මේ සිද්ධිය මට කියන්න ඕනේ කියලා හිතුනේ පොකුරු වැහි බ්ලොග් එකේ පලවුනු ලිපියක් දැකලා. මං වගේම ඉයන් ගෙ අඩවියත් මේ පෝස්ට් එකෙන් පස්සේ, මේ හා සමානම පෝස්ට් එකක් දාලා තියෙනවා. අහම්බෙන් සිද්ධ වෙන දේවල් හින්දා, ජීවීත වෙනස් වෙන හැටි තමයි මාතෘකාව.
මම වෘතියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක්. නමුත් ඇත්තම කියනවනම් , මේ රැකියා නාමයේ 'සිවිල්' කෑල්ල, මම කැමැත්තෙන් තෝරා ගත්ත එකක් නෙමෙ.ඒක මට අකමැත්තෙන් කරන්න උන තෝරා ගැනීමක ප්‍රතිපලයක්.
අකමැත්තෙන් තොරා ගත්තත්, ඊට ටික කාලෙකට පස්සෙ, අහම්බෙන් වෙන සිදුවීමක් නිසා, මට මේ විෂය ගැන උනන්දුවක් හා කැමැත්තක් ඇතිවෙනවා. ඇත්තෙන්ම ඒ අහඹු සිදුවීමෙන් පස්සෙ මං සිවිල් ඉංජිනේරු පාඨමාලාව සීරියස් අරගන්නවා. දැන්නම් මේක මගේ රස්සාව වගේම , පැෂන් එකත් වෙලා ගොඩක් කල්.
ඉංජිනේරූ විෂය ගැන ලොකු තේරුමක් නැති කවුරු හරි මේක කියවනවානම්, සිවිල් ඉංජිනේරූවරයෙක් කියන්නෙ කවුද කියල පැහැදිලි කරන එක මගේ යුතුකමක්. ඉංජිනේරු විෂය කියන්නේ විවිධ පැති වලට යන ඉතා පුලුල් විෂය පථයක්. මෙයින් සිවිල් ඉංජිනේරු විෂය කියන්නේ ගොඩනැගිලි, පාලම්, මහාමාර්ග, වාරිමාර්ග වැනි විවිධාකාරයේ යටිතල පහසුකම් නිර්මාණකරණය,සැලසුම්කිරීම , ඉදිකිරීම හා නඩත්තුකිරීම ගැන ඉගැන්වෙන විෂයක්. කාටත් තේරේන බාසාවෙන්ම කිව්වොත් කොන්ක්‍රීට්, කම්බි, වානේ, තාර, පස් ආදී දේවල් එක්ක වැඩ කරන්නේ අපේ කට්ටිය තමයි. . තිලක සිත බ්ලොග් එක ලියන තිලකසිරි මහත්තයත් මෙන්නෙ මේ ජාතියේ ඉංජිනේරුවෙක්.
කථාවට කියන්නේ සිවිල් ඉංජීනේරුවෙක් කියන්නෙ වයින් බෝතලයක් වගේ කියලා. පරණ වෙන්න වෙන්න වයින් වල රහ වැඩි වෙනවා වගේ අත්දැකීම් වැඩි වෙන්න වෙන්න මේ ක්ෂේත්‍රයේ අයගේ අගයත් වැඩි වෙනවා. එහෙම කිව්වට පදම වැරදිච්චි බෝතලුත් පරණ වෙනවනේ. ඉතින් අපේ ක්ශේත්‍රයෙත් ඒ වගේ දේවල් නැතුවා නොවේ.
උසස් පෙළ සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සමත් වෙන හැමෝම, විශ්ව විද්‍යාලයේ පලවෙනි අවුරුද්දෙ ඉගෙන ගන්නේ එකට, එකම විෂයන්. පලවෙනි අවුරුද්දෙන් පස්සෙ මේ ශිෂ්‍ය කණ්ඩායම, විවිධ ඉංජීනේරූ ක්ශේත්‍ර තෝරා ගෙන එම අංශවල ප්‍රවීණත්වයට පත්වෙන්න අවශ්‍ය විෂයන් වෙන් වෙන්ව ඉගෙන ගන්නවා.ඒ නිසා දෙවැනි වසරේ ඉදන් 450ක් පමණ වූ මුල් ශිෂ්‍ය කණ්ඩායම ඊට වඩා කුඩා කණ්ඩායම් වලට කැඩී යනවා.
