Monday 5 February 2024

මන්නාරමයි කොටුවයි

ගිය පාර නිවාඩුවෙදී යාපනේ යන්න යද්දි, ඒ ගමන  මන්නාරම පැත්තෙන් යන්න හිතා ගත්තේ , මම  කවදාවත් මීට කලින් මන්නාරම, පූනරීන් හරහා සංගුපිඩ්ඩි පාලම පැත්තෙන් යාපනේ ගිහිල්ලා තිබ්බෙ නැති හින්දමයි...

අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මුලතිව් වල වැඩ කලත්, හැම සති අන්තෙකම මුලතිව් සහ කොළඹ අතර ගමන් කලත් , ඒ කාලේ ඕනා තරම් යාපනේට ගිහිල්ලා තිබ්බත්, මේ  පැත්ත මට ආවරණය කර ගන්න බැරි  වෙලා තිබ්බේ. 

ඇත්තටම අපි යාපනේ යන්න හිතාගෙන පාරට බැස්සම කියන්නත් බෑ...කොහෙ හරි ට්‍රිප් එකක් යනවයි කියලා හිතාගෙන  පාරට බැහැලා පස්යාල, ගිරිඋල්ල, වාරියපොල පැත්තෙන් දාලා  පාදෙණිය පාරෙන් ආවේ අනුරාධපුර පැත්තට එන්න කියලා හිතාගෙන.  ඇත්තටම, මේ පාරේ මම කොච්චර නම් ගිහින් තියෙනවද... අවුරුදු දෙකක් තිස්සේ නියං , වැහි , ගං වතුර ,  ඔය ඕනෑම දේශගුණික තත්වයක් යටතේ අවුරුදු දෙකක් තිස්සේ  එහාට මෙහාට ගිය පාරක්. ඔය වාරියපොලට යන්නත් අපිම හොයා ගත්ත හොර පාරක් තියෙනවා. නාරම්මලට කලින් මැටියාගනේ හන්දියෙන් හැරිලා  කඩහපොල හරහා තමයි අපි යන්නෙ. මේ යන කොට පහු කරන්නෙ ලස්සන ගම්බද පෙදෙසක්.

ඒත් එදා නම් බලන්න තැනක් හොය හොය ගිය හින්දමද මන්දා පාදෙණිය හන්දිය පහු කරලා ඉස්සරාට ඇදෙද්දි ඇහැ ගැටුනේ දැඳුරු ඔය ජලාශෙට හැරෙන තැන නමින්  ගහපු බෝඩ් එක. ඒක මට කවදාවත්  මීට කලින් ඇහැ ගැහිලා තිබ්බෙ නැත්තේ, ඒ ගිය  හැම වතාවක්ම ගියේ කඩිමුඩියේ හින්දා වෙන්නැති.  ඇත්තටම කියනවා නම් දැඳුරු ඔය  ජලාශය ගාව බැහැලා එහෙ මෙහෙ  වෙවී ඉන්න කොට තමයි අපි යාපනේ යන්න ඕනා කියලා තීරණයට ආවේ .

දැඳුරු ඔය ජලාශයේ ප්‍රධාන වාන් දොරටු. ජලාශය පැත්තෙන් පේන විදිහ 

ඉතින් දැඳුරු ඔය ජලාශය බලා ගත්ත අපි , පාදෙණිය පාර ඔස්සේ අනුරාධපුරයට ඇවිත්, අනුරාධපුර යාපන හංදිය  පහු කරගෙන රඹෑව , මැදවච්චියට පැත්තට පිටත් උනා. මම මුලතිව් වැඩ කරද්දි, මැදවච්චිය කියන්නේ අමතක නොවෙන සිදුවීම් වෙච්චි ටවුමක්.ඒවා ගැන පස්සේ කථා කරන්නම්. 


දැඳුරු ඔය ජලාශයේ අවට අංශක 360  දසුනක් ( ෆොටෝ එක උඩ ක්ලික් කරලා ටිකක් පැහැදිලිව බලා ගන්න පුලුවන්) 


රඹෑව හන්දිය පහු කරගෙන , පරණ පුරුදු නෙළුම් කොලේ බත් කඩය හොයා ගෙන ආවත්, එතැන හරියට හොයා ගන්න බැරි උනා. නෙළුම් කොලේ බත් කඩේ අයිතිකාර මගේ හිතවත් තරුණ මහත්මයා නැති උන විත්තිය මීට කලින් මම ෆේස්බුක් එකේ දැකලා තිබ්බත්, එයාගේ නෝනා කඩේ කරගෙන යන විත්තිය එයින් කියැවෙලා තිබ්බා. එහාට මෙහාට කීප වරක් ගිහින් අන්තිමට පරණ පුරුදු තැන හොයා ගත්තත් , අවාසනාවට  නෙලුම් කොලේ  කඩේ වහලා. ඉස්සර මුලතිව් ඉදන් අපි පැය දෙකක්- තුනක් ගෙවා ගෙන මෙතැනට එන්නෙ ඒ කෑම රසටත්,  කඩේ අයිති තරුණ මහත්මයගේ ආගන්තුක සත්කාරයටත් තිබ්බ කැමැත්තට. 

පුරුදු නෙලුම් කොලේ කඩේ වහලා තිබ්බ නිසා අන්තිමට අපිට දිවා ආහාරය ගන්න සිද්ධ උනේ අළුත් තැනකින්..හැබැයි අපරාදේ කියන්න බෑ...කෑම ටික නම් සුපිරියට තිබ්බා...මම නම්  හොද බත් පිඟානකුත් කාලා අන්තිමට ලිපේ පුච්චපු රොටි දෙකකටත් වග කියලයි නතර උනේ.

