Wednesday 22 November 2023

ජූස්ලාගෙ කළු සින්දුව

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්....

By the rivers of Babylon

80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්‍රිය ඉංග්‍රීසී සින්දුවක්.  ඉංග්‍රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය ගායනා කලේ බොනිඑම්  ( BoneyM)සංගීත කණ්ඩායම. 





මේ සින්දුවත් ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා වගේ තමයි. හැබැයි මේක බයිලාවක් නෙවේ. ජෝන්ස්ගේ ගීත වල කියැවෙන්නෙ ඉතා දුක්බර, මිනිස්සු දවස් ගනන් වැලපුණ සිද්ධි. සමහර විට මිනිස්සු සිය ගනන් මිය ගිය ඒවා. ඒත් ඒ සිංදු වලට මිනිස්සු නටනවා. 
සයුර බලා බඳ ලෙලවා 
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං  කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා  
මරු තුරුලට අරං ගියා 
මුළු සිරිලක දුකෙහි ගිල්වලා 

බෝට්ටුවෙ ගිහින් ජිවිත ගණනාවක්  බිලි ගත්ත  සිද්ධියක් ගැන විස්තර කරන මේ සිංදුවට අපි කොච්චර නටලා ඇත්ද? මේක වගේම ජොන්ස් ගේ අනෙක් සිංදුත් තනිකරම ශෝකාලාප.

බයි ද රිවර්ස් ඔෆ් බෑබිලෝන්  සිංදුව ,බොනියම් කණ්ඩායම ෆුල් ජොලියේ  නටමින් ගායනා කලත්,80 දශකයේ පා(ර්)ටි වල නිතරම ඇහුන සිංදුවක් උනත් , සිංදුවේ තේරුම ඇවිල්ලා දුක්මුසු කථාවක් . 




මේ සිංදුවේ වචන වල තියෙන්නෙ යුදෙව් ජාතිකයන්ගෙ ශෝකාලාපයක්. වර්තමාන ඊශ්‍රායලය බිහි වෙන්නෙ කලින්, මැදපෙරදිග, ජෙරුසෙලමෙ  හිටපු යුදෙව්වන් ,  අතීතයේ වරින් වර බලවත් උනු අධිරාජ්‍යන් තමන්ගේ වහලුන් විදිහට තමන්ගෙ රටවලට ගෙනිච්චා.

ක්‍රිස්තූ පූර්ව 580 ගනන් වල දි, එකල බලවත් අධිරාජ්‍යක් උන බැබිලෝනියාව ජෙරුසලම ආක්‍රමණය කරලා එහි හිටපු  යුදෙව්වො තමන්ගේ වහල්ලු විදිහට බැබිලෝනීයාවට අරං යනවා. මේ සිද්ධිය , යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ එහෙමත් නැතිනම් පරණ තෙස්තමේන්තුවේ විස්තර වෙනවා. බොනිඑම්ලගේ මේ සිංදුවත්, හිබෲ බයිබලයේ සදහන් වෙන මේ සිද්ධිය පාදක කරගෙන ලියැවිච්චි එකක්.

By the rivers of Babylon
There we sat down
Yeah, we wept
When we remembered Zion

සිංදුවේ මුල කොටසින්ම කියැවෙන්නෙ බැබිලෝනියානු ගංඉවුරේ හිර කරන් ඉන්න යුදෙව්වන්ට තමන්ගේ රට,ගම් බිම් මතක් වී කදුළු වැටෙන ආකාරයයි. මෙහි සියෝන් (Zion) ලෙස හදුන්වන්නේ මෙකල ඊශ්‍රායලයටම තමයි. ඇත්තෙන්ම සියොන් කියන්නේ ජෙරුසලමේ තියෙන යුදෙව්වන්ගේ පූජනීය කදු ගැටයක් ආශ්‍රිත පෙදෙසක්. මේ වචනේ මූලික කරගෙනම තමයි (අන්තවාදී) යුදෙව් මතවාදයක් උන සියොනිසම් (Zionism) බිහිවෙන්නෙත්.

සිංදුවේ ඉතිරි කොටස් වලින් මේ කථාව තව තවත් විස්තර වෙනවා

When the wicked
Carried us away in captivity
Required from us a song
Now, how shall we sing the Lord's song
In a strange land?

