Monday, 8 December 2025

මහවැලියට යටවෙමුද නැතිනං ගොඩ යමුද -1

පසුගිය පාර්ලිමේන්තු කතාවකදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු , ජවිපේ නිර්මාතෘ විජේවීරව උපුටා දක්වමින්,   මහවැලි වාරිමාර්ග සහ ජල විදුලි ව්‍යාපෘතිය විවේචනය කලා.  ඔහු  කියා සිටියේ,   කඳුකරය ආශ්‍රිතව , ලංකාවේ මෑත කාලීනව සිදුවූ  නායයෑම්වලට, මහවැලි ව්‍යාපාරය  ප්‍රධාන හේතුවක් බවයි. 

මෙය අසත්‍යක්. මෙම ප්‍රකාශය සනාථ කිරීමට විද්‍යාත්මක හෝ ඉංජිනේරු සාක්ෂි කිසිවක් නැහැ. එය දේශපාලන හේතූන් මත, හුදෙක් පසුගිය ආන්ඩු වීවේචනය කිරීමේ පටු අදහසකින්  කරන ලද ප්‍රකාශයක් විතරයි.

කෙසේ වෙතත්, ජෙන් Z පරම්පරාවට සැබෑ කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක්. මෙවැනි දේශපාලන අරමුණු සහිත බොරු, ඒ අවස්ථාවේදීම කරුණු සහිතව නිශේධනය නොකලොත්, මෙවන් අසත්‍ය අනාගතයේදී සාමාන්‍ය සත්‍යයක් ලෙස පහසුවෙන් ජනගතවිය හැකියි. 

පසුගිය කාල වල මෙය බොහෝ වාරයක් වෙනත් කාරණා සම්බන්ධව සිදුවන බව අපි දැක තියෙනවා.ඒ නිසාම නිසි විද්‍යාත්මක  තර්ක මගින් මෙවැනි මුලා කිරීම් බිඳ හෙලීම ,  සත්‍යය ආරක්ෂා කිරීම නැමැතී කාරණයේදී ඉතා වැදගත් වෙනවා.

1948 නිදහසින් පසු  මහවැලි සංවර්ධනය පිලිබද කොතෙකුත් කතාබහ තිබුනත්,  ඒ පිලිබදව  අර්ථවත් පියවරක්  පළමුව  ගත්තේ, SWRD බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ,   1958 පෙබරවාරී මාසයෙදී. ඒ ඇමෙරිකාව (United States OOperation Mission -USOM) සමග එක්වී මහවැලි මහ සැලැස්ම පිලිබද කෙරුනු ශක්‍යතා අධ්‍යනයත් සමග. එතැන් සිට මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ විවිධ අධියරයන් අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. 2025 අවුරුද්දේ දෙසැම්බර් වන,   මේ මොහොත වෙන කොටත්,  මාලීමා ආන්ඩුව යටතේ ,  මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 28 ක උමං ව්‍යාපෘතියක් සිදුවෙමින් පවතිනවා. ඒ  සිරිසේන ජනාධිපති යටතේ  නැවත ආරම්භ වූ මොරගහකන්ද ව්‍යාපෘතියේ  දිගුවක්  ලෙස දිවෙන, ඉන්පසුව  නැවත ගෝඨාබය ජනාධිපතිවරයාගෙ සමයේ ආරම්බ වූ උතුරු පලාත් මහා ඇල ව්‍යාපෘතිය යටතේ. එබැවින් මාළිමා මන්ත්‍රිවරයාගේ මුග්ධ ප්‍රකාශය, මාළිමා ආන්ඩුවේ නිල ස්ථාවරය  නම් එම ව්‍යාපෘති මේ මොහොතේම  නැවැත්විය හැකියි. 