කොහොම හරි දවල් බත සරි කර ගත්ත අපි මැදවච්චිය ටවුමට ඇවිත්, ඉස්සරාට යන්න තියෙන නොදන්න පාරේ යන්න සෙට් උනා. නොදන්න පාර කිව්වට ඉතින්, මන්නාරම් පාරේ  ගිහින් තිබ්බෙ නැත්තෙ මංතුමා විතරයි. අපේ නෝනා මේ පාරේ,  මීට කලින් රාජකාරී වැඩකට ගිහින් තිබ්බා. මැදවච්චිය ටවුමෙදි, අතරමගදි හපන්න  කියලා අඩුම කුඩුම ටිකකුත් ගත්තා. මේ ගමන යන්නේ බිරිදත්, කොල්ලො තුන් දෙනත් එක්ක නිසා, මධ්‍යපානේ නම් අතරමගදි කලේ නෑ. 

මන්නාරම පාරෙන් යද්දි ඉස්සෙලම හම්බ වෙන්නේ මඩු දේවස්ථානයට හැරෙන පාර. ඒ පාර පටන් ගන්න තැනම යුධ හමුදාවෙන් පරික්ශා කරනවා.  මන්නාරම් පාරේ ඉදන්  මඩු දේවස්ථානයට යන්න කි.මී.12ක් විතර තියෙනවා. පාර නම් හොදටම හදලා තිබ්බේ. 

අපි  මේ සංචාරය ගියේ 2023 ජූලී මාසේ. මේ වෙනකොට මඩු පල්ලියේ අළුත්වැඩියා කටයුතු සිදුවෙමින් තිබ්බේ. ඒ කටයුතු මැද්දේ උනත් දේවස්ථානය බලා කියා ගන්න අමාරුවක් නම් උනේ නෑ. 

මඩු ප්‍රධාන දේවස්ථානය ඇතුලේ දර්ශනයක්. 


මඩු දේවස්ථානය බලා කියා ගෙන ආපසු මන්නාරම  ප්‍රධාන පාරට වැටිලා ඉස්සරාට යන කොට ඊලඟට හම්බවෙන තැන තමයි , යෝධ වැව. යෝධ වැව තියෙන්නෙ ප්‍රධාන පාරටත්, මන්නාරම්  රේල් පාරටත් යාබධව දකුණු අත පැත්තේ. මේ දවස් වල තිබ්බ දැඩි නියං කාලගුණයත් එක්ක වැව නම් නැට්ටටම  හිඳිලා තිබ්බෙ. 

මන්නාරම් පාරට ආසන්නයේ ඇති යෝධ වැවේ බන්ට් එක උඩ ඉදන් ගත්ත අංශක 360  පින්තූරයක් 

යෝධ වැවත් එක්ක තියෙන මන්නාරම් පාර තනි කෙලින් ඉද්ද ගැහුවා වගේ  පාරක්. ඔය හරියෙදිම තමයි පොලිසීයේ ගුණ යහපත් මහත්වරු දෙන්නෙක් අපේ වාහනේ නතර කරේ. හදිසියේ 100 පන්නලා යන්නේ, කාටවත් කරදරයක් වත්  ද ? කියලා දැන ගන්නයි ඒ මහත්වරුන්ට ඕනේ කරලා තිබ්බෙ. ඒ වෙලාවේ හැන්දෑවේ හතරාමාරට විතර කිට්ටු කරලා තිබ්බ නිසා දඩ කෝලයක් ලිව්වත්, පහුවෙනිදට ආපහු යාපනේ ඉදලා එන්න වෙන විත්තිය මම මතක් කරලා දුන්නම, ඒ මහත්වරුන්ටත් ගොඩාක්  දුක හිතුනා. අනිත් එක යුද්ධෙ ඉවර වෙච්චි ගමන් මුලතිව් වල අපි දුක් මහන්සියෙන්  හදපු පාරවල් බලාගෙන  එන්න යන ගමනක් විත්තියත් මම මතක් කලාම, එයින් එක පොලිස් මහත්තයෙක් මුලතිව් පොලිසීයේ වැඩකරලා තියෙන බවත් කියන්න තරම් නිහතමානී උනා. පරිස්සමට යාපනයට යන  බව පොරොන්දු වෙච්චි නිසා, ඒ මහත්වරු දෙන්නා මට යන්න දුන්නේ , ඒ මහත්වරුන්ගේ තියෙන ගුණ යහපත් කමටම කියලා මට හිතෙනවා.

මේ ලිපිය ලියන්න හේතූ වෙච්චි, මන්නාරම් දූපතට අපි සෙන්දු වෙන්නෙ මේ වගෙ පොඩි අලකලංචියකුත් එක්ක. ඒ වෙනකොට හැන්දෑ වෙලා, හවස පහ වගේ වෙලා තිබ්බෙ. 

