත් බෑ...කොහෙ හරි ට්‍රිප් එකක් යනවයි කියලා හිතාගෙන පාරට බැහැලා පස්යාල, ගිරිඋල්ල, වාරියපොල පැත්තෙන් දාලා පාදෙණිය පාරෙන් ආවේ අනුරාධපුර පැත්තට එන්න කියලා හිතාගෙන. ඇත්තටම, මේ පාරේ මම කොච්චර නම් ගිහින් තියෙනවද... අවුරුදු දෙකක් තිස්සේ නියං , වැහි , ගං වතුර , ඔය ඕනෑම දේශගුණික තත්වයක් යටතේ අවුරුදු දෙකක් තිස්සේ එහාට මෙහාට ගිය පාරක්. ඔය වාරියපොලට යන්නත් අපිම හොයා ගත්ත හොර පාරක් තියෙනවා. නාරම්මලට කලින් මැටියාගනේ හන්දියෙන් හැරිලා කඩහපොල හරහා තමයි අපි යන්නෙ. මේ යන කොට පහු කරන්නෙ ලස්සන ගම්බද පෙදෙසක්.
ඒත් එදා නම් බලන්න තැනක් හොය හොය ගිය හින්දමද මන්දා පාදෙණිය හන්දිය පහු කරලා ඉස්සරාට ඇදෙද්දි ඇහැ ගැටුනේ දැඳුරු ඔය ජලාශෙට හැරෙන තැන නමින් ගහපු බෝඩ් එක. ඒක මට කවදාවත් මීට කලින් ඇහැ ගැහිලා තිබ්බෙ නැත්තේ, ඒ ගිය හැම වතාවක්ම ගියේ කඩිමුඩියේ හින්දා වෙන්නැති. ඇත්තටම කියනවා නම් දැඳුරු ඔය ජලාශය ගාව බැහැලා එහෙ මෙහෙ වෙවී ඉන්න කොට තමයි අපි යාපනේ යන්න ඕනා කියලා තීරණයට ආවේ .
දැඳුරු ඔය ජලාශයේ ප්‍රධාන වාන් දොරටු. ජලාශය පැත්තෙන් පේන විදිහ |
ඉතින් දැඳුරු ඔය ජලාශය බලා ගත්ත අපි , පාදෙණිය පාර ඔස්සේ අනුරාධපුරයට ඇවිත්, අනුරාධපුර යාපන හංදිය පහු කරගෙන රඹෑව , මැදවච්චියට පැත්තට පිටත් උනා. මම මුලතිව් වැඩ කරද්දි, මැදවච්චිය කියන්නේ අමතක නොවෙන සිදුවීම් වෙච්චි ටවුමක්.ඒවා ගැන පස්සේ කථා කරන්නම්.
දැඳුරු ඔය ජලාශයේ අවට අංශක 360 දසුනක් ( ෆොටෝ එක උඩ ක්ලික් කරලා ටිකක් පැහැදිලිව බලා ගන්න පුලුවන්) |
රඹෑව හන්දිය පහු කරගෙන , පරණ පුරුදු නෙළුම් කොලේ බත් කඩය හොයා ගෙන ආවත්, එතැන හරියට හොයා ගන්න බැරි උනා. නෙළුම් කොලේ බත් කඩේ අයිතිකාර මගේ හිතවත් තරුණ මහත්මයා නැති උන විත්තිය මීට කලින් මම ෆේස්බුක් එකේ දැකලා තිබ්බත්, එයාගේ නෝනා කඩේ කරගෙන යන විත්තිය එයින් කියැවෙලා තිබ්බා. එහාට මෙහාට කීප වරක් ගිහින් අන්තිමට පරණ පුරුදු තැන හොයා ගත්තත් , අවාසනාවට නෙලුම් කොලේ කඩේ වහලා. ඉස්සර මුලතිව් ඉදන් අපි පැය දෙකක්- තුනක් ගෙවා ගෙන මෙතැනට එන්නෙ ඒ කෑම රසටත්, කඩේ අයිති තරුණ මහත්මයගේ ආගන්තුක සත්කාරයටත් තිබ්බ කැමැත්තට.
පුරුදු නෙලුම් කොලේ කඩේ වහලා තිබ්බ නිසා අන්තිමට අපිට දිවා ආහාරය ගන්න සිද්ධ උනේ අළුත් තැනකින්..හැබැයි අපරාදේ කියන්න බෑ...කෑම ටික නම් සුපිරියට තිබ්බා...මම නම් හොද බත් පිඟානකුත් කාලා අන්තිමට ලිපේ පුච්චපු රොටි දෙකකටත් වග කියලයි නතර උනේ.
