Wednesday 22 November 2023

ජූස්ලාගෙ කළු සින්දුව

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්....

By the rivers of Babylon

80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්‍රිය ඉංග්‍රීසී සින්දුවක්.  ඉංග්‍රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය ගායනා කලේ බොනිඑම්  ( BoneyM)සංගීත කණ්ඩායම. 





මේ සින්දුවත් ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා වගේ තමයි. හැබැයි මේක බයිලාවක් නෙවේ. ජෝන්ස්ගේ ගීත වල කියැවෙන්නෙ ඉතා දුක්බර, මිනිස්සු දවස් ගනන් වැලපුණ සිද්ධි. සමහර විට මිනිස්සු සිය ගනන් මිය ගිය ඒවා. ඒත් ඒ සිංදු වලට මිනිස්සු නටනවා. 
සයුර බලා බඳ ලෙලවා 
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං  කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා  
මරු තුරුලට අරං ගියා 
මුළු සිරිලක දුකෙහි ගිල්වලා 

බෝට්ටුවෙ ගිහින් ජිවිත ගණනාවක්  බිලි ගත්ත  සිද්ධියක් ගැන විස්තර කරන මේ සිංදුවට අපි කොච්චර නටලා ඇත්ද? මේක වගේම ජොන්ස් ගේ අනෙක් සිංදුත් තනිකරම ශෝකාලාප.

බයි ද රිවර්ස් ඔෆ් බෑබිලෝන්  සිංදුව ,බොනියම් කණ්ඩායම ෆුල් ජොලියේ  නටමින් ගායනා කලත්,80 දශකයේ පා(ර්)ටි වල නිතරම ඇහුන සිංදුවක් උනත් , සිංදුවේ තේරුම ඇවිල්ලා දුක්මුසු කථාවක් . 




මේ සිංදුවේ වචන වල තියෙන්නෙ යුදෙව් ජාතිකයන්ගෙ ශෝකාලාපයක්. වර්තමාන ඊශ්‍රායලය බිහි වෙන්නෙ කලින්, මැදපෙරදිග, ජෙරුසෙලමෙ  හිටපු යුදෙව්වන් ,  අතීතයේ වරින් වර බලවත් උනු අධිරාජ්‍යන් තමන්ගේ වහලුන් විදිහට තමන්ගෙ රටවලට ගෙනිච්චා.

ක්‍රිස්තූ පූර්ව 580 ගනන් වල දි, එකල බලවත් අධිරාජ්‍යක් උන බැබිලෝනියාව ජෙරුසලම ආක්‍රමණය කරලා එහි හිටපු  යුදෙව්වො තමන්ගේ වහල්ලු විදිහට බැබිලෝනීයාවට අරං යනවා. මේ සිද්ධිය , යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ එහෙමත් නැතිනම් පරණ තෙස්තමේන්තුවේ විස්තර වෙනවා. බොනිඑම්ලගේ මේ සිංදුවත්, හිබෲ බයිබලයේ සදහන් වෙන මේ සිද්ධිය පාදක කරගෙන ලියැවිච්චි එකක්.

By the rivers of Babylon
There we sat down
Yeah, we wept
When we remembered Zion

සිංදුවේ මුල කොටසින්ම කියැවෙන්නෙ බැබිලෝනියානු ගංඉවුරේ හිර කරන් ඉන්න යුදෙව්වන්ට තමන්ගේ රට,ගම් බිම් මතක් වී කදුළු වැටෙන ආකාරයයි. මෙහි සියෝන් (Zion) ලෙස හදුන්වන්නේ මෙකල ඊශ්‍රායලයටම තමයි. ඇත්තෙන්ම සියොන් කියන්නේ ජෙරුසලමේ තියෙන යුදෙව්වන්ගේ පූජනීය කදු ගැටයක් ආශ්‍රිත පෙදෙසක්. මේ වචනේ මූලික කරගෙනම තමයි (අන්තවාදී) යුදෙව් මතවාදයක් උන සියොනිසම් (Zionism) බිහිවෙන්නෙත්.

සිංදුවේ ඉතිරි කොටස් වලින් මේ කථාව තව තවත් විස්තර වෙනවා

When the wicked
Carried us away in captivity
Required from us a song
Now, how shall we sing the Lord's song
In a strange land?

දුෂ්ඨ මිනිස්සූ , යුදෙව්වන් උන අපිව හිර කරගරගෙන, ආගන්තුක රටක් ඉදන් අපේ දෙවියන් වෙනුවෙන් යාතිකා කරන්නේ කොහොමද? ඒ කොටසේ තේරූම ඒ වගේ එකක්...

පොඩි කාලේ අපේ කණට නිතර ඇසුනු මේ සිංදුව, යුදෙව්වන් වෙනුවෙන් ගැයුනු යුදෙව්වන්ගේ ශෝකාලාපයක් බව මම දැන ගන්නේ ගොඩක් පහු වෙලා.

හීබෲ බයිබලයෙන් වචන අරන් මේ සින්දුව හැදුනත්, ඇත්තටම මේක බොනියම්ලා අතට අහුවෙන්න කලින් ජැමෙයිකාවෙන් පටන් ගත්ත රස්තාෆාරි සින්දුවක්.1960 ගණන් වල රස්තාෆාරියන් කලාවත් එක්ක කල්ලන්ගේ නිදහස වෙනුවෙන් මේ ගීතය නිර්මාණය උනා. මේ ගීතයෙන් කියැවෙන පිටුවහල් කිරීම, වහල්භාවය සහ උත්තරීතර නිදහස කල්ලන්ගේ වහල්බාවයට එරෙහි නිදහස් සටන සමග හොදට පෑහුනා. 

රස්තා ලයින් එක අනුව මෙහි බැබිලෝනියාව කියන්නේ පීඩක බටහිර සුදු ජාතික රටවල්. මෙහි අවසානයේ Sing a song of freedom, brother! ( සහෝදරයනි,නිදහසේ ගීතය ගායනා කරමු....) යනුවෙන් හඬ ගා කීම තුලින් නිදහස වෙනුවෙන් එකතු වීම සංඛේතවත් කරනවා. 

ඒවගේම සින්දුවේ තුන් වෙනි වර්ස් එකත්  නිදහසේ තේමාවට භාවාත්මක හැගීමක් එකතු කරනවා. 

Let the words of our mouth
And the meditation of our heart
Be acceptable in thy sight here tonight

(අපේ වචන වලට ඉඩ දෙන්න...අපේ හදවතේ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න )

මේ ගීතය ගායනා කරන ජනප්‍රිය  බොනිඑම් (BoneyM) සංගීත කණ්ඩායම ගැනත් ගොඩක් රසකතා තියෙනවා.  කාන්තාවන් තුන් දෙනෙකුත්, එක පිරිමියෙකුගෙනුත් සමන්විත මේ කණ්ඩායමේ ඇත්තටම ගීත ගායනා කරලා තියෙන්නෙ දෙන්නයි.කණ්ඩායමේ සියල්ලන්ම කළු ජාතිකයන් උනත් , මෙය ජර්මනියෙන් බිහි උන, ජර්මන් සුද්දෙක් උන ෆ්‍රැන්ක් ෆේරියන් කියන සංගීත අධ්‍යක්ශකවරයට අයිති සංගීත කණ්ඩායමක්. 

බොනිඑම් කණ්ඩායම ගැන රස කතා ටික වෙන ලිපියකින් ලියන්නම්...

P:S-
1. සියොනිස්ට් ව්‍යාපාරය කියන්නේ යුදෙව්වන් වෙනුවෙන් වෙනම ජාතික රාජ්‍යක් ඇති කර ගන්න ඕනේ කියන මතවාදයට. මේ මතවාදය අනුව යමින් තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ මැදපෙරදිග ඊශ්‍රායලය බිහිවෙන්නෙ.
2.මේ තියෙන්නෙ යුදෙව්වන් ගැන මම මීට කලින් ලියපු පෝස්ට් එකක්...


3. මේ සින්දුවේ වචන වගේම, සින්දුවේ මූලාරම්බයත් දේශපාලනිකයි. මුල් කාලයේදී මෙය ජැමෙයිකා රජය තහනම් කරලත් තිබ්බා. ඒත් බොනියෙම්ලගේ ඩිස්කො සංගීතයත් සමග මෙය ඉතා ජනප්‍රිය උනා.  