මන්නාරම් දූපතට ඇතුලු වෙන තැනම තියෙන්නෙ  ලොකු හමුදා මුරපොලක්. යුද්ධෙත් ඉවර වෙලා, මෙච්චර ලොකු හමුදා පරික්ෂා පොලක්  පවත්වාගෙන යන්නෙ මොකද කියන කාරණය මම එතැන හිටිය නිලධාරියෙක්ගෙන් අහගන්න පසුබට උනේ නෑ. කාරණය ඇවිල්ලා මන්නාරම දූපත්, ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් පැවතීම සහ හොර බඩු ජාවාරම. දූපතට එන වාහනත් , යන වාහනත්  දෙකම ඒ නිසා නිරතුරුව පරික්ෂාවට ලක් වෙනවා. 
ලංකා ප්‍රධාන ගොඩ බිමත් , මන්නාරම දූපතත් යා කෙරෙන ඉපැරණි පාලම. මෙහි වම් පැත්තෙන් ප්‍රධාන ගොඩබිමත්, දකුණු පැත්තෙන් මන්නාරම් දූපතත්  එකිනෙක යාවෙනවා.  පිංතූරය අරන් තියෙන්නෙ මන්නාරම බලකොටුවේ ඉදන් 


මන්නාරම් දූපතට ඇතුලු වෙච්චි අපි ඉස්සෙලම බලන්න ගියේ දූපතට ඇතුලුවෙන කිට්ටුවම තියෙන පරණ පෘතූගීසී බලකොටුව. මුහුදත් එක්කම තියෙන, මේ බලකොටුවෙ  ප්‍රතිසංස්කරණ වැඩ සිද්ධ වෙමින් තිබ්බෙ. 

මං හිතන්නෙ අපි කොටුවට ආවේ , දවසේ හොදම වෙලාවට කියලා. ඉර බැස යන්න කිට්ටුවෙන් එන මුහුදු සුලඟත් එක්ක කොටුව ඇතුලේ තිබ්බේ අමුතුම සුන්දර බවක්.

මේ කොටුවේ එහා මෙහා ඇවිදින ගමන්ම තමයි, එදින රාත්‍රියේ යාපනේ නැවතීමට අදාල ස්ථානය,  ජංගම දුරකතනය හරහා වෙන්  කර ගත්තෙ. යාපනේට ලඟා වෙන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ඒ වන විට රාත්‍රිය වී තැනක් සොයා ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසාත්, එය කලින්ම බේරුම් කර ගැනීම අස්වැසිල්ලක් උන බව කියන්න ඕනේ. 


මන්නාරම් කොටුවේ තියෙන විශේෂම දේ හැටියට මට හිතෙන්නේ එහි කුඩා වපසරියත්, ඒ නිසාම කොටුවේ සියලු මායිම් සිතු සේ බලා කියා ගැනීමට තියෙන හැකියාව.කිසි කරදරයකින් තොරව කොටුවේ සියලු මායිම් වල ගමන් කිරීමට මෙහි හැකියාව තියෙනවා.  ලංකාවේ කොහේ තිබ්බත්  ලන්දේසී , පෘතුගීසී බලකොටු තනා තිබෙන්නෙ එකම කෘතියකට. වෙනස් වෙන්නෙ ඒවායේ විශාලත්වය විතරයි. මන්නාරම් බලකොටුව මේ ආකෘතිය දැන කියා ගන්න හොදම ස්ථානයක් කියලා මට හිතෙනවා. 

මන්නාරම කොටුවේ ඉපැරණි සිතියමක් - reference :https://amazinglanka.com/wp/mannar-fort/



මන්නාරම් බලකොටුව මුලින්ම ඉදිකර ඇත්තේ පෘතූගීසින් වර්ෂ 1518 දී පමණ. ඉන්පසුව එය වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් අල්ලා ගෙන තිබෙනවා. ඔවුන් ප්‍රධාන දොරටු ශක්තිමත් කිරීම හැර, පෘතුගීසින් විසින් ඉදිකරන ලද මේ බලකොටුව, විශාල වශයෙන් වෙනස් කර නෑ. අවසාන වශයෙන් වර්ෂ  1795 දී මෙය  ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. 

මන්නාරම් කොටුව එක පැත්තකින් මුහුදෙනුත්, අනිත් තුන් පැත්ත විශාල දිය අඟලකිනුත් ආරක්ෂා වී තිබෙනවා. 

මන්නාරම් කොටුවත්, මන්නාරම් දූපතත් වෙන්කරමින් තනා ඇති ආරක්ශිත දිය අඟල. මේ තියෙන කොටු බැම්මෙ සිට මන්නාරම් පාලම දිහා ඉර බැසගෙන යන දර්ශනය බලං ඉදීම හරිම සුන්දර අත්දැකීමක්. මුහුදු සුළඟත් එක්ක බැදපු මයියොක්කා පෙති ටිකක් රසකර කමින් මුලු සෑන්දෑවම ගත කරන්න පුලුවන් අපූරූ ස්ථානයක්. 






බලකොටුව ඇතුලේ ප්‍රධාන මිදුල සෙවණ කරමින් වැඩි ඇති විශාල ගස. 



මන්නාරම් කොටුව ඇතුලෙන් , කොටු බැම්මට නැගීමට ඇති ආනත මාර්ගය. ලොකුවට පළල්වට ඉදිකර ඇත්තේ, එකල කාලතුවක්කු, බෝම්බ මේ මාර්ගය ඔස්සෙ කොටු බැම්මට ගෙනගොස් ඇති නිසා වෙන්න පුළුවන්



කොටු බැම්බ මත ගමන් කිරීමට ඇති මාර්ගයෙන් කොටසක්. මේ විදියට කොටු පවුර ඇතුලෙන්  බැම්ම දිගේ ගමන් කිරීමට පුලුවන්. වටේම යන්න පුලුවන් 


කොහොම කොහොම හරි අපි මන්නාරම් කොටුව බලා කියාගෙන ඉවර වෙද්දි කළුවර වැටෙන  කිට්ටුවටම ආවා. 

