Tuesday, 20 November 2012

'මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය.

                                               source : http://dhammabum.wordpress.com/2010/06/22/great-graphic/


 මෙහි පලමු ලිපියට මෙතැනින් යන්න

මෙම බ්ලොග් අඩවිය බෞද්ධ දර්ශනය පිලිබදව කීප අවස්ථාවක් කථා කර තිබෙනවා. ඉන් 'මහායානයද? ථේරවාදයද? නැත්නම් මුකුත්ම නැත්?ද ' යන ලිපිය වඩා අවධානයට යොමු වූ ලිපියක්.එය මහායාන හා ථේරවාද සම්ප්‍රධායන් අතර මූලික සිද්ධාන්ත වෙනස ඉතා සරලව තේරුම් කර ගැනීමට ගත් වෑයමක්. එය ලැබු ප්‍රතිචාර අතරින් බොහොමයක්, ධනාත්මක හෝ සෘණාත්මක වේවා,  එවායෙහි ගුණාත්මක වටිනාකම ඉහල බව මෙම ලේඛකයා විශ්වාස කරනවා.

මෙම සංවාදයේදී මතු වූ එක් කාරණාවක්  වූයේ වඩා නිවැරදි වන්නේ මහායානය ද නැතිනම් ථේරවාදය ද යන්නයි. මෙය කෙස් පැලෙන තර්ක ගෙන ආ යුතු මහා ලොකු ප්‍රශ්නයක් ලෙස මෙම ලේඛකයාට හැගී යන්නේ නෑ.එසේ නමුත් තමන් විශ්වාස කරන දේ පමනක් සත්‍ය ලෙස ගන්නා ගෝත්‍රවාදීයෙකු හට නම් මෙය, කිසියම් ආකාරයක, අභියෝගයක්....

කෙසේ නමුත් මතු කෙරුනු කාරණයට එනම් ප්‍රශ්ණයට උත්තර දීමට පෙර ප්‍රශ්ණයේ සීමා මායිම් පලමුව ලකුනු කල යුතුව තිබෙනවා. ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම,  පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.  එම නිසා ථේරවාදය ද ,  මහායානයද යන  ප්‍රශ්ණයේදී  මෙහි සැලකෙන්නේ, ඒ ඒ සම්ප්‍රධායේ සෛධාන්තික වෙනස මිස, ඒවා හා බැදුනු හෝ පසු කාලීනව ඊට එකතු වුනු  විවිද ඇදහිලි ක්‍රම, වත් පිලිවෙත් ආදිය නොවන බව සැලකිය යුතු වෙනවා. මෙම බොහෝ වත් පිලිවෙත් හෝ ඇදහිලි ක්‍රමයන් හී මූලාරම්භයන්, ඒ ඒ සමාජ හා බැදුනු ජනප්‍රිය විශ්වාස හෝ මිත්‍යාමත පදනම් වෙන බැවින් ඒවා මත පදනම්ව මෙම ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් යුගලයේ බර සසැදීම අනුවණ ක්‍රියාවක්. එය  කැලණි ගඟ මුහුදට වැටෙන තැනෙන් වතුර බීලා, ගග පටන් ගත්ත තැනේ වතුර වල ගුණ දොස් සොයන ආකාරයේ බොලද උත්සහයක්.

මීට පෙර ලිපියෙන් සාකච්චා කල අකාරයටම මෙම සම්ප්‍රධායන් දෙකෙහි මූලික සෛධාන්තික වෙනස 'අනාත්ම' තාවය මත පිහිටා තියෙනවා. මුල් ලිපියේදී මෙම අනාත්මවාදය සම්භන්ධ ගැටළුව, හරබර වචන වලින් තොරව, ඉතා සරලව ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයා අවංක උත්සහයක් දරා තිබුනා.නමුත් ඇත්ත වශයෙන්ම එය ඊට මදක් සංකීර්ණයි. කෙසේ නමුත්, සාරංශ වශයෙන් ගත් කල,  ථේරවාදයේදී 'අනාත්මතාවය',  පරමාර්ථ ධර්මයක් ලෙස සැලකෙන රූප පරමාර්ථයට යොමු වන අතර , මහායානයේදී එය 'ශුන්‍යතාව' දෙසට දිශාමුඛ වෙනවා.

මේ න්‍යායාත්මක කරුණ පසෙකින් තිබියදී,  භාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම  සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා.  සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත්  මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි. මීට සියවස් ගානකට පසු  'මිලින්ද-නාගසේන' හමුවේද කාරණය ප්‍රශ්ණයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා.