තමන් ප්‍රවීණ වෙන්න ඕනේ ඉංජීනේරූ ක්ශේත්‍රය තෝර ගන්න පුලුවන් වෙන්නෙ පලවෙනි අවුරුද්දේ අවසාන විභාගයේ ලකුණු මත. ඒ නිසාම ඉංජිනේරූ පීඨයේ පලවෙනි අවුරුද්දේ විභාගය කියන්නේ උසස් පෙළ වගේම තරඟකාරී විභාගයක්.
එකල වැඩිම ඉල්ලුමක් තිබ්බ ක්ශේත්‍රයන් උනේ කම්පියුටර්, ඉලෙක්ට්‍රානික්, ඉලෙක්ට්‍රිකල් වැනි ක්ෂේත්‍ර වලට. ඊට පස්සෙ සිවිල් , මෙකැනිකල් (යාන්ත්‍රික) වගේ විෂය ක්ශේත්‍ර එනවා. පලවෙනි අවුරුද්දෙ ලකුණු මත, තමන්ට ප්‍රගුණ කරන්න අවශ්‍ය විෂය ක්ශේත්‍රය තෝරා ගන්න සිද්ධ වෙන නිසා හැමෝටම තමන් කැමති විෂයම තෝරා ගැනීමේ අවස්ථාව හිමි වෙන්නෙ නෑ.
මම ඉස්කෝලේ යන කාලේ ඉදන්ම කැමැත්තක් තිබ්බේ ඉලෙක්ට්‍රොනික විශයන් වලට. ඉස්කෝලෙත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව විෂයක් වශයෙන් ඉගෙන ගත්තා. ඉතින් කැම්පස් එකෙදීත් මගෙ කැමැත්ත තිබ්බේ ඒ පැත්තට යොමු වෙන්න.
කොහොම හරි, කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේදීම , ඉගෙනීම ගැන මගෙ අවධානය අඩු වෙනවා. ආරම්බයත් අවසානයත් පලවෙනි අවුරුද්දෙම සිද්ධ උන ආදර සම්බන්ධයක් , දේශපාලන පැත්තට බර වැඩ , ආතල් වැඩ, ක්‍රීඩා මේ ඔක්කොම හේතු වෙනවා එහෙම වෙන්න. ඒත් මං ඒ කිසිවෙක් ගැන වර්ථමානයේ පසුතැවිලි වෙන්නෙ නෑ.... ඒවා ඒ කාලෙට යථා පරිදි තතා පරිදි සිද්ධ වෙන්න තිබ්බ දේවල්....
ඉතින්, වැඩ කොච්චර අවුල් වෙලා තිබ්බත්, මං කැමති ඉලෙක්ට්‍රොනික් විශය කෙසේ වෙතත්, ඉලෙක්ට්‍රිකල් විශය හරි මට ලබා ගන්න පුලුවන් කියන විශ්වාසයක් මට තිබ්බා. ඒත් ඒක අධිතක්සේරුවක් විතරයි. ඇත්තටම එහෙම උනේ නෑ. පලවෙනි අවුරුද්දේ ප්‍රතිපල ආවම මට ඉලෙක්ට්‍රිකල් විෂය ලකුණු දශම ගානකින් මිස් වෙනවා. දශම 0.16 වගේ ගනණකික් කියලා තමයි මතක. කඩ ඉම් ලකුණු මට්ටම 68.16 විතර වෙද්දි මට තිබ්බේ 68.00 වගේ. ආදර සම්බන්ධෙකුත් කැඩිච්චි අළුත, මේ වගේ ආසකරන විෂය ක්ශේත්‍රයත් පෙනි පෙනි නැතිවෙන එක ටිකක් දරා ගන්න අමාරු සීන් එකක්.
ඉතින් අකමැත්තෙන් උනත් මට තෝරාගන්න තිබ්බෙ සිවිල් සහ මැකනිකල් අංශ දෙක. ඒකෙන් මම සිවිල් ඉංජිනේරු විෂය තෝර ගන්නවා. ඇත්තටම උනේ වෙන කරන්න දෙයක් නැති කමට සිවිල් ඉංජිනේරූ විෂය තෝරා ගැනීමක්.