දුෂ්ඨ මිනිස්සූ , යුදෙව්වන් උන අපිව හිර කරගරගෙන, ආගන්තුක රටක් ඉදන් අපේ දෙවියන් වෙනුවෙන් යාතිකා කරන්නේ කොහොමද? ඒ කොටසේ තේරූම ඒ වගේ එකක්...

පොඩි කාලේ අපේ කණට නිතර ඇසුනු මේ සිංදුව, යුදෙව්වන් වෙනුවෙන් ගැයුනු යුදෙව්වන්ගේ ශෝකාලාපයක් බව මම දැන ගන්නේ ගොඩක් පහු වෙලා.

හීබෲ බයිබලයෙන් වචන අරන් මේ සින්දුව හැදුනත්, ඇත්තටම මේක බොනියම්ලා අතට අහුවෙන්න කලින් ජැමෙයිකාවෙන් පටන් ගත්ත රස්තාෆාරි සින්දුවක්.1960 ගණන් වල රස්තාෆාරියන් කලාවත් එක්ක කල්ලන්ගේ නිදහස වෙනුවෙන් මේ ගීතය නිර්මාණය උනා. මේ ගීතයෙන් කියැවෙන පිටුවහල් කිරීම, වහල්භාවය සහ උත්තරීතර නිදහස කල්ලන්ගේ වහල්බාවයට එරෙහි නිදහස් සටන සමග හොදට පෑහුනා. 

රස්තා ලයින් එක අනුව මෙහි බැබිලෝනියාව කියන්නේ පීඩක බටහිර සුදු ජාතික රටවල්. මෙහි අවසානයේ Sing a song of freedom, brother! ( සහෝදරයනි,නිදහසේ ගීතය ගායනා කරමු....) යනුවෙන් හඬ ගා කීම තුලින් නිදහස වෙනුවෙන් එකතු වීම සංඛේතවත් කරනවා. 

ඒවගේම සින්දුවේ තුන් වෙනි වර්ස් එකත්  නිදහසේ තේමාවට භාවාත්මක හැගීමක් එකතු කරනවා. 

Let the words of our mouth
And the meditation of our heart
Be acceptable in thy sight here tonight

(අපේ වචන වලට ඉඩ දෙන්න...අපේ හදවතේ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න )

මේ ගීතය ගායනා කරන ජනප්‍රිය  බොනිඑම් (BoneyM) සංගීත කණ්ඩායම ගැනත් ගොඩක් රසකතා තියෙනවා.  කාන්තාවන් තුන් දෙනෙකුත්, එක පිරිමියෙකුගෙනුත් සමන්විත මේ කණ්ඩායමේ ඇත්තටම ගීත ගායනා කරලා තියෙන්නෙ දෙන්නයි.කණ්ඩායමේ සියල්ලන්ම කළු ජාතිකයන් උනත් , මෙය ජර්මනියෙන් බිහි උන, ජර්මන් සුද්දෙක් උන ෆ්‍රැන්ක් ෆේරියන් කියන සංගීත අධ්‍යක්ශකවරයට අයිති සංගීත කණ්ඩායමක්. 

බොනිඑම් කණ්ඩායම ගැන රස කතා ටික වෙන ලිපියකින් ලියන්නම්...

P:S-
1. සියොනිස්ට් ව්‍යාපාරය කියන්නේ යුදෙව්වන් වෙනුවෙන් වෙනම ජාතික රාජ්‍යක් ඇති කර ගන්න ඕනේ කියන මතවාදයට. මේ මතවාදය අනුව යමින් තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ මැදපෙරදිග ඊශ්‍රායලය බිහිවෙන්නෙ.
2.මේ තියෙන්නෙ යුදෙව්වන් ගැන මම මීට කලින් ලියපු පෝස්ට් එකක්...


3. මේ සින්දුවේ වචන වගේම, සින්දුවේ මූලාරම්බයත් දේශපාලනිකයි. මුල් කාලයේදී මෙය ජැමෙයිකා රජය තහනම් කරලත් තිබ්බා. ඒත් බොනියෙම්ලගේ ඩිස්කො සංගීතයත් සමග මෙය ඉතා ජනප්‍රිය උනා.  