                                              : http://www.docstoc.com/docs/26322723/Differences-Between-Theravada-and-Mahayana-Buddhism

තමන් වහන්සේ දෙසූ 'ධර්මය හා විනය',  තම පරිනිර්වාණයෙන් අනතුරුව මූලික වන බව බුදුරදුන් දේශනා කලා. ඒ නිසාම "මහායානයද? ථේරවාදයද?" යන සෛධාන්තික ගැටලුව තේරුම් ගැනීමටද 'ධර්මය හා විනය' යන මිනුම් දණ්ඩ යොදා ගැනීම සාධාරණ කාරණයක්. එසේ ගත් කල ඊලග ගැටලුව වන්නේ 'ධර්මය' ලෙස ගත යුත්තේ කුමක්ද යන්න ය.  අන්තවාදී වූ ථේරවාදීයෙක් 'ධර්මය' යනු ථේරවාදය ලෙසත්, ප‍ටු කල්පනා ඇති මහායානවාදීයෙක්, 'ධර්මය' මහායානයත් සලකතොත් පුදුම නොවිය යුතුය.එහෙත් සත්‍යය ඊට වෙනස් ය. බුද්ධ දේශනය එයට පිලිතුරු සපයා තියෙනවා.

වරෙක, බුදුරදුන් ගේ සුළු මව වු මහා ප්‍රජාපතියන් විමසූවේ....'ධර්මය' හා 'ධර්මය නොවන දේ' හදුනා ගන්නේ කෙසේද යන්නයි. බුදුන් වහන්සේ සෘජුව පිලිතුරු දී තිබෙනවා.
'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට  යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය  යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.

මේ හා බැදුනු අනිත් ධර්ම කාරණය, ප්‍රචලිත හා ජනප්‍රිය කාලාම සූත්‍රයේ දැක්වෙනවා. එහිදී බුදුරදුන් දේශනා කර සිටින්නේ ' යමකු කිසිවක් කී පමණින්, සම්ප්‍රදාය වූ පමණින්, ශුද්ධ වූ ලියැවිල්ලක්  වු පමනින් එසේත් නැතහොත් තර්කයට ගෝචර වූ පමනින් හෝ ගුරුවරයා (?) කී පමනින් සත්‍ය ලෙස නොසැලකිය යුතු බවයි.' ඒ වෙනුවට බුදුරදුන් දේශනා කරනු ලබන්නේ  විභජ්‍යවාදයයි. එනම් යමක් තේරුම් ගත යුත්තේ තම තමන්ගේ අත්දැකීම, හේතුව  හා ඵලය බැදුනු තර්කය මත පදනම්ව බවයි.

බුද්ධ දර්ශනයේදී යමෙක් බලාපොරොත්තු වන්නේ 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි.

මෙයින් ' අනාත්ම' තාවය යනු බුදු දහමේ පමණක් දැක්වෙන , එය අනෙකුත් ආගම් හා දර්ශනයන්ගේන් වෙන් කර දැක්වෙන, ප්‍රබල සංකල්පයක්.මෙය එක අතකට සංකල්පයක් නොව , නිසැකවම සංකල්පීයමය තත්වය අභිබවා යන්නක්. 'දුක' හා 'අනිත්‍ය' සම්බන්ද කාරණා බුද්ධ දර්ශනය හා සමකාලීන වෙනත් ශ්‍රාස්තෲවරුන් ද, ලෝකයේ වෙනත් ආගම් ද  කථා කර ඇති මුත් 'අනාත්ම' තාවය බුද්ධ දර්ශනයට පමණක් ආවේණික වන්නක්.ථේරවාද හා මහායාන යන සම්ප්‍රධායන් දෙකම මෙම 'අනාත්ම' තාවය පිලිගන්නා අතර එය අවබෝධ කර ගැනීම සදහා ඒ දෙසට යොමු වී ඇත්තක්. එම නිසාම මෙ සම්ප්‍රධායන් අතරින් වඩා නිවැරදි දේ කුමක්දැයි සෙවීම පසෙක තිබියදී , මේ සම්ප්‍රධායන් දෙකම පිලිගන්නා, එසේම ඒ දෙසට යොමු කෙරෙන 'අනාත්ම' තාවය වටහා ගැනීම වඩා වැදගත් බව මේ ලේඛකාය විශ්වාස කරනවා.

