Tuesday, 22 September 2026

නවනවා නැවිල්ලක්... කනේ වැලි ගෑවෙන්නම.

අද The Island පුවත්පතේ පළවී තිබුණු මේ කාටූනය දැක්කාම එක පාරටම මතක් වෙන්නේ අපේ රටේ නීතිය, අධිකරණය සහ දේශපාලන බලය අතර තියෙන සදාකාලික අරගලය.



කමක් නෑ ශිරන්ති  හිරේ දානවනේ. 
. ...😁
( සියලුම හිමිකම්  දී අයිලන්ඩ් පුවත්පත සතුයි. )


අද “හොරු අල්ලන්න” කියලා නීතිය ටිකක් නැමුවට , හෙට ඒ නීතිය කාට විරුද්ධව නමයිද කියලා අපි දන්නේ නැහැ. අද බලයේ ඉන්න කෙනාට හොඳයි කියලා හිතෙන නීතිමය shortcut එකක්, හෙට බලයට එන කෙනාටත් ඒ විදිහටම භාවිත කරන්න පුළුවන්.
අධිකරණයක වටිනාකම තියෙන්නේ අපි කැමති තීන්දුවක් දෙන තුරු නෙමෙයි. අපි අකමැති තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව නීතිය අනුව දුන්නා කියලා විශ්වාස කරන්න පුළුවන් වීමයි.

ඒ නිසා මේක “ආණ්ඩුව හොරු අල්ලනවාද නැද්ද?” කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය තමයි හොරු අල්ලන ක්‍රමයත්, හොරුන්ට විරුද්ධව නඩු අහන අධිකරණයත්, හෙට අපිටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණත් අපට විශ්වාස කළ හැකි තරම් ස්වාධීනද කියන එක.

The Island කාටූනයේ තියෙන පණිවිඩය ඒකයි.
නීතිය පාලකයාගේ අතේ තියෙන යෂ්ටියක් නොවෙයි. පාලකයාත් ඇතුළුව හැමෝම යටත් වන සීමාවක්.
අපට රටක් විදිහට ඕනේ හොරු හිරේ යන රටක් විතරක් නෙමෙයි — කවුරු ආණ්ඩු කළත් නීතිය එකම විදිහට ක්‍රියාත්මක වෙන රටක්.

Thursday, 17 September 2026

නීති පොතද, මනුෂ්‍යත්වය ද?

අරවින්ද ද සිල්වාට නිකුත් වූ බව කියන අධිකරණ වරෙන්තුව ගැන පසුගිය දිනවල කතාබහ වෙද්දී, මට එකවරම මතක් වුණේ මීට දශක ගණනකට පෙර රූපවාහිනියෙන් අපි ආසාවෙන් බලපු මනුතාපය යි.

වික්ටර් හියුගෝගේ ලියූ  ඓතිහාසික සමාජ නවකතාවක් වුන  Les Misérables අපේ රටේ පරම්පරාවකටම හුරු වූයේ, ඊරියගොල්ල මහත්තයා සිංහලට පරිවර්තනය කල මනුතාපය කෘතිය හරහාත්,  එම නමින්ම ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීමෙන් පෙන්වපු රූපවාහිනි නාට්‍ය  හරහාත්ය. 

ඒ කතාවම දුවන්නේ  මිනිස් ඉතිහාසයේ සිට නොනැවතී ගලන ගැටුමක් පාදක කරගෙන.

එක් පැත්තක ජාවර්ජා ( ජන්තු).

ඔහුට නීතිය කියන්නේ නීතියයි. නීතියේ අකුරට පිටින් යනවට වඩා මරණය තෝරාගන්න කැමති පුද්ගලයෙක්. ඔහුට අනුව නීතිය උල්ලංඝනය කළ කෙනා කවුරු වුණත්, ඔහු නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් . පුද්ගලයාගේ දුක, පසුබිම, අසරණකම හෝ ඔහුගේ මනුෂ්‍යත්වය ඒ නීතිමය වගකීම වෙනස් කිරීමට හේතුවක් නොවෙයි.

අනෙක් පැත්තේ ජන් වල්ජන් (ජනවර්ධන) 

ඔහු අපට නිතරම මතක් කරන්නේ නීතිය ඉදිරියේ සිටින පුද්ගලයා යනු නීති පොතක ඇති නමක් පමණක් නොවන බවයි.

ඔහුත් මනුෂ්‍යයෙකි.ඔහුට දුක තිබේ. පසුතැවීම තිබේ. ආදරය තිබේ. අසරණකම් තිබේ.

එතැනින් තමයි මනුතාපයේකතා කරන ලෝක ඉතිහාසයේ මුල ඉඳන්ම එන සැබෑ සදාකාලික ප්‍රශ්නය මතුවෙන්නේ.

නීතියේ අකුරටම ක්‍රියා කිරීම ප්‍රමාණවත්ද?

නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ, නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දෙසත් බැලිය යුතුද?

අරවින්ද ද සිල්වා සම්බන්ධ සිද්ධිය මේ පැරණි ප්‍රශ්නයම අද අප ඉදිරියේ නැවත තබනවා.

වාර්තා වන ආකාරයට, ඔහු මෙම නඩුවේ අපරාධ සැකකරුවෙකු ලෙස නොව වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සම්බන්ධ වී සිටි අයෙකි. නඩුව කැඳවූ දිනයේ ඔහු තම මවගේ අවසන් කටයුතුවල නිරතව සිටි බවත් වාර්තා වේ.

මේ කාරණය අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම නිසා අධිකරණය විසින් තාක්ෂණිකව ඉතාමත් නිවැරදි ලෙසම අරවින්ද සිල්වාට එරෙහිව වරෙන්තු නිකුත් කළා. එය මාධ්‍ය හරහා අත්තටු ලැබුවාක් මෙන් ම පැතිරී ගොස් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද  සිල්වාගේ නාමයට යම් කිසි කැළලක් ඇති කිරීමට සමත් වුණා.





එවැනි අවස්ථාවක නීතියේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබිය හැකිය.

ඇපකරුවෙකුට ඇති වගකීමක් තිබෙනවා. නඩුවට අදාළ නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. නොපැමිණීමක් වාර්තා වුණොත් අධිකරණයට නීතිමය පියවර ගැනීමට සිදුවිය හැකියි.

ඒ සියල්ල අපට පිළිගන්න පුළුවන්.

