Thursday, 23 July 2026

යුපුන්ගේ කථාව...

යුපුන් අබේකෝන් වැනි ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ හැම පරම්පරාවකම නෙමෙයි. ඔහු තවත් එක මලල ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සීමාවක් බිඳ දැමූ ක්‍රීඩකයෙක්. තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු දකුණු ආසියානු ධාවකයා ලෙස ඔහු ලෝකයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවටත් ලෝක මට්ටමේ වේගවත් පිරිමි ක්‍රීඩකයන් බිහිකළ හැකි බවයි.

කණගාටුවට තියෙන්නේ, රටකට මෙහෙම දුර්ලභ අවස්ථාවක් ලැබුණාම ඒක තවත් ඉහළට ගෙනියන්න, රටට වටිනාකමක් කරගන්න තිබුණු අවස්ථාව වෙනුවට, වර්තමාන පාලකයන් ඒ දිහා බලලා තියෙන්නෙ සාමාන්‍ය ගණන් හිලව් පරිපාලන කාරණයක් විදිහට වීම.

ලොකු දැක්මක් තියෙන්න ඕන තැනක, කුඩා පරිපාලන මනසකින් තීරණ ගන්න දේශපාලුවන්, යුපුන්ටත් රටටත් අවාසනාවක්. මේකත් වැලි කොට්ට සංවර්ධනයටම සම්බන්ධ  කුඩා චින්තනයේ තවත් පැත්තක්.


යුපුන් වසර ගණනාවක් තමන්ගේ කැපවීමෙන් ලෝක මට්ටමට පැමිණි ක්‍රීඩකයෙක්. ඔහුගේ සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ ඉතාලියේ පුහුණු පද්ධතිය, විද්‍යාත්මක පුහුණුව, biomechanics, strength conditioning සහ ජාත්‍යන්තර තරග අත්දැකීම්.


ක්‍රිඩා ඇමතිගේ ඩොලර් 300,000 කතාව සත්‍යක් ලෙස පිලිගෙන ඒ ගැන කතා කලොත් එම දේශපාලුවන් ඇසිය යුතුව තිබුණේ

"මේ මුදල එක් ක්‍රීඩකයෙකුට දෙනවාද?" නොව,
"මේ ආයෝජනයෙන් රටට ලැබෙන වටිනාකම කොපමණද?" යන්නයි.

ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු රැක ගැනීම කියන්නේ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවේ. ඒක ජාතික සම්පතක් ආරක්ෂා කිරීමක්.

ඇත්තටම රජයට මෙතන තිබුණේ ඉතා හොඳ අවස්ථාවක්.

යුපුන්ට ඉතාලියේ පුහුණුව දිගටම කරගෙන යන්න සහය දීලා, ඒ සමඟ ගිවිසුමක් හදන්න තිබුණා:

-ඔහුගේ ජාත්‍යන්තර පුහුණු ක්‍රම ශ්‍රී ලංකාවට ගෙන ඒම.

-ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට නවීන sprint techniques ඉගැන්වීම.

-පාසල් මට්ටමේ වේගවත් දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන් ආරම්භ කිරීම.

-biomechanics, strength training, injury prevention, recovery වැනි නවීන ක්‍රම හඳුන්වාදීම.

එහෙම කළා නම් යුපුන්ට දුන් මුදල අවුරුදු කිහිපයකින් අවසන් වෙන වියදමක් නෙමෙයි. එය දශක ගණනාවකට බලපාන ක්‍රීඩා පද්ධතියක ආරම්භයක් වෙන්න තිබුණා.

අපි කළ යුතුව තිබුණේ යුපුන්ට මුදල් දීලා "දුවන්න" කියන එක විතරක් නෙමෙයි.

අපි කළ යුතුව තිබුණේ:
"ඔබ ලෝකය ජයගන්න. ඒ අතරේ ශ්‍රී ලංකාවේ ඊළඟ යුපුන්ලා 10 දෙනෙක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න." පුලුවන් වැඩ සටහනක් හදන එක.