මන්නාරම දූපතේ කෙලවර පිහිටි තලෙයිමන්නාරමට යෑමට තරම් කාළයක් අපිට ඉතුරු වෙලා තිබ්බෙ නෑ. ඒ නිසාම මන්නාරම් දුපත ඇතුලේ අපිට   කරන්න ඉතුරුවෙලා තිබ්බේ , ලංකාවේ මහතින් වැඩිම ගස ලෙස හදුන්වන බයෝබැබ් ගස බලන්න යන එක විතරයි. මේ ගස මන්නාරම නගරයට ඉතා ලඟින් පිහිටි නිසා අපි එය බලන්න සිතා ගත්තා. 

ලංකාවේ වටප්‍රමාණයෙන් වැඩිම ගස ලෙස හදුන්වන මන්නාරම් දූපතේ පිහිටි බයෝබැබ් ගස. 


කට්ටිය කියන විදිහට මේ ගස අවුරුදු 700ක් පමණ පැරණි ගසක්. ගසේ වටප්‍රමානය  මීටර 20 ක් පමන.ගස එච්චර උසනම් නෑ. හැබැයි ඉතින් වටප්‍රමාණය නම් අතිවිශාලයි තමයි. මේ බයෝබැබ් ගස හැදිලා තියෙන්නෙ මන්නාරමට ආපු අරාබි ජාතික වෙළෙන්දෙන්ගේ  බයෝබැබ් පලතුරකින් වැටිච්චි ඇටයකින් කියලා තමයි කියන්නේ.  

කොහොම හරි මේ ටික ඔක්කොම ආවරණය කරගෙන මන්නාරම් දූපතෙන් පිටත් වීමට සුදානම් වෙන විට හැන්දෑ වෙලා. නමුත් මන්නාරමටම ඇවිත්  සී ෆුඩ් ඩිශ් එකක් කන්නැතුවෙ එන එක හොද නෑ කියලා මගේ හිත ඇතුලෙන් විශාල ශබ්දයක් ආවා. ඒගැන අපේ  පවුලේ ඔක්කොම එකඟතාවයක් දක්වපු නිසා , මන්නාරම ටවුම ඇතුලේ ටිකක් කර කැවෙන කොට ඒ සදහා තැනක් අපට හම්බ උනා. මන්නාරම ටවුම ඇතුලේ සිංහල කථා කරන අය නම් අඩුයි. කතා කිරීම කෙසේ වෙතත් සිංහල තේරේන අයත් අඩුයි. ඒ නිසා සී ෆුඩ් කන්න තැනක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු උනා.  ඒත් අන්තිමට ඒ දොලදුකත් සන්තර්පණය කරගෙන අපි ඒ හැන්දෑවෙම යාපනය දිහාවට ඉගිළුනා.

අරමුණක් නැතිව පටන් ගත්තෙ මේ ගමන , එදින රාත්‍රියේ  යාපනයට ලඟා වෙන කොට රාත්‍රි නවයටම කිට්ටු වෙලා තිබ්බා. 

මේ තියෙන්නේ අපි මන්නාරමට ගමන් කරපු පාරේ දල සටහනක් :කඩවත- පස්යාල- ගිරිඋල්ල- මැටියාගනේ-කඩහපොල- කටුපොත-වාරියපොල- පාදෙණිය-අනුරාධපුර - මැදවච්චිය-මන්නාරම



ප:ලි - මේ ලිපිය කොටන්න කියලා හිතට ආවේ අවන්හල බ්ලොග් එක ලියන මහෙෂ්ගෙ ලිපියක් දැකලා.

ෆොටෝ වල නම් කොලිටිය වගේම, ඈන්ගල් උනත් අවුල් කියලා පිලිගන්නවා.

පලවෙනි කාරණයට ස්තූති වෙන ගමන් දෙවැනි කාරණයට සමාව භාජනය කරනවා.


48 comments:

  1. නියමයි. තව සැරයක් හීමීට කියවන්න ඕනෙ රසවිඳින්න. ඉතුරු කොටසත් ලියන්න. නෙලුම් කොලේ බත් ගැන ලියපු එක හොඳයි. පිංතූරයකුත් තිබ්බා නං.......🤭. යාපනේ කෑම, අයිස්ක්‍රීම් ගැනත් ලියනවද?🙏

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සො...ඉතිරි කෑල්ලත් ලියන්නං...මයි සංචාර කියලා අළුත් ලේබලයකුත් පටන් ගත්තා මේ වගේ ඒවා ඉස්සරාටත් ලියන්න හිතාගෙනම..
      රඹෑව පහු කරාම හම්බුවෙන නෙළුම් කොලේ කියන්නේ ඒපැත්තට යන කාගෙත් හිත ගත්ත කෑම කන්න පුලුවන් තැනක්...අපි ඔතැනට යන්න ගත්තේ 2012 දී විතර.එතකොට ඒක පොඩි මඩුවක් වගේ තැනක්...අයිතිකාරයා උනේ හමුදාවේ ඉදලා අයින් උන තරුණයෙක්...එයාගෙ උත්සහයත් එක්ක එතැන හොදට දියුණු උනා. අපි අන්තිමට එන කාලේ පිටි පස්සෙන් බිල්ඩිමකුත් හදාගෙන ආවා. ඒත් ඒ තරුණයා ජීවිතයෙන් සමුගත්ත බවක් පහු කාලෙදි දැන ගන්න ලැබුනා... අවාසනාවකට දැන් කඩේ වැහිලා ගිහිල්ලා....ඩුප්ලිකේට් නෙලුම් කොල කඩ කීපයක්ම ඔය අතර තියෙනවා. ඒවා ඒ කාලෙත් තිබ්බා. අර කොලිටිය නම් නෑ...
      කෑම ගත්ත තැන පින්තූර නම් නෑ...හැබැයි අර රොටී නම් හදලා දුන්නේ රත්වෙච්චි ගලක් උඩ...
      යාපනේ ගිහිල්ලා එතැනින් මුලතිව් ගියා හදපු පාරයි පාලම් ටිකයි ආයෙ බලා ගන්න.. මුලතිව් වලින් හබරණ..

