Saturday 27 January 2024

මයි ශතකය...

මේ පෝස්ට් එකත් එක්ක මයියාගේ බ්ලොග් එක තමන්ගේ 100 වැනි පෝස්ට් එක සම්පූර්ණ කරනවා. 2010 තරම් ඈත කාලෙක ඉදන් ලිව්වත්, ශතකයට ලඟා වෙන්න සෑහෙන කාලයක් ගත උනා. මේ සෙන්චරිය  ජයසූරිය දාන  විදිහේ ගිණිකෙලි සෙන්චරියක් නෙවේ.හාශාන් තිලකරත්නලා...තිලාන් සමරවීරලා වගේ තටමල තටමලා දාන සෙන්චරියක්. එකල ලියැවුණු තරු පහේ බ්ලොග් අද නැවතිලා, ඒ ගැන කණගාටුවක් ඇතත්, අගුටුමිට්ටෙක් උන මේ බ්ලෝගය තාමත් යාවත්කාලීනව ඇදගෙන යන්න පුලුවන් වෙච්චි එක සතුටක්.



මේ ශතකයත් එක්ක  වැඩිපුරම බලපු බ්ලොග් පෝස්ට් ගැන ස්වයං විචාරයක් ලියන්න මම කල්පනා කලා.. 


මේ බ්ලොගයේ වැඩිම හිටස් ගානක් ඇවිල්ලා තියෙන්නෙ ‘ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...‘ කියන පොස්ට් එකට. මේක  මම වැඩි මහන්සියක් ගන්නෙ නැතුව නිකමට වගේ ලිව්ව පොස්ට් එකක්.ඒත් මේකේ  මාතෘකාව ලිංගික කුතුහලයක් ගේන නිසාදෝ , මේකට  වැඩිපුර හිටස් වැදිලා. ‘සෙක්ස්‘ කියන වචනය සර්ච් කරලා ලංකාව පලවෙනි තැනට ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැත්තේ මේ නිසා. ඒ උනත් ඒ ලිපියේ ඇති සෙක්ස් කථාවක් නම් නෑ. මේ පෝස්ට් එකට වැදිලා තියෙන හිට්ස් ගණන 6592ක්.



ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?:  Whither Buddhism on Feminism  කියන පෝස්ට් එක. මේ පෝස්ට් එක මම ගොඩක් වෙලාව අරගෙන ගොඩක් හිතලා මතලා ලියපු එකක්..2013 දී පමණ ලියැවුනු මෙම ලිපිය මම බුද්ධාගම ටිකක් සීරියස්ලි  ඉගෙන ගන්න කාලේ ලිව්ව එකක්.කමෙන්ට් 86 ක් තියෙන,5622 පාරක් බලලා තියෙන, මේ පෝස්ට් එක ටිකක් විවාද සම්පන්න එකක්.මේකේ කමෙන්ට් කරලා තියෙන අයත් , විවිධ පැතිකඩ වලින් බලලා ඒ ගැන ප්‍රතිචාර දමා තියෙනවා.




ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නෙත් බුද්ධාගම ගැන ලියැවෙනු ලිපියක්.. මේකේ ලියලා තියෙනේ මහායාන හා ථේරවාදය ගැන මගේ අවබෝධය.. ලිපියේ මාතෘකාව ඇවිල්ලා ‘මහායානෙද?..ථේරවාදේද......නැත්නම් මොකුත්ම නැද්ද?‘  2010 තරම් ඈත කාලෙකදි ලියැවුනු මේ ලිපියට පස්සේ මේකෙටම දිගුවක් පසුකාලිනව මම ලියලා තියෙනවා, ‘මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය නමින්.  ඒ කාලේ නම් මේ ගැන වැඩිය කථා කරපු අය හිටියේ නැති උනත් දැන් කාලේ නම් මේ මාතෘකාව හරි ජනප්‍රිය එකක් වෙන්න තිබ්බා.   ලිපියට කමෙන්ට්කරපු එකල බ්ලොග් අවකාශයේ තරු උන ටැබූ සබ්ජෙක්ට් , රිටිගල ජයසේන වැනි අය පොස්ට් එකට  වැඩි  බරක් යෙදෙන කමෙන්ට් දමා තිබෙනවා. ඒ වගේම ඉතිහාසය ගැන විධිමත් අධ්‍යාපනයක් ලබපු හසිත ගුණසිංහ වැනි අයත් ඒ වගේම වැඩි යමක් එකතු කරලා තියෙනවා. 

ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ පොඩි හාස්‍ය රසයක් ගෙන දෙන ‘අන්දරේ ගේ වලත්තකම‘ නැමැති ලිපිය. මේක එච්චර අධ්‍යනයක් නැතිව ලියපු සරල ඉදිරිපත් කිරීමක්. 

පස්වෙනි තැනට  වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?  ලිපිය. මේකත් මං එච්චර වෙලාවක් ගන්නේ නැතුව ලියපු පෝස්ට් එකක්.ඒත් හෙඩිං එකේ තියෙන කුතුහලය නිසාම වැඩි හිට්ස් ගානක් ලැබිලා තියෙනවා. 

ඊලඟට වැඩියෙන්ම බලලා තියෙන්නේ ‘මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....‘ නැමැති ලිපිය. මේක පැනමා පේපර්ස් නැමැති සිද්ධිය වෙච්චි අලුතම ලියැවුනු කාලීන ලිපියක්. මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි මේ ලිපිය ලියලා තියෙන ආකෘතිය අනෙක් ලිපි වලට වඩා වෙනස් වීම. 

ඊලගට වැඩිම බලලා තියෙන ලිපියත් වැඩි මහන්සියක් නැතිව ලියපු එකක්.. ඒක ‘ඩෝකින්ස්ගේ ජාන හා ආත්මවාදය.....‘ කියන ලිපිය.ඒක රිචඩ් ඩෝකින්ස්ගේ ‘ සෙල්ෆිශ් ජීන්ස්‘ පොත කියවලා ආතල් එකට ලියපු එකක්.ඇත්තටම ඒ පොත හරිම ලස්සන , වැදගත් තර්ක ගොඩක් ඉදිරිපත් කරන පොතක්. ඒ වගේම ඩෝකින්ස් කියලා කියන්නේ නිරාගමික මථ දරන්නෙක්.

අටවැනියට වැඩියෙන්ම බලලා තියෙන්නෙ 2011 දී තරම් ඈත කාලෙකදි ලියැවෙච්චි ‘මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ:  Prof. Nalin De Silva  නැමැති ලිපිය. මේ ලිපියෙ ගොඩක් වෙහෙස මහන්සි අරගෙන ලියපු එකක් උනත් අදවෙන විට  මේ ලිපියේ තියෙන ඇතැම් අදහස් මගේ වෙනස් වෙලා. ලිපියේ අන්තර්ගතයටත් වඩා මා වෙනස් වෙලා තියෙන්නේ මා එහි ලියා ඇති කමෙන්ට්ස් වෙන්න පුලුවන්.අද ලීවා නම් මා ඊට වඩා වෙනස් කමෙන්ට් ටැබු, රිටිගල, පිටස්තරයා වැනි අයට  ලබා දෙන්න පුලුවන් කියා මා සිතනවා. 


9 වෙනි තැනට  වැඩියෙන්ම බලා ඇත්තේ ‘සිංහල ලේ පාරිශුද්ධ ද? -2 කොටස‘ නැමැති ලිපිය. මෙය කොටස් 3 කින් යුක්තව  ඉදිරිපත් කල  ලිපි මාලාවක දෙවැන්න.2010 තරම් ඈත අතීතයේ ලියැවී ඇති මේ ලිපියෙත් අන්තර්ගතය සම්බන්ධයෙන් අද පවා මගේ වෙනසක් ඇති වී නෑ.. මේ ලිපියෙ සිටින පිටස්තරයා -2  නැමැති  බ්ලොග් රචකයා මේ ලිපියට  සුවිශේෂ දැනුමක් ඉදිරිපත් කර තියෙනවා. පිටස්තරයා -2 නමින්  මෙහි ප්‍රතිචාර දක්වා ඇත්තේ වර්තමානයේ  ගොඩක් දෙනා දන්නා ප්‍රසිද්ධ යතිවරයෙක්. 




10 වෙනි තැනට වැඩියෙන්ම් බලා ඇත්තේ..‘නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල‘ කියන ලිපිය. මේ ලිපියේ මා ලියා ඇති අන්තර්ගතය තුල කිසිම පුද්ගල විවේචනයක් කර නොමැති අතර, සාමාන්‍ය හදුනා ගැනීම් වලින් ඔබ්බට ගොස්, සයිබරයේ ලියැවෙන බ්ලොග් මහපොලොවෙ සංවිධානය වීම ගැන මගේ සාධාරණ විවේචයක් එල්ල කරලා තියෙනවා. 