නමුත් ඒ අතර තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු නොපැමිණියේ නීතිය නොසලකා හැරීමටද? නැත්නම් තම මියගිය මවට අවසන් ගෞරව දැක්වීමටද?

මේ දෙක එකම දෙයක් නොවෙයි.

ඒ නිසා මෙය විනිසුරුවරයා හරිද වැරදිද කියන සරල ප්‍රශ්නයකට පමණක් සීමා කිරීම මට නම් ප්‍රමාණවත් නැහැ.

මෙතැන අපි අහන්න ඕනේ ඊට වඩා විශාල ප්‍රශ්නයක්.

නීතිය ක්‍රියාත්මක කරන විට, නීතින් පොතේ වදන් පමණක් දකින්නට අපට පුළුවන්ද?

නීතිය මනුෂ්‍යයන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මනුෂ්‍යයන් සඳහාය. එහෙම නම්, නීතිය ක්‍රියාත්මක කරන පද්ධතිය තුළ මනුෂ්‍ය ජීවිතයේ අසාමාන්‍ය තත්ත්වයන් හඳුනාගැනීමටත් යම් ඉඩක් තිබිය යුතු නොවේද?

ඒ සමඟම නීතිඥයන්ගේ වගකීමත් අපි අමතක නොකළ යුතුයි.

එවැනි අසාමාන්‍ය තත්ත්වයක් ඇති බව අධිකරණයට කලින් දැනුම් දිය හැකිව තිබුණාද? ඒ සඳහා අවශ්‍ය අයදුම්පතක් හෝ දැනුම්දීමක් ඉදිරිපත් කළ යුතුව තිබුණාද? එය සිදු නොවුණේ නම්, එහි වගකීම කොතැනද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ කරුණු සහ අධිකරණ වාර්තා මත මිස හැඟීම් මත නොවෙයි.

නමුත් එක දෙයක් නම් අපට පැහැදිලියි.

නීතියට මනුෂ්‍යත්වය අවශ්‍යයි. මනුෂ්‍යත්වය නැති නීතියක් යන්ත්‍රයක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේමබ්නීතිය නැති මනුෂ්‍යත්වයක් අරාජිකත්වයක් වෙන්න පුළුවන්.


ඒ නිසා ශිෂ්ට සමාජයක අභියෝගය මේ දෙකෙන් එකක් තෝරාගැනීම නොවෙයි.නීතියත්, මනුෂ්‍යත්වයත් එකට තබාගැනීමයි.

මනුතාපයේ ජාවර්ජා නීති පොතේ අකුරු විතරක් බලන්න යෝජනා කරා.

ජන් වල්ජන් අපට නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දැකීමට ඉගැන්වුවා.

අද, අවුරුදු ගණනාවකට පසුව, අරවින්ද ද සිල්වාගේ සිද්ධිය ඉස්සරහ නැවතත්, මනුතාපය විසින් ඉස්මතු කරන ලද ප්‍රශ්නයම අප ඉතිරියේ ඉතුරු කරලා තියෙනවා.

නීතිය ඉදිරියේ සිටින මිනිසා අපට පෙනෙනවාද?

නැත්නම් අපට බලන්න ඕනි  නීති පොත පමණක්ද?

Friday, 4 September 2026

ඩඩ්ලිගේ කරේ යෑම

බලයට එන්න කලින් මාලිමාවයි JVP එකයි ලංකාවේ හාල් ඒකාධිකාරය ගැන කොච්චර ලොකුවට කතා කළාද අපිට මතකයි. බලයට ආව ගමන් එක පෑන් පහරකින් හාල් මාෆියාව ඉවර කරනවා කියලා ලොකු පොරොන්දු දුන්නා.

හැබැයි බලයට ආවට පස්සේ මොකද වුණේ? ඒ කතා ටික ටික හුදු  පම්පෝරියක් උනා. හාල් මිල අඩු කරනවා වෙනුවට, මේසේට ගහලා, වෙළඳපොළේ තිබුණු මිලටත් වඩා  රුපියල් විස්සක් මෝල් කාරයන්ට දුන්නා


ෆෙස්බුක් එකෙන් උපුටා ගැනුනි, අයිතිය මුල් හි
මිකරු සතුයි


තවත් විහිළුම කාරණය තමයි එදා ජවිපේ දැඩි ලෙස විවේචනය කරපු හාල් ව්‍යාපාරිකය උන ඩඩ්ලිට අද කරේ තියන් අත්පොඩ ගහන්න වෙච්චි එක.  විශේෂයෙන්ම මේක නිකන් සාමාන්‍ය පාක්ෂිකයෙක් නෙමෙයි, JVPයේ ඉහළම නායකයෙක් වන බිමල් රත්නායක වගේ කෙනෙක් සම්බන්ධ වීම නිසා  උත්ප්‍රාසය තවත් තිව්‍ර වෙනවා.

මේ ශෙයා කරලා තියෙන,ෆේස්බුක් එකේ ශෙයාර් වෙන පින්තූරයත්, ඒකට දාලා තියෙන කියමනත් එකට බැලුවම දේශපාලනයේ පොරොන්දු සහ බලයට ආවට පස්සේ කරන දේවල් අතර වෙනස ගැන හොඳ උපහාසයක් තියෙනවා. 😄

ඇත්තටම ප්‍රශ්නය ඩඩ්ලි සිරිසේනද, වෙන කවුරුද කියන එක නෙමෙයි. එදා විවේචනය කළ දේම අද බලයට ආවට පස්සේ පිළිගන්නවා නම්, එදා කරපු විවේචනවල තිබුණේ ඇත්ත ප්‍රතිපත්තියක්ද, නැත්නම් බලය ගන්න කරපු දේශපාලන කතාවක්ද?

දේශපාලනයේදී මිනිස්සු බලන්නේ කතා නෙමෙයි, බලයට ආවට පස්සේ කරන වැඩ දිහා.

Sunday, 16 August 2026

ගිටාරයක් කතා කරනවා දැකලා තියෙනවාද? (Naudo Rodrigues)

පහුගිය ටිකේ ලිපිවලින් මම වැඩිපුරම දේශපාලනය ගැන කතා කරපු නිසා, මේ පාර ටිකක් වෙනස් මාතෘකාවකට යන්න හිතුණා. මගේ බ්ලොග් එකේ ලේබල් කිහිපයක් තියෙනවානේ. ඒ අතරින් “මයි සින්දු කියන” ලේබලය යටතේ තමයි මේ කතාව පටන් ගන්නේ.

