Saturday 27 January 2024

මයි ශතකය...

මේ පෝස්ට් එකත් එක්ක මයියාගේ බ්ලොග් එක තමන්ගේ 100 වැනි පෝස්ට් එක සම්පූර්ණ කරනවා. 2010 තරම් ඈත කාලෙක ඉදන් ලිව්වත්, ශතකයට ලඟා වෙන්න සෑහෙන කාලයක් ගත උනා. මේ සෙන්චරිය  ජයසූරිය දාන  විදිහේ ගිණිකෙලි සෙන්චරියක් නෙවේ.හාශාන් තිලකරත්නලා...තිලාන් සමරවීරලා වගේ තටමල තටමලා දාන සෙන්චරියක්. එකල ලියැවුණු තරු පහේ බ්ලොග් අද නැවතිලා, ඒ ගැන කණගාටුවක් ඇතත්, අගුටුමිට්ටෙක් උන මේ බ්ලෝගය තාමත් යාවත්කාලීනව ඇදගෙන යන්න පුලුවන් වෙච්චි එක සතුටක්.



මේ ශතකයත් එක්ක  වැඩිපුරම බලපු බ්ලොග් පෝස්ට් ගැන ස්වයං විචාරයක් ලියන්න මම කල්පනා කලා.. 


මේ බ්ලොගයේ වැඩිම හිටස් ගානක් ඇවිල්ලා තියෙන්නෙ ‘ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...‘ කියන පොස්ට් එකට. මේක  මම වැඩි මහන්සියක් ගන්නෙ නැතුව නිකමට වගේ ලිව්ව පොස්ට් එකක්.ඒත් මේකේ  මාතෘකාව ලිංගික කුතුහලයක් ගේන නිසාදෝ , මේකට  වැඩිපුර හිටස් වැදිලා. ‘සෙක්ස්‘ කියන වචනය සර්ච් කරලා ලංකාව පලවෙනි තැනට ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැත්තේ මේ නිසා. ඒ උනත් ඒ ලිපියේ ඇති සෙක්ස් කථාවක් නම් නෑ. මේ පෝස්ට් එකට වැදිලා තියෙන හිට්ස් ගණන 6592ක්.



ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?:  Whither Buddhism on Feminism  කියන පෝස්ට් එක. මේ පෝස්ට් එක මම ගොඩක් වෙලාව අරගෙන ගොඩක් හිතලා මතලා ලියපු එකක්..2013 දී පමණ ලියැවුනු මෙම ලිපිය මම බුද්ධාගම ටිකක් සීරියස්ලි  ඉගෙන ගන්න කාලේ ලිව්ව එකක්.කමෙන්ට් 86 ක් තියෙන,5622 පාරක් බලලා තියෙන, මේ පෝස්ට් එක ටිකක් විවාද සම්පන්න එකක්.මේකේ කමෙන්ට් කරලා තියෙන අයත් , විවිධ පැතිකඩ වලින් බලලා ඒ ගැන ප්‍රතිචාර දමා තියෙනවා.




ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නෙත් බුද්ධාගම ගැන ලියැවෙනු ලිපියක්.. මේකේ ලියලා තියෙනේ මහායාන හා ථේරවාදය ගැන මගේ අවබෝධය.. ලිපියේ මාතෘකාව ඇවිල්ලා ‘මහායානෙද?..ථේරවාදේද......නැත්නම් මොකුත්ම නැද්ද?‘  2010 තරම් ඈත කාලෙකදි ලියැවුනු මේ ලිපියට පස්සේ මේකෙටම දිගුවක් පසුකාලිනව මම ලියලා තියෙනවා, ‘මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය නමින්.  ඒ කාලේ නම් මේ ගැන වැඩිය කථා කරපු අය හිටියේ නැති උනත් දැන් කාලේ නම් මේ මාතෘකාව හරි ජනප්‍රිය එකක් වෙන්න තිබ්බා.   ලිපියට කමෙන්ට්කරපු එකල බ්ලොග් අවකාශයේ තරු උන ටැබූ සබ්ජෙක්ට් , රිටිගල ජයසේන වැනි අය පොස්ට් එකට  වැඩි  බරක් යෙදෙන කමෙන්ට් දමා තිබෙනවා. ඒ වගේම ඉතිහාසය ගැන විධිමත් අධ්‍යාපනයක් ලබපු හසිත ගුණසිංහ වැනි අයත් ඒ වගේම වැඩි යමක් එකතු කරලා තියෙනවා. 

ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ පොඩි හාස්‍ය රසයක් ගෙන දෙන ‘අන්දරේ ගේ වලත්තකම‘ නැමැති ලිපිය. මේක එච්චර අධ්‍යනයක් නැතිව ලියපු සරල ඉදිරිපත් කිරීමක්. 

පස්වෙනි තැනට  වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?  ලිපිය. මේකත් මං එච්චර වෙලාවක් ගන්නේ නැතුව ලියපු පෝස්ට් එකක්.ඒත් හෙඩිං එකේ තියෙන කුතුහලය නිසාම වැඩි හිට්ස් ගානක් ලැබිලා තියෙනවා. 

ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....‘ නැමැති ලිපිය. මේක පැනමා පේපර්ස් නැමැති සිද්ධිය වෙච්චි අලුතම ලියැවුනු කාලීන ලිපියක්. මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි මේ ලිපිය ලියලා තියෙන ආකෘතිය අනෙක් ලිපි වලට වඩා වෙනස් වීම. 

ඊලගට වැඩිම බලලා තියෙන ලිපියත් වැඩි මහන්සියක් නැතිව ලියපු එකක්.. ඒක ‘ඩෝකින්ස්ගේ ජාන හා ආත්මවාදය.....‘ කියන ලිපිය.ඒක රිචඩ් ඩෝකින්ස්ගේ ‘ සෙල්ෆිශ් ජීන්ස්‘ පොත කියවලා ආතල් එකට ලියපු එකක්.ඇත්තටම ඒ පොත හරිම ලස්සන , වැදගත් තර්ක ගොඩක් ඉදිරිපත් කරන පොතක්. ඒ වගේම ඩෝකින්ස් කියලා කියන්නේ නිරාගමික මථ දරන්නෙක්.

අටවැනියට වැඩියෙන්ම බලලා තියෙන්නෙ 2011 දී තරම් ඈත කාලෙකදි ලියැවෙච්චි ‘මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ:  Prof. Nalin De Silva  නැමැති ලිපිය. මේ ලිපියෙ ගොඩක් වෙහෙස මහන්සි අරගෙන ලියපු එකක් උනත් අදවෙන විට  මේ ලිපියේ තියෙන ඇතැම් අදහස් මගේ වෙනස් වෙලා. ලිපියේ අන්තර්ගතයටත් වඩා මා වෙනස් වෙලා තියෙන්නේ මා එහි ලියා ඇති කමෙන්ට්ස් වෙන්න පුලුවන්.අද ලීවා නම් මා ඊට වඩා වෙනස් කමෙන්ට් ටැබු, රිටිගල, පිටස්තරයා වැනි අයට  ලබා දෙන්න පුලුවන් කියා මා සිතනවා. 


9 වෙනි තැනට  වැඩියෙන්ම බලා ඇත්තේ ‘සිංහල ලේ පාරිශුද්ධ ද? -2 කොටස‘ නැමැති ලිපිය. මෙය කොටස් 3 කින් යුක්තව  ඉදිරිපත් කල  ලිපි මාලාවක දෙවැන්න.2010 තරම් ඈත අතීතයේ ලියැවී ඇති මේ ලිපියෙත් අන්තර්ගතය සම්බන්ධයෙන් අද පවා මගේ වෙනසක් ඇති වී නෑ.. මේ ලිපියෙ සිටින පිටස්තරයා -2  නැමැති  බ්ලොග් රචකයා මේ ලිපියට  සුවිශේෂ දැනුමක් ඉදිරිපත් කර තියෙනවා. පිටස්තරයා -2 නමින්  මෙහි ප්‍රතිචාර දක්වා ඇත්තේ වර්තමානයේ  ගොඩක් දෙනා දන්නා ප්‍රසිද්ධ යතිවරයෙක්. 




10 වෙනි තැනට වැඩියෙන්ම් බලා ඇත්තේ..‘නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල‘ කියන ලිපිය. මේ ලිපියේ මා ලියා ඇති අන්තර්ගතය තුල කිසිම පුද්ගල විවේචනයක් කර නොමැති අතර, සාමාන්‍ය හදුනා ගැනීම් වලින් ඔබ්බට ගොස්, සයිබරයේ ලියැවෙන බ්ලොග් මහපොලොවෙ සංවිධානය වීම ගැන මගේ සාධාරණ විවේචයක් එල්ල කරලා තියෙනවා. 

හිට්ස් ගාන  අඩු උනත් මා ලියා ඇති ලිපි වලින් මා කැමතිම ලිපිය ‘බුද්ධාගම කෝකටත් තෛලයද? :  Can Buddhism Save the Planet from Climate Change?  නැමැති ලිපිය. මේ ලිපිය ලියැවෙන්නෙ නිරාගමික වෙබ් සයිටයක මා දැමු පිලිතුරු සම්බන්ධයෙන් වැඩි දුර ලිවීමක් හැටියට. පරිසර ප්‍රශ්ණය සහ බුදුදහම මේ ලිපිය ලියැවී ඇති සන්ධර්බයයි. මේ ලිපියේ කමෙන්ට් කර ඇති ‘දිමිත්‍රි‘ නැමති කමෙන්ට් කරුවා එකල මගේ බුද්ධාගම ගැන අවබෝධයේ සීමාවන් සලකුණු කලා කියලා කියන්න පුලුවන්.නමුත් ඒ ප්‍රශ්ණ කිරීම මා වැඩි අවබෝධයක් කරා සිතන්න යොමු කල බවත් ඒ නිසාම මා ඔහුට ස්තූතීවන්ත විය යුතු බවත් මතක් කරන්න ඕනේ.