Saturday 11 November 2023

බ්ලොගයක් ගැන හැඟීමක්

මෑතක් වනතුරුම මං  සිංහල බ්ලොග් කියෙව්වේ අඹ ගහ යට සින්ඩියෙන්.  ඒත්  පසුගිය ටිකේ, ටිකක් වැඩියෙන් සිංහල බ්ලොග් අතර ගැවසෙද්දි, මං තවත් අමතර සින්ඩි කීපයකට පුරුදු උනා. දැන් මම අඹ ගහයට සින්ඩියට අමතරව  මාතලන්, සදකඩපහණ සින්ඩිත් බලනවා.  

අළුත් සින්ඩි කීපයත් සමග වෙනදා ඇස නොගැටුනු අළුත්  නමුත් කාලයක් ලියැවෙච්චි ඉතා හොද බ්ලොග් කීපයක් අදුනා ගන්න මට පුලුවන් උනා. 

'ලන්කාප්‍රිකාවී - Sri Lankan African Angel'   කියන්නෙ, ඒ වගේ මට අලුතින් හම්බ වෙච්චි අළුත් බ්ලොග් එකක්. 

මෙයාගේ ලිපි නම් ටිකක් දිගයි. ඒත් හොද මාතෘකා ටච් කරන බවක් දැනෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන්  අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධවෙන ලමා වයසේ  හැඟීම් නොසලකා හැරීම ( Immortaional Neglegence) කියන්නේ ඒ ලමයා වැඩිහිටියෙක් උනාට පස්සෙත් බලපාන  සිද්ධියක්. 





මිනිහෙක්ගෙ හෝ ගෑණියෙක්ගේ පෞරුශය කියන්නෙ  පොඩි කාලේ තමන්ගේ  ජීවීතය ගැන කැඩපතක් . පසුකාලීන අත්දෑකීම් මත මිනිහෙක්ගේ පෞරුශය වෙනස් උනත් , සමහර දේවල් මිනිහගේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා. සමහර විට ඒව අපට නොපෙනුනත්, සමාජයේ අනිත් අයට පේනවා.

 වැඩිහිටියෙක් තුල සැඟවිලා තියෙන සමහර සෘණාත්මක ගතිගුණ වලට  හේතුව ඔහුගේ ලමා කාලයේ තිබ්බ  අඩුපාඩුවක් හේතු වෙන්න පුලුවන්. අඩුපාඩුව කියන්නෙ දෙමාව්පියන් අතින් සිද්ධ වෙචිචි ලමයගෙ  හැඟීම් වලට සංවේදී නොවීම.


මේ ගැන ඉතා විස්තරාත්මක ලිපියක් ලන්කාප්‍රිකාවී තමන්ගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. මේ සබ්ජෙක්ට්  ( Immortaional Neglegence) එක මට නම් අලුත්ම විශයක්. නමුත් තවතවත් ඉගෙන ගන්න ආසා හිතෙන පැත්තක්.

ඉතින් ලන්කාප්‍රිකාවී බ්ලොගය ගැන නොදන්න කවුරු හරි ඉන්නවනම්, මේ බ්ලොගයට ගොඩ වැදිලා , මේ ගැනත්, ඊට අමතරව වෙනත් විවිධ මාතෘකා ගැනත් ලියවෙච්චි රසවත් ලිපි වල රස විදින්න කියලා ආරාධනය කරනවා.  

ප:ලි- ලන්කාප්‍රිකාවී බ්ලොගයේ තියෙන්න ගොඩක් විවාද සම්පන්න මාතෘකා. ඒවගෙ සමහර අදහස් වලට මට එකඟ වෙන්න බෑ. ඒත් ඒ අදහස් කියවන්න මේ විරුද්ධ මත බාධාවක් කර ගන්න අවශ්‍ය නෑ කියලා මට හිතෙනවා.



 



Tuesday 7 November 2023

ෆ්‍රෙඩී ගැන කථාවක්...

සැබෑ ජීවිතය මෙයද? මෙය හුදෙක් ෆැන්ටසියක්ද?


Is this the real life? Is this just fantasy?Caught in a landslide, no escape from realityOpen your eyes, look up to the skies and seeI'm just a poor boy, I need no sympathyBecause I'm easy come, easy go, little high, little lowAny way the wind blows doesn't really matter to me, to me

මේක සිංදුවක්.... ඒ වගේම ෆිල්ම් එකක් ගැන කථාවක් .....


ගිය සුමානේ කම්මැලිකමේ නෙට්ෆ්ලික්ස් එක පීරමීන් ඉන්න කොට අහම්බෙන් මුණ ගැසුනු කථාවක්.  තිබ්බ එකම ගිණිකූරේන් සිගරට් එකක් පත්තුකර ගත්තා වගේ සතුටක් දැනුනේ.

2018, කොලඹදී,  මේ චිත්‍රපටිය ස්කොප් සිනමා ශාලාවල තිරගත වෙද්දි, ඒක මට මග ඇරුනා. චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා බලනවා නම්, කොහොමත් ලමයි කැමති චිත්‍රපටි තමයි බලන්න වෙන්නෙ. ඒ නිසා මේක කොහොමත් හෝල් එකකට ගිහිල්ලා බලන්න වෙන්නෑ. 

QUEEN  කියන්නේ හැමෝම දන්න, 70 -80 දශක වල බටහිර රොක් සංගීතය වෙනම ලෙවල් එකකට අරං ගිය සංගීත කණ්ඩායමක්. 

චිත්‍රපටියෙ නම  Bohemian Rhapsody (බොහීමියන් රැප්සොඩි_. ඒක කුඊන් (QEEN) බැන්ඩ් එක ගැන ලස්සන කථාවක්. 




"Bohemian Rhapsody" කියන්නේ ගොඩක් දෙනෙක් පිලිගන්න විදිහට   QUEENලගේ සිංදු අතරින් ඉහලින්ම වැජඹෙන සිංදුව. අර අග්‍රඵලය කියන්නේ. අන්න ඒක.මේක රොක්, බැලඩ්, ඔපේරා වැනි බටහිර සංගීත ශෛලීය කීපයක් ආශ්‍රිතව පත අට එකට හින්දලා ගත්ත සිංදුවක්. ඒ නිසාම  කණට නිතර ඇහෙන අනෙක් රොක් සිංදුවලට වඩා ඒක වෙනස්.

ඉතින් QUEEN බෑන්ඩ් එක ගැන හදපු චිත්‍රපටියට බොහීමියන් රැප්සොඩි  (Bohemian Rhapsody) කියන නම දාපු එක ගැන නම් අහන්න දෙයක් නෑ.  හැබැයි, කවුරුත් නොදන්න දේ තමයි ඒ සිංදුවට බොහීමියන් රැප්සොඩි කියලා නම දැම්මේ ඇයි කියලා? ඇත්තටම සිංදුව ලියපු ෆ්‍රෙඩී මර්කරිවත් කවදාවත් මේකට කෙලින් උත්තරයක් දීලා නෑ. 

ෆ්‍රෙඩී මර්කරි කියන්නේ කුඊන්  ( Queen)  බෑන්ඩ් එකේ ලීඩ් වෝකල්. ඒ කියන්නෙ ප්‍රධාන ගායකයා. ඒ වගේම බෑන්ඩ් එකේ පියානෝ වාදකයා. ෆ්‍රෙඩී අමතක කරලා කුඊන් ගැන කථා කරනවා කියන්නේ, අර්ජුණව හලලා 96 දී  ක්‍රිකට් ලෝක කුසලානය ගැන  කථා කරනවා වගේ වැඩක්. 

චිත්‍රපටියෙදි උනත් ඒක එහෙමයි. ඇත්තටම චිත්‍රපටිය හදලා තියෙන්නෙ ෆ්‍රෙඩී ගැනද නැත්තං කුඊන් බෑන්ඩ් එක ගැනද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මං දන්නෑ. ඒක හරියට කහමදය නැත්තං බිත්තර බුල්සයි එක බුල්සයි එකක් වෙනවද වගේ ප්‍රශ්ණයක්. 

