Friday, 1 April 2016

ලොලි පොප් ද හෙල කෑමකි........

අප පැරණි මිතුරු කණඩායමක් නැවත සයිබරයේ මුණ ගසවන අදහසින් වයිබර් ගෲප් එකක් පටන් ගැනීමට යෙදී.. ගත වී ඇත්තේ මසකට අඩු කාලයකි.

ෆෝන් ඇප් එකක් බැවින්, මෙය කට්ටිය අතර ජනප්‍රිය වීමට වැඩි කලක් ගත් උනේ නැත.

මුලදී  කඩ්ඩෙන් කෙටූ නමුත්, පසුව මෙය හෙල අකුරු ඇප් එක අටවාගෙන  ශුද්ධ සිංහලයට ගේන්නට කට්ටිය සමර්ථ විය.

නමුත් ඒ සියල්ල ඉදිරියට ගියේ  රෝස මල් ඇතිරූ පාරක නම් නොවේ ය.බාධක බොහෝ තිබිනි.

එක් අයෙකුගේ ෆෝන් එකේ මොනම ආකාරයකින්වත් සිංහල අකුරු වැඩ නොකල අතර, පසුව හෙලි උනේ මේය ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්ධතිය ඇති ෆෝන් එකක් බවත් මෙය ලොලිපෝප් හෝ මාර්ස්මෙලෝස් වැනි මෙහෙයුම් පද්ධතියකට අප්ග්‍රේඩ් කිරීමෙන් ප්‍රශ්ණය විසදා ගත හැකි බවත් ය.

එහෙත් ගෲපයේ ඇතැමෙකුගේ අදහස උනේ සිංහල අකුරු බැලීමට හෙලයන්ගේ නිර්මාණ වූ කැවුම්, කිරිබත් වැනි දෙයක් යොදා ගන්නවා මිස ලොලි පොප් හෝ  මාස් මෙලෝස් වැනි දෙයක් යොදා ගැනීම අනුචිත බවය.




එහෙත් වර්ගපූර්ණිකාව වැනි මහා රාවණා රජුගේ අන්තේවාසිකයකු ගේ බ්ලොග් වලින් දැනුම ලබා සිටි මා හට නම් මෙය කිසිදූ ගැටළුවක් වූයේ නැත..

මන්ද ලොලිපොප් යනු මහා රාවණා රජුගේ කාලයේ සිට ලක් හෙලයාගේ ආධ්‍යාත්මය සමග බද්ධ වී සිටින්නක් බව මා දැන සිටි හෙයිනි.

අරිසෙන් අහුබුදු ශූරීන්ට අනුව 'ලොලි'යන්න හෙලයන්ට ලැදි ''ලොල්ලන්'වන අතර 'පොප්' යනු මහා රාවණා රජු සිය දඩුමොණයරය  වා+රිය+ පොලෙන්    අහසට නංවන විට නැගුණු ස්භාවික හඩය.

එහෙත් වර්ගපූර්ණිකාවෙන් හෙලි වන පරිදි දඩුමොණරය නවීන'හයිබ්‍රිඩ් රථයයක් මෙන් අනවශ්‍ය ශබ්දයෙන් තොර බැවින් මෙම 'පොප්' සද්දය,  පෙර සදහන් කල, සිංහලයට ලැදි ලොල්ලන් විසින්,  දඩු මෝණරය අහසට නංවනු බලා අමන්දානන්දයට පත් වී නගන ලද හඩක් ලෙස ද අර්ථ දැක්වේ...

මේ සංසිද්ධිය ශ්‍රවණය කල, නියම හෙලෙයකු වන මා හටද  සමන්පිච්ච මල් සුවදකුත් සමග පොප් සද්දයක් නිකුත් වුන බැවින් වර්ගපූර්ණිකාවේ සදහන් මේ අර්ථදැක්වීම යථාර්ථවාදී රීතීයට බොහෝ එකඟ බව මා හටද හැන්ගී යයි.



කෙසේ නමුත් මහා රාවණා රජු දඩු මොනරය අහසට නංවනු බලා ලොල්ලන් විසින් පොප් හඩ නැගීම ලොලිපෝප් ලෙස හදුන්වනු අතර, මහා රාවණා රජ සමයේ සිට මෙය හෙලයන්ගේ ලෙයට කා වැදී තිබුනු බව ඔබට දැන් පැහැදීලි ඇතැයි සිතමි.

තම අතීත ශ්‍රී විභූතිය ස්මරණයේ රිසි හෙලයා, එය වමාරා වමාරා කැමෙහි  කැමැත්තෙන් , පසු කලෙක්  මෙම සංසිද්ධිය අලලා ආහාරයක් නිපදවනු  ලැබූ අතර මෙය වර්තමානයේ ලොලිපොප් ලෙස ප්‍රචලිතව ඇත.

