Saturday, 24 October 2026

සිංහයා ඇහැරුණා.....

ක්‍රිකට් පිටියේ විස්මිත හඹා යෑමක්, බිඳවැටුණු බලාපොරොත්තු සහ නැවත අවදි වූ ජාතියක ක්‍රිකට් උන්මාදය ගැන මගේ සිතුවිලි.

මේ සතියේ මගේ බ්ලොග් අඩවියට ලියන්න හිතාගෙන හිටියේ වෙනත් මාතෘකාවක් ගැනයි. ඒ වෙනුවෙන් යම් යම් අදහසුත් හිතේ ගොඩනැගෙමින් තිබුණා. ඒත් අපේ ක්‍රිකට් කොල්ලෝ එංගලන්තයට එරෙහිව කළ ඒ විස්මිත හඹා යෑමෙන් පස්සේ, ඒ සියලු සැලසුම් පැත්තකට දාන්න මට සිද්ධ වුණා.

ඇත්තටම මේ වගේ තරගයක් දැක්කට පස්සේ ඒ ගැන නොලියා ඉන්නේ කොහොමද?

ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර ජයග්‍රහණ තියෙනවා, තරගය අවසන් වුණාම ඒවාත් අවසන් වෙනවා. තවත් සමහර ජයග්‍රහණ තියෙනවා, තරගය අවසන් වුණාට පස්සෙයි ඒවා අපේ හිත්වල ජීවත් වෙන්න පටන් ගන්නේ.

මට හිතෙන්නේ මේ ජයග්‍රහණය අයිති වෙන්නේ ඒ දෙවැනි කාණ්ඩයටයි.

තවත් අවුරුදු විස්සකින්, තිහකින් වුණත් අපි මේ තරගය ගැන කතා කරාවි. එදා පිටියේ සිදුවුණු දේවල් නැවත නැවතත් මතක් කරාවි.

ඒ තරමටම මේක අපූරු ක්‍රිකට් තරගයක්.

ක්‍රිකට් කියන්නේ අපට ක්‍රීඩාවක් විතරක් නෙවෙයි!

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ හුදෙක් පිත්තකින් පන්දුවකට පහර දෙන ක්‍රීඩාවක් විතරක් නෙවෙයි.

ඒක අපේ සමාජයේ ගැඹුරටම මුල් බැසගත් සංස්කෘතික බැඳීමක්.

ආර්ථික ප්‍රශ්න, දේශපාලන අර්බුද, ජීවන වියදම, රැකියාවේ පීඩනය, පවුලේ ප්‍රශ්න ,  මේ හැම දෙයක්ම මැද ජීවත් වෙන සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාට ක්‍රිකට් කියන්නේ මොහොතකට හරි ඒ සියල්ල අමතක කරන්න පුළුවන් අපූරු අවකාශයක්.

ඉස්සර තරඟයක් තියෙන දවසට රටේ මිනිස්සු වෙනස් වෙනවා. කඩේක තේ බොන මිනිස්සුත්, කාර්යාලයක වැඩ කරන මිනිස්සුත්, බස් එකක ගමන් කරන මිනිස්සුත්, ගෙදර රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙලා ඉන්න මිනිස්සුත් එකම දෙයක් ගැන කතා කරන්න පටන් ගන්නවා.

ඒ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.

ඒ මොහොතේ දේශපාලන පක්ෂ, සමාජ තරාතිරම්, ආර්ථික වෙනස්කම් බොහෝ දුරට පසුබිමට යනවා.

හැමෝගෙම ප්‍රාර්ථනාව එකයි.

අපේ කොල්ලෝ දිනන්න ඕනෑ!

සමහර විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට කරන ලොකුම සේවය තරග දිනන එකම නොවෙන්නත් පුළුවන්.

ඒ මිනිස්සුන්ට සතුටු වෙන්න හේතුවක් ලබාදීමයි.

අපේ රටේ ක්‍රිකට් ජයග්‍රහණයකට තිබෙන සමාජ බලපෑම කොතරම් විශාලද කියනවා නම්, සමහර වෙලාවට මට මෙහෙමත් හිතෙනවා.

රටේ අර්බුද උත්සන්න වූ සමහර කාලවල අපේ ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ජයග්‍රහණය කළා නම්, මිනිස්සුන්ගේ සාමූහික මානසිකත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා නේද?

සමහර විට ඒ සතුටත්, ජාතික අභිමානයත්, දෛනික පීඩනයෙන් ලැබෙන තාවකාලික නිදහසත් සමාජයේ නොසන්සුන්තාව යම් තරමකට හෝ අඩු කරන්න තිබුණා.