එහෙම වුණා නම් ඩොලර් 300,000ක ආයෝජනයක ප්‍රතිඵලය එක ක්‍රීඩකයෙකුගේ කාලය පමණක් නොවෙයි. එය අවුරුදු 10–20කට බලපාන ශ්‍රී ලංකා sprint ක්‍රීඩා පද්ධතියක් බවට පත්වෙන්න තිබුණා

අද අපේ රටේ ප්‍රශ්නය දක්ෂ දරුවන් නැති එක නෙමෙයි. ප්‍රශ්නය තමයි ඔවුන් ලෝක මට්ටමට ගෙන යන පරිසරයක් නැති එක.

එක දරුවෙක් වේගවත් වෙන්න පුළුවන්. නමුත් ඔහුට:
නිවැරදි running technique කවුද උගන්වන්නේ?
ඔහුගේ ශරීරයට ගැලපෙන strength programme එක කවුද හදන්නේ?

ලෝක මට්ටමේ තරඟ අත්දැකීම ලබා දෙන්නේ කවුද?
පෝෂණය සහ recovery ගැන මඟ පෙන්වන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු නැති රටක යුපුන් වැනි ක්‍රීඩකයෙක් බිහිවීමම විශාල ජයග්‍රහණයක්.

ඒත් වර්තමාන ආණ්ඩුව කළ යුතුව තිබුණේ "මුදල් නැහැ" කියන පහසු පිළිතුර සෙවීම නොව, මෙය ජාතික ආයෝජනයක් ලෙස බැලීමයි.

රටක් අමාරු ආර්ථික තත්ත්වයක සිටින විටත් සියලු දේ නවත්වන්නේ නැහැ. දියුණු රටවල් අර්බුදවලදී පවා අධ්‍යාපනය, පර්යේෂණ, තාක්ෂණය සහ විශිෂ්ට පුද්ගලයන් සඳහා ආයෝජනය කරන්නේ ඒවා අනාගත ප්‍රතිලාභ ගෙන එන නිසා.

අද ප්‍රශ්නය යුපුන්ට මුදල් දුන්නාද නැද්ද කියන එක පමණක් නොවේ.

ප්‍රශ්නය වන්නේ:
ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ මිනිසෙක් ලැබුණු විට, ඔහුගෙන් රටට උපරිම වටිනාකම ලබාගන්න අපේ නායකත්වයට දැක්මක් තිබුණාද?

යුපුන් වැනි ක්‍රීඩකයෙකුට සහය දීම යනු ඔහුගේ ධාවන පථයට පමණක් ආධාර කිරීමක් නොවේ.
එය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයන්ගේ සිහින වලට ආයෝජනය කිරීමක්.

අවාසනාවකට, අපේ රටේ බොහෝ විට සිදුවන්නේ විශිෂ්ට මිනිසුන් බිහිවූ පසු ඔවුන්ට සහය දෙනවා වෙනුවට, ඔවුන් සාර්ථක වූ පසු ඔවුන්ගේ ජයග්‍රහණය සමරන එකයි.

යුපුන්ගේ කතාවෙන් අපි ඉගෙනගත යුතු පාඩම එයයි.



21 comments:

  1. ඔය හාදයාට සල්ලි දුන්නා කියලා අපේ රටට ලැබෙන දේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. යුපුන්ට සල්ලි දුන්නා කියලා ලැබෙන්නේ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයක් විතරක් නෙමෙයි. ලෝක මට්ටමේ ශ්‍රී ලාංකිකයෙක් හරහා රටේ නම, තරුණයන්ට ආදර්ශයක්, සහ ඔහු ලබාගත් නවීන පුහුණු දැනුම රටට ගෙන එන්න පුළුවන්.
      ප්‍රශ්නය රුපියල් ගණනක් නෙමෙයි. ලෝක මට්ටමේ දුර්ලභ දක්ෂතාවයක් රටක් කොහොමද පෝෂණය කරන්නේ කියන එකයි. එක යුපුන් කෙනෙක් හරහා ඊළඟ යුපුන්ලා හදන්න පුළුවන් නම්, ඒක වියදමක් නෙමෙයි ආයෝජනයක්

      Delete
    2. ඉතින් ඕකෙන් අපේ රටේ බදු ගෙවන ජනතාවට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? රටට ලැබෙන්නේ මොකක්ද?

      Delete
  2. මෙම බ්ලොග් අඩවියේ හිමිකරු එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අයෙකි.

    එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතාම කදිමට පාලනය ගෙන යන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආන්ඩුවට එරහිව බ්ලොග් පෝස්ට් පළ කරයි.

    එම නිසා අප එප්සීඅයිඩී එකේ සානි මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මොහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනා ලෙසයි.

    ReplyDelete
  3. අපේ යට කරන්න බැරි දෙයක් නෑ. පහසුකම් වැඩි දියුණු කලොත් ජාත්‍යන්තරයට යන්න එක සවිමත් පාලමක් වෙයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව්, අපේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ඒකට හොඳම උදාහරණය යුපුන් අබේකෝන්.

      ශ්‍රී ලංකාවේ ඉපදිලා, ආසියාවේම තත්පර 10 සීමාව බිඳ දැමූ එකම ක්‍රීඩකයා ඔහුයි. ඒ ජයග්‍රහණය ලැබුණේ සල්ලි බලයෙන්වත්, වාසනාවෙන්වත් නෙමෙයි. අසීමිත කැපවීම, විනය සහ ඉතාලියේ ලෝක මට්ටමේ පුහුණුවෙන්.

      සල්ලි තිබුණා කියලා, තාක්ෂණය තිබුණා කියලා තත්පර 10ට අඩුවෙන් දුවන ක්‍රීඩකයන් බිහි වෙන්නේ නැහැ. එහෙම නම් ජපානය, චීනය, ඉන්දියාව වගේ රටවල් මේ වෙනකොට එවැනි ක්‍රීඩකයන් ඕනෑ තරම් බිහි කරලා තියෙන්න ඕනේ. නමුත් අදටත් ඒ සීමාව බිඳ දාලා තියෙන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි.

      ඒක නිසා යුපුන්ගේ දක්ෂතාවය සාමාන්‍ය ජයග්‍රහණයක් විදිහට බලන්න බැහැ. ඒක දශක ගණනකට වරක් රටකට ලැබෙන විශේෂ හැකියාවක්.

      ඒ වගේ දක්ෂ ක්‍රීඩකයන් වෙනුවෙන් බොහෝ රටවල් පුරවැසිභාවය පවා ලබා දෙනවා. ඒ තරම් වටිනා ජාතික සම්පතක් තමයි යුපුන්.

      ඒ නිසා ඔහු කළ ජයග්‍රහණයට නිසි ගෞරවයත්, අවශ්‍ය සහයත් ලැබිය යුතුව තිබුණා.

      අවාසනාවකට වගේ, වර්තමාන ආණ්ඩුව ඔහුට කලින් ලබාදී තිබූ පොරොන්දු ඉටු කළාද යන්න ගැන බරපතළ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒවා ඉටු නොකළේ නම්, එය එක් ක්‍රීඩකයෙකු අසරණ කිරීමක් විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවට ලැබුණු දුර්ලභ ජාතික සම්පතක් රැක ගැනීමට රජයක් ලෙස තිබුණු වගකීම පැහැර හැරීමක්.

      Delete
  4. මේකට හොඳ ලිපියක් ඉවාන් පව්ලුෂ දාල තිබ්බ . දෙපත්ත්ටම් කරුණු තියනවා මයියා කියන එක හරි වගේම ඇමැතිගේ පැත්තෙනුත් සාධාරණව බලන්න පුළුවන් . දැන් සුපුන් කියනවා නාමල් රාජපක්ෂ කිව්වා කියල හරි මොනවාද ඕනේ කියල අහල ඔක්කොම සල්ලි ඇතුළු අවශ්‍ය දේවල් දුන්න කියල . ප්‍රශ්නේ මේකයි නාමල්ට පුළුවන් එහෙම . කෝල් එකින් වැඩේ කරන්න . පාලන තන්ත්‍රය වෙනස් . දැන් ඉන්න ඇමැති සුනිල් සරත් ට එහෙම බැහැ . එයා නිලධාරීන් , කෝච් ලාගෙන් අහල තීරණ ගන්න කෙනෙක් . පැහැදිලි වෙනසක් තියනව .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට


      ඔබේ තර්කයේ තියෙන මූලික වැරැද්ද තමයි යුපුන්ට ලබාදීමට යෝජනා වූ සහය නාමල් රාජපක්ෂගේ පෞද්ගලික තීරණයක් වගේ පෙන්වීම. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

      මේ වැඩපිළිවෙළ ආරම්භ වුණේ රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිව සිටි කාලයේ. ඒක කාගෙවත් දේශපාලන දුරකථන ඇමතුමකින් ගත් තීරණයක් නෙමෙයි. යෝජිත ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශ මට්ටමින් සලකා බලලා, නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ගිහින් නීතිමය පරීක්ෂාවකට ලක් කරපු ක්‍රියාවලියක්.

