Wednesday 22 November 2023

ජූස්ලාගෙ කළු සින්දුව

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්....

By the rivers of Babylon

80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්‍රිය ඉංග්‍රීසී සින්දුවක්.  ඉංග්‍රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය ගායනා කලේ බොනිඑම්  ( BoneyM)සංගීත කණ්ඩායම. 





මේ සින්දුවත් ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා වගේ තමයි. හැබැයි මේක බයිලාවක් නෙවේ. ජෝන්ස්ගේ ගීත වල කියැවෙන්නෙ ඉතා දුක්බර, මිනිස්සු දවස් ගනන් වැලපුණ සිද්ධි. සමහර විට මිනිස්සු සිය ගනන් මිය ගිය ඒවා. ඒත් ඒ සිංදු වලට මිනිස්සු නටනවා. 
සයුර බලා බඳ ලෙලවා 
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං  කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා  
මරු තුරුලට අරං ගියා 
මුළු සිරිලක දුකෙහි ගිල්වලා 

බෝට්ටුවෙ ගිහින් ජිවිත ගණනාවක්  බිලි ගත්ත  සිද්ධියක් ගැන විස්තර කරන මේ සිංදුවට අපි කොච්චර නටලා ඇත්ද? මේක වගේම ජොන්ස් ගේ අනෙක් සිංදුත් තනිකරම ශෝකාලාප.

බයි ද රිවර්ස් ඔෆ් බෑබිලෝන්  සිංදුව ,බොනියම් කණ්ඩායම ෆුල් ජොලියේ  නටමින් ගායනා කලත්,80 දශකයේ පා(ර්)ටි වල නිතරම ඇහුන සිංදුවක් උනත් , සිංදුවේ තේරුම ඇවිල්ලා දුක්මුසු කථාවක් . 




මේ සිංදුවේ වචන වල තියෙන්නෙ යුදෙව් ජාතිකයන්ගෙ ශෝකාලාපයක්. වර්තමාන ඊශ්‍රායලය බිහි වෙන්නෙ කලින්, මැදපෙරදිග, ජෙරුසෙලමෙ  හිටපු යුදෙව්වන් ,  අතීතයේ වරින් වර බලවත් උනු අධිරාජ්‍යන් තමන්ගේ වහලුන් විදිහට තමන්ගෙ රටවලට ගෙනිච්චා.

ක්‍රිස්තූ පූර්ව 580 ගනන් වල දි, එකල බලවත් අධිරාජ්‍යක් උන බැබිලෝනියාව ජෙරුසලම ආක්‍රමණය කරලා එහි හිටපු  යුදෙව්වො තමන්ගේ වහල්ලු විදිහට බැබිලෝනීයාවට අරං යනවා. මේ සිද්ධිය , යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ එහෙමත් නැතිනම් පරණ තෙස්තමේන්තුවේ විස්තර වෙනවා. බොනිඑම්ලගේ මේ සිංදුවත්, හිබෲ බයිබලයේ සදහන් වෙන මේ සිද්ධිය පාදක කරගෙන ලියැවිච්චි එකක්.

By the rivers of Babylon
There we sat down
Yeah, we wept
When we remembered Zion

සිංදුවේ මුල කොටසින්ම කියැවෙන්නෙ බැබිලෝනියානු ගංඉවුරේ හිර කරන් ඉන්න යුදෙව්වන්ට තමන්ගේ රට,ගම් බිම් මතක් වී කදුළු වැටෙන ආකාරයයි. මෙහි සියෝන් (Zion) ලෙස හදුන්වන්නේ මෙකල ඊශ්‍රායලයටම තමයි. ඇත්තෙන්ම සියොන් කියන්නේ ජෙරුසලමේ තියෙන යුදෙව්වන්ගේ පූජනීය කදු ගැටයක් ආශ්‍රිත පෙදෙසක්. මේ වචනේ මූලික කරගෙනම තමයි (අන්තවාදී) යුදෙව් මතවාදයක් උන සියොනිසම් (Zionism) බිහිවෙන්නෙත්.

සිංදුවේ ඉතිරි කොටස් වලින් මේ කථාව තව තවත් විස්තර වෙනවා

When the wicked
Carried us away in captivity
Required from us a song
Now, how shall we sing the Lord's song
In a strange land?