හිට්ස් ගාන  අඩු උනත් මා ලියා ඇති ලිපි වලින් මා කැමතිම ලිපිය ‘බුද්ධාගම කෝකටත් තෛලයද? :  Can Buddhism Save the Planet from Climate Change?  නැමැති ලිපිය. මේ ලිපිය ලියැවෙන්නෙ නිරාගමික වෙබ් සයිටයක මා දැමු පිලිතුරු සම්බන්ධයෙන් වැඩි දුර ලිවීමක් හැටියට. පරිසර ප්‍රශ්ණය සහ බුදුදහම මේ ලිපිය ලියැවී ඇති සන්ධර්බයයි. මේ ලිපියේ කමෙන්ට් කර ඇති ‘දිමිත්‍රි‘ නැමති කමෙන්ට් කරුවා එකල මගේ බුද්ධාගම ගැන අවබෝධයේ සීමාවන් සලකුණු කලා කියලා කියන්න පුලුවන්.නමුත් ඒ ප්‍රශ්ණ කිරීම මා වැඩි අවබෝධයක් කරා සිතන්න යොමු කල බවත් ඒ නිසාම මා ඔහුට ස්තූතීවන්ත විය යුතු බවත් මතක් කරන්න ඕනේ.

මා ලියා ඇති ලිපි වලින් වැඩිපුරම  බලලා තියෙන්නේ බුද්ධාගමට සම්බන්ධ ලිපි උනත් ඉදිරියෙදී තව දුරටත් ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් මා තුල ඇත්තේ නෑ..

මා ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා ඈදුනු පරිසර ප්‍රශ්ණය ගැන ලිපි කීපයක්ම කියැවිලා තිබ්බත් ඒ ලිපි  වැඩියෙන්ම බලපු අතරට  නොවැටීම ගැන පොඩි කණගාටුවක් මා තුල තියෙනවා. කලෙක නම් පරිසරය සම්බන්ධයෙන් ලියැවෙච්චි බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ... වැඩියෙන්ම කියවපු ලිපි අතර තිබුනත් දැන් ඒක වෙනස් වෙලා.නමුත් මේ ශානරයේ ලිපි ඉදිරියටත් ලියන්න මා අදහස් කරනවා. මයි එන්වයර්මන්ට් නැමැති ලේබලය යටතේ  වර්ගකර ඇති මේ ලිපි  , ඒ අදාල ලේබලය ක්ලික් කිරීමෙන් බලා ගත හැකියි. 

මගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් ලියැවුනු ‘මලක අසිරිය: Power of Weeds'  කියන්නෙත් මා ප්‍රිය කරන ලිපියක්. 

මහත්මා ගාන්ධිගේ ඝාතකයාගේ පාපොච්චාරණය ඇසුරෙන් මා ලියු 'උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1' ලිපි කීපයත්  මා ආසවෙන් ලියූ සටහන්.. 

බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 100 දාන්න අවුරුදු 13 ක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි සතුටක් තියෙනවා. .  කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි  තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ  සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)

ඈත අතීතයේ ඉදන්ම් මේ බ්ලොග් පඩංගුවට ගොඩ වෙලා ප්‍රතිචාර දක්වපු සහෘදයන් ගොඩක් සිටිනවා. පෞද්ගලිකව මා හැදින නොහොටියත් ඔවුන් දක්වපු ප්‍රතිචාර, ඇතැම් විට විවේචන මේ බ්ලොගය ඇදං යන්න මට ලොකු හයියක් උනා. එක් එක් නමින් සදහන් කරන්න තරම් මේ ලැයිස්තුව දිග වැඩි උනත්, ඒ හැමෝටම මා ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එකල සිටි සමහර සහෘදයන් අද දකින්නට නැති වීම ගැන නම් තරමක් කණගාටුවක් තියෙනවා. 

මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්,  තමන්ගෙ බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....

ඒ වගේම මෑත කාලයේ මේ බ්ලොගයේ වැඩිපුර ලිපි ලියැවෙන්නෙ හේතුව තට්ට මහත්තයගේ ශනිදා 10 ට කියන කාරණයත් මතක් කරන්න ඕනේ.ඒකටත් බොහොම ස්තුතියි. 


ප:ලි- ඉස්සර ලියපු පෝස්ට් වලට මෙච්චර හිට්ස් වැටී තිබුනත් , දැන්නම් 100-500 ත් අතර ප්‍රමාණයකට වඩා පෝස්ට් එකක් බලන්නෙ නෑ..ඒ බ්ලොග් කියවන පාඨකයින් ගණන ගොඩක් අඩු නිසා වෙන්නැති. 



28 comments:

  1. සුබ පතනවා මයියා ඔබට. මම ඔබගේ බ්ලොග් රසිකයෙක් උනේ මේ මෑතකදී නොවැ. දැන් ඉතින් දිගටම ඔබේ රසිකයෙක් තමා ඕන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි.

