1977 බලයට පත්වුනු එක්සත් ජාතික පක්ෂ රජය, අවුරුදු 30 න් නිමකිරීමට සැලසුම් කර තිබූ , මහවැලි මහ සැලැස්ම , අවුරුදු 6 කින් නිම කිරීමට තීරණය කලා.
වර්තමානයේදී, ඇතැමුන් මෙය එවකට ගත් වැරදී තීරණයක් ලෙස විග්රහ කරමින් විවේචනය කරනවා. නමුත් අවුරුදු 6කින් නිම කිරීමේ අරමුණින් ඉදිරිපත් කල කඩිනම් මහවැලි ව්‍යාපෘතිය, අතීත සංධර්භය නොසලකා හැර, හුදෙක් වර්තමානය නිර්ණායකයන් සලකමින්, විවේචනය කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.
1977 දී මහවැලි සැලැස්ම කඩිනම් කිරීමේ තීරණය පිටුපස සැඟවී ඇති ඉතිහාසයක් තියෙනවා. එය එවකට පැවති ආර්ථික හා සාමාජීය ප්‍රශ්ණ ගණනාවක් හා බැදී පවතින්නක්.
ජේආර් ගේ 77 ජයග්‍රහණයට පෙර 1955-70 කාලයේ , ලංකාවෙ පැවති දේශපාලනය කේන්ද්‍රගත වුනේ සහල් දේශපාලනය වටා. උදාහරනයක් ලෙස, 1953 ඇති වූ දීපව්‍යාප්ත මහා හර්තාලය, සහල් ශත 25සිට ශත 75 දක්වා වැඩි කල නිසා ඇතිවූවක්.
1965 ආණ්ඩු සමයේ උන අගමැති ඩඩ්ලි, කූපන් පොතට හාල් සේරුවක් නොමිලේ දුන්නා. ඒ නිසාම ඩඩ්ලිට “බත් දුන් පියා“ ලෙස නමකුත් හැදුනා.
සිරිමාවෝ මැතිණිය 1970දී බලය ගත්තේ හදෙන් හරි සහල් ගෙනත් දෙන්න පොරොන්දු උනු දේශපාලනය මතින්.
"අපේ අම්මා ලග එනවා
හාල් සේරු දෙක දෙනවා"
සිරිමාවෝ මැතිණිය බලයට ආවෙ මෙවන් සහල් දේශපාල සටන්පාඨ මතින්.
මේ ආකාරයට පොදු ජනතාවගේ ආහාර උන බත, එකල ලාංකික දේශපාලනයම වෙලාගත් ප්‍රශ්ණයක් උනා. සහල් දේශපාලනය එකළ දේශපාලන වේදීකාවේ ඉතා ජනප්‍රිය එමෙන්ම පොදු ජනතාවට ඉතා සංවේදී මාතෘකාවක් උනා.
කෙසේ නමුත් මැතිණියගේ සමගි ආණ්ඩු පාළන කාලය අවසන් වී, 1977 දී එක්සත් ජාතික පක්ශය බලයට පත්වෙන විට මෙරට තිබුනේ සම්පූර්ණයෙන්ම වගේ ඇණ හිට තිබූ ආර්ථියක්. ඒ වගේම පොලිම් යුගයක්. එය සමාන කල හැක්කෙ ගොඨාබය සමයේ අරගලය ආසන්නනේ මෙරට තිබූ තත්වයට.
ඒ වෙන කොට ලංකාවේ දරුණු ඩොලර් හිඟයක් පැවති අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කිරීම සීමා කර තිබුනා. මේ නිසාම, සහල්,සීනී, තිරිඟු පිටි, කිරිපිටි , ඉන්ධන, සිමෙන්ති වැනි එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් හිඟ උනා. කොටින්ම, සබන් කෑල්ලක් යනු එකළ සුඛොපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුනා. මේ දේවල් ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති උනා. මෙකල QR කෝඩ් මෙන් එකළ ආහාර මුද්දර මත මේවා බෙදා හැරුණා. අරගල සමයේ ඉන්ධන,ගෑස් කළුකඩ ඇතිඋනාක් මෙන් එකළද කළු කඩ ඇති උනා.
සහල් පොලු මතින් හෙම්බත් වී සිටි දුප්පත් මිනිස්සු, බඩගින්න නිවා ගත්තේ , කොස් පොලොස්,මඤ්ඤොක්කා, සෙම්බු බතල ,කැටමිල්ල හොද්දත් එක්ක අනා කෑමෙන්. සහල් සේරු දෙක ලැබුනේ හාල් කූපන් එකෙන්.
