Sunday 3 March 2024

රාක්ක වලින් ඔබ්බට - වචන පේලී අතර

පසුගිය දවසක විසිරි සිහින ලියන බ්ලොග් සහෝදරිය තමන් වෙසෙන එංගලන්තයේ පුස්තකාලෙකට ගිය විස්තරයක් ලියලා තිබ්බා. මේ සටහන කියෙව්වම,  මටත් ලඟ තියෙන  පුස්තකාලෙකට යන්න ඕනේ කියන අදහස ඔළුවෙ පැලවුනා..

පොඩි කාලේ,  මම ජීවත් උන ගම්පහ ප්‍රදේශයේ පුස්තකාලය තිබ්බේ අපේ ගේ ඉස්සරාම.  පාර පැනලා යන එක විතරයි තිබ්බේ. ගම්පහ පුස්තකාලයේ ගොඩනැගිල්ලේ තට්ටු දෙකක් තිබ්බා.  යට තට්ටුවේ තිබ්බේ පත්තර අංශය. උඩ තට්ටුවේ  කියවන්න දෙන පොතුත්, පාඩම් කරන අයට අවශ්‍ය මේසත් දාලා තිබ්බා. පොඩි කාලෙදිම මම මෙතැනට සෙට් උනේ පත්තර කියවන්න. චිත්‍රකථා පත්තර වල ඉදන්  ඉරිදා පත්තර, කාන්තා පත්තර, සඟරා ආදී හැමදෙයක්ම කියෙව්වෙ ඔතැනින්. 'බිරිද' වගේ කාන්තා පත්තර උනත් ඒ දවස් වල කියෙව්වෙ ඔතැනින්..කොට කලිසමක් ගහගෙන ඒ වගේ පත්තර කියවන කොට පොඩි ලැජ්ජාවක් වගේ ආවත්, ඇරියේ නෑ.. ටිකක් ලොකු වෙන කොට ලයිබ්‍රියට බැදිලා උඩ තට්ටුවට ගිහිල්ලා පොත් ගන්න පුරුදු උනා. ටික දවසක් යන කොට කියවන්න කියලා පොතක් ඉතිරිවෙන්නෙ නැති ගානටම කියෙව්වා.

කොහොම හරි ඒලෙවල් කරන කාලෙදිම වගේ මේ පුස්තකාල කෙරුවාව පොඩ්ඩ පොඩ්ඩ අතහැරිලා නැතිවෙලාම වගේ ගියා.

ගම්පහ පුස්ත්කාල බිල්ඩිම තමයි වම් අත පැත්තෙන් තියෙන්නෙ...පොඩ්ඩක් ගස් වලට වැහිලා...දකුණු අත පැත්තේ තියෙන්නේ ගම්පහ නගර සභා බිල්ඩිම 



ආයේ වතාවක් මගේ ඕනෑ කමට කියලා පුස්තකාලෙකට සෙට් උනේ මම කොලඹ ජීවත් වෙන්න ගත්තට පස්සෙ. 2016 කාලෙදි විතර  මම බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රියට බැදුණා. මේක ලයිබ්‍රියක් විතරක් නෙවෙ. ලයිබ්‍රිය හා බැදිච්චි සංස්කෘතියක් වගේම ඒ ආශ්‍රිතව කෙරෙන විවිධ වැඩසටහන්  තියෙන තැනක්. ඒ වගේම ඔන්ලයින් ඉදගෙන පොත් තෝරන්න,  පොත් වෙන්කරලා තබා ගන්න පුලුවන්, තරමක්  තාක්ශණය භාවිතා වෙන තැනක්. මේකේ තියෙන්නේ ඉංග්‍රීසී බාසාවෙන් ලියැවෙච්චි පොත් විතරයි. ඒ උනාට ඒ පොත් වල ලොකු විවිධත්වයක් තියෙනවා. නවකථා, ජිවීත කථා, දේශපාලන, කලා  ආදී විවිධ මාතෘකා රාශියක් යටතේ පොත් වර්ග කර කියැවීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කොහොම හරි  කොරෝනා වසංගතය පටන් ගත් විට  මේ ලයිබ්‍රිය තමන්ගේ සාමාජිකයන් හට විවිධ සීමාවන් පැනවූවා.  රට ලොක් ඩවුන් වීමත් සමග  බ්‍රිටිශ් කවුන්සිලයත් සමග මගේ තිබ්බ සම්බන්ධකමුත්  කෙමෙන් කෙමෙන් අඩුවෙලා ගියා.

