Tuesday 7 November 2023

ෆ්‍රෙඩී ගැන කථාවක්...

සැබෑ ජීවිතය මෙයද? මෙය හුදෙක් ෆැන්ටසියක්ද?


Is this the real life? Is this just fantasy?Caught in a landslide, no escape from realityOpen your eyes, look up to the skies and seeI'm just a poor boy, I need no sympathyBecause I'm easy come, easy go, little high, little lowAny way the wind blows doesn't really matter to me, to me

මේක සිංදුවක්.... ඒ වගේම ෆිල්ම් එකක් ගැන කථාවක් .....


ගිය සුමානේ කම්මැලිකමේ නෙට්ෆ්ලික්ස් එක පීරමීන් ඉන්න කොට අහම්බෙන් මුණ ගැසුනු කථාවක්.  තිබ්බ එකම ගිණිකූරේන් සිගරට් එකක් පත්තුකර ගත්තා වගේ සතුටක් දැනුනේ.

2018, කොලඹදී,  මේ චිත්‍රපටිය ස්කොප් සිනමා ශාලාවල තිරගත වෙද්දි, ඒක මට මග ඇරුනා. චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා බලනවා නම්, කොහොමත් ලමයි කැමති චිත්‍රපටි තමයි බලන්න වෙන්නෙ. ඒ නිසා මේක කොහොමත් හෝල් එකකට ගිහිල්ලා බලන්න වෙන්නෑ. 

QUEEN  කියන්නේ හැමෝම දන්න, 70 -80 දශක වල බටහිර රොක් සංගීතය වෙනම ලෙවල් එකකට අරං ගිය සංගීත කණ්ඩායමක්. 

චිත්‍රපටියෙ නම  Bohemian Rhapsody (බොහීමියන් රැප්සොඩි_. ඒක කුඊන් (QEEN) බැන්ඩ් එක ගැන ලස්සන කථාවක්. 




"Bohemian Rhapsody" කියන්නේ ගොඩක් දෙනෙක් පිලිගන්න විදිහට   QUEENලගේ සිංදු අතරින් ඉහලින්ම වැජඹෙන සිංදුව. අර අග්‍රඵලය කියන්නේ. අන්න ඒක.මේක රොක්, බැලඩ්, ඔපේරා වැනි බටහිර සංගීත ශෛලීය කීපයක් ආශ්‍රිතව පත අට එකට හින්දලා ගත්ත සිංදුවක්. ඒ නිසාම  කණට නිතර ඇහෙන අනෙක් රොක් සිංදුවලට වඩා ඒක වෙනස්.

ඉතින් QUEEN බෑන්ඩ් එක ගැන හදපු චිත්‍රපටියට බොහීමියන් රැප්සොඩි  (Bohemian Rhapsody) කියන නම දාපු එක ගැන නම් අහන්න දෙයක් නෑ.  හැබැයි, කවුරුත් නොදන්න දේ තමයි ඒ සිංදුවට බොහීමියන් රැප්සොඩි කියලා නම දැම්මේ ඇයි කියලා? ඇත්තටම සිංදුව ලියපු ෆ්‍රෙඩී මර්කරිවත් කවදාවත් මේකට කෙලින් උත්තරයක් දීලා නෑ. 

ෆ්‍රෙඩී මර්කරි කියන්නේ කුඊන්  ( Queen)  බෑන්ඩ් එකේ ලීඩ් වෝකල්. ඒ කියන්නෙ ප්‍රධාන ගායකයා. ඒ වගේම බෑන්ඩ් එකේ පියානෝ වාදකයා. ෆ්‍රෙඩී අමතක කරලා කුඊන් ගැන කථා කරනවා කියන්නේ, අර්ජුණව හලලා 96 දී  ක්‍රිකට් ලෝක කුසලානය ගැන  කථා කරනවා වගේ වැඩක්. 

