Friday, 7 August 2026

බන්ධනාගාර අර්බුදය: වරද කාගේද?

මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා.


ඇත්ත ප්‍රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකට ගාල් කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා 8, 9, 10 ගුණයක පිරිසක් ඉන්නවා. ඒ වගේ තත්ත්වයක මිනිසුන්ට නිදාගන්න ඉඩක්වත් නැති වෙන්න, සනීපාරක්ෂාව බිඳ වැටෙන්න, රෝග පැතිරෙන්න සහ ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.

දේශබන්දුගේ "යුක්තිය" මෙහෙයුමත්, ආණ්ඩුවේ "ඉවත් වෙනු" මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළත් ලංකාවේ මත් උවදුර මුලිනුපුටා දැමුවේ නැහැ.

හැබැයි ඒ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර පිරී ඉතිරී ගිය බවට විවේචන තියෙනවා. ධාරිතාව ඉක්මවා දහස් ගණනින් මිනිසුන් රඳවා තැබීමත්, රිමාන්ඩ් පිරිස වැඩිවීමත් අද බන්ධනාගාර පද්ධතියේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා.

මීගමුව, මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන වගේ ස්ථානවලින් ඇසෙන්නේ ඒ පද්ධතිමය අර්බුදයේ වේදනාකාරී ප්‍රතිඵලයයි.

හිටපු රැඳවියන් පවා කියන්නේ, ඇතැම් බන්ධනාගාරවල තත්ත්වය මිනිස් ජීවිතයකට සුදුසු පරිසරයක් නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ මානසික ආතතිය, කලකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැඩිවීම ස්වභාවික ප්‍රතිඵලයක්.

ඒ වගේම රැඳවියන්ට සිදුවන බව කියන අමානුෂික සැලකීම්, මූලික පහසුකම්වල හිඟය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා ගැනත් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේවා විසඳන්න වගකිවයුතු අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය ප්‍රමාණවත් පියවර ගත්තේද කියන ප්‍රශ්නය ජනතාව අහනවා.

අනිත් පැත්තෙන්, මත්ද්‍රව්‍ය මර්දනය කියන නාමයෙන් පුළුල් වැටලීම් කරලා, සුළු වැරදි සම්බන්ධයෙන් හෝ සැකපිට අත්අඩංගුවට ගන්නා විශාල පිරිසක් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමත් බන්ධනාගාර තදබදය වැඩිවීමට බලපානවා කියන විවේචනයත් තියෙනවා. නඩු විභාග ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා වැනි ක්‍රියාවලීන් ප්‍රමාද වීම නිසාත් රිමාන්ඩ් රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙනවා.

රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බන්ධනාගාර පුරවන ප්‍රචාරක මෙහෙයුම් නෙවෙයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. පාවිච්චිකරුවන් හෝ සුළු වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසෙන් බන්ධනාගාර පුරවලා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බන්ධනාගාර පද්ධතිය තවත් බිඳවැටෙන එක විතරයි.

Friday, 31 July 2026

සූරසේන කථාව

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට, කැබිනට් අනුමැතිය හිමිවෙලා.

හැබැයි මේ ගැන මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි — මේක ඇත්තටම පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙන එන වෙනසක්ද, නැත්නම් එක් පුද්ගලයෙකුගේ ධුර කාලය දිගු කිරීම වෙනුවෙන් කරන සංශෝධනයක්ද කියන එක.විශේෂයෙන්ම මේක ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුතුමාගේ සේවා කාලය දිගු කර ගැනීම අරමුණු කරගෙන ගෙන ආ දෙයක් කියන මතයක් සමාජයේ තියෙනවා.




මේකට පක්ෂව කතා කරන බොහෝ දෙනාගේ තර්කය වෙන්නේ සූරසේන මහතාගේ අත්දැකීම්, ඔහු අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කාර්යභාරය සහ තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය බවයි.
ඒ අදහස ගැන විවාදයක් නැහැ. හොඳ විනිසුරුවරයෙක් නම් ඔහුගේ සේවය වටිනා දෙයක්.

හැබැයි ප්‍රීති පද්මන් සූරරේන   මහතා හොඳ විනිසුරුවරයෙක්ද, දූෂණයට එරෙහිව ක්‍රියා කළ කෙනෙක්ද කියන එක මේ විවාදයේ ප්‍රශ්නය නෙවෙයි. ප්‍රශ්නය වෙන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් නීතිය වෙනස් කරන එක හරිද? කියන එකයි.