මේ වගේ පොදු පුස්තකාල ඇරුණම මගේ වෘතීය ජීවීතයට සම්බන්ධ උන  ඉංජිනේරූ ආයතනයේ පුස්තකාලය, මොරටුව කැම්පස් එකේ පුස්තකාලත්, ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවියේ පුස්තකාලයත් , මා වරින් වර පරිහරණය  කරලා තියෙනවා..

විසිරි සිහින බ්ලොග් එක කියෙව්වට පස්සෙ මම දැන් ජීවත් වන ප්‍රදේශයේ තියෙන පුස්තකාල මොනවාදැයි කියලා සෙවීමේ ආශාවක් මට ඇතිඋනා.  ඊයේ සෙනසුරාදා නිවාඩු දවසේ මම අන්තර්ජාලේ මේ ගැන පොඩ්ඩක් සෙවීමට කාළය වැය කලා. බලන් ගියාම මම ජීවත් වෙන ප්‍රදේශයේ ලගම ලයිබ්‍රියක් තියෙනවා. මම ඉතින් ලක ලෑස්ති වෙලා ලයිබ්‍රියට ගියේ  සාමාජිකත්වය ගන්න හිතා ගෙන. 

අයර්ලන්තයේ බිශොප්ටවුන් පුස්ථකාලය 

අයර්ලන්තයේ  මං ජීවත් වෙන ප්‍රාන්තයට අයිති, පුස්තකාල කීපයක් තැනින් තැන පිහිටලා  තියෙනවා..ඒ එක තැනකින්  සාමාජිකත්වය ගත්තම  අනෙක් පුස්තකාලවලටත් එම සාමාජිකත්වය වලංගු වෙනවා.

සාමාජිකත්වය සම්බන්ධයෙන් තියෙන හොදම දේ නම් මේ පුස්තකාල සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබීමයි. 'යෝ ටැක්ස් මනී ඇට් වර්ක්' කියන්නෙ ඉතින් මේන්න මේ වගේ වැඩ වලට තමයි. සාමාජිකත්වය ලබා ගන්න ඕනේ උනේ මගේ පදිංචිය තහවුරු කරන  මොකක් හරි ලියැවිල්ලක් විතරයි. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක ඒ වැඩේට හොදටම ප්‍රමාණවත් උනා.  කවුන්ටරයේ හිටපු මහත්මියට මගේ අවශ්‍යතාවය කිව්වට පස්සේ පොඩි ෆෝර්ම් එකක් පුරවන්න දීලා වැඩි වෙලාවක් ගන්නෙ නැතුවම  මට සාමාජික කාඩ්පත ලබා දුන්නා.

මගේ ලයිබ්‍රි මෙම්බර්ශිප් කාඩ් එක..මේක පිටිපස්සේ මගෙ නම ගහලා බාර් කෝඩ් එකක් තියෙනවා. 



මේ ලයිබ්‍රියේ  භාවිතා වන තාක්ෂණය ගත්තොත් , ඒක ලංකාවේ බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රියේ  තිබ්බ එක වගේම තමයි. පොතක්  ලයිබ්‍රියෙන් අරගත්තට පස්සෙ ඒක එලියට ගෙනියන්න කලින් ස්වංක්‍රීය ස්කෑන් යන්ත්‍රය පාවිච්චි කරලා ස්කෑන් කරගන්න ඕනේ.


පොත් එලියට ගෙනි යන්න කලින් මේ යන්ත්‍රයෙන් ස්කෑන් කර ගන්න ඕනේ.

ඊට අමතරව කාට හරි කම්පියුටරයක් පාවිච්චි කරන්න හෝ අන්තර්ජාලයට පිවිසෙන්න ඕනේ නම් හරි ඒ සදහා අවස්ථාවක්ද මෙහි ලබා දී තිබෙනවා.  ඒ වගේම ප්‍රින්ටර් පහසුකම ද තියෙනවා. තව ත්‍රී ඩී ප්‍රින්ටර් පහසුකමත් තියෙනවා.මම හිතං උන්නේ මේක ලොකු සීන් එකක් කියලා. බලන් ගියාම එතැන තිබ්බේ පොඩි මෙශින් එකක්.. ඒ ගැන තව ටිකක් හොයලා බලන්න කියලා හිතා ගත්තා. 

