පසුගිය දවසක විසිරි සිහින ලියන බ්ලොග් සහෝදරිය තමන් වෙසෙන එංගලන්තයේ පුස්තකාලෙකට ගිය විස්තරයක් ලියලා තිබ්බා. මේ සටහන කියෙව්වම, මටත් ලඟ තියෙන පුස්තකාලෙකට යන්න ඕනේ කියන අදහස ඔළුවෙ පැලවුනා..
පොඩි කාලේ, මම ජීවත් උන ගම්පහ ප්‍රදේශයේ පුස්තකාලය තිබ්බේ අපේ ගේ ඉස්සරාම. පාර පැනලා යන එක විතරයි තිබ්බේ. ගම්පහ පුස්තකාලයේ ගොඩනැගිල්ලේ තට්ටු දෙකක් තිබ්බා. යට තට්ටුවේ තිබ්බේ පත්තර අංශය. උඩ තට්ටුවේ කියවන්න දෙන පොතුත්, පාඩම් කරන අයට අවශ්‍ය මේසත් දාලා තිබ්බා. පොඩි කාලෙදිම මම මෙතැනට සෙට් උනේ පත්තර කියවන්න. චිත්‍රකථා පත්තර වල ඉදන් ඉරිදා පත්තර, කාන්තා පත්තර, සඟරා ආදී හැමදෙයක්ම කියෙව්වෙ ඔතැනින්. 'බිරිද' වගේ කාන්තා පත්තර උනත් ඒ දවස් වල කියෙව්වෙ ඔතැනින්..කොට කලිසමක් ගහගෙන ඒ වගේ පත්තර කියවන කොට පොඩි ලැජ්ජාවක් වගේ ආවත්, ඇරියේ නෑ.. ටිකක් ලොකු වෙන කොට ලයිබ්‍රියට බැදිලා උඩ තට්ටුවට ගිහිල්ලා පොත් ගන්න පුරුදු උනා. ටික දවසක් යන කොට කියවන්න කියලා පොතක් ඉතිරිවෙන්නෙ නැති ගානටම කියෙව්වා.
කොහොම හරි ඒලෙවල් කරන කාලෙදිම වගේ මේ පුස්තකාල කෙරුවාව පොඩ්ඩ පොඩ්ඩ අතහැරිලා නැතිවෙලාම වගේ ගියා.
ගම්පහ පුස්ත්කාල බිල්ඩිම තමයි වම් අත පැත්තෙන් තියෙන්නෙ...පොඩ්ඩක් ගස් වලට වැහිලා...දකුණු අත පැත්තේ තියෙන්නේ ගම්පහ නගර සභා බිල්ඩිම |
ආයේ වතාවක් මගේ ඕනෑ කමට කියලා පුස්තකාලෙකට සෙට් උනේ මම කොලඹ ජීවත් වෙන්න ගත්තට පස්සෙ. 2016 කාලෙදි විතර මම බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රියට බැදුණා. මේක ලයිබ්‍රියක් විතරක් නෙවෙ. ලයිබ්‍රිය හා බැදිච්චි සංස්කෘතියක් වගේම ඒ ආශ්‍රිතව කෙරෙන විවිධ වැඩසටහන් තියෙන තැනක්. ඒ වගේම ඔන්ලයින් ඉදගෙන පොත් තෝරන්න, පොත් වෙන්කරලා තබා ගන්න පුලුවන්, තරමක් තාක්ශණය භාවිතා වෙන තැනක්. මේකේ තියෙන්නේ ඉංග්‍රීසී බාසාවෙන් ලියැවෙච්චි පොත් විතරයි. ඒ උනාට ඒ පොත් වල ලොකු විවිධත්වයක් තියෙනවා. නවකථා, ජිවීත කථා, දේශපාලන, කලා ආදී විවිධ මාතෘකා රාශියක් යටතේ පොත් වර්ග කර කියැවීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කොහොම හරි කොරෝනා වසංගතය පටන් ගත් විට මේ ලයිබ්‍රිය තමන්ගේ සාමාජිකයන් හට විවිධ සීමාවන් පැනවූවා. රට ලොක් ඩවුන් වීමත් සමග බ්‍රිටිශ් කවුන්සිලයත් සමග මගේ තිබ්බ සම්බන්ධකමුත් කෙමෙන් කෙමෙන් අඩුවෙලා ගියා.
