Showing posts with label මයි සිංදු. Show all posts
Showing posts with label මයි සිංදු. Show all posts

Thursday, 5 November 2026

ස්වර අතර සැඟවුණු දිව්‍යමය සංගීතය - “Oru Murai”


සමහර ගීත තියෙනවා, අපි අහලා රසවිඳලා අමතක කරලා දානවා. තවත් සමහර ගීත තියෙනවා, එක වරක් ඇහුවාම ආයෙත් අහන්න හිතෙනවා. නැවත නැවත අහද්දී මුලින් නොඇසුණු තවත් සුන්දර දේවල් ඒ තුළින් මතුවෙනවා. අන්තිමට ඒ ගීතය අපිව මෙතෙක් එතරම් සමීපව නොදැන සිටි සංගීත ලෝකයකට අරගෙන යනවා.

මේ ළඟදී අහම්බෙන් අහන්න ලැබුණු එවැනි අපූරු සංගීත නිර්මාණයක් ගැනයි මේ සටහන.

මම හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය එතරම් සමීපව ඇසුරු කළ, ඒ ගැන නිතර සොයා බැලූ කෙනෙක් නෙවෙයි. පාසල් යන කාලයේ පෙරදිග සංගීතය විෂයයක් විදිහට ඉගෙනගෙන තිබුණත්, රාගධාරී සංගීතයේ ගැඹුරට ගිය හෝ ශාස්ත්‍රීය ගායනා නිතර රසවිඳින කෙනෙක් කියලා මට කියන්න බැහැ.

නමුත් මේ ළඟදී අහම්බෙන් අහන්න ලැබුණු එක ගායනයක් මගේ ඒ උනන්දුව වෙනස් කළා.

ඒ තමයි ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ අතිදක්ෂ ගායිකාවක් වන කෞශිකී චක්‍රබෝර්ති (Kaushiki Chakraborty) සහ කර්ණාටක සංගීතයේ විශිෂ්ට ගායකයෙකු වන සන්දීප් නාරායන් (Sandeep Narayan) එක්ව ගායනා කරන “Oru Murai – Ek Nazar”.

ඇත්තටම කිව්වොත්, මම ඒ සංගීතයට වශී වුණා.

Sadhguruගේ ආධ්‍යාත්මික අවබෝධය ලැබූ දිනය සැමරීම වෙනුවෙන් Sounds of Isha සමඟ ඉදිරිපත් කළ මේ ප්‍රසංගය මට දැනුණේ හුදෙක් ගීතයක් විදිහට නෙවෙයි. ඒක හරියට දිව්‍යමය සංගීත අත්දැකීමක් වගේ.


කෞශිකී චක්‍රබෝර්ති 



සන්දීප් නාරායන්


සංගීත සම්ප්‍රදායන් දෙකක් එකම වේදිකාවක

මේ ගායනයේ තියෙන විශේෂත්වයක් තමයි ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් එකම නිර්මාණයක් තුළ හමුවීම.

කෞශිකී නියෝජනය කරන්නේ උතුරු ඉන්දියාවේ හින්දුස්ථානි සංගීත සම්ප්‍රදාය. සන්දීප් නාරායන් නියෝජනය කරන්නේ දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීත සම්ප්‍රදාය.

මේ සම්ප්‍රදායන් දෙකටම පොදු වූ සංගීතමය පදනමක් තිබුණත්, ස්වර හැසිරවීම, ඒවා අලංකාර කිරීම, ස්වර අතර ගමන් කිරීම සහ ක්ෂණික සංගීත නිර්මාණය වැනි දේවලදී ඒවාට ආවේණික වූ ලක්ෂණ තියෙනවා.

මේ ගායනයේදී ඒ වෙනස්කම් හරි අපූරුවට මතු වෙනවා.

එක්කෙනෙක් එකම සංගීත අදහසක් තමන්ගේ ශෛලියෙන් ඉදිරිපත් කරනවා. අනෙක් කෙනා ඒකට තමන්ගේ ශෛලියෙන් පිළිතුරු දෙනවා. සමහර වෙලාවට එක්කෙනෙක් ගායනා කළ ස්වර රටාවක් අනෙක් කෙනා තවත් සංකීර්ණ කරලා, තවත් අලංකාර කරලා ඉදිරිපත් කරනවා.

මට මේක ඇහුණේ හරියට සංගීතයෙන් කරන අපූරු සංවාදයක් වගේ. සමහර වෙලාවට එකිනෙකාට අභියෝග කරනවා වගේ. තවත් වෙලාවකට එකිනෙකාගේ අදහස් සම්පූර්ණ කරනවා වගේ.

හැබැයි ඒක කවුද දක්ෂ කියලා තීරණය කරන තරගයක් නෙවෙයි. දෙදෙනාම තමන්ගේ දක්ෂතාවෙන් අනෙක් කෙනාගේ ගායනය තවත් ලස්සන කරනවා.

ඒ අතරින් ඇසෙන දිව්‍යමය බටනළා නාදය...

මේ ගායනයේ තවත් මගේ හිත ඇදගත් දෙයක් තමයි අතරමැද ඇසෙන බටනළා වාදනය.

ඒ බටනළාව වාදනය කරන්නේ ඉන්දියානු බාන්සුරි වාදකයෙකු වන පරාස් නාත් (Paras Nath).

ඇත්තටම ඒ බටනළා නාදය නම් පුදුමාකාරයි.

කෞශිකීගේ මෘදු, ගලායන ස්වර රටාත්, සන්දීප්ගේ වේගවත්, අලංකාරවත් ස්වර හැසිරවීමත් අතරට බටනළාවේ හඬ එකතු වෙනකොට ඒ සංගීතයට තවත් වෙනස්ම මිහිරක් ලැබෙනවා.