කෙසේ නමුත්  මහායානික හා ථේරවාද සම්ප්‍රධායන් ගත් කල  ' ධර්මය'  යොදා ගන්නා ආකාරයේ සියුම් ප්‍රවේශනාත්මක වෙනසක් තිබෙනවා.

මහායානික සම්ප්‍රදායේදී ධර්මය සලකනුයේ හුදෙක් 'මෙවලමක්' (Instrumental value) ආකාරයෙනි.  උදාහරණයක් ලෙස ගත්හොත් වර්ථමානයේ ඇතැම් අය 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ අන් අයගෙන් තමා වෙනස් බව හෝ උසස් බව දැක්වීම උදෙසාය. මෙවන් අයට ඇත්තෙන්ම 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් පමනෙකි. එහෙත් තවත් අයෙක් 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ ලෝකය හා නව දැනුම සමග සම්භන්ද වීමටය. ඉන් ප්‍රයෝජනයක් ගැනීම සදහාය. මෙවන් අයෙකුට 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් නොව 'මෙවලාත්මක' වටිනාකමක් ය.

ධර්මය ද 'මෙවලාත්මක' ලෙස පාවිච්චි කිරීමේදී එය පාවිච්චි කරන පුද්ගලයාගේ මනසට හා අවබෝධ කිරීමට උත්සහ ගන්නා සත්‍යට අනුරූප සාපෙක්ශ වටිනාකමක් ලැබෙන බවක් හැඟී යනවා.  ඒ අනුව අතීත මහායානික ශාස්තෲවරුන්  ත්‍රිපිඨකයේ සදහන් ඇතැම් ධර්ම කරුනු  වඩ වඩා විශ්ලේශනය කොට නව අරුත් සැපයීමට උත්සහ ගෙන තිබෙනවා.  ඒ කුමන උත්සහයක් උවද 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'ආනාත්ම' යන සංකල්ප අභිබවා යාමක් හෝ  ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදු වී නෑ. ඇත්තෙන්ම සිදු වී ඇත්තේ බුදුදහමේ සදහන් 'අනාත්ම' තාවය වඩ වඩා විශ්ලේශනය කර 'ශූන්‍යතාවය' නැමැති සංකල්පය වඩා ඉස්මතු කර දැක්වීමයි. මහායානයේ දැක්වෙන'ශූන්‍යතා' සංකල්පය තර්කයක් වශයෙන් ප්‍රතික්ශේප වී ඇති අවස්ථාවක් මේ ලේඛකයාට නම් තවම සමු වී නෑ. කෙසේ නමුදු 'ශුන්‍යතාවය' පිලිගත්ත ද නැතද එය බුදු දහමේ මූලීක පදනම් වලට කිසිදු අකාරයේ බලපෑමක් ඇත්තේත් නෑ. එය විශ්වාසයන් අතර නැතහොත් ශ්‍රද්ධාව පිලිබද ගැටලුවක් විතරය.

මහායානිකයන් කර ඇති ආකාරයේ ධර්ම විශ්ලේශණයකට බුදුරදුන් කිසි විටක බදා පමුණුවා නෑ. බුදුරදුන් වරක දේශනා කලේ තම 'ධර්මය' පාවිච්චි කල යුත්තේ 'පාරුවක්' ලෙස බවය. ගගෙන් එගොඩ වීමට පාරුව උපයෝගී කර ගනු විනා පාරුව කර තබා ගෙන යාමක් උන්වහන්සේ අපේක්ශා නොකල බව ඉන් පැහැදිලිය.  තවත් විටෙක උන් වහන්සේ දේශනා කලේ 'ධර්මය' යනු කපන්න කපන්න දිදුලන මැණිකක් මෙන් කියා ය. මෙය තමන්වහන්සේ දෙසූ 'ධර්මය' වඩ වඩා විශ්ලේශණයකිරීමට කරන ඇරයුමක් නොවේද?

සැබෑ සැපත සොයා යන ගමනේ, තමන්ගේ ගැලවුම්කාරයා තමන් ම බව බුදුරදුන් සෑම විටම දේශනා කර තිබෙනවා. ' ධර්මය' හුදෙක් එහි ආධාරකයක් පමනක් බව එතුමා දේශනා කර තිබෙනවා. ආනන්ද තෙරුන් අමතා බුදුරදුන් 'ධර්මය' උපමා කරන්නේ 'දූපතක් 'ලෙස ය.