      Delete
  2. හොඳ ගමන් විස්තරයක්. //කාරණය ඇවිල්ලා මන්නාරම දූපත්, ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් පැවතීම සහ හොර බඩු ජාවාරම// අර ප්‍රභාකරන් තරුණ මහතා කාලේ මෙතනින් තමා වැඩ පටන් ගත්තේ කියල තමයි ඉතිහාසය කියන්නේ. ආයි අවොත් ඔය පැත්තෙන් දැන් යන්නම් ඕනේ කියන අදහස ආව

    ReplyDelete
    Replies
    1. මං දන්න විදිහට නම් ප්‍රබාකරන්ගේ ගම යාපනේ වැල්වැට්ටිතුරේ..මම ඒ ගමට ගිහිල්ලත් තියෙනවා. වැල්වැටිටිතුරේ කියන්නෙත් හොරබඩු ජාවාරමට ප්‍රසිද්ධ තැනක් තමයි. හැබැයි ප්‍රබාකරන්ගේ පවුල හොර බඩු ජාවාරමට සම්බන්ධයි කියලා අහලා නෑ. මොකද ප්‍රබාකරන්ගේ තාත්තා රජයේ සේවකයෙක්.

      තලෙයි මන්නාරම සහ ඉන්දියාවේ ධනුශ්කොන්ඩි අතර දුර කිමි 20 ක් විතර. තලෙයිමන්නාරමේ ඉන්නේ හොදට මුහුදේ පීනන්න පුලුවන් කට්ටිය්. කතාවක් තියෙනව ඉස්සර දෙමල තරුණයෝ හැන්දෑවට තලෙයිමාන්නරමෙන් පීනලා ගිහිල්ලා ධනුශ්කොන්ඩි වලට ගිහිල්ලා දෙමල ෆිල්ම් බලලා ආයෙ උදේ වෙනකොට එනවා කියලා.

      මේ කතාව ඇත්තක් කියලා, මට මාත් එක්ක වැඩකරපු දෙමල, මන්නාරමේ හිටපු මහත්තයෙක් කියලා තියෙනවා.

      Delete
    2. වැල්වැටිතුරේ යන්න කලින් ප්‍රභාකරන් භෞතිස්ම වුනේ මෙහෙදී කියල තමා කියන්නේ. තාත්ත ගේ කතාව ඇත්ත. අර මම කියපු යාළුවොත් බෝට්ටුවේ මගක් දුර ගිහින් ඉන්දියාවේ ෆිල්ම්ස් බලල ඇවිත් තියනවා. එයාල කියන විධිහට මගක් හරියට ගියහම පොඩි දුපත්වගේ අහුවෙනවලු. එක පාර පීනලා යන්න ඕනේ නැහැ. මට හිතෙන්නේ අර ගල් වැටිය වෙන්න ඇති.

      Delete
    3. අජිත් හැබැයි ඔබ කියන එකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා...ඒ තලෙයිමන්නාරම සම්බන්ධයෙන් නෙමේ....වැල්වැටිට්තුරේ සම්බන්ධයක්...වැල්වැට්ටිතුරේ හොර බඩු ජාවාරමට ගොඩක් ප්‍රසිද්ධ නිසා, ආමි එක නවසිය පනස් ගනං වල ඉදලම වැල්වැට්ටිතුරේ හමුදා කදවුරක් පවත්වාගෙන යනවා හොර බඩු ජාවාරම මැඩලීමේ අදහසින්. වැල්වැටිටිතුරේ ගොඩ දෙනෙක් හොර බඩු ජාවාරම ජීවන වෘතිය කර ගෙන හිටපු නිසා මේ ගොල්ලො මේ කෑම්ප් එකටත් , ආමි එකටත් ගොඩක් විරුද්ධව සහ තරහෙන් ඉදලා තියෙනේ...ප්‍රභාකරන තරුණ කාලේ ඉදන් හැදිලා තියෙන්නෙ මේ පරිසරයෙ නිසා ආන්ඩු විරෝදය, ආමි විරෝධය පොඩි කාලේ ඉදන්ම ප්‍රභාකරන්ගේ ඔලුවේ වැඩ කලා කියලා ඩීබීඑස් ජෙයරාජ්ගේ සටහනක තියෙනවා..

      Delete
    4. නියම සාකච්චාවක්. හුඟක් දේවල් දැණගත්තා.👍

      Delete
    5. මන්නාරමේ ඉදන් ප්‍රභාකරන්ගේ ළමා කාලේටම ගියා...

      Delete
    6. මචං වැල්වැටිතුරේ ප්‍රභාකරන් හොරබඩු ජාවාරම කළා කියල මම දන්නවා. නමුත් මම කීවේ බෞතිස්ම වුනේ කියල. ඒ කියන්නේ මෑන් අත්පොත අල්ලලා තියෙන්නේ මන්නාරමදී. මට කීවේ ආරක්ෂක අංශයේ කෙනෙක් අසූ ගණන්වල. එතකොට ප්‍රභාකරන් එච්චරම පොරක් නෙමේ. දුරෙයිඅප්පා මරපු එකට පොලිසියට අවශ්‍යව සිටි කෙනෙක්. ප්‍රභා ගේ ටැමිල් නිව් ටයිගර්ස් එක හදන්න කලින් හිටපු ගෘප් එක සල්ලි හම්බ කරලා තියන්ව් අමන්නරමේ හොරබඩු වලින්. වැල්වැටිතුරේ පටන් ගණන්කොට ප්‍රභාකරන් නිව් ටයිගර්ස් එක හදල ඉවරයි. කලින් ගෘප් එක රන් කලේ කුට්ටිමනී. ඒකට සල්ලි හෙව්වේ හොරබඩු ජාවාරම් වලින්.