මේ වගේ පොදු පුස්තකාල ඇරුණම මගේ වෘතීය ජීවීතයට සම්බන්ධ උන ඉංජිනේරූ ආයතනයේ පුස්තකාලය, මොරටුව කැම්පස් එකේ පුස්තකාලත්, ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවියේ පුස්තකාලයත් , මා වරින් වර පරිහරණය කරලා තියෙනවා..
විසිරි සිහින බ්ලොග් එක කියෙව්වට පස්සෙ මම දැන් ජීවත් වන ප්‍රදේශයේ තියෙන පුස්තකාල මොනවාදැයි කියලා සෙවීමේ ආශාවක් මට ඇතිඋනා. ඊයේ සෙනසුරාදා නිවාඩු දවසේ මම අන්තර්ජාලේ මේ ගැන පොඩ්ඩක් සෙවීමට කාළය වැය කලා. බලන් ගියාම මම ජීවත් වෙන ප්‍රදේශයේ ලගම ලයිබ්‍රියක් තියෙනවා. මම ඉතින් ලක ලෑස්ති වෙලා ලයිබ්‍රියට ගියේ සාමාජිකත්වය ගන්න හිතා ගෙන.
අයර්ලන්තයේ බිශොප්ටවුන් පුස්ථකාලය |
අයර්ලන්තයේ මං ජීවත් වෙන ප්‍රාන්තයට අයිති, පුස්තකාල කීපයක් තැනින් තැන පිහිටලා තියෙනවා..ඒ එක තැනකින් සාමාජිකත්වය ගත්තම අනෙක් පුස්තකාලවලටත් එම සාමාජිකත්වය වලංගු වෙනවා.
සාමාජිකත්වය සම්බන්ධයෙන් තියෙන හොදම දේ නම් මේ පුස්තකාල සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබීමයි. 'යෝ ටැක්ස් මනී ඇට් වර්ක්' කියන්නෙ ඉතින් මේන්න මේ වගේ වැඩ වලට තමයි. සාමාජිකත්වය ලබා ගන්න ඕනේ උනේ මගේ පදිංචිය තහවුරු කරන මොකක් හරි ලියැවිල්ලක් විතරයි. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක ඒ වැඩේට හොදටම ප්‍රමාණවත් උනා. කවුන්ටරයේ හිටපු මහත්මියට මගේ අවශ්‍යතාවය කිව්වට පස්සේ පොඩි ෆෝර්ම් එකක් පුරවන්න දීලා වැඩි වෙලාවක් ගන්නෙ නැතුවම මට සාමාජික කාඩ්පත ලබා දුන්නා.
මගේ ලයිබ්‍රි මෙම්බර්ශිප් කාඩ් එක..මේක පිටිපස්සේ මගෙ නම ගහලා බාර් කෝඩ් එකක් තියෙනවා. |
මේ ලයිබ්‍රියේ භාවිතා වන තාක්ෂණය ගත්තොත් , ඒක ලංකාවේ බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රියේ තිබ්බ එක වගේම තමයි. පොතක් ලයිබ්‍රියෙන් අරගත්තට පස්සෙ ඒක එලියට ගෙනියන්න කලින් ස්වංක්‍රීය ස්කෑන් යන්ත්‍රය පාවිච්චි කරලා ස්කෑන් කරගන්න ඕනේ.
