Sunday, 15 October 2023

'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' නැමති ටොපිය ගිලිනවාද?

මේ දවස් වල කථාබහට වැඩිපුරම ලක් වෙන්නෙ ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන.  මේ කලබලය අස්සෙ ලංකාවේ මිනිසුන්ගෙ භාෂණයේ නිදහස ගැන ඉතා වැදගත් පණත් කෙ‍ටුම්පතක් පාර්ලිමේන්තුවට මීට සුමාන කීපයකට කලින් ඉදිරිපත් කෙරුණා.

පණත් කෙ‍ටුම්පත ඉදිරිපත් කර තියෙන්නේ 'මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය' ( Online Safety Bill)  යන නමින්. බැලූ බැල්මට  මෙයින් කරන්න යන්නෙ අන්තර්ජාල  සමාජ මාධ්‍යන් මගින් සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමක්. නමුත් ඒ පොතේ පිටකවරය පමණයි. මෙහි අන්තර්ගතය ගැන විශ්ලේශණාත්මකව බැලුවොත් , මෙයින් නීතීමය වශයෙන් ස්ථාපිත කරන්න හදන්නෙ පුරවැසියාගේ භාෂණයේ නිදහස සීමා කිරීමක්  බව පැහැදිලි වෙනවා.

ෆේස්බුක්, යූ ට්යුබ්, ටික්ටොක් වැනි සමාජජාල අවභාවිතා කරමින් සමාජයේ සීමීත කොටසක් විවිධ අකටයුතුකම් වල යෙදෙනවා.   වෛරීසහගත ප්‍රකාශණ, සිතාමතා  සිදු කරන දූශමාණ ආරංචි පැතිරවීම, අපහාස, නිරුවත බෙදහැරිම වැනි දේ මේ සදහා උදාහරණ. ප්‍රමාණාත්මකව සිතා බැලුවොත්, මෙවැනි අකටයුතුකම් සිදු කරන ප්‍රමාණය, අතිබහුතර මාර්ගගත පරිශීලකයන් අතරින් කුඩා ප්‍රමානයක්.

ලංකාවේ දැනට පවතින නීතීය අනුව අපහාසය කියන්නේ අපරාධමය වරදක් නෙවේ. මේකෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් තවපුද්ගලයෙකුට අපහාසයක් සිදු කලොත් පොලිසීයට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට පුලුවන් කමක් නැති බවයි. කොටින්ම කියතොත් අපහාසය සම්බන්ධ කාරණයකදී , අදාල කාරණයට රජයට මැදිහත් වීමක් සිදු කරන්න  හැකියාවක් නෑ.. මේ කාරණයට මැදිහත් වීමට හැකියාවක් ඇත්තෙ ශ්‍රිලංකා අධිකරණයට පමණයි. ඒ නිසා, මෙවැනි අපහාසයකදි අදාල වින්දිත පාර්ශවය නිතිඥයකු ලවා උසාවියක සාපරාධි අපහාස නඩුවක් ගොණු කිරීම මගින් තමන්ට යුක්තිය ලබා ගත යුතුයි.