මිනිහෙක්ගේ ශරීර අවයව හෑල්ලුවට ගන්න මං කැමති නෑ. ඒක හොද වැඩක් නෙමෙ. ඒත් ෆ්‍රෙඩී ගේ ඉස්සරාට ආපු බොල්ලෑ දත් ගැන නම් කථා නොකරම බෑ. මොකද ඒක එයාගේ අනන්‍යතාවයක්. මට  හිතන්නේ දත් වල බොල්ලෑ ගතියක් තිබ්බම හොදට ගායනා කරන්න පුලුවන් කියලා. දෝංකාරගතියක් ගේන කට හඩ, පැහැදිලි චචන උච්චාරණය, සප්තක පරාසය, මේ බොල්ලෑ දත් හින්දා වඩා හොදින් කරන්න පුලුවන් වෙනවා ඇති. ඉන්ද්‍රාණී පෙරේරා, කපුගේ වැනි ලංකාවේ ගායකයන්ගෙ උනත් මේ ලක්ශණ පේන්න තියෙනවා. මට උනත් හිතිලා තියෙනවා ඒ වගේ දත් කුට්ටමක් තිබ්බා නම් මටත්  ගීත ගායනය  පුලුවන් වෙන්න තිබ්බා කියලා. රෝහණ විජේවීරත් දේශපාලනය පැත්තක  තියලා ගායනයට යොමු උනා නම් හොද ගායකයෙක් වෙන්න තිබ්බා. එයාගෙත් තිබ්බේ බොල්ලෑ දත් කුට්ටමක්. එහෙම උනා නම් ඉතිහාසයත් වෙනස් වෙනවනේ.

බොල්ලෑ දත් කුට්ටම වගේම ෆ්‍රේඩීගේ බුරුසු රැවුලත් බොහොම ජනප්‍රිය එකක්. චිත්‍රපටිය තුලදි ෆ්‍රෙඩීගේ චරිතයට පණ පොවන රැමී මැලක් ඒ ආකාරයෙම රැවුලකින් හැඩ උනා. ඇත්තටම  රැමි ඒ චරිතය රඟපෑව කියනවා නම්, ඒක  බොරුවක්. ඔහු කලේ රඟපෑමක් නෙවේ, ෆ්‍රෙඩී මර්කරිට නැවත පණ දීමක්. ඒ තරම් ඔහු ඒ චරිතය තුල ජීවත් උනා.එහෙම කියන්න ෆ්‍රේඩිගේ ඇත්ත ජීවිතය ගැන මම දන්නෙ නෑ.ඒත් කුඊන්ගේ රසිකයෙක් හැටියට ෆ්රෙඩී ස්ටේජ් එකේ හැසිරෙන විදිහ ගැන මම ඕනතරම්  වීඩීයෝ වල දැකලා තියෙනවා. ඒ ඇක්ශන් ටික ඒ විදිහටම ගන්න රැමී මැලක්  Bohemian  Rapsody චිත්‍රපටිය තුල සමර්ථ  වෙලා තියෙනවා . 

ෆ්‍රේඩීගේ බාහිර රූපය විතරක් නෙවේ බෑන්ඩ් එකේ අනෙක් සමාජිකයන්ගේ පෙනුමද ඇත්තටම ඒ අකාරයෙන්ම ගලපන්න චිත්‍රපටි කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ ගැන ලකුණු සීයෙන් සීයම දෙන්න පුලුවන්. 


ඇත්ත ෆ්‍රෙඩී සහ ෆ්‍රෙඩීට රඟපාපු රැමී මැලක් 


ෆ්‍රේඩීට තිබ්බා පොඩි අනන්‍යයතා ප්‍රස්නයක්. ඒ ෆ්‍රේඩී ඔරිජිනල් සුද්දෙක් නොවන නිසා. ෆ්‍රෙඩීගේ දෙමව්පියන් ඉන්දියන් සාගරයේ පිහිටි සැන්සිබාර් දිවයිනේ සිට  එංගලන්තයට සංක්‍රමණය වෙච්චි කට්ටියක්. ෆ්‍රෙඩී පුංචි කාලේ හිටියේ සැන්සිබාර්වල. ඇත්තටම කියනව නම් ෆ්‍රෙඩී මර්කරි කියන්නේ එයා පස්සෙ කාලේ දාගත්ත නමක්. වේදීකාවට හරියන්න. එයාගේ දෙම්වපියන් දුන්න මුල නම ෆාරුක් බල්සාරා. ෆ්‍රෙඩීට තිබ්බ මේ අනන්‍යතා ප්‍රශ්ණය, ඉතා හොදින්, සියුම්ව  චිත්‍රපටිය ඇතුලේ නිරූපණය වෙනවා.

ෆ්‍රෙඩීගේ ලිංගික රුචියත් මේ වගේම අනන්‍යතා ගැටළුවක එක පැත්තක්. ෆ්‍රෙඩී අනෙක් අය වගේම තමන් ආදරය කරන ගෑණු ලමයව බදිනවා.ඒත් පසු කාලෙක මේ ආදරයෙන් අයින් වෙලා ඔහු සමලිංගිකයෙක් බවට පත්වෙනවා. ඒත් ඔහුගේ බිරිද, මේරී ඔස්ටින් ගැන තියෙන ආදරය වෙනස් වෙන්නෙ නෑ. ඔහු ඒ යාළුකම ලිංගික සම්බන්ධයකින් තොරව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. සමහර වෙලාවට අපට ඇහැක් තියෙනවා කියලා මතක් වෙන්නෙ ඇහැට රොඩ්ඩක් ගියාම. ඒ වගේ මේරී වෙන මනුස්සයෙක් හොයා ගත්තම තමයි ෆ්‍රෙඩීට මේරීගෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒත් ඇත්තටම ඔහු මේරීගෙන් වෙන්වෙලා ගත කරන ජීවීත පරිච්චේදයේදී, ඔහුගේ ජීවීතය අවුලෙන් අවුලට ගමන් කරනවා. ඒ ගමනේ අවසානයේදී ඔහුව ඒඩ්ස් රෝගය ඩැහැ ගන්නවා. අලි මදිවට කොටි කිව්වා වගේ මේ කාලයේදී ඔහු ක්වීන් බෑන්ඩ් එකෙනුත් වෙන් වෙනවා. ෆ්‍රෙඩී නැති කුඊන්  බෑන්ඩ් එකක් නෑ. චිත්‍රපටිය තුල මේ සිදූවීම් ලස්සනට පෙල ගස්සනවා.  


ෆ්‍රෙඩී සහ මේරී අතර තියෙන්නෙ ඉතා ගැඹුරු සම්බන්ධයක්. චිත්‍රපටිය තුල මේ ගැන ඉතාමත් සියුම්ව ඉස්මතු කර පෙන්වනවා.

ලිපිය ගොඩක් දිගට ඇදුනු නිසාත්, චිත්‍රපටිය සම්පූර්ණයෙන් විස්තර කිරීම එය බලන්න ඉන්න අයට කරන අසාධාරණයක් නිසාත්, මේ පෝස්ට් එක මේ හරියෙන් නවත්වන එක හොදයි. නමුත් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.  කුඊන් බෑන්ඩ් එකේ මෙන්ම බොහීමියන් රැප්සොඩි ෆිල්ම් එකෙත් කූඨ පාප්තිය වෙන්නෙ  1985  එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති ලයිව් එයිඩ් දැවැන්ත සංගීත සංදර්ශනය. 

මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබ්බේ , ඒ දවස් වල ඉතියෝපියාවේ පැවති සාගතයට  උත්තර දෙන්න සල්ලි හොයන්න.එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට සමගාමීව ඇමෙරිකාවෙ ෆිලඩෙප්ෆියා වලත් මේ ප්‍රසංගය සංවිධානය කලා. මේ ප්‍රසංගය  මුලු ලෝකය පුරා සජීවීව විකාශණය කලා.රටවල් 150 ක බිලියන 1.9 පමණ ජනතාවක් මේ ප්‍රසංගය සජීවීව නැරඹුවා.මෙය මානුශීය ආධාරයක් වෙනුවෙන් මුලු ලෝකයම සංගීතයත් එක්ක එකට හිට ගත්ත අවස්ථාවක් ලෙස ඉතිහාසගත වෙනවා.