මා ලියා ඇති ලිපි වලින් වැඩිපුරම  බලලා තියෙන්නේ බුද්ධාගමට සම්බන්ධ ලිපි උනත් ඉදිරියෙදී තව දුරටත් ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් මා තුල ඇත්තේ නෑ..

මා ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා ඈදුනු පරිසර ප්‍රශ්ණය ගැන ලිපි කීපයක්ම කියැවිලා තිබ්බත් ඒ ලිපි  වැඩියෙන්ම බලපු අතරට  නොවැටීම ගැන පොඩි කණගාටුවක් මා තුල තියෙනවා. කලෙක නම් පරිසරය සම්බන්ධයෙන් ලියැවෙච්චි බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ... වැඩියෙන්ම කියවපු ලිපි අතර තිබුනත් දැන් ඒක වෙනස් වෙලා.නමුත් මේ ශානරයේ ලිපි ඉදිරියටත් ලියන්න මා අදහස් කරනවා. මයි එන්වයර්මන්ට් නැමැති ලේබලය යටතේ  වර්ගකර ඇති මේ ලිපි  , ඒ අදාල ලේබලය ක්ලික් කිරීමෙන් බලා ගත හැකියි. 

මගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් ලියැවුනු ‘මලක අසිරිය: Power of Weeds'  කියන්නෙත් මා ප්‍රිය කරන ලිපියක්. 

මහත්මා ගාන්ධිගේ ඝාතකයාගේ පාපොච්චාරණය ඇසුරෙන් මා ලියු 'උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1' ලිපි කීපයත්  මා ආසවෙන් ලියූ සටහන්.. 

බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 100 දාන්න අවුරුදු 13 ක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි සතුටක් තියෙනවා. .  කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි  තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ  සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)

ඈත අතීතයේ ඉදන්ම් මේ බ්ලොග් පඩංගුවට ගොඩ වෙලා ප්‍රතිචාර දක්වපු සහෘදයන් ගොඩක් සිටිනවා. පෞද්ගලිකව මා හැදින නොහොටියත් ඔවුන් දක්වපු ප්‍රතිචාර, ඇතැම් විට විවේචන මේ බ්ලොගය ඇදං යන්න මට ලොකු හයියක් උනා. එක් එක් නමින් සදහන් කරන්න තරම් මේ ලැයිස්තුව දිග වැඩි උනත්, ඒ හැමෝටම මා ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එකල සිටි සමහර සහෘදයන් අද දකින්නට නැති වීම ගැන නම් තරමක් කණගාටුවක් තියෙනවා. 

මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්,  තමන්ගෙ බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....

ඒ වගේම මෑත කාලයේ මේ බ්ලොගයේ වැඩිපුර ලිපි ලියැවෙන්නෙ හේතුව තට්ට මහත්තයගේ ශනිදා 10 ට කියන කාරණයත් මතක් කරන්න ඕනේ.ඒකටත් බොහොම ස්තුතියි. 


ප:ලි- ඉස්සර ලියපු පෝස්ට් වලට මෙච්චර හිට්ස් වැටී තිබුනත් , දැන්නම් 100-500 ත් අතර ප්‍රමාණයකට වඩා පෝස්ට් එකක් බලන්නෙ නෑ..ඒ බ්ලොග් කියවන පාඨකයින් ගණන ගොඩක් අඩු නිසා වෙන්නැති. 



Sunday 21 January 2024

සමන්මලීගේ ගණිකා කථාව...

තමන්ගේ ඉදිරි ආන්ඩුවක් යටතේ ගණිකා වෘතිය නීතී ගත කරන බවක් ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් වන සමන්මලී ගුණසිංහ මාධ්‍යවලට  මෑතකදී ප්‍රකාශ කලා. ලිං මැඩි  දැක්මක් තියෙන , ජේවීපී   කාඩරයන්ට මෙවෙනි පලල් දැක්මක් හදිසීයේම   ප්‍රාතිභූර්ත වීම ගැන  යම් කිසි සතුටක් මට  ඇති උනත්,  සාමාන්‍යයෙන්   ලංකාවේ  දේශපාලන පක්ශ වල පහල සාමාජිකයන්, තමන්ට අවධානය යොමු කර ගැනීමේ උපායක් ලෙස මෙවැනි රැඩිකල් ප්‍රකාශ කරන නිසා, ඒ ලෙඩේ මාලිමාවටත් බෝ වීඇත්දැයි කියන සැකයත් මට ඇතිඋනා.


