Monday 24 June 2024

තෙමසෙක් අහලා නෑ....ආසා හිතෙයි...

රජය ව්‍යාපාර කලාට අවුලක් නෑ කියල තර්ක කරන කට්ටිය ගේන ජනප්‍රිය උදාහරණයක් තමයි සිංගප්පූරූව.   සිංගප්පූරූවෙත්  රජයට අයිති ව්‍යාපාර  State Own Enterprises (SOE) තියෙනවා. ඉතින් සිංගප්පූරූවෙත් තියෙනවනම් ලංකාවේ තිබ්බම මොකද කියලා තමයි මේ අය අහන ජනප්‍රිය ප්‍රශ්ණය. 

මේ වගේ කථාවක් කිව්වම, ලංකාවේ ජීවත් වෙන  අපේ හිත්වල  මැවෙන්නෙ ,  ඇමතියගෙ  ඇම්බැට්යෙක් සභාපති  වෙච්චි  , එයාටම ගොට්ට අල්ලන  අධ්‍යක්ෂක මණ්ඩලයෙක් යටතේ, සිංගප්පුරූවෙත් ,  රජය සතු ආයතන දුවනව ඇති කියලා. ඒවගේම  රජය මේ ආයතන වලට රජයේ සල්ලි පොම්ප කරනවා කියලත් හිතන්න පුළුවන්. 

ඒත්  ඇත්ත කථාව තමයි, සිංගප්පූරූවේ තියෙන SOE  ලංකාවේ තියෙන ඒවාට වඩා හාත්පසින්ම  වෙනස් වීම. ඒවා දුවන්නේ තනිකරම පෞද්ගලික ආයතන වගේ.

සිංගප්පූරූ රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන්නෙ කොහොමද? 

සිංගප්පූරුවේ සියලුම SOE  අයත් වෙන්නේ රජයට අයත් Holding  කොම්පැණියකට. මේ කොම්පැණිය හදුන්වන්නේ තෙමසෙක් හෝල්ඩින් කොම්පැණිය  (Temasek Holdings) කියලා. 





තෙමසෙක් අයිතිය කාගෙද? 

තෙමසෙක් එක ඇත්තටම  අයිති වෙන්නෙ සිංගප්පූරූවේ රජයේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි ලංකාවේ වෙනවා වගේ ,තෙමසෙක් එකට සිංගප්පූරූ රජයෙන්  අවුරුදු පතා  සල්ලි පොම්ප කරන්නේ නෑ. 1974 දී සිංගප්පූරු රජය තෙමසෙක් කොම්පැණිය පටන් ගන්න කොට සිංගප්පූරූ ඩොලර් මිලියන 374 ක් පමණ ආයෝජනය කිරීමෙන් තමයි පටන් අරන් තියෙන්නෙ.ඊට පස්සේ ඒක රජයේ බලපෑම් වලින් තොරව, ස්වායත්තව තමන්ගේ කටයුතු කරගෙන ඇවිත් තියෙනවා.ඩොලර් මිලියන 374 කින් පටන් ගත්ත තෙමසෙක් ආයතනය, මේ වනවිට  සිංගප්පුරූ ඩොලර් බිලියන 400 (400,000 මිලියන කට)  ආසන්න වත්කමක් තියෙනවා. 

මූලීකව රජයේ සල්ලිවලින් පටන් ගත්තත්, මේ වෙනකොට තෙමසෙක් එක දුවන්නෙ තමන් කරගෙන යන බිස්නස් වලින් ලැබෙන ලාභයෙන්.ඉතින් මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ  හින්දා රජය පාඩුවට හරි බිස්නස් කරන්න ඕනේ කියන අය දැනගන්න ඕනේ කාරණය තමයි, සිංගප්පූරූවේ තෙමසෙක් එක අඩු ලාභ බලාගෙන බිස්නස් වලට බැහැලා නැති විත්තිය. ඒ වෙනුවට  තෙමසෙක් එක අනිත් පෞද්ගලික කොම්පැණියක් වගේම තමන්ගේ ලාභය උපරිම කරගන්න වෙහෙසනවා. 

