මාලිමා ආණ්ඩුව දැනට ක්රියාත්මක වන 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, ඒ වෙනුවට නව ත්රස්තවාදය මර්දනය කිරීමේ පනතක් (Protection of the State from Terrorism – PSTA) හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා.
පනත් කෙටුම්පත (Draft version එක) ඕනෑම කෙනෙකුට ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගෙන කියවන්න පුළුවන්.
දේශපාලන පක්ෂයක් ගැන ඇති විශ්වාසය මත නෙවෙයි, පනතේ ඇත්තටම ලියලා තියෙන්නේ මොනවාද කියලා කියවලා මේ ගැන තීරණය කරන එකයි වැදගත්.
අලුත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PSTA) ගැන කතා කරනකොට මම විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ත්රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැති අපි වගේ සාමාන්ය පුරවැසියන්ට මේ පනත බලපාන්න පුළුවන් කොහොමද කියන කාරණයටයි.
බැලූ බැල්මට මේ පනත යටතේ ක්රියාමාර්ග ගන්නේ ත්රස්තවාදී ක්රියාකාරකම් සම්බන්ධයෙන් විතරයි. ඒ ගැන ප්රශ්නයක් නැහැ. ත්රස්තවාදය වැළැක්වීමට නීති අවශ්යයි.
ත්රස්තවාදය කියන එක නිශ්චිත, පැහැදිලි රාමුවක් ඇතුළේ නිර්වචනය කරනවා වෙනුවට, සාමාන්ය ජනතාවගේ ඇතැම් ක්රියාකාරකම් පවා ඒ යටතට ඇදගන්න පුළුවන් ආකාරයේ Grey Area එකක් මේ පනත් කෙටුම්පතේ ඉතිරි කරලා තියෙනවා.
![]() |
| කාටුන්කරුවන්අලුත් පනත් දැකපු ආකාරය. .සියලුම හිමිකම්. කාටුනේ හිමිකම් අවන්ත ආටිගල සතුය |
අද ජංගම දුරකථනය කියන්නේ හුදෙක් දුරකථන ඇමතුම් ලබාගන්න උපකරණයක් නොවෙයි. අපේ පෞද්ගලික ඡායාරූප, පවුලේ සාමාජිකයන් සමඟ හුවමාරු කරන පණිවිඩ, බැංකු තොරතුරු, සෞඛ්ය තොරතුරු, දේශපාලන අදහස් සහ තවත් බොහෝ පෞද්ගලික දේවල් එහි තිබෙනවා.
ඒ නිසා කෙනෙකුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීම කියන්නේ ඔහුගේ සාක්කුව පරීක්ෂා කිරීමකට වඩා බොහෝ දුර යන දෙයක්.
පනතේ 20 වැනි වගන්තියෙන් කියන්නේ මොකක්ද?
යෝජිත PSTA පනත් කෙටුම්පතේ 20(1) වගන්තිය අනුව, එම පනත යටතේ වරදක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකුට සැකකරුවකු නවතා සෝදිසි කිරීමටත්, ප්රශ්න කිරීමටත්, ඇතැම් ස්ථානවලට ඇතුළු වී සෝදිසි කිරීමටත් බලය ලබාදී තිබෙනවා.
එම වගන්තියේ (d) ඡේදය අනුව, පනත යටතේ සිදුවන වරදකට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇති ලේඛනයක් හෝ වෙනත් භාණ්ඩයක් පොලිස් භාරයට ගැනීමටත් හැකියාව තිබෙනවා.
මෙහිදී ජංගම දුරකථනයක් එවැනි භාණ්ඩයක් ලෙස සැලකීමට හැකි අවස්ථා තිබිය හැකියි. නමුත් මෙතැන තමයි මට තිබෙන ප්රධාන ගැටලුව, සාධාරණ සැකයක් කියන්නේ මොකක්ද? එය තීරණය කරන්නේ කවුද? ඒ තීරණය වැරදි නම් පුරවැසියාට ලැබෙන ආරක්ෂාව මොකක්ද?