ආනයන සීමා නිසා රටේ කර්මාන්ත කඩාවැටී තිබුනු අතර ඒනිසාම රටේ අධික විරැකියා ප්‍රශ්ණයක් ඇතිවී තිබුනා. පෞද්ගලික අංශයේ කටයුතු සීමා වී තිබු එම යුගයේ උපාධිධාරීන් ඇතුලු රටේ තරුණයන් , රජයේ රස්සාවක් බලාපොරොත්තු උනා.
![]() |
| ආන්ඩුවට හිතවත් ඇත්ත පත්තර, 1971 දී එවකට මුදල් ඇමති ආචාර්ය එන් එම් පෙරේරා ඉදිරිපත් කල අයවැය වාර්තා කල ආකාරය. |
රටේ බලශක්ති ක්ශේත්‍රයේද ප්‍රශ්ණ රාශීයක් ඇති වෙලා තිබ්බා. නියඟ කාල වලදී විදුලිය කැපීම නිතරම සිදු උන අතර ඩොලර් හිඟය නිසා තෙල් ආනයයන කිරීම සීමා උනා. ඒනිසාම රටේ තාප බලාගාර ක්‍රියාත්මක නොවුනු අතර, මෙය නාගරික ජනතාවටත්, කර්මාන්ත ක්ශේත්‍රයටත් දැඩිව බලපෑවා.
මෙවන් අටෝරාසියක් ප්‍රශ්ණ කන්දරාවක් සමග බලයට පැමිනි එක්සත් ජාතික පක්ශයට, මේ ප්‍රශ්ණ සදහා ඉක්මණින් විසඳුම් සේවීමට සිදු උනා.විරැකියාව, ජනතාවට බත සැපයීම හා අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම , ඩොලර් හිඟය වැනි එවකට රටේ දැවෙන ප්‍රශ්ණ සදහා කඩිනමින් පිලිතුරු සැපයීමට අවශ්‍ය උනා. පැවති තත්වය තුල, අවුරුදු 30 කින් නිම කිරීමට සැලසුම් කල මහවැලි මහ සැලැස්ම, මේ අනුව නැවත වරක් සලකා බැලුනා.
මහවැලි මහ සැලැස්ම-30 අවුරුදු සැලැස්ම
1965-1968 කාලයේදී , එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP) මගින් යෝජනා කල මහවැලි මහ සැලැස්ම ( Mahaweli Master Program) අනුව එය අවුරුදු 30 ක කාලයක් තිස්සේ කරගෙන යෑමට යෝජනා කලා. එසේ දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් යෝජනා කිරීමට මූලිකම හේතූ උනේ ලංකාවේ එවකට පැවති දුර්වල ආර්ථික හැකියාවත්, මහාපරිමාන ව්‍යාපෘති කිරීමෙ සදහා එවකට ලංකාවේ පැවති සීමිත ඉංජිනේරු හැකියාවනුත් යන කාරණායි.
මහවැලි මහ සැලැස්ම අනුව අධියර 3කට සැලසුම්කර තිබුනා.
එහි පලමු අධියර ලෙස යෝජනා උනේ පොල්ගොල්ල-බෝවතැන්න හැරවුම, වික්ටෝරියා - මිණිපේ හැරවුම සහ මොරගහකන්ද ජලාශය ලෙසයි. එමඟින් ඉඩම් හෙක්ටයාර 135,000 කට ජලය සැපයීම සහ මෙගාවොට් 200 විදුලිබලයක් නිපදවීමට යෝජනා කලා.
එම සැලැස්මේ දෙවෙනි අධියර ලෙස යෝජනා කලේ ඉඩම් හෙක්ටයාර 96,000 දියවර සැපයීමයි. ඒ සදහා වික්ටෝරියා හා මොරගහකන්ද ජලාශ යොදා ගැනීමට යෝජනා උනා.
සැලැස්මේ තුන්වන අධියර උනේ කොත්මලේ සහ රන්දෙණිගල ජලාශ ඉදි කිරීම සහ එමගින් මෙගාවොට් 380 ක විදුලියක් ජනනය කිරීම.
මහවැලි මහ සැලැස්ම අවුරුදු 30 ක කාලපරාසයක් තුල නිම කිරීමේ යෝජනාව තුල තිබූ මූලික උපකල්පනය උනේ, එක වරකට එක ව්‍යාපෘතියක් යන්නයි , ඒ සදහා ලංකාවේ මුළ්‍ය හැකියාව මෙන්ම, ඉංජිනේරු ක්ශේත්‍රයේ තිබුනු සීමාකම් ද හේතු උනා.
1977 එක්සත් ජාතික පක්ශ ආන්ඩුව, බලයට පත් වෙන විට මීට ඉහත ලිපියෙන් ඉදිරිපත් කල ආකාරයට, මහවැලි මහ සැලැස්මේ මුල් අධියරේ වැඩ කොටසක් සිරිමා සමගි ආන්ඩුව විසින් නිමා කර තිබුනා. කෙසේ නමුත් එම අධියර යටතේ සැලසුම් කර තිබූ වික්ටෝරියා ජලාශය, මොරගහකන්ද ජලාශය , මිණිපේ හැරවුම ආදිය ඉතිරි වී තිබුණා.