ඒ බටනළාවෙන් නැඟෙන හඬේ තියෙන්නේ පුදුමාකාර මෘදු බවක්. සමහර ස්වර දිගට ඇදී යනවා. තවත් ස්වරයක් වෙත ඉතා සියුම්ව ලිස්සා යනවා. මිනිස් කටහඬකින් කරන ස්වර අලංකාර බටනළාවෙන් නැවත නිර්මාණය කරනවා වගේ.

බටනළාව කියන්නේ මිනිස් හුස්මෙන් සංගීතය උපදවන භාණ්ඩයක්. නමුත් දක්ෂ වාදකයෙකුගේ අතේදී ඒ හුස්මට මොන තරම් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා පරාස් නාත්ගේ වාදනය අහද්දී දැනෙනවා.

එකිනෙකාගේ ප්‍රතිභාව දැක විස්මයට පත්වන කලාකරුවන් දෙදෙනෙක්

මේ ගායනයේ තවත් මගේ හිතට තදින්ම වැදුණු දෙයක් තියෙනවා.

එක් අවස්ථාවක කෞශිකීගේ අපූරු ස්වර නිර්මාණයක් අසා සන්දීප් නාරායන් අත් දෙක එකතු කරලා ඇයට ගෞරවය පළ කරනවා. කෞශිකීත් එයට ප්‍රතිචාර දක්වන්නේ හරිම සුන්දර විදිහකට.

ඒ දෙදෙනාගේ මුහුණුවල තියෙන සතුට, විස්මය සහ එකිනෙකාගේ ප්‍රතිභාව ගැන තියෙන ගෞරවය දකිනකොට මට හිතුණේ මෙතැන සිදුවෙන්නේ සාමාන්‍ය සංගීත ප්‍රසංගයකට වඩා එහා ගිය දෙයක් කියලා.

දෙදෙනාම තමන්ගේ සංගීත හැකියාව ගැන විතරක් නෙවෙයි, අනෙක් කෙනාගේ හැකියාව ගැනත් අවංකව විස්මයට පත්වෙනවා.

එතැන තමයි මේ ගායනයේ මනුෂ්‍යත්වයත් තියෙන්නේ.

“එක් වරක් ඔබ දුටුවෙමි... එවිට මා මාවම සොයාගත්තෙමි”

මේ ගීතයේ පදමාලාව ගැනත් යමක් කියන්න ඕන.

“Oru Murai” කියන්නේ දෙමළ භාෂාවෙන් “එක් වරක්” කියන අදහස. “Ek Nazar” කියන්නේ හින්දි/උර්දු භාෂාවෙන් “එක් බැල්මක්” කියන අදහස.

ගීතයේ මූලික අදහස ඉතාම ලස්සනයි.

“එක් වරක් ඔබ දුටුවෙමි. ඒ දැකීම තුළින් මා මාවම සොයාගත්තෙමි.”

මෙහි කියවෙන්නේ සාමාන්‍ය ප්‍රේමයකට වඩා ගැඹුරු ආධ්‍යාත්මික අත්දැකීමක් ගැනයි.

තමන් කවුද, තමන් සොයන්නේ මොකක්ද කියලා නොදැන ජීවිතය පුරා යමක් සොයන මිනිසෙකුට, ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ එක් දර්ශනයක් තුළින් තමන්ගේ සැබෑ ස්වභාවය හඳුනාගැනීමට ලැබෙන අත්දැකීමක් මෙහි ප්‍රකාශ වෙනවා.

එහි තියෙන්නේ භක්තියක්. ආදරයක්. තමන්වම සොයාගැනීමේ ප්‍රීතියක්. ඒ වගේම තවදුරටත් ගැඹුරට යන්න තියෙන ආධ්‍යාත්මික පිපාසයක්.

මට මෙතැනදී තවත් අපූරු දෙයක් දැනුණා.

මම මේ ගීතය මුලින්ම ඇහුවේ එහි පදවල අර්ථය දැනගෙන නෙවෙයි. නමුත් එහි සංගීතයෙන් මට දැනුණේ එක්තරා දිව්‍යමය හැඟීමක්.

පස්සේ ගීතයේ අර්ථය සොයා බැලුවාමත් ඒ තුළ තියෙන්නේ ආධ්‍යාත්මික සෙවීමක්.

ඒක හරිම අපූරු ගැළපීමක්.

වචනවල අර්ථය නොදැනත් සංගීතයෙන් ඒ හැඟීම අපට ලබා දෙන්න පුළුවන් නම්, සංගීතය විශ්ව භාෂාවක් කියන කතාවේ යම් ගැඹුරු සත්‍යයක් තියෙනවා කියලා මට හිතෙනවා.

කෞශිකීට භාරත රත්නයක්?

මේ ගායනය ගැන තවදුරටත් සොයමින් සිටියදී මට හමුවුණු තවත් රසික අදහසක් මගේ අවධානයට ලක් වුණා.

ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත රත්න (Bharat Ratna) සම්මානය කෞශිකී චක්‍රබෝර්තිටත් යම් දවසක හිමි විය යුතු බවයි ඒ අදහස.

ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ එම ගෞරවයට පාත්‍ර වූවන් අතර රවි ශංකර්, බිස්මිල්ලා ඛාන්, භීම්සෙන් ජෝෂි, එම්. එස්. සුබ්බුලක්ෂ්මි සහ ලතා මංගේෂ්කාර් වැනි අතිවිශිෂ්ට කලාකරුවන් සිටිනවා.

කෞශිකී ඒ දැවැන්තයන් සමඟ සංසන්දනය කරලා විනිශ්චයක් දෙන්න තරම් ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය ගැන ගැඹුරු දැනුමක් මට නැහැ.

නමුත් එක දෙයක් නම් මට කියන්න පුළුවන්.

මෙතෙක් එතරම් සමීපව ඇසුරු නොකළ සංගීත සම්ප්‍රදායක් ගැන තවදුරටත් හොයන්න, අහන්න, ඉගෙනගන්න මාව පොලඹවන්න මේ එකම ගායනය ප්‍රමාණවත් වුණා.