එයින් අදහස් වෙන්නේ ක්‍රිකට් ජයග්‍රහණයකින් ආර්ථික අර්බුදයක් විසඳන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙමත් නැත්නම් ජනතාවගේ සාධාරණ අරගලයක් ක්‍රිකට් තරගයකින් නවත්වන්න පුළුවන් කියන එකත් නෙවෙයි.

නමුත් මිනිසුන්ගේ සාමූහික මනෝභාවයට ක්‍රීඩාවකින් ඇති කළ හැකි බලපෑම අපි අවතක්සේරු කරන්න හොඳ නැහැ.

සමහර විට රටකට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නවලට විසඳුම් පමණක් නොවෙයි. ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න අලුත් බලාපොරොත්තුවකුත් අවශ්‍යයි.

ක්‍රිකට්වලට ඒ බලාපොරොත්තුව අවදි කරන්න පුළුවන්.


හැරී බෲක් — ප්‍රතිවාදියෙක් වුණත් මා ගරු කරන පිතිකරුවෙක්

හැරී බෲක් කියන්නේ මා ඉතාම ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඇත්තටම ඔහුගේ පිතිකරණ හැකියාවට මම දක්වන්නේ විශාල ගෞරවයක්.

ඔහුගේ අතේ තියෙන පිත්ත සාමාන්‍ය ක්‍රිකට් පිත්තක් විතරක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.අවශ්‍ය වෙලාවට ඒක හැන්දක් කරගන්නත්, පිහියක් කරගන්නත්, කිනිස්සක් කරගන්නත් ඔහුට පුළුවන්!

ඒ කියන්නේ පිට්ටනියේ ඕනෑම දිශාවකට, ඕනෑම ආකාරයක පහරක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් ඔහුට තියෙනවා.

සාම්ප්‍රදායික පිතිකරණයේ අලංකාරයත්, නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාණශීලීත්වයත් එකට මුසු කරගත් ක්‍රීඩකයෙක් විදියටයි මා ඔහුව දකින්නේ.

එදා ඔහු ලකුණු 202ක් රැස් කළ විට මට ඇතිවුණේ ප්‍රතිවාදී ක්‍රීඩකයකු ගැන කෝපයක් නෙවෙයි.

විස්මයක්!

ඒ වගේ ඉනිමක් අගය නොකර ඉන්න සැබෑ ක්‍රිකට් ලෝලියකුට පුළුවන්ද?

නමුත් ඔහුගේ ඒ විශිෂ්ට පිතිහරඹයෙන් පස්සේ අප ඉදිරියේ තිබුණු ලකුණු 429ක ඉලක්කය දුටු විට නම්, ශ්‍රී ලංකාවට මේ තරගය ජයගත හැකි බවක් මට සිතුණේ නැහැ.

කුසල් මෙන්ඩිස් දැවී ගිය මොහොතේ...

මෙවැනි දැවැන්ත ඉලක්කයක් හඹා යන්න නම් කුසල් මෙන්ඩිස්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අත්‍යවශ්‍යයි කියන මතයේ තමයි මා හිටියේ.

කුසල් කියන්නේ තරගයක ස්වභාවය ඉතා ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් පිතිකරුවෙක්.

නමුත් ඔහු එකම පන්දුවකටවත් මුහුණ නොදී දියමන්ති බිංදුවකට (ඒක ගෝල්ඩන් ඩක් එකක් නෙමෙයි. )  ගිය මොහොතේ මගේ බලාපොරොත්තු බොහෝ දුරට අවසන් වුණා.

ලකුණු 429ක්!

ඒකත් කුසල් මෙන්ඩිස් නැතිව!මේක කොහොම කරන්නද?

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ සුන්දරත්වය තියෙන්නේත් මෙතැනයි.

අපි තරගය අවසන් කියලා හිතන මොහොතේම සමහර විට තරගයේ අපූරුම කතාව ආරම්භ වෙනවා.

එදා සිදුවුණේත් ඒකමයි.

ලකුණු ලබාගැනීමේ පිපාසාව — මා මෙතෙක් සොයමින් සිටි Intent එක

මීට පෙර මා ලියූ ක්‍රිකට් විචාරයකත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණයේ තිබිය යුතු Intent එක ගැන කතා කළා.

ඒ කියන්නේ ලකුණු ලබාගැනීමේ පිපාසාව.