කොච්චර අනෙක් ගායක ගායිකාවන්ගේ ගීත ඒ වේලිකාවේ එදා ඉදිරිපත් කලත්,  ෆ්‍රෙඩී ඇතුලු කුඊන් සංගීත කණ්ඩායම කල ඉදිරිපත් කිරීම  රොක් සංගීත කලාවේ උච්චතම අවස්ථාවක්. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කලින් යූටියුබ් එකට ගිහින්  Queen + Live Aid  කියලා සර්ච් කරලා ඒක බලලා ඉන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මම නම් දැනුත් ඒක කලා. 

ප:ලි - මගෙ නම් ආසම කුඊන්ලගෙ සිංදු ටික පිළිවෙලට
1. I Want to Break free
2. We Are the Champions
3. We Will Rock You
4. Radio Ga Ga




Saturday 28 October 2023

ඔරලෝසුව අතේ - මැග්නස් රජා ලොසේ

මැග්නස් කාර්ල්සන් කියන්නෙ වර්තමාන ලෝක චෙස්  ශූරයා. ඔහු පසුගිය අගෝස්තු මාසයේදී,  ඉන්දියාවේ ලාබාල චෙස් ක්‍රිඩකයෙක් උන ප්‍රග්ඥානන්දව පරාද කරමින්, තමන් සතුව පැවති චෙස් ලෝක කිරුල නැවත වතාවක්  රැක ගත්තා.

චෙස් ප්‍රේක්ශයන් අතර මැග්නස් කාර්ල්සන්ව පිලිගැනෙන්නෙ GOAT ( Great of All Time)  කෙනෙක් හැටියට. ඉතිහාසය තුල, ඔහු චෙස් ක්‍රීඩකයකු වාර්තා කල ඉහලම රේටින් එක ලබා ගෙන තියෙනවා. ඒ වගේම 2012 වසරේ සිට මේ දක්වාම පස්වතාවක් ලෝක ශූරතාවය තමන් සතු කරගෙන තිබෙනවා. චෙස් ක්‍රීඩා ඉතිහාසය තුල සුප්‍රසිද්ධ ගැරී කැස්පරොව්, ඇන්ටොලි කාර්පොව්, බොබී ෆිශර් වැනි ක්‍රීඩකයන්ටත් වඩා ඉහල තැනක කාර්ලස්න්ගේ හැකියාවන් ස්ථානගත  කරනවා.

චෙස් ලෝක ශූරයා මැග්නස් කාර්ල්සන් 

2023, අගෝස්තුවේ පැවති ලෝක චෙස් ශූරතාවලියෙන් පසු මේ මස කටාර් රාජ්‍යය සංවිධානය කල කටාර් විවෘත චෙස් තරඟාවලියට කාර්ල්සන් සහභාගී උනා. නමුත් මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන්න  ඔහුට බැරි උනා. ජයග්‍රහණය තබා ඒ අසලටවත් එන්න  නොහැකි උනා. තරඟාවලිය අවසානයේදී ඔහුට හිමි උනේ නව වන ස්ථානය.

මෙයට ප්‍රධාන හේතුව, චෙස් ලකුණු ධූරාවලියේ ඉතා පහලින් සිටි ලාබාල කසකස්ථාන ක්‍රීඩකයෙකු වෙතින් ඔහු ලබා ගත් අනපේක්ශිත පරාජය. එය සැවොම පුදුමයට පත් කල අනපේක්ෂිත පරාජයක්. මෙසේ කාර්ල්සන් පරාද උනේ අවුරුදු 23 ක් වයස චෙස් රේටින් 2520  තිබෙන ක්‍රීඩකයෙකුට. කාර්ල්සන්ගේ වර්තමාන රේටින් එක 2839 ක්.  එනම්  කාර්ල්සන් පරාද උනේ   තමන්ට වඩා රේටින් ලකුණු 300 ක් පමන පහලින් තියෙන චෙස් ග්‍රෑන්ඩ් මාසටර්වරයෙකුට. චෙස් ක්‍රීඩකයන් වර්ගීකරණයේදී ලකුණු 300 ක් කියන්නෙ අති විශාල පරතරයක්.  ඇත්තටම ඒක ඒක ලෙවෙල් දෙකක්. හැමෝටම තේරෙන ක්‍රිකට් භාෂාවෙන් කියනවනම් වර්තමාන ඉන්දීය කණ්ඩායම, ඕමානයට  පැරදුනා වගේ දෙයක්. ඒ වගේම චෙස් ක්‍රීඩකයන් අතර කසකස්ථාන ක්‍රීඩකයා රැදී සිටින්නේ 528 ස්ථානයේ.  

කාර්ල්සන්ව පරාජය කරපු කසකස්ථාන ක්‍රීඩකයාගේ නම අලිශර් සුලෙයිමෙනොව්. ඔහු මෙම තරඟය ඉතා ලස්සනට ක්‍රීඩා කලා. තරඟය මැදදී ඔහු සිදුකල නයිට් බිල්ලට දීම   ( sacrifice) එක ඉතා විශිෂ්ඨයි.  ඔහුගේ ක්‍රීඩා විලාසය ආක්‍රමණශීලි එකක්.  ඔහු මේ සැක්‍රිෆයිස් එක පමනක් නොව, පසුවට තවත් ඉත්තන් කීපයක් සැක්‍රිෆයිස් කරමින් ඉතා ආක්‍රමණශිලී ක්‍රීඩාවක නියුතු උනා.   

පරාජයෙන් පසුව කාර්ල්සන් පොඩි කට කැඩෙන කථාවක් කිව්වා. එය හරියට නටන්න බැරි මනුස්සයට පොලොව ඇදයි කියනවා වගේ එකක්. 

කාර්ල්සන් කියන විදිහට එයාගේ පරාජයට හේතුව ප්‍රතිවාදී ක්‍රීඩකයා,   පැලඳ ගෙන හිටපු අත් ඔරලෝසුව. අත් ඔරලෝසුව ගැන හිතන්න ගිහිල්ලා එයාගේ මානසික ඒකග්‍රතාවය බිද වැටුනා කියන එක තමයි කාර්ල්සන්ගේ අදෝනාව.  

මේ ඉන්නේ අලිශර් සුලෙයිමෙනොව්. කාර්ල්සන් එක්ක කරපු තරඟය. අතේ බැදපු ඔරලෝසුවත් පේන්න තියෙනවා.

චෙස් තරඟාවලදී ස්මාර්ට් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් අත්ඔරලෝසු වැනි දේ පාවිච්චි කරන්න බෑ.. කොටින්ම කිව්වොත් තරඟකරුවන්ට විතරක් නෙමේ , තරඟය අසල සිට නරඹන ප්‍රේක්ශකයන්ටවත් මේ අයිතම ශාලාව ඇතුලට රැගෙන ඒමට ඉඩක්  නෑ. ඒකට හේතුව, නූතන කෘතිම බුද්ධිය භාවිතා කරලා තරඟකරුවන්ට වාසියක් ලබා ගත හැකි නිසා. 

කෙසේ උනත් කසකස්ථාන ක්‍රීඩක අලිශර් සුලෙයිමෙනොව් පැලඳ සිටියේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසුවක් නෙමෙයි.  එය සාමාන්‍ය ඇනලොග් කටු ඔරලෝසුවක්. ඒ නිසා මේ  ක්‍රිඩකයා වරදක් කර නෑ.  කාර්ල්සන් තරඟය අතරමැදදී ඔරලෝසුව ගැන තරඟ තීරකවරයා දැනුවත් කර ඇතත් එය ඇනලොග් ඔරලෝසුවක් නිසාම තරඟ තීරකවරයා  එය භාවිතා කිරීමට ඉඩ දී තිබෙනවා. 

කොහොමින් කොහොම හරි  අවසානයේ චෙස් ලෝකයේ ගොලායත් යෝධයා උන මැග්නස් කාර්ල්සන්, පුංචි ඩේවිඩ් ඉස්සරා පරාද උනා. එදා  පුංචි ඩේවිඩ්, යෝධයා පරාද කලේ ගල් කැටපෝලෙන්. මෙදා , අලිශර් සුලෙයිමෙනොව්  ට තිබ්බෙ අත් ඔරලෝසුවක්. 