ඉතින් දෙවැනි අවුරුද්ද පටන් අරං ඉස්සෙල්ලම සිවිල් ඉගෙන ගන්න කියල ගිය පලවෙනි ලෙක්චර් එකෙන්ම මට ඒක එපා උනා. මට ඒකේ පට්ට බොරිං ගතියක් දැනුනා. මට හිතුනා මේක 'මයි කප් ඔෆ් ටී එක' නෙමේ කියලා. ඉතින් එදා ඉදන්ම මම ලෙක්චර් යන එක නතර කලා. ගියොත් ගියෙ අවාරෙට වගේ තමයි. ලෙක්චර් නොගියට කරන්න වැඩ ඕනා තරම් තිබ්බා.පට්ට ආතල් කාලයක් ඒක... ඒ වගේම ලමයි 100 ක් විතර හිටපු සිවිල් බැච් එකේ බැච් රෙප් කෙනෙක් (ශිෂ්‍ය නියෝජිතයා ) හැටියට මාව තෝරා ගත්තා. එහෙම උනේ ඉගෙන ගැනීමේ හැකියාවට වඩා වෙනත් දේවල් වලට ප්‍රකට කරපු දක්සතා නිසා වෙන්නැති.. ඊට පස්සෙ ලෙක්චර් එකකට ගියා නම් ගියෙ බැච් එකේ මීටින් එකක් ගන්න ඕනා උනාම තමයි.
මේ වගෙ ලෙක්චර් නොගියට විභාගේ ලං උනාම වැටෙන කුප්පි වලින් විභාග ගොඩ දාන සැස්තරේ ඒ වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ ඇඟට පත්තියං වේගෙන ආවා. ඒ නිසාම දෙවෙනි අවුරුද්දෙ විභාගය යන්තං ගොඩ දා ගන්න මට පුලුවන් උනා. ( මේවා ගැන වෙනම සීරිස් එකක් ලියන්න පුලුවන්) අවුරුද්දක් තිස්සෙ උගන්වන සබ්ජෙක්ට්ස් විභාගෙට දවසක් දෙකක් තියලා කරන කුප්පි වලින් ගොඩ දැම්මා......කුප්පියෙන් මතුවෙන භූත බලය තමයි ඒ... කොහොම විභාග පාස් උනත් , මම මේ කෝස් එක කිසිම ආසාවකින් කල දෙයක් නෙමෙ.
දෙවැනි අවුරුද්දත් ඉවර වෙලා තුන්වෙනි අවුරුද්දත් පටන් අරං මාස කිපයක් ගියා. අර විදිහම තමයි. කැම්පස් එක ඇතුලේ හිටියට ලෙක්චර් යෑමක් නෑ... කොහොම හරි බැච් එකට මොකක් හරි පණිවිඩයක් දී ගැනීමේ උවමනාවක් ආවා. පණිවිඩය මොකක්ද කියන්න මට දැන් හරි මතකයක් නෑ. ලෙක්චර් එක ඉවර වෙච්චි ගමන්, කටිටියක් හැලෙන නිසා, ලෙක්චර් එක ඉවර වෙන කොටම බැච් මිටීන් එක ගන්න ඕනේ. ඒ නිසා එදා තිබ්බ ලෙක්චර් එකට සහභාගී වෙන්න මම සිද්ධ උනා..
ඔන්න දැන් තමයි ලමයි තොරණේ විස්තරේට එන්නෙ. අපට උගන්වන්න හිටපු මහාචාර්‍යතුමා තමන්ගෙ ලෙක්චර් එක කැන්සල් කල බවට පණිවිඩයක් අපට එව්වා. ඒ වෙනුවට එතුමගෙ හිතවත් කමක් මත, හොංකොං වල ඉදන් ආපු චීන සම්භවයක් ඇති හොං කොං ජාතික මහාචාර්‍යවරයෙක්ගේ 'ආරාධිත' දේශණයකට සහභාගී වීමට අපට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා පණිවිඩයේ වැඩි දුර තිබ්බා.. .
පැවැත්වීමට නියමිතව අවලංගු කල දේශණය තිබීමට නියමිතව තිබ්බෙ සිවිල් ඉංජිනේරු අංශයේ පලමු මහලේ....ඒ වෙනුවට පවත්වන්න නියමිතව තිබූ අලුත් දේශණය තියෙන්නෙ බිම් මහලේ තියෙන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලවේ. ...දේශණය අවලංගු උන නිසා අපි හැමෝම පලවෙනි මහලින් පඩිපෙල දිගේ බිම් මහලට බැස ගෙන එනවා.. බිම් මහලට ආපු මට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ ඇතුලු වීමේ දොරටුවත්.... සිවිල් අංශයේ පිටිවීමේ දොරටුවත් දෙකම පේනවා.. මේ වේලාවේ මගේ ඔලුව ඇතුලෙන් ලොකු කෑ ගැහිල්ලක් එනවා, මේ අලුතින් පාත් උන මරාලය පැත්තකට දාල ප්‍රධාන දොරටුවෙන් එලියට යන්න..