තෙමසෙක් එක තමන්ට රජයේ බලපෑමක් නැති විත්තිය පෙන්වන්න ඉතා විනිවිදව තමන්ගේ ගිණුම් කටයුතු පවත්වා ගෙන යනවා. ඒ මගින් වගවීමත්, පාරදෘශ්‍යබාවයත් ආරක්ශා කිරීමට ඒ අය කටයුතු කරනවා.

දැන් අපි තෙමසෙක් එකට අයිති බිස්නස් මොනවද කියලා බලමු...

1. සිංගපූරූ ගුවන් සේවය. -  සිංගපූරූ ගුවන් සේවය කියන්නේ එරට කොටස් වෙළදපොලේ කොටස් හුවමාරු වෙන පෞද්ගලික ආයතනයක්. මෙහි කොටස් වලින් 55%ක් පමන තෙමසෙක් හෝල්ඩින් වෙත හිමිවෙනවා 

2. සිංගප්පූරූ මොබයිල් ෆෝන් සේවාවක් වෙන Singtel  ආයතනය. මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන, තෙමසෙක් එකට 52% පමන කොටස් අයිති ආයතනයක්.

3. PSA International ආයතනය - සිංගප්පූරූවේ සියලුම වරාය සහ නාවික කටයුතු මෙහෙයවන්නේ මේ ආයතනයෙන්. මේක 100% ක් තෙමසෙක් එක සතු ආයතනයක්. ඒ වගේම මෙම ආයතනය, විවිධ පෞද්ගලික් සමාගම් සමග ගිවිසුම් ගත වෙමින් , විවිධාකාර ආයෝජන වල නිරතවෙන ජාත්‍යන්තර ආයතනයක්.

4. DBS Bank (Development Bank of Singapore)අග්නි දිග ආසියාවේ විශාලතම බැංකුවක් වන මෙහි 30% පමණ කොටස් තෙමසෙක් එක සතු වෙනවා. 

5. ST Engineering (Singapore Technologies Engineering Ltd) - මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන තෙමසෙක් එකට 49% ක් පමණ කොටස් අයිති ආයතනයක්. 


සිංගප්පූරූ රජය බිස්නස් කරනවා.ඒගොල්ලොත් ලංකාවේ වගේ රජයේ ඒකාධිකාර වෙලදපොළ තියං ඉන්නවද?

නෑ. සිංගප්පුරූ රජය කිසිම වෙලාවක  මේ කිසිදු ක්ශේත්‍රයක රජයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නෙ නෑ. රජයට අයත් මේ ආයතන, අදාල වෙලදපොල තුල විශාල වෙළද පොල පංගුවක් හිමි කරගෙන හිටියත්, ඒවා අනෙක් පෞද්ගලික ව්‍යාපාර මෙන්ම තරඟකාරී වෙලදපොල ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනවා.මිනිස්සුන්ට ලාබෙට දෙන්න,  මිනිස්සුන්ට රස්සා දෙන්න වගේ අරමුණු වල හිරවෙල මේවා තමන්ගේ කටයුතු වල යෙදෙන්නෙ නෑ. 

තෙමසෙක් එක සිංගප්පූරූ රජයට බදු ගෙවනවද?

අනෙක් සෑම පෞද්ගලික ආයතනක් වගේම, තෙමසෙක් ආයතනය, සිංගප්පූරූ රජයට බදු ගෙවනවා. ලංකාවේ  වගේ රජයේ ආයතන බදු නොගෙවා බිස්නස් කිරිම වැනි දේවල් තුලින්, වෙලදපොල තරගකරුවන් අතර අසමානතා ඇති වෙන්න ඉඩ තියෙලා නෑ. 

ඒ වගේම කොටස් හිමිකරුවා නිසා, තෙමසෙක් ආයතනය , රජයට ලභාංශ ලබා දීමද සිදු කරනවා

එහෙනම්.... 