      ඒ නිසා අද මේක "ඇමතිට හිතුණා, සල්ලි දෙන්න කිව්වා" කියලා සරල කරන්න බැහැ. රාජ්‍ය යාන්ත්‍රණය හරහා ගිය වැඩපිළිවෙළක් ගැනයි කතා කරන්නේ.

      තවත් වැදගත් කරුණක් තමයි, යුපුන් කියන ආකාරයට එම ගිවිසුමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මූලික විරෝධතාවයක් තිබුණේ නැහැ. එහෙම නම් ප්‍රශ්නය "මේක නීති විරෝධීද?" කියන එක නෙමෙයි. ප්‍රශ්නය "රටට ලැබුණු දුර්ලභ ක්‍රීඩා සම්පතක් රැකගන්න රජය වගකීමෙන් ක්‍රියා කළාද?" කියන එකයි.

      යුපුන් කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් නෙමෙයි. දකුණු ආසියාවේ පළමු Sub-10 ධාවකයා. ඔහු ලෝක මට්ටමේ පුහුණු පද්ධතියක සිටිමින් ලබාගත් දැනුම සහ අත්දැකීම ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩකයන්ට ලබාගත හැකි වටිනාකමක් තියෙනවා.

      රජයක් කියන්නේ වගකීම භාරගන්න ආයතනයක්. "පෙර ආණ්ඩුවේ වැඩක්", "අපේ ක්‍රමය වෙනස්" කියලා අතහැර දාන එක පහසුයි. නමුත් ජාතික සම්පත් ආරක්ෂා කිරීම දේශපාලන පක්ෂයකට අයිති දෙයක් නෙමෙයි.

      අන්තිමේදී ප්‍රශ්නය නාමල්ද, සුනිල්ද කියන එක නෙමෙයි. ප්‍රශ්නය මෙච්චරයි:

      ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් කැපවෙලා ඉන්නකොට, රට ඔහු වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කළාද නැද්ද?

      ඒකට සාධාරණ පිළිතුරක් දෙනවා වෙනුවට ක්‍රියාපටිපාටි පිටුපස සැඟවීම නම්, ඒක පාලනයක් නොව වගකීමෙන් පලා යාමක්.