මේ පාර මම කතා කරන්න යන්නේ මම හුඟාක් ආස කරන ගිටාර් වාදකයෙක් ගැන. ඔහු තමයි නෞඩෝ රොඩ්රිගස් (Naudo Rodrigues).


කැනරි දූපත්වල Tenerife Club එක ඉස්සරහා නෞඩෝ රොද්‍රිගස් ගිටාරයෙන් සින්දු ප්‍රතිනිර්මාණය කරන  සුන්දර අවස්ථාවක්. 🎸

නෞඩෝ කියන්නේ මං මෙතෙක් දැකපු හොඳම ගිටාර් වාදකයා . ශාස්ත්‍රීය පැත්තෙන් බැලුවොත්, ඔහුට වඩා තාක්ෂණිකව ඉහළ ගිටාර් වාදකයෝ ඉන්නවා ඇති. ඒක මම පිළිගන්නවා.

හැබැයි නෞඩෝගේ විශේෂත්වය තියෙන්නේ එතන නෙමෙයි. ඔහු සාමාන්‍ය ගීතයක් අරගෙන ඒකට දෙන ගැම්ම, හැඟීම සහ ජීවය මාරම ලස්සනයි. ඔහු ගිටාරය ගහනවා කියනවට වඩා, මට නම් හිතෙන්නේ ඔහු ගිටාරයෙන් කතා කරනවා කියලා.

අපි කෙනෙක් එක්ක කතා කරනකොට වචනවලින් හැඟීම් කියනවානේ. නෞඩෝ ඒ දේම ගිටාරයෙන් කරනවා. ඔහුගේ ඇඟිලි ගිටාරයේ තත් උඩ දුවනවා නෙමෙයි; ඒ තත් හරහා ඔහුගේ හැඟීම් කතා කරනවා.

නෞඩෝ කියන්නේ කවුද කියලා හරියටම තේරුම් ගන්න නම්, ඔහු ගැන ලියපු දේවල් කියවනවට වඩා යූටියුබ් එකේ ඔහු ගිටාර් ගහන වීඩියෝ එකක් බලන එක තමයි හොඳම දේ. 

නෞඩෝ වැඩිපුරම ප්ලේ කරන්නේ අපි හැමෝම වගේ අහලා තියෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දු. හැබැයි අපේ පාඨකයන් අතර ඉංග්‍රීසි සින්දු වැඩිය අහන්නේ නැති අයත් ඇතිනේ. ඒ නිසා නෞඩෝගෙ වාදනය ගැන කියන්න කලින්, කාටත් තේරෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවක් ඔහු ගිටාරයෙන් ප්ලේ කරන හැටි බලමු.

Jambalaya ගීතයේ කවර් එකක්

ඒ වගේම නෞඩෝ කියන්නේ සංගීත ලෝකයේ ශාස්ත්‍රීය පැත්තෙන් ඇවිත්, ලොකු ප්‍රසංග පවත්වමින්, සම්භාවනීය ගිටාර් වාදකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුගේ ජනප්‍රියත්වය ආවේ youtube එකෙන්. ඒ නිසාම මමත් මුලින්ම නෞඩෝව දැක්කේ යූටියුබ් එකෙන්. ඔහු කවුද, කොහෙන් ආවද කියලා දැනගන්න කලින්ම,  ඔහු  වාදනය කරන හැටි දැකලා තමයි ඔහු ගැන හොයන්න පටන් ගත්තේ.

නෞඩෝ රොඩ්රිගස්  බ්‍රසීල ජාතිකයෙක්.  ඔහු බොහෝ දුරට ස්වයං අධ්‍යයනයෙන් ගිටාරය ප්‍රගුණ කළ සංගීතඥයෙක්.කුඩා කාලයේම ගිටාරයට අත තැබූ ඔහු සංගීත විද්‍යාලයක  සාම්ප්‍රදායික පුහුණුවක් ලබනවාට වඩා, අහලා, අත්හදා බලලා, වෙනත් සංගීතඥයන් එක්ක වාදනය කරලා තමන්ගේම සංගීත භාෂාවක් හදාගත්ත කෙනෙක්.

ඔහුගේ සංගීත ගමන පටන් ගන්නේ බ්‍රසීලයෙන්. පසුව යුරෝපයට පැමිණෙන ඔහු පෘතුගාලය සහ ස්පාඤ්ඤය හරහා ගමන් කර අවසානයේ කැනරි දූපත්වල Tenerife  අවන්හල තම සංගීත ජීවිතයේ වැදගත් මධ්‍යස්ථානයක් කරගන්නවා.

නෞඩෝ  ගීතයක් වාදනය කරන විට අපට එකවර  bass , chords, rhythm එක, melody එක, අතරමැදි fills සහ improvisation ඔක්කොම ඇහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක සංගීතඥයන් කිහිපදෙනෙක් කරන වැඩ ඔහු තනි ගිටාරයකින් කරනවා. ඒ නිසා නෞඩෝගේ වාදනය බලන කෙනෙකුට මුලින්ම ඇතිවෙන්නේ,එක ගිටාරයකින් මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියන පුදුමේ

ඔහුගේ තවත් විශේෂත්වයක් තමයි ප්‍රසිද්ධ ගීතයක් නිකම්ම cover කිරීම නොවෙයි. ඔහු ඒ ගීතය නැවත ගොඩනඟනවා. ගීතයේ මුල් melody එක තියාගෙන bass line එක වෙනස් කරනවා, chords වලට වෙනස් වර්ණයක් දෙනවා, rhythm එකට Brazilian සහ jazz ආභාසය එකතු කරනවා, ඉන්පසු ඒ සියල්ල අතරින් improvisation කරනවා.

ඒ නිසා ඔහුගේ Hotel California, Billie Jean, Sultans of Swing, Autumn Leaves වගේ ගීත අහන විට අපට හුරුපුරුදු ගීතයක්ම ඇහෙනවා. හැබැයි ඒක අපි කලින් අහපු version එක නෙමෙයි. නෞඩෝ ඒ ගීත තමන්ගේම ගිටාර් භාෂාවකට පරිවර්තනය කරලා තියෙනවා.