Saturday 11 November 2023

බ්ලොගයක් ගැන හැඟීමක්

මෑතක් වනතුරුම මං  සිංහල බ්ලොග් කියෙව්වේ අඹ ගහ යට සින්ඩියෙන්.  ඒත්  පසුගිය ටිකේ, ටිකක් වැඩියෙන් සිංහල බ්ලොග් අතර ගැවසෙද්දි, මං තවත් අමතර සින්ඩි කීපයකට පුරුදු උනා. දැන් මම අඹ ගහයට සින්ඩියට අමතරව  මාතලන්, සදකඩපහණ සින්ඩිත් බලනවා.  

අළුත් සින්ඩි කීපයත් සමග වෙනදා ඇස නොගැටුනු අළුත්  නමුත් කාලයක් ලියැවෙච්චි ඉතා හොද බ්ලොග් කීපයක් අදුනා ගන්න මට පුලුවන් උනා. 

'ලන්කාප්‍රිකාවී - Sri Lankan African Angel'   කියන්නෙ, ඒ වගේ මට අලුතින් හම්බ වෙච්චි අළුත් බ්ලොග් එකක්. 

මෙයාගේ ලිපි නම් ටිකක් දිගයි. ඒත් හොද මාතෘකා ටච් කරන බවක් දැනෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන්  අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධවෙන ලමා වයසේ  හැඟීම් නොසලකා හැරීම ( Immortaional Neglegence) කියන්නේ ඒ ලමයා වැඩිහිටියෙක් උනාට පස්සෙත් බලපාන  සිද්ධියක්. 





මිනිහෙක්ගෙ හෝ ගෑණියෙක්ගේ පෞරුශය කියන්නෙ  පොඩි කාලේ තමන්ගේ  ජීවීතය ගැන කැඩපතක් . පසුකාලීන අත්දෑකීම් මත මිනිහෙක්ගේ පෞරුශය වෙනස් උනත් , සමහර දේවල් මිනිහගේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා. සමහර විට ඒව අපට නොපෙනුනත්, සමාජයේ අනිත් අයට පේනවා.

 වැඩිහිටියෙක් තුල සැඟවිලා තියෙන සමහර සෘණාත්මක ගතිගුණ වලට  හේතුව ඔහුගේ ලමා කාලයේ තිබ්බ  අඩුපාඩුවක් හේතු වෙන්න පුලුවන්. අඩුපාඩුව කියන්නෙ දෙමාව්පියන් අතින් සිද්ධ වෙචිචි ලමයගෙ  හැඟීම් වලට සංවේදී නොවීම.


මේ ගැන ඉතා විස්තරාත්මක ලිපියක් ලන්කාප්‍රිකාවී තමන්ගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. මේ සබ්ජෙක්ට්  ( Immortaional Neglegence) එක මට නම් අලුත්ම විශයක්. නමුත් තවතවත් ඉගෙන ගන්න ආසා හිතෙන පැත්තක්.

ඉතින් ලන්කාප්‍රිකාවී බ්ලොගය ගැන නොදන්න කවුරු හරි ඉන්නවනම්, මේ බ්ලොගයට ගොඩ වැදිලා , මේ ගැනත්, ඊට අමතරව වෙනත් විවිධ මාතෘකා ගැනත් ලියවෙච්චි රසවත් ලිපි වල රස විදින්න කියලා ආරාධනය කරනවා.  

ප:ලි- ලන්කාප්‍රිකාවී බ්ලොගයේ තියෙන්න ගොඩක් විවාද සම්පන්න මාතෘකා. ඒවගෙ සමහර අදහස් වලට මට එකඟ වෙන්න බෑ. ඒත් ඒ අදහස් කියවන්න මේ විරුද්ධ මත බාධාවක් කර ගන්න අවශ්‍ය නෑ කියලා මට හිතෙනවා.



 



Tuesday 7 November 2023

ෆ්‍රෙඩී ගැන කථාවක්...

සැබෑ ජීවිතය මෙයද? මෙය හුදෙක් ෆැන්ටසියක්ද?


Is this the real life? Is this just fantasy?Caught in a landslide, no escape from realityOpen your eyes, look up to the skies and seeI'm just a poor boy, I need no sympathyBecause I'm easy come, easy go, little high, little lowAny way the wind blows doesn't really matter to me, to me

මේක සිංදුවක්.... ඒ වගේම ෆිල්ම් එකක් ගැන කථාවක් .....