සුපුරුදු විදිහට ගියා නම් මම මේ හොං කොං ජාතික ඉංජිනේරු මහාචාර්‍යවරයගෙ ලෙක්චර් එක කට් කිරීම තමයි කරන්නේ. නමුත් කොහොම හරි දේශණය අවසානයේ බැච් මිටීන් එක ගැනීමේ දැඩි උවමනාව නිසාම මම මේ දේශණයට සහභාගී වෙන්න තීරණය කරනවා.
එතැන ඉදන් ගත වෙච්චි පැය ඇතුලත් මා තුල ලොකු වෙනසක් කරන්න ඒ හොංකොං මහාචාර්‍යවරයා සමත් වෙනවා. එතුමා හොංකොං වල දූපත් දෙකක් යා කරන කිලෝමීටර් දෙකා මාරක් පමන දිගින් යුත් පාලමක් ඉදිකරන ව්‍යාපෘතියක ප්‍රධාන ඉංජීනේරූවරයා විදිහට වැඩ කරලා ලබා ගත්ත ඇත්දැකිම් අපෙ ඉස්සරහ ඉතා මනරම් ආකාරයට ගෙන හැර දැක්වූවා. ඒ වෙන තෙක් එවනි මහා පරිමාණ ව්‍යපෘතියක් සහ ඒවයේ නිර්මාණකරණ හා ඉදිකිරීමේ අභියෝග ගැන හැගීමක් මා තුල තිබුනේ නෑ. එදා මොරටුව සිවිල් අංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවෙන් මම එලියට ආවේ වෙනස්ම පුද්ගලයෙක් විදිහට.
අද මෙන් ඉන්ටර්නෙට් බහුලව නොතිබුනු එකල, මෙවන් මහා පරිමාණ ඉදිකිරීම් ගැන දැන ගන්න තිබ්බ අවස්ථාව අඩුයි. එහෙම අවස්ථාවක් තිබුනත්, මම කෝස් එක අත ඇරලා දාලා තිබ්බ නිසා ඒ ගැන හෙව්වයි කියන්නත් බෑ.
අද ආපස්සට හැරිලා බලන කොට මං හිතනවා, එදා මං දැක්කේ අපි කැම්පස් එකේ තියරි වලට ඉගෙන ගන්න දේවල් වලින් ඇත්තටම ලෝකේ සිද්ධ වෙන දේවල් කියලා. සිද්ධාන්ත ප්‍රායෝගිකව ඇත්තටම භාවිතා කරන්නෙ කොහොමද කියන එක. අන්න ඒ කාරණයට මං වශීකෘත උනා කිව්වොත් නිවැරදියි. ජීවීත කාලයටම මං ලගින් ඉන්න පාලම් ඉංජිනේරූ තාක්ශණය නැමැති ලව් එක එදා මගෙත් එක්කම මොරටුව සිවිල් අංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවෙන් එලියට ආවා.
ඉතින් එදා ඉදන් නම් මගේ ජීවීතය වෙනස් වෙනවා. ආපසු ලෙක්චර් වලට එන්න ගන්නවා. මුලදී උගන්වන දේවල් එතරම් තේරුමක් තිබ්බෙ නෑ.. මොකද මුල අහුවෙලා තිබ්බෙ නැති හින්දා...ඒත් ඒවා ගොඩ දා ගන්න එක එච්චර අමාරු උනේ නෑ....
ඉතින් එදා ඇතිවෙචිචි ලව් එක තාමත් මගේ ගාව තියෙනවා. සිවිල් ඉංජීනේරුකම මගේ ජීවන වෘතිය වෙන ගමන් පාලම් ඉංජිනේරූ ක්ශේත්‍රය තුල ඉදිරියටම යන්න මේ ආශාව මාව ඉස්සරට මෙහෙය වූවා.