එතුමා මෙතරම්ම අවශ්‍ය නම්, ඇයි ඉහළ අධිකරණයේ පුරප්පාඩු 8ක් මාස ගණන් පුරවලා නැත්තේ? ඇයි නව විනිසුරුවරු පත් නොකරන්නේ? ආයතනය ශක්තිමත් කරනවා වෙනුවට, එක පුද්ගලයෙකුගේ සේවා කාලය දිගු කිරීම විසඳුමක් වෙන්නේ කොහොමද?

නඩු ප්‍රමාද වෙන්නේ විනිසුරුවරු විශ්‍රාම යන නිසා විතරක් නෙවෙයි. නීතිපති උපදෙස් ප්‍රමාදය, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, පොලිස් පරීක්ෂණ ප්‍රමාදය, පුරප්පාඩු, ඩිජිටල්කරණයේ අඩුපාඩු වගේ හේතු ගොඩක් තියෙනවා. ඒවා හදන්නේ නැතුව වයස අවුරුදු දෙකක් වැඩි කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

 අනික, මේ සංශෝධනය අභියෝගයට ලක් වුණොත් ඒ ගැන තීරණය ගන්න වෙන්නෙත් සේවා දිගුවෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන්ටමයි. එතනම conflict of interest එකක් ගැන සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක පුද්ගලයන්ට චෝදනාවක් නෙවෙයි, පද්ධතිය ගැන ප්‍රශ්නයක්.




 ඒ නිසා "සූරසේන හොඳයි, ඒ නිසා වයස දිගු කරන්න" කියන තර්කය භයානක පූර්වාදර්ශයක්. අද සූරසේන වෙනුවෙන් නීතිය වෙනස් කළොත්, හෙට වෙනත් ආණ්ඩුවක් තමන් කැමති විනිසුරුවරයෙක් වෙනුවෙන්ත් එහෙමම කරයි. නීතිය හදන්න ඕනේ පුද්ගලයන්ට ගැළපෙන්න නෙවෙයි; පුද්ගලයන් නීතියට ගැළපෙන්නයි.ස්

Thursday, 23 July 2026

යුපුන්ගේ කථාව...

යුපුන් අබේකෝන් වැනි ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ හැම පරම්පරාවකම නෙමෙයි. ඔහු තවත් එක මලල ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සීමාවක් බිඳ දැමූ ක්‍රීඩකයෙක්. තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු දකුණු ආසියානු ධාවකයා ලෙස ඔහු ලෝකයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවටත් ලෝක මට්ටමේ වේගවත් පිරිමි ක්‍රීඩකයන් බිහිකළ හැකි බවයි.

කණගාටුවට තියෙන්නේ, රටකට මෙහෙම දුර්ලභ අවස්ථාවක් ලැබුණාම ඒක තවත් ඉහළට ගෙනියන්න, රටට වටිනාකමක් කරගන්න තිබුණු අවස්ථාව වෙනුවට, වර්තමාන පාලකයන් ඒ දිහා බලලා තියෙන්නෙ සාමාන්‍ය ගණන් හිලව් පරිපාලන කාරණයක් විදිහට වීම.

ලොකු දැක්මක් තියෙන්න ඕන තැනක, කුඩා පරිපාලන මනසකින් තීරණ ගන්න දේශපාලුවන්, යුපුන්ටත් රටටත් අවාසනාවක්. මේකත් වැලි කොට්ට සංවර්ධනයටම සම්බන්ධ  කුඩා චින්තනයේ තවත් පැත්තක්.


යුපුන් වසර ගණනාවක් තමන්ගේ කැපවීමෙන් ලෝක මට්ටමට පැමිණි ක්‍රීඩකයෙක්. ඔහුගේ සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ ඉතාලියේ පුහුණු පද්ධතිය, විද්‍යාත්මක පුහුණුව, biomechanics, strength conditioning සහ ජාත්‍යන්තර තරග අත්දැකීම්.


ක්‍රිඩා ඇමතිගේ ඩොලර් 300,000 කතාව සත්‍යක් ලෙස පිලිගෙන ඒ ගැන කතා කලොත් එම දේශපාලුවන් ඇසිය යුතුව තිබුණේ

"මේ මුදල එක් ක්‍රීඩකයෙකුට දෙනවාද?" නොව,
"මේ ආයෝජනයෙන් රටට ලැබෙන වටිනාකම කොපමණද?" යන්නයි.

ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු රැක ගැනීම කියන්නේ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවේ. ඒක ජාතික සම්පතක් ආරක්ෂා කිරීමක්.

ඇත්තටම රජයට මෙතන තිබුණේ ඉතා හොඳ අවස්ථාවක්.