සාමාන්‍යෙන් මේ වගේ ප්‍රශ්ණෙකෙදි ජෙප්පන් කරන්නෙ ප්‍රශ්ණෙ රවුම් කරලා හතරැස් කරලා  ප්‍රශ්ණේ අහපු එකාව වැරදි කාරයා කරනවා වගේ වැඩක්. වැඩිම් උනොත් උත්තරයක් ලෙස කියන්නේ,  ගණිකාවන් නිර්මාණයක් කරන්න හේතු උන සාමාජීය, ආර්ථික ප්‍රශ්ණ,අපේ සමාජවාදී ආණ්ඩුවක් යටතේ නැති කරලා දානවා වගේ ලොවෙත් නැති යුටෝපියානු සීහිනයක්.එහෙම නැතුව මහපොලොවේ පවතින ඇත්ත ප්‍රශ්ණයට,  තාත්වික උත්තර ජෙප්පන්ගේ දාස් කැපිටලේ නෑ. 

කෙසේ නමුත් ගණිකා වෘතිය මහපොලොවේ තියෙන බව පිලිගෙන , ඒ වෘතියේ නියැලෙන්නන්ගේ ප්‍රශ්ණ විසදීම සදහා, ගණිකා වෘතිය නීතී ගත කරන බව පැවසීම මාලිමා සාමාජික  සමන්මලී ගුණසිංහ ගේ ඉදිරිගාමී ප්‍රකාශයක්.

බොරුවට සිල් රෙද්ද පොරවගත්ත සදාචාරය ඔළුවෙ තියා ගත්ත සංස්කෘතික සමාජයට බයෙන් මෙන් දැන් මේ ප්‍රකාශය සදහා සංශෝධන ඉදිරිපත් කිරීමට  මාලිමාවේම පාර්ලිමේන්තු සභික හරිණි අමරසූරීය ඉදිරිපත්වෙලා තියෙනවා. ජන්ද හිඟන්නම අටවා ගත්ත  මේ වගේ පක්ශයකින් , හැරෙන හැරෙන පැත්තට කථා කිරීම පුදුමෙකුත් නෙවේ. 


ලංකාවේ ගණිකා වෘතිය නීතීයෙන් තහනම් නෑ. නමුත් ගණිකා නිවාස පවත්වාගෙන යෑම නම් තහනම්. ඒත් කිසියම් තැනැත්තෙක්  හට පෞද්ගලිකව ගණිකාවෘතියේ නියැලීමට නීතියෙන් බාධාවක් නෑ. නමුත් ගොබ්බ ශ්‍රී ලංකා පොලීසීය පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන් දුප්පත් කාන්තාවන් ගණිකා වෘතියේ යෙදීම මත රිමාන්ඩ් කරනවා.

අත්අඩංගුවට ගන්නා මෙවැනි කාන්තාවන්  අධිකරණයට ඉදිරිපත් කරන්නේ 1841 දී සුද්දාගේ කාලේ තිබුනු, අද කාලේට වලංගු නොවෙන යල්පැන ගිය ‘පාදඩ පණත‘ යටතේ. පාදඩ පණත හදලා තිබ්බේ සුද්දගේ කාලේ, ගෙයක් දොරක් නැතිව, ඉන්න හිටින්න තැනක් නැතිව, පාරවල් ගානේ හිඟා කාපු  මිනිස්සු,  පාරෙ යන සුද්දන්ට කරදර කිරීම නවත්වා ගන්න. අයාලේ යන මේ වගේ මිනිස්සු අල්ලලා දඩුවම් කරන්න . වැඩ වලට යොදවා ගන්න හදපු පණතක්.  වර්තමානේ  ගණිකා වෘතියේ යෙදෙන අසරණ කාන්තාවන්ව, ගොබ්බ පොලිසීය අත් අඩංගුවට ගන්නේ මේ යල් පැණ ගිය  නීතිය මත. නැතුව ගණිකා වෘතියේ යෙදීම මත  මිනිස්සුන්ව හිරේ දාන්න පොලිසීයට හැකියාවක් නෑ. 

නූගත් අසරණ ගැහැණුන් මේ වැරැද්දට අභියෝග කරන්නෙ යන්නෑ. ඒ වෙනුවට පාදඩ පණත යටතේ වරදකරු බවට තමන්ම පිලිඅරගෙන, ඒ වැරැද්දට පැනවෙන දඩය ගෙවා නැවතත් පාරට පැමීනීම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. 

ගණිකා වෘතියේ තියෙන ප්‍රශ්ණත්  සමාජ පන්තිය අනුව වෙනස් වෙනවා. පොලිසීයෙන් වැඩිපුර කරදර සිද්ධ වෙන්නෙ ඉතා අසරණව පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන දුප්පත් කාන්තාවන්ට. මධ්‍යම හා ඉහල පැලැන්තියට සේවය කරන  , මාධ්‍ය වල සුපිරි ගණිකා නිවාස කියලා හදුනවන තැන් වල සේවයේ යෙදෙන කාන්තාවන්ට ඇති ප්‍රශ්ණ අර වීදී ගණිකාවට තියෙන  ප්‍රශ්ණවලට වඩා වෙනස්.

