Monday, 22 December 2025

මහවැලියට යටවෙමුද නැතිනං ගොඩ යමුද -2

1977 බලයට පත්වුනු එක්සත් ජාතික  පක්ෂ රජය,  අවුරුදු 30 න් නිමකිරීමට සැලසුම් කර තිබූ , මහවැලි මහ සැලැස්ම , අවුරුදු  6 කින් නිම කිරීමට තීරණය කලා. 

වර්තමානයේදී, ඇතැමුන් මෙය එවකට ගත් වැරදී තීරණයක් ලෙස විග්‍රහ කරමින් විවේචනය කරනවා. නමුත්  අවුරුදු 6කින් නිම කිරීමේ අරමුණින් ඉදිරිපත් කල කඩිනම් මහවැලි ව්‍යාපෘතිය, අතීත සංධර්භය නොසලකා හැර, හුදෙක් වර්තමානය නිර්ණායකයන්  සලකමින්, විවේචනය කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.

1977 දී මහවැලි සැලැස්ම කඩිනම්  කිරීමේ තීරණය පිටුපස සැඟවී ඇති ඉතිහාසයක් තියෙනවා. එය එවකට පැවති ආර්ථික හා සාමාජීය ප්‍රශ්ණ ගණනාවක් හා බැදී පවතින්නක්. 

ජේආර් ගේ 77  ජයග්‍රහණයට පෙර 1955-70 කාලයේ , ලංකාවෙ පැවති දේශපාලනය කේන්ද්‍රගත වුනේ  සහල් දේශපාලනය වටා. උදාහරනයක් ලෙස, 1953 ඇති වූ දීපව්‍යාප්ත  මහා හර්තාලය, සහල් ශත 25සිට ශත 75 දක්වා වැඩි කල නිසා ඇතිවූවක්. 

1965 ආණ්ඩු සමයේ උන අගමැති ඩඩ්ලි, කූපන් පොතට හාල් සේරුවක් නොමිලේ දුන්නා. ඒ නිසාම ඩඩ්ලිට  “බත් දුන් පියා“  ලෙස  නමකුත් හැදුනා.

සිරිමාවෝ මැතිණිය 1970දී බලය ගත්තේ හදෙන් හරි සහල් ගෙනත් දෙන්න පොරොන්දු උනු දේශපාලනය මතින්.

"අපේ අම්මා ලග එනවා
හාල් සේරු දෙක දෙනවා"

සිරිමාවෝ මැතිණිය බලයට ආවෙ මෙවන් සහල් දේශපාල සටන්පාඨ මතින්.

මේ ආකාරයට පොදු ජනතාවගේ ආහාර  උන බත, එකල ලාංකික දේශපාලනයම වෙලාගත් ප්‍රශ්ණයක් උනා. සහල් දේශපාලනය එකළ දේශපාලන වේදීකාවේ ඉතා ජනප්‍රිය එමෙන්ම පොදු ජනතාවට ඉතා සංවේදී මාතෘකාවක් උනා. 

කෙසේ නමුත් මැතිණියගේ සමගි ආණ්ඩු පාළන කාලය අවසන් වී, 1977 දී එක්සත් ජාතික පක්ශය බලයට පත්වෙන විට මෙරට තිබුනේ සම්පූර්ණයෙන්ම වගේ ඇණ හිට තිබූ ආර්ථියක්. ඒ වගේම පොලිම් යුගයක්.  එය සමාන කල හැක්කෙ ගොඨාබය සමයේ අරගලය  ආසන්නනේ මෙරට තිබූ තත්වයට. 

ඒ වෙන කොට ලංකාවේ දරුණු ඩොලර් හිඟයක් පැවති අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කිරීම සීමා කර තිබුනා. මේ නිසාම,  සහල්,සීනී, තිරිඟු පිටි, කිරිපිටි , ඉන්ධන,  සිමෙන්ති වැනි  එදිනෙදා අත්‍යවශ්‍ය දේවල්  හිඟ උනා. කොටින්ම, සබන් කෑල්ලක් යනු එකළ සුඛොපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුනා.  මේ දේවල් ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති උනා. මෙකල QR කෝඩ් මෙන් එකළ ආහාර මුද්දර මත මේවා බෙදා හැරුණා. අරගල සමයේ ඉන්ධන,ගෑස් කළුකඩ ඇතිඋනාක් මෙන් එකළද කළු කඩ  ඇති උනා. 