සමහරවිට විශිෂ්ට කලාකරුවෙකුගේ සැබෑ ප්‍රතිභාව කියන්නේ ඒක වෙන්න ඇති.

සංගීතය කියන්නේ ස්වරවලට ජීවයක් ලබාදීමයි

“Oru Murai” අහලා ඉවර වුණාට පස්සේ මට හිතුණේ එක දෙයක්.

සංගීතය කියන්නේ හුදෙක් නිවැරදි ස්වර ගායනා කිරීම පමණක් නෙවෙයි. ඒ ස්වරවලට ජීවයක් ලබාදීමයි. ස්වර දෙකක් අතර තියෙන අවකාශයට පවා අර්ථයක් ලබාදීමයි.

කෞශිකීගේ හඬේ තියෙන ඒ අපූරු ගලායෑම, සන්දීප්ගේ ස්වර අලංකාරවල තියෙන විස්මිත ශක්තිය, පරාස් නාත්ගේ බටනළාවේ තියෙන දිව්‍යමය මිහිර — මේ සියල්ල එකට එක්වෙලා අපිව වෙනමම සංගීත ලෝකයකට අරගෙන යනවා.

මේ ගායනයේදී කවුද වඩා දක්ෂ කියලා තීරණය කරන්න මට අවශ්‍ය නැහැ.

කෞශිකී අතිවිශිෂ්ටයි. සන්දීප් අතිවිශිෂ්ටයි. පරාස් නාත්ගේ බටනළාවත් ඒ තරම්ම අපූරුයි.

ඒ සියලු දක්ෂතා එකට එක්වුණාම බිහිවෙන්නේ තනි තනිව විඳින සුන්දරත්වයන්ගේ එකතුවකටත් වඩා විශාල දෙයක්.

මට නම් “Oru Murai” කියන්නේ තවත් ලස්සන ගීතයක් විතරක් නෙවෙයි.

මෙතෙක් මා එතරම් සමීපව නොදැන සිටි සංගීත ලෝකයකට දොරක් විවෘත කළ, මාව සැබෑවටම විස්මයට පත් කළ අපූරු සංගීත අත්දැකීමක්.

සමහර ගීත අපි අහනවා. සමහර ගීත අපි විඳිනවා.

තවත් සමහර ගීත අපි සංගීතය අහන විදිහම වෙනස් කරනවා.

මට “Oru Murai” එවැනි ගීතයක්.

ඔබත් මේ ගායනය අහලා බලන්න. විශේෂයෙන් කෞශිකී සහ සන්දීප්ගේ ස්වර සංවාදයත්, ඒ අතරින් නැඟෙන පරාස් නාත්ගේ බටනළා නාදයත් හොඳින් අහන්න.

සමහරවිට මට දැනුණු ඒ විස්මය ඔබටත් දැනේවි.



පසුව ලියමි: මේ වීඩියෝවේ මිනිත්තු 6යි තත්පර 50න් පස්සේ තමයි ඇත්තටම වැඩ කෑල්ල පටන් ගන්නේ! එතෙක් ගලාගෙන යන්නේ බොහොම ළයාන්විත, මනරම් සංගීතයක්. ඉන්පස්සේ තමයි මේ දෙදෙනාගේ විස්මිත ගායන හැකියාවන් සහ ස්වර හරඹය හරි අපූරුවට මතු වෙන්නේ. හැබැයි ඒ අත්දැකීම හරියටම විඳින්න නම් මුල ඉඳලාම අහන්න ඕන. ඒ නිසා වීඩියෝව ඉදිරියට පන්නන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අහන්න. ඒක වෙනමම වින්දනයක්!



Sunday, 16 August 2026

ගිටාරයක් කතා කරනවා දැකලා තියෙනවාද? (Naudo Rodrigues)

පහුගිය ටිකේ ලිපිවලින් මම වැඩිපුරම දේශපාලනය ගැන කතා කරපු නිසා, මේ පාර ටිකක් වෙනස් මාතෘකාවකට යන්න හිතුණා. මගේ බ්ලොග් එකේ ලේබල් කිහිපයක් තියෙනවානේ. ඒ අතරින් “මයි සින්දු කියන” ලේබලය යටතේ තමයි මේ කතාව පටන් ගන්නේ.

මේ පාර මම කතා කරන්න යන්නේ මම හුඟාක් ආස කරන ගිටාර් වාදකයෙක් ගැන. ඔහු තමයි නෞඩෝ රොඩ්රිගස් (Naudo Rodrigues).


කැනරි දූපත්වල Tenerife Club එක ඉස්සරහා නෞඩෝ රොද්‍රිගස් ගිටාරයෙන් සින්දු ප්‍රතිනිර්මාණය කරන  සුන්දර අවස්ථාවක්. 🎸

නෞඩෝ කියන්නේ මං මෙතෙක් දැකපු හොඳම ගිටාර් වාදකයා . ශාස්ත්‍රීය පැත්තෙන් බැලුවොත්, ඔහුට වඩා තාක්ෂණිකව ඉහළ ගිටාර් වාදකයෝ ඉන්නවා ඇති. ඒක මම පිළිගන්නවා.

හැබැයි නෞඩෝගේ විශේෂත්වය තියෙන්නේ එතන නෙමෙයි. ඔහු සාමාන්‍ය ගීතයක් අරගෙන ඒකට දෙන ගැම්ම, හැඟීම සහ ජීවය මාරම ලස්සනයි. ඔහු ගිටාරය ගහනවා කියනවට වඩා, මට නම් හිතෙන්නේ ඔහු ගිටාරයෙන් කතා කරනවා කියලා.

අපි කෙනෙක් එක්ක කතා කරනකොට වචනවලින් හැඟීම් කියනවානේ. නෞඩෝ ඒ දේම ගිටාරයෙන් කරනවා. ඔහුගේ ඇඟිලි ගිටාරයේ තත් උඩ දුවනවා නෙමෙයි; ඒ තත් හරහා ඔහුගේ හැඟීම් කතා කරනවා.