ඔරලෝසුව අතට අරං රජා ලොස් කලේ ඔන්න ඔහොමයි. 

Saturday 21 October 2023

ඊශ්‍රායලය ගැන ඇමෙරිකන් ලව් එක මොකක්ද?

 ඊශ්‍රායලය මොකක් කලත් ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය පැත්තේ හිට ගන්නවා කියන එක ඉතිහාසය පුරාම දකින්න තියෙන තත්වයක්. වර්තමාන ගැටළුවෙදි උනත් ඒකේ කිසි වෙනසක් වෙලා නෑ.

මේ තත්වය පැහැදිලි කරන්නේ කොහොමද? 

මැදපෙරදිග සියලු මුස්ලිම් රටවල් මැද්දෙ බටහිර සහ එහි සම්ප්‍රදාය නියෝජනය කරන එකම මුස්ලිම් නොවන රට ඊශ්‍රායලය. ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ බටහිට ජාතීන් මූලික වී මැදපෙරදිග ඇතිකරපු රටක්.ඒ නිසාම ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක තමයි කවුරුත් පිලිගන්න පොදු මතය. 

පොදු ජනප්‍රිය මතය එහෙම උනත් ඊට වඩා ගැඹුරු බැදීමක් ඊශ්‍රායලත්,එහි වෙසෙන යුදෙව්වන් ගැනත් ඇමෙරිකාවට තියෙනවා.

මේ කියන්න හදන කාරණය පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉතිහාසයට යන්න වෙනවා. 

අතීත යුරෝපය තුල ජීවත් උන යුදෙව්වන් යනු විශාල ධනස්කන්ධයක් එකතු වී තිබු ජනකන්ඩායමක්.යුරෝපය තුල නැව් ගමනාගමන දියුණු වී එම රටවල් යටත්විජිත ඇති කර ගැනීමට පෙරදිගට, අප්‍රිකාවට එන කොට ඒ නැව් වලට සල්ලි යෙදෙව්වෙ යුරෝපයේ හිටපු රජවරු.රජවරු ගාව සල්ලි නැති වෙන කොට ඒකට විකල්පයක් ලෙස හිටියෙ යුදෙව්වො. ඒ වෙනකොටත් යුරෝපයේ  බැංකුවල බලය අත්පත් කරගෙන තිබ්බෙ යුදෙව්වො.යුදෙව්වො නැව් වලට විතරක් නෙමේ, රජවරුන්ටත් ණය දුන්නා.යටත්විජිත ඇති කරගෙන ඒ රටවලින් කොල්ල කාපු ධනය අන්තිමට එකතු උනේ යුදෙව්වන් සතු බැංකු වල. ඒ නිසාම යටත්විජිතකරණයෙන්, යුද්ධ නොකරම අති විශාල ධනස්කන්ධයක් රැස් කර ගැනීමට යුදෙව්වන් සමත් උනා. මේ තත්වය යුරෝපියන්ට නොතෙරුනා නෙවෙ. ඒ නිසාම යුරෝපීය සමාජය තුල පොදුවෙ යුදෙව්වන් ගැන අප්‍රසාධයක් අතීතයේ ඉදලම තිබුනා. අතීත වැනීසියේ වෙලෙන්දා වැනි නාට්‍ය තුල ශෛලොක් වැනි චරිත හරහා මේ අප්‍රසාදය ප්‍රකට උනා. 

මෙසේ ධනය නොතිබිච්චි යුදෙව්වන් ඊට විකල්පයක් ලෙස යොදා ගත්තේ අධ්‍යාපනය. ධනවත් නොවුනු යුදෙව්වන් හොදින් ඉගෙන ගත්තා. ඇල්බට් අයින්සට්යින් කියන්නෙ ඒ කුලකයේ ඉහලම උදාහරණයක්. 

ඒ වගේම යුරෝපය තුල වැඩවසම් ක්‍රමය බිද වැටී කාර්මික විප්ලවය සමග බිහිවු ධනවාදයේ පියවරු උනෙත් ඇඩම් ස්මිත් වැනි යුදෙව්වන්. ඊට විකල්පයක් ලෙස බිහි වූ සමාජවාදයේ පියවරු උන කාල් මාක්ස්, ට්රොස්කි වැනි උගතුන්ද යුදෙව්වන්. සමාජවාදය මහපොලොවේ ක්‍රියාවෙන් කර පෙන්වපු ලෙනින් ද යුදෙව්වෙක්.

දෙවෙනි ලෝක යුද්ධය ඇතිවන කොට යුරෝපයේ ශතවර්ෂ ගණනාවක් තිස්සෙ එකතු උන ධනයත්, දැනුමත් එකට ගොණු වෙලා තිබ්බෙ යුදෙව්වන් ගාව.හිට්ලර්ගේ යුදෙව් විරෝධය හදිසියේ පහල වීමක් නෙවෙ. පලවෙනි ලෝක යුද්ධෙදි ජර්මනියත්, තුර්කියත් එක මිටට පරාද කරන්න යුදෙව්වන් එංගලන්තය ප්‍රමුඛ බටහිර ජාතීන්ට ධනයෙන් හා දැනුමෙන් උපකාර කලා.පලවෙනි ලෝක යුද්ධයේ , ජර්මනියේ අවමන් සහගත පරාදයේ ක්‍රෝධය හිට්ලර්  යුදෙව්වන් කෙරෙහි දිගු කලා. එය යුරෝපයේ අතීතයෙ සිට පැවති යුදෙව් විරෝධය සමග හොදින් පෑහුනා. 

හිට්ලර්ගේ උමතු යුදෙව් විරෝධයත් සමග, යුදෙව්වන්ට යුරෝපය ඉතා අනාරක්ශිත උනා. මෙසේ අනාරක්ශිත උන යුදෙව්වන්  යුරෝපයෙන් පැන යන්න පටන් ගත්තා. ඔවුන්ගේ නවාතැන උනේ ඇමෙරිකාවයි.

යුරෝපය ශතවර්ශ ගණනාවක් තිස්සේ එකතු කර ගත් ධනයත්, දැනුමත්, වසර කීපයක් තුලදී ඇමෙරිකාවට සංක්‍රමණය උනා. 

මේ නව ධනයත්, දැනුමත් සමගම ඇමෙරිකාව පෙර නොවූ විරූ අයුරින් ආර්ථික හා දැනුමෙන් පෝශණය වී ලෝක බලවතෙක් විදිහට නව ජවයක් ලබා ගත්තා. 

දෙවෙනි ලෝක යුද්ධය තීරණාත්මක ලෙස ඉවර කරන්නට ඇමෙරිකාව යොදා ගත් පරමාණු බෝම්බය තනිකරම යුදෙව්වන්ගේ දැනුමෙන් හදපු එකක්.

අදටත් ඇමෙරිකාවේ මහාපරිමාණ ව්‍යාපාර ගත්තොත් මේවා අයිති වෙන්නෙ මෙසේ ඇමෙරිකාවට සංක්‍රමණය උනු යුදෙව්වෙන්ගේ පසු පරම්පරාවලටයි. සී එන් එන් වැනි මාධ්‍ය වල අයිතිකරුවන් යුදෙව්වන්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේදී සී එන් එන් එකේ පක්ෂාග්‍රාහී මාධ්‍ය භාවිතයේ සැබැ හේතුව මේ යටින් දිවෙන යුදෙව් සම්බන්ධයයි. එසේම ෆේස්බුක් අයිතිකරු මාක් සක්ර්බග් ද යුදෙව්වෙක්.

මේ අයුරින් ඇමෙරිකාව තුල උඩින් නොපෙනෙන, එහෙත් යටින් ඉතා සියුම්ව ගැට ගැසී ඇති යුදෙව් සම්බන්ධකමක් පවතිනවා.

ඒ නිසාම මැදපෙරදිග තමන්ගේ නියොජිතයා කියන ජනප්‍රිය මතයට වඩා එහාට ගිය ආත්මීය බැදීමක් ඇමෙරිකාවට , ඊශ්‍රායල ගැන තියෙනවා. 