      Delete
  2. ‘ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...‘ හිට්ස් 6592ක්.
    ආන්න ඒකයි අවයවය! 😁🤭🤣

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. හා හා....ඔව් ඒක තමයි අවයවය...

      Delete
    2. "අවයවය" reminded me of Ravi! one of my all time favorite blogger...

      All the best for the 100 Mr.Myya

      Delete
    3. බොහොම ස්තූතියි Udaya,ඔව් මට මතකයි රවී ව

      Delete
  3. නාය නොයා බ්ලොග් ලෝකේ දිගටම රැඳිලා
    පාය ඉන්න පුන්සඳ සේ එලියම බෙදලා
    සීය පිරුණු මේ මොහොතේ සතුටම පිරිලා
    ගීය ගයා සමරමු අපි තුටු මල් ඉහලා....

    නොනැවතී තවත් පෙරටම ලියන්න මගෙනුත් සුපැතුම්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී...නාය නොයා දිගටම ලියන්න බලමු

      Delete
  4. මමත් ශතකය සම්පූර්ණ කරන්න ආසන්නයි. ආපසු හැරී බැලීමක් කරනව ද නැද්ද කියලා සිතමින් ඉන්නකොට තමයි මේක දැක්කේ. ජය වේවා! තව රසබර ලියවිලි කියවන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Litseeker

      Delete
  5. මමත් ටිකක ලියලා තියෙනවා. මගේ බ්ලොගයේ නැරඹූ පිරිස දෙලක්ෂ පනස්දාහකට ආසන්න වෙන්න යනවා.

    බලාගෙන ගියාම ඔබගේ හොඳම ලිපි බොහොමයක් මට "මිස්" වෙලා!

    මම ඉස්සර මේ වගේ පෝස්ටු දෙක තුනක්ම කලා; අනිත් අයට ලියපු කමෙන්ටු එකතු කරලා ""අන් ඇකයේ සුවෙන් නිදන මසිත උපන් මගෙ සිතුවිළි!" ලෙස.

    ජය වේවා! ඔබේ ලේඛණ දිවිය සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ...ඔයාගේ ශණිදා 10 හින්දා තමයි මේ ටිකේ නම් දිගටම ලියන්නේ...නැත්තං මම නිතර පෝස්ට් දාපු එක්කෙනෙක් නෙමේ..මේ දවස් වල ලොකුවට කාර්‍යබහුලත්වයක් නැතිවීමත් හේතුවක්...ඔබගේ සුභපැතුම් වලට ගොඩක් ස්තූතීයි

      Delete
  6. බොහොම ස්තූතියි ලිට්ස්සීකර්....ලියමු ලියමු පර්‍යාවලෝකයන ක් ලියමු

    ReplyDelete
  7. බොහොම සන්තෝසයි, බොහොම සන්තෝසයි
    විජේබාහු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි,විජේබාහු

      Delete
  8. සුපැතුම් මයියො ඔබගේ ලියවිලිවලට
    හැකියාවන්ට අරුමැසි සිතිවිලිවලට
    පස්සේ ඇවිත් දිග- දිගටම කියවන්ට
    සලකුණු කර ගතිමි- ඉඩ ලැබුනාම මට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදි....හැමදාම තියෙන මේ කවි උත්තරයට ගොඩක් ස්තූතියි...

      Delete
  9. සුබ පැතුම්!
    දිගටම ලියමු. පුලුවන් විදියට අපි එන්නම් කියවන්න, කොමෙන්ට් දාන්න ✌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නමී...

      Delete
  10. සීයට සුභ පැතුම් . අර ලිපි බලන්න පසුව එන්නම්. යෝනි ලිපියනම් කියෙව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්...ඉතිරි ලිපි ටිකත් බලන්න..

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි ප්‍රා ජේ

      Delete
  12. සුභ පැතුම් මයියා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්

      Delete
  13. ශතකයට ආදරෙන් සුබ පතනවා මයියා . මට මා ගැනම තරහක් හිතෙනවා මේ වගේ සාරවත් බ්ලොග් සටහන් මග ඇර ගත්තට . දැන්නම් දිගටම එන්න හිතා ගත්තා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලකසිරි මහත්මයා..සාදරයෙන් පිලිගන්නවා මේ බ්ලොග් එකට...පරණ ලිපි ටිකකුත් බලන්නකෝ එහෙමනම්

      Delete
    2. ඔව් කියවන්න පටං ගත්තා . අපූරුයි

      Delete

2222