හදිසියේ හරි එදා ඒ හොං කොං ජාතික ඉංජිනේරූ මහාචාර්‍යවරයාගේ දේශණය නොතිබෙන්න....ඒ වගේම තමන්ගේ ලෙක්චර් එක වෙනුවට ඒ අවස්ථාව හොං කොං මහාචාර්‍යවරයට ලබා දෙන්න අපේ විශ්වවිද්‍යාලේ මහාචාර්‍යවරයට නොසිතෙන්න....ඒ වගේම පුරුද්දක් ලෙස ලෙක්චර් කට් කරපු මට එදා බැච් එකට කියන පණිවිඩයක් නොතිබෙන්න ......මගේ ජීවීතය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..ලොකු අවුලකට යන්න ඉඩ තිබබා...
ජීවිතය අපි නොසිතන වෙලාවට නොසිතන විදිහට විවිධ දොරවල් පෙන්වනවා. අපි ඒ දොරවල් ඇරලා එලියට යන්න ඕනේ...ඒ දොරවල් අපිට අලුත් දේවල් පෙන්වාවි....සමහර විට අපේ ජීවීතයම වෙනස් කරාවී....
මගේ වෙනස්වීමට හේතූ උනේ අහඹු සිදුවීම් ගොඩක්...ඒ නිසා මං අද වෘතිය ආසවෙන් කරන කෙනෙක් හැටියට වැඩ කරනවා...තාම එපා වෙලා නෑ... ඒක මට සතුටක්..
මම හිතන්නේ, අපි හුඟ දෙනෙක්ගේ ජීවිතවල ඔය වගේ තැනක් තියෙනවා....
ReplyDeleteමම උනත් ඉස්සර කොම්පීතර සම්බන්දව ආසාවෙන් පටන් අරගෙන, වෙන හේතු කීපයක් නිසා යන පැත්ත මාරු කලා.....
ලස්සන වටින කතාවක්......
බොහොම ස්තූතියි...සූටික්කා බ්ලොග් එකක් ලියනවද?වැඩිය මීට කලින් දැකලා පුරුදු නැති නිසයි ඇහුවේ...
Deleteසිතා නොසිටි සමහර දේ මුන ගැසෙනා
ReplyDeleteඔතා දේවි දියුණුව නොපෙනෙන ලෙසිනා
පතා ආව පින දිනයක මල් පිපෙනා
නැතා කිසිම බාදකයක් ජය ලබනා...
මයියාගෙ බ්ලොග් එක හොය හොයා හිටියේ. අද දැක්කා. ඉතින් ජීවිත වෙනස් වෙන්න කෙනෙක්ගෙ වචනයක් වුනත් ඇති කියනවනේ.
ඉතින් සුබ පැතුම් ඔබ තුමාට.
ජයවේවා !!!
බ්ලොග් ප්‍රොෆයිල් එකේ පොඩි වෙනස් කම් කීපයක් කලා...දැන් හොයා ගන්න ලේසියි. ඔව් වචනෙකින් උනත් වෙනස් වෙන්න පුලුවන්...ඒ වගේ දේවල් මටත් වෙලා තියෙනවා...මං හින්දා අනෙක් අයටත් වෙලා තියෙනවා.
Deleteස්තූතියි ලස්සන කවි පේලිවලට
++++++++++++++++++++
ReplyDelete
Deleteස්තූතියි Par Jay
++++++++++++++++👌. හැරවුම් ලක්ෂ නං තිබ්බා, ඒත් මේ වගේ ලස්සන කතා නං නෑ.
ReplyDeleteඑමම තමයි...ලස්සන් කථා නැති හැරවුම් ලක්ෂ ඕනා තරම් තියෙනවා....බස්සට පුලුවන්නෙ ලස්සන කරලා ලියලා දාන්න..
Deleteමගේ මාමා කෙනෙක් හිටියා ඉස්සර CID එකේ. එයා ගොඩක් වෙලාවට රාජකාරියට යන්නේ 'සිවිල් ' පිට. සිවිල් ඉංජිනේරුවන් ගැනත් මම පොඩි කාලේ හිටියේ ඔය වගේ අදහසක :) ඉන්ජෝ කියන්නෙ කොහොමත් ටිකක් වෙනස් සත්තු වර්ගයක් නේද?
ReplyDeleteඅපූරු මතක සටහනක්! කාලෙක ඉඳන් බ්ලොග් එක කියෙව්වත් කොමෙන්ට් ලියන්න කම්මැලියි...දිගටම ලියමු සහෝදරයා!
බොහොම ස්තුතියි...අපේ කට්ටිය නම් සිවිල් පිට යනවයි කියන්නේ වෙන දෙයක් සදහා....
