ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට, කැබිනට් අනුමැතිය හිමිවෙලා.
හැබැයි මේ ගැන මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි — මේක ඇත්තටම පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙන එන වෙනසක්ද, නැත්නම් එක් පුද්ගලයෙකුගේ ධුර කාලය දිගු කිරීම වෙනුවෙන් කරන සංශෝධනයක්ද කියන එක.විශේෂයෙන්ම මේක ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුතුමාගේ සේවා කාලය දිගු කර ගැනීම අරමුණු කරගෙන ගෙන ආ දෙයක් කියන මතයක් සමාජයේ තියෙනවා.
මේකට පක්ෂව කතා කරන බොහෝ දෙනාගේ තර්කය වෙන්නේ සූරසේන මහතාගේ අත්දැකීම්, ඔහු අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කාර්යභාරය සහ තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය බවයි.
ඒ අදහස ගැන විවාදයක් නැහැ. හොඳ විනිසුරුවරයෙක් නම් ඔහුගේ සේවය වටිනා දෙයක්.
හැබැයි ප්‍රීති පද්මන් සූරරේන මහතා හොඳ විනිසුරුවරයෙක්ද, දූෂණයට එරෙහිව ක්‍රියා කළ කෙනෙක්ද කියන එක මේ විවාදයේ ප්‍රශ්නය නෙවෙයි. ප්‍රශ්නය වෙන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් නීතිය වෙනස් කරන එක හරිද? කියන එකයි.
එතුමා මෙතරම්ම අවශ්‍ය නම්, ඇයි ඉහළ අධිකරණයේ පුරප්පාඩු 8ක් මාස ගණන් පුරවලා නැත්තේ? ඇයි නව විනිසුරුවරු පත් නොකරන්නේ? ආයතනය ශක්තිමත් කරනවා වෙනුවට, එක පුද්ගලයෙකුගේ සේවා කාලය දිගු කිරීම විසඳුමක් වෙන්නේ කොහොමද?
නඩු ප්‍රමාද වෙන්නේ විනිසුරුවරු විශ්‍රාම යන නිසා විතරක් නෙවෙයි. නීතිපති උපදෙස් ප්‍රමාදය, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, පොලිස් පරීක්ෂණ ප්‍රමාදය, පුරප්පාඩු, ඩිජිටල්කරණයේ අඩුපාඩු වගේ හේතු ගොඩක් තියෙනවා. ඒවා හදන්නේ නැතුව වයස අවුරුදු දෙකක් වැඩි කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
අනික, මේ සංශෝධනය අභියෝගයට ලක් වුණොත් ඒ ගැන තීරණය ගන්න වෙන්නෙත් සේවා දිගුවෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන්ටමයි. එතනම conflict of interest එකක් ගැන සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක පුද්ගලයන්ට චෝදනාවක් නෙවෙයි, පද්ධතිය ගැන ප්‍රශ්නයක්.
ඒ නිසා "සූරසේන හොඳයි, ඒ නිසා වයස දිගු කරන්න" කියන තර්කය භයානක පූර්වාදර්ශයක්. අද සූරසේන වෙනුවෙන් නීතිය වෙනස් කළොත්, හෙට වෙනත් ආණ්ඩුවක් තමන් කැමති විනිසුරුවරයෙක් වෙනුවෙන්ත් එහෙමම කරයි. නීතිය හදන්න ඕනේ පුද්ගලයන්ට ගැළපෙන්න නෙවෙයි; පුද්ගලයන් නීතියට ගැළපෙන්නයි.ස්


No comments:
Post a Comment