1977 දී ඉදිරිපත් කල දැවැන්ත ආර්ථික ප්රතිසංස්කරනය හමුවේ, මන්දගාමි මහවැලි වයාපෘතිය කිසිසේත් ගැලපුනේ නෑ. නව රජයට , දැවැන්ත විරැකියා ප්‍රශ්ණයකුත්, බලශක්ති ප්‍රශ්ණයකුත්, ජනතාවගේ බඩගින්නත්, දැවැන්ත ඩොලර් හිගයකුත් විසදීමට අවශය උනා.
ඒ සදහා ජේ ආර් විසින් ඉදිරිපත් කල තර්කානූකූල විසදුම උනේ විවෘත ආර්ථික මොඩලය.
විවෘත ආර්ථිකය හදුන්වා දීම මඟින් සීග්‍ර ආර්ථික හා කාර්මික දියුණුවක් අපේක්ශා කලා. එය ඒ ආකාරයෙන්ම, නිදහස් වෙළද කලාප තුල ඇති වූ නව කර්මාන්තශාලා මගින් ලබා ගත්තා. මේ තත්වය තුල ඇති වූ විශාල බලශක්ති ඉල්ලුම සැපයීම සදහා මහවැලි ව්‍යාපාරය මගින් සැලසුම් කර තිබූ ජලවිදුලි බලාගාර ඉතා වැදගත් උනා. එමඟින් ජලවිදුලිය පමණක් නොව ඊට විකල්පය වූ තාප බලාගාර වෙනුවෙන් ආනයන කිරීමට නියමිතව තිබූ ගල් අඟුරු සහ තෙල් වියදමද රටට දශක ගණනාවක් තිස්සේ ඉතිරි කර දෙනු ලැබුවා.
මීට අමතරව ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමද තව අපේක්ශාවක් උනා. මහවැලි දියවර මගින් එක කන්නයක් වෙනුවට කන්න දෙකක් වැපිරීම, අලුත් වගා බිම් ඇතිකිරීම මගින් ආහාර නිශ්පාදනය ඉහල දැමීම අපේක්ෂා කලා. එමගින් එකල ආර්ථිකයට විශාල බරක් උනු ආහාර ආනයනය සදහා වැයවෙන ඩොලර් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කලා.
එපමණක් නොව එවකට පැවති උග්‍ර රැකියා හිඟයටද මෙමගින් පිලිතුරක් අපේක්ෂා කලා. මහවැලි දියවර මගින් පෝශණය වන නව වගාබිම් හරහා නව රැකියා බිහිවීමට අපේක්ෂා කල අතර , නව අලුත් ඉදිකිරීම් මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා අපේක්ෂා කලා.
ඒ අනුව දීර්ඝ කාලිනව සැලසුම් කර තිබු මහවැලි මහ සැලැස්ම, රටට වඩා ප්‍රතිලාබ ලැබෙන ලෙස කඩිනම් කල හැක්කේ කෙසේදැයි සෙවීමට නව කමිටු, ශකයතා අධයන ලහි ලහියෙ පිහිටුවනු ලැබුවා.
මේ ලිපියෙන් සාකාච්චා කලේ , මහවැලි මහ සැලැස්ම , කඩිනම් කිරීමට සිදු වූ භූමියේ තත්වය. කඩිනම් මහවැලි වයාපෘතිය ගැන ඊලග ලිපියකින් කථා කරමු.



This comment has been removed by a blog administrator.
ReplyDeleteලිපියේ අන්තර්ගතයට අදාළා නොවන,සහ තුන්වෙනි පාර්ශවයක් ගැන කර තිබූ සඳහනක් නිසා,ඇනෝ ඔබගේ කමෙන්ටුව ඉවත් කිරීමට තීරණය කළෙමි. අපහසුතාවයක් වෙතොත් සමාවෙන්න.
Deleteඔබේ දෙවන ලිපිය ත් ඉතා කැමැත්තෙන් කියෙවිවෙ. මහවැලි ජලවිදුලි ව්‍යාපෘතිය ගැන එදා දේශපාලන නායකත්වය ප්‍රකාශ කලේ මෙමගින් රට සහලින් සවයංපෝෂිත කිරීම සිදුවන බව ත් සහ විදුලි බල නිෂ්පාදන අතිරික්තය ඉන්දියාවට විකිණීමට පුළුවන්වන බවත් ය. මේවා මෙම ව්‍යාපෘති සඳහා ජනමතය සකස් කිරීමට කරනලද අලෙවි උපක්‍රමද? ඒවා අතිශයෝක්ති විතරක් ද? ද එසේ නොවේනම් ඒ ඉලක්ක වලට යාමට බැරි වූ හේතු මොනවාද? ඉහත කරුණුගැන ඔබේ මතය මී ළඟ ලිපියකින් කියවීමට පුළුවන් නං හොඳයි.