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලංකාවේ මුලු භූමී ප්‍රමාණයෙන් 39% ක් සංවර්ධනය වෙනවා.  ඒ වගේම  රටේ වියලි කලාපය ලෙසින්  හැදින්වෙන භූමී ප්‍රමාණයෙන් 55% ක් මේ තුල අඩංගු වෙනවා. මහවැලි ගංඟා ද්‍රෝණිය මෙන්ම මාඳුරු ඔය නිම්නයත් මෙයට අයත් වෙනවා. 



මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන ලංකා සිතියම



ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය 

මහවැලිය ව්‍යාපෘතියට පෙර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විශාල ප්‍රදේශ නියඟයට ගොදුරු වූ අතර එක් වගා කන්නයකට සීමා උනා.  එලෙස  නිසරු ලෙස අත්හැර දැමු වියලි කලාපයේ විශාල ඉඩම් ප්‍රමාණයක් මහවැලි ජලය නිසා වගාබිම්බවට පත්වෙලා තියෙනවා.  කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් දහස් ගණනකට, අක්කර දෙක තුනක වගා කිරීමට ඉඩම් ලැබුණා.  එමඟින් ඒ ගොවි පවුල් වල,  පරම්පරා ගණනාවකට  ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ශිත කෙරුණා. 

අද වන විට, කොත්මලේ,   බෝවතැන්න , වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය සහ වෙනත් මහවැලි ජලාශ වලින් මුදා හැරෙන මහවැලි ජලයෙන් , ගොවීන්ට අවුරුද්දකට  කන්න දෙකක් ,යල සහ මහ ලෙස  , වැඩි විශ්වාසයෙන් යුතුව වගා කරන්න පුලුවන් වෙලා තියෙනවා. 

ඒ නිසා මහවැලි ක්‍රමය කියන්නේ හුදෙක් වාරිමාර්ග ව්‍යාපෘතියක් පමනක් නොව රටට බත සපයන, මිලියන 22 ජනතාවගේ  ආහාර සුරක්ශිතතාවය සහතික කරන රටේ ජීවනාලිය ලෙස අවිවාදයෙන් හදුන්වා දෙන්න පුළුවන්.

ජල විදුලිය සහ ජාතික බලශක්ති ආරක්ෂාව

මහවැලි ජලාශ - කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මොරගහකන්ද හා  අනෙකුත් මහවැලි කුඩා ජලාශ ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලප්‍රභවය වෙනවා මෙන්ම ලාංකික බල ශක්තියේ කොඳු නාරටිය ද වෙනවා.  දශක ගණනාවක් තිස්සේ, මෙම ජල විදුලිබල පද්ධතිය, ඇතැම් වසරවලදී ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 50-70% දක්වා දායක උනා.

මෙම පිරිසිදු පුනර්ජනනීය බලය:

-   රට ආනයනික ඉන්ධන මතයැපීම අඩු කලා, එමගින් ඩීසල්, ගල් අඟුරු සදහා පිටරටවලට ඇදී යාමට නියමිතව තිබූ  බිලියන ගණනක විශාල විදේශ විණිමයක්  ඉතුරු කලා.

- නව කර්මාන්ත සහ නිවාස සඳහා ස්ථාවර  විදුලි සැපයුමක් සහතික කලා.  


ලෝකය කාබන් විමෝචනය අඩු කිරීමට අරගල කරන යුගයක, පසුගිය දශක හතර තුළ ලංකාව එහි  විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක්  මහවැලියෙන් බල ගැන්වෙන ජල විදුලියෙන් නිශ්පාදනය කල බව ශ්‍රී ලංකාවට ආඩම්බරයෙන් කියන්න පුලුවන් . ආහාර සුරක්ෂිතතාවය  වගේම,  මහවැලිය ජාතික බලශක්ති සුරක්ෂිතතාවයත් ඇති කලා.