මොනා උනත් ගණිකා වෘතිය කියන්නේ සමාජයට අවශ්‍ය සේවාවක් සපයන ලෝකයේ පැරණතිම වෘතියක්. ඒ බව පිලිඅරගෙන ඒ වෘතියේ නියැලෙන්ටත්, ඒ සේවාව ලබා ගන්නා අයටත්, තමන්ගේ ශාරීරික, මානසික ආරක්ශාව තහවුරු කරන විදිහට නීතී සම්පාදනය වීම අත්‍යවශ්‍ය දෙයක්.

ඒ නිසාම, ලිං මැඩි දේශපාලනයක් යට හිට ගත්තා උනත් සමන්මලී ගුණසිංහ සහෝදරියගේ මේ ප්‍රකාශයට අපෙනුත් පොඩි සැලියුට් එකක් ... 


Friday 12 January 2024

අහඹු සිදූවීමක්...හැරවුම් ලක්ෂයක්......

මේ සිද්ධිය මට කියන්න ඕනේ කියලා හිතුනේ පොකුරු වැහි බ්ලොග් එකේ පලවුනු ලිපියක් දැකලා. මං වගේම ඉයන් ගෙ අඩවියත් මේ පෝස්ට් එකෙන්  පස්සේ, මේ හා සමානම පෝස්ට් එකක් දාලා තියෙනවා. අහම්බෙන් සිද්ධ වෙන දේවල් හින්දා, ජීවීත වෙනස් වෙන හැටි තමයි මාතෘකාව.  

මම වෘතියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක්. නමුත් ඇත්තම කියනවනම් ,  මේ රැකියා නාමයේ  'සිවිල්' කෑල්ල,  මම කැමැත්තෙන් තෝරා ගත්ත එකක් නෙමෙ.ඒක මට අකමැත්තෙන්  කරන්න උන තෝරා ගැනීමක ප්‍රතිපලයක්. 

අකමැත්තෙන් තොරා ගත්තත්,  ඊට ටික කාලෙකට පස්සෙ, අහම්බෙන් වෙන සිදුවීමක් නිසා,  මට මේ විෂය ගැන උනන්දුවක් හා කැමැත්තක්  ඇතිවෙනවා. ඇත්තෙන්ම ඒ අහඹු සිදුවීමෙන් පස්සෙ  මං සිවිල් ඉංජිනේරු පාඨමාලාව සීරියස් අරගන්නවා. දැන්නම් මේක මගේ   රස්සාව වගේම , පැෂන් එකත් වෙලා ගොඩක් කල්.   

ඉංජිනේරූ විෂය ගැන ලොකු තේරුමක් නැති  කවුරු හරි මේක කියවනවානම්, සිවිල් ඉංජිනේරූවරයෙක් කියන්නෙ  කවුද කියල පැහැදිලි කරන එක  මගේ යුතුකමක්. ඉංජිනේරු විෂය කියන්නේ විවිධ පැති වලට යන ඉතා පුලුල් විෂය පථයක්. මෙයින් සිවිල් ඉංජිනේරු විෂය කියන්නේ ගොඩනැගිලි, පාලම්,  මහාමාර්ග,  වාරිමාර්ග වැනි විවිධාකාරයේ යටිතල පහසුකම් නිර්මාණකරණය,සැලසුම්කිරීම , ඉදිකිරීම හා නඩත්තුකිරීම ගැන ඉගැන්වෙන විෂයක්.  කාටත් තේරේන බාසාවෙන්ම කිව්වොත් කොන්ක්‍රීට්, කම්බි,  වානේ,  තාර, පස් ආදී දේවල් එක්ක වැඩ කරන්නේ අපේ කට්ටිය තමයි. . තිලක සිත බ්ලොග් එක ලියන  තිලකසිරි මහත්තයත් මෙන්නෙ මේ ජාතියේ ඉංජිනේරුවෙක්.



කථාවට කියන්නේ සිවිල් ඉංජීනේරුවෙක් කියන්නෙ වයින් බෝතලයක් වගේ කියලා. පරණ වෙන්න වෙන්න වයින් වල රහ වැඩි වෙනවා වගේ අත්දැකීම් වැඩි වෙන්න වෙන්න මේ ක්ෂේත්‍රයේ අයගේ අගයත් වැඩි වෙනවා. එහෙම කිව්වට පදම වැරදිච්චි බෝතලුත් පරණ වෙනවනේ. ඉතින් අපේ ක්ශේත්‍රයෙත් ඒ වගේ දේවල් නැතුවා නොවේ. 





උසස් පෙළ සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු පීඨයට  සමත් වෙන හැමෝම,  විශ්ව විද්‍යාලයේ පලවෙනි අවුරුද්දෙ ඉගෙන ගන්නේ  එකට, එකම විෂයන්. පලවෙනි අවුරුද්දෙන් පස්සෙ මේ ශිෂ්‍ය කණ්ඩායම, විවිධ ඉංජීනේරූ ක්ශේත්‍ර තෝරා ගෙන එම අංශවල ප්‍රවීණත්වයට පත්වෙන්න අවශ්‍ය විෂයන් වෙන් වෙන්ව  ඉගෙන ගන්නවා.ඒ නිසා දෙවැනි වසරේ ඉදන් 450ක් පමණ වූ මුල් ශිෂ්‍ය කණ්ඩායම ඊට වඩා කුඩා කණ්ඩායම් වලට කැඩී යනවා.