දුෂ්ඨ මිනිස්සූ , යුදෙව්වන් උන අපිව හිර කරගරගෙන, ආගන්තුක රටක් ඉදන් අපේ දෙවියන් වෙනුවෙන් යාතිකා කරන්නේ කොහොමද? ඒ කොටසේ තේරූම ඒ වගේ එකක්...

පොඩි කාලේ අපේ කණට නිතර ඇසුනු මේ සිංදුව, යුදෙව්වන් වෙනුවෙන් ගැයුනු යුදෙව්වන්ගේ ශෝකාලාපයක් බව මම දැන ගන්නේ ගොඩක් පහු වෙලා.

හීබෲ බයිබලයෙන් වචන අරන් මේ සින්දුව හැදුනත්, ඇත්තටම මේක බොනියම්ලා අතට අහුවෙන්න කලින් ජැමෙයිකාවෙන් පටන් ගත්ත රස්තාෆාරි සින්දුවක්.1960 ගණන් වල රස්තාෆාරියන් කලාවත් එක්ක කල්ලන්ගේ නිදහස වෙනුවෙන් මේ ගීතය නිර්මාණය උනා. මේ ගීතයෙන් කියැවෙන පිටුවහල් කිරීම, වහල්භාවය සහ උත්තරීතර නිදහස කල්ලන්ගේ වහල්බාවයට එරෙහි නිදහස් සටන සමග හොදට පෑහුනා. 

රස්තා ලයින් එක අනුව මෙහි බැබිලෝනියාව කියන්නේ පීඩක බටහිර සුදු ජාතික රටවල්. මෙහි අවසානයේ Sing a song of freedom, brother! ( සහෝදරයනි,නිදහසේ ගීතය ගායනා කරමු....) යනුවෙන් හඬ ගා කීම තුලින් නිදහස වෙනුවෙන් එකතු වීම සංඛේතවත් කරනවා. 

ඒවගේම සින්දුවේ තුන් වෙනි වර්ස් එකත්  නිදහසේ තේමාවට භාවාත්මක හැගීමක් එකතු කරනවා. 

Let the words of our mouth
And the meditation of our heart
Be acceptable in thy sight here tonight

(අපේ වචන වලට ඉඩ දෙන්න...අපේ හදවතේ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න )

මේ ගීතය ගායනා කරන ජනප්‍රිය  බොනිඑම් (BoneyM) සංගීත කණ්ඩායම ගැනත් ගොඩක් රසකතා තියෙනවා.  කාන්තාවන් තුන් දෙනෙකුත්, එක පිරිමියෙකුගෙනුත් සමන්විත මේ කණ්ඩායමේ ඇත්තටම ගීත ගායනා කරලා තියෙන්නෙ දෙන්නයි.කණ්ඩායමේ සියල්ලන්ම කළු ජාතිකයන් උනත් , මෙය ජර්මනියෙන් බිහි උන, ජර්මන් සුද්දෙක් උන ෆ්‍රැන්ක් ෆේරියන් කියන සංගීත අධ්‍යක්ශකවරයට අයිති සංගීත කණ්ඩායමක්. 

බොනිඑම් කණ්ඩායම ගැන රස කතා ටික වෙන ලිපියකින් ලියන්නම්...

P:S-
1. සියොනිස්ට් ව්‍යාපාරය කියන්නේ යුදෙව්වන් වෙනුවෙන් වෙනම ජාතික රාජ්‍යක් ඇති කර ගන්න ඕනේ කියන මතවාදයට. මේ මතවාදය අනුව යමින් තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ මැදපෙරදිග ඊශ්‍රායලය බිහිවෙන්නෙ.
2.මේ තියෙන්නෙ යුදෙව්වන් ගැන මම මීට කලින් ලියපු පෝස්ට් එකක්...


3. මේ සින්දුවේ වචන වගේම, සින්දුවේ මූලාරම්බයත් දේශපාලනිකයි. මුල් කාලයේදී මෙය ජැමෙයිකා රජය තහනම් කරලත් තිබ්බා. ඒත් බොනියෙම්ලගේ ඩිස්කො සංගීතයත් සමග මෙය ඉතා ජනප්‍රිය උනා.  

2222