අරවින්ද ද සිල්වාට නිකුත් වූ බව කියන අධිකරණ වරෙන්තුව ගැන පසුගිය දිනවල කතාබහ වෙද්දී, මට එකවරම මතක් වුණේ මීට දශක ගණනකට පෙර රූපවාහිනියෙන් අපි ආසාවෙන් බලපු මනුතාපය යි.
වික්ටර් හියුගෝගේ ලියූ ඓතිහාසික සමාජ නවකතාවක් වුන Les Misérables අපේ රටේ පරම්පරාවකටම හුරු වූයේ, ඊරියගොල්ල මහත්තයා සිංහලට පරිවර්තනය කල මනුතාපය කෘතිය හරහාත්, එම නමින්ම ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීමෙන් පෙන්වපු රූපවාහිනි නාට්‍ය හරහාත්ය.
ඒ කතාවම දුවන්නේ මිනිස් ඉතිහාසයේ සිට නොනැවතී ගලන ගැටුමක් පාදක කරගෙන.
එක් පැත්තක ජාවර්ජා ( ජන්තු).
ඔහුට නීතිය කියන්නේ නීතියයි. නීතියේ අකුරට පිටින් යන්නට ඔහුට සිහිනකින්වත් හිතන්නටට බැහැ. නීතිය උල්ලංඝනය කළ කෙනා කවුරු වුණත්, ඔහු නීතිය ඉදිරියේ වැරදිකාරයෙකි. පුද්ගලයාගේ දුක, පසුබිම, අසරණකම හෝ ඔහුගේ මනුෂ්‍යත්වය ඒ නීතිමය වගකීම වෙනස් කිරීමට හේතුවක් නොවෙයි.
අනෙක් පැත්තේ ජන් වල්ජන් (ජනවර්ධන)
ඔහු අපට නිතරම මතක් කරන්නේ නීතිය ඉදිරියේ සිටින පුද්ගලයා යනු නීති පොතක ඇති නමක් පමණක් නොවන බවයි.
ඔහුත් මනුෂ්‍යයෙකි.
ඔහුට දුක තිබේ. පසුතැවීම තිබේ. ආදරය තිබේ. අසරණකම් තිබේ.
එතැනින් තමයි මනුතාපයේ සැබෑ ප්‍රශ්නය මතුවෙන්නේ.
නීතියේ අකුරටම ක්‍රියා කිරීම ප්‍රමාණවත්ද?
නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ, නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දෙසත් බැලිය යුතුද?
අරවින්ද ද සිල්වා සම්බන්ධ සිද්ධිය මේ පැරණි ප්‍රශ්නයම අද අප ඉදිරියේ නැවත තබනවා.
වාර්තා වන ආකාරයට, ඔහු මෙම නඩුවේ අපරාධ සැකකරුවෙකු ලෙස නොව වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සම්බන්ධ වී සිටි අයෙකි. නඩුව කැඳවූ දිනයේ ඔහු තම මවගේ අවසන් කටයුතුවල නිරතව සිටි බවත් වාර්තා වේ.
මේ කාරණය අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම නිසා අධිකරණය විසින් තාක්ෂණිකව ඉතාමත් නිවැරදි ලෙසම ලෝක පූජිත අරවින්ද සිල්වාට එරෙහිව වරෙන්තු නිකුත් කළා. එය මාධ්‍ය හරහා අත්තටු ලැබුවාක් මෙන් ම පැතිරී ගොස් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නාමයට යම් කිසි කැළලක් ඇති කිරීමට සමත් වුණා.
එවැනි අවස්ථාවක නීතියේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබිය හැකිය.
ඇපකරුවෙකුට ඇති වගකීමක් තිබෙනවා. නඩුවට අදාළ නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. නොපැමිණීමක් වාර්තා වුණොත් අධිකරණයට නීතිමය පියවර ගැනීමට සිදුවිය හැකියි.
ඒ සියල්ල අපට පිළිගන්න පුළුවන්.
නමුත් ඒ අතර තවත් ප්‍රශ්නයක් තිබෙනවා.
ඔහු නොපැමිණියේ නීතිය නොසලකා හැරීමටද? නැත්නම් තම මියගිය මවට අවසන් ගෞරව දැක්වීමටද?
මේ දෙක එකම දෙයක් නොවෙයි.
ඒ නිසා මෙය විනිසුරුවරයා හරිද වැරදිද කියන සරල ප්‍රශ්නයකට පමණක් සීමා කිරීම මට නම් ප්‍රමාණවත් නැහැ.
මෙතැන අපි අහන්න ඕනේ ඊට වඩා විශාල ප්‍රශ්නයක්.
නීතිය ක්‍රියාත්මක කරන විට, නීතින් පොතේ වදන් පමණක් දකින්නට අපට පුළුවන්ද?
නීතිය මනුෂ්‍යයන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මනුෂ්‍යයන් සඳහාය. එහෙම නම්, නීතිය ක්‍රියාත්මක කරන පද්ධතිය තුළ මනුෂ්‍ය ජීවිතයේ අසාමාන්‍ය තත්ත්වයන් හඳුනාගැනීමටත් යම් ඉඩක් තිබිය යුතු නොවේද?
ඒ සමඟම නීතිඥයන්ගේ වගකීමත් අපි අමතක නොකළ යුතුයි.
එවැනි අසාමාන්‍ය තත්ත්වයක් ඇති බව අධිකරණයට කලින් දැනුම් දිය හැකිව තිබුණාද? ඒ සඳහා අවශ්‍ය අයදුම්පතක් හෝ දැනුම්දීමක් ඉදිරිපත් කළ යුතුව තිබුණාද? එය සිදු නොවුණේ නම්, එහි වගකීම කොතැනද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ කරුණු සහ අධිකරණ වාර්තා මත මිස හැඟීම් මත නොවෙයි.
නමුත් එක දෙයක් නම් අපට පැහැදිලියි.
නීතියට මනුෂ්‍යත්වය අවශ්‍යයි.
මනුෂ්‍යත්වය නැති නීතියක් යන්ත්‍රයක් වගේ වෙන්න පුළුවන්.
නීතිය නැති මනුෂ්‍යත්වයක් අරාජිකත්වයක් වෙන්න පුළුවන්.
ඒ නිසා ශිෂ්ට සමාජයක අභියෝගය මේ දෙකෙන් එකක් තෝරාගැනීම නොවෙයි.
නීතියත්, මනුෂ්‍යත්වයත් එකට තබාගැනීමයි.
ජාවර්ජා නීතියේ අකුර පමණක් දුටුවා.
ජන් වල්ජන් අපට නීතිය ඉදිරියේ සිටින මනුෂ්‍යයා දැකීමට ඉගැන්වුවා.
අද, අවුරුදු ගණනාවකට පසුව, අරවින්ද ද සිල්වාගේ සිද්ධිය අපට නැවතත් අසන්නේ ඒ පැරණි ප්‍රශ්නයම නොවේද?
නීතිය ඉදිරියේ සිටින මිනිසා අපට පෙනෙනවාද?
නැත්නම් අපට පෙනෙන්නේ නීති පොත පමණක්ද?

No comments:
Post a Comment