ගිය සුමානේ කම්මැලිකමේ නෙට්ෆ්ලික්ස් එක පීරමීන් ඉන්න කොට අහම්බෙන් මුණ ගැසුනු කථාවක්.  තිබ්බ එකම ගිණිකූරේන් සිගරට් එකක් පත්තුකර ගත්තා වගේ සතුටක් දැනුනේ.

2018, කොලඹදී,  මේ චිත්‍රපටිය ස්කොප් සිනමා ශාලාවල තිරගත වෙද්දි, ඒක මට මග ඇරුනා. චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා බලනවා නම්, කොහොමත් ලමයි කැමති චිත්‍රපටි තමයි බලන්න වෙන්නෙ. ඒ නිසා මේක කොහොමත් හෝල් එකකට ගිහිල්ලා බලන්න වෙන්නෑ. 

QUEEN  කියන්නේ හැමෝම දන්න, 70 -80 දශක වල බටහිර රොක් සංගීතය වෙනම ලෙවල් එකකට අරං ගිය සංගීත කණ්ඩායමක්. 

චිත්‍රපටියෙ නම  Bohemian Rhapsody (බොහීමියන් රැප්සොඩි_. ඒක කුඊන් (QEEN) බැන්ඩ් එක ගැන ලස්සන කථාවක්. 




"Bohemian Rhapsody" කියන්නේ ගොඩක් දෙනෙක් පිලිගන්න විදිහට   QUEENලගේ සිංදු අතරින් ඉහලින්ම වැජඹෙන සිංදුව. අර අග්‍රඵලය කියන්නේ. අන්න ඒක.මේක රොක්, බැලඩ්, ඔපේරා වැනි බටහිර සංගීත ශෛලීය කීපයක් ආශ්‍රිතව පත අට එකට හින්දලා ගත්ත සිංදුවක්. ඒ නිසාම  කණට නිතර ඇහෙන අනෙක් රොක් සිංදුවලට වඩා ඒක වෙනස්.

ඉතින් QUEEN බෑන්ඩ් එක ගැන හදපු චිත්‍රපටියට බොහීමියන් රැප්සොඩි  (Bohemian Rhapsody) කියන නම දාපු එක ගැන නම් අහන්න දෙයක් නෑ.  හැබැයි, කවුරුත් නොදන්න දේ තමයි ඒ සිංදුවට බොහීමියන් රැප්සොඩි කියලා නම දැම්මේ ඇයි කියලා? ඇත්තටම සිංදුව ලියපු ෆ්‍රෙඩී මර්කරිවත් කවදාවත් මේකට කෙලින් උත්තරයක් දීලා නෑ. 

ෆ්‍රෙඩී මර්කරි කියන්නේ කුඊන්  ( Queen)  බෑන්ඩ් එකේ ලීඩ් වෝකල්. ඒ කියන්නෙ ප්‍රධාන ගායකයා. ඒ වගේම බෑන්ඩ් එකේ පියානෝ වාදකයා. ෆ්‍රෙඩී අමතක කරලා කුඊන් ගැන කථා කරනවා කියන්නේ, අර්ජුණව හලලා 96 දී  ක්‍රිකට් ලෝක කුසලානය ගැන  කථා කරනවා වගේ වැඩක්. 

චිත්‍රපටියෙදි උනත් ඒක එහෙමයි. ඇත්තටම චිත්‍රපටිය හදලා තියෙන්නෙ ෆ්‍රෙඩී ගැනද නැත්තං කුඊන් බෑන්ඩ් එක ගැනද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මං දන්නෑ. ඒක හරියට කහමදය නැත්තං බිත්තර බුල්සයි එක බුල්සයි එකක් වෙනවද වගේ ප්‍රශ්ණයක්. 