නෞඩෝ කියන්නේ කවුද කියලා හරියටම තේරුම් ගන්න නම්, ඔහු ගැන ලියපු දේවල් කියවනවට වඩා යූටියුබ් එකේ ඔහු ගිටාර් ගහන වීඩියෝ එකක් බලන එක තමයි හොඳම දේ. 

නෞඩෝ වැඩිපුරම ප්ලේ කරන්නේ අපි හැමෝම වගේ අහලා තියෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දු. හැබැයි අපේ පාඨකයන් අතර ඉංග්‍රීසි සින්දු වැඩිය අහන්නේ නැති අයත් ඇතිනේ. ඒ නිසා නෞඩෝගෙ වාදනය ගැන කියන්න කලින්, කාටත් තේරෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවක් ඔහු ගිටාරයෙන් ප්ලේ කරන හැටි බලමු.

Jambalaya ගීතයේ කවර් එකක්

ඒ වගේම නෞඩෝ කියන්නේ සංගීත ලෝකයේ ශාස්ත්‍රීය පැත්තෙන් ඇවිත්, ලොකු ප්‍රසංග පවත්වමින්, සම්භාවනීය ගිටාර් වාදකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුගේ ජනප්‍රියත්වය ආවේ youtube එකෙන්. ඒ නිසාම මමත් මුලින්ම නෞඩෝව දැක්කේ යූටියුබ් එකෙන්. ඔහු කවුද, කොහෙන් ආවද කියලා දැනගන්න කලින්ම,  ඔහු  වාදනය කරන හැටි දැකලා තමයි ඔහු ගැන හොයන්න පටන් ගත්තේ.

නෞඩෝ රොඩ්රිගස්  බ්‍රසීල ජාතිකයෙක්.  ඔහු බොහෝ දුරට ස්වයං අධ්‍යයනයෙන් ගිටාරය ප්‍රගුණ කළ සංගීතඥයෙක්.කුඩා කාලයේම ගිටාරයට අත තැබූ ඔහු සංගීත විද්‍යාලයක  සාම්ප්‍රදායික පුහුණුවක් ලබනවාට වඩා, අහලා, අත්හදා බලලා, වෙනත් සංගීතඥයන් එක්ක වාදනය කරලා තමන්ගේම සංගීත භාෂාවක් හදාගත්ත කෙනෙක්.

ඔහුගේ සංගීත ගමන පටන් ගන්නේ බ්‍රසීලයෙන්. පසුව යුරෝපයට පැමිණෙන ඔහු පෘතුගාලය සහ ස්පාඤ්ඤය හරහා ගමන් කර අවසානයේ කැනරි දූපත්වල Tenerife  අවන්හල තම සංගීත ජීවිතයේ වැදගත් මධ්‍යස්ථානයක් කරගන්නවා.

නෞඩෝ  ගීතයක් වාදනය කරන විට අපට එකවර  bass , chords, rhythm එක, melody එක, අතරමැදි fills සහ improvisation ඔක්කොම ඇහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක සංගීතඥයන් කිහිපදෙනෙක් කරන වැඩ ඔහු තනි ගිටාරයකින් කරනවා. ඒ නිසා නෞඩෝගේ වාදනය බලන කෙනෙකුට මුලින්ම ඇතිවෙන්නේ,එක ගිටාරයකින් මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියන පුදුමේ

ඔහුගේ තවත් විශේෂත්වයක් තමයි ප්‍රසිද්ධ ගීතයක් නිකම්ම cover කිරීම නොවෙයි. ඔහු ඒ ගීතය නැවත ගොඩනඟනවා. ගීතයේ මුල් melody එක තියාගෙන bass line එක වෙනස් කරනවා, chords වලට වෙනස් වර්ණයක් දෙනවා, rhythm එකට Brazilian සහ jazz ආභාසය එකතු කරනවා, ඉන්පසු ඒ සියල්ල අතරින් improvisation කරනවා.

ඒ නිසා ඔහුගේ Hotel California, Billie Jean, Sultans of Swing, Autumn Leaves වගේ ගීත අහන විට අපට හුරුපුරුදු ගීතයක්ම ඇහෙනවා. හැබැයි ඒක අපි කලින් අහපු version එක නෙමෙයි. නෞඩෝ ඒ ගීත තමන්ගේම ගිටාර් භාෂාවකට පරිවර්තනය කරලා තියෙනවා.

ඔහුගේ සංගීතයට බ්‍රසීලියානු සංගීතයේ rhythm එක, jazz harmony එක, blues සහ rock වල හැඟීමත්, fingerstyle guitar technique එකත් එකට මිශ්‍ර වෙලා තියෙනවා.

ලෝකප්‍රසිද්ධ ශාස්ත්‍රිය ගිටාර් වාදකයෙක් වේගයෙන් වාදනය කරන විට අපිට මුලින්ම පේන්නේ ඔහුගේ technique එක. නෞඩෝ දෙස  බලන විට ඒක එහෙම නෙමෙයි. ඔහු ඉතා සංකීර්ණ දේවල් කලත් ඒක බොහෝ වෙලාවට හරිම සරල, සැහැල්ලු දෙයක් වගේ පේනවා.

ඔහු ජනප්‍රිය වුණෙත් සාම්ප්‍රදායික superstar කෙනෙක් වගේ ලොකු record company එකක් හරහා හෝ දැවැන්ත concert tour එකක් හරහා නෙමෙයි. Tenerife සාමාන්‍ය ක්ලබ් එකක , ඔහු කළ live performances, පසුව ඒවායේ වීඩියෝ සහ අන්තර්ජාලය හරහා ලෝකයේ විවිධ රටවල guitar enthusiastsලා අතර ඔහුගේ නම පැතිරුණ නිසා.

ඒක නෞඩෝගෙ කතාවේ හරිම අපූරු කොටසක්.

ඔහු ලෝකයේ සෑම කෙනෙක්ම දන්නා household-name guitarist කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ගිටාරය ගැන ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක් නෞඩෝව හොයාගත්තම ඔහුව  අමතක කරන්න අමාරුයි.