සහල් පොලු මතින් හෙම්බත් වී සිටි දුප්පත් මිනිස්සු, බඩගින්න නිවා ගත්තේ  , කොස් පොලොස්,මඤ්ඤොක්කා,  සෙම්බු බතල  ,කැටමිල්ල  හොද්දත් එක්ක අනා කෑමෙන්. සහල් සේරු දෙක ලැබුනේ හාල් කූපන් එකෙන්.

ආනයන සීමා නිසා රටේ කර්මාන්ත කඩාවැටී තිබුනු අතර  ඒනිසාම රටේ අධික විරැකියා ප්‍රශ්ණයක් ඇතිවී තිබුනා. පෞද්ගලික අංශයේ කටයුතු සීමා වී තිබු එම යුගයේ උපාධිධාරීන් ඇතුලු රටේ තරුණයන් , රජයේ රස්සාවක් බලාපොරොත්තු උනා. 

ආන්ඩුවට හිතවත් ඇත්ත පත්තර, 1971 දී එවකට මුදල් ඇමති ආචාර්‍ය එන් එම් පෙරේරා ඉදිරිපත් කල අයවැය  වාර්තා කල ආකාරය. 


රටේ බලශක්ති ක්ශේත්‍රයේද ප්‍රශ්ණ රාශීයක් ඇති වෙලා තිබ්බා. නියඟ කාල වලදී විදුලිය කැපීම නිතරම සිදු උන අතර ඩොලර් හිඟය නිසා තෙල්  ආනයයන කිරීම සීමා උනා. ඒනිසාම රටේ තාප බලාගාර ක්‍රියාත්මක නොවුනු අතර, මෙය නාගරික ජනතාවටත්, කර්මාන්ත ක්ශේත්‍රයටත් දැඩිව බලපෑවා. 

මෙවන් අටෝරාසියක් ප්‍රශ්ණ කන්දරාවක් සමග බලයට පැමිනි එක්සත් ජාතික පක්ශයට, මේ  ප්‍රශ්ණ සදහා ඉක්මණින් විසඳුම් සේවීමට සිදු උනා.විරැකියාව,  ජනතාවට බත සැපයීම හා අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම , ඩොලර් හිඟය වැනි එවකට රටේ දැවෙන ප්‍රශ්ණ සදහා කඩිනමින් පිලිතුරු සැපයීමට අවශ්‍ය උනා.  පැවති තත්වය තුල,  අවුරුදු 30 කින් නිම කිරීමට සැලසුම් කල මහවැලි මහ සැලැස්ම, මේ අනුව  නැවත වරක් සලකා බැලුනා.  

මහවැලි මහ සැලැස්ම-30 අවුරුදු සැලැස්ම 
1965-1968 කාලයේදී , එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන  ( UNDP)  මගින් යෝජනා කල මහවැලි මහ සැලැස්ම ( Mahaweli Master Program)  අනුව එය අවුරුදු 30 ක කාලයක් තිස්සේ කරගෙන යෑමට යෝජනා කලා.  එසේ දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් යෝජනා කිරීමට මූලිකම හේතූ උනේ ලංකාවේ එවකට පැවති දුර්වල ආර්ථික හැකියාවත්, මහාපරිමාන ව්‍යාපෘති කිරීමෙ සදහා එවකට ලංකාවේ පැවති සීමිත ඉංජිනේරු හැකියාවනුත් යන කාරණායි. 



මහවැලි මහ සැලැස්ම අනුව අධියර  3කට සැලසුම්කර තිබුනා. 

එහි පලමු අධියර ලෙස යෝජනා උනේ පොල්ගොල්ල-බෝවතැන්න හැරවුම,  වික්ටෝරියා - මිණිපේ හැරවුම සහ මොරගහකන්ද ජලාශය ලෙසයි. එමඟින් ඉඩම් හෙක්ටයාර 135,000 කට ජලය සැපයීම සහ මෙගාවොට් 200 විදුලිබලයක් නිපදවීමට යෝජනා කලා.

එම සැලැස්මේ දෙවෙනි අධියර ලෙස යෝජනා කලේ ඉඩම් හෙක්ටයාර 96,000 දියවර සැපයීමයි. ඒ සදහා වික්ටෝරියා හා මොරගහකන්ද ජලාශ යොදා ගැනීමට යෝජනා උනා. 