තමන් ප්‍රවීණ වෙන්න ඕනේ ඉංජීනේරූ ක්ශේත්‍රය තෝර ගන්න පුලුවන්  වෙන්නෙ පලවෙනි අවුරුද්දේ අවසාන විභාගයේ ලකුණු මත. ඒ නිසාම ඉංජිනේරූ පීඨයේ පලවෙනි අවුරුද්දේ විභාගය කියන්නේ උසස් පෙළ වගේම තරඟකාරී විභාගයක්. 

එකල  වැඩිම ඉල්ලුමක් තිබ්බ ක්ශේත්‍රයන් උනේ  කම්පියුටර්, ඉලෙක්ට්‍රානික්, ඉලෙක්ට්‍රිකල්  වැනි ක්ෂේත්‍ර වලට. ඊට පස්සෙ සිවිල් , මෙකැනිකල් (යාන්ත්‍රික) වගේ විෂය ක්ශේත්‍ර එනවා. පලවෙනි අවුරුද්දෙ ලකුණු මත, තමන්ට ප්‍රගුණ කරන්න අවශ්‍ය විෂය ක්ශේත්‍රය තෝරා ගන්න සිද්ධ වෙන නිසා හැමෝටම තමන් කැමති විෂයම තෝරා ගැනීමේ අවස්ථාව හිමි වෙන්නෙ නෑ. 

මම ඉස්කෝලේ යන කාලේ ඉදන්ම කැමැත්තක් තිබ්බේ ඉලෙක්ට්‍රොනික විශයන් වලට. ඉස්කෝලෙත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව විෂයක් වශයෙන් ඉගෙන ගත්තා. ඉතින් කැම්පස් එකෙදීත් මගෙ කැමැත්ත තිබ්බේ ඒ පැත්තට යොමු වෙන්න. 

කොහොම හරි, කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේදීම , ඉගෙනීම ගැන මගෙ අවධානය අඩු වෙනවා. ආරම්බයත් අවසානයත් පලවෙනි අවුරුද්දෙම සිද්ධ උන ආදර  සම්බන්ධයක් ,  දේශපාලන පැත්තට බර වැඩ ,  ආතල් වැඩ, ක්‍රීඩා මේ ඔක්කොම හේතු වෙනවා එහෙම වෙන්න. ඒත්  මං ඒ කිසිවෙක්  ගැන  වර්ථමානයේ  පසුතැවිලි වෙන්නෙ නෑ.... ඒවා ඒ කාලෙට යථා පරිදි තතා පරිදි  සිද්ධ වෙන්න තිබ්බ දේවල්.... 

ඉතින්, වැඩ කොච්චර අවුල් වෙලා තිබ්බත්, මං කැමති ඉලෙක්ට්‍රොනික් විශය කෙසේ වෙතත්, ඉලෙක්ට්‍රිකල් විශය හරි මට ලබා ගන්න පුලුවන් කියන  විශ්වාසයක් මට තිබ්බා. ඒත් ඒක අධිතක්සේරුවක් විතරයි. ඇත්තටම එහෙම උනේ නෑ.  පලවෙනි අවුරුද්දේ ප්‍රතිපල ආවම මට ඉලෙක්ට්‍රිකල්  විෂය ලකුණු දශම ගානකින් මිස් වෙනවා. දශම 0.16 වගේ ගනණකික් කියලා තමයි මතක. කඩ ඉම් ලකුණු මට්ටම 68.16 විතර වෙද්දි මට  තිබ්බේ 68.00 වගේ. ආදර සම්බන්ධෙකුත් කැඩිච්චි අළුත, මේ වගේ  ආසකරන විෂය ක්ශේත්‍රයත් පෙනි පෙනි  නැතිවෙන එක ටිකක් දරා ගන්න  අමාරු සීන් එකක්.  

ඉතින් අකමැත්තෙන් උනත්  මට තෝරාගන්න තිබ්බෙ සිවිල් සහ මැකනිකල් අංශ දෙක. ඒකෙන් මම සිවිල් ඉංජිනේරු විෂය තෝර ගන්නවා.  ඇත්තටම උනේ වෙන කරන්න දෙයක් නැති කමට සිවිල් ඉංජිනේරූ විෂය තෝරා ගැනීමක්. 