නෞඩෝගේ වාදනයේ වඩාත්ම ඇදගන්නා දෙයක් තමයි ඔහු ඇඟිලි පාවිච්චි කරන විදිහ. 

විශේෂයෙන් දකුණු අත බලද්දි, මහපට ඇඟිල්ල bass line එක අල්ලගෙන ස්වාධීනව ගමන් කරනවා, අනෙක් ඇඟිලි  chords, melody සහ rhythm එක ගෙනියනවා. සමහර වෙලාවට එකම මොහොතේ bass එක වෙනම සින්දුවක් කියනවා වගේත්, උඩින් melody එක තවත් සින්දුවක් කියනවා වගේත් ඇහෙනවා.

තවත් පුදුම දේ තමයි ඔහුගේ ඇඟිලිවල වේගයට වඩා ඒවායේ ස්වාධීනත්වය. එක ඇඟිල්ලක් bass එක තියාගෙන ඉන්න අතරේ තවත් ඇඟිලි දෙක තුනක් melody එකේ notes හොයනවා. ඒ අතර rhythm එකත් අතහැරෙන්නේ නෑ. නිසා නෞඩෝ රොඩ්රිගස්ව “හොඳ fingerstyle guitarist කෙනෙක්” කියලා විතරක් හඳුන්වන එක ඔහුගේ හැකියාවට ටිකක් අඩු වචනයක්.

ඔහු ගිටාරය වාදනය කරනවාට වඩා, ගිටාරය හරහා සම්පූර්ණ සංගීතයක් නිර්මාණය කරන කෙනෙක්.

ඒක තමයි නෞඩෝගෙ ඇත්තම විශේෂත්වය.


ලෝකප්‍රසිද්ධ Queen බෑන්ඩ් එකේI want to break free ගීතයෙ නෞඩෝගේ  ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය වෙන ආකාරය .

Wednesday, 22 November 2023

ජූස්ලාගෙ කළු සින්දුව

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්....

By the rivers of Babylon

80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්‍රිය ඉංග්‍රීසී සින්දුවක්.  ඉංග්‍රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය ගායනා කලේ බොනිඑම්  ( BoneyM)සංගීත කණ්ඩායම. 





මේ සින්දුවත් ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා වගේ තමයි. හැබැයි මේක බයිලාවක් නෙවේ. ජෝන්ස්ගේ ගීත වල කියැවෙන්නෙ ඉතා දුක්බර, මිනිස්සු දවස් ගනන් වැලපුණ සිද්ධි. සමහර විට මිනිස්සු සිය ගනන් මිය ගිය ඒවා. ඒත් ඒ සිංදු වලට මිනිස්සු නටනවා. 
සයුර බලා බඳ ලෙලවා 
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං  කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා  
මරු තුරුලට අරං ගියා 
මුළු සිරිලක දුකෙහි ගිල්වලා 

බෝට්ටුවෙ ගිහින් ජිවිත ගණනාවක්  බිලි ගත්ත  සිද්ධියක් ගැන විස්තර කරන මේ සිංදුවට අපි කොච්චර නටලා ඇත්ද? මේක වගේම ජොන්ස් ගේ අනෙක් සිංදුත් තනිකරම ශෝකාලාප.

බයි ද රිවර්ස් ඔෆ් බෑබිලෝන්  සිංදුව ,බොනියම් කණ්ඩායම ෆුල් ජොලියේ  නටමින් ගායනා කලත්,80 දශකයේ පා(ර්)ටි වල නිතරම ඇහුන සිංදුවක් උනත් , සිංදුවේ තේරුම ඇවිල්ලා දුක්මුසු කථාවක් . 




මේ සිංදුවේ වචන වල තියෙන්නෙ යුදෙව් ජාතිකයන්ගෙ ශෝකාලාපයක්. වර්තමාන ඊශ්‍රායලය බිහි වෙන්නෙ කලින්, මැදපෙරදිග, ජෙරුසෙලමෙ  හිටපු යුදෙව්වන් ,  අතීතයේ වරින් වර බලවත් උනු අධිරාජ්‍යන් තමන්ගේ වහලුන් විදිහට තමන්ගෙ රටවලට ගෙනිච්චා.

ක්‍රිස්තූ පූර්ව 580 ගනන් වල දි, එකල බලවත් අධිරාජ්‍යක් උන බැබිලෝනියාව ජෙරුසලම ආක්‍රමණය කරලා එහි හිටපු  යුදෙව්වො තමන්ගේ වහල්ලු විදිහට බැබිලෝනීයාවට අරං යනවා. මේ සිද්ධිය , යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ එහෙමත් නැතිනම් පරණ තෙස්තමේන්තුවේ විස්තර වෙනවා. බොනිඑම්ලගේ මේ සිංදුවත්, හිබෲ බයිබලයේ සදහන් වෙන මේ සිද්ධිය පාදක කරගෙන ලියැවිච්චි එකක්.

By the rivers of Babylon
There we sat down
Yeah, we wept
When we remembered Zion

සිංදුවේ මුල කොටසින්ම කියැවෙන්නෙ බැබිලෝනියානු ගංඉවුරේ හිර කරන් ඉන්න යුදෙව්වන්ට තමන්ගේ රට,ගම් බිම් මතක් වී කදුළු වැටෙන ආකාරයයි. මෙහි සියෝන් (Zion) ලෙස හදුන්වන්නේ මෙකල ඊශ්‍රායලයටම තමයි. ඇත්තෙන්ම සියොන් කියන්නේ ජෙරුසලමේ තියෙන යුදෙව්වන්ගේ පූජනීය කදු ගැටයක් ආශ්‍රිත පෙදෙසක්. මේ වචනේ මූලික කරගෙනම තමයි (අන්තවාදී) යුදෙව් මතවාදයක් උන සියොනිසම් (Zionism) බිහිවෙන්නෙත්.