      Delete
    2. මම නෙමේ එහෙම කියන්නේ . සුපුන්ම නේද ? මේ සුජිත් අන්නමලේ කියල තියෙන දේ : යුපුන් අද SLVlog එකත් එක්ක කරපු interview එකකදි මාර interesting කතා දෙකක් කියනවා..
      එයා පික් එකේ ඉන්න කාලේ ඒ කියන්නේ දකුණු ආසියාවෙම වේගවත්ම පිරිමියා විදියට බ්‍රෑන්ඩ් වෙලා ඉන්න කාලේ Nike, Adidas, Puma වගේ brand එයාට ස්පොන්සර් කරන එක ප්‍රතික්ෂේප කරාලු ලංකාවේ ඕඩියන්ස් එක පොඩියි කියලා.. ලෝක ජනගහනයෙන් 25% කට වඩා (2021 වෙනකොට) ඉන්න දකුණු ආසියාව දිහා නොබලා ලංකාවේ ජනගහනය දිහා බලලා තීරණ ගන්න ලෙවල් එකට ඒ බ්‍රෑන්ඩ්ස් වැටිලා කියන්නේ පුදුම අවුලක් ඉතින්.. හරියට බැලුවොත් දකුණු ආසියාවේ තත්ත්පර 10ට අඩුවෙන් 100m දුවපු පළමු සහ එකම ක්‍රීඩකයාව මිස්කරගන්නවා කියන්නේ ඒ බ්‍රෑන්ඩ්ස් ඔහොම තියෙන එකත් ලොකු දෙයක්..
      ඊළඟ කතාව තමයි ලංකාවේ බ්‍රෑන්ඩ්ස් ළඟට ගියාම කිව්වලු තත්ත්පර දහයකට අඩු කාලයක් පේන නිසා යුපුන්ට ස්පොන්සර් කරන්න බෑ කියලා.. යුපුන් ගියේ මොන බ්‍රෑන්ඩ්ස් ළඟටද කියන එක හරියටම දන්නේ නෑ.. (ලංකාවෙ සමහර බ්‍රෑන්ඩ් මැනේජර්ස්ලා එහෙම හිතන්න බැරිකමකුත් නෑ ඉතින්) හැබැයි ලංකාවේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා ගම් මට්ටමේ ඉන්න ක්‍රීඩකයෝ හොයාගෙන ඒ අයගෙ අධ්‍යාපනයට, කෑම බීමට, ඇඳුම් පැළඳුම්වලට, පුහුණුවීම්වලට වගේ හැමදෙයකටම වියදම් කරලා ඔලිම්පික් ටාගට් කරගෙන ස්පොන්සර් කරන.. උදා: MAS, Ritsbury වගේ බ්‍රෑන්ඩ්ස්
      යුපුන්ගෙ අවාසනාවට යුපුන් එහෙම බ්‍රෑන්ඩ්ස් ළඟට ගිහින් කතා කරලා නැතුව ඇති..
      ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් සහ දෙශීය බ්‍රෑන්ඩ්ස් දෙකම යුපුන්ව අතෑරගෙන නැත්තන් ඒක යුපුන්ගේ අවාසනාව එහෙමත් නැතිනම් යුපුන්ගේ මැනේජ‍ර්ගෙ නොහැකියාව.. https://fb.watch/IAxAEPs7yS/

      Delete
    3. https://www.facebook.com/reel/1263259649115653

      Delete
    4. යුපුන්ට sponsorship එකක් හොයාගන්න බැරි වුණා නම් ඒකේ කොටසක් athlete management පැත්තේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

      ඒක පිළිගන්න ඕනේ. හැබැයි ඒකෙන් රටේ වගකීම ඉවර වෙන්නේ නැහැ.
      දකුණු ආසියාවේ පළමු Sub-10 ක්‍රීඩකයා බිහිවෙන්නේ හැම අවුරුද්දකම නෙමෙයි. එවැනි ක්‍රීඩකයෙක් බිහිවුණාම ඔහුගේ දක්ෂතාවය රටේ sports asset එකක් විදියට කළමනාකරණය කරන්න ඕනේ.

      "Sponsor කෙනෙක් හොයාගන්න බැරි නම් ක්‍රීඩකයාගේ වරද" කියන එක පහසු පිළිතුරක්. නමුත් ලෝක මට්ටමේ ක්‍රීඩා පද්ධති තියෙන රටවල් ක්‍රීඩකයන්ට එහෙම තනිවම සටන් කරන්න දාලා නැහැ.
      ප්‍රශ්නය යුපුන්ට සල්ලි දෙන්නද නැද්ද කියන එකට වඩා, ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් බිහිවුණාම ඔහුව රැකගන්න ක්‍රමවේදයක් තියෙනවාද කියන එකයි.

      Delete
    5. ඒක ඉස්සරහට වෙන්න ඕනේ දෙයක් . ආණ්ඩුවට මුදල් නැහැතමා . ඒත් එහෙම කියල ඔවුන් ක්‍රීඩකයෝ අමතක කරලා නැහැ . මම ළඟදිත් දැක්කා ක්‍රීඩකයෙකුට ලක්ෂ ගණක මුදලක් ප්‍රදානය කරල් තිබ්බ පුහුණුවීම් වලට . සුපුන් කියනව මම දැක්කා නමාල් රොෂාන් රණසිංහ පොරොන්දු වුනා එයට ඇමති කම නැති වුනා. හරින ඔරෝන්දු උනා . එයාගේ ඇමතිකම නැති වුනා කියල . (එයාලා අවුරුදු දෙකක් ඇමති කමේ හිටිය . පොල් ගෑවද කියල බ්රුනෝ ල ඇහුවේ නැහැ )