යුපුන්ට ඉතාලියේ පුහුණුව දිගටම කරගෙන යන්න සහය දීලා, ඒ සමඟ ගිවිසුමක් හදන්න තිබුණා:

-ඔහුගේ ජාත්‍යන්තර පුහුණු ක්‍රම ශ්‍රී ලංකාවට ගෙන ඒම.

-ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට නවීන sprint techniques ඉගැන්වීම.

-පාසල් මට්ටමේ වේගවත් දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන් ආරම්භ කිරීම.

-biomechanics, strength training, injury prevention, recovery වැනි නවීන ක්‍රම හඳුන්වාදීම.

එහෙම කළා නම් යුපුන්ට දුන් මුදල අවුරුදු කිහිපයකින් අවසන් වෙන වියදමක් නෙමෙයි. එය දශක ගණනාවකට බලපාන ක්‍රීඩා පද්ධතියක ආරම්භයක් වෙන්න තිබුණා.

අපි කළ යුතුව තිබුණේ යුපුන්ට මුදල් දීලා "දුවන්න" කියන එක විතරක් නෙමෙයි.

අපි කළ යුතුව තිබුණේ:
"ඔබ ලෝකය ජයගන්න. ඒ අතරේ ශ්‍රී ලංකාවේ ඊළඟ යුපුන්ලා 10 දෙනෙක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න." පුලුවන් වැඩ සටහනක් හදන එක.

එහෙම වුණා නම් ඩොලර් 300,000ක ආයෝජනයක ප්‍රතිඵලය එක ක්‍රීඩකයෙකුගේ කාලය පමණක් නොවෙයි. එය අවුරුදු 10–20කට බලපාන ශ්‍රී ලංකා sprint ක්‍රීඩා පද්ධතියක් බවට පත්වෙන්න තිබුණා

අද අපේ රටේ ප්‍රශ්නය දක්ෂ දරුවන් නැති එක නෙමෙයි. ප්‍රශ්නය තමයි ඔවුන් ලෝක මට්ටමට ගෙන යන පරිසරයක් නැති එක.

එක දරුවෙක් වේගවත් වෙන්න පුළුවන්. නමුත් ඔහුට:
නිවැරදි running technique කවුද උගන්වන්නේ?
ඔහුගේ ශරීරයට ගැලපෙන strength programme එක කවුද හදන්නේ?

ලෝක මට්ටමේ තරඟ අත්දැකීම ලබා දෙන්නේ කවුද?
පෝෂණය සහ recovery ගැන මඟ පෙන්වන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු නැති රටක යුපුන් වැනි ක්‍රීඩකයෙක් බිහිවීමම විශාල ජයග්‍රහණයක්.

ඒත් වර්තමාන ආණ්ඩුව කළ යුතුව තිබුණේ "මුදල් නැහැ" කියන පහසු පිළිතුර සෙවීම නොව, මෙය ජාතික ආයෝජනයක් ලෙස බැලීමයි.

රටක් අමාරු ආර්ථික තත්ත්වයක සිටින විටත් සියලු දේ නවත්වන්නේ නැහැ. දියුණු රටවල් අර්බුදවලදී පවා අධ්‍යාපනය, පර්යේෂණ, තාක්ෂණය සහ විශිෂ්ට පුද්ගලයන් සඳහා ආයෝජනය කරන්නේ ඒවා අනාගත ප්‍රතිලාභ ගෙන එන නිසා.

අද ප්‍රශ්නය යුපුන්ට මුදල් දුන්නාද නැද්ද කියන එක පමණක් නොවේ.

ප්‍රශ්නය වන්නේ:
ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ මිනිසෙක් ලැබුණු විට, ඔහුගෙන් රටට උපරිම වටිනාකම ලබාගන්න අපේ නායකත්වයට දැක්මක් තිබුණාද?

යුපුන් වැනි ක්‍රීඩකයෙකුට සහය දීම යනු ඔහුගේ ධාවන පථයට පමණක් ආධාර කිරීමක් නොවේ.
එය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයන්ගේ සිහින වලට ආයෝජනය කිරීමක්.

අවාසනාවකට, අපේ රටේ බොහෝ විට සිදුවන්නේ විශිෂ්ට මිනිසුන් බිහිවූ පසු ඔවුන්ට සහය දෙනවා වෙනුවට, ඔවුන් සාර්ථක වූ පසු ඔවුන්ගේ ජයග්‍රහණය සමරන එකයි.

යුපුන්ගේ කතාවෙන් අපි ඉගෙනගත යුතු පාඩම එයයි.



Sunday, 12 July 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?

ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.

අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදිලියි. බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන්ට පහසු ආකාරයට රාජ්‍ය ආයතන හැඩගස්වන්න උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් එවැනි අවස්ථාවලදී වඩාත්ම ආරක්ෂා කළ යුතු ආයතනයක් තමයි අධිකරණය.

අධිකරණය දුර්වල වුණොත් එහි බලපෑම විරුද්ධ පක්ෂයට විතරක් නෙවෙයි, අවසානයේ සාමාන්‍ය ජනතාවටම දැනෙනවා. ඒ නිසා මේ වගේ කරුණු ගැන කතා කරන විට පුද්ගලයන් හෝ පක්ෂවලට වඩා ඉහළින් බලන්න ඕනේ මූලධර්ම ගැනයි.

ආණ්ඩුවක් බලයට එන හැම වෙලාවකම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අධිකරණය තමන්ගේ එකක් කරගන්න හදන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකුම තර්ජනය.

අද ඉන්නෙ කවුද, හෙට ඉන්නෙ කවුද කියන එක වැදගත් නැහැ. අද මේ ආණ්ඩුවට බලය තියෙනවා. හෙට වෙන කෙනෙක්ට තියෙයි. ඒත් අධිකරණය හැමදාම ස්වාධීනව ඉන්න ඕන.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන එක නීතියෙන් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඇති. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒක කරන හේතුව සහ කරන වෙලාව ගැන. එක පුද්ගලයෙක්ට හෝ එක ආණ්ඩුවකට වාසි වෙන විදිහට නීති වෙනස් කරන්න පටන් ගත්තොත්, ඒක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි.

අධිකරණ සේවා සංගමය, නීතීඥ සංගම් වගේම නීති ක්ෂේත්‍රයේම පිරිසක් මේ ගැන කනස්සල්ල පළ කරනවා නම්, ඒක "අපිට 159ක් තියෙනවා" කියලා උඩින් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි. බලය තියෙනවා කියලා හැම තීරණයක්ම හරි වෙන්නේ නැහැ.

අධිකරණය කියන්නේ විනිසුරුවරුන් වෙනුවෙන් තියෙන ආයතනයක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිහාගේ අවසාන බලාපොරොත්තුව. දවසක ආණ්ඩුවක් ඔබට අසාධාරණයක් කළොත්, ඔබ යන්න තියෙන එකම තැන අධිකරණය. ඒ නිසා ඒ ආයතනය ගැන ජනතාවගේ විශ්වාසය බිඳෙන කිසිම වැඩක් කරන්න හොඳ නැහැ.

ආණ්ඩු එනවා, යනවා. පක්ෂ මාරු වෙනවා. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය එක පාරක් දුර්වල වුණොත්, ඒක ආපහු ගොඩනගන්න අවුරුදු ගණන් යනවා.

අපි ආරක්ෂා කරන්න ඕන විනිසුරුවරුන්ව නෙවෙයි. නීතියේ ආධිපත්‍යය. අද ඒක නැති කළොත්, හෙට ඒකේ වන්දිය ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව.

Monday, 9 February 2026

බෝලෙ වෙනුවට පිටියට ක්‍රීඩා කිරීම

ඊයේ අයර්ලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම බලද්දී, අපි ටිකක් වෙනස් කමිඳුවෙක් දැක්කා කියලා මට හිතුණා.

සාමාන්‍යයෙන් කමිඳු කියන්නේ නිවැරදි ක්‍රමයට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. සමාන්‍ය ස්ථාවරයක්, හොඳ සමබරතාවයක්,  ටිකක් textbook ක්‍රිකට් ගහන — ඉනිම හෙමින් පටන් අරං පස්සෙ පහරවල් වලට යන කෙනෙක්.

ඒත් ඊයේ ඔහු ක්‍රීඩා කලේ  වෙනදා වගේ “පන්දුවට” නෙමෙයි.  ඒ වෙනුවට ඔහු ක්‍රීඩා කළේ “පිටියට” කියලා මට හිතුණා.

එක තමයි නවීන T20 ක්‍රිකට්.





පරිපූර්ණ ශරීර සමබරතාව ගැන හෝ textbook ශෛලිය ගැන වැඩිය හිතනවා වෙනුවට, ඊයේ ඔහු කලේ වෙනස් විදිහට හිතන එක එක .

ඔහු බැලුවේ ෆීල්ඩ් එකේ ගැප් කොහෙද? මේ පන්දුව ෆීල්ඩර්ලා නැති තැනකට දාගන්න පුළුවන්ද? මේක තමයි ඔහුගෙන් මං දැක්ක වෙනස.