සිංදුවේ ඉතිරි කොටස් වලින් මේ කථාව තව තවත් විස්තර වෙනවා

When the wicked
Carried us away in captivity
Required from us a song
Now, how shall we sing the Lord's song
In a strange land?

දුෂ්ඨ මිනිස්සූ , යුදෙව්වන් උන අපිව හිර කරගරගෙන, ආගන්තුක රටක් ඉදන් අපේ දෙවියන් වෙනුවෙන් යාතිකා කරන්නේ කොහොමද? ඒ කොටසේ තේරූම ඒ වගේ එකක්...

පොඩි කාලේ අපේ කණට නිතර ඇසුනු මේ සිංදුව, යුදෙව්වන් වෙනුවෙන් ගැයුනු යුදෙව්වන්ගේ ශෝකාලාපයක් බව මම දැන ගන්නේ ගොඩක් පහු වෙලා.

හීබෲ බයිබලයෙන් වචන අරන් මේ සින්දුව හැදුනත්, ඇත්තටම මේක බොනියම්ලා අතට අහුවෙන්න කලින් ජැමෙයිකාවෙන් පටන් ගත්ත රස්තාෆාරි සින්දුවක්.1960 ගණන් වල රස්තාෆාරියන් කලාවත් එක්ක කල්ලන්ගේ නිදහස වෙනුවෙන් මේ ගීතය නිර්මාණය උනා. මේ ගීතයෙන් කියැවෙන පිටුවහල් කිරීම, වහල්භාවය සහ උත්තරීතර නිදහස කල්ලන්ගේ වහල්බාවයට එරෙහි නිදහස් සටන සමග හොදට පෑහුනා. 

රස්තා ලයින් එක අනුව මෙහි බැබිලෝනියාව කියන්නේ පීඩක බටහිර සුදු ජාතික රටවල්. මෙහි අවසානයේ Sing a song of freedom, brother! ( සහෝදරයනි,නිදහසේ ගීතය ගායනා කරමු....) යනුවෙන් හඬ ගා කීම තුලින් නිදහස වෙනුවෙන් එකතු වීම සංඛේතවත් කරනවා. 

ඒවගේම සින්දුවේ තුන් වෙනි වර්ස් එකත්  නිදහසේ තේමාවට භාවාත්මක හැගීමක් එකතු කරනවා. 

Let the words of our mouth
And the meditation of our heart
Be acceptable in thy sight here tonight

(අපේ වචන වලට ඉඩ දෙන්න...අපේ හදවතේ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න )

මේ ගීතය ගායනා කරන ජනප්‍රිය  බොනිඑම් (BoneyM) සංගීත කණ්ඩායම ගැනත් ගොඩක් රසකතා තියෙනවා.  කාන්තාවන් තුන් දෙනෙකුත්, එක පිරිමියෙකුගෙනුත් සමන්විත මේ කණ්ඩායමේ ඇත්තටම ගීත ගායනා කරලා තියෙන්නෙ දෙන්නයි.කණ්ඩායමේ සියල්ලන්ම කළු ජාතිකයන් උනත් , මෙය ජර්මනියෙන් බිහි උන, ජර්මන් සුද්දෙක් උන ෆ්‍රැන්ක් ෆේරියන් කියන සංගීත අධ්‍යක්ශකවරයට අයිති සංගීත කණ්ඩායමක්. 

බොනිඑම් කණ්ඩායම ගැන රස කතා ටික වෙන ලිපියකින් ලියන්නම්...

P:S-
1. සියොනිස්ට් ව්‍යාපාරය කියන්නේ යුදෙව්වන් වෙනුවෙන් වෙනම ජාතික රාජ්‍යක් ඇති කර ගන්න ඕනේ කියන මතවාදයට. මේ මතවාදය අනුව යමින් තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ මැදපෙරදිග ඊශ්‍රායලය බිහිවෙන්නෙ.
2.මේ තියෙන්නෙ යුදෙව්වන් ගැන මම මීට කලින් ලියපු පෝස්ට් එකක්...


3. මේ සින්දුවේ වචන වගේම, සින්දුවේ මූලාරම්බයත් දේශපාලනිකයි. මුල් කාලයේදී මෙය ජැමෙයිකා රජය තහනම් කරලත් තිබ්බා. ඒත් බොනියෙම්ලගේ ඩිස්කො සංගීතයත් සමග මෙය ඉතා ජනප්‍රිය උනා.  

Tuesday, 7 November 2023

ෆ්‍රෙඩී ගැන කථාවක්...

සැබෑ ජීවිතය මෙයද? මෙය හුදෙක් ෆැන්ටසියක්ද?


Is this the real life? Is this just fantasy?Caught in a landslide, no escape from realityOpen your eyes, look up to the skies and seeI'm just a poor boy, I need no sympathyBecause I'm easy come, easy go, little high, little lowAny way the wind blows doesn't really matter to me, to me

මේක සිංදුවක්.... ඒ වගේම ෆිල්ම් එකක් ගැන කථාවක් .....


ගිය සුමානේ කම්මැලිකමේ නෙට්ෆ්ලික්ස් එක පීරමීන් ඉන්න කොට අහම්බෙන් මුණ ගැසුනු කථාවක්.  තිබ්බ එකම ගිණිකූරේන් සිගරට් එකක් පත්තුකර ගත්තා වගේ සතුටක් දැනුනේ.

2018, කොලඹදී,  මේ චිත්‍රපටිය ස්කොප් සිනමා ශාලාවල තිරගත වෙද්දි, ඒක මට මග ඇරුනා. චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා බලනවා නම්, කොහොමත් ලමයි කැමති චිත්‍රපටි තමයි බලන්න වෙන්නෙ. ඒ නිසා මේක කොහොමත් හෝල් එකකට ගිහිල්ලා බලන්න වෙන්නෑ. 

QUEEN  කියන්නේ හැමෝම දන්න, 70 -80 දශක වල බටහිර රොක් සංගීතය වෙනම ලෙවල් එකකට අරං ගිය සංගීත කණ්ඩායමක්. 