ඔහුගේ සංගීතයට බ්‍රසීලියානු සංගීතයේ rhythm එක, jazz harmony එක, blues සහ rock වල හැඟීමත්, fingerstyle guitar technique එකත් එකට මිශ්‍ර වෙලා තියෙනවා.

ලෝකප්‍රසිද්ධ ශාස්ත්‍රිය ගිටාර් වාදකයෙක් වේගයෙන් වාදනය කරන විට අපිට මුලින්ම පේන්නේ ඔහුගේ technique එක. නෞඩෝ දෙස  බලන විට ඒක එහෙම නෙමෙයි. ඔහු ඉතා සංකීර්ණ දේවල් කලත් ඒක බොහෝ වෙලාවට හරිම සරල, සැහැල්ලු දෙයක් වගේ පේනවා.

ඔහු ජනප්‍රිය වුණෙත් සාම්ප්‍රදායික superstar කෙනෙක් වගේ ලොකු record company එකක් හරහා හෝ දැවැන්ත concert tour එකක් හරහා නෙමෙයි. Tenerife සාමාන්‍ය ක්ලබ් එකක , ඔහු කළ live performances, පසුව ඒවායේ වීඩියෝ සහ අන්තර්ජාලය හරහා ලෝකයේ විවිධ රටවල guitar enthusiastsලා අතර ඔහුගේ නම පැතිරුණ නිසා.

ඒක නෞඩෝගෙ කතාවේ හරිම අපූරු කොටසක්.

ඔහු ලෝකයේ සෑම කෙනෙක්ම දන්නා household-name guitarist කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ගිටාරය ගැන ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක් නෞඩෝව හොයාගත්තම ඔහුව  අමතක කරන්න අමාරුයි.

නෞඩෝගේ වාදනයේ වඩාත්ම ඇදගන්නා දෙයක් තමයි ඔහු ඇඟිලි පාවිච්චි කරන විදිහ. 

විශේෂයෙන් දකුණු අත බලද්දි, මහපට ඇඟිල්ල bass line එක අල්ලගෙන ස්වාධීනව ගමන් කරනවා, අනෙක් ඇඟිලි  chords, melody සහ rhythm එක ගෙනියනවා. සමහර වෙලාවට එකම මොහොතේ bass එක වෙනම සින්දුවක් කියනවා වගේත්, උඩින් melody එක තවත් සින්දුවක් කියනවා වගේත් ඇහෙනවා.

තවත් පුදුම දේ තමයි ඔහුගේ ඇඟිලිවල වේගයට වඩා ඒවායේ ස්වාධීනත්වය. එක ඇඟිල්ලක් bass එක තියාගෙන ඉන්න අතරේ තවත් ඇඟිලි දෙක තුනක් melody එකේ notes හොයනවා. ඒ අතර rhythm එකත් අතහැරෙන්නේ නෑ. නිසා නෞඩෝ රොඩ්රිගස්ව “හොඳ fingerstyle guitarist කෙනෙක්” කියලා විතරක් හඳුන්වන එක ඔහුගේ හැකියාවට ටිකක් අඩු වචනයක්.

ඔහු ගිටාරය වාදනය කරනවාට වඩා, ගිටාරය හරහා සම්පූර්ණ සංගීතයක් නිර්මාණය කරන කෙනෙක්.

ඒක තමයි නෞඩෝගෙ ඇත්තම විශේෂත්වය.


ලෝකප්‍රසිද්ධ Queen බෑන්ඩ් එකේI want to break free ගීතයෙ නෞඩෝගේ  ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය වෙන ආකාරය .

Wednesday, 12 August 2026

සමාජවාදී බෝපගේ ( Lionel Bopage )

ලයනල් බෝපෙගේ කියන්නේ JVPයේ පළමු  ලේකම්වරයා. 1971 කැරැල්ලටත් සම්බන්ධ වෙලා සිර දඬුවම් විඳලා, විජේවීරත් එක්කම හිරෙන් එළියට ඇවිත්, පසුව 1983 වෙනකම් JVPයත් එක්ක ක්‍රියාකාරීව කටයුතු කරපු, එහි ලේකම්වරයා විදිහට හිටපු කෙනෙක්.




පසුව පක්ෂය ඇතුළේ ඇති වූ මතවාදී ගැටුම් නිසා 1983දී පක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ කාලයේ තමන්ට ආපු තර්ජන JVP පාර්ශ්වයෙන් වගේම එවකට තිබුණු රජයේ  පාර්ශ්වවලින්ද එන්න පුළුවන් කියලා එතුමා විශ්වාස කරන බවත් කියලා තියෙනවා.

ඉන් පස්සේ එතුමා මුලින්ම ගියේ ජපානයට. පසුව තමන්ගේ බිරිඳ සහ දරුවන් සමඟ ඕස්ට්‍රේලියාවට ගිහින් අදත් එහි ජීවත් වෙනවා. 

අදටත් එතුමා සමාජවාදියෙක් විදිහට තමන්ව හඳුන්වා දෙන බවත්, මෑතකදී ලංකාවට ඇවිත් මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවලින් ඒක පැහැදිලි වෙන බවත් මට පේනවා.

ඒ නිසා එතුමාගේ Facebook පෝස්ට් එකකට මමත් පොඩි කමෙන්ට් එකක් දැම්මා. ඒකට එතුමාගේ පිළිතුරක් ලැබෙනකම් මම මේ බලාගෙන ඉන්නවා.
පිළිතුරක් ලැබුණොත් ඒකත් ඔබලා එක්ක බෙදාගන්නම්. මම මතු කරපු ප්‍රශ්නය තමයි මේ පහළින් තියෙන්නේ.


//

ලයනල් බෝපෙගේ මහත්මයා, ඔබගේ ලිපියටත්, ඒ හරහා මතු කරලා තියෙන කරුණුවලටත් බොහොම ස්තූතියි.

ඔබ සිරස සමඟ කළ සාකච්ඡාවකදී කියපු විදිහට, ඔබ මුලින් ජපානයට ගිහින්, පසුව බිරිඳ සහ දරුවන් සමඟ ඕස්ට්‍රේලියාවට ගියා කියලා මට මතකයි. ඒ කතාව අහනකොට මට පොඩි ප්‍රශ්නයක් මතු වුණා.