      Delete
    6. මේ සුසන්තිකා : මේක කියන්නම ඕනේ. අපි මෙච්චර දවසක් ඇත්තටම මෙහෙම කතා කරන්න ආවේ නැහැ. "අපි අතර තරහද, කුහකද, ඊර්ෂ්‍යාද?" කියලා ඇහුවා. නැහැ! ඔබතුමාලාගේ පරිපාලන කාලයේදී ඔබතුමාලා තමයි පංගු බේරුම් ඇති කළේ. ඔබතුමාලා තමයි ක්‍රීඩකයන් නැති කළේ. ජයග්‍රහණ සහ ලැබුණු ඇගයීම්වල ඇත්ත-නැත්ත

      ඉතින් මට කවදාවත් දිනන්න කලින් ගෙවල්-දොරවල් දුන්නේ නැහැ. ශ්‍රියානි කුලවංශට දුන්නෙත් නැහැ. හැබැයි මේ කාලයේ මම දන්නේ නැහැ අසිහියෙන් කතා කරනවාද කියලා!

      මම 1997 ඇතැන්ස් හි පැවැත්වුණු ලෝක ශූරතා තරගාවලිය දිනුවට පස්සේ තමයි මට කොළඹින් ගෙයක් හම්බ වුණේ, වාහනයක් හම්බ වුණේ. ඒ කෝටියක වටිනාකමට සම්පූර්ණ දේවල් ඒකට ඇතුළත් වුණේ ලෝකෙන්ම දිනුවට පස්සේ. හැබැයි දමයන්ති දර්ශා දින්නේ ආසියාවේ විතරයි. 'Asian Games Gold Medal' ගත්ත කීදෙනෙක් අපේ රටේ ඉන්නවාද? හැබැයි එතුමියට 'Sports car' පවා දුන්නා!

      මට නම් එහෙම හම්බ වුණේ නැහැ. මට ඒ කාලේ එලිෆන්ට් හවුස් (Elephant House) ආයතනයෙන් දුන්නු අනුග්‍රාහකත්ව මුදලින් ලීස් (lease) කරලයි මම වාහනයක් ගත්තේ.

      ඒ නිසා ඔබතුමාලා ක්‍රීඩාවට කරපු අසාධාරණය, ක්‍රීඩකයන්ට කරපු අසාධාරණය අමතකද? ඒ හින්දා කරුණාකරලා දැන්වත් කට වහගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න! මොකද ඕගොල්ලෝ ක්‍රීඩාව කෑවා; ක්‍රීඩකයන් නැති කළා.-https://www.gossiplankanews.com/2026/07/susanthika-speaks-for-yupun.html

      Delete
    7. සුසන්තිකා ජයසිංහ කියන්නේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙනාපු විශිෂ්ට ක්‍රීඩිකාවක්. ඇයගේ අත්දැකීම් සහ ඇය ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරන එක අගය කළ යුතුයි. හැබැයි ඇය ප්‍රතිචාර දක්වන්නේ මීට වසර 4කට පෙර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් බවත් මතක තබාගන්න ඕන.

      යුපුන්ගේ සිද්ධියේ මූලික කරුණ වන්නේ "කට වචනයක පොරොන්දුවක්" ගැන නොවෙයි. ඔහු කියන්නේ ලිඛිත එකඟතාවයක් සහිත වැඩසටහනක් ගැනයි. එම ගිවිසුම අදාළ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ගොස්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර, කිසිදු නීතිමය විරෝධතාවයක් නොමැති බවට අනුමැතිය ලැබුණු එකක් බවයි ඔහු සඳහන් කරන්නේ.

      ඒ අනුව ඔහු අද ඉල්ලන්නේ අලුත් වරප්‍රසාදයක් හෝ විශේෂ දීමනාවක් නොවෙයි. 2022 සිට 2026 දක්වා එම එකඟතාවය අනුව ඔහුගේ පුහුණුව සඳහා ලබාදීමට තිබූ සහයෝගය ඉටු කරන ලෙසයි.