සැලැස්මේ  තුන්වන අධියර උනේ කොත්මලේ සහ රන්දෙණිගල ජලාශ ඉදි කිරීම සහ එමගින් මෙගාවොට් 380 ක විදුලියක් ජනනය කිරීම.

මහවැලි මහ සැලැස්ම අවුරුදු 30 ක කාලපරාසයක් තුල නිම කිරීමේ යෝජනාව තුල තිබූ මූලික උපකල්පනය උනේ,  එක වරකට එක  ව්‍යාපෘතියක්  යන්නයි , ඒ සදහා ලංකාවේ මුළ්‍ය හැකියාව මෙන්ම, ඉංජිනේරු ක්ශේත්‍රයේ තිබුනු සීමාකම් ද හේතු උනා.



1977 එක්සත් ජාතික පක්ශ ආන්ඩුව,  බලයට පත් වෙන විට මීට ඉහත ලිපියෙන් ඉදිරිපත් කල ආකාරයට, මහවැලි මහ සැලැස්මේ මුල් අධියරේ වැඩ කොටසක් සිරිමා සමගි ආන්ඩුව විසින් නිමා කර තිබුනා. කෙසේ නමුත් එම අධියර යටතේ සැලසුම් කර තිබූ වික්ටෝරියා ජලාශය, මොරගහකන්ද ජලාශය , මිණිපේ හැරවුම ආදිය ඉතිරි වී තිබුණා.





1977 දී ඉදිරිපත් කල දැවැන්ත ආර්ථික  ප්‍රතිසංස්කරනය හමුවේ, මන්දගාමි මහවැලි වයාපෘතිය කිසිසේත් ගැලපුනේ නෑ. නව රජයට , දැවැන්ත විරැකියා ප්‍රශ්ණයකුත්, බලශක්ති ප්‍රශ්ණයකුත්, ජනතාවගේ බඩගින්නත්, දැවැන්ත ඩොලර් හිගයකුත් විසදීමට අවශය උනා.

ඒ සදහා ජේ ආර් විසින් ඉදිරිපත් කල තර්කානූකූල විසදුම උනේ විවෘත ආර්ථික මොඩලය.
විවෘත ආර්ථිකය හදුන්වා දීම මඟින්  සීග්‍ර  ආර්ථික හා කාර්මික දියුණුවක් අපේක්ශා කලා. එය ඒ ආකාරයෙන්ම, නිදහස් වෙළද කලාප තුල ඇති වූ  නව කර්මාන්තශාලා මගින් ලබා ගත්තා. මේ තත්වය තුල ඇති වූ විශාල බලශක්ති ඉල්ලුම සැපයීම සදහා මහවැලි ව්‍යාපාරය මගින් සැලසුම් කර තිබූ ජලවිදුලි බලාගාර ඉතා වැදගත් උනා. එමඟින් ජලවිදුලිය පමණක් නොව ඊට විකල්පය වූ තාප බලාගාර වෙනුවෙන්  ආනයන කිරීමට නියමිතව තිබූ ගල් අඟුරු  සහ තෙල් වියදමද රටට දශක ගණනාවක් තිස්සේ ඉතිරි කර දෙනු ලැබුවා.  

මීට අමතරව ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමද  තව අපේක්ශාවක් උනා. මහවැලි දියවර මගින් එක කන්නයක් වෙනුවට කන්න දෙකක් වැපිරීම, අලුත් වගා බිම් ඇතිකිරීම මගින් ආහාර නිශ්පාදනය ඉහල දැමීම අපේක්ෂා කලා. එමගින් එකල  ආර්ථිකයට විශාල බරක් උනු  ආහාර ආනයනය සදහා වැයවෙන ඩොලර් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කලා.

එපමණක් නොව එවකට පැවති උග්‍ර රැකියා හිඟයටද මෙමගින් පිලිතුරක් අපේක්ෂා කලා.  මහවැලි දියවර මගින් පෝශණය වන නව වගාබිම් හරහා නව රැකියා බිහිවීමට අපේක්ෂා කල අතර , නව අලුත් ඉදිකිරීම් මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා අපේක්ෂා කලා.   

ඒ අනුව දීර්ඝ කාලිනව සැලසුම් කර තිබු මහවැලි මහ සැලැස්ම, රටට වඩා ප්‍රතිලාබ ලැබෙන ලෙස කඩිනම් කල හැක්කේ කෙසේදැයි සෙවීමට නව කමිටු, ශකයතා අධයන ලහි ලහියෙ පිහිටුවනු ලැබුවා.