රජය බිස්නස් කරලා, මිනිස්සුන්ට ලාභෙට කන්න දෙන්න ඕනේ කියලා හිතන, ආරක්ශණවාදී මධ්‍යගත පාලනයකට කැමති, රජය විසින් සෑම ක්ශේත්‍රයකටම අත දාන්න ඕනේ කියලා හිතන අය,  සිංගප්පූරූ මොඩල් එක තමන්ගේ ඇඟට හරි යන විදිහට කපලා මහලා ඇඳ ගන්නවා. 

ඒත් වැදගත්ම කාරණය තමයි සිංගප්පූරූ රජය බිස්නස් කරන්නේ ඔය කියන අරමුණු එකක්වත් හිතලා නෙමේ. ඒ වෙනුවට , ඔවුන් නිදහස් වෙළදපොලක් තුල, අන්සැමට බලපාන නීතී රීතී යටතේ, අනෙක් තරඟකරුවන් හා සමානව වෙලදපොල තරඟයක යෙදෙමින්, ලාභය අරමුණු කරගෙන  තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා.

මෙන්න මේ වැදගත් කාරණය මග ඇරලා, සිංගප්පූරු රජය බිස්නස් කරනවා කියන කාරණය පමනක් තමන්ගේ සටන් පාඨය කරගත් අය තර්කනයේදී වංචාකරුවන් කියලා කියන්න වෙන්නෙ ඒ නිසයි. 






Sunday 16 June 2024

ඒක මයින්ඩ් ගේම් එකක්..

T 20  ක්‍රිකට් ක්‍රීඩාව හින්දා  ක්‍රිකට් ක්‍රීඩාව ලොකු වෙනසක් වෙමින් යනවා.  ඒ හින්දා සමහර විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව  නැතිවෙලාම යයි. දැනටමත්  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලං කරන විදිහ වෙනස් වෙලා.  උදාහරනයක්  ලෙස, ඉස්සර වගේ ලෑල්ල දා ගෙන පැල් බැදගෙන බැට් කරන එක අද වෙන කොට දකින්න නෑ.

ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවේ දකින්න තියෙන ලස්සන දෙයක් තමයි පිතිකරුවා දවා ගන්න පන්දු යවන්නා යොදා ගන්න ප්ලෑන. එක පන්දුවාරයක් තුල පිතිකරුවා තමන්ගේ ග්‍රහණයේ තබා ගෙන, බෝලෙන් බෝලේ,  පිතිකරුවාගේ මනසත් එක්ක සෙල්ලම් කරමින්,  මේ ප්ලෑනේ අග්‍ර ඵලය  නෙලා ගන්න එක බලන් ඉන්න ආස හිතෙන දෙයක්.

ෆෙස් බුක් එකේ උඩ පහල යන විට මේ වගේ පන්දුවාරයක වීඩියෝ ක්ලිප් එකක් දකින්න ලැබුනා.


පන්දුවාරයක් කිව්වට ඇත්තටම එතැන තිබ්බෙ පන්දු තුනක්.  පන්දු යවන්නෙ පකිස්ථාන හිටපු වේග පන්දු යවන්නෙකු උන මොහොමඩ් අසීෆ්. ඔහු ඉතා දක්ශ වේගපන්දු යවන්නෙක්. පන්දුව එලියට සහ ඇතුලට   යන දෙපැත්තටම පන්දුව දෝලනය කිරීමට සමත් දක්ශ පන්දු යවන්නෙක්. 

මේ පොඩි වීඩියෝ ක්ලිප් එක බැලුවොත් පේනේවී, පලවෙනි බෝලේ කඩුල්ලෙන් එලියට දෝලනය වන outswing  පන්දුවක්. ඕෆ් ස්ට්මප් එක එල්ලේ,  ගුඩ් ලෙන්ත් එකේ ටිකක් පිටුපසින් ( back of length)   පතිත වී එලියට දෝලනය වෙන පන්දුවක්. පිතිකරු ශෙවාග් ඒ පන්දුවට පරාද උනත් , ඔහුගේ තාක්ශණය නිසා ඔහු බේරේනවා. ඔහු පිත්ත ඇස් යට මායිමෙන් ( under the chin)  එලියට තල්ලු නොකර, තමාගේ ඇස යට පිත්ත තබා ගන්න නිසා, පන්දුව එහි දෝලනය සමග පිත්තේ නොවැදී ගමන් කරනවා.