      Delete
    7. ස්තූතියි අජිත්....මම රිෆර් කලේ ඩිබීඑස් ජෙයරාජ්ගේ මේ ලිපිය...

      https://www.dailymirror.lk/article/life-and-times-of-tiger-supremo-veluppillai-prabhakaran-57129.html

      ඒකේ කොතැනකවත් ප්‍රභාකරන් මන්නාරම් පැත්තේ ගත කාලා කියලා නෑ...ප්‍රභාකරන්ගේ මුලු හිස්ටරිම , ජෙයරාජ් ලියපු ලිපි ඕනේ තරම් අන්තර් ජාලේ තියෙනවා. දොරේඅප්පාගේ ඝාතනයෙන් පසු ( රු150ට ගත්ත පිස්ටල් එකකින්) ප්‍රභාකරන්ව පොලිසීයෙන් හොයන්න ගන්න කොට ප්‍රභාකරන තමිල්නාඩුවට පැනගෙන තියෙනවා.

      Delete
    8. මචෝ මම ඔය ජෙයරාජ් ගේ ලිපි කියවල තියනව යුද්ධ කාලේ ඕන තරම්. පොරගේ වෙනම වෙබ්සයිට් එකකුත් තිබුනනේ. ඉක්බාල් අතාස් එක්ක හරි හරියට ලීවේ. ඔය ලිපියේ ප්‍රභා අවුරු 14 - 15 ගෙරින් පැනල ගිහින් කරපුව ලියල නැහැ. පොඩ්ඩක් වීරයෙක් කරලා ලියල තියෙන්නේ. මම කියන කතාව වැඩි දෙනෙක් දන්නා දෙයක් නෙමේ. මම හිතන්නේ නැහැ ජෙයරාජ් වුනත් දන්නවා කියල. පොර ලිව්වේ අනිත් අයගෙන් අහලානේ.

      Delete
    9. ඕකේ අජිත් ඔයා ඔච්චරම කියන හින්දා පිලිගන්නම්කෝ...ජෙයරාජ්ලා ඔව්වා ලිව්වේ ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්න කාලෙනෙ..ප්‍රහාකරන් හොර බඩු ජාවාරම්කාරයෙක් කියන්නත් එයාව අදහන අය කැමති නෑනේ...ජෙයරාජ්ලා ඕවා ලියන්නේ දෙපැත්තෙන්ම තුවක්කු ඔලුවට එල්ල වෙලා තියෙන කොටනේ....ඒහෙම හිතුවොත් ප්‍රභාකරන්ගේ ජීවීත කථාවෙ ඔක්කොම ලියලා නෑ කියලා හිතන්න පුලුවන් ...බට් හූ නෝව්ස්...

      Delete
    10. 53 ඩිවිශන් එකේ වර්තමාන ඩිව් කමාන්ඩර් මගේ කසින්.. ඊයේ මම එයත් එක්ක පොඩි චැට් එකක් දැම්මා...53 ඩිව් එක බේස් වෙලා ඉන්නේ මන්නාරමේ... හමුදා මුරපොල දාලා තියෙන්නේ මෙතැනින් විශාල වශයෙන් කේරල ගංජා, අයිස් රට ඇතුලට එන එක නවත්වන්න...මන්නාරමේ මුස්ලිම් කට්ටිය මේ මුරපොල අයින් කරන්න මාර ගේමක් දෙනවා.

      Delete
    11. ඔයාගේ කසින් ගැනත් කීව නිසා මම කියන්නම්. ප්‍රභාව සෙට් එකක් එක්ක පොඩි කාලේ අල්ලපු විස්තරේ මන්නාරම පොලිසියේ හෝ කොළඹ සීඅයිඩි එකේ තිබ්බ හෝ තවම තියනවා. ඒවා ෆයිල් කරපු අන්කල් මගේ යාළුවෙක් ගේ තාත්ත. මම අනුමාන කරනව ටෙලෝ එකේ 500 විතර යාපනේ මැද වෙඩි තියල මරන්නත් එක හේතුවක් කියල ඒක . ප්‍රභා සැක කරලා තියනවා ටෙලෝ ඉන්න එවුන් SF වලට ඔත්තු දෙනවා කියල.මම දන්නා විධිහට ටෙලෝ මුල් කණ්ඩායම තමා හොරබඩු ගංජා ජාවාරම් මුලින්ම කලේ. පොලිසියෙන් නිදහස් කලේ එක්කෝ අඩු වයස නිසා. නැත්නම් ප්‍රභාගේ තාත්ත පුල් එකක් අදින්න ඇති. අනික ඔයා කිව වගේ ඒ අතීතය වැඩිය දෙමල පැත්තෙන් ලියන්නේ නැහැ.

      Delete
    12. ටෙලෝ එවුන්ව මැරුවේ කොටි - අමතක වුනා ලියන්න.

      Delete
  3. යුද්ධය ඉවර වුණු කිට්ටුව එක දිනෙක
    අපිත් ගියා මන්නාරම trip එකක
    ආයෙම ගියා සේ දැනුණා ඒ දෙසක
    මයියෝ අගෙයි, ලියහන් 'සංචාර දෙක'

    ReplyDelete
    Replies
    1. ලිව්වොත් නරකද
      ඒ ගිය ගමනත්
      අනෙක් කථා වගේ
      රහකරලා....