චිත්‍රපටියෙදි උනත් ඒක එහෙමයි. ඇත්තටම චිත්‍රපටිය හදලා තියෙන්නෙ ෆ්‍රෙඩී ගැනද නැත්තං කුඊන් බෑන්ඩ් එක ගැනද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මං දන්නෑ. ඒක හරියට කහමදය නැත්තං බිත්තර බුල්සයි එක බුල්සයි එකක් වෙනවද වගේ ප්‍රශ්ණයක්. 

මිනිහෙක්ගේ ශරීර අවයව හෑල්ලුවට ගන්න මං කැමති නෑ. ඒක හොද වැඩක් නෙමෙ. ඒත් ෆ්‍රෙඩී ගේ ඉස්සරාට ආපු බොල්ලෑ දත් ගැන නම් කථා නොකරම බෑ. මොකද ඒක එයාගේ අනන්‍යතාවයක්. මට  හිතන්නේ දත් වල බොල්ලෑ ගතියක් තිබ්බම හොදට ගායනා කරන්න පුලුවන් කියලා. දෝංකාරගතියක් ගේන කට හඩ, පැහැදිලි චචන උච්චාරණය, සප්තක පරාසය, මේ බොල්ලෑ දත් හින්දා වඩා හොදින් කරන්න පුලුවන් වෙනවා ඇති. ඉන්ද්‍රාණී පෙරේරා, කපුගේ වැනි ලංකාවේ ගායකයන්ගෙ උනත් මේ ලක්ශණ පේන්න තියෙනවා. මට උනත් හිතිලා තියෙනවා ඒ වගේ දත් කුට්ටමක් තිබ්බා නම් මටත්  ගීත ගායනය  පුලුවන් වෙන්න තිබ්බා කියලා. රෝහණ විජේවීරත් දේශපාලනය පැත්තක  තියලා ගායනයට යොමු උනා නම් හොද ගායකයෙක් වෙන්න තිබ්බා. එයාගෙත් තිබ්බේ බොල්ලෑ දත් කුට්ටමක්. එහෙම උනා නම් ඉතිහාසයත් වෙනස් වෙනවනේ.

බොල්ලෑ දත් කුට්ටම වගේම ෆ්‍රේඩීගේ බුරුසු රැවුලත් බොහොම ජනප්‍රිය එකක්. චිත්‍රපටිය තුලදි ෆ්‍රෙඩීගේ චරිතයට පණ පොවන රැමී මැලක් ඒ ආකාරයෙම රැවුලකින් හැඩ උනා. ඇත්තටම  රැමි ඒ චරිතය රඟපෑව කියනවා නම්, ඒක  බොරුවක්. ඔහු කලේ රඟපෑමක් නෙවේ, ෆ්‍රෙඩී මර්කරිට නැවත පණ දීමක්. ඒ තරම් ඔහු ඒ චරිතය තුල ජීවත් උනා.එහෙම කියන්න ෆ්‍රේඩිගේ ඇත්ත ජීවිතය ගැන මම දන්නෙ නෑ.ඒත් කුඊන්ගේ රසිකයෙක් හැටියට ෆ්රෙඩී ස්ටේජ් එකේ හැසිරෙන විදිහ ගැන මම ඕනතරම්  වීඩීයෝ වල දැකලා තියෙනවා. ඒ ඇක්ශන් ටික ඒ විදිහටම ගන්න රැමී මැලක්  Bohemian  Rapsody චිත්‍රපටිය තුල සමර්ථ  වෙලා තියෙනවා . 

ෆ්‍රේඩීගේ බාහිර රූපය විතරක් නෙවේ බෑන්ඩ් එකේ අනෙක් සමාජිකයන්ගේ පෙනුමද ඇත්තටම ඒ අකාරයෙන්ම ගලපන්න චිත්‍රපටි කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ ගැන ලකුණු සීයෙන් සීයම දෙන්න පුලුවන්. 