අපහාසය සහ උපහාසය ගැන දැනීමක් නැති ලංකාවේ දේශපාලකයන් මේ නීතීමය තත්වය ගැන ඒතරම් සතුටකින් නෑ.  විශේෂයෙන් 'අරගලයත්' සමග මතුපිටට පැමිනි පොදු ජනතාවගේ බලය එකරාශී වීමත්, ඒ සමග බැදුණු අන්තර්ජාල සමාජ ජාලා ඔස්සේ   දේශපාලකයා වෙත එල්ල කෙරෙන ප්‍රශ්ණ කිරීමට මුහුණ දීමේ ශක්තියක් මේ මෝඩ දේශපාලකයන් සතුව නැහැ. ,මේ නොහැකියාවපැත්තකින් තිබියදී. තමුන්ව ප්‍රශ්න කරණ ජනතාව , අන්තර්ජාල සමාජ ජාලා මර්ධනය කිරීමේ 'රාජ්‍ය යාන්ත්‍රණයක් ' ගැන මේ දේශපාළුවන් යොමු වී ඇති බවක්   පේන්න තිබෙනවා. ඔවුනට අවශ්‍ය වෙන්නේ ශ්‍රි ලංකා පොලිසීය මෙන් තමන් අල්ලෙ නැටවිය හැකි, තමන්ට අභියෝග ඉදිරිපත් කරන සමාජජාලා   ක්‍රියාකාරිකයන් මර්ධනය කිරීමේ යාන්ත්‍රණයක්. ඉහත කී 'මාර්ගගත ආරක්ශණ පණත' නමින්  අලංකාර ටොපි කොලයක දවටා  ජනතාවට ගිල්වීමට තැත් කරන්නේ මේ අවශ්‍යතාවය සදහා සකසා ගත් භාෂණ නිදහස මර්ධනය කිරීමේ පණතයි.

මීට කලින් ඉම්රාන්  ඛාන්ගේ ආන්ඩුව යටතේ, පකිස්ථානය, මෙවැනි අන්තර්ජාල මාර්ග ගත නියාමනයක් ගෙන ඒමට උත්සහ කලා. නමුත් ඔහුගේ උත්සහය ව්‍යව්ත වී ගියේ ගූගල්,  ෆෙස්බුක්, යූ ටියුබ් වැනි ආයතන පොදුවේ එයට විරෝධය පෑම නිසයි. ඉම්රාන් ඛාන් ගෙන ආ පණත තරමක් දර දඩු එකක්. ඒ පණතට අනුව අදාල ආයතන, පකිස්ථානයේ ලියාපදිංචි විය යුතු අතරම, පකිස්තානය තුල අදාල ආයතන වල ශාඛාවක්ද විවෘත කලයුතු වෙනවා. මෙය ඇමෙරිකාවේ රජයට පමණක් බදුගෙවන, අදාල සමාජජාල ආයතනවලට අමතර බරක් නිසාත්, මෙය උදාහරණය කොට ගෙන අවශේෂ රාජ්‍යන්ද මෙවැනි නීතී ගෙන ඒමේ අවධානමත් නිසා, එවැනි පණතකට මේ සමාජමාධ්‍ය හිමිකරුවන් විරුද්ධ වීම අතිශය තර්කාණුකූලයි.

නමුත් ලංකාවේ ඉදිරිපත් කර ඇති පණත අනුව, මේ මහා පරිමාන සමාජ මාධ්‍ය  ආයතන අභියෝග කිරීමක් සිදු කරන්නේ නෑ. ඒ වෙනුවට රනිල්ගේ පණත අනුව ගිලටීනයට දැක්වීමට උත්සහ කරන්නේ අදාල සමාජ ජාලා ඉදිරිපත් කරන්නාවයි ( Content Creator).  ඒ හරහා සමාජ ජාල ආයතන වලින් එල්ල වේයැයි සිතන සෘජු විරෝධයේ අඩු වීමක් කෙරෙහි , මේ පණත ඉදිරිපත් කරන රනිල්ගේ උපදේශකයන් බලාපොරොත්තු වෙනවා යැයි සිතිය හැකියි.

කෙසේ නමුත් දැනටමත් ගූගල්, ඇපල්, ඇමසෝන්, ලින්ක්ඩ් ඉන් ඇතුලු තවත් කණ්ඩායම් එකතු වී සදාගත් ආසියානු අන්තර්ජාල සමාජජාල පහසුකම් සපයන්නන්ගේ සංගමය  ( Asia Internet Coalition) මේ පණත සම්බධයෙන් තම කණසල්ල ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් ඔවුන්ව සෘජු අභියෝගයකට ලක් නොවන තාක් කල් , ශ්‍රි ලංකා පුරවැසියාගේ භාෂණ නිදහසේ අයිතිය වෙනුවෙන් ඔවුන් කොතරම් දුරක් ගමන් කරයිදෝ යන සැකයක් පවතිනවා.