පොත් එලියට ගෙනි යන්න කලින් මේ යන්ත්‍රයෙන් ස්කෑන් කර ගන්න ඕනේ. |
අන්තර්ජාල සහ කොම්පියුටර් පහසුකම සලසා තිබෙන අයුරු |
ලංකාවේ බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රි එක වගේම ලමයින් සදහා වෙනම අංශයක් මේකේත් තිබ්බා. දෙමාව්පියන්ගේ සාමාජික කාඩ් පතෙන්ම ලමයින්ටත් පොත් ගන්න පුලුවන්.
පුස්තකාලයට ඇතුලු වෙන තැන..බෑග් චෙක් කරන්න, කවුරුත් නෑ...නිදහසේ ඇතුලට එන්න පුලුවන්...ඉස්සරහෙන්ම පේන්න තියෙන්නේ ලමයින්ට වෙන් කරපු සෙක්ශන් එක. |
හැබැයි බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රි එකේ තරම පොත් හා සඟරා වල ලොකු විවිධත්වයක් නම් මේ ලයිබ්‍රි එකේ තිබ්බෙ නෑ. ඔක්කොම පොත් වගේ නවකථා තමයි තිබ්බේ. නොන් ෆික්ශන් කියන කැටගරියට වැටෙන පොත් තිබ්බෙම නැති තරම්...
තව මට නුහුරු දෙයක් තමයි ඔඩියෝ බුක්ස්. අපි ඉතින් පොත් කියවනවා මිසක් පොත් අහන්න යන්නේ නෑනෙ. හැබැයි රාක්ක පහක හයක වගේ ඔඩියො බුක්ස් කියලා, දෘඩ ප්ලාස්ටික් කවර ඇතුලේ දාලා තිබ්බ සීඩී තැටි වගේ දාලා තිබ්බා. නාකි වයසක් උන්දැලා දෙතුන් දෙනෙකුත් එතැනින් ඒවා අරගන්නවා දැක්කම මට මගේ නොදැනීම ගැන පොඩි ලැජ්ජාවක් වගේ එකකුත් ආවා.
ඔඩියෝ පොත් තැන්පත් කරලා තියෙන රාක්ක |
මේ පුස්තකාල සාමාජිකත්වයත් එක්ක ලැබෙන ඔන්ලයින් ගිණුමෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්. ඊබුක්, විවිධාකාර සඟරා ආදිය තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදිහට සකසා ගන්න පුලුවන්. හෑන්ඩ් ෆෝන් එකෙන් පොත් බලන්න, මැගසින් බලන්න හදපු මොබයිල් ඇප් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.
මීට අමතරව, පුස්තකාලට අනුබද්ධිතව විවිධ වැඩසටහන් රාශියක් තියෙනවා . සාහිත්‍යය කව, භාවනා වැඩසටහන් වගේම චෙස් වැනි ක්‍රීඩා කටයුතු ද පුස්තකාලය ආශ්‍රිතව තියෙනවා . මම චෙස් ක්‍රීඩාව ගැන උනන්දු නිසා ඒ කවයට බැදෙන්න හිතා ගත්තත් , චෙස් කවය තියෙන්නේ බදාදා හැන්දෑවේ සවස දෙකාමාරට. ඒ වෙලාවට මම වැඩ නිසා, ඒකට සහභාගි වෙන්න සිද්ධ වෙන්නෑ.
මේවිදිහට පුස්තකාලය හා සම්බන්ධ විවිධ ඉවෙන්ට්ස් නෝටිස් බෝඩ් එකක් තියෙනවා |
පුස්තකාලය ට සම්බන්ධ විවිධ වැඩසටහන් ගැන ඔවුන්ගේ වෙබ් අඩවියෙත් වෙනම සදහන් කර තියෙනවා .