මේ ලිපියෙන් සාකාච්චා  කලේ , මහවැලි මහ සැලැස්ම , කඩිනම් කිරීමට සිදු වූ භූමියේ තත්වය. කඩිනම් මහවැලි වයාපෘතිය ගැන ඊලග ලිපියකින් කථා කරමු.




Monday, 8 December 2025

මහවැලියට යටවෙමුද නැතිනං ගොඩ යමුද -1

පසුගිය පාර්ලිමේන්තු කතාවකදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු , ජවිපේ නිර්මාතෘ විජේවීරව උපුටා දක්වමින්,   මහවැලි වාරිමාර්ග සහ ජල විදුලි ව්‍යාපෘතිය විවේචනය කලා.  ඔහු  කියා සිටියේ,   කඳුකරය ආශ්‍රිතව , ලංකාවේ මෑත කාලීනව සිදුවූ  නායයෑම්වලට, මහවැලි ව්‍යාපාරය  ප්‍රධාන හේතුවක් බවයි. 

මෙය අසත්‍යක්. මෙම ප්‍රකාශය සනාථ කිරීමට විද්‍යාත්මක හෝ ඉංජිනේරු සාක්ෂි කිසිවක් නැහැ. එය දේශපාලන හේතූන් මත, හුදෙක් පසුගිය ආන්ඩු වීවේචනය කිරීමේ පටු අදහසකින්  කරන ලද ප්‍රකාශයක් විතරයි.

කෙසේ වෙතත්, ජෙන් Z පරම්පරාවට සැබෑ කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක්. මෙවැනි දේශපාලන අරමුණු සහිත බොරු, ඒ අවස්ථාවේදීම කරුණු සහිතව නිශේධනය නොකලොත්, මෙවන් අසත්‍ය අනාගතයේදී සාමාන්‍ය සත්‍යයක් ලෙස පහසුවෙන් ජනගතවිය හැකියි. 

පසුගිය කාල වල මෙය බොහෝ වාරයක් වෙනත් කාරණා සම්බන්ධව සිදුවන බව අපි දැක තියෙනවා.ඒ නිසාම නිසි විද්‍යාත්මක  තර්ක මගින් මෙවැනි මුලා කිරීම් බිඳ හෙලීම ,  සත්‍යය ආරක්ෂා කිරීම නැමැතී කාරණයේදී ඉතා වැදගත් වෙනවා.

1948 නිදහසින් පසු  මහවැලි සංවර්ධනය පිලිබද කොතෙකුත් කතාබහ තිබුනත්,  ඒ පිලිබදව  අර්ථවත් පියවරක්  පළමුව  ගත්තේ, SWRD බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ,   1958 පෙබරවාරී මාසයෙදී. ඒ ඇමෙරිකාව (United States OOperation Mission -USOM) සමග එක්වී මහවැලි මහ සැලැස්ම පිලිබද කෙරුනු ශක්‍යතා අධ්‍යනයත් සමග. එතැන් සිට මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ විවිධ අධියරයන් අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. 2025 අවුරුද්දේ දෙසැම්බර් වන,   මේ මොහොත වෙන කොටත්,  මාලීමා ආන්ඩුව යටතේ ,  මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 28 ක උමං ව්‍යාපෘතියක් සිදුවෙමින් පවතිනවා. ඒ  සිරිසේන ජනාධිපති යටතේ  නැවත ආරම්භ වූ මොරගහකන්ද ව්‍යාපෘතියේ  දිගුවක්  ලෙස දිවෙන, ඉන්පසුව  නැවත ගෝඨාබය ජනාධිපතිවරයාගෙ සමයේ ආරම්බ වූ උතුරු පලාත් මහා ඇල ව්‍යාපෘතිය යටතේ. එබැවින් මාළිමා මන්ත්‍රිවරයාගේ මුග්ධ ප්‍රකාශය, මාළිමා ආන්ඩුවේ නිල ස්ථාවරය  නම් එම ව්‍යාපෘති මේ මොහොතේම  නැවැත්විය හැකියි. 

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලංකාවේ මුලු භූමී ප්‍රමාණයෙන් 39% ක් සංවර්ධනය වෙනවා.  ඒ වගේම  රටේ වියලි කලාපය ලෙසින්  හැදින්වෙන භූමී ප්‍රමාණයෙන් 55% ක් මේ තුල අඩංගු වෙනවා. මහවැලි ගංඟා ද්‍රෝණිය මෙන්ම මාඳුරු ඔය නිම්නයත් මෙයට අයත් වෙනවා. 



මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන ලංකා සිතියම



ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය 

මහවැලිය ව්‍යාපෘතියට පෙර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විශාල ප්‍රදේශ නියඟයට ගොදුරු වූ අතර එක් වගා කන්නයකට සීමා උනා.  එලෙස  නිසරු ලෙස අත්හැර දැමු වියලි කලාපයේ විශාල ඉඩම් ප්‍රමාණයක් මහවැලි ජලය නිසා වගාබිම්බවට පත්වෙලා තියෙනවා.  කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් දහස් ගණනකට, අක්කර දෙක තුනක වගා කිරීමට ඉඩම් ලැබුණා.  එමඟින් ඒ ගොවි පවුල් වල,  පරම්පරා ගණනාවකට  ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ශිත කෙරුණා. 

අද වන විට, කොත්මලේ,   බෝවතැන්න , වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය සහ වෙනත් මහවැලි ජලාශ වලින් මුදා හැරෙන මහවැලි ජලයෙන් , ගොවීන්ට අවුරුද්දකට  කන්න දෙකක් ,යල සහ මහ ලෙස  , වැඩි විශ්වාසයෙන් යුතුව වගා කරන්න පුලුවන් වෙලා තියෙනවා. 

ඒ නිසා මහවැලි ක්‍රමය කියන්නේ හුදෙක් වාරිමාර්ග ව්‍යාපෘතියක් පමනක් නොව රටට බත සපයන, මිලියන 22 ජනතාවගේ  ආහාර සුරක්ශිතතාවය සහතික කරන රටේ ජීවනාලිය ලෙස අවිවාදයෙන් හදුන්වා දෙන්න පුළුවන්.

ජල විදුලිය සහ ජාතික බලශක්ති ආරක්ෂාව

මහවැලි ජලාශ - කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මොරගහකන්ද හා  අනෙකුත් මහවැලි කුඩා ජලාශ ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලප්‍රභවය වෙනවා මෙන්ම ලාංකික බල ශක්තියේ කොඳු නාරටිය ද වෙනවා.  දශක ගණනාවක් තිස්සේ, මෙම ජල විදුලිබල පද්ධතිය, ඇතැම් වසරවලදී ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 50-70% දක්වා දායක උනා.

මෙම පිරිසිදු පුනර්ජනනීය බලය:

-   රට ආනයනික ඉන්ධන මතයැපීම අඩු කලා, එමගින් ඩීසල්, ගල් අඟුරු සදහා පිටරටවලට ඇදී යාමට නියමිතව තිබූ  බිලියන ගණනක විශාල විදේශ විණිමයක්  ඉතුරු කලා.

- නව කර්මාන්ත සහ නිවාස සඳහා ස්ථාවර  විදුලි සැපයුමක් සහතික කලා.  


ලෝකය කාබන් විමෝචනය අඩු කිරීමට අරගල කරන යුගයක, පසුගිය දශක හතර තුළ ලංකාව එහි  විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක්  මහවැලියෙන් බල ගැන්වෙන ජල විදුලියෙන් නිශ්පාදනය කල බව ශ්‍රී ලංකාවට ආඩම්බරයෙන් කියන්න පුලුවන් . ආහාර සුරක්ෂිතතාවය  වගේම,  මහවැලිය ජාතික බලශක්ති සුරක්ෂිතතාවයත් ඇති කලා.


මහවැලි මහ සැලැස්මේ ආරම්බය

මහවැලි මහසැලැස්ම ලෙස දැනට අඳුන්වනු ලබන සැලැස්ම සකසනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ (United Nations Development Program -UNDP) . ඒ සඳහා මුලින්ම ආරාධනා කළේ 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායකම මැතිණිය. නමුත් 1965 දී ,එම රජය පෙරළි ඩඩ්ලි සේනානායක අගමැති වූ නව ආණ්ඩුවක් පිහිටවනවා. 1965 - 1968 කාලසීමාවේදී UNDP ,  ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තු සමග එක්වී මහවැලි මහා සැලැස්ම එළි දක්වනවා

මහවැලි ව්‍යාපෘතිය යටතේ පලමු ඉදිකිරීම ඇරඹුනේ 1970 වර්ශයේ ඩඩ්ලි සේනානයක අගමැති සහ සී.පී සිල්වා ඇමතිවරයා මූලිකත්වයෙන්. ඒ  නුවර නගරය ආසන්නයේ පිහිටි  පොල්ගොල්ල  ජල හැරවුමයි. 