කෙසේ නමුත් ථේරවාද සම්ප්‍රධායේදී 'ධර්මය', ප්‍රථම ධර්ම සංඝායනාවේදී තහවුරු ආකාරයට ,ඒ අයුරින්ම පවත්වා ගෙන යෑම සදහා වැඩි වෙහෙසක් ගන්නා ආකාරය දක්නට ලැබෙනවා.

                                                          source : http://spiritrambler.blogspot.com/2011/03/seeing-is-not-believing.html


ලිපිය අවසාන කිරීම සදහා අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මහායාන වේවා, ථේරවාද වේවා, මෙම සම්ප්‍රධායන් දෙකම ගෞතම බුදුරදුන් ලෝකයා වෙත මහා කරුණාවෙන් දේශනය කරන ලද , 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ශනය අවබෝධ කරගැනීම සදහා උපකාරී වන බවය. එය සමාන කල හැක්කේ,' හද' පෙන්වන 'ඇඟිල්ලක්' ලෙසය. අප දැකිය යුත්තේ ඇඟිල්ල නොව හද ය. කුමන ඇඟිල්ලකින් උව ද හද පෙන්විය හැක. වඩා වැදගත් වන්නේ එය අතෙහි කිනම් ඇගිල්ලද යන්න නොව එම ඇඟිල්ල යොමු වී ඇති දිශාව පමනෙකි.





14 comments:

  1. බුදු දහමේ හරය ගැන අපටත් ලොකු විවේචනයක් නෑ. ගැටලුව තියෙන්නෙ භාවිතාවෙ.

    //'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.//

    අශාව වඩවන (රට,ජාතිය,ආගම) ක්‍රෝධය ඇතිවන (දෙමලුන් නැතිකරන, මුස්ලිම් පල්ලි කඩන) මිත්‍යාවන වැඩිවන (වඳ සැත්කම් කාරාම ජාතිය විනාසවන බව තියන) දෙවල් ධර්මය නමින් සමාජගත කිරීමටයි අපි විරැද්ධ.

    ReplyDelete
    Replies
    1. මයියාට කියන්න තියෙන්නේ මෙච්චරයි... ඒක යේසුස් වහන්සේගේ කියමනක්....' සීසර් ගේ දේ සීසර් ට දෙන්න..දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න'

      Delete
    2. බෞද්ධ දර්ශනය හා සිංහල බෞද්ධ යනු දෙකකි.
      සිංහල බෞද්ධ යනු ද අනිත් ආගම් වන හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ආගම් බැදුනු වෙනත් ජන වර්ගයන් මෙන් ම තවත් උප සංස්කෘතියක්ය.නැතහොත් ගෝත්‍රයක්ය. එය අනිත් ගෝත්‍ර හා මදක් හෝ වෙනස් වන්නේ යුදෙව්වන් තමන් දෙවියන් වහසේගේ ‍තෝරා ගත් ජන කොටස ලෙස විශ්වාස කරනවා මෙන්ම , සිංහල බෞද්ධයන් තම ජාතිය ථේරවාදයේ ආරක්ශාකරුවා ලෙස සිතීමය.

      ඇතැම්හු බෞද්ධ දර්ශනය යොදා සිංහල බෞද්ධ ගෝත්‍රවාදය දිය කර හෑරීමට උත්සහ කරයි. එහි වරදක් නැත. ගෝත්‍රවාදය අත හැරීම සිංහල බෞද්ධ සංස්ක්ර්තිය වඩ වඩා බෞද්ධ දර්ශන ය වෙත ලං කරන්නේය. කෙසේ නමුත් සිංහල බෞද්ධ ගෝත්‍රවාදය දිය කිරීමට උත්සහ කරන්න්නෝදද තවත් කිසියම් ගෝත්‍රවාදීයක සාමාජිකයෝ වන්නේය. ඇතැම්හු දෙමල, ක්‍රිස්තියානි ආදී ගොත්‍රවාදයේ සිට සමාජවාදී, පශ්චාත් නූතනවාදී ආදී පරාසයක ගොත්‍රවාදීයෙක්ය. සෑම ගෝත්‍රයකටම පොදු වූ අඩු ලුඩුකම් මේවායේද පවතින්නේය. මේ ගෝත්‍රවාදී බල අරගලයේ දී මතවාදී අරගල මෙන්ම, කඩුවෙන් ලෙයින් විසදෙන අරගල ද ඇත්තේය. ඈතැම් ඒවා නීතීයානුකූලය. තවත් ඒවා නීතී විරොධීය. නීතිය අවශ්‍ය වන්නේ උගතුන්, නූගතුන්, සමාජ් සුබසාදකයින් හොරුන්, මඔකොල්ලකාරයන් ආදෛඉ එකී නොකී සියලු පුද්ගලයන්ගෙන් සමන්විත සමාජය හැසිරවීමටය.