කොහොමින් කොහොම හරි විසිරිසිහින සහෝදරියෙගේ බ්ලොග් පෝස්ට් එකක් නිසා මගේ ත් පුස්තකාල ඉත්තෑවා අවධි වී , මමත් අලුත් පුස්තකාක සාමාජිකයෙක් උනා. මේ පුස්තකාලයත් , ලංකාවේ බ්‍ර්ටීශ් කවුන්සලයේ පුස්තකාලයත් අතර තාක්ෂණික පැත්තේන් නම් ලොකු වෙනසක් නෑ. ඒත් ලංකාවේ බ්‍රිතාන්‍ය කවුසලයේ තියෙන පොත් වල විවිධත්වය වැඩි බව මට තේරිච්චි දෙයක්.
මේ සටහන කියවලා තවත් කවුරු හරි තමන්ගේ ලග තියෙන ලයිබ්‍රි එකට යන්න හිතුවොත්, කොච්චර හොදද කියලා මට හිතෙනවා.
හරිම අපූරුයි මයියෝ පෝස්ටුව
ReplyDeleteA to Z ලියලා ඇත අඩු නැතිව
මෙහෙ ගැන නං, කිව යුත්තේ නඩු ඇතිව
පොත පත නුහුරු අය වැඩිවෙයි- මොළ නැතිව
ඉතා කාර්‍යබහුල සතියක් ගෙවුනු නිසා උත්තර ලියන්න්න පරක්කු උනා නිදි..පොත පත කියවන අය නම් කොහෙත් වේගයෙන් අඩුවේගන යනවා තමයි..අපිට පොඩි කාලේ තිබ්බේ ටිවී එකයි රේඩියෝ එකයි විතයිනේ. ඒත් දැන් කාලේ ස්මාර්ට් ෆෝන් එක්ක පොතක් පතක් කියවන එක අඩු වෙලා..ඉස්සර මගේ ගාව උනත් මගේ වෘතියට සම්බන්ධ පොත් ගොඩක් රැස් කරන් තිබ්බා..ඒත් ඒවයේ පීඩිඑෆ් එක්ක ඔක්කොම කම්පියුටරේ ගබඩ වෙලා තියෙන හන්දා, භෞතිකව ඒවා තියා ගන්න අවශ්‍යතාවයක් දැන් නෑ..
Deleteඅපේ කවුන්සිලයේ දැන් විවිධ භාෂා පොත් අතර දැං සිංහල පොත් තියනවා.
ReplyDeleteඒකනම් බොහොම හොද දෙයක්...එහෙනම් පුස්තකාලයට සාමාජිකයන් ටිකක් වැඩි වෙන්න උනත් පුලුවන්...එහෙම උනොත් හොදයි..එතකොට ඒ සර්විස් එකට කට්ටිය පුරුදු වෙනවා...
Deleteමෙහේ පොදු පුස්තකාලත් බොහෝ දුරට ඔය වගේම තමයි. කෝවිඩ් වලින් පස්සේ යන එක අඩු වුනා. ඒ නිසා, දැන් 3D මුද්‍රණ යන්ත්‍ර තිබෙනවාද කියා දන්නේ නැහැ. වසර දෙක තුනකට කලින්නම් තිබුණේ නැහැ. අනෙක් වෙනස non-fiction පොත්ද විශාල ප්‍රමාණයක් තිබීම. හැබැයි ඒවා තිබෙන්නේ වෙනම කොටසක. ඔබ ගියේ ඔබේ පුස්තකාලයේ fiction අංශයටද දන්නේ නැහැ. ඒ වගේම, ළමා හා වැඩිහිටි අංශ දෙකට අමතරව අතරමැදි teenager / young adult කොටසක් වෙනම තිබෙනවා. ඩීවීඩී/බ්ලූරේ අංශයකුත් තිබෙනවා. අපි අවස්ථා කිහිපයකම පදිංචිය වෙනස් කළා. අලුත් තැනකට ගියාට පස්සේ පොදු පුස්තකාලය හොයා ගන්න එක මුලින්ම කරන දෙයක්. විශේෂයෙන්ම දරුවන් කුඩා කාලයේදී ඔවුන් සඳහා විවිධ වැඩ සටහන් තිබෙනවා. ග්‍රීෂ්ම කාලය එද්දී වෙනම රාක්කයක නොමිලේ දෙන එළවලු හා මල් ඇට තිබෙනවා. තව ටික දවසකින් ගියොත් ගන්න පුළුවන් වෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඉකෝන් එකතු කිරීමට...