මගේ අදහස අනුව නූතන සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක පිතිකරුවකුට හොඳ තාක්ෂණයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ.

ඔහුට ලකුණු ලබාගැනීමට දැඩි උවමනාවක් තිබිය යුතුයි.ඒකෙන් අදහස් වෙන්නේ හැම පන්දුවකටම හයේ පහරක් ගහන්න උත්සාහ කිරීම නෙවෙයි.

පන්දු යවන්නාට තමන්ගේ රිද්මයට පන්දු යවන්න ඉඩ නොදීම, ලකුණු ලබාගැනීමේ අවස්ථා හඳුනාගැනීම, හිස් පන්දු අවම කිරීම සහ නිරන්තරයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමයි.

එදා අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක සහ ජනිත් ලියනගේගේ පිතිකරණයේ මා දැක්කේ මෙන්න මේ ලක්ෂණයයි.

ඔවුන් ක්‍රීඩා කළේ පරාජය ප්‍රමාද කරන්න නෙවෙයි.

ඔවුන් ක්‍රීඩා කළේ තරගය ජයගන්නයි!

ඒ මානසිකත්වය තමයි මේ හඹා යෑමේ සැබෑ වෙනස.

පවන් රත්නායක — මගේ අදහස වෙනස් කළ පිතිකරුවා

පවන් රත්නායක ගැන මෙතැනදී විශේෂයෙන් කතා කරන්නම ඕනෑ.

ඇත්තටම මම ඔහුගේ පිතිකරණ තාක්ෂණයට එතරම් ප්‍රිය කළ ක්‍රිකට් ලෝලියෙක් නෙවෙයි.

ඔහුගේ පිතිකරණ විලාසය නූතන ක්‍රිකට් ක්‍රීඩාවට කොතරම් ගැළපෙනවාද කියන ප්‍රශ්නය මට තිබුණා.

නමුත් එදා ඔහුගේ ඉනිම දැක්කට පස්සේ මට ඔහු ගැන තිබුණු අදහස් නැවත සලකා බලන්න සිදුවුණා.

පවන් ලකුණු 130ක් රැස් කළා.ඒ ලකුණු 130ට වඩා මගේ අවධානය දිනාගත්තේ ඔහුගේ මානසික ඒකාග්‍රතාවයි.

ඔහු පෙන්වූ ඉවසීම, අධිෂ්ඨානය සහ පීඩනය යටතේ තමන්ගේ වගකීම ඉටු කිරීමේ හැකියාව අතිවිශිෂ්ටයි.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් අවිශ්ක සමඟත්, පසුව දසුන් සමඟත් ඉනිම ගොඩනැගීමට ඔහු දැක්වූ දායකත්වය අමතක කරන්න බැහැ.

විශේෂයෙන්ම එවැනි දැවැන්ත ඉලක්කයක් හඹා යන විට එක් අන්තයක ස්ථාවර පිතිකරුවකු සිටීම අනෙක් පිතිකරුවන්ට විශාල මානසික සහනයක්.

අවිශ්කගේත් දසුන්ගේත් ප්‍රහාරාත්මක පිතිකරණයට අවශ්‍ය පදනම නිර්මාණය වුණේ පවන්ගේ ඒ දායකත්වයත් එක්කයි.

අවසානයේ දැඩි ශාරීරික වෙහෙසක් මධ්‍යයේ ඔහුගේ ඉනිම නිමා වුණත්, ඒ වන විට ඔහු තරගයට කර තිබුණු සේවය අතිවිශාලයි.

පවන් මට නැවතත් මතක් කර දුන්නේ වැදගත් පාඩමක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාව මනින්න අප කැමති පිතිකරණ තාක්ෂණය එකම මිනුම් දණ්ඩ කරගත යුතු නැහැ.

දසුන් ශානක — නිවැරදි මොහොතේ ගත් නිවැරදි තීරණයක්

දසුන් ශානක පිතිකරණ ලැයිස්තුවේ ඉහළට යැවීමට ගත් තීරණය මගේ අදහස අනුව ඉතාම නිවැරදි උපක්‍රමශීලී තීරණයක්.

දසුන් කියන්නේ තමන්ගේ පිතිකරණ රිද්මයට පැමිණීමට යම් කාලයක් අවශ්‍ය වන ක්‍රීඩකයෙක්.

ඔහු පිටියට පැමිණි සැණින්ම සෑම විටම තමන්ගේ උපරිම ප්‍රහාරාත්මක හැකියාව පෙන්වන පිතිකරුවෙක් නෙවෙයි.