මහවැලි මහ සැලැස්මේ ආරම්බය

මහවැලි මහසැලැස්ම ලෙස දැනට අඳුන්වනු ලබන සැලැස්ම සකසනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ (United Nations Development Program -UNDP) . ඒ සඳහා මුලින්ම ආරාධනා කළේ 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායකම මැතිණිය. නමුත් 1965 දී ,එම රජය පෙරළි ඩඩ්ලි සේනානායක අගමැති වූ නව ආණ්ඩුවක් පිහිටවනවා. 1965 - 1968 කාලසීමාවේදී UNDP ,  ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තු සමග එක්වී මහවැලි මහා සැලැස්ම එළි දක්වනවා

මහවැලි ව්‍යාපෘතිය යටතේ පලමු ඉදිකිරීම ඇරඹුනේ 1970 වර්ශයේ ඩඩ්ලි සේනානයක අගමැති සහ සී.පී සිල්වා ඇමතිවරයා මූලිකත්වයෙන්. ඒ  නුවර නගරය ආසන්නයේ පිහිටි  පොල්ගොල්ල  ජල හැරවුමයි. 


  





මෙම ව්‍යාපෘතිය මඟින්  මහවැලි ගඟ නුවර පොල්ගොල්ලේදී කොන්ක්‍රීට් බැම්මකින් හරස් කර කි.මී 5 ක් දිග  උමං මාර්ගයක් හරහා උකුවෙල විදුලි බලාගාරයටත් එයින් නිකුත් වෙන ජලය, සුදු ගඟට නිකුත් කර එම ජලය,  මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකල බෝවතැන්න  ජලාශයටත් යොමු කලා.  බෝවතැන්න්න ජලාශය පිහිටා ඇත්තේ  නුවර යාපනය A9  පාරේ පිහිටි  නාලාන්දාව  ආසන්නයේ.  

පොල්ගොල්ල බෝවතැන්න මහවැලි ජල ව්‍යාපෘතියේ ජල කලමණාකරණය ගැන සැලැස්ම 

බෝවතැන්න ජලාශය සාදා තියෙන්නෙ, පොල්ගොල්ලෙන් හරවා එවන මහවැලි ජලයත්, අඹන් ගඟේ ආරම්බයත් බද්ධ කරමින් , එම ස්ථානයේ ඉදිකල නව කොන්ක්‍රීට් වේල්ලකින්. 




බෝවතැන්න ජලාශය - (ජල විදුලිය + කෘෂිකාර්මික ජල නිකුතුව)  


බෝවතැන්න ජලාශය හරි අපූරු නිර්මානයක්. එමගින් ආරම්බ වෙන,  කි.මි 6.8 දිග උමගකින් හා ඇළ මාර්ගයකින් ,  දඹුල්ලේ කන්ඩලම වැවටත් , ඉන්පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලා වැවටත්  හුරුළු වැවටත් මහවැලි ජලය සපයනවා. 

ඒ වගේම  බෝවතැන්න ජලාශයේන් ආරම්බ වෙන. කි මි 1.8 ක් දිග  දෙවැනි උමඟකින්  මෙගාවොට් 40 ක බෝවතැන්න ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙනවා. ජලවිදුලිය නිපදවීමෙන් පසු නිකුත් කරන ජලය අබන් ගඟ දිගේ පරාක්‍රම සමුද්‍රය සහා මින්නේරි වැව් වලට යොමු කරමින් , පොලොන්නරු දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සහා කෘෂිකාර්මික  කටයුතු වලට දායක වෙනවා. 

මහවැලි සැලැස්මේ පලමු පියවර- පොල්ගොල්ලෙන් හැරවෙන මහවැලි ජලය, බෝවතැන්න ජලාශය හරහා අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කයේ වගා බිම් සරු කරමින්  බෙදි යන ආකරය 



පොල්ගොල්ල -බෝවතැන්න  1976 වර්ෂයේදී සිරිමා ආණ්ඩුව යටතේ නිමකලා. එමඟින්  හෙක්ටයාර් 54,000 ක , එවකටත් පැවති වගා ඉඩම් ප්‍රමානයකට මහවැලි ජලය ලබා දුන්නා. ඊට අමතරව  හෙක්ටයාර් 28,700 ක නව වගා බිම් ප්‍රමාණයක් කණ්ඩලම සහ කලාවැව ආශ්‍රිතව  ඇති උනා. එය මහවැලි  H  කළාපය ලෙස හදුන්වනවා.  පවුල් 30,000 පමණ මේවායේ පදිංචි කල අතර නව නගරයන් 8 ක් ,  නව ගම්මාන 26 ක් ඇතිකලා.