රනිල් ඉදිරිපත් කරන පණත මගින්, සමාජමාධ්‍ය වල පලවෙන පෝස්‍ටු සම්බන්ධයෙන් , ඇත්ත නැත්ත තීරණය කිරීමේ නීතීමය බලය , පස්දෙනෙකුගෙන් සමන්විත කමි‍ටුවක් කෙරෙහි පවරනු ලබනවා. මේ පස්දෙනා පත්කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයායි. ඒ හරහා මෙතෙක් බලපවත්වන ලබන ශ්‍රි ලංකා අධිකරණයේ ආධිපත්‍ය, යම්කිසි දුරකට මෙම පස්දෙනාගේ කමි‍ටුව වෙත පැවරෙනවා. එමගින් මෙම පණත මගින් අධිකරණයේ  ත‍ටු කැපීමක්ද සිදුකෙරෙනවා.ඒ වගේම සමාජ ජලාවල පලවෙන පෝස්ට් සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනිමෙ බලය වක්‍රාකාරව ජනාධිපතිවරයා නතු කර ගන්නවා. මෙය එක්තරා විදිහක පැසිස්ට්වාදි  ක්‍රමයක්.

මේ පණතට විරුද්ධ වී ජනතාවගේ භාෂණයේ අයිතිය ‍රැක ගැනිම වෙනුවෙන් ජනතාවම ඉදිරිපත් විය යුතුයි. පොදුවේ වාමාංශික හා බොරු ලිබරල් හමක් පොරවා සිටින දේශපාලකන් ජනතාවගේ හඩ යටපත් කිරීමට යටි හිතින් කැමැත්තක් දක්වනවා,   ලංකාවේ ක්‍රමය අනුව භාෂණයේ නිදහස වෙනුවෙන් දේශපාලකයා ඉදිරිපත් වේයැයි සිතීම  විහිළුවක්. පාර්ලිමේන්තුවේදී මේ පණත  පරාජය කල හැකි යැයි සිතීම එතරම් විහිලුකාරියී. ඒ වෙනුවට ජනතාවට ඉතිරි වී තිබෙන්නේ අධිකරණයේ පිහිට පමණයි.

දැනටමත් මේ පණත් කෙ‍ටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කීපයක් ඉදිරිපත් වී තිබෙනවා. ජනතාවගේ භාෂණයේ නිදහස වෙනුවෙන් ඉතිරිවී ඇති අවසාන ගැලවුම ඇත්තේ ඉදිරියේදි දීමට ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුවයි.

එය පොදු මහජනතාවගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරන ඓතිහාසික තීරණයක් වේවායි අපගේ ප්‍රාර්ථනයයි.





6 comments:

  1. හොඳ පැහැදිලි කිරීමක්!
    අපිට මේකෙ වත් හරියමං දෙයක් ලියන්නට බැරි වෙන සීන්ස් එකක් තියෙන්නේ!


    අපි බොහෝ දෙනෙක් "ශනිදා දහයට" නමින් සෑම සෙනසුරාදාම රාත්‍රී දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන සීන් එකෙකට සෙට් වෙලා!

    උඹත් ලබන සෙනසුරාදා අපිත් එක්ක එකතු වෙනවාද?

    ReplyDelete
    Replies
    1. හොද වැඩක්, මමත් එකතු වෙන්නම් , ස්තුතියි

      Delete
  2. පොදු මහජනතාවගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරගමු.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  3. අජිත් ඩී කීර්ති - ලන්ඩන්16 October 2023 at 10:52

    නිදහස කියලා හිතුන විදියට ආණ්ඩුවට මඩ ගහන්න දෙන්න බෑ.

    ලන්ඩන් වලත් මේ වගේ නීති තියෙනවා.

    මේ පනත ගේන්න ඔනිමයි
    අපගේ සහය ආණ්ඩුවට.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

2222