සාධාරණ සැකය කියන්නේ නිලධාරියකුට හිතෙන ඕනෑම දෙයක් නොවෙයි. එයට වාස්තවිකව පැහැදිලි කළ හැකි පදනමක් තිබිය යුතුයි.
එහෙත් නීතියෙන් පුළුල් බලතල ලබාදෙන විට, එම බලතල ප්රායෝගිකව භාවිත කරන ආකාරයත් ඉතා වැදගත් වෙනවා.
විශේෂයෙන්ම ත්රස්තවාදය පිළිබඳ නිර්වචනය පුළුල් හෝ අපැහැදිලි නම්, එම නිර්වචනය මත පදනම් වන සෝදිසි කිරීමේ බලතලත් අනවශ්ය ලෙස පුළුල් වීමේ අවදානමක් තිබෙනවා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කියන්නේ මොකක්ද?
2026 ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ විශ්ලේෂණයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) මේ කාරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ PSTA 20 වැනි වගන්තිය යටතේ පොලිසියට ලබාදෙන සෝදිසි කිරීමේ සහ දේපළ භාරයට ගැනීමේ බලතල සඳහා ප්රමාණවත් පූර්ව අධිකරණ අවසරයක් හෝ අධීක්ෂණයක් අනිවාර්ය කර නොමැති බවයි.
ඒ නිසා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට අනවශ්ය ලෙස මැදිහත් වීමේ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.
OHCHR යෝජනා කරන්නේ මෙවැනි ආක්රමණශීලී සෝදිසි කිරීම් සඳහා සාමාන්ය රීතිය ලෙස අධිකරණ වරෙන්තුවක් අවශ්ය කළ යුතු බවයි.
ත්රස්තවාදී අපරාධයක් විමර්ශනය කිරීමේදී ජංගම දුරකථනවල ඇති තොරතුරු වැදගත් සාක්ෂි විය හැකි බව අප පිළිගත යුතුයි.
ඒ නිසා එවැනි තොරතුරු කිසිදු අවස්ථාවක පරීක්ෂා කළ නොහැකි බව පැවසීම ප්රායෝගික නැහැ. නමුත් එම බලය භාවිත කිරීමට පැහැදිලි නීතිමය සීමා තිබිය යුතුයි.
විශේෂයෙන් දුරකථනයක ඇති පෞද්ගලික පණිවිඩ, ඡායාරූප, සම්බන්ධතා සහ අනෙකුත් දත්ත පරීක්ෂා කිරීමට පෙර, සාමාන්ය රීතිය ලෙස ස්වාධීන අධිකරණ අවසරයක් ලබාගැනීම වඩා සුදුසුයි.
හදිසි අවස්ථාවල ව්යතිරේක අවශ්ය විය හැකියි. නමුත් ඒවාටත් පැහැදිලි සීමා සහ පසුව අධිකරණ පරීක්ෂාවක් තිබිය යුතුයි.
ඒ වගේම පරීක්ෂා කළ හැකි දත්ත මොනවාද, ඒවා භාවිත කළ හැක්කේ කුමන අරමුණකටද, කොපමණ කාලයක් රඳවා තබාගත හැකිද සහ අදාළ නොවන පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන්නේ කෙසේද යන්නත් නීතියෙන් පැහැදිලි කළ යුතුයි.
මට මෙතැන තියෙන ලොකුම ප්රශ්නය තමයි, පොලිසිය තමන්ට දැනටමත් තියෙන බලතල පවා ඇතැම් අවස්ථාවල කිසිම වගවීමක් නැතිව අවභාවිත කරන රටක, තවත් මෙවැනි පුළුල් බලතල ලබාදීම කොතරම් ආරක්ෂිතද කියන එක.
එහෙම රටක පොලිසියට උද්ඝෝෂණ සීමා කරන්න, පුද්ගලයන් සෝදිසි කරන්න, පෞද්ගලික දේපළ භාරයට ගන්න තවත් පුළුල් බලතල දෙනකොට අපි දෙපාරක් හිතන්න ඕනේ නැද්ද?


++++++++++++++++++++++++++++++++++
ReplyDelete