කොහොම හරි දවල් බත සරි කර ගත්ත අපි මැදවච්චිය ටවුමට ඇවිත්, ඉස්සරාට යන්න තියෙන නොදන්න පාරේ යන්න සෙට් උනා. නොදන්න පාර කිව්වට ඉතින්, මන්නාරම් පාරේ ගිහින් තිබ්බෙ නැත්තෙ මංතුමා විතරයි. අපේ නෝනා මේ පාරේ, මීට කලින් රාජකාරී වැඩකට ගිහින් තිබ්බා. මැදවච්චිය ටවුමෙදි, අතරමගදි හපන්න කියලා අඩුම කුඩුම ටිකකුත් ගත්තා. මේ ගමන යන්නේ බිරිදත්, කොල්ලො තුන් දෙනත් එක්ක නිසා, මධ්‍යපානේ නම් අතරමගදි කලේ නෑ.
මන්නාරම පාරෙන් යද්දි ඉස්සෙලම හම්බ වෙන්නේ මඩු දේවස්ථානයට හැරෙන පාර. ඒ පාර පටන් ගන්න තැනම යුධ හමුදාවෙන් පරික්ශා කරනවා. මන්නාරම් පාරේ ඉදන් මඩු දේවස්ථානයට යන්න කි.මී.12ක් විතර තියෙනවා. පාර නම් හොදටම හදලා තිබ්බේ.
අපි මේ සංචාරය ගියේ 2023 ජූලී මාසේ. මේ වෙනකොට මඩු පල්ලියේ අළුත්වැඩියා කටයුතු සිදුවෙමින් තිබ්බේ. ඒ කටයුතු මැද්දේ උනත් දේවස්ථානය බලා කියා ගන්න අමාරුවක් නම් උනේ නෑ.
මඩු ප්‍රධාන දේවස්ථානය ඇතුලේ දර්ශනයක්. |
මඩු දේවස්ථානය බලා කියා ගෙන ආපසු මන්නාරම ප්‍රධාන පාරට වැටිලා ඉස්සරාට යන කොට ඊලඟට හම්බවෙන තැන තමයි , යෝධ වැව. යෝධ වැව තියෙන්නෙ ප්‍රධාන පාරටත්, මන්නාරම් රේල් පාරටත් යාබධව දකුණු අත පැත්තේ. මේ දවස් වල තිබ්බ දැඩි නියං කාලගුණයත් එක්ක වැව නම් නැට්ටටම හිඳිලා තිබ්බෙ.
මන්නාරම් පාරට ආසන්නයේ ඇති යෝධ වැවේ බන්ට් එක උඩ ඉදන් ගත්ත අංශක 360 පින්තූරයක් |
යෝධ වැවත් එක්ක තියෙන මන්නාරම් පාර තනි කෙලින් ඉද්ද ගැහුවා වගේ පාරක්. ඔය හරියෙදිම තමයි පොලිසීයේ ගුණ යහපත් මහත්වරු දෙන්නෙක් අපේ වාහනේ නතර කරේ. හදිසියේ 100 පන්නලා යන්නේ, කාටවත් කරදරයක් වත් ද ? කියලා දැන ගන්නයි ඒ මහත්වරුන්ට ඕනේ කරලා තිබ්බෙ. ඒ වෙලාවේ හැන්දෑවේ හතරාමාරට විතර කිට්ටු කරලා තිබ්බ නිසා දඩ කෝලයක් ලිව්වත්, පහුවෙනිදට ආපහු යාපනේ ඉදලා එන්න වෙන විත්තිය මම මතක් කරලා දුන්නම, ඒ මහත්වරුන්ටත් ගොඩාක් දුක හිතුනා. අනිත් එක යුද්ධෙ ඉවර වෙච්චි ගමන් මුලතිව් වල අපි දුක් මහන්සියෙන් හදපු පාරවල් බලාගෙන එන්න යන ගමනක් විත්තියත් මම මතක් කලාම, එයින් එක පොලිස් මහත්තයෙක් මුලතිව් පොලිසීයේ වැඩකරලා තියෙන බවත් කියන්න තරම් නිහතමානී උනා. පරිස්සමට යාපනයට යන බව පොරොන්දු වෙච්චි නිසා, ඒ මහත්වරු දෙන්නා මට යන්න දුන්නේ , ඒ මහත්වරුන්ගේ තියෙන ගුණ යහපත් කමටම කියලා මට හිතෙනවා.
මේ ලිපිය ලියන්න හේතූ වෙච්චි, මන්නාරම් දූපතට අපි සෙන්දු වෙන්නෙ මේ වගෙ පොඩි අලකලංචියකුත් එක්ක. ඒ වෙනකොට හැන්දෑ වෙලා, හවස පහ වගේ වෙලා තිබ්බෙ.