මිනිහෙක්ගේ ශරීර අවයව හෑල්ලුවට ගන්න මං කැමති නෑ. ඒක හොද වැඩක් නෙමෙ. ඒත් ෆ්‍රෙඩී ගේ ඉස්සරාට ආපු බොල්ලෑ දත් ගැන නම් කථා නොකරම බෑ. මොකද ඒක එයාගේ අනන්‍යතාවයක්. මට  හිතන්නේ දත් වල බොල්ලෑ ගතියක් තිබ්බම හොදට ගායනා කරන්න පුලුවන් කියලා. දෝංකාරගතියක් ගේන කට හඩ, පැහැදිලි චචන උච්චාරණය, සප්තක පරාසය, මේ බොල්ලෑ දත් හින්දා වඩා හොදින් කරන්න පුලුවන් වෙනවා ඇති. ඉන්ද්‍රාණී පෙරේරා, කපුගේ වැනි ලංකාවේ ගායකයන්ගෙ උනත් මේ ලක්ශණ පේන්න තියෙනවා. මට උනත් හිතිලා තියෙනවා ඒ වගේ දත් කුට්ටමක් තිබ්බා නම් මටත්  ගීත ගායනය  පුලුවන් වෙන්න තිබ්බා කියලා. රෝහණ විජේවීරත් දේශපාලනය පැත්තක  තියලා ගායනයට යොමු උනා නම් හොද ගායකයෙක් වෙන්න තිබ්බා. එයාගෙත් තිබ්බේ බොල්ලෑ දත් කුට්ටමක්. එහෙම උනා නම් ඉතිහාසයත් වෙනස් වෙනවනේ.

බොල්ලෑ දත් කුට්ටම වගේම ෆ්‍රේඩීගේ බුරුසු රැවුලත් බොහොම ජනප්‍රිය එකක්. චිත්‍රපටිය තුලදි ෆ්‍රෙඩීගේ චරිතයට පණ පොවන රැමී මැලක් ඒ ආකාරයෙම රැවුලකින් හැඩ උනා. ඇත්තටම  රැමි ඒ චරිතය රඟපෑව කියනවා නම්, ඒක  බොරුවක්. ඔහු කලේ රඟපෑමක් නෙවේ, ෆ්‍රෙඩී මර්කරිට නැවත පණ දීමක්. ඒ තරම් ඔහු ඒ චරිතය තුල ජීවත් උනා.එහෙම කියන්න ෆ්‍රේඩිගේ ඇත්ත ජීවිතය ගැන මම දන්නෙ නෑ.ඒත් කුඊන්ගේ රසිකයෙක් හැටියට ෆ්රෙඩී ස්ටේජ් එකේ හැසිරෙන විදිහ ගැන මම ඕනතරම්  වීඩීයෝ වල දැකලා තියෙනවා. ඒ ඇක්ශන් ටික ඒ විදිහටම ගන්න රැමී මැලක්  Bohemian  Rapsody චිත්‍රපටිය තුල සමර්ථ  වෙලා තියෙනවා . 

ෆ්‍රේඩීගේ බාහිර රූපය විතරක් නෙවේ බෑන්ඩ් එකේ අනෙක් සමාජිකයන්ගේ පෙනුමද ඇත්තටම ඒ අකාරයෙන්ම ගලපන්න චිත්‍රපටි කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ ගැන ලකුණු සීයෙන් සීයම දෙන්න පුලුවන්. 


ඇත්ත ෆ්‍රෙඩී සහ ෆ්‍රෙඩීට රඟපාපු රැමී මැලක් 


ෆ්‍රේඩීට තිබ්බා පොඩි අනන්‍යයතා ප්‍රස්නයක්. ඒ ෆ්‍රේඩී ඔරිජිනල් සුද්දෙක් නොවන නිසා. ෆ්‍රෙඩීගේ දෙමව්පියන් ඉන්දියන් සාගරයේ පිහිටි සැන්සිබාර් දිවයිනේ සිට  එංගලන්තයට සංක්‍රමණය වෙච්චි කට්ටියක්. ෆ්‍රෙඩී පුංචි කාලේ හිටියේ සැන්සිබාර්වල. ඇත්තටම කියනව නම් ෆ්‍රෙඩී මර්කරි කියන්නේ එයා පස්සෙ කාලේ දාගත්ත නමක්. වේදීකාවට හරියන්න. එයාගේ දෙම්වපියන් දුන්න මුල නම ෆාරුක් බල්සාරා. ෆ්‍රෙඩීට තිබ්බ මේ අනන්‍යතා ප්‍රශ්ණය, ඉතා හොදින්, සියුම්ව  චිත්‍රපටිය ඇතුලේ නිරූපණය වෙනවා.