Deleteඔව් ඔව් ඉන්ජො කියන්නේ වෙනත් සත්තු ජාතියක් තමයි....උන්ට නගුටයි අඃ දෙකයි අඩුයිනේ...සමහර උන්ට ඇත්තෙම නෑ ;))
ඉදල හිටලා හරි කොටපු කමෙන්ට් එකට ගොඩක් තුති...
සැලසුම් කර ලැබිය හැකි වෙද දෙමව්පියන්
ReplyDeleteසොහොයුරු සොහොයුරියො නෑදෑ හිත-මිතුරන්
ඒ වාගෙමයි සිදු වෙන දේවල් වැඩියෙන්
අහම්බයන්- එනමුදු පිළිගනිමු තුටින්
ස්තූතියි නිදී...ඔව් දෙමව්පියන්, ආගම ගොඩක් දේවල් අහම්බ තමයි...ඒත් සමහර දේවල් අපි වෙනස් කර ගන්න වෙනවා...
Deleteඅර බිල් ක්ලින්ටනුත් කියලා තියෙන්නේ....ඔබ දුප්පතෙකු වී ඉපදුනොත් ඒ ඔබේ වරදක් නෙවේ...ඒත් ඔබ දුප්පතෙකු හැටියට මිය ගියොත් ඒ ඔබේ වරදක් කියලා...
බ්ලොග් ලියන සිවිල් ඉංජිනේරුවෝ තුන්දෙනෙක්ම හඳුනා ගැනීමේ වාසනාව ලැබුන කියහන්කෝ. ඉවාන්, තිලක සිත , මයියා - පට්ට - හැම ඉංජිනේරු විෂයක්ම හොඳයි. ලංකාවේතෝරා ගැනීමේ හෙන අවුලක් තිබ්බ කියල මම හිතන්නේ.
ReplyDeleteස්තූතියි අජිත්....තිලක්ව මා පෞද්ගලිකව අදුනනවා...අපි එකට වැඩ කරලා තියෙනවා....ඒ වගේම මා දන්නා විදිහට ඉකොනොමැට්ටා ලියන ඇමෙරිකාවේ මහාචාර්‍යවරයාගෙත් මූලික ඩිග්‍රිය පේරාදෙණිය සිවිල් ඉංජිනේරූ....ඔහු සහ තිලකසිරි සමකාලිනයන් මං දන්න විදිහට... මේ විදිහට පසු කාලිනව ෆීල්ඩ් එක මාරු කරපු අය ඕනා තරම් ඉන්නවා...සමහර විට ම්ගේ කථාවත් එහෙම වෙන්න තිබ්බා.. මේ අහඹු සිදුවීම නොවෙන්න...
Deleteලංකාවේ ඉන්ජිනියරින් ෆිල්ඩ් තෝරා ගැනීම විතරක් නෙවේ ඒලේවල් විශයන් තෝරා ගැනීමේ ඉදන්ම අවුල්...ඒකට හේතුව අපි කැමති දේ වෙනුවට , ඉදිරි රැකියා අවස්ථා, පිලිගැනීම වැනි දේ සලකා ඒ ඒ තොරා ගැනිම් සිදු කිරීම...ඉන්ජිනියරින්, වෛද්‍ය මේ හැම එකකම මේ තත්වය තියෙනවා... යම් ප්‍රමාන වලට
ඔව් ඒක හරි. මගේ ජිවිතේ වෙනස් වුනෙත් ඉතා අහඹු සිදුවීම් දෙක තුනක් නිසා. මම තාත්තා කියල මේ ලියල තියෙන ලිපියේ ඒ ගැන ලියල් තියනවා.
Deletehttps://kolambagamaya.blogspot.com/2015/02/blog-post_66.html
ඒ ලිපිය කියෙව්වා...ඇත්තටම පොඩි සිදුවීමක් නිසා ඒකත් ජීවීතය වෙනස් වීමක්...ඒ දියමන්ති ටික ඔබට නොදුන්නුනාම් ඔබ ආපසු රුසියාවට යනවා..එහෙමත් නැත්තන් පොලිසිය ඔබවචෙක් කලේ නැත්තනම් ඒක නැති වෙන්නෙ නෑ...පොලිසිය එහෙම චෙක් කරන්නේ බංගලියන්ගේ වැඩ නිසා....අහඹු සිදුවීම් ගොඩක් ....සමණක ආචරණය වගේ..
Deleteඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
අශ්වයා වැටුනු නිසා ජනරාල් මැරෙනවා....
ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....