      Delete
    2. අපොයි අපොයි ඔහෙ දාන්න යන ලෙඩ
      ඒ ගමනේදී වුණානෙ හරි වැඩ
      විස්තර ලියන්න තිබ්බෙත් නැහැ ඉඩ
      නිකම්ම ලිව්වොත් හොම්බෙන් යන වැඩ

      මයියෝ, මතකෙන් විතරක්ම ඒ වගෙ ගමනක් ගැන ලියන්න බැහැනෙ මහත්තයෝ.
      අපි ගියේ විල්පත්තුව හරහා තියෙන පාරක. පාර යටවෙලා තිබ්බොත් යන්න බෑ. හවසට පාර වහනවා.

      මඩු පල්ලි ගියාට පස්සේ අපේ දැනමුත්තෙක් ගූගල් අක්කාගෙන් පාර අහගෙන ඉස්සර වුණා. මාත් හිටියේ ඒ වාහනේ. යනවා- යනවා කෙළවරක් නැහැ. අම්මෝ- අනිත් වාහනේ උදවියගෙන් හා අපේ ගොඩක් සගයන්ගෙන් කියවෙච්ච දේවල්! ගෑනු පරානයක් හිටියා නං වාහනෙන් බහින්න කලින් එයාව ගැබ්බර වෙනවාමයි.

      අපේ දැනමුත්තා P අකුරෙන් පටන් ගන්න නගරයක් වෙනුවට ඒ අකුරෙන්ම පටන් ග්ගනෙන වෙන නගරයක නමක් ගහලා. අන්තිමේදී අපි ගිහිං තිබ්බේ ලංකාවේ අනිත් පැත්තට. ප්‍රභාහරන්ගේ ගෙවල්- බංකර- සබ්මැරීන්- සයිකල් සොහොන වගේ දේවල් වන්දනා කරගෙනයි ආපහු ආවේ. එව්වා කොහොමෙයි මයියෝ නම්ගම් නැතිව ලියන්නේ?

      Delete
    3. ශුවර් එකටම පූනරීන් වෙනුවට පරන්තන් ගහලා යන්න ඇත්තේ...පුනරීන් යන්නේ මන්නාරම හරහා උඩහට...ඒත් පරන්තන් කියන්නේ ඒ 9 පාරේ තියෙන්නේ..පරන්තන් ඉදලා මුලතිව්, පුදුකුඩුඉරිප්පු වලට,, ඒ කියන්නේ ප්‍රබාකරන්ගේ බංකර්වලට ලඟයි. ලගයි කියන්නේ ඉතින් ඒ පැත්තෙ හැටියට ලගයි

      මඩු පල්ලියේ ඉදන් උතුරට උඅනකොට විල්පාත්තුව අහුවෙන්නේ නෑ...විල්පත්තුව තියෙන්නේ පුත්තලමට උඩින් මන්නාරමට ගොඩක් යටින්...මං හිතන්නේ වෙන කැලයක් වෙන්න ඇති...යුද්ධේ ඉවර වෙච්චි අළුත ඔය ලයින් එකේ කිසිම පාරක යන්න බෑ...පාරවල් හැදිලා ඉවර වෙනකොට 2012-2014 වගේ උනා.. දැන්නම් පාරවල් වල ඇදලා යන්න පුලුවන්..


      නිදී ඔයාගේ කථාව ලියමු..ෆොටෝ ඕනේ නම් තැන් කියන්න මගෙ ගාව ඕනා තරම් ඇති....ප්‍රභාකරන්වත් දැකලා නැතුව ඇති සමහර තැන් නම්....ලියමු ලියමු ෆොටෝ දෙන්නම්

      Delete
    4. ස්තුතියි මයියෝ හරියටම අනුමාන කළාට! ඒ ගමන ගිය අයගෙන් බාගයක් විතර කට්ටිය එක්ක හෙට ත්‍රිකුණාමලේ යන්නය් ඉන්නේ, එතකොට ඉඩ තිබ්බොත් ඔය ගැන මතක අලුත් කර ගන්නන්.

      පුත්තලමේ ඉඳලා කෙලින්ම ගිහිං තමයි මන්නාරමට ගියේ. අතරමඟ ඉතාම දර්ශනීය හරියක හමුදා නිවස්න වගයක් තියෙනවා. ලොකු කජු වතු තිබුණා.

      බලමුකෝ, post එකක්වත් ලියා ගන්න. පස්සේ හරි. foto ඔයා ළඟ තියෙනවයි කිව්වනේ....

      Delete
    5. ආ මම මේ පාර ගැන අහලා තියෙනවා. ඒ කාලේ නාමල් විල්පත්තු මැදින් පාරක් හදනවා කියලා ලොකු විරෝධයක් ආවේ මේ පාර කාපට් කරලා හදන්න ගත්ත එක මගේ හිතේ.. මේ පාරේ යන්න බෑ....ගං වතුර කාලේට කොහොමත් බෑ මං අහලා තියෙන විදිහට...

      ඔයාගේ ගමන නම් ලියන්න ම ඕනේ එකක්..
      පුදුකුඩුඉරිප්පු. විශ්වමඩු මුලතිව් ෆොටෝ ඔනා එකක් මගේ ගාව ඇති. ඒවා දෙන්න පුලුවන්..පුත්තලම, විල්පත්තු කැලේ ඒවා ත් තියෙනවා...ඔය පාරේ ෆොටෝ නම් නෑ..ඒත් යාළුවො ගාව ඇති..හොයලා බලන්නම්

      Delete
    6. ඔයා මාව බිත්තියටම හේත්තු කරනවා නෙව මයියෝ!..