චිත්‍රපටියෙ නම  Bohemian Rhapsody (බොහීමියන් රැප්සොඩි_. ඒක කුඊන් (QEEN) බැන්ඩ් එක ගැන ලස්සන කථාවක්. 




"Bohemian Rhapsody" කියන්නේ ගොඩක් දෙනෙක් පිලිගන්න විදිහට   QUEENලගේ සිංදු අතරින් ඉහලින්ම වැජඹෙන සිංදුව. අර අග්‍රඵලය කියන්නේ. අන්න ඒක.මේක රොක්, බැලඩ්, ඔපේරා වැනි බටහිර සංගීත ශෛලීය කීපයක් ආශ්‍රිතව පත අට එකට හින්දලා ගත්ත සිංදුවක්. ඒ නිසාම  කණට නිතර ඇහෙන අනෙක් රොක් සිංදුවලට වඩා ඒක වෙනස්.

ඉතින් QUEEN බෑන්ඩ් එක ගැන හදපු චිත්‍රපටියට බොහීමියන් රැප්සොඩි  (Bohemian Rhapsody) කියන නම දාපු එක ගැන නම් අහන්න දෙයක් නෑ.  හැබැයි, කවුරුත් නොදන්න දේ තමයි ඒ සිංදුවට බොහීමියන් රැප්සොඩි කියලා නම දැම්මේ ඇයි කියලා? ඇත්තටම සිංදුව ලියපු ෆ්‍රෙඩී මර්කරිවත් කවදාවත් මේකට කෙලින් උත්තරයක් දීලා නෑ. 

ෆ්‍රෙඩී මර්කරි කියන්නේ කුඊන්  ( Queen)  බෑන්ඩ් එකේ ලීඩ් වෝකල්. ඒ කියන්නෙ ප්‍රධාන ගායකයා. ඒ වගේම බෑන්ඩ් එකේ පියානෝ වාදකයා. ෆ්‍රෙඩී අමතක කරලා කුඊන් ගැන කථා කරනවා කියන්නේ, අර්ජුණව හලලා 96 දී  ක්‍රිකට් ලෝක කුසලානය ගැන  කථා කරනවා වගේ වැඩක්. 

චිත්‍රපටියෙදි උනත් ඒක එහෙමයි. ඇත්තටම චිත්‍රපටිය හදලා තියෙන්නෙ ෆ්‍රෙඩී ගැනද නැත්තං කුඊන් බෑන්ඩ් එක ගැනද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මං දන්නෑ. ඒක හරියට කහමදය නැත්තං බිත්තර බුල්සයි එක බුල්සයි එකක් වෙනවද වගේ ප්‍රශ්ණයක්. 

මිනිහෙක්ගේ ශරීර අවයව හෑල්ලුවට ගන්න මං කැමති නෑ. ඒක හොද වැඩක් නෙමෙ. ඒත් ෆ්‍රෙඩී ගේ ඉස්සරාට ආපු බොල්ලෑ දත් ගැන නම් කථා නොකරම බෑ. මොකද ඒක එයාගේ අනන්‍යතාවයක්. මට  හිතන්නේ දත් වල බොල්ලෑ ගතියක් තිබ්බම හොදට ගායනා කරන්න පුලුවන් කියලා. දෝංකාරගතියක් ගේන කට හඩ, පැහැදිලි චචන උච්චාරණය, සප්තක පරාසය, මේ බොල්ලෑ දත් හින්දා වඩා හොදින් කරන්න පුලුවන් වෙනවා ඇති. ඉන්ද්‍රාණී පෙරේරා, කපුගේ වැනි ලංකාවේ ගායකයන්ගෙ උනත් මේ ලක්ශණ පේන්න තියෙනවා. මට උනත් හිතිලා තියෙනවා ඒ වගේ දත් කුට්ටමක් තිබ්බා නම් මටත්  ගීත ගායනය  පුලුවන් වෙන්න තිබ්බා කියලා. රෝහණ විජේවීරත් දේශපාලනය පැත්තක  තියලා ගායනයට යොමු උනා නම් හොද ගායකයෙක් වෙන්න තිබ්බා. එයාගෙත් තිබ්බේ බොල්ලෑ දත් කුට්ටමක්. එහෙම උනා නම් ඉතිහාසයත් වෙනස් වෙනවනේ.

බොල්ලෑ දත් කුට්ටම වගේම ෆ්‍රේඩීගේ බුරුසු රැවුලත් බොහොම ජනප්‍රිය එකක්. චිත්‍රපටිය තුලදි ෆ්‍රෙඩීගේ චරිතයට පණ පොවන රැමී මැලක් ඒ ආකාරයෙම රැවුලකින් හැඩ උනා. ඇත්තටම  රැමි ඒ චරිතය රඟපෑව කියනවා නම්, ඒක  බොරුවක්. ඔහු කලේ රඟපෑමක් නෙවේ, ෆ්‍රෙඩී මර්කරිට නැවත පණ දීමක්. ඒ තරම් ඔහු ඒ චරිතය තුල ජීවත් උනා.එහෙම කියන්න ෆ්‍රේඩිගේ ඇත්ත ජීවිතය ගැන මම දන්නෙ නෑ.ඒත් කුඊන්ගේ රසිකයෙක් හැටියට ෆ්රෙඩී ස්ටේජ් එකේ හැසිරෙන විදිහ ගැන මම ඕනතරම්  වීඩීයෝ වල දැකලා තියෙනවා. ඒ ඇක්ශන් ටික ඒ විදිහටම ගන්න රැමී මැලක්  Bohemian  Rapsody චිත්‍රපටිය තුල සමර්ථ  වෙලා තියෙනවා . 

ෆ්‍රේඩීගේ බාහිර රූපය විතරක් නෙවේ බෑන්ඩ් එකේ අනෙක් සමාජිකයන්ගේ පෙනුමද ඇත්තටම ඒ අකාරයෙන්ම ගලපන්න චිත්‍රපටි කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ ගැන ලකුණු සීයෙන් සීයම දෙන්න පුලුවන්. 