ඒක හරි. මට එංගලන්තේ ඉන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. රුසියාවේ එලෙක්ට්‍රිකල් ඉගෙන ගන්න අදහසක් තිබ්බෙත් නැහැ., අර ලංකාවේ තිබ්බ ඉංජිනේරුවෙක් දොස්තරෙක් වෙන්න ඕනේ කියන අදහස විතරයි . මම දෙයක් කඩන්න හදන්න කැමති කෙනෙක්. දුවත් එහෙමයි. එයා කිංග්ස් කොලේජ් එකට ඉංජිනියරින් කරන්න ගිහින් අත හැරලා දැම්ම. දැන් ඉංජිනියරින් කියන්නේ ප්රෝග්රමින් විතරයි කියල. හැබැයි මම නතර වුනේ අහම්බෙන් IT ඩිග්රියක් කරලා IT ජොබ් එකක් ලැබිල . අහම්බෙන් හමුවුණු බිරිඳ නිසා මෙහෙම නතරවුනා. ජිවිතේ කියන්නෙම අහම්බයක් විතරයි. ඇණේ කතාව මරු. සමණක ආචරණය කියන්නේ මොකක්ද
Delete//දැන් ඉංජිනියරින් කියන්නේ ප්රෝග්රමින් විතරයි කියල.//මට අනෙක් ඉංජිනේරූ ක්ශේත්‍ර ගැන නම් කතා කරන්න වැඩි දැනුමක් නෑ...ඒත් සිවිල් ඉංජීනේරූ විද්‍යාව නම් තාම මිනිස්සුත් එක්ක වැඩ කරන, ඉගෙන ගන්න දේවල් ඒ ආකාරයෙන්ම ප්‍රායෝගිකව ක්ශේත්‍රයේ භාවිතා කරන්න සිද්ධ වෙන අංශයක්.ඩිසයින් වැඩ වලදි ඉස්සර අතෙන් කල හෑන්ඩ් කැල්කියුලේශන් වෙනුවට පරිගණක සොෆ්ට්වෙයාර් භාවිතා වෙනවා..ඒත් ඒ මොනා කරන්නත් මූලික දැනුම හා පලපුරුද්ද අත්‍යවශයයි. ඩිසයින් වැඩ ආර්ටිෆිශල් ඉන්ජිනියරින් එක්ක ඉස්සරාට රිප්ලේස් වෙනවද කියලා සංවාදයක් තියෙනවා. නමුත් මට තේරේන විදිහට ඒ මොන දේ සිද්ධ උනත් මිනිස් අතක් එතැනට ඕනේ වෙනවා. ඉස්සර අවුරුදු ගනං කල ඩිසයින් වැඩ පරිගණක වලින් පැය කීපයක් ඇතුලේ කරන්න පුලුවන්...ඒ උනාට පරිගනක සොෆ්ට්වෙයාර් වලදි අපෙ අතරෙ තියෙන කියමනක් තමයි..ගාබෙජ් ඉන්- ගාබෙජ් අවුට්..කියන එක..
Deleteබූට් කාල කට්ට කාල දියුණු උන එක ගැන සතුටයි
ReplyDeleteමම විජේබාහු
ඒ ආදර සම්බන්ධය අන්තිමට ගොඩක් සංකීර්ණ උනා...මොනා කරන්නද....ජිවිතේ හැටි එහෙම තමයි...ස්තුතියි ඔබේ කමෙන්ට් එකට
Deleteඔබේ කතාව ඇත්තටම රසවත්. ජීවිතය ආපස්සට හැරිලා බලද්දී හිමි වීම් අහිමි වීම් කඩාවැටීම් අතරින් පතර නැතුවාම නොවෙයි. කොහොම උනත් අර කතාවක් තියෙනවානේ ලිඳට වැටුණු මිනිහා ලිං කටින්ම ගොඩ වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තෝරාගත් මාර්ගය දිගේම ගොස් සාර්ථකත්වය කරා ගමන් කිරීමට හැකිවීම සතුටක් මෙන්ම අපි කාටත් හොඳ ආදර්ශයක්.
ReplyDeleteබොහොම ස්තූතියි ලියෝනි ඔබේ කමෙන්ට් එකට...ඔව් ජීවිතේ වැටීම් සිද්ධ වෙනවා...වැදගත්ම දේ ආපසු නැගී සිටීම තමයි...සමහර විට බලාපොරොතුවක් නැති උනාම ජීවීතේ ඔහේ යනවා..ඒ වෙලාවට තමයි අරමුණක් ඕනේ වෙන්න ඕනේ...ඒ කාලේ මගේ ජීවීතේ පහන් එලියක් නැතිව මුහුදේ අතරමං උන නැවක් වගේ...හුලග එන එන පැත්තට පා උනා...