      Delete
    7. හ හා ලියමු නිදි...පාර වැරදිලා යන ඒව යන කොට කට්ට උනාට, පස්ස්සෙ ලියන කොට ආතල්

      Delete
  4. දෙපාරක්ම යාපනේ ගියාට මන්නාරමේ ගිහින් නෑනේ. පෝස්ට් දෙකේම පින්තූර සහ විස්තර බැලුවම ඉක්මනටම ඒ පැත්තෙ යන්න ආසාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වෙලාවට හැමෝම යාපනේ යන්නේ ඒ 9 පාර දිගේ...නමුත් මන්නාරම් පාරෙත් ගොඩක් දේවල් බලන්න තියෙනවා...

      Delete
  5. කියවන්න ආසාවෙන් හිටිය පෝස්ට් එකක්. මයියා මගේ ගම ( කුරුණෑගල ) අතෑරලානෙ ගිහින් තියෙන්නෙ...
    අපූරු චාරිකාවක්. ලස්සන සටහනක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අධිවේගී මාර්ගය හැදෙන්න කලින්නේ අපි මුලතිව් ගියේ...ඒ කාලේ උදේ 6ට කලින් කුරුණෑගල පහු කරේ නැත්තං ඉස්කෝල ට්‍රැෆික් එකට අහු වෙනවා..ඒ නිසා, කුරුණෑගල බයි පාස් කරලා මේ පාරේ තමයි අපි මුලතිව් අදින්නේ..මොනාද පැය 5 ට මුලතිව් කොළඹ ඉදලා... ඒ පුරුද්දට තමයි මේ පාරත් ගියේ.. ඒ උනාට මගෙ නෑදෑයො ගොඩක් ඉන්නවා කුරුණෑගල , ඉබ්බාගමුවේ, නිවාඩුවකට අනිවා කුරුණෑගල එනවා....දුමී කුරුණෑගල කොහෙද?

      Delete
    2. කුරුණෑගල මීගමු පාරෙ මල්කඩුවාව

      Delete
    3. ස්තූති දුමී..ඊලඟ නිවාඩුවට පුලුවන් නම් හම්බෙමු..කුරුණෑගල ආවම

      Delete
  6. මන්නාරමේ මස් රොටි නියමයි

    ReplyDelete
    Replies
    1. මන්නාරම ඉතින් සී ෆුඩ් කියලනේ හිතන් උන්නේ...මුස්ලිම් අය වැඩි හින්දා මස් නම් අඩුවක් වෙන්නත් බෑ තමයි...ප්‍රා ජේ ත් මේ ලයින් එක කවර් කලා එහෙනම්

      Delete
    2. ස්තූතියි බස්සො ලින්ක් එකට

      පද රචනය - සුමුදු වෙත්තසිංහ
      සංගිතය - සුනිල් දයානන්ද පෙරේරා මහතා

      වන්නි වනන්තරේ නපුරු යුධ ගිණි පුපුරයි///

      අම්මෝ ඒ කාලේ....

      Delete
  7. Replies
    1. ස්තූතියි උදය වැටට...

      Delete
  8. අගේ ඇති විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා ප්‍රසන්න

      Delete
  9. අගේ ඇති විස්තරයක්.//

    ReplyDelete
  10. මරු ගමන් විස්තරේ.. යාපනේ ඉතුරු ටික එනතුරු බලා සිටිමි

    ReplyDelete
  11. ස්තූතියි කෞශල්‍ය...යාපනේ නම් ගොඩක් දෙනෙක් ගිහිල්ලා තියෙනවා නේ...මම යාපනේ ඉදන් මුලතිව් ගියා හදපු පාර බලන්න..ඒ විස්තර ලියන්නම්

    ReplyDelete
  12. කියව්ව. හදිසියෙන් වුණත් කෙටියෙන් ලිව්වට කමා වෙන්ටෝන.
    මේකෙ දාන්න ඔ්න කමෙන්ටුව පෝස්ට් එකක් විදිහටම ඉස්සරහට දාන්නං.
    තෑන්ක්ස් අපිවත් මතක් කළාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්...ලියමු ලියමු එහෙනම්

      Delete
  13. එක පාරක් යාපනේ ගියා හෙල්ත් ක්ලිනික් එකක් කරන්න.එතකොට ඔය සංගුපිට්ටි පාලම උඩ ටිකක් වෙලා නැවතිලා උන්නා මතකයි.ලංකාවේ ඉන්න කාලේ මන්නාරම් දුපතට යන්න ආසාවෙන් උන්නට ඒක බැරිඋනා.

    ReplyDelete
    Replies
    1. යාපනේ යන කොට රෑ උන හින්දා සංගුපිඩ්ඩි පාලමේ ලස්සන බලන්න බැරි උනා.හැබැයි දවසකට පස්සේ උදෙන්ම එතැනට ආවා.පුදුම ලස්සනක් තිබ්බේ උදේ පාන්දර..

      Delete
  14. මන්නාරම මතක නවසිය හැට ගණන්වල ගමන් නිසා. ඉන්පස්සේ නම් යන්න ලැබිලා නැහැ. තුති පින්තූරවලට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්සිරි...හැට ගනන් කියන්නේ යුද්ධෙ පටන් ගන්නත් ගොඩක් කලින්නේ...මම නම් ඉපදිලත් නෑ... දැන් ගියොත් ඔබට එහි විශාල වෙනසක් පෙනේවී...

      Delete

2222