      එම නිසා නීතීයට අයත් දේ නීතීයටත්, දේවියන්ට අයත් දේ දෙවියන්ටත් දෙන්න යන යේසුස් වහසේගේ කියමන ඕබගේ කමෙන්‍ටුව සදහා යොදනවා හෑර වෙන වාක්‍යක් මගේ සිතට නොනැගෙන්නේය.

      Delete
  2. බුදු දහමේ හරය ගැන අපටත් ලොකු විවේචනයක් නෑ. ගැටලුව තියෙන්නෙ භාවිතාවෙ.

    //'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.//

    අශාව වඩවන (රට,ජාතිය,ආගම) ක්‍රෝධය ඇතිවන (දෙමලුන් නැතිකරන, මුස්ලිම් පල්ලි කඩන) මිත්‍යාවන වැඩිවන (වඳ සැත්කම් කාරාම ජාතිය විනාසවන බව තියන) දෙවල් ධර්මය නමින් සමාජගත කිරීමටයි අපි විරැද්ධ.

    ReplyDelete
  3. මම නං හිතන්නේ මහායානේ කියන්නේ ඔය පිංතූරේ පෙන්නලා වගේ හදේ ඡායාවක් තමයි පෙන්නන්නේ කියලා...නියම හද නෙමේ වෙන දේයක්.....දාලා තියෙන වගුව බැලුවම පේනවා මහායානේ, බුද්දාගම කියලා අදහන්නේ වෙන එකක් කියලා...

    ReplyDelete
    Replies
    1. අනෙකුත් සියලුම ආගම , දර්ශනයන් මෙන්ම බුදුදහමේද නිවන යනු සාදනය කල් නොහැකි චිශ්වාසයකි. එය සාදනය කර පන්විය නොහැක්කකි. එම නිසා 'විශවාසය' නැතහොත් 'ශ්‍රද්ධාව' කුමන විද්‍යාවක, ආගමකම අත්‍යාවාශ්‍ය සාදකයකි.

      මෙයට බුදුදහම එක විකල්පයක් යෝජනා කර ඈත. එනම් අතහදා බලා හොදනම් ‍තෝරගන්න යන්නය.

      මයියාට ද ඔබට යෝජනා කිරීමට ඇත්තේ මෙයය.

      Delete
  4. හේමමාලි නිලාන්ගනී කරුණාරත්න22 November 2012 at 13:04

    මහායාන බුදු සමයේ ඇති විශේෂිත ලක්‍ෂණයක් වන්නේ මුල් බුද්ධ දේශනා නොයක් ආකාරයෙන් විමර්ශනයට ලක් කොට නව තාක්‍ෂණික සංකල්ප ඉදිරිපත් කිරීමයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සසුන තුළ පිළිගත හැකි නායකත්වයක් නොතිබීම මෙයට ප්‍රධාන හේතුව විය.
    බුදුන් වහන්සේ වැඩ සිටි අවධියේ දී භික්‍ෂූන් වහන්සේට ධර්මය හා විනය සම්බන්ධව යම් කිසි ගැටලුවක් මතුවුවහොත් එය බුදුන් වහන්සේ වෙත ඉදිරිපත් කොට විසඳා ගත හැකි විය. නමුත් උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව භික්‍ෂූන් වහන්සේ සිය ධර්මය හා විනය සම්බන්ධ ගැටලු ස්වප්‍රත්‍යක්‍ෂතා ධර්මය අනුව විවිධ විභින්න ආකාරයෙන් විග්‍රහ කොට විසඳා ගත්හ. මේ නිසාම විවිධ බෞද්ධ දර්ශන වාද බිහිවන්නට විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සසුන තුළ නායකත්වයක් නොතිබීම මහායාන බුදුසමයේ ප්‍රභවයට සුවිශේෂී හේතුවක් වන ආකාරය මෙයින් පැහැදිලි වේ.

    ReplyDelete
  5. ශාසනයේ පැවැත්මට වගකිව හැකි අනුප්‍රාප්තතයකු නම් කරන ලෙස කරන ලද ඉල්ලීම පැහැර හැර සද්ධර්මය හා විනය පමණක්‌ම සෑහෙතියි යන තීරණය මෙවන් බෙදීම් වලට හේතූවක් නොවන්නේද?

