අද මේ සටහන ලියන්න හිතුණේ තවත් බ්ලොග් සටහනකට මම දාපු කමෙන්ට් එකක් නිසා.
“ඉකොනොමැට්ටා” බ්ලොග් එකේ ලංකාවට 2027 ඉඳන් ඉදිරියට ගෙවන්න තියෙන ස්වෛරී බැඳුම්කර ණය ගැන හොඳ විස්තරයක් දාලා තිබුණා. විශේෂයෙන්ම ඉදිරි අවුරුදුවල ගෙවීමට නියමිත මුදල් කොපමණද, ඒවා කාලයත් එක්ක බෙදී යන්නේ කොහොමද කියන දත්ත ටික එක තැනකට එකතු කරලා ඉදිරිපත් කරලා තියෙනවා.
මේ වගේ දත්ත බැලූ බැල්මට හොයාගන්නත් ලේසි නැහැ. තැන් තැන්වල තියෙන තොරතුරු හොයලා, එකතු කරලා, තේරුම් ගන්න පුළුවන් විදිහකට ඉදිරිපත් කරන්නත් සෑහෙන මහන්සියක් යනවා. ඒ මහන්සිය අරගෙන මේ තොරතුරු ටික අපට බලන්න එක තැනකට ගෙනාපු economtta. බ්ලොග්කරුට ඒ ගෞරවය මුලින්ම දෙන්න ඕනේ.
බොහෝ දෙනෙක් අතර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම, විදේශ සංචිත, නැවත ණය ගැනීම සහ IMF වැඩසටහන අතර සම්බන්ධය ගැන යම් වැරදි අවබෝධයක් තියෙනවා කියල මට හිතෙනවා.
ඒ ගැන මගේ අදහස මම එතැන කමෙන්ට් එකක් විදිහට ලිව්වා. ලියලා ඉවර වුණාම හිතුණා, කමෙන්ට් එකක් ඇතුළේ හිරකරලා තියන්නෙ නැතුව ඒ අදහස වෙනම සටහනක් විදිහට මේ බ්ලොග් එකේ පළ කිරීම වටිනවා කියලා.
ඔන්න එහෙනම් ඒ කමෙන්ට් එක. ක්‍රිකට් වලටත් පොඩ්ඩක් සම්බන්ධ කලා. .
//
අපේ ගොඩක් දෙනා අතර තියෙන වැරදි අවබෝධයක් තමයි, අපි දැන් ඩොලර් සංචිත එකතු කරගෙන ඉන්නේ ඉස්සරහට තියෙන ස්වෛරී බැඳුම්කර ණය ඔක්කොම ඒ සංචිතයෙන් අරගෙන ගෙවන්න කියන එක.
කාරණය එච්චර සරල නැහැ.
අපේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය තවමත් තියෙන්නේ විශාල ණය බරක් යටතේ. මෑත වසරවල රාජ්‍ය ආදායමෙන් අතිවිශාල කොටසක් ණයවල පොලී ගෙවීමටම වැය වෙලා තියෙනවා. ඒ අතරම කල්පිරෙන දේශීය සහ විදේශීය ණය principal එකත් manage කරන්න ඕනේ.
ඒ නිසා රටකට හැම කල්පිරෙන ණයක්ම තමන්ගේ ආදායමෙන් හෝ මහ බැංකුවේ සංචිත කඩාගෙන ගෙවමින් යන්න බැහැ. Sovereign debt management එකේ සාමාන්‍ය කොටසක් තමයි කල්පිරෙන ණයවල යම් කොටසක් නැවත refinance කිරීම.
එතැනදී සැබෑ ප්‍රශ්නය “අලුතෙන් ණය ගන්නවාද?” කියන එක විතරක් නෙමෙයි.
ණය ගන්නේ කීයටද?
කලින් 7%, 8%, 9% වගේ ඉහළ yield එකකට ගත්ත ණයක් කල්පිරෙන වෙලාවේ, රටේ risk premium එක අඩු කරගෙන ඊට වඩා අඩු පොලියකට සහ දිගු කාලයකට refinance කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.
IMF වැඩසටහනේ වැදගත්කම එතැනදීත් තියෙනවා.
IMF එක අපේ සියලු ණය ගෙවලා දෙන්නේ නැහැ. නමුත් IMF programme එකක් ක්‍රියාත්මක වීමෙන් fiscal discipline, debt sustainability, reserves සහ monetary stability ගැන ජාත්‍යන්තර ණය දෙන්නන්ට යම් විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඒ විශ්වාසය රටේ sovereign risk premium එක අඩු කරගෙන නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට පිවිසීමට වැදගත් වෙනවා.
හැබැයි මෙතැන තවත් දෙයක් තේරුම් ගන්න ඕනේ.
මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය කියන්නේ එකම දෙයක් නෙමෙයි.
ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම්, මූල්‍ය ස්ථාවරත්වය හදාගැනීම ටෙස්ට් මැච් එකක් වගේ. විකට් එක රැකගෙන, අවදානම පාලනය කරගෙන, දිගු ඉනිමක් ගහන්න ඕනේ.
නමුත් රටට අවශ්‍ය වේගවත් ආර්ථික වර්ධනය ලබාගැනීම T20 එකක් වගේ. Investment ගේන්න ඕනේ. Export වැඩි කරන්න ඕනේ. කර්මාන්ත ඇති කරන්න ඕනේ. Productivity වැඩි කරන්න ඕනේ. අලුත් රැකියා හදන්න ඕනේ.
ගේම තියෙන්නේ මේ දෙක balance කරන එකේ.
T20 ගහන්න ගිහින් විකට් ටික ඔක්කොම දීලා දැම්මොත් ආයෙත් 2022 වගේ අර්බුදයකට යන්න පුළුවන්. හැබැයි විකට් එක රැකගන්නවා කියලා ලකුණු නොගහා crease එකේ හිටගෙන හිටියත් මැච් එක දිනන්න බැහැ.
ඒ නිසා දැන් ලංකාව ඉදිරියේ තියෙන සැබෑ අභියෝගය ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොවෙයි. ඒ ස්ථාවරත්වය බිඳ නොගෙන, ආර්ථික වර්ධනයට අවශ්‍ය වේගය ලබාගන්නේ කොහොමද කියන එකයි.
ඒක තමයි ඊළඟ ගේම.//