නොන් ෆික්ශන් පොත් නැති වෙන කොට මටත් හිතුනා මම ෆික්ශන් කොටසක හිර වෙලා ඉන්නවා කියලා..ඒ නිසා මම හොයලා බැලුවා...,මගේ ඔන්ලයින් ගිණුමෙන් හොයලා බැලුවා...නොන් ෆික්ශන් කියලා වර්ග කරපු පොත් ගොඩක් තිබ්බට ඒවත් ගොඩක් නව කතා වගේ තමයි...කෙලින්ම දේශපාලන, ඉතිහාසය, ආර්ථිකය ගැන වගේ ලියැවෙච්චි පොත් අඩුයි...ඒවාට මෙහෙ කට්ටියගේ උනන්දුවක් නැති හින්දා ඒවගේ පොත් දානවා අඩු වෙන්න පුලුවන්...සමර් එකට මෙහෙත් ඒ වගේ නොමිලේ දෙන මල් ඇට තියෙනවද කියලා නම් දන්නේ නෑ...ඒත් නොමිලේ දෙන් පොඩි බුක්ලට්ස් නම් තිබ්බා...ඔය ඩ්රයිවින් අනතුරු වලක්වගන්න වගේ මාතෘකා යටතේ ලියැවෙච්චි
Deleteස්තුතියි මයියා,
ReplyDeleteඔබගේ පුස්තකාල චාරිකාව ඔස්සේ මගේද පුස්තකාල හා සම්බන්ද මතකයේ ඈතට යන්නට හැකිවූවා. නගරයෙන් ඈත ගමේ ප්‍රාථමික පාසලේදී අපගේ පන්ති පුස්තකාල තිබුණා. අවුරුද්ද අවසාන වනවිට එහි පොත් සියල්ලම කියවූවා. ඊට පස්සේ අර් ධ නාගරික මධ්‍ය විද්‍යාලයයට ඇතුලත් වූ පසු (1950 ගනන් වලදී) සෑම සතියකටම පුස්තකාල දෙකෙක් කියවීම අනිවාර් ය කර තිබුණා. මේ නිසා Bright Story Readers පොත් කට්ටලයේ Primary සිට Senior දක්වා සියලුම පොත් කියවූවා. කොළඹ විශ්ව විද්‍යාලයයට ඇතුලත් වූ පසු මාද British Council පුස්තකාලයට බැඳුණා. 1960 කාලයේත් ඔබ සඳහන් කර තිබෙන බොහෝ පහසුකම් එහි තිබුණා. රැකියාව කරද්දී නම් Reader's Digest, National Geographic වගේ මාසික කියවූවා මිස වැඩිපුර කියවීමට කාලය මිඩංගු කිරීමට අවස්වථා ලැබුණේ නැහැ, විශ්‍රාම ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වනවිට මගේ පොත් එකතුවෙන් විශාල කොටසක් කළුතර බෝධිඥාන පුස්තකාලයට පරිත්‍යාග කළා. මා ආරම්භයේ සිටම බොහෝ කලක් එම පුස්තකාල සංවර් ධන කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළා.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අප සිටින Monash Council ප්‍රදේශයේ අග්‍රගණයේ පුස්තකාල ජාලයක් තිබෙනවා. මේ සියල්ල ශ්‍රී ලංකාවේ British Council පුස්තකාලයට දෙවෙනි නැහැ. දැන්නම් වැඩිපුර කියවීමට රුචියක් දක්වන්නේ Large Print ලෙස නම්කර තිබෙන Autobiographies වගේ පොත් තමයි.