1977 වන විට සිරිමා ආන්ඩුව යටතේ රට විශාල ආර්ථික සහ දේශපාලන අර්බුධයකට යමින් මහවැලි මහ සැලැස්මේ වැඩ කටයුතු අඩපණ වෙනවා. ඉන්පසුව පත්වෙන  එක්සත් ජාතික පක්ශ නව රජය යටතේ මහවැලිය නව ජවයකින් ආරම්බ කෙරෙනවා.  කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස ඉදිරියට දිවෙන මෙම  අවධිය ඊලඟ ලිපියකින් සාකච්චා කිරීමට  බලාපොරොත්තු වෙනවා. 

12 comments:

  1. කඩිනම් මහවැලි ව්‍යාපෘතියට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා වැව පිරිත් කලා වගේ ව්‍යාපෘතිවලට බුදු වෙන්න පුවන්ද🤔🤔

      Delete
  2. විචක්ෂණය මයියාණෙනි පෝස්ටුව
    දිගු ඉතිහාසයක් කැටි කරමින් ලිව්ව
    මහවැලි වැඩෙන් පරිසරයේ ඇති කෙරුව
    පෙරළිය ගැනත් ලියැවේවා තව පසුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි...ඕනෑම සිවිල් ඉංජිනේරූ ව්‍යාපෘතියක් වෙන විට එමගින් පරිසරයට ඍණාත්මක බලපෑමක් තියෙනවා. ඉදිකිරීමක් නොව සෑම මානව ක්‍රියාකාරකමක්ම සොභාවධර්මයට බලපානවා. අපි බස් එකක් ගියත් එමගින් නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් මගින් මිහිතලය උණුසුම් කිරීමට හේතු වෙනවා. නමුත් මිනිසාගේ ජීවත්වීම සදහා අවශ්‍ය බලශක්තිය, ආහාර සදහා පරිසරයයොදා ගන්න සිද්ධ වෙනවා. ප්‍රශ්ණය තියෙන්නෙ රැවුලයි කැදයි දෙකම බේරාගන්න එක. එතැන සීමාව මොකක්ද කියන එක. ඒ වගේම මහා පරිමාණ ජලාශ ඉදිකීරීම සම්බන්දයෙන් ගෝලියව එන විවේචන තියෙනවා. ඒවා ලංකාවට විතරක් පොදුඒවා නෙවෙ.
      කෙසේ නමුත් ඔබ යෝජනා කර ඇති අයුරින්ම මහවැලි ව්‍යාපාරය ඉදිකිරීමේදි පරිසරයට ඇති වුන බලපෑම කථා කීරිම අතයවශ්‍යයි. එය මතක් කර දීම ගැන ඔබට ස්තුතියි.

      Delete
  3. මාත් හිතන් හිටියේ මෙහෙමං තමා . නමුත් අර විරුද්ධව ඇදපු ලිපිත් කියෙව්වා . ඔබගේ බ්ලොග් ලිස්ට් එකේ වෙන කතාවක් කියනව නේද https://seneviruwan.blogspot.com/2025/12/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්, සෙනෙවිරතන මහතාගේ ලිපිය කියැව්වා. එහි මහවැලියේ හොද ප්‍රතිපල මෙන්ම අහිතකර බලපෑමද සාකච්චා කර තියෙනවා. කෙසේ නමුත් අහිතකර බලපෑම කථා කිරීමේදී තරමක ඔපා දූප ස්භාවයකින් කථා කර ඇති බවක් දැනුනා. කෙසේ නමුත් මහවැලිය පිලිබද සාධාරන විවේචන තියෙනවා. නමුත් අවසාන විග්‍රහයේදී අපට බලන්න වෙන්නෙ මේකේන් නරකට වැඩිය හොදක් වෙලාද තියෙන කාරණය බව මම විශ්වාස කරනවා.

