ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.
අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදිලියි. බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන්ට පහසු ආකාරයට රාජ්‍ය ආයතන හැඩගස්වන්න උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් එවැනි අවස්ථාවලදී වඩාත්ම ආරක්ෂා කළ යුතු ආයතනයක් තමයි අධිකරණය.
අධිකරණය දුර්වල වුණොත් එහි බලපෑම විරුද්ධ පක්ෂයට විතරක් නෙවෙයි, අවසානයේ සාමාන්‍ය ජනතාවටම දැනෙනවා. ඒ නිසා මේ වගේ කරුණු ගැන කතා කරන විට පුද්ගලයන් හෝ පක්ෂවලට වඩා ඉහළින් බලන්න ඕනේ මූලධර්ම ගැනයි.
ආණ්ඩුවක් බලයට එන හැම වෙලාවකම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අධිකරණය තමන්ගේ එකක් කරගන්න හදන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකුම තර්ජනය.
අද ඉන්නෙ කවුද, හෙට ඉන්නෙ කවුද කියන එක වැදගත් නැහැ. අද මේ ආණ්ඩුවට බලය තියෙනවා. හෙට වෙන කෙනෙක්ට තියෙයි. ඒත් අධිකරණය හැමදාම ස්වාධීනව ඉන්න ඕන.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන එක නීතියෙන් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඇති. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒක කරන හේතුව සහ කරන වෙලාව ගැන. එක පුද්ගලයෙක්ට හෝ එක ආණ්ඩුවකට වාසි වෙන විදිහට නීති වෙනස් කරන්න පටන් ගත්තොත්, ඒක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි.
අධිකරණ සේවා සංගමය, නීතීඥ සංගම් වගේම නීති ක්ෂේත්‍රයේම පිරිසක් මේ ගැන කනස්සල්ල පළ කරනවා නම්, ඒක "අපිට 159ක් තියෙනවා" කියලා උඩින් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි. බලය තියෙනවා කියලා හැම තීරණයක්ම හරි වෙන්නේ නැහැ.
අධිකරණය කියන්නේ විනිසුරුවරුන් වෙනුවෙන් තියෙන ආයතනයක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිහාගේ අවසාන බලාපොරොත්තුව. දවසක ආණ්ඩුවක් ඔබට අසාධාරණයක් කළොත්, ඔබ යන්න තියෙන එකම තැන අධිකරණය. ඒ නිසා ඒ ආයතනය ගැන ජනතාවගේ විශ්වාසය බිඳෙන කිසිම වැඩක් කරන්න හොඳ නැහැ.
ආණ්ඩු එනවා, යනවා. පක්ෂ මාරු වෙනවා. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය එක පාරක් දුර්වල වුණොත්, ඒක ආපහු ගොඩනගන්න අවුරුදු ගණන් යනවා.
අපි ආරක්ෂා කරන්න ඕන විනිසුරුවරුන්ව නෙවෙයි. නීතියේ ආධිපත්‍යය. අද ඒක නැති කළොත්, හෙට ඒකේ වන්දිය ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව.
No comments:
Post a Comment