      ක්‍රීඩකයෙකු සමඟ රජයක් ලිඛිත එකඟතාවයක් ඇති කරගත් පසු, පාලනය වෙනස් වුණා කියලා ඒ වගකීම සම්පූර්ණයෙන්ම අමතක කරන්න බැහැ. එය ඉටු කළ නොහැකි නම්, නිසි සාකච්ඡාවකින් සංශෝධනයක් හෝ විකල්ප ක්‍රමයක් සකස් කළ යුතුයි.

      මෙහි ප්‍රශ්නය යුපුන්ට පක්ෂද විපක්ෂද කියන එක නොවෙයි. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සමඟ වෘත්තීයමය ලෙස කටයුතු කරනවාද, නැද්ද කියන එකයි.

      Delete
  5. It seems Namal did something clever decision in his carrier........ Lol......

    ReplyDelete
  6. වර්තමාන ආණ්ඩුව නෙමේ තිබ්බ හැම ආණ්ඩුවක්ම ඔය චින්තන දරිද්‍රතාව, ප්‍රතිපත්ති නැතිකම, දුර්වල පාලන තන්ත්‍රය, මුදල් අවභාවිතය වගේ ගොඩක් කරුණු තිබුන. ඒ දවස්වල සුසන්තිකත් තමුන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සලකනවා, හොයනවා මදී කියල කියල තිබ්බ. ලඟදි දැක්ක හෝමාගම පාසකල කලින් ආණ්ඩු වලින් හදපු ක්‍රීඩා පිටිය ගන්න දෙයක් නෑ කියල. ඒ වගේම කරුත් දන්නවා ක්‍රිකට් බෝඩ් එකේ කෙරුවාව. මේවට ඒ ඒ රජයන් වලට ගොටු අල්ලපු තනතුරුවල ඉන්න නිලධාරීනුත් වගකියන්න ඕන. වර්තමාන රජයත් මේ පාරේ යනවනම් ඒකත් වැරදී. හැබැයි ඩොලර් ලක්ෂ 3ක් එක කෙනෙකුට ගෙවන්නන්ම් ඇත්තටම අපහසුයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් වැටුප් වැඩි වුනේ ටිකක් පහුවෙලා බවයි මට මතක.

    //යුපුන්ට ඉතාලියේ පුහුණුව දිගටම කරගෙන යන්න සහය දීලා, ඒ සමඟ ගිවිසුමක් හදන්න තිබුණා:// අන්න ඒ වගේ වැඩපිළිවෙලවල් හැදෙන්න ඕන. ඒ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමී ඔබේ අදහසට.

      මේ comment එකේ ගොඩක් දේවල් එක්ක එකඟයි. හැබැයි මඟහැරෙන ලොකුම කාරණය තමයි මෙය අලුත් ඉල්ලීමක් නොවීම.

      යුපුන් කියන විදියට 2022-2026 පුහුණු සැලැස්මකට එකඟතාවක් සහ ගිවිසුම් ක්‍රියාවලියක් තිබුණා නම්, වගකීම තිබුණේ ඒක වෘත්තීයමය විදිහට ක්‍රියාත්මක කිරීම හෝ සංශෝධනය කිරීම. ඩොලර් ලක්ෂ 3ක් එකවර දෙන්න බැරි නම් වෙනත් funding model එකක් හදන්න තිබුණා. ප්‍රශ්නය මුදල නෙමෙයි, ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් රැකගන්න රටට දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් නොතිබීමයි.

      Delete
  7. අල්ලක වතුර අල්ලන වීදුරුවකට
    ඇල්ලක වතුර දමතෑකිද වුව කාට
    චින්තන වපසරිය අඟලක් වෙච්චි කොට
    හඳ අල්ලන්න යන්නන් නෑ දකින්නට

    ReplyDelete
    Replies
    1. දෑස් තිබුණ ද දුර නොදකිනු විපතක් ලොව ඇත්තේ,
      මඟ පෙනුණ ද මඟ නොයනුව මඳ නුවණේ සලකුණේ.
      සියයක් පණස් නවයක් බලය ලැබුව ද අනේ,
      මඟක් නොමැතිව අනුන් දොස් කියති දිනෙන් දිනේ.