මෙහෙම හිතද්දි සාම්ප්‍රදායික  විදිහට බෝලේට ප්‍රතිචාර  දැක්වීම වෙනුවට,  නිතරම කල්පනා කරන්නෙ බෝලේ ෆීල්ඩින් ගැප් එකට දාගන්නේ කොහොමද  කියලා,  ඒ වෙලාවට, ශොට් එකෙන් පස්සෙ , ඇගේ සමබරතාවය  රැක ගැනීම වගේ සාම්ප්‍රදායික  කාරණා  වැදගත් නැහැ.

කමිදුගේ බැට් එක හොඳට බෝලේට කනෙක්ට් උනා. connection එක ක්ලීන්. පන්දුව ගැප් වලට ගියා. T20 එකේ වැදගත් වෙන්නේ ඒක.





මට ටිකක් සුරියකුමාර් යාදව්ගේ mindset එක මතක් වුණා — ඒ ඔහු මෙන් අතිශය 360° shots නිසා නෙමෙයි, ඒත් ඔහු හා සාමාන  හිතන විදිහ නිසා. පන්දුවට ප්‍රතිචාර දීම විතරක් නෙමෙයි. ෆීල්ඩ් එක දැනගෙන, angles adjust කරගෙන, ෆීල්ඩ් එකේ ගැප් එකට බෝලේ දාන එකේ සමාන කම නිසා.

මට වැඩිපුරම කැමති වුණේ ඔහු slow start , late aggressive  , මෝඩ් එකේ හිටියේ නැති එක. ඉනිම අඩු වේගයකට ඇදගෙන ගියේ නැහැ. Scoreboard එක ගමන් කරවමින්,  ඒ වේලාවේ අවශ්‍ය වෙලා තිබ්බ  ආක්‍රමණශීලී බව අරං දුන්නා.. ඒක forced වෙලා නෙමෙයි, controlled.

මේ ඇටිට්‍යුඩ් එක., මයින්ඩ් සෙට් එකතමයි ලංකාවේ අපේ බැටාලට සෙට් වෙන විදිහා. එහෙම නැතුව ඇගේ හයියෙන් බෝලේට ලයින් එක ක්ලියර් වෙන්න  ගහන එක නෙමෙයි.

උදාහරනයක් ලෙස  අපි මෙහෙම ගමු. fuller length එකේ බෝලයක් වැටෙනවා. සාම්ප්‍රදායික  විදියට මේකට හයේ පාරක් ගහනවනම් , ඉදිරිපාදය ලොෆ්ටඩ් පහරක් ඉස්සරහ  ගහන්න ඕනේ.  ඒත් ඒ සඳහා ෆීල්ඩර්ස්ලා දාලා ඉන්නවා.ලයින් එක ක්ලියර් කරේ නැත්නම් ෆිල්ඩර් කෙනෙක් කැච් එක අල්ලනවා. ලංකාවේ බැටෙක් පාරවල් දහයක් ගැහුවොත් අටක් විතරක්  කැච් එකක් විදිහට ලයින් එකේදි අල්ලනවා.ඒ ඕනෑම බෝලයක් , එහෙම ලයින් එක ක්‍රිලියර් වෙන්න ගහන්න තරම් අපේ අයට ඇඟේ ශක්තිය මදි හින්දා.

ඒත් ඒ වනුවට බෝලේ  ෆීල්ඩ් එකට ගහනකොට වෙන්නේ වෙන දෙයක්.

එතැනදී වෙන්නේ ඩ්‍රයිව් එකට එන බෝලෙ හරි, බෝල යටට ගිහිල්ලා පන්දුවට පිත්ත කනෙක්ට්  කරගෙන ෆීල්ඩ් එක නැති පැත්තකට බෝලෙ හරවන එක.මේව සාම්ප්‍රදායික නොවෙන නිසා සාම්ප්‍රදායික විදියට ෂොට් එකෙන් පස්සේ ඇඟ බැලන්ස් එක තියාගන්න බෑ.

ඇත්තටම, මේ විදිහට ක්‍රීඩා කරන්න  බුද්ධිමත් විය යුතුයි. 

කමිදු ඊයේ අපිට පෙන්නුවේ ලංකාවේ පවර් හිටින් වලට ගැලපෙන ස්ටයිල් එක.

ඔහුගේ ස්වභාවික game awareness එකත්, මේ field manipulate කරන හැකියාවත් එකට ගත්තොත්, ශ්‍රී ලංකා middle order එකට විශාල ශක්තියක් එකතු වෙනවා.

ඊයේ ඉනිම එක සරලව “හොඳ ඉනිමක්” විතරක් නෙමෙයි ඒක ලංකාවේ බැටාලට පවර් හිටින් වලට මග පෙන්වන  වර්ධනයේ ලකුණක්.

2222