Sunday 15 October 2023

'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' නැමති ටොපිය ගිලිනවාද?

මේ දවස් වල කථාබහට වැඩිපුරම ලක් වෙන්නෙ ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන.  මේ කලබලය අස්සෙ ලංකාවේ මිනිසුන්ගෙ භාෂණයේ නිදහස ගැන ඉතා වැදගත් පණත් කෙ‍ටුම්පතක් පාර්ලිමේන්තුවට මීට සුමාන කීපයකට කලින් ඉදිරිපත් කෙරුණා.

පණත් කෙ‍ටුම්පත ඉදිරිපත් කර තියෙන්නේ 'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' ( Online Safety Bill)  යන නමින්. බැලූ බැල්මට  මෙයින් කරන්න යන්නෙ අන්තර්ජාල  සමාජ මාධ්‍යන් මගින් සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමක්. නමුත් ඒ පොතේ පිටකවරය පමණයි. මෙහි අන්තර්ගතය ගැන විශ්ලේශණාත්මකව බැලුවොත් , මෙයින් නීතීමය වශයෙන් ස්ථාපිත කරන්න හදන්නෙ පුරවැසියාගේ භාෂණයේ නිදහස සීමා කිරීමක්  බව පැහැදිලි වෙනවා.

ෆේස්බුක්, යූ ට්යුබ්, ටික්ටොක් වැනි සමාජජාල අවභාවිතා කරමින් සමාජයේ සීමීත කොටසක් විවිධ අකටයුතුකම් වල යෙදෙනවා.   වෛරීසහගත ප්‍රකාශණ, සිතාමතා  සිදු කරන දූශමාණ ආරංචි පැතිරවීම, අපහාස, නිරුවත බෙදහැරිම වැනි දේ මේ සදහා උදාහරණ. ප්‍රමාණාත්මකව සිතා බැලුවොත්, මෙවැනි අකටයුතුකම් සිදු කරන ප්‍රමාණය, අතිබහුතර මාර්ගගත පරිශීලකයන් අතරින් කුඩා ප්‍රමානයක්.

ලංකාවේ දැනට පවතින නීතීය අනුව අපහාසය කියන්නේ අපරාධමය වරදක් නෙවේ. මේකෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් තවපුද්ගලයෙකුට අපහාසයක් සිදු කලොත් පොලිසීයට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට පුලුවන් කමක් නැති බවයි. කොටින්ම කියතොත් අපහාසය සම්බන්ධ කාරණයකදී , අදාල කාරණයට රජයට මැදිහත් වීමක් සිදු කරන්න  හැකියාවක් නෑ.. මේ කාරණයට මැදිහත් වීමට හැකියාවක් ඇත්තෙ ශ්‍රිලංකා අධිකරණයට පමණයි. ඒ නිසා, මෙවැනි අපහාසයකදි අදාල වින්දිත පාර්ශවය නිතිඥයකු ලවා උසාවියක සාපරාධි අපහාස නඩුවක් ගොණු කිරීම මගින් තමන්ට යුක්තිය ලබා ගත යුතුයි.

අපහාසය සහ උපහාසය ගැන දැනීමක් නැති ලංකාවේ දේශපාලකයන් මේ නීතීමය තත්වය ගැන ඒතරම් සතුටකින් නෑ.  විශේෂයෙන් 'අරගලයත්' සමග මතුපිටට පැමිනි පොදු ජනතාවගේ බලය එකරාශී වීමත්, ඒ සමග බැදුණු අන්තර්ජාල සමාජ ජාලා ඔස්සේ   දේශපාලකයා වෙත එල්ල කෙරෙන ප්‍රශ්ණ කිරීමට මුහුණ දීමේ ශක්තියක් මේ මෝඩ දේශපාලකයන් සතුව නැහැ. ,මේ නොහැකියාවපැත්තකින් තිබියදී. තමුන්ව ප්‍රශ්න කරණ ජනතාව , අන්තර්ජාල සමාජ ජාලා මර්ධනය කිරීමේ 'රාජ්‍ය යාන්ත්‍රණයක් ' ගැන මේ දේශපාළුවන් යොමු වී ඇති බවක්   පේන්න තිබෙනවා. ඔවුනට අවශ්‍ය වෙන්නේ ශ්‍රි ලංකා පොලිසීය මෙන් තමන් අල්ලෙ නැටවිය හැකි, තමන්ට අභියෝග ඉදිරිපත් කරන සමාජජාලා   ක්‍රියාකාරිකයන් මර්ධනය කිරීමේ යාන්ත්‍රණයක්. ඉහත කී 'මාර්ගගත ආරක්ශණ පණත' නමින්  අලංකාර ටොපි කොලයක දවටා  ජනතාවට ගිල්වීමට තැත් කරන්නේ මේ අවශ්‍යතාවය සදහා සකසා ගත් භාෂණ නිදහස මර්ධනය කිරීමේ පණතයි.

මීට කලින් ඉම්රාන්  ඛාන්ගේ ආන්ඩුව යටතේ, පකිස්ථානය, මෙවැනි අන්තර්ජාල මාර්ග ගත නියාමනයක් ගෙන ඒමට උත්සහ කලා. නමුත් ඔහුගේ උත්සහය ව්‍යව්ත වී ගියේ ගූගල්,  ෆෙස්බුක්, යූ ටියුබ් වැනි ආයතන පොදුවේ එයට විරෝධය පෑම නිසයි. ඉම්රාන් ඛාන් ගෙන ආ පණත තරමක් දර දඩු එකක්. ඒ පණතට අනුව අදාල ආයතන, පකිස්ථානයේ ලියාපදිංචි විය යුතු අතරම, පකිස්තානය තුල අදාල ආයතන වල ශාඛාවක්ද විවෘත කලයුතු වෙනවා. මෙය ඇමෙරිකාවේ රජයට පමණක් බදුගෙවන, අදාල සමාජජාල ආයතනවලට අමතර බරක් නිසාත්, මෙය උදාහරණය කොට ගෙන අවශේෂ රාජ්‍යන්ද මෙවැනි නීතී ගෙන ඒමේ අවධානමත් නිසා, එවැනි පණතකට මේ සමාජමාධ්‍ය හිමිකරුවන් විරුද්ධ වීම අතිශය තර්කාණුකූලයි.

නමුත් ලංකාවේ ඉදිරිපත් කර ඇති පණත අනුව, මේ මහා පරිමාන සමාජ මාධ්‍ය  ආයතන අභියෝග කිරීමක් සිදු කරන්නේ නෑ. ඒ වෙනුවට රනිල්ගේ පණත අනුව ගිලටීනයට දැක්වීමට උත්සහ කරන්නේ අදාල සමාජ ජාලා ඉදිරිපත් කරන්නාවයි ( Content Creator).  ඒ හරහා සමාජ ජාල ආයතන වලින් එල්ල වේයැයි සිතන සෘජු විරෝධයේ අඩු වීමක් කෙරෙහි , මේ පණත ඉදිරිපත් කරන රනිල්ගේ උපදේශකයන් බලාපොරොත්තු වෙනවා යැයි සිතිය හැකියි.

කෙසේ නමුත් දැනටමත් ගූගල්, ඇපල්, ඇමසෝන්, ලින්ක්ඩ් ඉන් ඇතුලු තවත් කණ්ඩායම් එකතු වී සදාගත් ආසියානු අන්තර්ජාල සමාජජාල පහසුකම් සපයන්නන්ගේ සංගමය  ( Asia Internet Coalition) මේ පණත සම්බධයෙන් තම කණසල්ල ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් ඔවුන්ව සෘජු අභියෝගයකට ලක් නොවන තාක් කල් , ශ්‍රි ලංකා පුරවැසියාගේ භාෂණ නිදහසේ අයිතිය වෙනුවෙන් ඔවුන් කොතරම් දුරක් ගමන් කරයිදෝ යන සැකයක් පවතිනවා.