ෆ්‍රෙඩීගේ ලිංගික රුචියත් මේ වගේම අනන්‍යතා ගැටළුවක එක පැත්තක්. ෆ්‍රෙඩී අනෙක් අය වගේම තමන් ආදරය කරන ගෑණු ලමයව බදිනවා.ඒත් පසු කාලෙක මේ ආදරයෙන් අයින් වෙලා ඔහු සමලිංගිකයෙක් බවට පත්වෙනවා. ඒත් ඔහුගේ බිරිද, මේරී ඔස්ටින් ගැන තියෙන ආදරය වෙනස් වෙන්නෙ නෑ. ඔහු ඒ යාළුකම ලිංගික සම්බන්ධයකින් තොරව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. සමහර වෙලාවට අපට ඇහැක් තියෙනවා කියලා මතක් වෙන්නෙ ඇහැට රොඩ්ඩක් ගියාම. ඒ වගේ මේරී වෙන මනුස්සයෙක් හොයා ගත්තම තමයි ෆ්‍රෙඩීට මේරීගෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒත් ඇත්තටම ඔහු මේරීගෙන් වෙන්වෙලා ගත කරන ජීවීත පරිච්චේදයේදී, ඔහුගේ ජීවීතය අවුලෙන් අවුලට ගමන් කරනවා. ඒ ගමනේ අවසානයේදී ඔහුව ඒඩ්ස් රෝගය ඩැහැ ගන්නවා. අලි මදිවට කොටි කිව්වා වගේ මේ කාලයේදී ඔහු ක්වීන් බෑන්ඩ් එකෙනුත් වෙන් වෙනවා. ෆ්‍රෙඩී නැති කුඊන්  බෑන්ඩ් එකක් නෑ. චිත්‍රපටිය තුල මේ සිදූවීම් ලස්සනට පෙල ගස්සනවා.  


ෆ්‍රෙඩී සහ මේරී අතර තියෙන්නෙ ඉතා ගැඹුරු සම්බන්ධයක්. චිත්‍රපටිය තුල මේ ගැන ඉතාමත් සියුම්ව ඉස්මතු කර පෙන්වනවා.

ලිපිය ගොඩක් දිගට ඇදුනු නිසාත්, චිත්‍රපටිය සම්පූර්ණයෙන් විස්තර කිරීම එය බලන්න ඉන්න අයට කරන අසාධාරණයක් නිසාත්, මේ පෝස්ට් එක මේ හරියෙන් නවත්වන එක හොදයි. නමුත් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.  කුඊන් බෑන්ඩ් එකේ මෙන්ම බොහීමියන් රැප්සොඩි ෆිල්ම් එකෙත් කූඨ පාප්තිය වෙන්නෙ  1985  එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති ලයිව් එයිඩ් දැවැන්ත සංගීත සංදර්ශනය. 

මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබ්බේ , ඒ දවස් වල ඉතියෝපියාවේ පැවති සාගතයට  උත්තර දෙන්න සල්ලි හොයන්න.එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට සමගාමීව ඇමෙරිකාවෙ ෆිලඩෙප්ෆියා වලත් මේ ප්‍රසංගය සංවිධානය කලා. මේ ප්‍රසංගය  මුලු ලෝකය පුරා සජීවීව විකාශණය කලා.රටවල් 150 ක බිලියන 1.9 පමණ ජනතාවක් මේ ප්‍රසංගය සජීවීව නැරඹුවා.මෙය මානුශීය ආධාරයක් වෙනුවෙන් මුලු ලෝකයම සංගීතයත් එක්ක එකට හිට ගත්ත අවස්ථාවක් ලෙස ඉතිහාසගත වෙනවා.




කොච්චර අනෙක් ගායක ගායිකාවන්ගේ ගීත ඒ වේලිකාවේ එදා ඉදිරිපත් කලත්,  ෆ්‍රෙඩී ඇතුලු කුඊන් සංගීත කණ්ඩායම කල ඉදිරිපත් කිරීම  රොක් සංගීත කලාවේ උච්චතම අවස්ථාවක්. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කලින් යූටියුබ් එකට ගිහින්  Queen + Live Aid  කියලා සර්ච් කරලා ඒක බලලා ඉන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මම නම් දැනුත් ඒක කලා. 

ප:ලි - මගෙ නම් ආසම කුඊන්ලගෙ සිංදු ටික පිළිවෙලට
1. I Want to Break free
2. We Are the Champions
3. We Will Rock You
4. Radio Ga Ga




2222