    ReplyDelete
  6. අපේ නැසීගිය කුමුදු පින්ටො ගුරුතුමත් මේ ගැන කථා කරලා තියෙනවා,

    ReplyDelete
  7. //මහායානික සම්ප්‍රදායේදී ධර්මය සලකනුයේ හුදෙක් 'මෙවලමක්' (Instrumental value) ආකාරයෙනි. උදාහරණයක් ලෙස ගත්හොත් වර්ථමානයේ ඇතැම් අය 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ අන් අයගෙන් තමා වෙනස් බව හෝ උසස් බව දැක්වීම උදෙසාය. මෙවන් අයට ඇත්තෙන්ම 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් පමනෙකි. එහෙත් තවත් අයෙක් 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ ලෝකය හා නව දැනුම සමග සම්භන්ද වීමටය. ඉන් ප්‍රයෝජනයක් ගැනීම සදහාය. මෙවන් අයෙකුට 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් නොව 'මෙවලාත්මක' වටිනාකමක් ය.//

    I like that part

    ReplyDelete
  8. මහායාන දර්ශණය ලෙස ගත්කල මූලික ධර්මයේ ඉගෑන්වෙන සියලු ලෝකයන් කෙරෙහි අනිච්චතාවය යන ධර්මතාවය පිලිබද පරස්පරයක් දෑක්විය හෑකිය.මෙය සද්ධර්මපුණ්ඩරීක සූත්‍රාදිය තුලත් දෑකිය හෑකිය. එනම් නිබ්බාණ නම් නෑවත නූපදීම / සංසාරයෙන් එතර වීම යන කාරනයට පසුව නෑවත සුද්ධාවාසයේ පහළ වනබවටත් , ධර්මකාය නම් කායකින් නෑවත ලෝකයට පෑමිණිය හෑකි බවත් ආදී අනාත්මතාවයට පටහෑනි කාරනා අඩංගු වෙයි. එම නිසා ඒ තුලින් පිලිබිබු වන කාරනය නම් හින්ද බ්‍රාහ්මණ මතවාදයන් බුදු දහම හා සම්බන්ධ කොට මහායානය සකසා ඈති බවයි....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. //අනෙකුත් සියලුම ආගම , දර්ශනයන් මෙන්ම බුදුදහමේද නිවන යනු සාදනය කල් නොහැකි චිශ්වාසයකි. එය සාදනය කර පන්විය නොහැක්කකි.//

    මේ ප්‍රකාශය ධර්මානුකූල නොවේ. බුදු දහමේ මාර්ගය වනුයේ දුටු නිවන් කෙරෙහි යෑමයි. එසේ නොමෑතිව නොදන්නා නොවෑටහෙන දෙයක් කෙරෙහි යෑම බුද්ධි ගෝචර නොවන අතර එය බෞද්ධ ක්‍රමයද නොවේ. මේ ලෝකය අසාර වශයෙන් දකිමින් ලෝකයේ නෑවත හට නොගෑනීම සාර වශයෙන් දකිමින් ගමන් කිරීමයි බුදු මග. ඒ ඔස්සේයි පියවරින් පියවර මාර්ග ඵල තුලින් නිවනට පත්වන්නේ....

    ReplyDelete
    Replies
    1. ආරච්චිගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. මා දන්නා තරමින් නිවන යනු කුමක්ශැයි කෙසෙදැයි ලගින් යන් විස්තරයකට වඩා එය කුමක්දැයි හෝ ස්ථිරවම කුමක්දැයි බුද්ධ දර්ශනයේ විස්තර කර නොමැත. මා එය අත්‍යවශ්‍ය යැයි කියන්නේ ද නැත. ස්වරග්ය, දෙවියන් හා නිවන යන සංකල්ප( ඒවා සංකල්ප ලෙස ගත හැකි නම්) තුනම භෞතිකව අපට සාධනය කර පෙන්විය නොහැක. නිවන යනු කුමක්දැයි අවබෝධ කර ගත් යුත්තකි. නිවන යනු කුමක්දැයි එය අවබෝධ කොට නොමැති අය වාද කිරීම නිශ්පල නොවේද...එහෙත් නිවන් මාර්ගය අපට ජීඉවීතයට අවශ්‍ය සැපය ලබා දෙන බව ප්‍රත්‍යක්ශයෙන් ලබා ගත් නෝහැකිද..

      Delete