  





මෙම ව්‍යාපෘතිය මඟින්  මහවැලි ගඟ නුවර පොල්ගොල්ලේදී කොන්ක්‍රීට් බැම්මකින් හරස් කර කි.මී 5 ක් දිග  උමං මාර්ගයක් හරහා උකුවෙල විදුලි බලාගාරයටත් එයින් නිකුත් වෙන ජලය, සුදු ගඟට නිකුත් කර එම ජලය,  මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකල බෝවතැන්න  ජලාශයටත් යොමු කලා.  බෝවතැන්න්න ජලාශය පිහිටා ඇත්තේ  නුවර යාපනය A9  පාරේ පිහිටි  නාලාන්දාව  ආසන්නයේ.  

පොල්ගොල්ල බෝවතැන්න මහවැලි ජල ව්‍යාපෘතියේ ජල කලමණාකරණය ගැන සැලැස්ම 

බෝවතැන්න ජලාශය සාදා තියෙන්නෙ, පොල්ගොල්ලෙන් හරවා එවන මහවැලි ජලයත්, අඹන් ගඟේ ආරම්බයත් බද්ධ කරමින් , එම ස්ථානයේ ඉදිකල නව කොන්ක්‍රීට් වේල්ලකින්. 




බෝවතැන්න ජලාශය - (ජල විදුලිය + කෘෂිකාර්මික ජල නිකුතුව)  


බෝවතැන්න ජලාශය හරි අපූරු නිර්මානයක්. එමගින් ආරම්බ වෙන,  කි.මි 6.8 දිග උමගකින් හා ඇළ මාර්ගයකින් ,  දඹුල්ලේ කන්ඩලම වැවටත් , ඉන්පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලා වැවටත්  හුරුළු වැවටත් මහවැලි ජලය සපයනවා. 

ඒ වගේම  බෝවතැන්න ජලාශයේන් ආරම්බ වෙන. කි මි 1.8 ක් දිග  දෙවැනි උමඟකින්  මෙගාවොට් 40 ක බෝවතැන්න ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙනවා. ජලවිදුලිය නිපදවීමෙන් පසු නිකුත් කරන ජලය අබන් ගඟ දිගේ පරාක්‍රම සමුද්‍රය සහා මින්නේරි වැව් වලට යොමු කරමින් , පොලොන්නරු දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සහා කෘෂිකාර්මික  කටයුතු වලට දායක වෙනවා. 

මහවැලි සැලැස්මේ පලමු පියවර- පොල්ගොල්ලෙන් හැරවෙන මහවැලි ජලය, බෝවතැන්න ජලාශය හරහා අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කයේ වගා බිම් සරු කරමින්  බෙදි යන ආකරය 



පොල්ගොල්ල -බෝවතැන්න  1976 වර්ෂයේදී සිරිමා ආණ්ඩුව යටතේ නිමකලා. එමඟින්  හෙක්ටයාර් 54,000 ක , එවකටත් පැවති වගා ඉඩම් ප්‍රමානයකට මහවැලි ජලය ලබා දුන්නා. ඊට අමතරව  හෙක්ටයාර් 28,700 ක නව වගා බිම් ප්‍රමාණයක් කණ්ඩලම සහ කලාවැව ආශ්‍රිතව  ඇති උනා. එය මහවැලි  H  කළාපය ලෙස හදුන්වනවා.  පවුල් 30,000 පමණ මේවායේ පදිංචි කල අතර නව නගරයන් 8 ක් ,  නව ගම්මාන 26 ක් ඇතිකලා.




1977 වන විට සිරිමා ආන්ඩුව යටතේ රට විශාල ආර්ථික සහ දේශපාලන අර්බුධයකට යමින් මහවැලි මහ සැලැස්මේ වැඩ කටයුතු අඩපණ වෙනවා. ඉන්පසුව පත්වෙන  එක්සත් ජාතික පක්ශ නව රජය යටතේ මහවැලිය නව ජවයකින් ආරම්බ කෙරෙනවා.  කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස ඉදිරියට දිවෙන මෙම  අවධිය ඊලඟ ලිපියකින් සාකච්චා කිරීමට  බලාපොරොත්තු වෙනවා. 

2222