අද 'අද' පුවත්පතේ පළවූ අවන්තා ආටිගලගේ කාටූනය දැක්කම මට හිතුණේ මේ ගැන වචන කිහිපයක් ලියන්න ඕනෑ කියලයි. අවන්ත කියන්නේ රූප කිහිපයකින්, ඉතාම සියුම් උපහාසයකින්, දිග දේශපාලන විග්රහයකින් කියන්න බැරි තරම් දේවල් කියන්න පුළුවන් කාටූන් ශිල්පියෙක්.
 |
| සියලුම හිමිකම් අවන්ත ආටියගල සහ අද පුවත්පත සතුය |
අවන්තගේ මේ කාටූනය බැලූ බැල්මටම මතු කරන පණිවිඩය තමයි, ජනතාව මුහුණ දෙන ආර්ථික ප්රශ්නවලින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරලා, අත්අඩංගුවට ගෙන හිර කරලා ඉන්න මිනිස්සු දිහා බලලා සතුටු වෙන්න කියන එක.
“උඹලට බඩ පිරෙන්න කන්න නැති වුණාට කමක් නෑ. හරියට අඳින්න පලඳින්න නැති වුණාටත් කමක් නෑ. ජීවන වියදම දරාගන්න බැරි වුණාටත් කමක් නෑ. ඔය ආර්ථික ප්රශ්න ගැන කෑගහන්නේ නැතුව, මෙන්න මම හිර කරලා තියෙන මිනිස්සු දිහා බලලා සතුටු වෙයල්ලා!”
කූඩුව තල්ලු කරන නායකයා
කාටූනයේ ප්රධාන චරිතය අනුර කුමාර දිසානායක බව හඳුනාගන්න අපහසු නැහැ.
දැන් බලන්න කූඩුව තල්ලු කරන අනුරගේ පෙනුම.
කාලයක් නිර්ධන පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, ඩබල් පොකට් කමිසයෙ සහෝදරයා, දැන් හොඳින් ඇඳ පැළඳගෙන, උස අඩි සහිත සපත්තු දෙකකුත් දාගෙනයි.
අවන්ත අනුරට උස අඩි සහිත සපත්තු දෙකක් අන්දවා තිබීමත් අහම්බයක්ද කියලා හිතෙනවා.
පාර්ලිමේන්තුවේදී අනුර ගැන කියවුණු “පොඩි මිනිහා” කතාවත් මෙතැනට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. පොඩි මිනිහෙක් තමන්ගේ සැබෑ උසට වඩා ලොකුවට පෙනී සිටින්න උත්සාහ කරන ආකාරයද අවන්ත මේ පෙන්වන්නේ? එහෙම නම් මේ සපත්තු දෙකෙන් නිරූපණය වෙන්නේ ශාරීරික උස විතරක් නෙමෙයි. බලය ලැබීමෙන් තමන්ට හිමිවුණු දේශපාලන උසත්, ඒ උස පෙන්වීමට දරන උත්සාහයත් වෙන්න පුළුවන්.
අනෙක් පැත්තේ ඉන්න මිනිසා දිහා බලන්න.ඉරුණු කමිසයක්. කෙට්ටු වෙලා ඇතුළට ගිය බඩක්. කකුල් දෙකට දාගෙන තියෙන්නේ පරණ බාටා සෙරෙප්පු දෙකක්.
මේ දෙන්නා අතර තියෙන වෙනස තමයි කාටූනයේ මට පෙනෙන තවත් ප්රබල උපහාසයක්.මෙතැන ප්රශ්නය නායකයෙක් හොඳ සපත්තු දාගැනීම නෙමෙයි. එහෙම සරල විවේචනයක් කරන එකත් සාධාරණ නැහැ.
නිර්ධන පන්තිය වෙනුවෙන් දේශපාලනය කළ නායකයා බලයට පත්වුණාට පස්සේ, ඔහු නියෝජනය කරනවා කියූ නිර්ධන පන්තියේ මිනිසාගේ ජීවිතය කොතරම් දුරට වෙනස් වෙලාද?
“ෂ්! ෂ්!” — නිශ්ශබ්ද වෙන්නද, නැත්නම් බය වෙන්නද?
මේ කාටූනයේ මට නම් වඩාත්ම සිත්ගන්නා දේ අනුර කුමාර දිසානායකගේ මුවින් පිටවන “ෂ්! ෂ්!” කියන හඬයි. ඒ පුංචි හඬ ඇතුළේ අවන්තා දේශපාලන පණිවිඩ දෙකක් සඟවලා තියෙනවා කියලා මට හිතෙනවා.
පළමුවැන්න තමයි, “ඔය ආර්ථික ප්රශ්න ගැන කතා කරන එක නවත්තලා, මෙන්න මම හිර කරලා තියෙන මිනිස්සු දිහා බලලා චූන් වෙයල්ලා!” කියන එක.
ජීවන වියදම, දුප්පත්කම, ආදායම් ප්රශ්න ගැන කතා කරනවා වෙනුවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන කතා කරමින් දේශපාලන තෘප්තියක් ලබන්න කියන උපහාසාත්මක පණිවිඩයක් එතැන තියෙනවා.
දෙවැනි අර්ථය ඊටත් වඩා බරපතළයි.
“මෙන්න බලපල්ලා, මම මේ අයව හිර කරලා තියෙනවා. උඹලත් වැඩිය කෑගහන්න එපා!”
ඒ කියන්නේ කූඩුව ප්රදර්ශනය කරන්නේ ඇතුළේ ඉන්න අය ගැන පමණක් කතා කරන්න නෙමෙයි. කූඩුවෙන් පිටත ඉන්න අයටත් අනතුරු ඇඟවීමක් කරන්නයි.
මේ විදිහට කියවද්දී කූඩුව දේශපාලන සංදර්ශනයක සංකේතයක් වගේම, බිය ගැන්වීමේ සංකේතයක් බවටත් පත්වෙනවා.
අවන්තාගේ “ෂ්! ෂ්!” කියන පුංචි හඬට මේ තරම් ලොකු දේශපාලන අර්ථයක් දෙන්න පුළුවන් වීම තමයි මට නම් මේ කාටූනයේ තියෙන විශේෂත්වය.
මේ කාටූනයේ අවන්තා ඉතාම සියුම් විදිහට මතු කරන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි හිර කූඩුවේ සිටින මිනිසුන්ගේ ඇස්වල වෙනස.
සමහරුන්ගේ ඇස් වටා කළු කරලා තියෙනවා. තවත් සමහරුන්ගේ එහෙම නැහැ. මට හිතෙන්නේ මේක අහම්බෙන් ඇඳපු දෙයක් නෙමෙයි.
එයින් සංකේතවත් කරන්නේ ඇත්තටම වැරදි කළ පුද්ගලයන් අතරට, හුදෙක් දේශපාලන සංදර්ශනයක් වෙනුවෙන් අත්අඩංගුවට ගත් නිර්දෝෂී පුද්ගලයනුත් එකතු කරලා තියෙනවා කියන විවේචනය වෙන්න පුළුවන්.
අඩේ ගූගලයා අවුල ගොඩ දාලද? විනාඩි 45 යි මගේ බ්ලොග් රෝලටයි, සිංහල වියුණු සින්ඩියටයි දෙකටම ආවා.😮🤔
ReplyDeleteඅවන්තා ආටිගලගේ කාටූන FB පිටුව:
ReplyDeletehttps://www.facebook.com/awantha.artigala.2025/