ඉතින් දෙවැනි අවුරුද්ද පටන් අරං ඉස්සෙල්ලම සිවිල් ඉගෙන ගන්න කියල ගිය පලවෙනි ලෙක්චර් එකෙන්ම මට ඒක එපා උනා. මට ඒකේ පට්ට බොරිං ගතියක් දැනුනා. මට හිතුනා මේක 'මයි කප් ඔෆ් ටී එක' නෙමේ කියලා. ඉතින් එදා ඉදන්ම මම ලෙක්චර් යන එක නතර කලා. ගියොත් ගියෙ අවාරෙට වගේ තමයි. ලෙක්චර් නොගියට කරන්න වැඩ ඕනා තරම් තිබ්බා.පට්ට ආතල් කාලයක් ඒක...   ඒ වගේම  ලමයි 100 ක් විතර හිටපු සිවිල්  බැච් එකේ බැච් රෙප් කෙනෙක් (ශිෂ්‍ය නියෝජිතයා ) හැටියට මාව තෝරා ගත්තා. එහෙම උනේ ඉගෙන ගැනීමේ හැකියාවට වඩා වෙනත් දේවල් වලට  ප්‍රකට කරපු දක්සතා නිසා වෙන්නැති.. ඊට පස්සෙ ලෙක්චර් එකකට ගියා නම් ගියෙ  බැච් එකේ මීටින් එකක් ගන්න ඕනා උනාම තමයි. 

මේ වගෙ ලෙක්චර් නොගියට විභාගේ ලං උනාම වැටෙන කුප්පි වලින්  විභාග ගොඩ දාන සැස්තරේ ඒ වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ ඇඟට පත්තියං වේගෙන ආවා. ඒ නිසාම  දෙවෙනි අවුරුද්දෙ විභාගය යන්තං ගොඩ දා ගන්න මට පුලුවන් උනා.  ( මේවා ගැන වෙනම සීරිස් එකක් ලියන්න පුලුවන්) අවුරුද්දක් තිස්සෙ උගන්වන සබ්ජෙක්ට්ස් විභාගෙට දවසක් දෙකක් තියලා කරන කුප්පි වලින් ගොඩ දැම්මා......කුප්පියෙන් මතුවෙන භූත බලය තමයි ඒ... කොහොම විභාග පාස් උනත් , මම මේ කෝස් එක කිසිම ආසාවකින් කල දෙයක් නෙමෙ.

දෙවැනි අවුරුද්දත් ඉවර වෙලා තුන්වෙනි අවුරුද්දත් පටන් අරං මාස කිපයක් ගියා. අර විදිහම තමයි. කැම්පස් එක ඇතුලේ හිටියට ලෙක්චර් යෑමක් නෑ...  කොහොම හරි බැච් එකට මොකක් හරි පණිවිඩයක් දී ගැනීමේ උවමනාවක් ආවා. පණිවිඩය මොකක්ද කියන්න මට දැන් හරි මතකයක් නෑ.  ලෙක්චර් එක ඉවර වෙච්චි ගමන්, කටිටියක් හැලෙන නිසා, ලෙක්චර් එක ඉවර වෙන කොටම බැච් මිටීන් එක ගන්න ඕනේ. ඒ නිසා එදා තිබ්බ ලෙක්චර් එකට සහභාගී වෙන්න  මම සිද්ධ උනා.. 

ඔන්න දැන් තමයි ලමයි තොරණේ විස්තරේට එන්නෙ. අපට උගන්වන්න හිටපු මහාචාර්‍යතුමා තමන්ගෙ ලෙක්චර් එක කැන්සල් කල බවට  පණිවිඩයක් අපට එව්වා. ඒ වෙනුවට එතුමගෙ හිතවත් කමක් මත, හොංකොං වල ඉදන්  ආපු චීන සම්භවයක් ඇති  හොං කොං ජාතික මහාචාර්‍යවරයෙක්ගේ 'ආරාධිත' දේශණයකට සහභාගී වීමට  අපට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා පණිවිඩයේ වැඩි දුර තිබ්බා.. . 

පැවැත්වීමට නියමිතව අවලංගු කල දේශණය තිබීමට නියමිතව තිබ්බෙ සිවිල් ඉංජිනේරු  අංශයේ පලමු මහලේ....ඒ වෙනුවට පවත්වන්න නියමිතව තිබූ අලුත් දේශණය තියෙන්නෙ බිම් මහලේ තියෙන  ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලවේ. ...දේශණය අවලංගු උන නිසා අපි හැමෝම පලවෙනි මහලින් පඩිපෙල දිගේ බිම් මහලට බැස ගෙන එනවා.. බිම් මහලට ආපු මට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ ඇතුලු වීමේ දොරටුවත්.... සිවිල් අංශයේ පිටිවීමේ දොරටුවත් දෙකම පේනවා.. මේ වේලාවේ මගේ ඔලුව ඇතුලෙන් ලොකු කෑ ගැහිල්ලක් එනවා, මේ අලුතින් පාත් උන මරාලය පැත්තකට දාල ප්‍රධාන දොරටුවෙන් එලියට යන්න.. 

සුපුරුදු විදිහට ගියා නම් මම මේ හොං කොං ජාතික ඉංජිනේරු මහාචාර්‍යවරයගෙ ලෙක්චර් එක කට් කිරීම තමයි කරන්නේ.  නමුත් කොහොම හරි   දේශණය අවසානයේ බැච් මිටීන් එක ගැනීමේ දැඩි උවමනාව නිසාම  මම මේ දේශණයට සහභාගී වෙන්න තීරණය කරනවා.