ReplyDeleteස්තුතියි ඔබගේ අදහසක්ඇ ඉතා අගය කොට සලකනවා. ඇත්තටම කිව්වොත්, මහවැලි මහසැලැස්ම මගින්,රටේ ආහාර සුරක්ෂිතතාවය සහ රටේ බලශක්ති සුරක්ෂතාවය ඇති කිරීමට බලාපොරොත්තු වුණා.අසූව දශකයේ දී සිදුවූ මහවැලි සංවර්ධනයේදී වැඩි බර තබා තිබුනේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා.එහි කෘෂිකාර්මිකම් සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අරමුණු ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය ජලය බෙදාහැරීමේ අදියරයන් ඇත්තටම කිව්වොත් සිදු වෙන්නේ වර්තමානයේදී.ඒ උතුරු පළාත් මහා ඇලුම සහ වයඹ ඇළ ව්‍යාපෘති හරහා.
Deleteදේශපාලකයන් ඒ ඒ අවස්ථාවලදී කරන ප්‍රකාශ ඉලක්කම් සමග සංසන්දනය කිරීමේදී අපට බලන්න පුළුවන් ඒ අරමුණු ඉෂ්ට වෙලාද කියල. ඒ සඳහා උත්සහයක් මම ඉදිරි ලිපිවලදී දරන්නා
කඩිනම් මහවැලි ව්‍යාපෘතියට බුදු බව අත්වේවා
ReplyDeleteඑසේම වේවා
Deleteතානායම්වලදි රස්සා දුන් යුගයක්
ReplyDeleteඇට අට පෙන්නලා ඡන්දය දිනු යුගයක්
මතක් කරන හරි අපූරු post එකක්
ලිව්වට මෙන්න මයියෝ ලොකු ස්තුතියක්!
ජේවීපී කුහකයෝ කියන්නේ පිළිකාවක් රටට
Deleteස්තුතියි නිදි ඔබගේ අගනා ප්‍රතිචාරයට.
Deleteසිරිමාවෝ යුගයේදී ඇත්තටම අපහසුතාවයට පත් වුණේ නාගරික ජනතාව සහ ඉඩම් නැති දුප්පත් ජනතාව. ඒ නිසා ඒ යුගයේ සිදුව අපහසුතාවය පිළිබඳ ඇතැමුන්ට අද මතකයක් නැහැ. තරුණ පරපුරට නම් කොහෙත්ම නැහැ.
සිරිමාවෝ සහ ඇයගේ රජය රටට කොච්චර ආදරේ උනත් පොදු ජනතාවගේ සුබ සිද්ධිය සැලකුවා වුණත් අවසානයේදී වුනේ රට ආපස්සට ඇද දමමින් එක තැන හිරවීම.ඒ ආණ්ඩු ඉතිහාසයෙන් අද දවසටත් අපට ඉගෙන ගන්න පුළුවන් විශාල පාඩම් ප්‍රමාණයක් තියෙනවා
This comment has been removed by the author.
ReplyDelete70-77 කාලයේ විදුලිය කැපීමක් උනේ නම් නෑ...
ReplyDeleteස්තූතියි ....1970 කාලේ, රටේ ගෙවල් වලින් 10% කට පමණයි විදුලිය තිබ්බේ. ඒ නිසා විදුලි ඉල්ලුම නම් ඉතා අඩුයි, ඒ වගේම මේ කාලේ ලෝක වෙලදපොල තුල විශාල තෙල් හිගායක් ආවා. ඔපෙක් රටවල් හදිසියේ තෙල් මිල ඉහල දැමීමත් එක්ක. බටහිර රටවල් වල පුරවැසියන් පවා තෙල් පෝලිම් වල හිටියා. ලංකාවෙදි මේ තත්වය සිද්ධ උනේ විදුලි බිද වැටීම , පද්ධතිය ස්ථාවර නොවිම වගේ ප්‍රශ්න. ගොඩ දෙනෙකුට විදුලිය තිබුනේ නැතිනිසා , ගෝටබය කාලේ වගේ විශාල ප්රශ්ණකයක් ලෙස දැනුනේ නැ..නමුත් කර්මාන්ත්තශාලා වලට බලපෑවා...හැබැයි ඉතින් තිබ්බ කර්මාන්තශාලාත් වැඩි හරියක් රජය සතු නිසා ඒව එච්චර ලොකුවට සැලකුවේ නෑ...
Delete