නමුත් ඔහු තමන්ගේ රිද්මයට පැමිණි පසුව?

එතැනින් පස්සේ පන්දු යවන්නන්ට සිදුවන්නේ බොහෝ විට පන්දුව යන දිශාව බලාගෙන ඉන්නයි!

එදා දසුන් පන්දු 50කින් ලකුණු 97ක් ලබාගත්තා.හයේ පහරවල් අටක්! නමුත් ඒ ඉනිමේ සැබෑ වටිනාකම ලකුණු 97 තුළ පමණක් නැහැ.

දසුන්ට අවශ්‍ය කාලය ලබාදෙමින්, ඔහුගේ ප්‍රහාරාත්මක හැකියාව උපරිමයෙන් භාවිත කළ හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමත් මෙහිදී වැදගත් වුණා.

පවන් ඒ වන විට පිටියේ ස්ථාවර වී සිටීම දසුන්ට විශාල වාසියක් වුණා.

මේක හොඳ පිතිකරුවන් සිටීම පමණක් නොව, ඔවුන් නිවැරදි අවස්ථාවේ භාවිත කිරීම කොතරම් වැදගත්ද කියන එකටත් හොඳ උදාහරණයක්.

ජනිත් ලියනගේ — අප සොයමින් සිටි Finisher කෙනෙක්ද?

ජනිත් ලියනගේ ගැන මගේ අදහස තවත් විශේෂයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කාලයක් තිස්සේ අවශ්‍යව තිබුණු දෙයක් තමයි පීඩනය යටතේ තරගයක් අවසන් කරන්න පුළුවන් විශ්වාසවන්ත පිතිකරුවෙක්.

එහෙමත් නැත්නම් හොඳ Finisher කෙනෙක්.

ජනිත් එදා පෙන්නුවේ තමන්ට ඒ භූමිකාව ඉටු කරන්න අවශ්‍ය හැකියාව තිබෙන බවයි.

ඔහුට පිටිය පුරා පහරවල් තියෙනවා.නමුත් ඒ හැකියාවටත් වඩා වැදගත් වුණේ අවසාන මොහොතේ ඔහු පෙන්වූ මානසික ශක්තියයි.

පන්දු 27කින් නොදැවී ලකුණු 61ක් ලබාගැනීම සාමාන්‍ය දක්ෂතාවක් නෙවෙයි.

විශේෂයෙන්ම ජයග්‍රහණයත් පරාජයත් අතර දෝලනය වන තරගයක අවසාන මොහොතේ එවැනි ඉනිමක් ක්‍රීඩා කිරීම අතිවිශිෂ්ටයි.

හොඳ Finisher කෙනෙක් කියන්නේ හයේ පහරවල් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි.

ඔහුට තරගය කියවන්න පුළුවන් වෙන්න ඕනෑ.

අවදානමක් ගත යුතු මොහොතත්, පන්දුවක් ආරක්ෂා කළ යුතු මොහොතත්, අනෙක් පිතිකරුවාට අවස්ථාව ලබාදිය යුතු මොහොතත් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕනෑ.

ජනිත්ගේ ඒ ඉනිමෙන් මා දුටුවේ එවැනි පිතිකරුවකුගේ ලක්ෂණයි.

එක ඉනිමකින් ක්‍රීඩකයකුගේ අනාගතය තීරණය කරන්න බැරි වුණත්, ජනිත් ගැන අලුත් බලාපොරොත්තුවක් තබාගන්න මේ ඉනිම ප්‍රමාණවත්.

අසිත ප්‍රනාන්දු — එක ලකුණක වටිනාකම

මේ තරගයේ මගේ හිතට තදින්ම වැදුණු අවස්ථාවක් තමයි අවසාන පන්දුවාරයේ අසිත ප්‍රනාන්දු ලබාගත් ඒ එකම එක ලකුණ.

එංගලන්තයේ ජොෂ් ටංග් එක පිට එක කඩුලු දෙකක් දවාගෙන තිබුණා.

හැට්‍රික් පන්දුවට මුහුණ දෙන්න පැමිණියේ අසිත ප්‍රනාන්දු.

එක් පැත්තකින් එංගලන්තයට තරගය නැවත තමන්ගේ අතට ගැනීමේ අවස්ථාවක්.

අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තවමත් පෙනෙන මානයේ.

එවැනි මොහොතක අසිත කළේ මොකක්ද?

ඔහු ඒ තීරණාත්මක පන්දුවෙන් තනි ලකුණක් ලබාගත්තා.

හැට්‍රික් අවදානමෙන් බේරුණා.