ඇත්ත ෆ්‍රෙඩී සහ ෆ්‍රෙඩීට රඟපාපු රැමී මැලක් 


ෆ්‍රේඩීට තිබ්බා පොඩි අනන්‍යයතා ප්‍රස්නයක්. ඒ ෆ්‍රේඩී ඔරිජිනල් සුද්දෙක් නොවන නිසා. ෆ්‍රෙඩීගේ දෙමව්පියන් ඉන්දියන් සාගරයේ පිහිටි සැන්සිබාර් දිවයිනේ සිට  එංගලන්තයට සංක්‍රමණය වෙච්චි කට්ටියක්. ෆ්‍රෙඩී පුංචි කාලේ හිටියේ සැන්සිබාර්වල. ඇත්තටම කියනව නම් ෆ්‍රෙඩී මර්කරි කියන්නේ එයා පස්සෙ කාලේ දාගත්ත නමක්. වේදීකාවට හරියන්න. එයාගේ දෙම්වපියන් දුන්න මුල නම ෆාරුක් බල්සාරා. ෆ්‍රෙඩීට තිබ්බ මේ අනන්‍යතා ප්‍රශ්ණය, ඉතා හොදින්, සියුම්ව  චිත්‍රපටිය ඇතුලේ නිරූපණය වෙනවා.

ෆ්‍රෙඩීගේ ලිංගික රුචියත් මේ වගේම අනන්‍යතා ගැටළුවක එක පැත්තක්. ෆ්‍රෙඩී අනෙක් අය වගේම තමන් ආදරය කරන ගෑණු ලමයව බදිනවා.ඒත් පසු කාලෙක මේ ආදරයෙන් අයින් වෙලා ඔහු සමලිංගිකයෙක් බවට පත්වෙනවා. ඒත් ඔහුගේ බිරිද, මේරී ඔස්ටින් ගැන තියෙන ආදරය වෙනස් වෙන්නෙ නෑ. ඔහු ඒ යාළුකම ලිංගික සම්බන්ධයකින් තොරව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. සමහර වෙලාවට අපට ඇහැක් තියෙනවා කියලා මතක් වෙන්නෙ ඇහැට රොඩ්ඩක් ගියාම. ඒ වගේ මේරී වෙන මනුස්සයෙක් හොයා ගත්තම තමයි ෆ්‍රෙඩීට මේරීගෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒත් ඇත්තටම ඔහු මේරීගෙන් වෙන්වෙලා ගත කරන ජීවීත පරිච්චේදයේදී, ඔහුගේ ජීවීතය අවුලෙන් අවුලට ගමන් කරනවා. ඒ ගමනේ අවසානයේදී ඔහුව ඒඩ්ස් රෝගය ඩැහැ ගන්නවා. අලි මදිවට කොටි කිව්වා වගේ මේ කාලයේදී ඔහු ක්වීන් බෑන්ඩ් එකෙනුත් වෙන් වෙනවා. ෆ්‍රෙඩී නැති කුඊන්  බෑන්ඩ් එකක් නෑ. චිත්‍රපටිය තුල මේ සිදූවීම් ලස්සනට පෙල ගස්සනවා.  


ෆ්‍රෙඩී සහ මේරී අතර තියෙන්නෙ ඉතා ගැඹුරු සම්බන්ධයක්. චිත්‍රපටිය තුල මේ ගැන ඉතාමත් සියුම්ව ඉස්මතු කර පෙන්වනවා.

ලිපිය ගොඩක් දිගට ඇදුනු නිසාත්, චිත්‍රපටිය සම්පූර්ණයෙන් විස්තර කිරීම එය බලන්න ඉන්න අයට කරන අසාධාරණයක් නිසාත්, මේ පෝස්ට් එක මේ හරියෙන් නවත්වන එක හොදයි. නමුත් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.  කුඊන් බෑන්ඩ් එකේ මෙන්ම බොහීමියන් රැප්සොඩි ෆිල්ම් එකෙත් කූඨ පාප්තිය වෙන්නෙ  1985  එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති ලයිව් එයිඩ් දැවැන්ත සංගීත සංදර්ශනය. 

මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබ්බේ , ඒ දවස් වල ඉතියෝපියාවේ පැවති සාගතයට  උත්තර දෙන්න සල්ලි හොයන්න.එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට සමගාමීව ඇමෙරිකාවෙ ෆිලඩෙප්ෆියා වලත් මේ ප්‍රසංගය සංවිධානය කලා. මේ ප්‍රසංගය  මුලු ලෝකය පුරා සජීවීව විකාශණය කලා.රටවල් 150 ක බිලියන 1.9 පමණ ජනතාවක් මේ ප්‍රසංගය සජීවීව නැරඹුවා.මෙය මානුශීය ආධාරයක් වෙනුවෙන් මුලු ලෝකයම සංගීතයත් එක්ක එකට හිට ගත්ත අවස්ථාවක් ලෙස ඉතිහාසගත වෙනවා.




කොච්චර අනෙක් ගායක ගායිකාවන්ගේ ගීත ඒ වේලිකාවේ එදා ඉදිරිපත් කලත්,  ෆ්‍රෙඩී ඇතුලු කුඊන් සංගීත කණ්ඩායම කල ඉදිරිපත් කිරීම  රොක් සංගීත කලාවේ උච්චතම අවස්ථාවක්. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කලින් යූටියුබ් එකට ගිහින්  Queen + Live Aid  කියලා සර්ච් කරලා ඒක බලලා ඉන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මම නම් දැනුත් ඒක කලා. 

ප:ලි - මගෙ නම් ආසම කුඊන්ලගෙ සිංදු ටික පිළිවෙලට
1. I Want to Break free
2. We Are the Champions
3. We Will Rock You
4. Radio Ga Ga




14 comments:

  1. මම අසූව දශකයේ තරුණයෙක්ව සිටියත් වැළඳ ගත්තේ රෙගේ මියුසික්.
    (ඒකත් සම්පූර්ණ ඒසිකත්වයෙන් සීයට එකක් විතර!) වැඩියෙන්ම රස වින්දේ සිංහල හා හිංදි ගීත!
    ඒත් කාලෙකට පසු මාම් ෆ්‍රෙඩී මර්කරි ගැන කියවන්න සහ හොයන්න ගන්නවා.
    ඔහුගේ අර මයික් ස්ටෑන්ඩ් එකත් එක්ක ගීත ගැයීම වගේ ඒවා!
    සුදු කොට කලිසමකුයි බැනියමකුයි ඇඳන් වේදිකාව දෙවනත් කිරීම.
    මට මතකයි ප්‍රසංගය අතරම පොඩි ෂොට් එකකුත් දාගන්නවා; බොබ් මාලේ ජොයින්ට් එකක් ගහනවා වගේ.

    දැන් කථාව ඕක නෙවෙයි. ඒ ෆිලුම අද රෑට බලන්න හිත විදියට පෝස්ට් එක ලියලා තියෙනව පැනි බේරෙන්න!
    මෙන්න ඒකට මගේ මුද්‍රාව!

    "එළ!"