      Delete
  4. බොහොම ඉස්තුතියි. මේ විස්තරය හරි වැදගත් සහ ප්‍රයෝජනවත්. ඉතුරු හරියත් කියවන්න බලා පොරොත්තුවෙන් ඉන්නව. මහවැලිය කඩිනම් කිර්‍රිමට පේරාදෙනියෙ ආචාර්ය විතානගේ විරුද්ධවීමේ කතාවක් මේ දිනවල යනවා. ඒ ගැනත් පුළුවන්නම් අපට කියනව නම් හුඟක් වැදගත්. ඔබේ සාරවත් කරුණු හොඳින් සංවිධිතව සහ පැහැදිලි සරළ සංක්ෂිප්ත ශෛලියකින් ලියන ආකාරය චිත්තාකර්ෂණීයයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මහාචාර්‍ය විතානගේ කිව්වා යැයි පවසන කාරණය පිලිබදව මම හෙව්වත්, කිසිම දෙයක් හොයා ගන්න නම් බැරි උනා. පර්‍යේශණ පත්‍රිකා තියෙනවද කියලා හොයා බැලුවා.නමුත් කිසිවක් හමු උනේ නෑ. ඒ ගැන දැනුවත් නම් හෝඩුවාවක් දෙන්න.

      Delete
  5. දොස් දකින අය කරන්නේ, තිත් පසුපසට යා කිරීම වගේ දෙයක්. ඒ දොස් නිදොස් කරගන්න බැරි නං ඒකෙන් එච්චර වැඩක් වෙන්නෙ නෑ. ඒත් විවේචන වැදගත්, ඒවගෙන් පාඩ්ම් ඉගෙන ගත හැකි නං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා....වැරදිම හොයන කොට ඉතින් වැරදිම තමා පේන්නේ. ඒත් ඕනෑම දෙයක කළු සුදු දෙකක් තියෙනවනේ...මගේඅදහස මේ පිලිබදව අපි බලන්න ඕනේ, ඒ දශකයේ ලංකාවේ තිබූ ප්‍රශ්ණ , ආර්තික, හා ඉංජිනේරුමය හැකියාවන් සමග කියන එක

      Delete
  6. මයියාට ස්තුතියි, සවිස්තරාත්මක විස්තරයට. වෙරලේ පා අඩියක් තැබුවත් පරිසරයට යම් හානියක් වෙන්න පුලුවන්. ඉතින් අපේ අරමුන විය යුත්තේ හානිය අවම කරගනිමින් මානව ක්‍රියා කාරකම් මැනේජ් කර ගැනීමයි. මයියාගේ ඉතුරු ලිපි එනතෙක් බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෞශල්‍ය, පුලුවන් තරම් මුලු චිත්‍රයම පේන පරිදි ලියන්න උත්සහ ගන්නවා. මානව ක්‍රියාකාරකම්' වල බලපෑම් අධයනය කිරීම ඒ ව්යාපෘති ක්‍රියාත්මක වන කාලයේ එතරම් සුලභ දෙයක් නෙමේ, එක්සත් ජාතීන්ගේ sustainable goals , 2000 දි විතර. මහවැලි මහ සැලැස්ම හදලා තියෙන්නෙත් UNDP එක.නමුත් ඒ කාලයේ තිරසාර අරමුණු කෙරෙහි මෙකල තරම් බරක් තබා තිබුනේ නැති විත්තිය නම් කියන්න පුලුවන්

      Delete

2222