අපුරූයි දයාරත්න මහත්මයා ඔබගේ පුස්තකාල අත්දැකීම...ඔබගේ පෞද්ගලික පුස්තකායල කළුතර බෝධ්ඥාණ සංගමයට ලබා දුන් බව ඇසීම සතුටක්..සමහර විට මේ ගැන ඔබර බ්ලොග් පෝස්ට් එකක්ම ලියන්න පුලුවන් වේවී..
Deleteමා මුලින්ම ගිය ගම්පහ ප්‍රාථමික ඉස්කෝලේ නම් පුස්තකාලයක් තිබ්බයි කියලා මතකයක් නෑ..ඒත් පහවසරෙන් පස්සෙ ගිය කොළඹ ඉස්කෝලේ නම ඉතා ප්‍රසිද්ධ පුස්තකාලයක් තිබ්බා..ඒත් ඒක එච්චර ලොකුවට මම පාවිච්චි කලයි කියන්න බෑ...මට මතකයි මම ඒ පුස්තකාලේ චෙස් ගැන ලියැවෙච් පොත් හොයනවා..මට හම්බ උනා එන් එම් පෙරේරා මහතාගේ පෞද්ගලික පුස්තකාලයෙන් අපේ ඉස්කෝලෙට පරිත්‍යාග කරපු පොතක්..ඒ ගැන විතරයි මට මතක...
ඒ ලෙවල් කරන කාලේ අපේ මැත්ස් සෙක්ශන් එකෙන් පුස්තකාලයක් අපි හැදුවා පන්ති කාමරයක්..ලමයි ම තමයි අපි ගාව තිබ්බ පොත් දාලා ඒක හැදුවේ...
අපූරු මතක සටහනක්. 👌🙏
ReplyDeleteමගේ පුස්තකාල මතකයත් අවදි වුනා. ඉස්සර පුස්තකාල වලින් ලැබුන දැනුම, දැන් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන්ම ලැබෙන නිසා මගේ පුස්තකාල කාඩ් එක අලුත් කරපු කාලයක් මතකවත් නෑ.
ඒක ඇත්ත බස්සා දැන් ඉන්ටර්නෙට් එකෙන් බලන එක පහසුයි...අනිත් එක්ක පොත් ගොඩක් තියන් ඉන්නවට වඩා හාඩ් ඩ්‍රයිව් එකේ පීඩීඑෆ් තියන්න ඉන්නවා කියන්නේ මුලු පුස්තකාලයක් අතේ ගෙනියනවා වගේ වැඩක්...අනිත් එක පීඩීඑෆ් පොත් තියන කොට තමන්ට ඕන දේ සර්ච් කරන්න හරි ලේසියිනේ...පොත පෙරලන්න දෙයක් නෑ...මං හිතන්නේ භෞතිකව පොත් පරිහරනය කරන එක තව ජෙනරේශන් දෙකකින් විතර නැති වෙලා යාවි
Deleteලංකාවේ පුස්තකාල කිහිපයකට සම්බන්ධ වී හිටියත් එංගලන්තයේ මම වැඩිය යන්නේ නැහැ. සාමාජිකත්වය නම් තියනව, ඒත් තියෙන පොත් ටික කියව ගන්න වෙලාවක් නැතිව ඉන්දෙද්දී පුස්තකාලයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිසා යන්නේ නැහැ. නැත්නම් ගේ ළඟම ඉතා හොඳ පුස්තකාලයක්ඔය වගේම තියනව.