රනිල් ඉදිරිපත් කරන පණත මගින්, සමාජමාධ්‍ය වල පලවෙන පෝස්‍ටු සම්බන්ධයෙන් , ඇත්ත නැත්ත තීරණය කිරීමේ නීතීමය බලය , පස්දෙනෙකුගෙන් සමන්විත කමි‍ටුවක් කෙරෙහි පවරනු ලබනවා. මේ පස්දෙනා පත්කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයායි. ඒ හරහා මෙතෙක් බලපවත්වන ලබන ශ්‍රි ලංකා අධිකරණයේ ආධිපත්‍ය, යම්කිසි දුරකට මෙම පස්දෙනාගේ කමි‍ටුව වෙත පැවරෙනවා. එමගින් මෙම පණත මගින් අධිකරණයේ  ත‍ටු කැපීමක්ද සිදුකෙරෙනවා.ඒ වගේම සමාජ ජලාවල පලවෙන පෝස්ට් සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනිමෙ බලය වක්‍රාකාරව ජනාධිපතිවරයා නතු කර ගන්නවා. මෙය එක්තරා විදිහක පැසිස්ට්වාදි  ක්‍රමයක්.

මේ පණතට විරුද්ධ වී ජනතාවගේ භාෂණයේ අයිතිය ‍රැක ගැනිම වෙනුවෙන් ජනතාවම ඉදිරිපත් විය යුතුයි. පොදුවේ වාමාංශික හා බොරු ලිබරල් හමක් පොරවා සිටින දේශපාලකන් ජනතාවගේ හඩ යටපත් කිරීමට යටි හිතින් කැමැත්තක් දක්වනවා,   ලංකාවේ ක්‍රමය අනුව භාෂණයේ නිදහස වෙනුවෙන් දේශපාලකයා ඉදිරිපත් වේයැයි සිතීම  විහිළුවක්. පාර්ලිමේන්තුවේදී මේ පණත  පරාජය කල හැකි යැයි සිතීම එතරම් විහිලුකාරියී. ඒ වෙනුවට ජනතාවට ඉතිරි වී තිබෙන්නේ අධිකරණයේ පිහිට පමණයි.

දැනටමත් මේ පණත් කෙ‍ටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කීපයක් ඉදිරිපත් වී තිබෙනවා. ජනතාවගේ භාෂණයේ නිදහස වෙනුවෙන් ඉතිරිවී ඇති අවසාන ගැලවුම ඇත්තේ ඉදිරියේදි දීමට ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුවයි.

එය පොදු මහජනතාවගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරන ඓතිහාසික තීරණයක් වේවායි අපගේ ප්‍රාර්ථනයයි.





Sunday 19 March 2023

ටැක්ස් ගැන හීනීයට....






ටැක්ස්  (බදු) ගහන්නේ රජයේ වියදම් පියවා ගන්න. මේ විදිහට විශාල ටැක්ස් වදින කොට මිනිස්සු නිරායාසයෙන්ම රජය මේ මුදල් වියදම් කරන්නෙ මොනවටද කියලා සවිඥාණිකව ඉන්නවා. ඒකම තමයි ඇමෙරිකාව , යුරෝපය වගේ රටවල මිනිස්සු අපේ රටේ අයට වඩා තමන්ගේ රටේ දේශපාලනික සහ ආර්ථික කරුණු ගැන දැනුවත්.

ලංකාව ගත්තොත් අතීතයේ ඉදලම රජයේ වියදම් කවර් කර ගත්තේ වක්‍ර බදු සහ ණය වලින්. රාජපක්ශ යුගයේදී මේකට තවත් කෑල්ලක් එකතු කලා , මහපරිමාණ මුදල් අච්චු ගැසීම. වක්‍ර බදු ගහන කොටයි, මුදල් අච්චු ගහන එකෙයි පීඩනය මිනිස්සුන්ට දැනෙන්නේ භාණ්ඩ මිල ඉහල යෑම මත. පී.බී ජයසුන්දර මේකටත් උත්තරයක් හොයා ගත්තා ඩොලර් එක පල්ලෙහා තියාගෙන ඉදලා. එයා ඩොලර් එක පල්ලෙහා තියා ගන්න නා නා විධ උපක්‍රම යොදා ගත්තා. මේ එකක්වත් තිරසාර උත්තර නෙමේ. කවදා හරි දවසක මිනිස්සුන්ට ඒවට මුහුණ දෙන්න වෙන දවසක් තිබ්බා.

ගෝඨා ඇවිල්ල මේ දවස ඉක්මන් කරලා දුන්නා. හෙමින් මරණයකට යමින් සිටි ලංකාවට ක්ෂණික මරණයක් ලබා දුන්නා.

මරණෙන් පස්සෙ දැන් තියෙන්නෙ අළුත් තත්වයක්.රට බංකොලොත් කියලා කියපු දවසේ ඉදන්, ලංකාවට විදේශීය ණය ගන්නත් බෑ, කබ්රාල් වගේ පවතින ආන්ඩුවේ හෙන්චයියෙක් නැති හින්දා, කලින් කලා වගේ මහපරිමාණයෙන් සල්ලි අච්චු ගහන්නත් බෑ.

දැන් තියෙන එකම විසදුම බදු වලින් ආදායම් එකතු කර ගන්න ගමන් රජයේ වියදම් අඩු කරන එක.

බදු ගහන කොට මිනිස්සු රජය මොකද කරන්නෙ කියන එක ගැන අවධානය වැඩි වෙනවා. ඒක හොද දෙයක්. වක්‍ර බදු වෙනුවට සෘජු බදු වැඩිවෙන තරමට මේ සවිඥාණික බව වැඩි වෙනවා. මේ අවබෝධය වැඩි වන තරමට පාර්ලිමේන්තුවට හරි මිනිස්සු පත් කර ගන්න මිනිස්සු උනන්දු වෙනවා.

මේ ප්‍රශ්ණෙ විසදගන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නෑ....අපිම තමයි විසදගන්න වෙන්නේ....ටැක්ස් කියන්නේ, අපි හැමෝටම ඒක මතක් කරලා දෙන, හදවතටයි බඩටයි දෙකටම සමීප දෙයක්..

Tuesday 7 March 2023

අපි ගත යුතු මග

ගොඩක් දෙනා ආර්ථිකය ගැන කථා කරන්නේ තමන් දාගෙන ඉන්න පාට කණ්නාඩි වල පාටට. ඇත්තටම ඉලක්කම් දිහා බලලා සමස්ථයක් ලෙස ලංකාවේ ආර්ථික විග්‍රහයක් කරන්න පුලුවන් කටිටිය හරි අඩුයි.

නිදහසෙන් පස්සෙ ටික කාලයක් යන කොටම අපේ ආණ්ඩු දිව්වේ අය-වැය හිඟයක් එක්ක. මේ අයවැය හිඟය තමයි අපිව හෙමින් හෙමින් මරණයට ගෙනිච්චෙ.ගෝඨා ඇවිල්ලා තවත් සල්ලි අච්චු ගහලා,ලෝකේ කොහේවත් කරපු නැති දෙයක් කරන්න ගිහිල්ලා ලංකාවේ ආර්ථිකයට ක්ෂණික මරණයක් ලබා දුන්නා. හැබැයි ඒ විදිහට ක්ෂණික මරණයක් ලබා දුන්න එක, එක අතකට හොදයි. නැත්තං ලංකාවේ මිනිස්සුන්ට ඕක කවදාවත් තේරේන්නෙ නෑ.

දැන් කවුරු ආවත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක්. රාජ්‍ය වියදම් කප්පාදු කරන ගමන්, රාජ්‍ය අදායම වැඩි කර ගන්න එක. සල්ලි අච්චු ගහ ගහ වියදම් කරපු ආර්ථිකය වෙනස් කරන්න පුලුවන් මේ ක්‍රමයට. 

රනිල් හිටියත්, සජපේ ආවත් කරන්නෙත්, කරන්න තියෙන්නෙත් ඔය දේවල් තමයි. පොහොට්‍ටු එවුන්, රාජපක්ශලා දන්නේ සල්ලි අච්චු ගහලා සරදියෙල් වගේ මිනිස්සුටත් බෙදලා තමන්ටත් බෙදා ගන්න විතරයි.