ඔබ සමාජවාදය ගැන මුල ඉඳන්ම විශ්වාස කරලා, අදටත් ඒ මතවාදය ගැන විශ්වාසයෙන් ඉන්නවා කියලා මට තේරෙනවා. එහෙම නම්, ඇයි ඔබ සමාජවාදී ක්‍රමයක් තියෙන රටකට පදිංචියට යන්න තෝරා නොගත්තේ?

රුසියාව, කියුබාව, චීනය වගේ රටක් — උතුරු කොරියාව වුණත් කමක් නැහැ 😄 — ඔබගේ දේශපාලන සහ න්‍යායාත්මක විශ්වාසයන්ට වඩා සමීප රටවල් නේද?

හැබැයි ඔබ තෝරාගෙන තියෙන්නේ ජපානය සහ ඕස්ට්‍රේලියාව වගේ වෙළෙඳපොළ ආර්ථිකය, පෞද්ගලික දේපළ සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මත පදනම් වූ රටවල්.

ඉතින් මෙතන පොඩි පරස්පරයක් පේන්නේ නැද්ද?

න්‍යායෙන් සමාජවාදය ගැන කොච්චර විශ්වාස කළත්, තමන්ගේ සහ පවුලේ ජීවිතය ගැන ප්‍රායෝගික තීරණයක් ගන්නකොට, අවසානයේ මිනිස්සු තෝරාගන්නේ නිදහස, ආර්ථික අවස්ථා, පෞද්ගලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තියෙන සමාජයක්.

ඒක ඔබට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඉතිහාසය පුරාම සමාජවාදය වෙනුවෙන් න්‍යායාත්මකව කතා කළ බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික ජීවිතයේදී තෝරාගෙන තියෙන්නේ ඒ න්‍යායට වඩා වෙනස් සමාජ ක්‍රමයක තිබෙන වාසි.

ඒ නිසා මට නම් මේක සමාජවාදය ගැන න්‍යායික විවාදයකට වඩා, න්‍යාය සහ ප්‍රායෝගික ජීවිතය අතර තියෙන අපූරු පරස්පරය ගැන ප්‍රශ්නයක්.

අවසානයේ මිනිසා ජීවත් වෙන්න තෝරගන්න තැනත්, තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න තෝරගන්න සමාජයත්, ඔහු ඇත්තටම විශ්වාස කරන දේ ගැන න්‍යායාත්මක කතාවකට වඩා බොහෝ දේ කියනවා කියලයි මට හිතෙන්නේ.

//


Friday, 7 August 2026

බන්ධනාගාර අර්බුදය: වරද කාගේද?

මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා.


ඇත්ත ප්‍රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකට ගාල් කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා 8, 9, 10 ගුණයක පිරිසක් ඉන්නවා. ඒ වගේ තත්ත්වයක මිනිසුන්ට නිදාගන්න ඉඩක්වත් නැති වෙන්න, සනීපාරක්ෂාව බිඳ වැටෙන්න, රෝග පැතිරෙන්න සහ ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.

දේශබන්දුගේ "යුක්තිය" මෙහෙයුමත්, ආණ්ඩුවේ "ඉවත් වෙනු" මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළත් ලංකාවේ මත් උවදුර මුලිනුපුටා දැමුවේ නැහැ.

හැබැයි ඒ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර පිරී ඉතිරී ගිය බවට විවේචන තියෙනවා. ධාරිතාව ඉක්මවා දහස් ගණනින් මිනිසුන් රඳවා තැබීමත්, රිමාන්ඩ් පිරිස වැඩිවීමත් අද බන්ධනාගාර පද්ධතියේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා.

මීගමුව, මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන වගේ ස්ථානවලින් ඇසෙන්නේ ඒ පද්ධතිමය අර්බුදයේ වේදනාකාරී ප්‍රතිඵලයයි.

හිටපු රැඳවියන් පවා කියන්නේ, ඇතැම් බන්ධනාගාරවල තත්ත්වය මිනිස් ජීවිතයකට සුදුසු පරිසරයක් නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ මානසික ආතතිය, කලකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැඩිවීම ස්වභාවික ප්‍රතිඵලයක්.

ඒ වගේම රැඳවියන්ට සිදුවන බව කියන අමානුෂික සැලකීම්, මූලික පහසුකම්වල හිඟය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා ගැනත් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේවා විසඳන්න වගකිවයුතු අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය ප්‍රමාණවත් පියවර ගත්තේද කියන ප්‍රශ්නය ජනතාව අහනවා.

අනිත් පැත්තෙන්, මත්ද්‍රව්‍ය මර්දනය කියන නාමයෙන් පුළුල් වැටලීම් කරලා, සුළු වැරදි සම්බන්ධයෙන් හෝ සැකපිට අත්අඩංගුවට ගන්නා විශාල පිරිසක් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමත් බන්ධනාගාර තදබදය වැඩිවීමට බලපානවා කියන විවේචනයත් තියෙනවා. නඩු විභාග ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා වැනි ක්‍රියාවලීන් ප්‍රමාද වීම නිසාත් රිමාන්ඩ් රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙනවා.

රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බන්ධනාගාර පුරවන ප්‍රචාරක මෙහෙයුම් නෙවෙයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. පාවිච්චිකරුවන් හෝ සුළු වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසෙන් බන්ධනාගාර පුරවලා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බන්ධනාගාර පද්ධතිය තවත් බිඳවැටෙන එක විතරයි.

Friday, 31 July 2026

සූරසේන කථාව

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට, කැබිනට් අනුමැතිය හිමිවෙලා.

හැබැයි මේ ගැන මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි — මේක ඇත්තටම පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙන එන වෙනසක්ද, නැත්නම් එක් පුද්ගලයෙකුගේ ධුර කාලය දිගු කිරීම වෙනුවෙන් කරන සංශෝධනයක්ද කියන එක.විශේෂයෙන්ම මේක ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුතුමාගේ සේවා කාලය දිගු කර ගැනීම අරමුණු කරගෙන ගෙන ආ දෙයක් කියන මතයක් සමාජයේ තියෙනවා.




මේකට පක්ෂව කතා කරන බොහෝ දෙනාගේ තර්කය වෙන්නේ සූරසේන මහතාගේ අත්දැකීම්, ඔහු අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කාර්යභාරය සහ තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය බවයි.
ඒ අදහස ගැන විවාදයක් නැහැ. හොඳ විනිසුරුවරයෙක් නම් ඔහුගේ සේවය වටිනා දෙයක්.