මන්නාරම් දූපතට ඇතුලු වෙන තැනම තියෙන්නෙ ලොකු හමුදා මුරපොලක්. යුද්ධෙත් ඉවර වෙලා, මෙච්චර ලොකු හමුදා පරික්ෂා පොලක් පවත්වාගෙන යන්නෙ මොකද කියන කාරණය මම එතැන හිටිය නිලධාරියෙක්ගෙන් අහගන්න පසුබට උනේ නෑ. කාරණය ඇවිල්ලා මන්නාරම දූපත්, ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් පැවතීම සහ හොර බඩු ජාවාරම. දූපතට එන වාහනත් , යන වාහනත් දෙකම ඒ නිසා නිරතුරුව පරික්ෂාවට ලක් වෙනවා.
ලංකා ප්‍රධාන ගොඩ බිමත් , මන්නාරම දූපතත් යා කෙරෙන ඉපැරණි පාලම. මෙහි වම් පැත්තෙන් ප්‍රධාන ගොඩබිමත්, දකුණු පැත්තෙන් මන්නාරම් දූපතත් එකිනෙක යාවෙනවා. පිංතූරය අරන් තියෙන්නෙ මන්නාරම බලකොටුවේ ඉදන් |
මන්නාරම් දූපතට ඇතුලු වෙච්චි අපි ඉස්සෙලම බලන්න ගියේ දූපතට ඇතුලුවෙන කිට්ටුවම තියෙන පරණ පෘතූගීසී බලකොටුව. මුහුදත් එක්කම තියෙන, මේ බලකොටුවෙ ප්‍රතිසංස්කරණ වැඩ සිද්ධ වෙමින් තිබ්බෙ.
මං හිතන්නෙ අපි කොටුවට ආවේ , දවසේ හොදම වෙලාවට කියලා. ඉර බැස යන්න කිට්ටුවෙන් එන මුහුදු සුලඟත් එක්ක කොටුව ඇතුලේ තිබ්බේ අමුතුම සුන්දර බවක්.
මේ කොටුවේ එහා මෙහා ඇවිදින ගමන්ම තමයි, එදින රාත්‍රියේ යාපනේ නැවතීමට අදාල ස්ථානය, ජංගම දුරකතනය හරහා වෙන් කර ගත්තෙ. යාපනේට ලඟා වෙන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ඒ වන විට රාත්‍රිය වී තැනක් සොයා ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසාත්, එය කලින්ම බේරුම් කර ගැනීම අස්වැසිල්ලක් උන බව කියන්න ඕනේ.
මන්නාරම් කොටුවේ තියෙන විශේෂම දේ හැටියට මට හිතෙන්නේ එහි කුඩා වපසරියත්, ඒ නිසාම කොටුවේ සියලු මායිම් සිතු සේ බලා කියා ගැනීමට තියෙන හැකියාව.කිසි කරදරයකින් තොරව කොටුවේ සියලු මායිම් වල ගමන් කිරීමට මෙහි හැකියාව තියෙනවා. ලංකාවේ කොහේ තිබ්බත් ලන්දේසී , පෘතුගීසී බලකොටු තනා තිබෙන්නෙ එකම ආකෘතියකට. වෙනස් වෙන්නෙ ඒවායේ විශාලත්වය විතරයි. මන්නාරම් බලකොටුව මේ ආකෘතිය දැන කියා ගන්න හොදම ස්ථානයක් කියලා මට හිතෙනවා.
මන්නාරම කොටුවේ ඉපැරණි සිතියමක් - reference :https://amazinglanka.com/wp/mannar-fort/ |
මන්නාරම් බලකොටුව මුලින්ම ඉදිකර ඇත්තේ පෘතූගීසින් වර්ෂ 1518 දී පමණ. ඉන්පසුව එය වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් අල්ලා ගෙන තිබෙනවා. ඔවුන් ප්‍රධාන දොරටු ශක්තිමත් කිරීම හැර, පෘතුගීසින් විසින් ඉදිකරන ලද මේ බලකොටුව, විශාල වශයෙන් වෙනස් කර නෑ. අවසාන වශයෙන් වර්ෂ 1795 දී මෙය ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබෙනවා.
මන්නාරම් කොටුව එක පැත්තකින් මුහුදෙනුත්, අනිත් තුන් පැත්ත විශාල දිය අඟලකිනුත් ආරක්ෂා වී තිබෙනවා.