අන්තර්ජාල සහ කොම්පියුටර් පහසුකම සලසා තිබෙන අයුරු 


ලංකාවේ බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රි එක වගේම  ලමයින් සදහා වෙනම අංශයක් මේකේත් තිබ්බා. දෙමාව්පියන්ගේ සාමාජික කාඩ් පතෙන්ම ලමයින්ටත්  පොත් ගන්න පුලුවන්.

පුස්තකාලයට ඇතුලු වෙන තැන..බෑග් චෙක් කරන්න, කවුරුත් නෑ...නිදහසේ ඇතුලට එන්න පුලුවන්...ඉස්සරහෙන්ම පේන්න තියෙන්නේ ලමයින්ට වෙන් කරපු සෙක්ශන් එක.



හැබැයි බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්‍රි එකේ තරම පොත් හා සඟරා වල ලොකු විවිධත්වයක් නම් මේ ලයිබ්‍රි එකේ තිබ්බෙ නෑ.  ඔක්කොම පොත් වගේ නවකථා තමයි තිබ්බේ. නොන් ෆික්ශන් කියන කැටගරියට වැටෙන පොත් තිබ්බෙම නැති තරම්... 

තව මට නුහුරු දෙයක් තමයි ඔඩියෝ බුක්ස්. අපි ඉතින් පොත් කියවනවා මිසක් පොත් අහන්න යන්නේ නෑනෙ. හැබැයි රාක්ක පහක හයක වගේ ඔඩියො බුක්ස් කියලා, දෘඩ ප්ලාස්ටික් කවර ඇතුලේ දාලා තිබ්බ සීඩී තැටි වගේ දාලා තිබ්බා. නාකි වයසක් උන්දැලා දෙතුන් දෙනෙකුත් එතැනින් ඒවා අරගන්නවා දැක්කම මට මගේ නොදැනීම ගැන පොඩි ලැජ්ජාවක් වගේ එකකුත් ආවා. 

ඔඩියෝ පොත් තැන්පත් කරලා තියෙන රාක්ක

මේ පුස්තකාල සාමාජිකත්වයත් එක්ක ලැබෙන ඔන්ලයින් ගිණුමෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්. ඊබුක්, විවිධාකාර සඟරා ආදිය තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදිහට සකසා ගන්න පුලුවන්. හෑන්ඩ් ෆෝන් එකෙන් පොත් බලන්න, මැගසින් බලන්න හදපු  මොබයිල් ඇප් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. 

මීට අමතරව, පුස්තකාලට අනුබද්ධිතව විවිධ  වැඩසටහන් රාශියක් තියෙනවා . සාහිත්‍යය කව, භාවනා වැඩසටහන්  වගේම චෙස් වැනි ක්‍රීඩා  කටයුතු ද පුස්තකාලය ආශ්‍රිතව  තියෙනවා . මම චෙස් ක්‍රීඩාව ගැන උනන්දු  නිසා ඒ කවයට බැදෙන්න හිතා ගත්තත් , චෙස් කවය තියෙන්නේ බදාදා  හැන්දෑවේ සවස දෙකාමාරට. ඒ වෙලාවට මම වැඩ නිසා, ඒකට සහභාගි වෙන්න සිද්ධ වෙන්නෑ.

මේවිදිහට පුස්තකාලය හා සම්බන්ධ විවිධ ඉවෙන්ට්ස් නෝටිස් බෝඩ් එකක් තියෙනවා 

පුස්තකාලය ට සම්බන්ධ  විවිධ වැඩසටහන්  ගැන ඔවුන්ගේ වෙබ් අඩවියෙත් වෙනම සදහන් කර තියෙනවා .

කොහොමින් කොහොම  හරි විසිරිසිහින සහෝදරියෙගේ බ්ලොග් පෝස්ට් එකක් නිසා මගේ ත් පුස්තකාල  ඉත්තෑවා අවධි වී , මමත් අලුත් පුස්තකාක සාමාජිකයෙක් උනා. මේ පුස්තකාලයත් , ලංකාවේ  බ්‍ර්ටීශ් කවුන්සලයේ පුස්තකාලයත් අතර තාක්ෂණික පැත්තේන් නම් ලොකු වෙනසක් නෑ. ඒත් ලංකාවේ බ්‍රිතාන්‍ය කවුසලයේ තියෙන පොත් වල විවිධත්වය වැඩි බව මට තේරිච්චි දෙයක්.

මේ සටහන කියවලා තවත් කවුරු හරි තමන්ගේ ලග තියෙන ලයිබ්‍රි එකට යන්න හිතුවොත්,  කොච්චර හොදද කියලා මට හිතෙනවා.

2222