හැබැයි ප්‍රීති පද්මන් සූරරේන   මහතා හොඳ විනිසුරුවරයෙක්ද, දූෂණයට එරෙහිව ක්‍රියා කළ කෙනෙක්ද කියන එක මේ විවාදයේ ප්‍රශ්නය නෙවෙයි. ප්‍රශ්නය වෙන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් නීතිය වෙනස් කරන එක හරිද? කියන එකයි.

එතුමා මෙතරම්ම අවශ්‍ය නම්, ඇයි ඉහළ අධිකරණයේ පුරප්පාඩු 8ක් මාස ගණන් පුරවලා නැත්තේ? ඇයි නව විනිසුරුවරු පත් නොකරන්නේ? ආයතනය ශක්තිමත් කරනවා වෙනුවට, එක පුද්ගලයෙකුගේ සේවා කාලය දිගු කිරීම විසඳුමක් වෙන්නේ කොහොමද?

නඩු ප්‍රමාද වෙන්නේ විනිසුරුවරු විශ්‍රාම යන නිසා විතරක් නෙවෙයි. නීතිපති උපදෙස් ප්‍රමාදය, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, පොලිස් පරීක්ෂණ ප්‍රමාදය, පුරප්පාඩු, ඩිජිටල්කරණයේ අඩුපාඩු වගේ හේතු ගොඩක් තියෙනවා. ඒවා හදන්නේ නැතුව වයස අවුරුදු දෙකක් වැඩි කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

 අනික, මේ සංශෝධනය අභියෝගයට ලක් වුණොත් ඒ ගැන තීරණය ගන්න වෙන්නෙත් සේවා දිගුවෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන්ටමයි. එතනම conflict of interest එකක් ගැන සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක පුද්ගලයන්ට චෝදනාවක් නෙවෙයි, පද්ධතිය ගැන ප්‍රශ්නයක්.




 ඒ නිසා "සූරසේන හොඳයි, ඒ නිසා වයස දිගු කරන්න" කියන තර්කය භයානක පූර්වාදර්ශයක්. අද සූරසේන වෙනුවෙන් නීතිය වෙනස් කළොත්, හෙට වෙනත් ආණ්ඩුවක් තමන් කැමති විනිසුරුවරයෙක් වෙනුවෙන්ත් එහෙමම කරයි. නීතිය හදන්න ඕනේ පුද්ගලයන්ට ගැළපෙන්න නෙවෙයි; පුද්ගලයන් නීතියට ගැළපෙන්නයි.ස්

Thursday, 23 July 2026

යුපුන්ගේ කථාව...

යුපුන් අබේකෝන් වැනි ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ හැම පරම්පරාවකම නෙමෙයි. ඔහු තවත් එක මලල ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සීමාවක් බිඳ දැමූ ක්‍රීඩකයෙක්. තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු දකුණු ආසියානු ධාවකයා ලෙස ඔහු ලෝකයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවටත් ලෝක මට්ටමේ වේගවත් පිරිමි ක්‍රීඩකයන් බිහිකළ හැකි බවයි.

කණගාටුවට තියෙන්නේ, රටකට මෙහෙම දුර්ලභ අවස්ථාවක් ලැබුණාම ඒක තවත් ඉහළට ගෙනියන්න, රටට වටිනාකමක් කරගන්න තිබුණු අවස්ථාව වෙනුවට, වර්තමාන පාලකයන් ඒ දිහා බලලා තියෙන්නෙ සාමාන්‍ය ගණන් හිලව් පරිපාලන කාරණයක් විදිහට වීම.

ලොකු දැක්මක් තියෙන්න ඕන තැනක, කුඩා පරිපාලන මනසකින් තීරණ ගන්න දේශපාලුවන්, යුපුන්ටත් රටටත් අවාසනාවක්. මේකත් වැලි කොට්ට සංවර්ධනයටම සම්බන්ධ  කුඩා චින්තනයේ තවත් පැත්තක්.


යුපුන් වසර ගණනාවක් තමන්ගේ කැපවීමෙන් ලෝක මට්ටමට පැමිණි ක්‍රීඩකයෙක්. ඔහුගේ සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ ඉතාලියේ පුහුණු පද්ධතිය, විද්‍යාත්මක පුහුණුව, biomechanics, strength conditioning සහ ජාත්‍යන්තර තරග අත්දැකීම්.


ක්‍රිඩා ඇමතිගේ ඩොලර් 300,000 කතාව සත්‍යක් ලෙස පිලිගෙන ඒ ගැන කතා කලොත් එම දේශපාලුවන් ඇසිය යුතුව තිබුණේ

"මේ මුදල එක් ක්‍රීඩකයෙකුට දෙනවාද?" නොව,
"මේ ආයෝජනයෙන් රටට ලැබෙන වටිනාකම කොපමණද?" යන්නයි.

ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු රැක ගැනීම කියන්නේ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවේ. ඒක ජාතික සම්පතක් ආරක්ෂා කිරීමක්.

ඇත්තටම රජයට මෙතන තිබුණේ ඉතා හොඳ අවස්ථාවක්.

යුපුන්ට ඉතාලියේ පුහුණුව දිගටම කරගෙන යන්න සහය දීලා, ඒ සමඟ ගිවිසුමක් හදන්න තිබුණා:

-ඔහුගේ ජාත්‍යන්තර පුහුණු ක්‍රම ශ්‍රී ලංකාවට ගෙන ඒම.

-ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට නවීන sprint techniques ඉගැන්වීම.

-පාසල් මට්ටමේ වේගවත් දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන් ආරම්භ කිරීම.

-biomechanics, strength training, injury prevention, recovery වැනි නවීන ක්‍රම හඳුන්වාදීම.

එහෙම කළා නම් යුපුන්ට දුන් මුදල අවුරුදු කිහිපයකින් අවසන් වෙන වියදමක් නෙමෙයි. එය දශක ගණනාවකට බලපාන ක්‍රීඩා පද්ධතියක ආරම්භයක් වෙන්න තිබුණා.

අපි කළ යුතුව තිබුණේ යුපුන්ට මුදල් දීලා "දුවන්න" කියන එක විතරක් නෙමෙයි.