කෙසේ නමුත් ලොලි පොප් අධිරාජ්‍යවාදී බටහිරයන් අතරට යෑමෙන් පසු ඉතා කුමන්ත්‍රණකාරීව  හෙලයන් සතුව තිබූ ලොලිපොප් ඥාණ්ය මකා දමා ඇති අතර, නූතන සිංහලයාද ලොලි පොප් යන්න බටහිර කෑමක් ලෙස සලකති. ලොපිපොප් ඥාණය මකා දැමීමේ  අතුරු ප්‍රතිපලයක් ලෙස හෙල මානවිකාවන් අතර ලොලිපොප්   පාවිච්චියේ අඩුවක් දක්නට ඇති අතර ඇතැම් විට හෙල මානවකයන්ගේ ලොලි පොප් පිරිසිදු නැතැයි අදෝනාවක්ද වරින් වර නැගෙනු අසන්නට ලැබෙයි.

ලෝකයටම ලොලිපොප් හදුන්වා දෙනු ලැබූ හෙලයා, අද දවසේ අන්ත අසරනව, අධිරාජ්‍යවාදී බටහිර සුකොමලියන් ලොලිපොප් කන අයුරු බලා සුසුම් හෙලන ආකරයත් , තවමත් එය බටහිර අඩ්ධිරාජ්‍ය වාදීන් හෙලයා මත පටවනු ලැබු ආහාරයක් ලෙස සිතමින් උකටලීව සිටින අකාරය සිහිවෙන විට , නැගෙන කදුලු මෙතැකැයි කිව නොහැකි තරම් ය.මෙය කෙතරම් අවාසනාවන්ත තත්වයක්දැයි තීරණය කීරීම මහා රාවණා රජුගේ  නූතන  පරම්පරාවේ  දුවා දරුවන් වන ඔබ හට බාර කරමි.

ප:ලි-1: - මහා රාවණා රජ්ජුරුවෝද ලොලිපොප්  හි රුසියකු බවත් , සීතා ගේන් ලොලිපොප් ඉල්ලන්න ගොස්, ප්‍රශ්නයක් ඇති වූ බවත් ඉපැරනි වංශ කතාවල සටහන් වේ.

2: එහෙත් අහුබුදු ශූරීන්ට  අනුව තනිපංගලමෙ සක්මන් කරමින් සිටි රාවණා  දුටු සීතාට රාවණා  දෙවියන් ලොලිපොප් වලට මහත් ප්‍රසිද්ධියක් උසුලන බව සිහි වී`අයියා ලොලිපොප් තියෙනවද?යැයි  අසා ඇති අතර රාවනා රජු සීතා කෙරෙහි උපන් මහා  කරුණාවෙන් ලොලිපොප් එකක් දිමට යැමෙදී එය දුටු පඩත්තලයෙක් මෙය රාමාගේ කණෙ තැබීමෙන් රාම රාවණා පලහිලව්ව ඇති වී ඇතැයි පැවසෙ~

එ අනුව බලනකල  සුර අසුර යුද්ධයට ද හේතුව  හෙල කෑමක් වූ ලොලිපොප් බව ඔබට පැහැදිලි ඇතැයි සිතමි•

6 comments:

  1. මයියටත් හිතෙන දේවල් :-)

    ReplyDelete
  2. අනේද කියන්නේ මායියෝ........

    ReplyDelete
  3. රාවණා රජ තුමා ප්‍රියකල සංගීත සයිලිය පොප් බවත්. එම සංගීතයට හනුමා මෙන්ම සීතාද ප්‍රිය කල බවත් වර්ගපූර්ණිකාවේ තවත් තැනෙක සඳහන්වේ

    ReplyDelete
  4. රාවනා අයියාගෙ ලොලිපොප් එක :D

    ReplyDelete
  5. මේක මරු :)

    ReplyDelete
  6. කාලෝ බුරුතවත්තයන්ට රාවනා ආශීර්වාදය දුන්න හැටි
    -------------------------------------------------------------------

    කලකට පෙර හෙලයේම කොටසක් වූ වර්තමාන ඉන්දියාව යුද්දයකින් රාමා අතට පත්වූ හැටි බොහෝ දෙනා දනිති. එකල එම ඉන්දියාව වෙන්වී යාම සමග ලංකා දේශයෙන් දුරස්ථව විසු හෙළ ප්‍රජාවක් ඉන්දියාවට බටහිරින් වූ දුරබැහැර තැනක [කොදෙව්වක] තවත් දියුණු හෙළ ශිෂ්ටාචාරයක් පටන් ගත් අතර අද ඒ පෙදෙස හැඳින්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් නමිනි. මෙම කොදෙව්වේ වැසි හෙළයා මාත්රු භුමියෙන් බොහෝ සෙයින්දුර බැහැර නිසා ඇතිවන චිත්ත පීඩනයෙන් පීඩා විදින්නෝ උන්ගේ සියලු ක්‍රියාකාරකම් අකර්මන්‍ය විය. හෙළය සිහිවීමට උන්ට තිබ්බේ තණමල් විලෙන් ගෙන ගිය තණමල් ඇබින්දක් පමණක් නිසා උහු ඒ මල් රසයේ ගැලී හුන් අතර කාර්යයේද කෙලියේද අදක්ෂ විය. මේ බැව් පහුගිය ලෝක කුසලාන තුල මනාකොට පෙනේ.