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් ක්ලැසික් අහන අයට බටහිර රොක් සංගීතය පොඩ්ඩක් ගොසාකාරී ගතියක් දැන්නෙනවා. ඒ වගේම බටහිර සංගීතය අහන අයට ඉන්දියන් මිටුසික් වල බෝරින් ගතියක් දැනෙනවා. ඒක මටත් ඔය කාලෙන් කාලෙට තිබ්බ ලෙඩක්. දැන් නම් ඒක ගානක් නෑ. එසීඩීසී ගෙ ඉදන් අමරදේව දක්වාම ෆීල් වෙන ඕන සිංදුවක් අහනවා. ලිපිය අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. I Want to Break free.1986 විතර මගේ ප්‍රියතම ගීතය. යම් කිසි කරදරයක් නිසා සිත අසතුටෙන් ඉන්න වෙලාවක මේ සිංදුව නිසා ප්‍රකෘති තත්ත්වයට පත්වුනා. ඊට පස්සෙ තාමත් මේක අහනකොට ඇඟ හිරිවැටෙන ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. I wanr to break free ගීතය මගෙත් ඕල් ටයිම් ෆේවරිට් ගොඩේ තියෙන සින්දුවක්...එක ඇහෙන ඕනැම වෙලාවක ඒක රසවින්දනය කරනවා වගේම සමහර වෙලාවට ඉන්ටනෙට් එකේ සර්ච් කරලත් අහනවා.= Mayya.

      Delete
  4. මම හිතෙන්නෙ මම මයියව බ්ලොග් රෝලට දාගත්තෙ බොනි එම් ගැන පෝස්ට් එකේදි. මේක මිස් වුනේ ඒ නිසා වෙන්ටෑ?

    මේ දාලා තියන සිංදු වලටත් කැමතියි, ඒත් මේක තමා මම කැමතිම"
    Living On My Own

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුවේ ඔරිජිනල් විශුවල් එකේ තියෙන්නෙ ෆ්‍රෙඩී මර්කරි ගේ උපන්දින සාදයකට පැමිණි අයගේ විශුවල් කියනවා....චිත්‍රපටියෙත් ඔය වගේ සීන් එකක් තියෙනවා...ගේ පාර්ටි එකක් වගේ... - Mayya

      Delete
  5. ෆිලුම තිබේ 'ඉස්සරහට බලන ගොඩේ'
    බාගත්තේ කලකට පෙර ලැබුණු ඉඩේ
    ලිපිය කියෙව්වම හැදුණා 'හනික' ලෙඩේ
    මයියත් නමී මෙන් හොඳටම 'කරල වැඩේ"

    ReplyDelete
    Replies
    1. මයියෝ, post එකේ වටිනාකමට පලුද්දක් වෙන පොඩි අතපසුවීමක් තියෙනවා. ලයිව් ඒඩ් ප්‍රසංගය තිබ්බේ 1983 නෙවෙයි 1985. ඒක හැදුවොත් හොඳයි නේද?

      Delete
    2. ස්තූතියි නිදී ඔබගේ සියුම් නිරීක්ශණයට...වැරැද්ද නිවැරදි කලා... හරියට ම සංගීතේ තිබිලා තියෙන්නේ 1985 ජූලි 13 වෙනිදා - Mayya

      Delete
    3. මයියෝ, මට ඕක අහුවුණේ මේ දවස්වල මම ලියන පෝස්ටුවලට AIDS, ලයිව් ඒඩ්, හා 1985 එංගලන්තය ගැන ලියවෙන නිසයි. ස්තුතියි.

      Delete
    4. ස්තූතියි නිදි

      - Mayya

      Delete
  6. හුම්. රමියගෙ රඟපෑම පංකාදු 5යි. ඉතින් ඔස්කා නොලැබි තියේයැ.

    We Are the Champions,
    We Will Rock You තමා කැමත්ම සිංදු 2ක

    ReplyDelete
    Replies
    1. අනිවා....රමියගෙ රඟපෑවා නෙමේ ෆ්‍රෙඩීට පණ දුන්නා....

      වී විල් රොක් යූ සින්දුව හැදුනු හැටිත් චිත්‍රපටියේ තියෙනවා....බෑන්ඩ් එකට ඕනේ උනා ලයිව් ප්‍රේක්ශකයන් එක්ක බැදීමක් හදා ගන්න විදියේ මියුසික් එකක්...සින්දුවේ මුල් ඩ්‍රම් වාදනයට මිනිස්සු අතින් හ කකුලෙන් ටැප් කරන්න පුරුදු උනා...

      - Mayya

      Delete

2222