අපි කළ යුතුව තිබුණේ:
"ඔබ ලෝකය ජයගන්න. ඒ අතරේ ශ්‍රී ලංකාවේ ඊළඟ යුපුන්ලා 10 දෙනෙක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න." පුලුවන් වැඩ සටහනක් හදන එක.

එහෙම වුණා නම් ඩොලර් 300,000ක ආයෝජනයක ප්‍රතිඵලය එක ක්‍රීඩකයෙකුගේ කාලය පමණක් නොවෙයි. එය අවුරුදු 10–20කට බලපාන ශ්‍රී ලංකා sprint ක්‍රීඩා පද්ධතියක් බවට පත්වෙන්න තිබුණා

අද අපේ රටේ ප්‍රශ්නය දක්ෂ දරුවන් නැති එක නෙමෙයි. ප්‍රශ්නය තමයි ඔවුන් ලෝක මට්ටමට ගෙන යන පරිසරයක් නැති එක.

එක දරුවෙක් වේගවත් වෙන්න පුළුවන්. නමුත් ඔහුට:
නිවැරදි running technique කවුද උගන්වන්නේ?
ඔහුගේ ශරීරයට ගැලපෙන strength programme එක කවුද හදන්නේ?

ලෝක මට්ටමේ තරඟ අත්දැකීම ලබා දෙන්නේ කවුද?
පෝෂණය සහ recovery ගැන මඟ පෙන්වන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු නැති රටක යුපුන් වැනි ක්‍රීඩකයෙක් බිහිවීමම විශාල ජයග්‍රහණයක්.

ඒත් වර්තමාන ආණ්ඩුව කළ යුතුව තිබුණේ "මුදල් නැහැ" කියන පහසු පිළිතුර සෙවීම නොව, මෙය ජාතික ආයෝජනයක් ලෙස බැලීමයි.

රටක් අමාරු ආර්ථික තත්ත්වයක සිටින විටත් සියලු දේ නවත්වන්නේ නැහැ. දියුණු රටවල් අර්බුදවලදී පවා අධ්‍යාපනය, පර්යේෂණ, තාක්ෂණය සහ විශිෂ්ට පුද්ගලයන් සඳහා ආයෝජනය කරන්නේ ඒවා අනාගත ප්‍රතිලාභ ගෙන එන නිසා.

අද ප්‍රශ්නය යුපුන්ට මුදල් දුන්නාද නැද්ද කියන එක පමණක් නොවේ.

ප්‍රශ්නය වන්නේ:
ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ මිනිසෙක් ලැබුණු විට, ඔහුගෙන් රටට උපරිම වටිනාකම ලබාගන්න අපේ නායකත්වයට දැක්මක් තිබුණාද?

යුපුන් වැනි ක්‍රීඩකයෙකුට සහය දීම යනු ඔහුගේ ධාවන පථයට පමණක් ආධාර කිරීමක් නොවේ.
එය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයන්ගේ සිහින වලට ආයෝජනය කිරීමක්.

අවාසනාවකට, අපේ රටේ බොහෝ විට සිදුවන්නේ විශිෂ්ට මිනිසුන් බිහිවූ පසු ඔවුන්ට සහය දෙනවා වෙනුවට, ඔවුන් සාර්ථක වූ පසු ඔවුන්ගේ ජයග්‍රහණය සමරන එකයි.

යුපුන්ගේ කතාවෙන් අපි ඉගෙනගත යුතු පාඩම එයයි.



Sunday, 12 July 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?

ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.

අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදිලියි. බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන්ට පහසු ආකාරයට රාජ්‍ය ආයතන හැඩගස්වන්න උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් එවැනි අවස්ථාවලදී වඩාත්ම ආරක්ෂා කළ යුතු ආයතනයක් තමයි අධිකරණය.

අධිකරණය දුර්වල වුණොත් එහි බලපෑම විරුද්ධ පක්ෂයට විතරක් නෙවෙයි, අවසානයේ සාමාන්‍ය ජනතාවටම දැනෙනවා. ඒ නිසා මේ වගේ කරුණු ගැන කතා කරන විට පුද්ගලයන් හෝ පක්ෂවලට වඩා ඉහළින් බලන්න ඕනේ මූලධර්ම ගැනයි.

ආණ්ඩුවක් බලයට එන හැම වෙලාවකම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අධිකරණය තමන්ගේ එකක් කරගන්න හදන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකුම තර්ජනය.

අද ඉන්නෙ කවුද, හෙට ඉන්නෙ කවුද කියන එක වැදගත් නැහැ. අද මේ ආණ්ඩුවට බලය තියෙනවා. හෙට වෙන කෙනෙක්ට තියෙයි. ඒත් අධිකරණය හැමදාම ස්වාධීනව ඉන්න ඕන.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන එක නීතියෙන් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඇති. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒක කරන හේතුව සහ කරන වෙලාව ගැන. එක පුද්ගලයෙක්ට හෝ එක ආණ්ඩුවකට වාසි වෙන විදිහට නීති වෙනස් කරන්න පටන් ගත්තොත්, ඒක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි.

අධිකරණ සේවා සංගමය, නීතීඥ සංගම් වගේම නීති ක්ෂේත්‍රයේම පිරිසක් මේ ගැන කනස්සල්ල පළ කරනවා නම්, ඒක "අපිට 159ක් තියෙනවා" කියලා උඩින් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි. බලය තියෙනවා කියලා හැම තීරණයක්ම හරි වෙන්නේ නැහැ.

අධිකරණය කියන්නේ විනිසුරුවරුන් වෙනුවෙන් තියෙන ආයතනයක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිහාගේ අවසාන බලාපොරොත්තුව. දවසක ආණ්ඩුවක් ඔබට අසාධාරණයක් කළොත්, ඔබ යන්න තියෙන එකම තැන අධිකරණය. ඒ නිසා ඒ ආයතනය ගැන ජනතාවගේ විශ්වාසය බිඳෙන කිසිම වැඩක් කරන්න හොඳ නැහැ.

ආණ්ඩු එනවා, යනවා. පක්ෂ මාරු වෙනවා. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය එක පාරක් දුර්වල වුණොත්, ඒක ආපහු ගොඩනගන්න අවුරුදු ගණන් යනවා.

අපි ආරක්ෂා කරන්න ඕන විනිසුරුවරුන්ව නෙවෙයි. නීතියේ ආධිපත්‍යය. අද ඒක නැති කළොත්, හෙට ඒකේ වන්දිය ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව.