ජවිපේට බලය ලැබුනොත් නම්, ඒ ගොල්ලන්ගේ නිදහස් වෙලදපොල ගැන තියෙන අදහස් හරිම ව්‍යාකූලයි. කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්නේ රාජ්‍ය මැදිහත් වීමක් ගැන කථාවෙන්..මේක තමයි සිරිමාවෝ පටන් ගත්ත ක්‍රමය. මේක ෆේල් ක්‍රමයක්. 

මොකාට ජන්දෙ දුන්නත්, නිදහස් වෙලදපොල ආර්ථිකයක් ගැන කථා කරන අය බලයට ආවේ නැත්තං, අපිට නැවත සිරිමාවෝගේ කාලෙට ගිහිල්ල, එතැන ඉදන් ආයේ එන්න පුලුවන්. ඒ වෙනකොට අපේ කලාපයේ අනිත් රටවල් අපිව ගව් ගාණකින් පහු කරලා තියෙයි.

Sunday 19 February 2023

සජබේ ආර්ථික යෝජනා....2023



සමගි ජන බලවේගයේ SJB ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වා තිබෙනවා. හර්ෂ, එරාන් සහ කබීර් ඇතුලු පුද්ගලයන් කණ්ඩායමක නායකත්වයෙන් මේ ප්‍රතිපත්ති මාලාව කෙ‍ටුම්පත් කර එලි දක්වා ඇති බවක් කියැවෙනවා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලන කොට තේරුන දේ තමයි, ඒක දැන් රනිල් ක්‍රියාත්මක කරන්න හදන ආර්ථික ප්‍රතිපත්ති වලට ගොඩක් සමාන බව. ඒක එහෙම උනාට කමක් නෑ..මොකද මම විශ්වාස කරන දෙයක් තමයි, මොකා බලයට පත් උනත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක් විතරයි. ඒ නිසා ඒ ගැන විවේචනයක් මට නෑ.

හැබැයි මට තියෙන ගැටළුව තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය තිත්ත කසායක් වගේ. ලෙඩේ හොද කර ගන්න නම් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. මිනිස්සු එහෙම  දුක් විදින්න ලෑස්ති නෑ. ඒ නිසාම මිනිස්සු අතරින්ම , සමහර විට ජවිපේ මූලික වෙලා  හරි, මේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරෝධයක් හට ගන්නවා. එතකොට පවතින් ආණ්ඩුව ඒකට මුහුණ දෙන කොට එතැන දේශපාලනයක් තියෙනවා. සමහර විට සමගි ජන බලවේගය ඇතුලෙන්ම මේ ප්‍රතිවිරෝධය පටන් ගනිවී.

එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා තියෙන්නේ හර්ෂ ඇතුලු  පක්ශේ කීප දෙනෙක් මූලික වෙලා, මේ හතර පස් දෙනාට පක්ශයේ දේශපාලන ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී ලොකු බලයක් නෑ. මට හැ‍ඟෙන විදිහට. හර්ශගේ සමහර විට පොඩි පොතේ ගුරු ලයින් එකක් තියෙනවා. බිම් මට්ටමේ දේශපාලනයේදී එයාට ඇඩ්‍රස් කරන්න පුලුවන් කොලඹ ඉන්න පොඩි සමාජයක් විතරයි.

මේ තත්වය තුල, මොන බාධකය ආවත්, විශේෂයේන් ජනතා අරගල, අප්‍රසාදය වැනි කාරණාත් සමග, මේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න SJB පක්ෂය පැත්තෙන් තියෙන කැපවීම මොකක්ද?

ගොඩක් වෙලාවට වෙන්නේ, ලොකු ජනතා විරෝධයක් හමුවේ, මේ ප්‍රතිපත්ති දියාරු කර, නැවත පරණ පුරුදු විදිහට යන එක තමයි. ආණ්ඩුවත් බලයේ ඉදගෙන, සල්ලිත් අච්චු ගහගෙන පරන තාලේම අල්ලන එක. ඒක එහෙම නොවෙන්න නම්, මේ ප්‍රතිපත්ති පුද්ගලානුබද්ධ නොවී, පක්ශයක් වශයෙන්  මේ ප්‍රතිපත්ති සමග ආත්මීයව බැදෙන්න ඕනේ..

1948  දී නිදහසෙන් පස්සේ ලංකාවේ බලය හම්බ උනේ නිදහස් වෙලදපොල ක්‍රමයක් ගැන විශ්වාස කරපු ලිබරල් අදහස් තිබ්බ එක්සත් ජාතික පක්ශයට. එතකොට ප්‍රධාන විපක්ශය උනේ  සමාජවාදී අදහස් තියෙන පක්ශ.

සමාජවාදී ප්‍රගතිශීලි අදහස්  ව්‍යාප්තියත් එක්ක යූඑන්පී එකට හැප්පෙන්න බැරි උනා. යූඑන්පී එක කලේ ඒ සමාජවාදී අදහස්, කොටින්ම කියනව නම් මිනිස්සුන්ට සහනාධාර දෙන විදිහට තමන්ගේ ආණ්ඩු ප්‍රතිපත්ති ක්‍රම ක්‍රමයෙන් වෙනස් කර ගත්ත එක.  වර්තමාන ආර්ථික අර්බුදය එනකම්ම මේ තත්වය, අඩු වැඩි වශයෙන් සියලු ආණ්ඩු කලා.

දැන් හර්ශගේ යෝජනා සමාන වෙන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. මම පෞද්ගලිකව ඒ ප්‍රතිපත්ති පිලිගන්නවා. 

ඒත් මතක තියා ගන්න සජපේ ආණ්ඩුවක ප්‍රධාන විපක්ශය වෙන්නේ මාලිමාව. මේක 1948 න් පස්සේ තිබ්බ තත්වයම තමයි. ජනතාවාදී අදහස් තියෙන ජවිපේ සමාජවාදී අදහස් එක්ක තමයි බිම් දේශපාලනය කරන්න වෙන්නේ. ඒ අදහස් මිනිස්සුන්ට හරිම ආකර්ශණියයි.ඒත් දිර්ඝ කාලීනව පැවැත්මක් නෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය් ක්‍රියාත්මක කරන්න වෙන්නේ දැඩි දෙශපාලන අභියෝග එක්ක. එතකොට මේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.

උදාහරණයක් ලෙස මිනිස්සු දුක් විදින කොට, දේශපාලකයාත් තමන්ගේ පැත්තට බෙදා ගන්නේ නැතුව, සාමාන්‍ය මිනිස්සු වගේම  ජීවත් වෙන්න ඕනේ. මේ කාරණයෙදී ජවිපේ  කට්ටිය  ඒ කැප කිරීම කරන්න පුලුවන් කියලා ජනතා විශ්වාසයක් දිනා ගෙන තියෙනවා. ඒත් පොහොට්‍ටු,  සජප වැනි දේශපාලකයන් ඒකට සුදානමක් ඇති බවක් ජනතාවට ඒත්තු ගන්වලා නෑ.කිරිඇල්ලලා වගේ මිනිස්සු බලන්නේ තමන්ගේ ආණ්ඩුවක් ආවාම තමන්ට බෙදා ගන්නේ කොහොමද කියන එක. මේ වගේ කට්ටිය එක්ක, හර්ෂ ගේන ආර්ථික විසදුම් එක්ක එන ජනතා අසහනයට මූන දෙන්න අමාරුයි. ඒකට හොද කැරිස්මැටික් නායකත්වයක් වගේම, මඩේ හිටවපු ඉන්න වගේ නැති දැඩි තීරණ ගන්න පුලුවන් නායකත්වයක් ඕනේ. ඒ වගේම පක්ශයේ මුල් පෙල නායකයන් ඒකට සපෝර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව  එන දේශපාලන අභියෝග වලට මූණ දෙන්න බෑ.

හර්ශගේ ඉකොනොමික් ප්‍රතිපත්ති, දේශපාලන අරගලයක් දක්වා එන කොට සජිත් ඇතුලු පක්ශේ මොකක්ද කරන්නේ කියන එක තමයි කථා කරන්න ඕනේ.පක්ශේ විතරක් නෙමේ, අභියෝග එනකොට, හර්ශත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ස්ථිරසාරව හිට ගනීද කියන එක මට ප්‍රශ්ණයක්.









2222