      Delete
  8. ඔබේ සටහන කියෙව්වා වගේම බ්රුනෝ ගේ සංවාදයත් ඇහුවා, සුසන්තිකා ගේ ලියැවිල්ලත් කියෙව්වා මට පේන විදිහට මෙතැන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් කලින් ක්‍රීඩා ඇමතිවරු කට වචනෙට පොරොන්දු දුන්නා මිසක් ලිඛිතව සහ ක්‍රියාකාරීව වැඩක් කරලා නැහැ කියන එක . අනිත් එක වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා සහ වෙළද ඇමතිවරු ප්‍රයෝගික නැහැ කියන එක . ඔය ප්‍රශ්නේ පාලනය කරන්න තිබුනේ මෙහෙමයි . යුපුන් වටිනා ක්‍රීඩකයෙක් වගේම ලංකාවේ නම ගෙනියන විභවයක් තිබුනු කෙනෙක්. තිබුනේ අමාත්‍යංශයෙන් දෙන්න තිබුණු මුදල දීලා පෞද්ගලික අංශයෙන් ඒ වෙනුවෙන් වෙළද නාම එක්ක සහයෝගයක් අරන් යුපුන් ගේ ගමන නවත්වන්න නොදෙන එකයි. රට සහ ඉදිරි පරම්පරාවට ආදර්ශයක් දෙන්න ඕන නම් කරන්න ඕන එහෙමයි . රජයේ ඇමතිවරු සහ නිලධාරීන් මීට වඩා ප්‍රායෝගික වෙන්න වෙනවා. ලෝකයේ සාර්ථක පුද්ගලයින් සහ සන්නාම බිහි වෙලා තියෙන්නේ ඒ ඒ රටවල රජයන් ගේ උදව්වෙන් සහ පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් . දේශපාලනය සම්බන්ධ කර ගන්න ඕනෙම නැති තැනක් තමයි ක්‍රීඩාව කියන්නේ. එහෙම වුනා නම් අනාගතයේ දවසක යුපුන් හරහා තවත් ඉදිරි පරම්පරාවක් හදා ගන්න තිබුනා. ලංකාව කරන්නේම දක්ෂයින් හදල පිට රටවලට ඔවුන්ගේ සේවය ලබාගන්න අරින එකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ ඔබේ දීර්ඝ අදහසට.

      සුසන්තිකා ජයසිංහ කියන්නේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙනාපු විශිෂ්ට ක්‍රීඩිකාවක්. ඇයගේ අත්දැකීම් සහ ඇය ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරන එක අගය කළ යුතුයි. හැබැයි ඇය ප්‍රතිචාර දක්වන්නේ මීට වසර 4කට පෙර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් බවත් මතක තබාගන්න ඕන.

      යුපුන්ගේ සිද්ධියේ මූලික කරුණ වන්නේ "කට වචනයක පොරොන්දුවක්" ගැන නොවෙයි. ඔහු කියන්නේ ලිඛිත එකඟතාවයක් සහිත වැඩසටහනක් ගැනයි. එම ගිවිසුම අදාළ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ගොස්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර, කිසිදු නීතිමය විරෝධතාවයක් නොමැති බවට අනුමැතිය ලැබුණු එකක් බවයි ඔහු සඳහන් කරන්නේ.

      ඒ අනුව ඔහු අද ඉල්ලන්නේ අලුත් වරප්‍රසාදයක් හෝ විශේෂ දීමනාවක් නොවෙයි. 2022 සිට 2026 දක්වා එම එකඟතාවය අනුව ඔහුගේ පුහුණුව සඳහා ලබාදීමට තිබූ සහයෝගය ඉටු කරන ලෙසයි.

      ක්‍රීඩකයෙකු සමඟ රජයක් ලිඛිත එකඟතාවයක් ඇති කරගත් පසු, පාලනය වෙනස් වුණා කියලා ඒ වගකීම සම්පූර්ණයෙන්ම අමතක කරන්න බැහැ. එය ඉටු කළ නොහැකි නම්, නිසි සාකච්ඡාවකින් සංශෝධනයක් හෝ විකල්ප ක්‍රමයක් සකස් කළ යුතුයි.

      මෙහි ප්‍රශ්නය යුපුන්ට පක්ෂද විපක්ෂද කියන එක නොවෙයි. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සමඟ වෘත්තීයමය ලෙස කටයුතු කරනවාද, නැද්ද කියන එකයි.

      Delete

2222