එතැන ඉදන් ගත  වෙච්චි පැය ඇතුලත් මා තුල ලොකු වෙනසක් කරන්න ඒ හොංකොං මහාචාර්‍යවරයා සමත් වෙනවා. එතුමා  හොංකොං වල දූපත් දෙකක් යා කරන කිලෝමීටර් දෙකා මාරක් පමන දිගින් යුත් පාලමක් ඉදිකරන ව්‍යාපෘතියක ප්‍රධාන ඉංජීනේරූවරයා විදිහට  වැඩ කරලා ලබා ගත්ත ඇත්දැකිම් අපෙ ඉස්සරහ ඉතා මනරම් ආකාරයට ගෙන හැර දැක්වූවා. ඒ වෙන තෙක්  එවනි මහා පරිමාණ ව්‍යපෘතියක් සහ ඒවයේ නිර්මාණකරණ  හා ඉදිකිරීමේ අභියෝග ගැන හැගීමක් මා තුල තිබුනේ නෑ.  එදා මොරටුව සිවිල් අංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවෙන් මම එලියට ආවේ වෙනස්ම පුද්ගලයෙක් විදිහට.  




අද මෙන් ඉන්ටර්නෙට් බහුලව නොතිබුනු එකල, මෙවන් මහා පරිමාණ ඉදිකිරීම් ගැන දැන ගන්න තිබ්බ  අවස්ථාව අඩුයි. එහෙම අවස්ථාවක් තිබුනත්, මම කෝස් එක අත ඇරලා දාලා තිබ්බ නිසා  ඒ ගැන හෙව්වයි කියන්නත් බෑ.

අද ආපස්සට හැරිලා බලන කොට මං හිතනවා, එදා මං දැක්කේ අපි කැම්පස් එකේ   තියරි වලට ඉගෙන ගන්න දේවල් වලින් ඇත්තටම ලෝකේ සිද්ධ වෙන දේවල් කියලා.  සිද්ධාන්ත ප්‍රායෝගිකව ඇත්තටම  භාවිතා කරන්නෙ කොහොමද කියන එක. අන්න ඒ කාරණයට මං වශීකෘත උනා කිව්වොත් නිවැරදියි. ජීවීත කාලයටම මං ලගින් ඉන්න පාලම් ඉංජිනේරූ තාක්ශණය නැමැති ලව් එක එදා මගෙත් එක්කම මොරටුව සිවිල් අංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවෙන් එලියට ආවා.

ඉතින් එදා ඉදන් නම් මගේ ජීවීතය වෙනස් වෙනවා. ආපසු ලෙක්චර් වලට එන්න ගන්නවා. මුලදී උගන්වන දේවල් එතරම් තේරුමක් තිබ්බෙ නෑ.. මොකද මුල අහුවෙලා තිබ්බෙ නැති හින්දා...ඒත් ඒවා ගොඩ දා ගන්න එක එච්චර අමාරු උනේ නෑ.... 

ඉතින් එදා ඇතිවෙචිචි ලව් එක තාමත් මගේ ගාව තියෙනවා. සිවිල් ඉංජීනේරුකම  මගේ ජීවන වෘතිය වෙන ගමන් පාලම් ඉංජිනේරූ ක්ශේත්‍රය තුල ඉදිරියටම යන්න මේ ආශාව මාව ඉස්සරට මෙහෙය වූවා.

හදිසියේ හරි එදා ඒ හොං කොං ජාතික  ඉංජිනේරූ මහාචාර්‍යවරයාගේ දේශණය නොතිබෙන්න....ඒ වගේම තමන්ගේ ලෙක්චර් එක වෙනුවට ඒ අවස්ථාව හොං කොං මහාචාර්‍යවරයට  ලබා දෙන්න අපේ විශ්වවිද්‍යාලේ මහාචාර්‍යවරයට නොසිතෙන්න....ඒ වගේම පුරුද්දක් ලෙස ලෙක්චර් කට් කරපු මට එදා බැච් එකට කියන පණිවිඩයක් නොතිබෙන්න ......මගේ ජීවීතය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..ලොකු අවුලකට යන්න ඉඩ තිබබා... 

ජීවිතය අපි නොසිතන වෙලාවට නොසිතන විදිහට විවිධ දොරවල් පෙන්වනවා. අපි ඒ දොරවල් ඇරලා එලියට යන්න ඕනේ...ඒ දොරවල් අපිට අලුත් දේවල් පෙන්වාවි....සමහර විට අපේ ජීවීතයම වෙනස් කරාවී....

මගේ වෙනස්වීමට හේතූ උනේ අහඹු සිදුවීම් ගොඩක්...ඒ නිසා මං අද වෘතිය ආසවෙන් කරන කෙනෙක් හැටියට වැඩ කරනවා...තාම එපා වෙලා නෑ... ඒක මට සතුටක්.. 
 



2222