බලකොටුව ඇතුලේ ප්‍රධාන මිදුල සෙවණ කරමින් වැඩි ඇති විශාල ගස. |
මන්නාරම් කොටුව ඇතුලෙන් , කොටු බැම්මට නැගීමට ඇති ආනත මාර්ගය. ලොකුවට පළල්වට ඉදිකර ඇත්තේ, එකල කාලතුවක්කු, බෝම්බ මේ මාර්ගය ඔස්සෙ කොටු බැම්මට ගෙනගොස් ඇති නිසා වෙන්න පුළුවන් |
කොටු බැම්බ මත ගමන් කිරීමට ඇති මාර්ගයෙන් කොටසක්. මේ විදියට කොටු පවුර ඇතුලෙන් බැම්ම දිගේ ගමන් කිරීමට පුලුවන්. වටේම යන්න පුලුවන් |
කොහොම කොහොම හරි අපි මන්නාරම් කොටුව බලා කියාගෙන ඉවර වෙද්දි කළුවර වැටෙන කිට්ටුවටම ආවා.
මන්නාරම දූපතේ කෙලවර පිහිටි තලෙයිමන්නාරමට යෑමට තරම් කාළයක් අපිට ඉතුරු වෙලා තිබ්බෙ නෑ. ඒ නිසාම මන්නාරම් දුපත ඇතුලේ අපිට කරන්න ඉතුරුවෙලා තිබ්බේ , ලංකාවේ මහතින් වැඩිම ගස ලෙස හදුන්වන බයෝබැබ් ගස බලන්න යන එක විතරයි. මේ ගස මන්නාරම නගරයට ඉතා ලඟින් පිහිටි නිසා අපි එය බලන්න සිතා ගත්තා.
ලංකාවේ වටප්‍රමාණයෙන් වැඩිම ගස ලෙස හදුන්වන මන්නාරම් දූපතේ පිහිටි බයෝබැබ් ගස. |
කට්ටිය කියන විදිහට මේ ගස අවුරුදු 700ක් පමණ පැරණි ගසක්. ගසේ වටප්‍රමානය මීටර 20 ක් පමන.ගස එච්චර උසනම් නෑ. හැබැයි ඉතින් වටප්‍රමාණය නම් අතිවිශාලයි තමයි. මේ බයෝබැබ් ගස හැදිලා තියෙන්නෙ මන්නාරමට ආපු අරාබි ජාතික වෙළෙන්දෙන්ගේ බයෝබැබ් පලතුරකින් වැටිච්චි ඇටයකින් කියලා තමයි කියන්නේ.
කොහොම හරි මේ ටික ඔක්කොම ආවරණය කරගෙන මන්නාරම් දූපතෙන් පිටත් වීමට සුදානම් වෙන විට හැන්දෑ වෙලා. නමුත් මන්නාරමටම ඇවිත් සී ෆුඩ් ඩිශ් එකක් කන්නැතුවෙ එන එක හොද නෑ කියලා මගේ හිත ඇතුලෙන් විශාල ශබ්දයක් ආවා. ඒගැන අපේ පවුලේ ඔක්කොම එකඟතාවයක් දක්වපු නිසා , මන්නාරම ටවුම ඇතුලේ ටිකක් කර කැවෙන කොට ඒ සදහා තැනක් අපට හම්බ උනා. මන්නාරම ටවුම ඇතුලේ සිංහල කථා කරන අය නම් අඩුයි. කතා කිරීම කෙසේ වෙතත් සිංහල තේරේන අයත් අඩුයි. ඒ නිසා සී ෆුඩ් කන්න තැනක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු උනා. ඒත් අන්තිමට ඒ දොලදුකත් සන්තර්පණය කරගෙන අපි ඒ හැන්දෑවෙම යාපනය දිහාවට ඉගිළුනා.
අරමුණක් නැතිව පටන් ගත්තෙ මේ ගමන , එදින රාත්‍රියේ යාපනයට ලඟා වෙන කොට රාත්‍රි නවයටම කිට්ටු වෙලා තිබ්බා.
මේ තියෙන්නේ අපි මන්නාරමට ගමන් කරපු පාරේ දල සටහනක් :කඩවත- පස්යාල- ගිරිඋල්ල- මැටියාගනේ-කඩහපොල- කටුපොත-වාරියපොල- පාදෙණිය-අනුරාධපුර - මැදවච්චිය-මන්නාරම |
ප:ලි - මේ ලිපිය කොටන්න කියලා හිතට ආවේ අවන්හල බ්ලොග් එක ලියන මහෙෂ්ගෙ ලිපියක් දැකලා.
ෆොටෝ වල නම් කොලිටිය වගේම, ඈන්ගල් උනත් අවුල් කියලා පිලිගන්නවා.
පලවෙනි කාරණයට ස්තූති වෙන ගමන් දෙවැනි කාරණයට සමාව භාජනය කරනවා.