    එහෙත් නැවත වසර දහස් ගණනකින් මවුබිමට පැමිණි ඒ හෙළයෝ 2012 වසරේ ලංකා ද්වීපයේ පැවති විස්ස විස්ස තරගාවලියෙන් අනපේක්ෂිත ජයක් ලැබුවේ තරගාවලියට පෙර රාවණා නිදා සිටින ගල්ගුහාව ආසන්නයට ගොස් ආශීර්වාද ලබාගත් නිසාය. එදා නිල්දිය පොකුණේ වැල්ල මත රාවනයින්ට සමුදුන් මාලන් සමුවැල්ල ඒ තරගාවලියේ වැදගත්ම කාර්යය ඉෂ්ට කළේය.

    මෙවර හෙළයට ආසන්න එහෙත් සතුරු දේශය වූ ඉන්දියාවේ පවතින ලෝක කුසලානය නිමිත්තෙන් නැවත මේ හෙළ පුත්තු 2015 වසර අග භාගයේ ලක්බිමට පැමිණ ආශිර්වාද ලබාගත්හ. එහිදී ඉන්දියාවේ බමුනෙකුගේ බලපෑම මත ප්‍රධාන ක්‍රීඩකයන්ට ගමන් අවහිර කරන ලද නිසාවෙන් රාවනා ආශිර්වාදය ලබා දුන්නේ තරුණ හෙල පුතෙකු වන කාලෝ බුරුතවත්තටයි. [සමහරු මෙහි කාලෝ නමැති නාමය හෙළ නමක් නොවේ යයි කියති. එහි අර්ථය හරි වේලාවට වැඩේ කරන්නා යන්නයි. කාලෝ යන්නෙහි අනිත් අර්ථය දැන් කාලය හරි කියන එකයි එනමින් ද තවත් හෙළ කාලෝ කෙනෙකු සිටියි]

    රාවන ආශිර්වාදය ලබාගත් තරුණ කාලෝ බුරුතවත්තට රාවනා යෝගයෙන් රාවන අඳුන ගාගෙන ක්‍රිකට් ගහන්නට පුරුදු කරන්නට ඔහුගේ ලංකාවාසී යක්ඛ ඥාතීහු අමතක නොකළහ. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා සබාපති ගේ පිල නමින් පවතී එම පුහුණු තරගයේ ලකුණු පුවරුවයි. මෙම තරගයේ ලකුණු 109 ට කඩුළු හතක් දැවී ගොස් හිටි බටහිර ඉන්දීය හෙළයින් ලකුණු 318 දක්වා ගෙනගියේ රාවනා වේශයෙන් රාවන අඳුන නළලේ ලාගෙන බුරුතවත්තයන් කෙලිය යෝද හයේ පහර නිසාවෙනි. අවස්ථාවෙන් නිසි පල ගත් හෙතෙමේ ජීවිතයේ පළමු වරට පන්දු 58 කින් 113 ලබාගත්තේය. මෙම පළමු කඩුලු හත දැවුනේ ඒ අවස්තාව ලබා දීමටය. මෙහි සබාපති යනු රාවනා මහ රජුම බව ද දත යුතු. එදා ඒ තරගයේ රාවන අඳුන ගාගත් අනිකා අන්දරේ රාස්සැල්ල වේ. ඔහුටද ඔහුගේ ආච්චි වැසී ඇතැයි සමහරු සිතුවත් ඇත්තෙන්ම ඒ රාවනා යෝගයයි.

    බුරුතවත්ත සතු රාවනා අඳුනෙන් ටිකක් ඔහුගේ මැන්ගෝ මිත්‍ර ලෙනගල සීමන් හෙවත් ලන්දේ සයිමන් සමග බෙදා ගත්තේය. සතුරු වූ රාමාගේ ඉන්දියානු හනුමන් පරදා සෙමි ෆයිනලය දික්විජය කරන්නට සීමන් සමත් වන්නේ ඒ අනුහසිනි.

    රාවනා බල අනන්තය. ආඩම්බර නම් ශෙයා කරන්න.

    තරගයේ ලකුණු පුවරුව

    ReplyDelete