Deleteජිවිතයේ හැරවුම් ලක්ෂ කියන දේවල් හරිම පුදුමයි. ඒවා එලඹෙන්නේ අපි හිතන්නෙවත් නැති වෙලාවල් වලට. සත්තකින්ම ඔබ කී සියළු කාරණා එකට සමපාතවී; ඒ දේශන ශාලාවේ ඔබව වාඩිකොට තැබීම මොනතරම් ආශ්චර්‍යයක්ද?
ReplyDeleteඊටත් කුරුනෑගල තෙක් විහිදෙන අධිවේගී මාර්ගයේ සියලු පාලම් නිර්මාණය කල ඉංජිනේරුවා බිහිවීම එවන් අහම්භයක් වීම කොයිතරම් අහඹුවක්ද?
ජයවේවා!
බොහොම ස්තූතියි මංජුල මහත්තයා....ලංකාවට ඇවිත් ගියත් ඔබව හමුවෙන්න නොහැකි උනා...ඔබත් ගොඩක් කාර්‍යබහුල වී සිටි බව බ්ලොග් එකෙන් දැක්කා...ඔව් ඒ ලෙක්චර් එක තමයි හැරවුම් ලක්ශය...ජීවීතේ පසු කාලේ රස්සාව සම්බන්දයෙන් තවත් ගොඩක් අහබු සිදුවීම් සිදූඋනත්...ආපස්සට හැරිලා බලන කොට එතැන මගේ හැරවුම් ලක්ශය කියලා දැන් තේරේනවා..
Deleteබොහොම අපූරු හැරවුම් ලක්ෂයක්. අපේ පැෂන් එක කොතැනදී හමු වෙයිද කියන්න අපි දන්නේ නෑ. එක අතකින් ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ වරද. ලංකාවේ විතරක් නෙවේ. ලෝකයේ බොහෝ රටවල. අපිට අපිව හොයල දෙන්නේ මේ වගේ අහඹු දේවල්. මම ප්‍රතිෂක්තිරණ විද්‍යාව එහෙමත් නැත්නම් ඉමියුනොලොජි වලට ආදරේ කරන්න ගන්නෙත් සති හයක වර්ක් ෂොප් එකක් නිසා( පොකුරු වැහි)
ReplyDeleteබොහොම ස්තූතියි...ඔබේ ලිපියෙන් පස්සෙ තමයි මටත් හිතුනේ මේ ලිපිය ලියන්න...
Deleteඅපේ සමාජේ අපේ පැශන් එක හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්...මොකද ඒකට ටිකක් කාලයක් යනවා...ඒ කාලය ඇතුලේ අපට දරාගන්න වෙන ආර්ථික ගැටළු ටිකක් ප්‍රශ්ණකාරියි...
බටහිට සමාජෙක් නම් ලමයි මේ පැශන් සබ්ජෙක්ට් එක තෝර ගන්න ලමයි සැහෙන් කාලයක් ගත කරත් ඒක තමන් කැමති දේ හොයා ගන්න පුලුවන්...ඒ කාලේ එන ආර්ථික ප්‍රශ්න වලට මුහුන දෙන්න පුලුවන් විදියට සමාජ් අවස්ථා ඒ ඒ සමහයන් තුල තියෙනවා...
මේක රස්සා වලට විතරක් නෙමෙ තමන්ගෙ සහකරු /සහකාරි සොයා ගැනීමටත් අදාලයි කියලා මට හිතෙනවා..
ලස්සන සටහනක්. හැරවුම් ලක්ෂයෙන් ඔබ කැමති දේ කරන්න ලැබුණු එක කොච්චර දෙයක්ද . තිලක වගේම ඔබත් ඔබේ අත්දැකීම් ලියන්න . අපට නිතර හමු නොවන අපූරු කථා ගොන්නක් අපට කියවන්න ලැබේවි.
ReplyDeleteබොහොම ස්තූතියි.....පෞද්ගලික සහා රාජකාරී අත්දැකීම් ලියන්න කැමතියි...සමහර ඒවා නිකං පම්පෝරීගැහිලි වගේ කියලා හිතෙයි කියලත් අකමැත්තක් තියෙනවා...තිලකසිරි නම් එහෙම නැතුව ලියන කලාව දන්නවා
Delete