ReplyDeleteහැබැයි මම නම් කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා...පොත් කියවන්නම් ඕනේ නෑ..පොත් රාක්ක මැද්දෙන් නිකං ඇවිදලා ආවත් පරණ් මතක අවදි වෙනවා...පුස්තකාල සංස්කෘතියත් දැන් වේගේන් වෙනස් වෙනවා...මට හිතෙනවා ඉස්සරාට තැපැලට වෙච්චි දේ මේකටත් වෙයි කියලා
Deleteමමත් ඉස්සර බ්‍රිටිෂ් කවුන්සිල් ගියා. ඒත් පහු කාලෙක ඒක පොත් වලට අඩු තැනක් දීලා වෙනත් දේවලට මුල් තැන දුන්නා. මගේ ගමනත් එහෙමම නතර උනා.
ReplyDeleteබ්‍රිටිශ් කවුන්සිල් ඉතින් පොත් විතරක්ම නෙමේ...එතැන වෙනම සංස්කෘතියක් තියෙනවා නේ....ඒ ඒ එවෙන්ට්ස් වලට උනත් සම්බන්ධ වෙන්න පුලුවන්..
Deleteපුස්තකාල හුරුව පාසල් කාලෙ තිබ්බත් එතනින් පස්සෙ නතරවුනා... ඒ කාලෙ සිහිපත් වුනා.
ReplyDeleteඔබේ අවසාන පැතුම ඉටුවෙන්න කියලා සුබ පතනවා මයියා.
ජයවේවා !!!
ස්තූතියි දුමී ...අපි කාටත් ජීවීතයේ එක එක දේවල් එක්ක කොච්චර දෙවල් මග ඇරෙනවද...පුස්තකාල කියන්නේ එයින් තවත් එක දෙයක් විතරයි කියලා මට හිතෙනවා.
Deleteඉස්සර බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රරි එක තිබුනේ ගාලු පාරෙ තිබුන බ්‍රිටිශ් හයි කමිශන් එකට එහායින් ස්විමින් ක්ලබ් එකට කිට්ටුව පරණ බිල්ඩිමක.
ReplyDeleteස්තූතියි ප්‍රා ජේ...ඒක මං දැනන් හිටියේ නෑ...මම යන්න එන්න ගත්තේ බ්‍රිටිශ් කවුන්සිල් එක දැන් තියෙන ස්ථානයට ආවට පස්සේ....මම මුලින්ම ගියේ 2009 දි විතර...
Deleteදැන් නම් බ්‍රිටිශ් හයි කමිශන් එක තියෙන්නෙත් කාලගුණ දෙපාර්තමේන්තුවට ගාව..අපේ ඉන්ජිනියරින් කවුන්සිල් එක ඉස්සරා.
ඇත්තෙන්ම ඒක අපූරු සටහනක්.මෙහෙත් මම දන්නා තරමින් පුස්තකාල සාමාජිකත්වය ලැබෙන්නේ නොමිලේ.අර ඔයා ලිව්ව අතිරේක පහසුකම් ඔක්කොම මෙහෙ පුස්තකාල වලිනුත් ලැබෙන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා
ReplyDeleteස්තූතියි විසිරි සිහින සහෝදරිය..ඔව් අන්තර්ජාතික මට්ටමේ තියෙන ඔක්කොම ලයිබ්‍රි වල එකම ස්ටෑන්ඩර්ස් තමයි ඇත්තේ..ලෝකේ කොහේ තිබ්බත්...
Deleteඅපූරු මතකයන් අවදි කරවන ලිපියක් මයියා. මම ඉතින් හින්ගල පාඨකයා නිසා ඔස්ට්‍රේලියාවට එනකොට මගේ ලංකාවෙ තිබුන පොඩි පුස්තකාලෙ මෙහෙ අරං ආවා!! ගෙවල් මාරු වෙනකොට තමයි ආතල් එක.. එක පාරක් මට මතකයි ගෙදර බඩු අදින්න (වැරදි අදහස් නොගන්න) ආපු බුවා පොත් පෙට්ටි දෙක තුනක් ලොරියට පටෝලා හතරවෙනි එකත් දැකල කිව්ව මල පැනල "mate you read a book then throw it away" කියල.
ReplyDelete