ඒ විතරක් නෙවෙයි, අනෙක් අන්තයේ සිටි ජනිත් ලියනගේට නැවත පන්දුවට මුහුණ දීමේ අවස්ථාව ලබාදුන්නා.

ඊළඟ පන්දුවට ජනිත් එල්ල කළේ දැවැන්ත හයේ පහරක්!

තරගය අවසන්.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා!

ලකුණු පුවරුවේ අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් සටහන් වුණේ එකම එක ලකුණක් පමණයි.

නමුත් ඒ එක ලකුණ නොතිබුණා නම් ජනිත්ට ඒ මොහොතේ ජයග්‍රාහී හයේ පහර එල්ල කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර දායකත්වයන් ලකුණු සංඛ්‍යාවෙන් මනින්න බැහැ.

එදා අසිත ලබාගත්තේ එක ලකුණක් වුණාට, ඒ ලකුණේ වටිනාකම ලකුණු සියයකටත් වඩා වැඩියි.



තනි පුද්ගල විශිෂ්ටත්වය සහ සාමූහික විශිෂ්ටත්වය

මේ තරගයේ මා දුටු තවත් අපූරුම කාරණයක් තියෙනවා.

එක් පැත්තක හැරී බෲක්.

ලකුණු 202ක් රැස් කළ අතිවිශිෂ්ට පිතිකරුවෙක්.

අනෙක් පැත්තේ ශ්‍රී ලංකාව.

පවන්ගේ ලකුණු 130.

අවිශ්කගේ ලකුණු 97.

දසුන්ගේ ලකුණු 97.

ජනිත්ගේ නොදැවුණු ලකුණු 61.

අසිතගේ එකම එක ලකුණ.

මේ සියලු දායකත්වයන් එකතු වෙලා තමයි එදා ඒ දැවැන්ත ඉලක්කය හඹා ගියේ.

අපි ආදරය කළ ක්‍රිකට් ආයෙත් ඉපදිලාද?

අවසානයේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මේ අපූරු ජයග්‍රහණයත් එක්ක මට දැනුණේ අපි කාලයක් තිස්සේ හොයමින් හිටපු අපේ ක්‍රිකට් ආයෙත් ඉපදිලා වගේ හැඟීමක්.

ඒ අර්ජුනලාගේ, අරවින්දලාගේ කාලයේ අපි ආදරය කළ, අපි උපරිමයෙන් රසවිඳපු ක්‍රිකට්.

එක පිට එක කඩුලු වැටුණත් සටන අත් නොහරින, ඉදිරියේ තියෙන්නේ කොතරම් දැවැන්ත ඉලක්කයක් වුණත් ඒ දිහා බලා බය නොවෙන, අවසන් පන්දුව දක්වාම ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන ක්‍රිකට්.

එදා අපේ කණ්ඩායමේ තිබුණේ දක්ෂතාව විතරක් නෙවෙයි. ඒ තුළ අධිෂ්ඨානය තිබුණා. ආත්ම විශ්වාසය තිබුණා. එකිනෙකා වෙනුවෙන් සටන් කිරීමේ හැඟීම තිබුණා. ඒ සියල්ලටම වඩා ජයග්‍රහණය වෙනුවෙන් දැවෙන පිපාසාවක් තිබුණා.

අපි කාලයක් තිස්සේ අපේ ක්‍රිකට් කණ්ඩායමෙන් බලාපොරොත්තු වුණේ මෙන්න මේ දේ නේද?

එක ජයග්‍රහණයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ප්‍රශ්න විසඳුණා කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම එක තරගයකින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන අනාවැකි කියන්නත් බැහැ.

නමුත් මේ තරගය මට නැවතත් බලාපොරොත්තුවක් දුන්නා.

අපි කාලයක් තිස්සේ ආදරය කළ, අපිව සතුටින් උමතු කළ, පරාජය පෙනි පෙනීත් සටන අත් නොහැරපු ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෙත් ඉපදිලාද?

මම දන්නේ නැහැ.

නමුත් එහෙම හිතන්න තරම් ලස්සන හේතුවක් මේ කොල්ලෝ අපට දීලා තියෙනවා.

ඉතින් මම මේ ඓතිහාසික ජයග්‍රහණයේ සතුට උපරිමයෙන් විඳිනවා.

ඔබත් විඳින්න!

මොකද මේ වගේ ජයග්‍රහණ හැමදාම දකින්න ලැබෙන්නේ නැහැ.

No comments:

Post a Comment

2222