පන්දුව ඉදිරියේ පිත්ත පරාද වීමත් එක්ක තමයි, මයින්ඩ් ගේම් එක පටන් ගන්නේ.

කලින් පන්දුවෙදි පිත්ත දාන්න ගිහින් පරාද උන නිසා ඊලග බෝලෙදි පිත්ත දාන් එක ගැන පොඩි චකිතියක් පිතිකරුවා තුල ඇතිවෙනවා. ඒක තත්පර මිලි ගාණක පරක්කුවක් වෙන්න පුලුවන්. හොද වේග පන්දු යවන්නෙකුට ඒ පරක්කුව කියන්නේ තමන්ගේ වැඩේ කර ගන්න ඕනාවටත් වඩා කාලයක්..

විය යුතු ආකාරයටම දෙවෙනි  පන්දුව, කඩුල්ල ඇතුලට දෝලනය වෙන විදිහට  ඉතා වේගයෙන් යොමුවෙනවා. මෙතැනදි තවත් වැදගත්ම දෙයක් තමයි, දෙවැනි පන්දුව පතිත වෙන්නෙත්, පලමු පන්දුව පතිත උන තැනමයි. නමුත් කලින් වතාවේ එලියට දෝලනය උන පන්දුව, මෙවර ඇතුලට දෝලනය වෙනවා. නමුත් පිත්ත ගෙන එමේ, තත්පර මිලි ගණනක පරක්කුව හෝ පන්දුවේ දෝලනය නිසා මෙවර එය පිතිකරුවාගේ පාදයේ වදිනවා. මට පේන විදිහට නම් ඒක ඇත්තටම කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යා යුතු අවස්ථාවක්. කෙසේ උනත්  විනිසුරු වරයා එම දැවී යාම ලබා දෙන්නෙ නෑ.. 


තුන්වෙනි බෝලෙදි, අසීෆ් සහ ශෙවාග් දෙන්නම් ප්ලේ කලේ මයින්ඩ් ගේම් එකක්....අසිෆ්ගේ පන්දු තුනම පතිත වෙන්නේ, ඕෆ් ස්ට්මප් එකේ , බැක් ඔෆ් ලෙන්ත් එකෙ. පලවෙනි එක අවුට් ස්විගර් එක...ඒකට ශෙවාග් බේරෙනවා. දෙවෙනි එක ඉන්ස්විගර් එක..එකට ශෙවාග් ඇත්තටම අවුට්..ඒත් දුන්නේ නෑ....ඊලග බෝලෙදි ශවාග් හිතන්නේ ඒක අවුට් ස්විගර් එකක් වෙයි කියලා හිතලා, කලින්ම හිතාගෙන , ( pre determined) ඩ්‍රයිව් එකකට යනවා...ඒ ශෙවාග් ගෙත් තියෙන ඇග්‍රසිව් මයින්ඩ් සෙට් එක නිසා..නමුත් අසීව් යොමු කරන්නේ කලින්ටත් වඩා ඈන්ගල් වෙච්චි ඉන්ස්විගර් එකක්....ශෙවාග් ඉන්ස්විගර් එකක් ආවට ඇජ්ස්ට් වෙන්න හිටියත්, අච්චර ලොකු ඉන්ස්විගර් එකකට ඇජස්ට් වෙන්න බෑ...ටෙස්ට් ක්‍රිකට් ඇට් බෙස්ට්. ...කොච්චර ලොකු මයින්ඩ් ගේම් එකක් ඒ බෝල තුන ඇතුලේ තියෙනවද?

2222