ඇත්ත ෆ්‍රෙඩී සහ ෆ්‍රෙඩීට රඟපාපු රැමී මැලක් 


ෆ්‍රේඩීට තිබ්බා පොඩි අනන්‍යයතා ප්‍රස්නයක්. ඒ ෆ්‍රේඩී ඔරිජිනල් සුද්දෙක් නොවන නිසා. ෆ්‍රෙඩීගේ දෙමව්පියන් ඉන්දියන් සාගරයේ පිහිටි සැන්සිබාර් දිවයිනේ සිට  එංගලන්තයට සංක්‍රමණය වෙච්චි කට්ටියක්. ෆ්‍රෙඩී පුංචි කාලේ හිටියේ සැන්සිබාර්වල. ඇත්තටම කියනව නම් ෆ්‍රෙඩී මර්කරි කියන්නේ එයා පස්සෙ කාලේ දාගත්ත නමක්. වේදීකාවට හරියන්න. එයාගේ දෙම්වපියන් දුන්න මුල නම ෆාරුක් බල්සාරා. ෆ්‍රෙඩීට තිබ්බ මේ අනන්‍යතා ප්‍රශ්ණය, ඉතා හොදින්, සියුම්ව  චිත්‍රපටිය ඇතුලේ නිරූපණය වෙනවා.

ෆ්‍රෙඩීගේ ලිංගික රුචියත් මේ වගේම අනන්‍යතා ගැටළුවක එක පැත්තක්. ෆ්‍රෙඩී අනෙක් අය වගේම තමන් ආදරය කරන ගෑණු ලමයව බදිනවා.ඒත් පසු කාලෙක මේ ආදරයෙන් අයින් වෙලා ඔහු සමලිංගිකයෙක් බවට පත්වෙනවා. ඒත් ඔහුගේ බිරිද, මේරී ඔස්ටින් ගැන තියෙන ආදරය වෙනස් වෙන්නෙ නෑ. ඔහු ඒ යාළුකම ලිංගික සම්බන්ධයකින් තොරව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. සමහර වෙලාවට අපට ඇහැක් තියෙනවා කියලා මතක් වෙන්නෙ ඇහැට රොඩ්ඩක් ගියාම. ඒ වගේ මේරී වෙන මනුස්සයෙක් හොයා ගත්තම තමයි ෆ්‍රෙඩීට මේරීගෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒත් ඇත්තටම ඔහු මේරීගෙන් වෙන්වෙලා ගත කරන ජීවීත පරිච්චේදයේදී, ඔහුගේ ජීවීතය අවුලෙන් අවුලට ගමන් කරනවා. ඒ ගමනේ අවසානයේදී ඔහුව ඒඩ්ස් රෝගය ඩැහැ ගන්නවා. අලි මදිවට කොටි කිව්වා වගේ මේ කාලයේදී ඔහු ක්වීන් බෑන්ඩ් එකෙනුත් වෙන් වෙනවා. ෆ්‍රෙඩී නැති කුඊන්  බෑන්ඩ් එකක් නෑ. චිත්‍රපටිය තුල මේ සිදූවීම් ලස්සනට පෙල ගස්සනවා.  


ෆ්‍රෙඩී සහ මේරී අතර තියෙන්නෙ ඉතා ගැඹුරු සම්බන්ධයක්. චිත්‍රපටිය තුල මේ ගැන ඉතාමත් සියුම්ව ඉස්මතු කර පෙන්වනවා.

ලිපිය ගොඩක් දිගට ඇදුනු නිසාත්, චිත්‍රපටිය සම්පූර්ණයෙන් විස්තර කිරීම එය බලන්න ඉන්න අයට කරන අසාධාරණයක් නිසාත්, මේ පෝස්ට් එක මේ හරියෙන් නවත්වන එක හොදයි. නමුත් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.  කුඊන් බෑන්ඩ් එකේ මෙන්ම බොහීමියන් රැප්සොඩි ෆිල්ම් එකෙත් කූඨ පාප්තිය වෙන්නෙ  1985  එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති ලයිව් එයිඩ් දැවැන්ත සංගීත සංදර්ශනය. 

මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබ්බේ , ඒ දවස් වල ඉතියෝපියාවේ පැවති සාගතයට  උත්තර දෙන්න සල්ලි හොයන්න.එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට සමගාමීව ඇමෙරිකාවෙ ෆිලඩෙප්ෆියා වලත් මේ ප්‍රසංගය සංවිධානය කලා. මේ ප්‍රසංගය  මුලු ලෝකය පුරා සජීවීව විකාශණය කලා.රටවල් 150 ක බිලියන 1.9 පමණ ජනතාවක් මේ ප්‍රසංගය සජීවීව නැරඹුවා.මෙය මානුශීය ආධාරයක් වෙනුවෙන් මුලු ලෝකයම සංගීතයත් එක්ක එකට හිට ගත්ත අවස්ථාවක් ලෙස ඉතිහාසගත වෙනවා.




කොච්චර අනෙක් ගායක ගායිකාවන්ගේ ගීත ඒ වේලිකාවේ එදා ඉදිරිපත් කලත්,  ෆ්‍රෙඩී ඇතුලු කුඊන් සංගීත කණ්ඩායම කල ඉදිරිපත් කිරීම  රොක් සංගීත කලාවේ උච්චතම අවස්ථාවක්. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කලින් යූටියුබ් එකට ගිහින්  Queen + Live Aid  කියලා සර්ච් කරලා ඒක බලලා ඉන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මම නම් දැනුත් ඒක කලා. 

ප:ලි - මගෙ නම් ආසම කුඊන්ලගෙ සිංදු ටික පිළිවෙලට
1. I Want to Break free
2. We Are the Champions
3. We Will Rock You
4. Radio Ga Ga




2222