Monday, 9 February 2026

බෝලෙ වෙනුවට පිටියට ක්‍රීඩා කිරීම

ඊයේ අයර්ලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම බලද්දී, අපි ටිකක් වෙනස් කමිඳුවෙක් දැක්කා කියලා මට හිතුණා.

සාමාන්‍යයෙන් කමිඳු කියන්නේ නිවැරදි ක්‍රමයට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. සමාන්‍ය ස්ථාවරයක්, හොඳ සමබරතාවයක්,  ටිකක් textbook ක්‍රිකට් ගහන — ඉනිම හෙමින් පටන් අරං පස්සෙ පහරවල් වලට යන කෙනෙක්.

ඒත් ඊයේ ඔහු ක්‍රීඩා කලේ  වෙනදා වගේ “පන්දුවට” නෙමෙයි.  ඒ වෙනුවට ඔහු ක්‍රීඩා කළේ “පිටියට” කියලා මට හිතුණා.

එක තමයි නවීන T20 ක්‍රිකට්.





පරිපූර්ණ ශරීර සමබරතාව ගැන හෝ textbook ශෛලිය ගැන වැඩිය හිතනවා වෙනුවට, ඊයේ ඔහු කලේ වෙනස් විදිහට හිතන එක එක .

ඔහු බැලුවේ ෆීල්ඩ් එකේ ගැප් කොහෙද? මේ පන්දුව ෆීල්ඩර්ලා නැති තැනකට දාගන්න පුළුවන්ද? මේක තමයි ඔහුගෙන් මං දැක්ක වෙනස.

මෙහෙම හිතද්දි සාම්ප්‍රදායික  විදිහට බෝලේට ප්‍රතිචාර  දැක්වීම වෙනුවට,  නිතරම කල්පනා කරන්නෙ බෝලේ ෆීල්ඩින් ගැප් එකට දාගන්නේ කොහොමද  කියලා,  ඒ වෙලාවට, ශොට් එකෙන් පස්සෙ , ඇගේ සමබරතාවය  රැක ගැනීම වගේ සාම්ප්‍රදායික  කාරණා  වැදගත් නැහැ.

කමිදුගේ බැට් එක හොඳට බෝලේට කනෙක්ට් උනා. connection එක ක්ලීන්. පන්දුව ගැප් වලට ගියා. T20 එකේ වැදගත් වෙන්නේ ඒක.





මට ටිකක් සුරියකුමාර් යාදව්ගේ mindset එක මතක් වුණා — ඒ ඔහු මෙන් අතිශය 360° shots නිසා නෙමෙයි, ඒත් ඔහු හා සාමාන  හිතන විදිහ නිසා. පන්දුවට ප්‍රතිචාර දීම විතරක් නෙමෙයි. ෆීල්ඩ් එක දැනගෙන, angles adjust කරගෙන, ෆීල්ඩ් එකේ ගැප් එකට බෝලේ දාන එකේ සමාන කම නිසා.

මට වැඩිපුරම කැමති වුණේ ඔහු slow start , late aggressive  , මෝඩ් එකේ හිටියේ නැති එක. ඉනිම අඩු වේගයකට ඇදගෙන ගියේ නැහැ. Scoreboard එක ගමන් කරවමින්,  ඒ වේලාවේ අවශ්‍ය වෙලා තිබ්බ  ආක්‍රමණශීලී බව අරං දුන්නා.. ඒක forced වෙලා නෙමෙයි, controlled.

මේ ඇටිට්‍යුඩ් එක., මයින්ඩ් සෙට් එකතමයි ලංකාවේ අපේ බැටාලට සෙට් වෙන විදිහා. එහෙම නැතුව ඇගේ හයියෙන් බෝලේට ලයින් එක ක්ලියර් වෙන්න  ගහන එක නෙමෙයි.

උදාහරනයක් ලෙස  අපි මෙහෙම ගමු. fuller length එකේ බෝලයක් වැටෙනවා. සාම්ප්‍රදායික  විදියට මේකට හයේ පාරක් ගහනවනම් , ඉදිරිපාදය ලොෆ්ටඩ් පහරක් ඉස්සරහ  ගහන්න ඕනේ.  ඒත් ඒ සඳහා ෆීල්ඩර්ස්ලා දාලා ඉන්නවා.ලයින් එක ක්ලියර් කරේ නැත්නම් ෆිල්ඩර් කෙනෙක් කැච් එක අල්ලනවා. ලංකාවේ බැටෙක් පාරවල් දහයක් ගැහුවොත් අටක් විතරක්  කැච් එකක් විදිහට ලයින් එකේදි අල්ලනවා.ඒ ඕනෑම බෝලයක් , එහෙම ලයින් එක ක්‍රිලියර් වෙන්න ගහන්න තරම් අපේ අයට ඇඟේ ශක්තිය මදි හින්දා.

ඒත් ඒ වනුවට බෝලේ  ෆීල්ඩ් එකට ගහනකොට වෙන්නේ වෙන දෙයක්.

එතැනදී වෙන්නේ ඩ්‍රයිව් එකට එන බෝලෙ හරි, බෝල යටට ගිහිල්ලා පන්දුවට පිත්ත කනෙක්ට්  කරගෙන ෆීල්ඩ් එක නැති පැත්තකට බෝලෙ හරවන එක.මේව සාම්ප්‍රදායික නොවෙන නිසා සාම්ප්‍රදායික විදියට ෂොට් එකෙන් පස්සේ ඇඟ බැලන්ස් එක තියාගන්න බෑ.

ඇත්තටම, මේ විදිහට ක්‍රීඩා කරන්න  බුද්ධිමත් විය යුතුයි. 

කමිදු ඊයේ අපිට පෙන්නුවේ ලංකාවේ පවර් හිටින් වලට ගැලපෙන ස්ටයිල් එක.

ඔහුගේ ස්වභාවික game awareness එකත්, මේ field manipulate කරන හැකියාවත් එකට ගත්තොත්, ශ්‍රී ලංකා middle order එකට විශාල ශක්තියක් එකතු වෙනවා.

ඊයේ ඉනිම එක සරලව “හොඳ ඉනිමක්” විතරක් නෙමෙයි ඒක ලංකාවේ බැටාලට පවර් හිටින් වලට මග පෙන්වන  වර්ධනයේ ලකුණක්.

2222